36-KN-Cullaniddesa Pali.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1976
- මුද්‍රිත වර්ෂය :
- 1976
- පිටු ගණන :
- 668
- බාගත කිරීම් ගණන :
- 1,393
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 137 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 34 වන වෙළුම ලෙස පළ වූ මෙම කෘතිය, සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ‘චුල්ලනිද්දෙස පාලි’ (ද්වාදශ භාගය) ග්‍රන්ථයයි. අග්‍රශ්‍රාවක ශාරීපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලදැයි සම්ප්‍රදායිකව පිළිගැනෙන නිද්දෙස පාළියෙහි දෙවන කොටස ලෙස සැලකෙන මෙහි, සූත්‍ර නිපාතයේ පාරායන වග්ගයේ සූත්‍ර සහ ඛග්ගවිසාණ සූත්‍රය පිළිබඳ පදගත විවරණය අන්තර්ගත වේ.
මෙහි පෙළ සංශෝධනය සහ සිංහල අනුවාදය සම්පාදනය කිරීම රාජකීය පණ්ඩිත අහුගොඩ සීලානන්ද නායක ස්ථවිරයන්ගේ මූලික අත්පිටපත ඇසුරින්, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ලබුගම සිරි ලංකානන්ද අනුනායක ස්ථවිර සහ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර යන විද්වත් යතිවරයන් වහන්සේලා විසින් සිදු කර ඇත. බුරුම ඡට්ඨසංගීති, සියම්, PTS සහ මෙරට පුස්කොළ පිටපත් සංසන්දනය කරමින් පාඨශෝධනය සකස් කර තිබේ.
1976 දී (බු.ව. 2519) ශ්‍රී ලංකා ජනරජය මගින් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතියෙහි පාලි පෙළ සහ සිංහල අනුවාදය මුහුණට මුහුණ ලා දක්වා ඇති අතර අවසානයෙහි ගාථාදි පාද සූචියක්, පුද්ගල-ස්ථාන සංඥා සූචියක් හා විශේෂ පදානුක්රමණිකාවක් ද ඇතුළත් කර ඇත.
චූල්ලනිද්දෙසය
ශාස්තෘකල්ප ශාරීපුත්‍ර අග්‍රශ්‍රාවකයන් වහන්සේ විසින් දෙශිත “නිද්දෙස”ය ඛුද්දකනිකායෙහි ඇතුළත් වේ. “නිද්දෙස” විසින් එය එකක් වුව ද, පසු කලෙක දෙකක් වැ ගිය සැටිය මෙහි සංඥාපනයෙහි දැක්විණ. දෙවන කොටස විසින් සලකන තෙල ‘චූල්ලනිද්දෙස’යෙහි සිංහල පරිවර්තනය පොතුහැර චන්ද්රසෙල පරිවෙණාධිපති පණ්ඩිත අහුගොඩ සීලානන්ද නායක ස්ථවිරයන් වහන්සේ සැපයාලූහ. උන්වහන්සේ මහත් පරිශ්‍රමයකින් ඒ කාර්ය්යය නිමකළ නමුත්, පරිවර්තනයෙහි දු සංශොධනයෙහි දු ඌනතා දුටු ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය ලබුගම සිරි ලංකානන්ද අනුනායක ස්ථවිරයන්වහන්සේ වෙතැ පාඨශොධනය හා, පරිවර්තනය හා දෙවන වර කරන සේ දක්වා දින. උන්වහන්සේ ස්වදෙශ විදෙශ දෙක්හි එන පාඨාන්තර සසඳමින් කළ තෙල පාඨශොධනය හා පරිවර්තනය මෙතෙක් ලොවැ පළ වැ ගිය පාඨශොධනාදිය යටපත් කරන සංස්කරණයෙකැයි කියම්හ. උන්වහන්සේ මෙහි ලා දැක්වූ කෞතුහල භාවය හා ව්යාකෘතභාෂායෙන් සියබසට අරවා තැබීම හා පය්යප්තිධරයන්ගේ ප්‍රසාදය පිණිස හේතු වෙතියි සලකම්හ.
කෝදාගොඩ සිරි ඤාණාලොක නායක ස්ථවිර.
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයෙහි සභාපති.
සංස්කාරක නිවේදනය
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි සුතිස් (34) වන ග්‍රන්ථය වූ ‘චූල්ලනිද්දෙසපාළි’ය ඛුද්දකනිකායාන්තර්ගත පසළොස් ග්රන්ථයන් අතුරෙහි එකොළොස්වැන්න වූ ‘නිද්දෙසපාළි’යෙහි ද්විතීය භාගය ලෙස සැලකිය යුතුය.
තථාගතප්රවීදිත වූ ප්රවචනපාළියෙහි කොටිප්‍රාප්ත අර්ථඥාන ඇති ශාස්තෘකල්ප අගසවු සැරියුත් මහ රහතුන් වහන්සේ විසින් සූත්‍රනිපාතයෙහි සබ්භාහිත ධර්මාර්ථ හෙයින් ගම්භීර වූ තෙතිස් සූත්‍ර කෙනකුන් සඳහා වදාළ නිද්දෙසපාළියෙහි ‘චූල්ලනිද්දෙස’ නමින් ගත් ද්විතීය භාගය ද සිංහල භාෂාවෙන් පරිවර්තන කරනු අතිශයින් දුෂ්කර කාර්‍ය්‍යයෙකි.
ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් කරන ලද පරිවර්තනය ප්‍රමාණ නොවන සේ පෙනීගිය හෙයින් උත්තරීතර සංස්කාරක මණ්ඩලය විසින් චූල්ලනිද්දෙසපාළියෙහි පාඨශොධනය හා පරිවර්තනය ද අප වෙත පවරන ලද්දේය.
රාජකීය පණ්ඩිත අහුගොඩ සීලානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් පුස්කොළ පිටපත් බොහෝ ගණනක පාඨාන්තර ද සහිත කොට සපයා තුබූ අත්පිටපත සියම් බුරුම ඉංග්‍රීසි අක්ෂරයෙන් මුද්‍රිත චූල්ල නිද්දෙස ග්රන්ථයනුදු ඇසිරි කොට පරිශ්‍රමයෙන් පාඨශොධනය කෙරෙමින් සිංහල පරිවර්තනය ද කරන ලද්දේය. මෙහි ශොධන පරිවර්තන කාර්ය්යය සඳහා ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයෙහි සාමාජික රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේගේ සහාය සපුරා ලැබුණු බව ප්‍රකාශ කරම්හ.
මුද්‍රණ අවස්ථාවට පැමිණි ත්‍රිපිටක මණ්ඩලයේ සභාපති නායක ස්ථවිරයන් වහන්සේ යැ සම්පාදක මණ්ඩලීය රද්දැල්ලේ සිරි පඤ්ඤාලොක අනුනායක ස්ථවිරයන් වහන්සේ යැ, වෙඩරුවේ සිරි අනොමදස්සී නායක ස්ථවිරයන් වහන්සේ යැ, කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ යැ යන ධර්මවිනයධර පූජ්‍ය පණ්ඩිත මහතෙරවරුන්ගේ අනල්ය කෞශල්‍යය හේතු කොට ගෙන සංශොධන කටයුතු මැනවින් සිදුකළ හැකි විය. ලෙඛකාධිකාරී නායකස්ථවිරයන් වහන්සේගේ සාහාය්යය ද මෙහි ලා සඳහන් කළ යුතුය.
තවද ශ්‍රී ලංකාජනරජයේ අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක උත්තමාව ත්‍රිපිටක මුද්‍රණය සඳහා දක්වන බලවත් ප්‍රසාදය හා අනුග්‍රහය ද, ටී. බී. තෙන්නකෝන් ගරු සංස්කෘතික ඇමතිතුමා මෙය ඉක්මනින් නිමහම් කරවාලීමට ගන්නා උත්සාහය ද, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් කේ. එච්. ඇම්. සුමතිපාල මහතාණන්, සහකාර අධ්යක්ෂ සෝමපාල ජයවර්ධන මහතාණන් හා සාහිත්‍ය සංවර්ධන නිලධාරි කේ. ජී. අමරදාස මහතාණන් ප්රමුඛ සංස්කෘතික නිලධාරීන් මේ සඳහා දක්වන උද්යොගය ප්‍රශංසනීය වෙයි.
දෙහිවල තිසර මුද්‍රණාලයෙහි අධිකාරී ඇස්. ඩී. සපරමාදු මහතාණන් ප්රමුඛ කාර්ය්යමණ්ඩලය දෙමසක් පමණ කෙටි කාලයකින් මුද්‍රණය නිමහම් කිරීම ද පැසසිය යුතුය. එ මතු ද, ත්‍රිපිටක කාර්ය්යාලය පිහිටි කොළඹ මහානායක චාරිකාරාමයේ භාරකාර ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතාගෙන් ත්‍රිපිටක මණ්ඩලයට දිවා රැයෙහි ලැබෙන සාහාය්යය ද අනුස්මරණීය වේ.
දෙවියන් සහිත ලොවට වැඩ සිදුකරන අතිපරිශුද්ධ පය්යප්තිධර්මය ව්‍යාප්ත කරවාලීමෙහි යත්න දරන මෙ හැම සුධීහු ධර්මදානමය කුශලබලයෙන් සුබභාගී වෙත්වයි ආශිංසනය කරම්හ.
මේවගට: ශාසනොදයකාරී,
ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.
1976 අගෝස්තු මස 15 වැනි දින
ත්‍රිපිටක කාර්ය්යාලය,
මහානායක චාරිකාරාමය,
115, විජේරාම මාවත,
කොළඹ-7
සංඥාපනය
යො පබ්බජී ජාතිසතානි පඤ්ච පහාය කාමෙහි මනොරමානි, තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං.
ඛන්තීබලො පඨවිසමො න කුප්පති න චා’පි චිත්තස්ස වසෙන වත්තති, අනුකම්පකො කාරුණිකො ච නිබ්බුතො පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං.
චණ්ඩාලපුත්තො යථා නගරං පවිට්ඨො නීචමනො චරති කපාලහත්ථො, තථා අයං විචරති සාරිපුත්තො පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං.
උසභො යථා ඡින්නවිසාණකො අහෙඨයන්තො චරති පුරන්තරෙ, තථා අයං විචරති සාරිපුත්තො පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං.
යනාදී පන්සියක් ගාථායෙන් තථාගත සම්මා සම්බුදුරදුන් විසින් පරිනිර්වාණාවස්ථාවෙහි ලා සංවේග විෂය කළ ගුණරාශි ඇති සව්පෙරුම් කෙළපැමිණි අගසව් සැරියුත් මහ රහතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ ශාසනය පස්වාදහසක් නිරුපද්‍රැත ව පවත්නා සඳහා ධර්ම චක්‍රය විභාග කරමින් ධර්මාර්ථ හෙයින් අතිගම්භීර වූ, මහාසඞ්ගීති අවස්ථාවෙහි සූත්‍රනිපාතයෙහි ලා සඞ්ගීත ව පවත්නා, ‘අට්ඨකවග්ගික’ සූත්‍ර සොළොස යැ, ‘පාරායන වග්ගිය’ සූත්‍ර සොළොස යැ, ‘ඛග්ගවිසාණ’ සූත්‍ර යැ යන තෙතිස් සූත්‍ර ධර්මයන් උද්දෙස කොට පදනුපදික ව නිද්දෙස විසින් විභාග කළහ. ඛුද්දකමහානිකාය (ක්ෂුද්රගත්සඟි) යෙහි බැසගෙන සිටුනා “ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, ජාතක නිද්දෙස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංශ, චරියාපිටක” යන පසළොස් ග්රන්ථයන් කෙරෙහි එකොළොස් වැන්න අග්‍රශ්‍රාවක දෙශිත වූ මේ ‘නිද්දෙසපාළි’ ය යි. නිද්දෙසපාළිය ගෙන අපගේ සංඥාපනය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි මහා නිද්දෙසපාළියෙහි ලා පළ කරනලද්දේය. අර්ථීන්ට එයින් බලා දන්නේ මැනැවි.
සැරියුත් මහරහතුන් වහන්සේ ශ්‍රාවක පාරමී ඥානයෙහි සිට දෙශනා කොටවදාළ එක් මැ නිද්දෙසපාළිය මෑත අතීතයෙහි සිට සියම් බුරුම ආදි රටවල ස්ථවිරවාදීන් විසින්දු එය අනුගමනය කිරීමෙන් දෝ හෝ හෙළදිවැ මහතෙරවරුන් විසින්දු ‘මහානිද්දෙස චූලනිද්දෙස’ යි ග්රන්ථ දෙකක් කොට වහරනු දක්නට ලැබේ. එහෙත් යට දැක්වූ ඛුද්දකනිකාය පර්‍ය්‍යාපන්න ග්රන්ථසංග්රහයෙහි නිද්දෙසය එකෙක් මැය. සද්ධම්මපජ්ජොතිකා නම් නිද්දෙස අටුවායෙහි ද උපසෙන මහතෙරණුවෝ අටුවා මුඛයෙහි –
“සාරිපුත්තො මහාපඤ්ඤො - සඤ්ඤතො ජිනොරසො ධම්මචක්කං පවත්තෙත්වා - මහානිද්දෙස මබ්රවී” යි ද,
“ආරභිස්සං සමාසෙන – මහානිද්දෙසවණ්ණනං” යි ද දැක්වූහ.
මෙහි එන ‘මහානිද්දෙස’ ශබ්දය බලා අවිශෙෂඥ වූ කිසි කෙනකුන් “මහානිද්දෙස” ඇත. චූලනිද්දෙසයකුදු වුව මැනැවැ’යි හැඟී අට්ඨකවග්ගනිද්දෙස මහානිද්දෙස යි ද පාරායනවග්ග ඛග්ගවිසාණසුත්ත නිද්දෙස ‘චූලනිද්දෙස’යි ද දෙබේ කළසේ දතහැකි ය. එහෙත් අටුවා ඇදුරු උපසෙන තෙරණුවන් සව්පෙරුම්නැණ කෙළ පැමිණි අගසව් සැරියුත් මහරහතුන්වහන්සේ කාමසුත්තාදි යථොක්ත තෙතිස් සූත්රයනට නිරවශෙෂ අර්ථ විස්තරය වදාළ නිද්දෙසපාළිය මුළුල්ල මහාපද්ධති මහාසමුද්‍ර සෙයින් ‘මහන්ත නිද්දෙස’ නුයි ‘මහානිද්දෙස’ නමැයි ගන්නා ලද්දේය.
එහෙයින් අටුවා නිගමනයෙහි දී ද –
“යො සො සුගතපුත්තානං - අධිපති භූතෙන භූතහිතරතිනා ථෙරෙන ධීරගුණවතා - සුවිභත්තො මහානිද්දෙසො”යි
සඳහන් කරන ලද්දේය. මෙසේ තිබියදී බුද්ධජයන්ති ත්‍රිපිටක මණ්ඩලයේ ආරම්භක සංස්කාරකයන් විසින්දු නූතන පරිකල්පනය අනුව නිද්දෙසපාළි ද්විතීය භාගය ‘චූල්ලනිද්දෙස’යි මැ ව්‍යවහාර කරන ලද්දේ ය.
මෙතෙක් ලක්දිවැ මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට නො පැමිණි නිද්දෙස පාළියෙහි ද්විතීය භාගය වූ චූල්ලනිද්දෙසය ද පාඨශොධන පූර්වක වැ සිංහල භාෂාවෙන් පරිවර්තන කිරීමේ දුෂ්කර කාර්ය්ය ද ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය විසින් අප වෙත පවරන ලද්දේ ය. අනෙක කාර්ය්යභාරයෙන් මිරිකෙමින් සිටියදී මැ ඒ විධානය අප බුරුමරට ඡට්ඨසංගීති සංස්කරණය ද, සියම්රට තාය්යාක්ෂරයෙන් මුද්‍රිත ග්‍රන්ථය ද, එංගලන්තයේ පාලිපොත් සමාගම මගින් මුද්‍රිත ග්‍රන්ථය ද, බෞද්ධමණ්ඩලයෙන් චූල්ලනිද්දෙස පරිවර්තනය භාරගෙන සිටි පොතුහැර චන්ද්රසෙල පරිවෙණාධිපති පණ්ඩිත අහුගොඩ සීලානන්ද නායකස්ථවිරයන් වහන්සේ පැරණි පුස්කොළ පිටපත් බොහෝ ගණනක පාඨාන්තර සහිත කොට සපයාතුබූ අත්පිටපත ද ඇසුරු කෙරෙමින් මේ සංස්කරණය මහත් පරිශ්‍රමයෙන් සිදුකරන ලද්දේය. සිංහලයෙන් පරිවර්තන කිරීමේ දී ධර්මශාස්ත්ර විෂයෙහි බැසගත් බුද්ධිමහිම ඇති රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ අත්‍යන්තයෙන් උපස්තම්භක වූහ.
දෙදහස් පන්සියයේ බුද්ධජයන්ති උත්සවය අනුස්මරණ කරනු සඳහා ශ්‍රී ලංකා බෞද්ධ මණ්ඩලය විසින් ආරබ්ධ වූ සත්කාර්ය්යයන් අතුරෙහි ප්‍රමුඛස්ථානයෙහි සිටිනුයේ ත්‍රිපිටක සිංහලානුවාදය හා මුද්රණයැයි කියනු නිවරද වේ. බෞද්ධමණ්ඩලයේ මෙහෙයීම නොවන්නට චූල්ලනිද්දෙස වැනි ග්රන්ථ සිංහලයෙන් පරිවර්තන වෙති සිතනු පවා උගහට යැ. පටිසම්භිදාමග්ග චූල්ලනිද්දෙස පෙළ පවා මුද්‍රණය කරවා ලියහැකි වූයේ බෞද්ධමණ්ඩලයේ සංකල්පන හේතුවෙනි. ශාසනස්ථාපනයට ඉවහල් වූ ත්‍රිපිටක සංස්කරණ පරිවර්තන මුද්රණාදියෙහි නියුක්ත සියලු සුධීහු ද විශේෂයෙන් අප මේ සත්කර්මයෙහි මෙහෙයවා ලූ දෙමටගොඩ පධානඝර විහාරාධිපති ව වැඩ විසූ දර්ශනවිශාරද පරවාහැර සිරි වජිරඤාණාභිධාන කොළඹ නවලකෝරළේ ප්‍රධාන සංඝනායක හිමියාණන් වහන්සේ ද සුබභාගී වෙත්වායි ආශිංසනය කරම්හ.
ලබුගම ලංකානන්ද ස්ථවිර.
2519
1976 අගෝස්තු මස 12 වැනි දින
මොල්ලිගොඩ ප්‍රවචනොදය පිරිවෙන.