34-KN-Jataka Pali 3.pdf
- කතෘ :
- මඩිහේ පඤ්ඤාසීහ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1986
- මුද්‍රිත වර්ෂය :
- 1986
- පිටු ගණන :
- 580
- බාගත කිරීම් ගණන :
- 1,401
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 87 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ජාතක පාලි (තෘතීය භාගය) යනු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 32 වන වෙළුම වන අතර සූත්‍රාන්ත පිටකයේ ඛුද්දක නිකායට අයත් සවිසිවන ග්‍රන්ථයයි. බුදුරජාණන් වහන්සේ විසින් පෙර භවයන්හි පාරමී දම් පිරූ ආකාරය දැක්වෙන ජාතක දේශනා මාලාවේ අවසාන කොටස් මෙම වෙළුමට අන්තර්ගත වේ.
මෙහි සිංහල අනුවාදය අමරපුර නිකායික මහාසංඝසභාවේ සභාපති ධුරන්ධර අතිපූජ්‍ය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කර ඇති අතර, පාඨශෝධන පූර්වක විශේෂ සංස්කරණය රාජකීය පණ්ඩිත ශ්‍රී ධර්මස්කන්ධ රෙවත කරහම්පිටිගොඩ ශ්‍රී සුමනසාර නායක ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කර ඇත. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් 1986 දී මෙය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තෘතීය භාගයෙහි පාලි පෙළ සහ සිංහල පරිවර්තනයට අමතරව සංස්කාරක නිවේදනය, විස්තරාත්මක සංඥාපනය, ගාථාදීපාදානුක්කමණිකා, සංඥානාමානුක්කමණිකා සහ විශේෂපදානුක්රමණිකා ආදී පරිපූර්ණ සූචි ඇතුළත් වේ.
සංස්කාරක නිවේදනය
තිලෝගුරු සම්මාසම්බුදුන් බුද්ධත්වයට පැමිණ දම්සක් පවත්වා ආරම්භ කළ ජයෝත්පන්න ශාසනය පරිනීර්වාණක්ෂණය දක්වා දිව්‍යමනුෂ්‍යාදි අනන්ත අපරිමාණ සත්ත්වගණයාට ලෞකිකලොවුතුරු හිතසුව සාදමින් ආකාශ-ගංගාප්‍රවාහයක් සෙයින් අවිච්ඡින්න වැ පැවැත්තේ යැ. මලස්නෙකැ හුයෙන් නො ගොතා ලූ මල්රසක් සෙයින් සම්මිශ්ර වැ තුබූ චතුරාසීති-සහස්රස්කන්ධ ධර්මස්කන්ධය මහාකාශ්‍යප ස්ථවිරාදි සංගීතිකාරක මහතෙර-වරුන් විසින් ග්රහණධාරණාදියෙහි සෞකර්ය්ය පිණිස ධර්මවිනය විසින් නිකායාදි විසින් සංග්‍රහ කොට සංගීත විය. (සංගීතිකථා මහාවග්ග-ප්රස්තාවනායෙන් දන්නේ යැ.)
තවද ත්රිපිටකධර්මයෙහි අංගවශයෙන් කළ බෙදීමෙක් ද ඇත. ඒ වුකලි “ඉධ පන භික්ඛවෙ එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුත-ධම්මං වෙදල්ලං” යි බුදුරදුන් විසින් මැ අලගද්දූපමසූත්රාදියෙහි වදාළ ධර්මය අංගවශයෙන් නවවැදෑරුම් වන පරිදි බුදුන් විසින් මැ වදාරනලද්දේයැ. සංගීතිකාරක තෙරවරුන් විසින් මේ නවාංගයෙහි උදාන ඉතිවුත්තක ජාතක යන අංගත්රය වෙන වෙන ග්රන්ථ වශයෙන් ඛුද්දකනිකා-යෙහි ලා සංගීත වුව ද ඉතිරි අංග සය ත්‍රිපිටකයෙහි ඒ ඒ තැනින් ලක්ෂණවශයෙන් නභාගතයුතු වෙයි. ජාතක වූකලි බුදුරජාණන්වහන්සේ ජීවමාන ව වැඩහුන් පන්සාළිස් හවුරුද්ද මුළුල්ලෙහි ඒ ඒ කාරණයට පැමිණි වදාරනලද අපණ්ණක ජාතකාදි පන්සියපනසක් පමණ වූ බොධිසත්ත්වාවදානයෝ යැ. එහෙයින් ජාතකකථා බුද්ධචරිතයෙහි ලා සංග්‍රහ වෙති. එහි ජාතකගාථා හා අතීත කථාව ද බුදුරදුන් විසින් මැ වදාරනලද්දේ ය. සිංහල ජනතාවගේ බෞද්ධසංස්කෘතිය ගොඩනැඟී-ලිමෙහි ලා ජාතකකථාවෙයන් ලැබුණු පිටිවහල ද අසීමිත වෙයි. ජාතක-දේශනාව පිළිබඳ වැ අන්‍යත් කියැයුතු දෑ මෙහි සංඥාපනයෙන් දන්නේ යැ.
දෙදහස්පන්සියවැනි බුද්ධජයන්ති පූජෝත්සවය අනුස්මරණය කරනු සඳහා ලංකාබෞද්ධමණ්ඩලය මඟින් ආරම්භ කළ සත්කාර්යයන් කෙරෙහි අතිශයින් අර්ථාචහ වූයේ ත්රිපිටකධර්මය සියබසට නඟා මුද්‍රණය කරවාලීම යැ. එහි ජාතකපාළි සිංහල පරිවර්තනය සඳහා ආරාධිත වූවාහු අමරපුර මහාසංඝසභාවේ වර්තමාන සභාපතිධුරන්ධර මඩිහේ සිරි පඤ්ඤාසීහාභිධාන මහානායකස්ථවිරයන් වහන්සේ යි. උන්වහන්සේ විසින් යථාකාලයෙහි කරනලද සිංහල පරිවර්තනය පාඨශෝධනපූර්වක වැ ත්‍රිපිටක සම්පාදක-මණ්ඩලය මගින් සංස්කරණය කළයුතු විය. විශේෂයෙන් ජාතකපරිවර්තන සංස්කරණය ත්‍රිපිටකයෙහි විශාරද බුද්ධිප්රභා ඇති හිඟුලේ මාකඩවර ශ්‍රී රෙවත පරිවේණාධිපති රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ ශ්‍රී සුමන-සාරාභිධාන සතරකෝරළ මහදිශායෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ විසින් සිදුකරන ලද්දේ ය. වෙස්සන්තර ජාතක අනුවාදය උන්වහන්සේ විසින් අමුතු වැ ලියන ලද්දේ ය.
බුද්ධජයන්ති ත්රිපිටකග්රන්ථමාලාවෙහි මෙමැ ජාතකපාළි තෘතීයභාගය 32වැනි ග්‍රන්ථය වශයෙන් සලකනලද්දේ ය. සූත්‍රාන්තපිටකයෙහි සවිසිවන ග්‍රන්ථය යි. මෙහි ද ධර්මගවේෂීනට ඵලවත් වූ ගාථාදිපාද, සංඥානාම හා විශේෂපදානුක්රම සූචිගත කොට ඇත. තවද කවිශ්රෙෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ විසින් පද්යබන්ධවශයෙන් දේශනා කළ ජාතකගාථා සදහස්-නවසියපහක් (6905) පමණ වෙති. එයින් ගාථා දෙදහස්දෙසියඅටළොසක් (2218) ප්‍රථම භාගයෙහි ද, දෙදහස්එක්සියපනස්තුනක් ද්විතීයභාගයෙහි ද, මේ තෘතීයභාගයෙහි දෙදහස්පන්සියඅසූහයක් (2586) ද ඇතුළත් වෙත්.
ලංකා බෞද්ධමණ්ඩලය මඟින් ආරබ්ධ වූ, ත්රිපිටකග්රන්ථ ප්රකාශනය වර්තමාන ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති-තුමන් පත් ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ අනුග්‍රහයෙන් සිදුවන බව ආශීර්වාදමුඛයෙන් පවසම්හ. ග්රන්ථ පූර්වක වැ ධර්මප්රකාශනය මෙහෙයවන සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය තන්පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන් ද මෙහි ලා විශේෂයෙන් ප්‍රයුක්ත වැ ක්‍රියා කරන සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සෝමපාල ජයවර්ධන මහතාණන් ද ප්‍රශංසා පෙරටු කොට සඳහන් කරම්හ. එසේ ම සද්ධර්ම ප්‍රවෘත්තියට උපස්තම්භක වන තිසර මුද්රණාලයාධිකාරීතුමා ඇතුළු සේවක මණ්ඩලය ද, ත්රිපිටකසම්පාදක මණ්ඩලයට උපකාරී වැ ක්‍රියා කරන කොළඹ මහානායක චාරිකාරාමයේ නියුක්ත වූ ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතා ද කෘතඥතා-යෙන් සඳහන් කරම්හ. ශාසනාභිවර්ධනයට කාරණ වැ පවත්නා මේ සත්කාර්යයට අනුබල දෙන හැම සුධීහු සුභභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.
ලබුගම ලංකානන්ද මහානායකස්ථවිර, ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක, ප්‍රවචනොදය පිරිවෙන්හි දී, 2529 / 1986 දෙසැම්බර් මස 20 වැනි දින
සංඥාපන
සූත්රාන්තපිටකාගත ආභවොහාරිකයෙහි නොයෙක් තැනැ වැදෑ සිටුනා “සො ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුත ධම්මං වෙදල්ලං” යන නවාංග ශාස්තෘ ශාසනයෙහි සත්වැනි අංගය “ජාතක” නම් වෙයි.
අප මහ බෝසත් සුමෙධ තවුස් වැ දිවකුරු බුදුන් වෙතැ බුදුබවට නියත විවරණ ලැබැගෙනැ සාරාසැකි කප්සුවහසක් මුළුල්-ලෙහි දස පැරුම්දම් පුරනුව නොයෙක් කෙළසුවහස් ජාතියෙහි පුරුදු කළ බෝසත් සිරිත් පවසන කථා අතුරෙන් ධරමාන බුදුන් දවස් දඹදිව්හි ඒ ඒ තන්හි පහළ වූ ඒ ඒ කරුණට පැමිණැ අතීතාර්හිතාපසංහිත කොට වදාළ පාරමීදම් ප්‍රකාශක වූ ‘අපණ්ණක’ ජාතක පටන් ‘වෙස්සන්තර’ ජාතක හිම් කොට ඇති කථා පන්සිය පනසක් පමණ වූ ආභවොහාරිකය ජාතක නමින් වෙසෙසා හඳුන්-වනු ලැබේ.
ඛුද්දකනිකායාගත අවශේෂ ග්රන්ථයන් සෙයින් මැ ‘ජාතකපාළි’ ද ධරමාන බුදුන් දවස්හි මැ සම්භාවිත වැ ‘ජාතකභාණක’ ගණයෙහි පඨන පාඨන විසින් පැවැත්තේ යැ. ඒ පිළිබඳ නිදානකථා අතීතකථා සහිත අටුවාකථා ද එහි මැ පවත්වාගෙනැ එනලද යැ. බුදුන් දවසැ වාස කළ ‘ජාතකභාණක’ තෙර කෙනකුන් ගැනැ පපඤ්චසූදනී මජ්ඣිමනිකාය අටුවාකථායෙහි සඳහන් කරති. මහාකාශ්‍යප මහරහතුන් වහන්සේ ප්රමුඛ පන්සියක් ධර්මශ්රාවකයන් විසින් ග්‍රහණධාරණ පහසුව තකා එකක දුකාදි විසින් සංග්‍රහ කොට සංගීතියට නඟන ලදී.
එහි එකෙකි ගාථායෙන් යුත් කථා සංග්‍රහය එකක නිපාත යැ ගාථා දෙක බැගින් ඇති කථාසංග්රහය දුකනිපාත යැ ආදි විසින් සංඛ්‍යා පිළිවෙළින් තෙරසකය (13) තෙක් නිපාත සංග්‍රහ වෙයි. ඉක්බිති අසමාන සංඛ්‍යා සහිත ගාථා සංග්‍රහය ‘පකිණ්ණකනිපාත’යි නම් කරන ලද්දේ යැ. එතැන් සිට විස්සක් විසිනවයක් අතර වූ සංඛ්‍යා සහිත ගාථාසංග්රහ ‘වීසති නිපාත’ යැ තිසත් තිස්නවයත් අතර වූ ගාථාසංග්රහ ‘තිංසතිනිපාත’ යැ ආදි විසින් ‘අසීතිනිපාත’යැ තෙක් දසකයෙන් වැඩිගිය නිපාත ද නම් කොට අවසන්හි එන ජාතක දසය ‘මහානිපාත’ නමින් සංග්‍රහ කරන ලද්දේ යැ. ජාතකපාළියෙහි සියලු ගාථා 6905 කි.
ජාතක සංඛ්‍යා: ‘පන්සිය පනස් ජාතක’යි ව්‍යවහාරයෙහි ජාතක සංඛ්‍යාව 550 කි. මෙරට පළ වැ ඇති ජාතක ගණන 547 කි. ජාතකපාළියෙහි නො දක්නා තවද ජාතක ග්රන්ථාන්තරයෙහි දක්නා ලැබේ. ‘ධම්මසොණ්ඩ ජාතක’ ද නිකායාන්තර ‘ජාතක-මාලායෙහි දක්නා ‘ව්‍යාඝ්‍රී ජාතක’ ද ජාතක පාලියෙහි නැත.
චූළනිද්දෙස ‘පොසාල’ සුත්තනිද්දෙසයෙහි “භගවා පඤ්චජාතකසතානි හාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසති” යන තන්හි ජාතක පන්සියක් සඳහන් වෙයි. සුමඞ්ගල විලාසිනී දීඝනිකායට්ඨ-කථායෙහි “අපණ්ණක ජාතකාදීනි පඤ්ඤාසාධිකානි පඤ්ච ජාතක සතානි ජාතකන්ති වෙදිතබ්බං” යි පන්සිය පනස් ජාතක ගැනැ සඳහන් කරති.
සූත්‍රාන්තපිටකයෙහි ‘චරියාපිටක’ ද පාරමීධර්ම සැකෙවින් දැක්වෙන ජාතක සංග්‍රහයෙකි. එහි දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා යන දස පාරමීව්යාවන් දක්වනු පිණිස ජාතක පන්තිසක් (35) සංග්‍රහ කරන ලද්දේ යැ. බෞද්ධ සංස්කෘත ග්රන්ථ අතුරෙහි ‘ආර්ය්යශූර’යන්ගේ ‘ජාතකමාලා’ නම් ග්‍රන්ථය චරියා-පිටක ඇසුරින් රචිත වෙයි. ග්රන්ථ දෙක්හි මැ පද්යබන්ධවශයෙන් අසමානතා ද ඇත. එහි ජාතක සංඛ්‍යාව සූතිසෙකි.
එකක දුක ආදි නිපාතයන්හි සඳහන් වනුයෙ ජාතකකථාවෙහි වස්තුබීජය පමණි. මතු මතු නිපාතයන්හි අනුක්රමයෙන් කථා ප්‍රවෘත්තිය වර්ධනය වෙමින් අනාවරණ වෙයි. එහි කථාව අටුවා බලා මැ දතයුතු වෙයි. අටුවා කථා ද බුදුන් හමියෙහි මැ වාචනාවට නැඟී ඇදුරෝලෙහි පැවැතැ ආයෙ යැ. ඒ ‘බුදු කැලී අටුවා’යි පස්වැනි කසුප් මහ රජ දම්පියා අටුවා සන්නයෙහි ලා කියයි. දම්සෙනෙවි සැරියුත් මහරහත්තෙරණුවෝ චූළනිද්දෙසයෙහි ලා “භගවා පඤ්ච ජාතකසතානි හාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසති” ‘බුදුහු පන්සියක් ජාතක වදාරමින් තමන් වහන්සේගේ ද මෙරමාගේ ද අතීතය වදාරති’යි දක්වති.
මහානිපාතපාළියෙහි කථාප්රවෘත්තිය සපුරා දැක්වෙයි. අසීති නිපාත-යෙහි එන කුණාල ජාතකය ගද්‍ය පද්‍ය මිශ්‍ර වෙයි. පද්යබන්ධ මැදැහොත් ගද්යබන්ධ නැඟීසිටීම එහි දක්නා විශේෂයෙකි. කවිතායෙන් අනූන වූ උත්කලිකාප්රාය රමණීය රචනාවක් වූ එහි ගද්යඛණ්ඩයන්හි දෙශනා පාළියෙහි දක්නා සරල සුගමතාව නො පෙනෙයි. සුධීන්ගේ විමර්ශනය යොමු වියැයුතු තැනෙකි. කුණාල ජාතක වනවර්ණනයෙහි හා වෙස්සන්තර ජාතක හිමවත් වැනුමෙහි දක්නා විවිධ වෘක්ෂලතා හා පක්ෂිපක්ෂිහු ත්‍රිපිටකයෙහි අන් තැනෙකැ හමු නො වෙති. සූධාභොජන කුණාල වැනි ජාතක කිහිපයක මිස සෙසු ජාතකයන්හි කථා සමෝධානයෙක් ජාතකපාළියෙහි නැත.
කථාසාහිත්යය: පුද්ගල චරිත විවරණය මානව සමාජ සංස්-කරණයට අත්‍යන්තොපකාරී වන බැවින් කථාසාහිත්යයට විශ්වසාහිත්යයෙහි උස් තැනෙක් හිමි වෙයි. මහර්ෂි වාල්මීකීන්ගේ ‘රාමායණ’ මහර්ෂි ව්‍යාසයන්ගේ ‘මහාභාරත’ ගුණාඪ්යයන්ගේ ‘බෘහත්කථා’ ඇසුරින් කළ ක්ෂෙමෙන්ද්රයන්ගේ ‘කථාසරිත්සාගර’ විෂ්ණුශර්මන්ගේ ‘පඤ්චතන්ත්ර’ ‘ඊසොප්’ගේ උපමා කථා ‘අරාබි-නිසොල්ලාස’ ආදි විශ්වකීර්තියට පත් කථාසංග්රහ ජාතක කථා හමුවෙහි පසුබා සිටී. පුරුෂාර්ථ සම්පාදන සාමර්ථ්යයෙන් ආඪ්‍යවූ ජාතක කථා එහැම පසුබා සනාතන ස්වරූපයෙන් ඉදිරියෙහි සිටී. වස්තු සංඛ්‍යා අතිනුදු ජාතක සංග්‍රහ පෙරට එයි. ජාතක සංඛ්‍යාව පන්සිය පනසක් වුව ද එකෙකි කථාවක් පිළිබඳ වර්තමාන නිදාන කථාවකුදු ඇති බැවින් කථා සංඛ්‍යාව ද්විගුණ වෙයි. උම්මග්ග-ජාතක, කුණාලජාතක ආදි අතුරු කථාවෙන් සැඳුණු ජාතක ද ඇති බැවින් අන්විත කථා සංඛ්‍යාව තවද වැඩියයි. හැම කථාවක් මැ සමකාලීන සමාජයෙන් පැනැනැඟුණු කරුණක් මුල් කොට දෙසන ලද වන බැවින් ජාතක කථා බුද්ධකාලීන භාරත සමාජයෙහි සැබෑ තතු පිළිබිඹු වන කැඩපතක් බඳු වෙයි. එයින් තත්කාලීන භාරත සමාජයෙහි සාමාජික, ආර්ථික, සාමයික, ආධ්‍යාත්මික හා දේශපාලන තතු මැනැවින් අනාවරණ වෙයි.
සිංහල සංස්කෘතිය හා ජාතක: සිංහල සංස්කෘතිය ජාතක කථාවෙන් පෝෂණය වූවකි. දඹදිව බෞද්ධයනට වඩා හෙළදිව බෞද්ධයෝ ජාතක කථා කෙරෙහි ඉමහත් භක්ත්‍යාදරයක් දැක්වූහ. සිංහල උවසු උවැසියන් චරිතවර්ධනයට ආදර්ශ කොට ගත්තේ ජාතක කථාවෙහි එන බෝසත් සිරිත යැ, ඔහු කෙතෙහි කම්-හලෙහි දවසේ කටයුතු නිමවා ගෙට පැමිණැ විවේක කාලයෙහි ජාතක කථාවක් ගීතවත් වැ කියවා හෝ කියවනු අසා ආස්වාද විඳැ වෙහෙස නිවාගෙනැ සිතකය සනහාගත්හ. ‘පොතේ බණ පිරීම’යි ජනවහරෙහි පළට වූ විහාරස්ථානයෙහි දවරැය අඛණ්ඩ වැ පවත්වා ලන මාසික ත්‍රෛමාසික ජාතක දෙශනාවට ලද අවසරයෙහි සවන් දෙමින් ආස්වාද විඳිමින් බෝසත් සිරිත් උගත්හ. තුමු ද එය අනුකරණය කෙරෙමින් සුචරිතයට නැමෙති. ඉල්ලීස සූධාභෝජන ආදි ජාතක අසා මසුරුමල හැරපියති. දීඝීති කොසල වැනි ජාතක අසා වෛරය දුරු කෙරෙති. ඛාන්තිවාද ආදි ජාතක අසා ඉවසීම පුරුදු කෙරෙති. මහාධම්මපාල ආදි ජාතක අසා ප්‍රාණඝාතයෙන් වළකිති. වෙසන්තරැදු අසා පරිත්‍යාගයට නැමෙති. දෙවධම්ම ජාතක අසා හිරිඔතප් වඩති. ලොහකුම්භි වැනි ජාතක අසා පරදාර සමාගමයෙන් දුරු වෙති. සඳකිඳුරුදු අසා පතිවත රකිති. චෙතිය කක්කාරි වැනි ජාතක අසා මුසාවාදයෙන් වෙන් වෙති. කුම්භ ආදි ජාතක අසා රහමෙරින් දුරු වෙති. නන්දිවිසාල ජාතක අසා පරුෂවචන හැරපියති. තිත්තිර ජාතක අසා සම්ඵප්පලා-පයෙන් වළකිති. මාතඞ්ග ජාතක අසා කුලමාන දුරලති. මහිලාමුඛ ජාතක අසා අසත්සමාගමයෙන් දුරු වෙති. මාතුපොසක සාලිකේදාර ආදි ජාතක ශ්‍රවණයෙන් මාපිය උපස්ථානයට නැමෙති. කුණාල නලිනිකා ආදි ජාතක අසා ස්ත්‍රී ලොලුබව හැරපියති. චුල්ලසෙට්ඨි ජාතක අසා ධනෝපායන ක්රමෝපක්රම උගනිති. භූරිදත්ත ජාතක අසා සිල්පුරති. මඛාදෙවදු අසා පස්කම්හි ගිජුබව හැරපියති. අපණ්ණක ජාතක අසා විමසුම් නුවණ වඩති. වණ්ණුපථ ජාතක අසා විපතෙහි නො පසුබැස දැරිවඩා ඉන් මිදෙන සැටි උගනිති. වට්ටක ජාතක අසා සමගිබලය වටහති. දෙදහස් වසරකට අධික