32-KN-Jataka Pali 1.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1983
- මුද්‍රිත වර්ෂය :
- 1983
- පිටු ගණන :
- 630
- බාගත කිරීම් ගණන :
- 1,617
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 101 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 30 වන වෙළුම (සූත්‍ර පිටකයෙහි 24 වන ග්‍රන්ථය, ඛුද්දක නිකායේ දසවැනි වූ) වන මෙයින් ජාතකපාලි ප්‍රථම භාගය ඉදිරිපත් කෙරේ. මෙහි පාලි පාඨය සහ ඊට අදාළ සිංහල අනුවාදය අන්තර්ගත වන අතර, සිංහල පරිවර්තනය මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අතිපූජ්‍ය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කර ඇත.
ජාතකපාලි ප්‍රථම භාගයට ඒකක නිපාතයේ සිට විවිධ ජාතක ගාථාවන් ඇතුළත් වන අතර, ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය මගින් පෙළ සංශෝධනය කොට ගාථාදිපාද සූචිය, සංඥානාම හා විශේෂ පදානුක්රමණිකා සහිතව සම්පාදනය කර තිබේ. ජාතක දේශනා පිළිබඳ විස්තරාත්මක විශේෂ ප්‍රස්තාවනාව ජාතකපාලි තෘතීය භාගයෙහි ඇතුළත් වන බව මෙහි සංස්කාරක නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුග්‍රහයෙන් බුද්ධ වර්ෂ 2526 (ක්‍රි.ව. 1983) දී මෙම කෘතිය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.
සංස්කාරක නිවේදනය
අප තිලෝගුරු සම්මාසම්බුදුන් බුද්ධත්වයට පැමිණ පන්සාලිස් හවුරුද්දක් මුළුල්ලෙහි ආකාශගඞ්ගාප්රවාහයක් සෙයින් දෙශනා කොට වදාළ චතුරසීතිසහස්රසංඛ්යා වූ ධර්මස්කන්ධය ශාසනාශාසන නම් වෙයි. ශාසනාශාසනය වූකලි ‘සුත්ත ගෙය්යා’ දි අංග නවයෙකින් පරිමිත කොට බුදුරදුන් විසින් මැ නානාස්ථානයෙහි ලා වදාරන ලද්දේ ය. නවාංගයන් කෙරෙහි සත්වැනි අංගය වූයේ ජාතකාංගය යි. සාර්ධපඤ්චශත ජාතකයෙකින් පරිමිත වූ ජාතකාංගය බුදුරදුන් වදාළ සත්දහසකට ආසන්න වූ ගාථාවයන් හා අතීත කථාවෙන් ද යුක්ත වෙයි. ජාතකපාළියෙහි අත්ථොද්ධාරය දුෂ්කර යැ, බුද්ධානුමත වූ අර්ථ කථාව මැ වහල් කොටගෙන ජාතකාර්ථ නහාගතයුතු වෙයි. සිංහල ජනතාවගේ සද්භාවය සඳහා ජාතක කථාවෙන් ලැබෙන පිටුවහල සලකා වීරසිංහප්රතිරාජයන් විසින් ජාතකට්ඨකථා ඇසිරී කොට සිංහල ජාතක පොත නිපදවන ලද්දේ ය. ජාතකාර්ථාවබෝධය සඳහා රාජගුරුරුවන් ලියූ ජාතක සන්නයකුදු එසේ මැ අන්‍යතර ආචාර්‍ය්‍යවරයන් විසින් නිපදවන ලද ජාතක ගැටපදය හා වෙසතුරුදා සන්නය ද ඇත. මේ හැම කරුණෙකින් මැ ඈත අතීතයෙහි සිට සිංහල ජනතාව සම්භාවනා පූර්වක වැ ජාතක කථා පරිශීලනය කළබව සැලකිය යුතු වේ.
දෙදහස්පන්සියයේ බුද්ධජයන්ති අනුස්මරණය සඳහා පිහිටුවන ලද ලංකා බෞද්ධ මණ්ඩලය මගින් ආරම්භ කළ ක්රියාපද්ධතියෙහි විශිෂ්ටතම වූයේ පාළි ත්‍රිපිටක බුද්ධවචනය සියබසට නඟා පළකරවා ලීමේ අති දුෂ්කර කෘත්‍යය වේ. ඒ සඳහා ප්‍රයුක්ත වූ ත්‍රිපිටක මණ්ඩලය විසින් ජාතකපාළිය ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි 30, 31, 32 ග්රන්ථ වශයෙන් අංකිත වැ ඇත. එහි සිංහල පරිවර්තනය සඳහා ආරාධනා ලැබුවාහු මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති මඩිහේ සිරි පඤ්ඤාසීහාභිධාන මහානායක ස්ථවිරයන් වහන්සේ යි.
වර්තමාන ත්‍රිපිටක මණ්ඩලයෙහි ධර්මධර මහතෙරවරුන් විසින් ජාතකපාළි පාඨශොධනය ද කරමින් එහි සිංහල අනුවාදය ද මහත් පරිශ්‍රමයෙන් ශොධනය කොට මුද්‍රණයට සකස්කරන ලද්දේ ය. එසේ ම ධර්මගවේෂකයනට ඵලවත් වූ ගාථාදිපාද සූචිය ද සංඥානාම හා විශේෂපදානුක්රමණිකා ද පිළියෙළ කොට ඇත. ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි 30 වැනි ග්‍රන්ථය වූ ජාතකපාළි ප්‍රථම භාගය ප්‍රකාශයට පමුණුවාලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුග්‍රහය ද සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තැන්පත් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ විශේෂ උපදේශය ද ලැබීම අගය කොට සලකම්හ.
ශ්‍රී සද්ධර්මව්යාප්තිය සඳහා ක්‍රියා කරන ගරු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය තැන්පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන් ප්රමුඛ සංස්කෘතික අධිකාරියෙහි සුධීහු ද තිසර මුද්‍රණාලයෙහි කාර්ය්යමණ්ඩලය ද මේ සඳහා සහාය දෙන හැම පින්වත්හු ද ධර්මදානමය කුශල හේතුවෙන් සගමොක් සුව ලබත්වා යි ආශංසනය කරම්හ.
ජාතක දේශනා පිළිබඳ විශේෂ ප්‍රස්තාවනාව තෘතීය භාගයෙහි ලා ප්‍රකාශ කරනු ලැබේ.
ශාසනෝදයකාරී, ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිර (ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක), 115, මහානායක චාරිකාරාමයේ
ත්‍රිපිටක මණ්ඩලය,
විජේරාම මාවත,
කොළඹ 7.
2526/1983 අගෝස්තු 20 වැනි දින