31-KN-Therigatha.pdf

ප්‍රකාශිත වර්ෂය :
1972
මුද්‍රිත වර්ෂය :
1972
පිටු ගණන :
139
බාගත කිරීම් ගණන :
1,620
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
22 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 70

ථෙරීගාථාපාලි යනු ඛුද්දකනිකායට අයත් සූත්‍රාන්ත පිටකයේ එන විසිතුන්වැනි ග්‍රන්ථයයි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 29 වැනි වෙළුම (ඛුද්දකනිකාය නවවැනි භාගය) වශයෙන් මෙය ලංකාණ්ඩුවේ අනුග්‍රහයෙන් පළ කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී උතුම් රහත්භාවයට පත් භික්ෂුණීන් වහන්සේලා විසින් සිය විමුක්ති සුවය සහ ජීවිත අත්දැකීම් ප්‍රකාශ කරමින් දෙසූ උදාන ගාථාවන් මෙහි අන්තර්ගත වේ. එකක නිපාතයේ පටන් මහා නිපාතය දක්වා නිපාත 16 කින් යුතු මෙම පාළි පෙළෙහි ගාථා 521ක් පමණ අඩංගු වන අතර, බුද්ධකාලීන කාන්තා සමාජයේ ස්වරූපය මනාව විදහා දක්වන අගනා සාහිත්‍යමය හා ඓතිහාසික මූලාශ්‍රයක් වේ.

මෙම ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කර සංස්කරණය කරන ලද්දේ පණ්ඩිත ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිරයන් වහන්සේ සහ මාකඩවර විහාරාධිවාසී පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසිනි. මෙහි පාලි පාඨය, සිංහල පරිවර්තනය සහ අවසානයේ ගාථා පාදානුක්‍රමණිකා, සඤ්ඤානාමානුක්‍රමණිකා හා විශේෂපදානුක්‍රමණිකා ඇතුළත් වේ.

සංස්කාරක නිවේදනය

ඛුද්දකනිකායෙහි නවවැනි භාගය වූ ‘ථෙරීගාථාපාළිය’ සූත්‍රාන්ත පිටකයෙහි තෙවිසි වන ග්‍රන්ථය ද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලායෙහි එකුන්තිස් වැනි ග්‍රන්ථය ද වශයෙන් මෙසේ මුද්‍රණයෙන් නිකුත් වෙයි. මෙය ත්‍රිපිටක ග්‍රන්ථ මාලායෙහි වෙන මැ ග්‍රන්ථයක් වුව ද ප්‍රමාණයෙන් කුඩා වන බැවින් ථෙරගාථාපාළිය හා සමඟ එක් කොට මුද්‍රණය කරවීමට තීරණය කළෙමු. ථෙරගාථා මුද්‍රණාවස්ථාවෙහි මැ ථෙරීගාථා පරිවර්‍තනය ද කොට මෙසේ පාඨකයන් හමුවෙහි තබන්නට සිදු විය. මෙහි ලා ස්වායත්තකාර්‍ය්‍යසාධනයෙන් පර්‍ය්‍යාප්ති ශාසනාභිවෘද්ධිය පිණිස ක්‍රියා කළ රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධිකාරීහු ද ස්වදේශීය මුද්‍රණාලයේ කාර්‍ය්‍යමණ්ඩලය ද මෙයින් ජනිත කුශලයෙන් නිදුක් වෙත්වයි ආශංසනය කරම්හ.

ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ
ප්‍රධාන සම්පාදක.

1972 මැයි 27 වැනි දින
ත්‍රිපිටක කාර්‍ය්‍යාලයේ දී ය.
මහා නායක චාරිකාරාමය.
කොළඹ 7.

සංඥාපනය

අප මහසත්හු දිවකුරු බුදුරදුන් හමුවෙහි බුදු බවට නියත විවරණ ලබා චතුරසංඛ්‍ය කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්‍ම පූරණය කොට පශ්චිමාත්මභාවයෙහි තුසීපුරයෙන් සැවැ දඹදිව කිඹුල්වත්පුර සුදොවුන් මහරජාණන් නිසා, මහාමායා දේවීන් කුස පිළිසිඳගෙන කලියුග වර්‍ෂයෙන් දෙවාදහස් සාරසිය අටසැත්තෑ (2478) වැන්නෙහි වෙසඟ මැඳි පොහෝ දවස් ලුම්බිනී සල්උයන්හි මඟුල්සල්සෙවණෙහි බිහි වැ, සිදුවත් නම් ලබා කුමාර සැපයෙන් වැඩි හැම සිප්සතර ගෙවා, දූනැ ගිහිසැපත් වළඳා එකුන්තිස් වැනි වියෙහි අගමෙහෙසුන් යශොධරා දේවීන් කුසින් රහල් කුමරුන් බිහි වූ ඇසළ මැඳිපොහෝ දවස් මධ්‍යමරාත්‍රියෙහි ‘ඡන්න’ ඇමැතියාත් හා සමඟ ‘කන්ථක’ නම් මඟුලසුන් අරා මහබිනික්මන් කොට ‘අනොමා’ නම් නදීතීරයෙහි දී තවුස් පැවිදි වූහ.

බුද්ධත්‍වය: සිදුවත් තවුසාණෝ අනුක්‍රමයෙන් රජගහනුවර වැඩ මගධෙශ්වර බිම්බිසාර මහරජාණන් විසින් රාජ්‍යයෙන් කළ නිමන්ත්‍රණ ද පිළිකෙව් කොට ‘කිංකුශලගවෙසී’ වැ ඇවිදිමින් ආලාරකාලාම තවුසාණන් කෙරෙහි සප්තසමාපත්ති උපයා උද්දකරාමපුත්‍ර තවුසාණන් කෙරෙහි අෂ්ට සමාපත්ති උපයාගෙන එහි දු මොක්‍ෂය නො දැක, උරුවෙල්දනව් වැඩ සාවුරුද්දක් දුෂ්කර තපස් කොට එ ද තුච්ඡ බැවින් හැරපියා යළිදු කාය සන්තර්පණයෙන වෙසඟ මැඳිපොහෝ දවස් සෙනානී ගම ‘සුජාතා’ නම් සිටුදුව දුන් කිරිපිඬු පිළිගෙන ‘නෙරඤ්ජරා’ නදී තීරයෙහි දී වළඳා සවස් වේලෙහි ගයායෙහි ඇසතු බෝරුක් මුලට එළඹැ ‘සොත්ථිය’ බමුණු දුන් තිණ අතුරා ඊ මත්තෙහි වැඩහිඳ ආනාපානසති වඩා ධ්‍යාන උපයා පෙරයමැ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කොට මැඳුම්යමැ දිවැස පිරිසුදු කොට පැසුළුයමැ ප්‍රතීත්‍යසමුත්පාදයෙහි නුවණ බහා අනුලොම-ප්‍රතිලොම විසින් ප්‍රත්‍යයාකාර සමන්විත කෙරෙමින් විදර්ශනා වඩා සම්යක්-සම්බෝධිය සම්ප්‍රාප්ත කළහ.

මහණ සස්න: බුදුහු පලසමවත් සුව විඳිමින් සත්සති ගෙවා රාජායතන මූලයෙහි දී ‘තපුස්ස භල්ලික’ වෙළෙඳ දෙබෑයන් පිළිගත්හ. අන්‍ථසුභු හා මධු පිඬු වළඳා අජපාලමූලයෙහි දී බ්‍රහ්මාරාධනා පිළිගෙන අටළොස් යොදුන් මඟ ගෙවා ඇසළ මැඳි පොහෝ දවස් බරණැස ඉසිපතනයට වැඩ පස්වග මහණුනට ධම්සක් පවත්වා ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ’ තෙරුන් සෝවන්පෙලෙහි පිහිටුවා නික්මිනියැ අවපෑළවිය දවස් ‘භද්දිය’ තෙරුනුදු දියවක් දවස් ‘වප්ප’ තෙරුනුදු තියවක් දවස් ‘මහානාම’ තෙරුනුදු ජලවක් දවස් ‘අස්සජී’ තෙරුනුදු සෝවන් පෙලෙහි පිහිටුවා විසෙනි දවස් ‘අනත්තලක්ඛණ’ සූත්‍ර දෙශනායෙන් පස්දෙනා වහන්සේ මැ අර්හත්වයට පත් කොට ‘එහිභික්ඛු’ පැවිදි දී සසුන් පිහිටුවා ඉසිපතන්හි දී මැ බරණැස් සිටුපුත් ‘යස’ ප්‍රමුඛ පස්පනස් පුරුෂයන් ද ‘කප්පාසික’ වනළැහැබෙහි දී ‘භද්දවග්ගිය’ කුමරුන් තිස් දෙනා ද ගයාශීර්‍ෂයෙහි අතලගල්හි දහසක් පුරාණජටිලයන් ද රහත්බැව්හි පිහිටුවා ‘එහිභික්ඛු’ පැවිදි දී රජගහනුවර වැඩ මගධෙශ්වර බිම්බිසාර ප්‍රමුඛ එකොළොස්නුහුතයක් දෙනා සෝවන් පෙලෙහි පිහිටුවා වෙළුවන විහාරය පිළිගෙන වැඩවසනසේක් පිරිස් සමග තමන් වහන්සේ කරා පැමිණි සැරියුත්-මුගලන් දෙනම අග්‍රඵලයට පමුණුවා

අගසව් තන්හි තබා කාළුදායී තෙරුන්ගේ අයදුමින් කිඹුල්වත්පුර වැඩ යමාමහ පෙළහර පා නෑයන්ගේ මන් බිඳ පියරජු අනගැමි පෙලෙහි ද ප්‍රජාපතී ගොතමිය සෝවන් පෙලෙහි ද පිහිටුවා මල්බෑ නන්දකුමරු ද පුතු රාහුලකුමරු ද පැවිදි කරවා පෙරළා රජගහනුවරට වැඩිසේක.

මෙහෙණසස්න: මෑත භාගයෙහි විශාලා මහනුවර කූටාගාරශාලායෙහි වැඩවසන සමයෙහි සුදොවුන් මහ රජු සේසත්වට රහත් වැ පිරිනිවි කල්හි ප්‍රජාපතී ගොතමීහු පැවිදි වනු රිසි වැ ‘රෝහිණී’ නදීතීරයෙහි දී ‘කලහවිවාද’ සූත්‍රාන්ත දෙශනා අසා පැවිදි වූ පන්සියක් කුමරුවන්ගේ පාදපරිචාරිකාවන් පන්සිය ද කැටි වැ ගෙන තුමූ නෑහෑවියකු ලවා කෙශ සිඳුවාගෙන කහවත් හැඳපෙරෙවැ විශාලා මහනුවර කූටාගාරශාලාවට පැමිණැ අනඳ තෙරණුවන් ලවා බුදුරදුන් අයදවා අෂ්ටගුරුධර්‍ම පිළිගෙන බුදුරදුන් කෙරෙහි පැවිදි උපසම්පද ලදහ. සෙසු පන්සියක් කුමරියෝ ද භික්‍ෂු-සංඝයා කෙරෙහි පැවිදි උපසම්පන් ලදහ. ප්‍රජාපති ගොතමීහු බුදුන් කෙරෙහි දහම් අසා කමටහන් වඩා රහත් වූහ. සෙසු පන්සියක් භික්‍ෂුණීහු ‘නන්දකොවාද’ සූත්‍රාන්ත අසා රහත් වූහ.

ථෙරීගාථා: මෙසේ මෙහෙණ සස්න පිහිටි කල්හි ඒ ඒ ගම්නියම්ගම් රජදහන්හි නොයෙක් සියදහස් ගණන් කුල කුමරියෝ තුනුරුවන් ගුණ අසා පැහැද පැවිදි වැ පිළිවෙත් පුරා රහත් වූහ. ඔහු අධිගත ඵලවිශෙෂයන් සිහි කොට උපන් ප්‍රීතිසොමනස්සයෙන් උදානාදි වශයෙන් ගාථා වදාළහ. ඔවුනතුරෙහි ‘ථෙරිකා’ ආදි කොට ‘සුමෙධා’ තෙක් රහත් මෙහෙණින් විසින් භාෂිත ගාථා එක්රැස් කොට එකකනිපාතාදි වශයෙන් විභාග කොට ‘ථෙරීගාථා’ නමින් ගෙන සංගීතිකාරක මහතෙරවරු සංගීතියට නඟාලූහ.

එහි එකකනිපාතය පටන් නවකනිපාතය තෙක් පිළිවෙළින් ගාථා සංග්‍රහ ඇත. ඉක්බිති එකාදසක, ද්වාදසක, සොළසක, වීසති, තිංසති, චත්තාලීස නිපාත ද, මහානිපාතය දැයි සියලු නිපාත සොළසෙක් වෙයි. එකකනිපාතයෙහි ගාථා අටළොසෙක, දුකනිපාතයෙහි ගාථා සංග්‍රහ දශයෙක, තිකනිපාතයෙහි අටෙක, චතුක්කනිපාතයෙහි එකෙක, පඤ්චක නිපාතයෙහි දොළසෙක, ඡක්කනිපාතයෙහි අටෙක, සත්තක නිපාතයෙහි තුනෙක, අට්ඨක, නවක, එකාදසක, ද්වාදසක, සොළසක නිපාතයන්හි එකී එකී ගාථා සංග්‍රහයෙක, වීසති නිපාතයෙහි ගාථා සංග්‍රහ පසෙක, තිංසති, චත්තාලීස, මහානිපාතයන්හි එකී එකී ගාථා සංග්‍රහයෙකි. මෙසේ ථෙරීගාථායෙහි සියලු ගාථාසංග්‍රහ තෙසැත්තෑවකි. පඤ්චක නිපාතයෙහි එකොළොස් වන ගාථා සංග්‍රහය ත්‍රිවිද්‍යාප්‍රාප්ත තෙරණියන් තිස් දෙනකුන්ගේ භාෂිතයෙකි. එකකනිපාතයෙහි පළමු වන ගාථාසංග්‍රහය පන්සියක් තෙරණියන්ගේ භාෂිතයෙකි. මෙසේ බලත් මැ ගාථාසංග්‍රහයන්ගේ සංඛ්‍යාව තෙසැත්තෑවක් වුව ද තෙරණියෝ සසියදෙනෙක් මෙහි ඇතුළත්ව සිටිති. ඒ බව අට්ඨකථායෙහි දු ‘ඡසතමත්තා ථෙරියො’යි දක්වන ලද්දේ යැ. ගාථා ද පන්සියක් පමණ ඇතැයි අට්ඨකථායෙහි සඳහන් වතුදු ථෙරීගාථා පාළියෙහි විද්‍යමාන ගාථා සංඛ්‍යාව පන්සිය විසිඑකෙකි. ථෙරීගාථාවසාන උද්දානයෙහි සඳහන් සංඛ්‍යා පෙළ සමඟ හෝ අටුවා සමඟ හෝ නොසැසඳෙයි. එහි දැක්වෙනුයේ ගාථා සාරසියසූවානූවක් ද තෙරණියන් එක්සිය එක් දෙනකුත් ද ඇති බව යි.

බුද්ධකාලීන වනිතාව: බුද්ධකාලීන භාරතීය වනිතාවන්ගේ තතු විමසනුවනට ථෙරීගාථාපාළිය අගනා නිධානයෙකි. ඔහු එදා බ්‍රාහ්මණ ධර්‍මයෙන් මිරිකී නිවසෙහි මැ සිර වී සිටියහ. වේදය ඉගෙනීමට හෝ දෙවොලකට පිවිසීමට හෝ යාගහොම ආදි ආගමික ක්‍රියාවන්ට සම්බන්ධ වීමට හෝ ඔවුනට අවසර නො ලැබිණ. හිමියා මළ කල්හි අන් හිමියකුගේ සරණ ලබා ගැනීමට ද බිරිඳට අවසරයක් නො වී යැ. ඇය විසින් කළ යුතු කාර්ය දෙකෙක: හිමියා දවන චිතකයට පැන සතිපූජාවෙන් දිවි නසාගෙන පරලොව්හි දී ඔහු හා එක්වීම හෝ දිවිහිම් කොට අන් පුරුෂයකු නො සිතා මළ හිමියා කෙරෙහි මැ සිත පිහිටුවා, පතිව්‍රතය රැකැ පරලොව්හි දී ඔහු හා එක්වීම හෝ යි. මෙසේ අනාථ වැ සිටි භාරත වනිතාව බුදුසමයෙහි පිහිට ලබා නැගීසිටි අයුරු ථෙරීගාථාවෙන් අනාවරණය වෙයි. බුදුසමය පැතිරගිය තාක් භාරතභූමියෙහි නොයෙක් විධියෙන් පැමිණ පැවිදි වැ රහත් වූ මෙහෙණහු ථෙරීගාථායෙහි හමු වෙති. ඔවුනතුරෙහි රජ මෙහෙසියෝ ද මහසල්කුලෙහි බැමිණියෝ ද සිටුදියැණියෝ ද ගෘහපතිහු ද වෙති. එ මතු නො වැ ගණිකාවෘත්තිය ජීවනෝපාය කොටගත් අභිරූපිකාවෝ ද සත්තාසනය ජීවනෝපාය කොටගත් වැදිඳැහැන්නෝ ද එ හැම හැරපියා අවුත් පැවිදි වැ රහත් වූහ.

මහාප්‍රජාපතීගොතමීන් හා සමඟ ශාක්‍ය කුමරියෝ පන්සියක් දෙනා පැවිද්දට වන්හ. ‘උබ්බිරී’ කොසොල් මහරජුගේ මෙහෙසියකි. ‘ඛෙමා’වෝ මද්දවරට රජුගේ දියණියෝය, මගධයේ බිම්සර මහරජුගේ අගමෙහෙසියැ. ‘සෙලා’වෝ අලව් රට රජුගේ දියැණියෝ යැ. ‘සුමෙධා’වෝ මනතාවතී නුවර ‘කොඤ්ච’ රජුගේ දියැණියෝ යැ, වාරණවතී නුවර ‘අණීකදත්ත’ කුමරුට විවාහ කොට දෙනලද්දහු පතිකුලයට නො ගොස් පැවිදි වූහ. ‘සාමා’ කොසැඹිනුවෙහි ‘උදෙන’ රජුගේ මෙහෙසි සාමාවතීගේ යෙහෙළියකි. ‘සොමා’වෝ මගධයේ බිම්සර රජ්හුගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ දියැණියෝ යැ. ‘භද්දාකාපිලානී’ මද්දවරට සාගල නුවර කොශියගොත්‍රයෙහි බ්‍රාහ්මණයකුගේ දියැණියෝ යැ, මහසුප් මහතෙරණුවන්ගේ පුරාණදුතියිකාවෝයි. ‘චිත්තාකාළිකා’ හා ‘නන්දුත්තරා’ හා දෙදෙන කුරුවට කල්මාෂදම්‍ය නිගමයෙහි බ්‍රාහ්මණාංශ ඇතියෝ යැ. ‘රෝහිණී’ වජ්ජිරට වෙශාලියෙහි ආඪ්‍යකුලයෙක බමුණුදුවකි. ‘ජීවකම්බවනිකාසුභා’ රජගහනුවර මහසල් කුලයෙක බමුණුදුවකි. ‘චාලා’ ‘උපචාලා’ ‘සිසුපචාලා’ තිදෙන ‘නාලක’ ගම රූපසාරී බැමිණියගේ දියැණියෝ යැ, ‘සැරියුත්’ මහතෙරණුවන්ගේ නැඟැණියෝ යි. ‘සීහා’වෝ වෙශාලියෙහි ‘සීහ’ සෙනාපතිහුගේ නැඟැණියන්ගේ දියැණියෝ යැ. ‘ඉසිදාසී’ අවන්ති උදෙනි නුවර ආඪ්‍ය කුලයෙක සිටුදුවකි. ‘උප්පලවණ්ණා’ කොසොල් රට සැවැත්නුවර සිටුදුවකි. ‘වඩ්ඪමාතා’ භරුකච්ඡ නගරයෙහි කුලදුවකි. ‘අඩ්ඪකාසී’ කාසීනගරයෙහි නගරශොභිනියකි, ඇය හා දිනක සහවාසයට සුංවත් කහවණු අඩදහසෙකි. ‘අභයමාතා’ (පදුමවතී) අවන්ති රට උදේනිපුර නගරශොභිනියකි, බිම්සර රජ්හුගේ දරු අභයරාජකුමර ඇයගේ පුතෙකි. ‘අම්බපාලී’ වජ්ජි රට විශාලායෙහි නගරශොභිනියකි, මගධයේ බිම්සර මහරජ ද වෙස්වළා ඇය කරා ගියේ යැ. ‘විමලා’ වෙශාලියෙහි සිටි ප්‍රසිද්ධ රූපූපජීවිනියකි, වරෙක මහමුගලන් තෙරණුවනුදු කාමයෙන් පොළොඹාගන්නට තැත් කළ ද උන් වහන්සේගේ ඔවා අසා සංවිග්න වැ පැවිදි වැ රහත් වූ යැ. ‘සුභා’ රජගහ නුවර ලෝකුරු දුවකි. ‘පුණ්ණා’ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ ගෘහ දාසියකි, උදකසුද්ධික බමුණකු දමනය කොට තුනුරුවන් කෙරෙහි පහදවාලු

ඇය කෙරෙහි ප්‍රසාදයට පත් සිටුතුමා විසින් නිදස් කරනු ලැබැ පැවිදි වැ රහත් වූ යැ. ‘චාපා’ වැදිදුවකි, ‘උපක’ ආජීවකයන්ගේ දුහිතෘකාව යැ, උපක සස්නෙහි පැවිදිවූ පසු ‘චාපා’ ද පැවිදි වැ රහත් වූ යැ.

ළදරු පුතුගෙන් ද දුවගෙන් ද වියෝ වූ මවක් ඔවුනොවුන් නො හැඳින කලක් දියැණියන් හා සමඟ සිය පුතුගේ මැ සපත්නී භාර්ය්‍යා වැ වැසූ කරුණු අනාවරණය වූ පසු සංවෙගයට පැමිණ පැවිදි වූ අයුරු උප්පලවණ්ණා තෙරණීන් හමුවෙහි ප්‍රකාශ කළ සැටි උප්පලවණ්ණා ථෙරීගාථායෙන් අනාවරණය වෙයි.

උදෙනිපුර ආඪ්‍ය සිටුකුලයෙක එක් මැ දියැණියන් ගිය ගිය පතිකුලයෙන් නෙරනු ලැබ ගෙදොරට සිඟා ආ යදියකුට විවාහ කොට දුන් සැටිත් ඔහු ද කිහිප දවසක් වැසැ ඇය හැරපියා සිඟමනට බැසගිය සැටිත් ‘ඉසිදාසී’ ථෙරීගාථායෙන් අනාවරණය වෙයි.

‘ජීවකම්බවනික සුභා’ තෙරණියන් කාමයෙන් පොලොඹාගන්නට ධූර්‍තයකු කළ වැනුම රසබර කවිපන්තියෙකි. සුභා තෙරණියෝ ඔහුගේ වශයට හේතු වූ ඇස උපුටා ඔහු අත තැබූ අයුරු පහත්සංවෙග දනවයි.

‘අම්බපාලී’ තෙරණියන් තමන්ගේ යොවුන්වියත් මහලුවියත් සංසන්දනය කෙරෙමින් වදාළ අනිත්‍යතාප්‍රතිසංයුක්ත ගාථා මදනිම්මදනයට මහඟි ඔසුවක් බඳු යැ. මේ ආදි බුද්ධකාලීන භාරතීය වනිතාවන් පිළිබඳ නොයෙක් අගනා ප්‍රවෘත්තීන් ථෙරීගාථාපාළිය පිරිසිඳියි.

පරිවර්‍තනය: ථෙරගාථා මුද්‍රණයට පමුණුවන තුරු ථෙරීගාථා පරිවර්‍තනයට පත් නො වී යැ. වෙන මැ ග්‍රන්ථයක් ලෙස මුද්‍රණයට ප්‍රමාණවත් නො වූ හෙයින් ථෙරීගාථා ද ථෙරගාථා හා සමඟ එක් කොට මුද්‍රණය කරවීමට තීරණය කරගන්නා ලදී. එයින් ථෙරගාථා මුද්‍රණාවසරයෙහි මැ ථෙරීගාථා පරිවර්තනය ද කළයුතු විය. පරිවර්‍තනකාර්‍ය්‍යය ත්‍රිපිටකසම්පාදකමණ්ඩලයෙහි ප්‍රධාන සම්පාදක පණ්ඩිත ලබුගම ලංකානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද සහායසම්පාදක පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර වන අප ද යන දෙනම විසින් කරනලදි. ශොධන අවස්ථාවෙහි ත්‍රිපිටකසම්පාදකමණ්ඩලයෙහි සභාපති පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද සහාය වූහ. පාඨශොධනයේ දී එංගලන්තයේ පාලිපොත් සමාගමේ (PTS) මුද්‍රණය හා ද ධර්‍මසේන මුද්‍රණය හා ද හෙවාවිතාරණ මුද්‍රණය හා ද මරම්මඡට්ඨසඞ්ගීති මුද්‍රණය හා ද සංසන්දනය කරනලදි. විශේෂයෙන් කිවයුතු දැය ථෙරගාථා සංඥාපනයෙහි කියනලද වන බැවින් මෙහි වටාලා නො කියම්හ.

මෙයට,
කරහම්පිටිගොඩ සුමනසාර.
බු. ව. 2514
ක්‍රි. ව. 1972 මැයි 27 දින
ත්‍රිපිටක කාර්‍ය්‍යාලයේ දී යැ.
මහානායක චාරිකාරාමය,
කොළඹ 7.