30-KN-Vimanavatthu Petavatthu.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1982
- මුද්‍රිත වර්ෂය :
- 1982
- පිටු ගණන :
- 458
- බාගත කිරීම් ගණන :
- 1,779
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 81 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා රජය මඟින් ප්‍රකාශිත බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 26 සහ 27 වන වෙළුම් එකට එක්කොට පළ කරන ලද, ඛුද්දක නිකායට අයත් විමානවත්ථුපාළි සහ පෙතවත්ථුපාළි කෘතීන්හි පාලි පෙළ සහ සිංහල අනුවාදයයි. බුද්ධ ජයන්ති මණ්ඩලයේ ආරාධනයෙන් විමානවත්ථු පෙළ සියබසට නඟන ලද්දේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය දැරූ හාල්යාලේ සුමනතිස්ස නාහිමියන් විසිනි. අනතුරුව ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් පාඨශෝධන පූර්වකව සංස්කරණය කරන ලදී.
විමානවත්ථු ප්‍රකරණය මඟින් මනුෂ්‍යයන් විසින් කරන ලද විවිධ කුසල් සහ පුණ්යකර්මයන්හි ඵල වශයෙන් දෙව්ලොව දිව්‍ය විමානාදී සම්පත් ලැබූ ආකාරයත්, ඊට අදාළ කථා පුවත් සහ ධර්ම දේශනාවනුත් ඉදිරිපත් කෙරේ. මෙහි භාරතීය සමාජ තොරතුරු, භාෂාමය ලක්ෂණ හා ව්‍යාකරණ විශේෂතා පිළිබඳව හිඟුල රෙවත පිරිවෙන්පති රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් විසින් රචිත දීර්ඝ සංඥාපනයක් ද ඇතුළත් වේ.
මෙහි අන්තර්ගත ප්‍රධාන අංශ කිහිපයකි:
- සංස්කාරක නිවේදනය හා සංඥාපනය
- සංඛ්‍යාත නිරූපණය හා ශුද්ධාශුද්ධතා දර්ශනය
- විමානවත්ථු විසය සූචි
- විමානවත්ථු පෙළ හා සිංහල අනුවාදය (පීඨ, චිත්තලතා, පාරිච්ඡත්තක ආදී වර්ග 7)
- ගාථාදිපාද සූචිය සහ නාම, පද අනුක්රමණිකා
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ගාමිණී කන්නන්ගර මහතාගේ මූල්‍ය අනුග්‍රහයෙන්, තිසර මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද මෙහි පළමු මුද්‍රණය බු.ව. 2524 (ක්‍රි.ව. 1982) දී නිකුත් විය.
සංස්කාරක නිවේදනය
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි සවිසිවන (26) ග්‍රන්ථය වශයෙන් සම්මත කරන ලදුයේ ‘විමානවත්ථුපාළි’ යි. පඤ්ච මහානිකාය ග්රන්ථයන් කෙරෙහි ‘ඛුද්දකනිකායෙහි’ ලා සඞ්ගීත වූ “විමානවත්ථු පාළිය” එම කුදුගත්සඟියේ සවැනි ග්‍රන්ථය ද වෙයි.
ලංකා බෞද්ධමණ්ඩලය මගින් දෙදහස්පන්සියවැනි සම්බුද්ධ මඞ්ගලය සිහිකිරීම සඳහා සම්මත කළ සත්ක්රියාවලියෙහි ප්‍රමුඛස්ථානයට පැමිණියේ ත්‍රිපිටක බුද්ධවචනය සිංහල භාෂාවෙන් තැබීම යැ. එහි ලා විමානවත්ථුපාළිය සියබසට නඟාලීම සඳහා ආරාධිත වූවාහු මහනුවර මහාවිහාරපරිවෙණාධිපති රාජකීයපණ්ඩිත විද්‍යාවිශාරද හාල්යාලේ සුමනතිස්සාභිධාන සියම් මහනිකායේ අස්ගිරි විහාරපාර්ශ්වයේ අනුනායකස්ථවිරයන් වහන්සේ යැ. උන්වහන්සේ විසින් යථාකාලයෙහි පරිවර්තනකාර්ය්යය නිමහම් කරන ලද්දේ යැ.
යළි වර්තමාන ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයෙහි ධර්මධර පණ්ඩිත මහතෙරවරුන් විසින් පාඨශෝධන පූර්වක වැ පරිවර්තනය ද මැනැවින් සංස්කරණය කොට මුද්‍රණය සඳහා සකස් කරනලද්දේ ය. හිඟුල, මාකඩවර ‘රෙවත’ පරිවෙණාධිපති රාජකීයපණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් ‘විමානවත්ථු, පෙතවත්ථු’ යන ග්‍රන්ථද්වය මැ පිළිබඳ කොට දතයුතු හැම කරුණක් මැ අලළා වෙන වෙන මැ ලියනලද සංඥාපන දෙකක් ද මෙහි ඇත. එය මේ ග්රන්ථයන් පිළිබඳ වැ අධ්‍යයනයක් ලබනුවනට මහත් පිටුවහලක් බව කියයුතු වේ.
මේ අධිකාරයෙහි අනුග්‍රාහක වූ අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණන් හා ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාණන් ද ගරු සංස්කෘතික අමාත්‍ය තැන්පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන් හා ත්‍රිපිටක ග්රන්ථ ඉක්මනින් පළකරවාලීම සඳහා ඉමහත් උද්යෝගයෙන් ක්‍රියා කරන සංස්කෘතික අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් තැන්පත් සෝමපාල ජයවර්ධන මහතාණන් ද කෘතවේදී වැ මෙහි ලා සඳහන් කරම්හ.
තවද ආරම්භක බෞද්ධමණ්ඩලයෙහි සත්පුරුෂයන් හා ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයට හැම ලෙසින් පහසුකම් සලසන මහානායක චාරිකාරාමයෙහි නියුක්ත ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතා හා තිසර මුද්රණාලයාධිකාරීන් ඇතුළු සේවක මණ්ඩලය ද මෙහි ලා සිහිපත් කරන අතර මෙ හැම දෙන පර්ය්යාප්තිශාසනප්රවර්තන කුශල හේතුවෙන් සුඛභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.
ශාස්ත්රාශාසනෝදයකාරී, ලබුගම ලංකානන්ද මහානායකස්ථවිර. 1982 ජනවාරි 30 වැනි දින ත්රිපිටකකාර්ය්යාලයේ දී යැ. 115, විජේරාම මාවත කොළඹ 7.
සංඥාපනය
සුත්තන්තපිටකයෙහි ඛුද්දකනිකායයෙහි සඞ්ග්‍රහයට ගිය විමානවත්ථු වූකලී දෙවියන් විසින් පූර්වජන්මයෙහි කරනලද පින්කම් ද එහි ඵල ප්රත්යක්ෂ කරන දිව්යවිමානාදි සම්පත් ද ප්‍රකාශ වන, එහෙයින් මැ හුදී ජනයාගේ සිත්සතන් සුවරිතයට නමාලන ජනකාන්ත කථා සඞ්ග්රහයෙකි. නවාඞ්ගශාස්තෘශාසනයෙහි ගාථාඞ්ගයෙහි ඇතුළු වන මෙහි ගාථා පෘච්ඡා විසර්ජන විසින් ද්විවිධ වෙයි. විසර්ජන ගාථා ඒ ඒ දෙවඟනන් විසින් ද දෙවපුතුන් විසින් ද ප්‍රකාශිත යැ. පෘච්ඡා අතුරෙහි ඇතැම් ගාථා බුදුරදුන් විසින් ද සක්දෙව්රජු ආදීන් විසින් ද ශ්‍රාවකයන් විසින් ද අසනලද යැ. එහි දු බහුතර සඞ්ඛ්‍යාව ද්විතීය ශ්‍රාවක මහමුගලන් මහරහතුන් වහන්සේ විසින් අසනලද ගාථා යි.
උන් වහන්සේ දෙව්ලොව සැරිසරා ඒ ඒ දෙවියන් ලද සම්පත් බලා එයට හේතු විසින් ඔවුන් කළ පින්කම් අසාගෙන අවුත් බුදුරදුන් හමුවෙහි ප්‍රකාශ කෙරෙති. බුදුහු පින්පල පසක් කරවන පිණිස සිවුපිරිසෙහි දෙශනා කෙරෙති. ඒ අසා සැදැහැතියෝ පින්කම්හි උත්සුක වෙති, දුසිරිතින් මිදී සුසිරිතට නැමෙති. එහෙයින් මේ දෙශනා බෙහෙවින් ඵලවත් ද ජනකාන්ත ද වී. ධර්මදෙශකයෝ පුණ්යඵලනිදර්ශනයෙහි ලා විමානවත්ථු උපයොග කරගනිති. එ මැ දෙසුම් උවසුඋවැසියන්ගේ මන වඩයි. විමානවත්ථු සියබසට නැඟූ ගම්මුල්ලේ රතනපාල තෙරණුවනට කීර්ති ශ්‍රී රාජසිංහ රජ සත්මුණික කෙත් සහිත වැ හිඟුලවිහාරය පිදූ බව සිංහල විමානවත්ථු ප්‍රකරණයෙහි සඳහන් වෙයි.
‘විමානවත්ථු’ යන මෙහි ‘විමාන’ නම් දෙවියන්ගේ ක්රීඩානිවාස ස්ථාන යැ. ඒවා උන්ගේ සුචරිතකර්මානුභාවයෙන් නිපන් ප්‍රමාණ විශේෂයෙන් යුක්ත බැවින් විශේෂයෙන් මානනීය වන බැවින් ‘විමාන’ යි කියනු ලැබෙත්. විමානයන්ගේ ‘වත්ථු’ විමානවත්ථු යැ. ‘වත්ථු’ ශබ්දය කාරණ පර්‍ය්‍යාය යි. ඒ ඒ දෙවියන්ගේ රූප භොග පරිවාරාදි සම්පත් ද එය උපදවන කර්ම ද ඇසිරි කොට මේ දෙශනා ප්‍රවෘත්ත බැවින් විපාකමුඛයෙන් හෝ කර්මවිත්තයවට කාරණ භාවයෙන් ‘විමානවත්ථු’ නමැ යි දතයුතු.
ඒ මේ විමානවත්ථු වර්ග විසින් පීඨවර්ග යැ චිත්තලතාවර්ග යැ පාරිච්ඡත්තකවර්ග යැ මඤ්ජෙට්ඨකවර්ග යැ මහාරථවර්ග යැ පායාසිවර්‍ග යැ සුනික්ඛිත්තවර්ග යැයි වර්ග සතෙකින් පරිමිත යැ. පළමු වැන්නෙහි වස්තු සතළොසෙකැ දෙ වැන්නෙහි එකොළොසෙකැ තෙවැන්නෙහි දසයෙකැ සතර වැන්නෙහි දොළොසෙකැ පස් වැන්නෙහි තුදුසෙකැ සවැන්නෙහි දසයෙකැ සත් වැන්නෙහි එකොළොසෙකැ යි පසැසූ වස්තුයෙක් වෙයි. එහි දු පළමු සතරවගෙහි ස්ත්රීවිමානවත්ථු පනසෙක් ද ඉතිරි තුන්වගෙහි පුරුෂවිමානවත්ථු පන්තිසෙක් ද දක්වන ලද්දේ යි.
මොවුනතුරෙහි කිහිපයක් හැර බහුතර සඞ්ඛ්‍යාව බුදුරදුන් ධරමාන කාලයෙහි භාරතීය සමාජයෙහි පහළ වූ කථා යි. මල්ලිකාවිමාන වස්තු යැ විසාලක්ඛිවිමාන වස්තු යැ පීතවිමාන වස්තු යැ චූළරථවිමාන වස්තු යැ උත්තරවිමාන වස්තු යැ සෙරිස්සකවිමාන වස්තු යැ යන මොහු සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පහළ වූවාහු වෙති. එහි දු සෙරිස්සකවිමාන වස්තුව හැර අවශේෂ සියලු කථා ප්රථමසඞ්ගායනා අවස්ථාවෙහි සඞ්ගීතියට නැඟුණාහු වෙති. සෙරිස්සක විමාන වස්තු ද්විතීය සඞ්ගායනායෙහි දී සම්භව තෙරුන් විසින් සඞ්ගීතිකාරක මහතෙරවරුනට ආරොචන කරනලදු වැ සඞ්ගීත විය. ගුත්තිලවිමාන යැ චතුරිත්ථිවිමාන යැ පඨමනාගවිමාන යැ මහාරථවිමාන යැ අනෙකවණ්ණවිමාන යැ සුනික්ඛිත්තවිමාන යැ යන මේ විමානකථා අතීත බුදුවරයන්ගේ කාල හා සම්බන්ධ යි.
විශෙෂතා:
බොහෝ කථාවන්හි පාළිය සමානස්වරූපයෙන් තිබීම මෙහි දක්නා විශෙෂ ලක්ෂණයෙකි. ඇතැම් කථාවන්හි පාළිය පමණක් නොවැ නිදාන ද එකස්වරූපයෙන් හෝ මඳ වෙනසෙකින් යුතු වැ දක්නාලැබෙ. (3-1) උළාරවිමාන (3-2) උච්ඡුදයිකාවිමාන (4-10) උච්ඡු විමාන එබඳු තැනි. මේ කථා තුනෙහි මැ නිදාන ද පාළි ද සමාන වෙයි. වස්තු පුද්ගල නානාත්වය ඇත. උළාරවිමානවත්ථුයෙහි නැන්දණියෝ තමාගේ පුප කොටස පිඬුසිඟා වැඩි මහණක්හට පිදූ ලේලියට කිපී මොහොලකින් පහර දී ඇය මරති. උච්ඡුදයිකාවිමාන වස්තුයෙහි නැන්දණියෝ උක්දඬුවක් මහණක්හට දුන් ලේලියට පුටුවෙකින් පහර දී ඇය මරති. උච්ඡු විමානයෙහි නැන්දණියෝ උක්දඬුවක් මහණක්හට දුන් ලේලිය ගලකින් පහර දී මරති.
නාවාවිමාන වස්තු තුනෙකි. පඨම, දුතිය, නාවාවිමාන වස්තුයෙහි පාළි සමාන වෙයි. නිදාන වෙනසි. පඨමනාවාවිමාන වස්තුයෙහි වස් නිමවා බුදුන් දක්නට වඩනා භික්ෂූහු සොළොස් දෙනෙක් නිරුදක කාන්තාරයෙහි ගිමන් හැවී පිපාසිත වැ සිටියාහු පැහට ළිඳකට යන ස්ත්‍රියක දැක ඇය පසුපස ළිඳ වෙත ගොස් පැන් ලබාගනිති. දුතියනාවාවිමාන වස්තුයෙහි රහත් මහණ කෙනෙක් වස් වසනු පිණිස පිටිසර ආවාසයකට වඩනාහු අතරමඟ පවසින් පෙළී ගෙදරකට වඩිති. එහි ස්ත්‍රියක් උන් වහන්සේට අසුන් පනවා දී පාදධෝනා දිය එළවා පය ගල්වන තෙල් දී තල්වැට පවන් සලා ගිමන් නිවා මිහිරි සිහිල් සුවඳපැනක් පිළිගන්වයි. තතියනාවාවිමාන වස්තුයෙහි ද පළමු දෙවැනි වස්තුයෙහි පාළිය සපුරා දක්නට ඇත. අතිරෙක ගාථා දෙකෙක් ද වෙයි. නිදාන බෙහෙවින් වෙනස් වෙයි. එහි බුදුන් මහසඟුන් පිරිවරා දනවු සැරිසරා ‘පුණ්ණ’ නම් බමුණු ගමට වඩිති. ගම්වැසියෝ ඔබට පැන් නොදෙනුව කතිකා කෙරෙති, ළින් තණරොඩු පිදුරු දහවියා ලා වසාලති. පැන් ගෙනයන ස්ත්‍රියක් බුදුපාමොක් මහසඟනට පැන් පිළිගන්වයි. එපවත් ඇසූ ස්වාමිපුරුෂයා ඇය තළාපෙළා මරාදමයි. මෙසේ පාළි විසින් ද නිදාන විසින් ද වස්තු විසින් ද සමානතා දක්නා නොයෙක් කථා විමානවත්ථුයෙහි ඇත.
ගුත්තිලවිමාන වස්තුව (2. 5) ස්ත්රීවිමාන කොටසෙහි ලා සඞ්ග්‍රහ කරන ලද්දෙ යැ. එහි අනන්තරවිමාන සතිසෙක් වෙයි. එ හැම ස්ත්රීවිමාන යැ. අනන්තරවිමාන දැක්වීම මැ ප්රමුඛකාරණ වූ බැවින් අප්‍රධාන වූ ගුත්තිලවිමාන කථාව ස්ත්රීවිමාන අතුරෙහි ලා සඞ්ගෘහීත යැ. අනන්තරවිමාන සියල්ල පාළි විසින් සමාන යැ. නිදාන පුද්ගල වස්තු විසින් වෙනස් වෙයි.
රෙවතීවිමාන වස්තුව (5. 2) පුරුෂවිමාන කොටසෙහි ලා සඞ්ග්‍රහ කරන ලද්දෙ යැ. එහි දු ප්රමුඛ වනුයේ රෙවතීගේ ස්වාමිපුරුෂ වූ නන්දියගේ වස්තුව යැ. රෙවතීයට විමානයෙක් නැත. ඕ පව්කම් කොට නිරවන් එකකි. ඇයගේ කථාව පෙතවත්ථුයෙහි සඞ්ග්‍රහ කරන ලද්දෙ යි.
විශෙෂ ශබ්දප්රයොග:
පාළියෙහි විරල වූ විශෙෂ ශබ්දප්රයොග ද විමානවත්ථුයෙහි දක්නා ලැබේ. පහත පළ වනුයේ එබඳු තැනි.
සුවිම්හිතා:
දුසීවිමානවත්ථු (2. 1) මහාරථවිමානවත්ථු (5. 14) යන දෙතන්හි ‘සුවිම්හිතා’යි පදරූපයෙක් ඇත. දුසීවිමාන අටුවායෙහි “සුවිම්හිතාති සුද්ධමිහිතා” යි ද මහාරථවිමාන අටුවායෙහි “සුවිම්හිතාති සුට්ඨු සිතකරණා” යි ද ව්‍යාඛ්‍යාත යැ. ‘සිත’ යනු ද ‘මිහිත’ යනු ද හාසපර්ය්යාය වෙයි. එයින් ‘සුවිම්හිත’ යනු ‘සුවිස්මිත’ යන සංස්කෘත ශබ්ද රූපයෙහි ප්රාකෘතස්වරූපය බව පෙනේ.
සෙය්‍යසො:
දුසීවිමානවත්ථුයෙහි (2. 1) මුද්‍රිත පෙළෙහි ද අටුවාහි ද ‘සෙය්‍යසො’ යන ශබ්ද රූපයෙක් ඇත. “සෙය්යසොති සෙය්යතරා” යනු එහි අටුවා යි. ධම්මපදයෙහි “මිච්ඡාපණිහිතං චිත්තං පාපියො නං තතො කරෙ’’ යන්තෙහි ශුක්ලපක්ෂය “සම්මා පණිහිතං චිත්තං සෙය්‍යසො නං තතො කරෙ’’යි දක්වනලද්දෙ යැ. එයින් ‘සෙය්‍යසො’ යනු ‘පාපියො’ යන්තෙහි විරුද්ධවචනය බව පෙනෙයි. එහි ලිඞ්ගරූපය ‘සෙය්යස’ යනු යි. ඒ වූකලි සංස්කෘතයෙහි ‘ශ්රෙයස්’ ශබ්දයෙහි ප්රාකෘතස්වරූප යි. එසේ වත් මැ ‘සෙය්‍යසො’ යන්තෙහි ස්ත්‍රීරූපය ‘සෙය්යසා’ වියයුතු යැ. ‘සෙය්යසී’ කියා හෝ වියැහෙයි. එහි සංස්කෘතශබ්දරූපය ‘ශ්රෙයසී’ යනු යි. ‘සෙය්‍යසො’ යනු ලිපි දොෂයෙකැ යි සිතමිහ.
වියාකාසි:
“පඤ්හං පුට්ඨො වියාකාසි’’ යනු පෘච්ඡාවිසර්ජන කථාවක් පාසා දක්නාලැබෙන වාක්යඛණ්ඩයෙකි. එහි ‘වියාකාසි’ යනු ‘ව්යාකාසි’ යන ආඛ්යාතයෙහි ප්රාකෘතස්වරූප යි.
අනුකම්පයා:
ගොපාලවිමානවත්ථුයෙහි (7. 6) “අහාසි කුම්මාසං මමානුකම්පයා’’යි ‘අනුකම්පා’ ශබ්දයෙහි තෘතීයාවිභක්තිරූපය ‘අනුකම්පයා’යි දක්වෙයි. ඒ වූකලි සංස්කෘතභාෂාවරූපය ගත් ශබ්දප්රයොගයෙකි. එහි පාළි ස්වරූපය ‘අනුකම්පාය’ යනු යි.
සිංසරෙ:
මහාරථවිමානවත්ථුයෙහි (5. 14) “මනො තවඤ්ඤාය තථෙව සිංසරෙ’’යි ‘සිංසරෙ’ යන ආඛ්යාතරූපයෙක් ඇත. “සිංසරෙති සංසපරෙ, පවත්තෙරෙති අත්ථො” යනු එහි අටුවා යි. ගමනාර්ථ ‘සිංස’ ධාතුප්රයොගයෙකි.
අහුවාසිං:
අනෙකවණ්ණවිමානවත්ථුයෙහි (7. 8) “අහං භදන්තෙ අහුවාසිං පුබ්බෙ’’යි ‘භූ-සත්තායං’ ධාතුයෙහි අතීතකාලික උත්තමපුරුෂෙක වචනය ‘අහුවාසිං’ යි දක්වනලද්දෙ යැ. “අහුවාසිනති අහොසිං’’ යනු එහි අටුවා යි.
සමුස්සිතාසෙ:
සෙරිස්සකවිමානවත්ථුයෙහි (7. 10) “වෙපුල්ලස්මිංහ සමුස්සිතාසෙ’’යි. ‘සමුස්සිත’ ශබ්දයාගේ ප්රථමාබහුවචනරූපය ‘සමුස්සිතාසෙ’යි කියනලද්දෙ යැ. මේ වූකලි “දෙවාසඃ’’ බ්රාහ්මණාසඃ’’ ආදි වෛදික ශබ්දප්රයොගයෙහි ප්රාකෘත ස්වරූප වෙයි. එහි මැ “උම්හා ඉමෙ ජොතිරසාමයාසෙ’’ “තස්මා ධම්මං පසංසථ වාණිජාසෙ’’ යන තන්හි ‘ජොතිරසාමයාසෙ’ ‘වාණිජාසෙ’ යන ශබ්දප්රයොග ද මෙ මැ නියරි.
අපිලන්ධන:
මහාරථවිමානවත්ථුයෙහි (5. 14) “රථස්ස සොභො අපිලන්ධනාන ච’’යි ආභරණපර්ය්යාය වූ ‘අපිලන්ධන’ ශබ්දයෙක් ඇත. “අපිලන්ධනාන වාති ආකාරො නිපාතමත්තං, පිලන්ධානං ආභරණානං අපිලන්ධනන්ති ච ආභාරණපරියායොති වා වදන්ති” යනු අටුවා යි.
බුද්ධකාලීන භාරතයෙහි සමාජතත්ත්වගවේෂණයෙහි ලා විමානවත්ථු ඉතා අගනා ග්රන්ථයෙකි. සමකාලීන සමාජයෙහි විවිධ කරුණු ඉන් අනාවරණ වෙයි.
(1) සමයවිරොධි සංවිධාන: බුදුසමයෙහි ව්‍යාප්තියට එරෙහි වැ බමුණන් සංවිධාන වැ නැඟීසිටි අයුරු තතියනාවා විමාන වස්තුයෙහි නිදානකථාවෙන් අනාවරණ වෙයි. ගමන්විඩාවෙහි පවසට පැන් අත්‍යවශ්‍ය දෑයෙකි. ‘පුණ්ණ’ ගම්වැසි බමුණෝ චාරිකායෙහි වඩනා බුදුපාමොක් මහසඟනට පැන් නොදෙනුව කතිකා කොටගෙන ළින් වසා ලූහ. පැන් දුන් ස්ත්‍රිය මරාදැමූහ.
(2) රජුන්ගේ නගරප්රදක්ෂිණා: ජනරක්ෂණය පිණිස රජුන් මහසෙනඟ පිරිවරා පෙරහරින් නගරප්රදක්ෂිණා කරන සිරිතක් එකල දඹදිවැ පැවැති සැටි ‘කුණ්ඩලීවිමානවත්ථු’ නිදානයෙන් හෙළි වෙයි. එහි මගධෙශ්වර ‘බිම්බිසාර’ රජු විසින් කරනලද එවන් නගර ප්‍රදක්‍ෂිණාවක් සඳහන් වේ.
(3) උද්භිජවිද්යා: වෘක්ෂලතාවන් අකාලයෙහි මල්පල ගැන්විය හැකි ශිල්පීය ක්‍රම බුද්ධකාලීන භාරතයෙහි උද්යානපාලකයන් දැනැසිටි බව ඵලදායකවිමාන වස්තු නිදානයෙන් අනාවරණ වෙයි. අකාලයෙහි අඹපල බුදින රිසියෙක් මගධයේ බිම්බිසර රජහට උපදි. හෙ එපවත් උයන්පල්ලාට දන්වයි. “උයනෙහි අඹ නැත, මඳකලක් ඉවසන්නෙ යැ, නොබෝකලෙකින් අඹපල ලබාදෙමී’’ උයන්පල්ලා කියයි. හෙ අඹරුක්මුල පියවි පස් බැහැර කර කිසි යම් පසක් යොදා ජලමිශ්රණයන් ඉසී. නොබෝකලෙකින් පත් සැලිණ. යළි ඒ පස ඉවත් කොට බොරළුදමුණුකසට මුසු පියවිපස් යොදා දිය ඉසී. නොබෝ කල්හි අඹරුක් දලුලා මල්ගෙන පලදැරී.
(4) කර්ණශූලයට කකුළුරස: කකුළුරස කර්ණශූලාබාධයට ඖෂධයක් බව ‘කක්කටරසදායකවිමාන වස්තු නිදානයෙන් අනාවරණ වෙයි. “විදර්ශනා භාවනායෙහි යෙදීසිටි මහණක්හට කර්ණශූලපීඩායෙන් සිත් සමාහිත කරනු නොහැකි වෙයි. බුදුහු එපවත් අසා එයට කකුළුරස බොජුන් සත්ප්‍රාය සේ දැක ‘මගධක්ෂෙත්රයෙහි පිඬුසිඟා යව’ යි වදාළහ. ඔබ එසේ කළහ. එහි දී ලද කකුළුරස මුසු බොජුන් වළඳා රොග සන්හිඳුවාගෙන විදුසුන් වඩා රහත් වූහ.”
(5) පිනට ළැදි උවැසියක්: බැළයට ගත් එකක ස්වාමියාගේ උපස්ථානයට තබා පින්කමට අවසරගත් උවැසියක් පිළිබඳ පහන් සංවේග දනවන සිද්ධියක් ‘උත්තරාවිමානවත්ථු’ නිදානයෙන් හෙළි වෙයි. ‘‘පළමු රජගහනුවර මහසිටුහුගේ සේවක වැ සිට පසු කලෙකැ බිම්බිසර මහරජු කෙරෙන් මහධන සිටු තැන් ලද ‘පුණ්ණ’ සිටුහුගේ දුහිතෘ ‘උත්තරා’ රජගහනුවර සිටුහුගේ පුතුහට හායර්යා වෙයි. පින්කමට අවකාශ නොලත් ඕ පියසිටුහුගෙන් ලද කහවණු පසළොස් දහසක් දී ‘සිරිමා’ නම් අභිරූපී නගරසොභිනිය පසළොස් දවසකට බැළයට ගෙන සිය සැමියාගේ උපස්ථානයට තබා අවකාශ ගෙන අඩමසක් සිටුගෙහි දී බුදුපාමොක් මහසඟනට මහදනක් පැවැත්වූ.’’
මෙවන් රසබර පවතින් සැරැසුණු ‘විමානවත්ථු’ මානවචරිත සංස්කරණයෙහි ලා අතිශයෝපකාරී වන, එහෙයින් මැ බෞද්ධ සංස්කෘතිය හා දැඩි ලෙස බැඳීසිටුනා අගනා ග්රන්ථරත්නයෙකි.
චිරං තිට්ඨතු ලොකස්මිං සම්මා සම්බුද්ධසාසනං.
කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර රෙවත පිරිවෙන මාකඩවර, හිඟුල. 1982 ජනවාරි 1 දින.
කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර
රෙවත පිරිවෙන
මාකඩවර,
හිඟුල.
1982 ජනවාරි 1 දින.