29-KN-Suttanipato.pdf

ප්‍රකාශිත වර්ෂය :
1977
මුද්‍රිත වර්ෂය :
1977
පිටු ගණන :
421
බාගත කිරීම් ගණන :
1,561
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
65 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 211

සුත්තනිපාතය යනු ඛුද්දක නිකායට අයත් පස්වන ග්‍රන්ථය වන අතර, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 25 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයෙහි 19 වන ග්‍රන්ථය) ලෙස මෙම කෘතිය ප්‍රකාශයට පත් කර ඇත. මෙහි පාලි පෙළ සහ සිංහල අනුවාදය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර තිබේ. සිංහල පරිවර්තනය පරවාහැර සිරි පඤ්ඤානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් සකස් කර ඇති අතර, ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය මඟින් පාඨශෝධන පූර්වක සංස්කරණය සිදු කර ඇත.

මෙම කෘතියෙහි උරගවග්ග, චූලවග්ග, මහාවග්ග, අට්ඨකවග්ග සහ පාරායනවග්ග යන වර්ග පහ යටතේ සූත්‍ර 70 කට අධික ප්‍රමාණයක් සහ ගාථා 1154ක් අන්තර්ගත වේ. විශේෂයෙන් අට්ඨක, පාරායන හා ඛග්ගවිසාණ සූත්‍ර සඳහා ධර්මසේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද මහානිද්දෙස හා චූළනිද්දෙස අටුවා සම්ප්‍රදාය පදනම් වන අතර, අශෝක අධිරාජ්‍යයාගේ භාබෲ සෙල්ලිපියේ සඳහන් මුනිගාථා, නාලක, සාරිපුත්ත ආදී සූත්‍ර ද මෙහි ඇතුළත් වේ.

බුද්ධ ජයන්ති 2500 සැමරීම නිමිත්තෙන් ලංකා බෞද්ධ මණ්ඩලයේ මෙහෙයවීමෙන් ඇරඹි මෙම කටයුත්ත ශ්‍රී ලංකා ජනරජය මඟින් ක්‍රි.ව. 1977 දී මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී. පොතෙහි අගට ගාථාද්‍රපාද සූචි, සංඥානාම සූචි සහ විශෙෂ පදානුක්‍රමණිකා අන්තර්ගත වේ.

සංස්කාරක නිවේදනය

සම්බුද්ධපරිනිර්වාණයෙන් දෙදහස්පන්සියවසක් පිරිම නිමිති කොට ගෙන ඓරීය බුද්ධධර්මය ව්‍යාප්තව පවත්නා රටවල බෞද්ධජනතාව විසින් එම බුද්ධජයන්තිය විශෙෂ උත්සව සහිත ව පවත්වාලීමට විධිවිධාන යෙදූ අතර අප සිංහලද්වීපයෙහි එකල පැවැති ලංකාරජය මගින් බුද්ධජයන්ති උත්සවය ඉතා උත්කර්ෂවත් ව පවත්වාලුව මැනැවැයි සලකා ඒ සඳහා කටයුතු සංවිධානය පිණිස 1954 ඔක්තෝබර් මස 12 වැනිදින තත්කාලීන අග්‍රාමාත්‍යවර සර් ජෝන් කොතලාවල මැතිතුමන් විසින් ලඞ්කාබෞද්ධමණ්ඩලය පිහිටුවන ලද්දේය.

බුද්ධජයන්ති අනුස්මරණය සඳහා ඒ ලඞ්කාබෞද්ධමණ්ඩලය මගින් යොජිත වූ කාර්යයන් අතුරෙහි අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ද එහෙත් ඉතා දුෂ්කර වූ ද කර්තව්‍යය වූයේ ත්‍රිපිටක පර්‍ය්‍යාපන්න වූ සියලු ග්‍රන්ථයන් සිංහල-භාෂාවෙන් පරිවර්තන කොට මුද්‍රණය කරවාලීම ය. ග්‍රන්ථපරිවර්තනය සඳහා පත්කරන ලද මහතෙරවරුන් අතුරෙහි සුත්තනිපාත පරිවර්තනය පවරන ලද්දේ රාජකීය පණ්ඩිත පරවාහැර සිරි පඤ්ඤානන්ද නායකස්ථවිරයන් වහන්සේට යැ. උන්වහන්සේ ස්වකීය අධිකාරය යථාකාලයෙහි නිමහම් කළ බව ප්‍රකාශ කළ යුතු ය.

සුත්තනිපාතය බුද්ධජයන්ති ත්‍රිපිටකග්‍රන්ථමාලාවෙහි පස්විසිවන ග්‍රන්ථය ද සූත්‍රාන්තපිටකාගත එකුන්විසිවැනි ග්‍රන්ථය ද වේ. ධර්ම හෙයින් ද අර්ථ හෙයින් ද ගම්භීර වූ සුත්තනිපාතව්‍යාඛ්‍යානය දුෂ්කර වූයෙකි. එහි වඩාත් ගැඹුරු වූ අට්ඨක වග්ගයෙහි සූත්‍ර සොළොස යැ, පාරායන වග්ගයෙහි සූත්‍ර සොළොස යැ, ඛග්ගවිසාණ සූත්‍ර යැ යන තෙතිස් සූත්‍රයනට අගසව් සැරියුත් මහ රහතුන් වහන්සේ විසින් ශ්‍රාවකපාරමීඥානයෙහි සිට නිද්දෙස වදාරන ලදුයේ කුදුගත් සඟියෙහි වෙන ම ග්‍රන්ථයක් ලෙස සංගීතියට නැඟී ඇත. නිද්දෙස පාළියෙහි උද්දිෂ්ට වූ තෙතිස් සූත්‍රයන්ගේ පරිවර්තනය අප විසින් නිමවන ලද වැ මුද්‍රණයෙන් පළවූයේ ද වෙයි.

සුත්තනිපාතය මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ශාස්ත්‍රාගමධර මහතෙරවරුන්ගේ මහත් පරිශ්‍රමයෙන් විරාගත දෝෂස්ථාන බැහැර කිරීමෙන් පාඨශොධනය හා පරිවර්තන සංස්කරණය ද සිදුකරන ලද්දේය. ආදියෙහි මැ ත්‍රිපිටක මණ්ඩලය විසින් සම්මත වූ පරිදි පරිවර්තක නායකස්ථවිරයන් වහන්සේ විසින් ආදාන වූ අක්ෂරවින්‍යාසය මෙහි තබන ලද බව ද කියයුතු ය. ග්‍රන්ථමුද්‍රණය ඉක්මනින් නිමහම් කරවාලීම සඳහා දවරැයෙහි මද විවේකයකුදු නො ලැබ ක්‍රියා කරන සම්පාදකමණ්ඩලයේ නියුක්ත වූ තෙරවරුනට මෙහි දී ප්‍රශංසා කළයුතු ව ඇත.

තවද ත්‍රිපිටක මුද්‍රණය සඳහා ශ්‍රී ලඞ්කාජනරජයේ ගරු අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක උත්තමාව විසින් පලකරන ප්‍රසාදය හා අනුග්‍රහය ද, එසේ ම ගරු සංස්කෘතික ඇමතිතුමාණන් ප්‍රමුඛ එම අධිකාරියේ සියලු පින්වතුන්ගේ අනුග්‍රහය ද, දෙහිවල තිසර මුද්‍රණාලයාධිකාරීතුමා ප්‍රමුඛ සේවකමණ්ඩලයේ උද්‍යොගය ද, සිංහල පරිවර්තන සහිත සුත්තනිපාතය මෙසේ බෞද්ධමහාජනයා අතට පමුණුවාලීමට උපකාර වූ බව කෘතඥතා පූර්වක ව සඳහන් කරම්හ.

සදෙවක ලොකයාට හිත පිණිස පවත්නා අතිපරිශුද්ධ ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිය ව්‍යාප්ත කරවාලීමෙහි යත්න දරන සියලු පින්වත්හු සුඛිත වෙත්වා’යි ආශංසනය කරම්හ.

ලබුගම ලඞ්කානන්ද ස්ථවිර
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක
1977 පෙබරවාරි මස 25 වැනි දින
ත්‍රිපිටක කාර්යාලය,
මහානායක, චාරිකාරාමය,
115, විජේරාම මාවත,
කොළඹ 7.

සංඥාපනය

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරාසඞ්ඛ්‍යකල්පලක්‍ෂයකින් පෙර දීපංකරපාදමූලයෙහි නියත විවරණ ලත් තැන් පටන් කසුප් සම්මාසම්බුදුන් දක්වා සූවිසි බුදුන් හමුවෙහි විවරණසිරි ලබමින් විවිධාන්තරාත්මභාවයෙහි සිට සමතිස් පැරුම් නිෂ්ඨාවට පමුණුවා තුසීපුරයෙහි ඉපද එහි ආයුපමණින් දිවසිරි වළඳා එයින් සැවැ ශාක්‍යරාජකුලයෙහි ඉපද අනුක්‍රමයෙන් මහභිනික්මන් කොට බොධිමූල වජ්‍රාසනයෙහි වැඩහිඳ සම්යක්සම්බොධිසමධිගමය කොට දම්සක් පවත්වා දෙවිමිනිස්නට හිත පිණිස තුන්සසුන් පිහිටුවා පන්සාලිස් වසක් මුළුල්ලෙහි සුවාසූදහසක් දහම්කඳ පවත්වා නිරුපධිශෙෂ නිර්වාණධාතුයෙන් පිරිනිවී කල්හි—

මහාකාශ්‍යපාදි මහරහතුන් වහන්සේ ප්‍රථම මහාධර්මසඞ්ගීති අවස්ථාවට පැමිණැ පිටකාදි වශයෙන් සියලු ධර්මය සංගායනාවට නඟාලූහ. එහි සූත්‍රාන්තපිටකය ‘දීඝ, මජ්ඣිම, සංයුත්ත, අඞ්ගුත්තර, ඛුද්දක’ යන ආගම හෙවත් නිකාය පසට බෙදී ඇත. දීඝාදි සතර ආගමයෙහි නො බැසගත් ‘ඛුද්දකපාඨ, ධම්මපද, උදාන’දි දෙශනාපාලිය සංගායනා කොට ඛුද්දක ග්‍රන්ථයන්ගේ සංග්‍රහය වූයෙන් ‘ඛුද්දකනිකාය’ නමැයි තැබූහ. ප්‍රශස්ත වූ තෙල ‘සුත්තනිපාත’ය කුදුගත්සඟියෙහි පස්වැනි ග්‍රන්ථය වේ.

සියගණන් ගාථාවෙන් සමාකීර්ණ වූ ශාස්තෘශාසනවාක්‍යයෙහි ගෙය්‍ය-වෙය්‍යාකරණාඛ්‍යා දෙකින් ලක්ෂිත වූ තෙල තන්හි සංග්‍රහය කුමක් හෙයින් ‘සුත්තනිපාත’ නම් වී යැ යත්: ආත්මාර්ථ පරාර්ථාදි භෙද වූ වෙනෙය්‍යහිත සංඛ්‍යාත දක්ෂිණාර්ථය ප්‍රකාශ කරන හෙයින් ද (අත්‍ථානං සූචනතො) වෙනෙය්‍ය ජනයාගේ අධ්‍යාශයට - චරිතයට අනුරූප කොට වදාළ හෙයින් ද (සුවුත්තත්තා) වී ආදි ශස්‍යය ඵල උපදවන්නා සේ හිතාර්ථයන් ප්‍රසව කරන හෙයින් ද (සවනතො) දෙනගෙන් කිරි දෙවන්නා සේ උපායසම්පන්නයහට හිතාවහ හෙයින් ද (සූදනතො) ප්‍රතිපත්තයන් මැනැවින් රක්නා හෙයින් ද (සුත්තාණා) වඩුවාට දැළිනූල සෙයින් විඥයනට ප්‍රමාණ වන හෙයින් හෝ හුයෙන් ගෙතුණු මල් නො විසිරෙන්නා සේ පාළියෙන් ගෙතුණු අර්ථයෝ නො විසිරෙත් නුයි සූත්‍ර සදාශ හෙයින් ද (සුත්තසභාගතො) උරග සූත්‍රාදි ධර්මය ‘සුත්ත’ යි ප්‍රකාශ කරන ලද වෙයි. මේ ලක්ෂණ ඇති උරග සූත්‍රාදි ෂඩ්විධ සූත්‍රාන්ත වූ සූත්‍රයන් නිපාතනය කොට - සංග්‍රහ කොට සංගීත වූ ග්‍රන්ථය ධම්මපද උදානාදිය සෙයින් අන්‍යසංඥා නිමිත්තක් නැතියෙන් සංගීතිකාරක මහතෙරවරුන් විසින් ‘සුත්තනිපාත’ නාමයෙන් ම තබන ලද්දේය.

තෙල ‘සුත්තනිපාත’ය වර්ගහෙයින් උරගවග්ග, චූලවග්ග, මහාවග්ග, අට්ඨකවග්ග, පාරායනවග්ග, යි වර්ග පසෙක් ඇත්තේ වෙයි, සූත්‍ර හෙයින් උරගවර්ගයෙහි සූත්‍ර දොළොසෙක් ද, චූලවර්ගයෙහි තුදුසෙක් ද, මහාවර්ගයෙහි දොළොසෙක් ද, අට්ඨකවර්ගයෙහි සොළොසෙක් ද, පාරායනවර්ගයෙහි සොළොසෙක් දැයි සමසැත්තෑ සූත්‍ර කෙනෙක් වෙති. එහි උරග සූත්‍රය ආදිම වෙයි. පර්‍ය්‍යාප්තිප්‍රමාණයෙන් සුත්තනිපාතය අටබණවරෙකි. අෂ්ටාක්ෂරපාද ඇති ගාථා දෙසිය පනසෙක් බණවරක් වනුයෙන් සුත්තනිපාතය සූසැටදහසක් පමණ අක්ෂරයෙන් ප්‍රතිමණ්ඩිත වේ.

සුත්තනිපාත පාළියෙහි සංගීහිත වූ පද්‍ය (ගාථා) සංඛ්‍යාව එක්දහස් එකසියසුපනසෙකි (1154) මේ ගාථා අතුරෙහි දෙශනාපාළියෙහි කලාතුරෙකින් දක්නට ලැබෙන අතිප්‍රගල්භාජ්ඤායෙහි ලා ගැණෙන ගාථා ස්වල්පයෙක් නාලක-වත්ථුගාථා තුළ දක්නට ලැබේ. මේ ලක්ෂණ ඇති ගාථා ජාතක පාළියෙහි කිසි තැනෙක දැක්ක හැකි ය.

සුත්තනිපාතය වූ කලී ඒ ඒ දෙශනාපාත්‍රයන්ගේ වශයෙන් වෙනෙය්‍යජන අධ්‍යාශයානුරූප කොට වදාළ ගම්භීර වූ අත්ථව්‍යඤ්ජනයන්ගෙන් සැදුම් ලත් සූත්‍රයෙන් පරිපූර්ණ වෙයි. එහෙයින් ම අග්‍රශ්‍රාවක සර්වඥකල්ප ශාරීපුත්‍ර මහරහතුන් වහන්සේ සුත්තනිපාතයෙහි එන අට්ඨකවග්ග සූත්‍ර සොළොස යැ, පාරායනවග්ග සූත්‍ර සොළොස යැ, ඛග්ගවිසාණ සූත්‍ර යැ යන තෙතිස් සූත්‍රයන් උද්දෙසපද වශයෙන් තබා අත්ථවිභාවනද්වාරයෙන් නිද්දෙස වදාළහ. (මහානිද්දෙස-සංඥාපනය ද බලන්න.) එසේ මැ ‘නෙත්තිප්පකරණ පෙටකොපදෙස’ දෙක්හිදු ධර්මනයාය විභාග කරනු සඳහා අට්ඨකවග්ගීය, පාරායනවග්ගීය සූත්‍ර බෙහෙවින් නිදර්ශිත වෙයි.

තවද ධම්මභණ්ඩාගාරික ආනන්ද තෙරණුවන් විසින් විචාළ ප්‍රශ්නයක් සඳහා අර්හත් මාර්ග-ඵලසමාධිය විස්තර කරන බුදුරජාණන් වහන්සේ තිකඞ්ගුත්තර දෙවදූතවර්ගයෙහි “ආනන්දයෙනි මෙ කරුණ සඳහා මා විසින් පාරායනයෙහි පුණ්ණකප්‍රශ්නයෙහි ලා තෙල ප්‍රකාශ කරනලද්දැ”යි (ඉදං ව පන මෙතං ආනන්ද සන්ධාය භාසිතං පාරායනෙ පුණ්ණකපඤ්හෙ) පාරායනපුණ්ණක සූත්‍රයෙහි එන “සඞ්ඛාය ලොකස්මිං පරොවරානි” යනාදි ගය නිදර්ශන කොට වදාළහ. එසේ ම ධම්මසෙනෙවි සැරියුත් මහතෙරණුවනට අර්හත්ඵලවිමොක්ෂය දක්වාලීම සඳහා යට කී දෙවදූතවර්ගයේ සාරිපුත්තසූත්‍රයෙහි දී පාරායන උදයසූත්‍රය නිදර්ශන කරමින් ‘පහානං කාමච්ඡන්දනං’ යනාදි දෙශය වදාළහ. එහි ‘කාමච්ඡන්දනං’ යන පදය අඞ්ගුත්තර භාණකයන්ගේ වාචනාමාර්ගයෙහි ‘කාමසඤ්ඤානං’යි එයි. අර්ථයෙන් සම සම වේ. මේ බලත් මැ සුත්තනිපාත පාළියෙහි සංගීහිත වූ සූත්‍රධර්මයන්ගේ පරමගාම්භීර්‍ය්‍යය වටහාගත හැකි ය.

තවද කියැ යුත්තෙකි: ප්‍රථම ධර්මසංගීතියෙහි දී තෙවළාදහම් පිළිබඳ නිකාය පණ්ණාසක, වර්ගාදි විවිධ විභාගයන් නිශ්චය කළබව ප්‍රකාශ වෙයි. ඒ විභාගකල්පනය වැලිත් බුදුරදුන්ගේ ධරමානකාලයෙහි ම එකදෙශයෙකින් පැවැතිණ. ධම්මපද, උදාන, ඉතිවුත්තකාදි ඛුද්දකග්‍රන්ථයන් මෙනි. එසේ ‘ම පාරායනවග්ග, අට්ඨකවග්ග, ආදි ව්‍යවහාරය ද ආදියෙහි මැ සිද්ධ යැ: මහකැසියන් තෙරණුවන්ගේ අතවැසි කුරරඝරවැසි කාළී උපාසිකාවගේ පුත් සොණකුටිකණ්ණ තෙරුන් බුදුරදුන් හමුවෙහි මධුරස්වරයෙන් අට්ඨකවග්ගික සූත්‍ර ප්‍රකාශ කළ බව සඳහන් වෙයි. මෙකරුණ දමසක් පැවැත්වීමෙන් යටත්පිරිසෙයින් සූවිසිවසකින් පසුව සිදුවූවකි. මේ වන විට සුත්තනිපාතයෙහි බොහෝ සූත්‍ර දෙශිත වැ තිබිණ. සොණතෙරුන් සිය උපාධ්‍යාය තෙරුන් වෙත සුත්තනිපාතය උගත්බව සඳහන්වන හෙයිනි, එහිදු අත්තදණ්ඩ සූත්‍රය ශාක්‍ය-කොලිය කලහය සන්හිඳුවීම සඳහා ද, පුරාභෙද, කලහවිවාද, චූලවියූහ, මහාවියූහ, තුවටක, සම්මාපරිබ්බාජනීය සූත්‍ර මහාසමය සමාගමයෙහි ද වදාරනලද වෙයි. මෙසේ බොහෝ සූත්‍ර ප්‍රථමබොධියෙහි වදාළබව පෙනෙන අතර උරගසූත්‍රය වැනි කිසි සූත්‍රයෙක් පශ්චිමබොධියෙහි දී වදාළබව ද සැලකියයුතු ය. “යො වෙ උප්පතිතං විනෙති කොධං” යනාදිය භූතගාම ශික්ෂාපදය පැනැවීමෙන් පසු වදාරන ලද වෙයි. උදකඵාරිසාවන ශික්ෂාපද බුද්ධත්වයෙන් විසිතෙවුරුද්දක් ඉක්මැගිය පසු පශ්චිමබොධියට අයත්වන හෙයිනි. මෙසේ ‘සුත්තනිපාත පාලිය’ ගෙන බොහෝ විචාරකයන් ප්‍රකාශ කරන කරුණු ද විමසුව යෙහෙකි.

සුත්තනිපාතයෙහි ශොධනය හා ව්‍යාඛ්‍යානය ගෙන කියැයුතු කරුණු බෙහෙවින් ඇත. එහෙත් සංඥපනය සංක්ෂිප්ත කළ මනා වූයෙන් දෙතුන් තැනෙක් සඳහන් කරනු ලැබේ. ඛග්ගවිසාණ සූත්‍රයෙහි “එකො චරෙ ඛග්ගවිසාණකප්පො” යනු එයි. එහි ‘චරෙ’ යනු කිසි තැනෙක ප්‍රථමපුරුෂ වශයෙන් ද කිසි තැනෙක උත්තමපුරුෂ වශයෙන් ද ආයේ යැ, පසේබුදුහු උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශ කළහ. එහි ක්‍රියාපදය ප්‍රථම පුරුෂයෙහි වෙයි. කිසි තැනෙක අධිගත වූ කර්මස්ථානය ප්‍රකාශ කිරීම් වශයෙන් ද උදාන ගාථාව ම වදාළහ, එහි ක්‍රියාපදය උත්තම පුරුෂ යි. අටුවා ව්‍යාඛ්‍යානයෙහි ලා මේ විශෙෂය දතහෙයි.

මෙහි අනෙකුදු කියැයුත්තෙකි: නාලකසූත්‍රවත්ථුගාථාවෙහි “සකකංච ඉන්ද්‍රං සුවිචක්ඛණඤ්ච දෙවෙ” (682) යි සිංහල මුද්‍රණයෙහි හා බුරුම සංස්කරණයෙහි ද එයි. එය “සක්කං ච ඉන්ද්‍රං” යි ශුද්ධ වියයුතු ය. ‘සක්දෙවිඳු (ඉන්ද්‍ර වූ ශක්‍රයා) ද පිවිතුරු දිවැස් ඇති දෙවියන් ද, යි ව්‍යාඛ්‍යාන වෙයි. මෙබඳු ශොධ්‍යස්ථාන ද විමසිය යුතු ය.

මෙ ද සැලකිය යුත්තෙකි; සුත්තනිපාතයෙහි සංගීහිත වූ ‘මෙත්ත, රතන, මඞ්ගල’ සූත්‍ර ඛුද්දකපාඨයෙහි ද සංග්‍රහ වී ඇත. සසුන් වදනා කුලදරුවනට මුලින් මැ පුහුණුකරවාලිය යුතු සරණගමන, දසසික්ඛා ආදි දහම් කොටස් නඟාගෙන බුද්ධකාලයෙහි සිට මැ ඛුද්දකපාඨය සම්මත වැ තුබූබව සිතියැ හෙයි. එහි නික්ෂෙපක්‍රමය අටුවාවෙහි ඇත. සංගීතිකාරකයන් විසින් ද එය ඛුද්දකග්‍රන්ථයක් සේ ගෙන කුදුගත්සඟියේ පළමුවන ගත සෙයින් සංගීත විය. යළි සුත්තනිපාතයෙහි බැසගැනීමට නිසිව සිටි හෙයින් එහිදු නියතස්ථානයෙහි සංග්‍රහ කරනලද වෙයි. එසේ මැ ‘සෙල’ සූත්‍රය මැදුම්සඟියැ සංගායියැයුතු මධ්‍යමප්‍රමාණ සූත්‍රයක් වූයෙන් එහි මජ්ඣිමපණ්ණාසකයෙහි ලා සංගීත විය. යළි සෙලසූත්‍රයෙහි බැසගෙන සිටි ධර්මපරියාය සලකා සුත්තනිපාතයෙහි ද සංග්‍රහ කළබව කියැයුතු ය.

තවද, අශොකාධිරාජයන් විසින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ නිතර අසත් නම්, ධරත් නම් මැනැවැයි “භාබෲ” ශිලා ලිපියෙහි දක්වාලූ, ‘මුනිගාථා’ මොනෙය්‍ය (නාලක) සූත්‍ර, උපතිස්සපඤ්හ (සාරිපුත්ත සූත්‍ර) රාහුලොවාද’ යන ධර්මපරියායයෝ මේ සුත්තනිපාතයෙහි සංග්‍රහ වෙති, මෙසේ බුදුන් දවස පටන් සුත්තනිපාතය ප්‍රශස්ත වූ බව සැලකිය යුත්තේ යි.

සුත්තනිපාතාගත ධර්මාකාරයන්ගේ ගැඹුරුබව හේතු කොට ගෙන මැ අගසවු සැරියුත් මහරහතුන් වහන්සේ විසින් යට දැක්වූ තෙතිස් සූත්‍රයනට වදාළ නිද්දෙස ද, අට්ඨකථාවාචාර්‍ය්‍ය බුද්ධඝොස මහතෙරණුවන් විසින් ලියනලද ‘පරමත්ථජොතිකා’ නම් අටුවාව ද, පුරාණ ආචාර්‍ය්‍යවරයකු විසින් අට්ඨකවග්ගාදි කිසි සූත්‍ර කෙනකුන්ට ලියනලද ව්‍යාඛ්‍යානය ද සුත්තනිපාතාර්ථාවබොධයට වහල් වෙයි. එසේ ම පරවාහැර සිරිපඤ්ඤානන්ද නායක ස්ථවිරයන්ගේ මේ සුත්තනිපාත සිංහලානුවාදය ද බෞද්ධජනතාවගේ ධර්මාවබොධය පිණිස වෙතැයි සිතම්හ.

මව්වගම ශාසනොදයකාරී
ලබුගම ලඞ්කානන්ද ස්ථවිර
බු: ව: 2520
ක්‍රි: ව: 1977, පෙබරවාරි 25 දින
මොල්ලිගොඩ,
ප්‍රවචනොදය පිරිවෙන්හිදී ය.