28-KN-Khuddakapatha Dhammapada Udana Itivuttaka.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1960
- මුද්‍රිත වර්ෂය :
- 1960
- පිටු ගණන :
- 620
- බාගත කිරීම් ගණන :
- 1,984
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 102 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 24 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 18 වන ග්‍රන්ථය) වන ඛුද්දකනිකාය - ප්‍රථම භාගය වේ. මෙහි ඛුද්දකපාඨපාළි, ධම්මපදපාළි, උදානපාළි සහ ඉතිවුත්තකපාළි යන ග්රන්ථ සතර මුල් පාලි පෙළ සහ සිංහල පරිවර්තනය සහිතව අන්තර්ගතය.
ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් කලුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශෙඛර නාහිමි (ඛුද්දකපාඨය), අහුන්ගල්ලේ විමලකිත්ති නාහිමි (ධම්මපදය), සපුගස්තැන්නේ ඤාණාලොක හිමි (උදානය) සහ ගම්මුල්ලේ චන්ද්‍රජොති හිමි (ඉතිවුත්තකය) විසින් පරිවර්තනය කරන ලද අතර, අග්රමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් විසින් සංශෝධනය කර පාඨාන්තර හා උපග්රන්ථ සම්පාදනය කරන ලදී. පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක නාහිමියන් විසින් විශිෂ්ට සංඥාපනයක් සපයා ඇත.
බුද්ධ ජයන්ති මහෝත්සවය නිමිත්තෙන් ලංකා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බු.ව. 2504 (ක්‍රි.ව. 1960) දී ප්‍රකාශයට පත් කරන ලද සම්භාව්‍ය ත්‍රිපිටක මුද්‍රණයකි.
සංස්කාරක නිවේදනය
ත්‍රිපිටක පාළියෙහි සූත්රාන්තපිටකයට අයත් ඛුද්දකනිකායාන්තර්ගත ඛුද්දකපාඨ ධම්මපද උදාන ඉතිවුත්තක යන ග්රන්ථ සතරෙහි පාළි හා සිංහල පරිවර්තනයෙන් යුත් මේ ප්‍රථම භාගය බුද්ධජයන්ති ග්රන්ථමාලාවෙහි සංඛ්‍යා වශයෙන් 24 වන ග්‍රන්ථය වේ.
ලංකාබෞද්ධමණ්ඩලය විසින් ආරාධිත වූ දැනට විද්යොදයපරිවේණාධිපති කලුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශෙඛර මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් ඛුද්දකපාඨය ද, වැලිතර අම්බරුක්ඛාරාමයෙහි සුගතසාසනොදය පරිවෙණාධිපති පණ්ඩිත අහුන්ගල්ලේ විමලකිත්ති මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් ධම්මපදපාළිය ද, බලගල්ලේ සරස්වතීපරිවේණාධිපති පණ්ඩිත සපුගස්තැන්නේ ඤාණාලොක ස්ථවිරයන් වහන්සේ විසින් උදානපාළිය ද, මාතලේ ශ්‍රී ධර්මරාජපරිවේණාධිපති ගම්මුල්ලේ චන්ද්‍රජොති නායක ස්ථවිරයන් වහන්සේ විසින් ඉතිවුත්තකපාළිය ද සිංහල භාෂාවට පරිවර්තනය කරණ ලදී. මේ අධිකාරයෙහි සහභාගි වූ පරිවර්තක ස්ථවිරයන් වහන්සේ සතර නම අප හැමගේ කෘතඥතාවට හිමි වෙති. පණ්ඩිත අහුන්ගල්ලේ විමලකිත්ති මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සිංහලයට පරිවර්තනය කොට උපග්‍රන්ථයක් ද ලියන ලද ධම්මපදය පැසසිය යුතුසේ සකස්ව තුබූ බව සිහිපත් කළ යුතු වේ.
ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක සභාවේ අනුමතියෙන් මේ ග්‍රන්ථයන්ගේ සංශොධනය උත්තරීතර සංස්කාරක මණ්ඩලයට අයත් අග්රමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්ථවිරයන් වහන්සේට පවරණ ලදී. ප්‍රාචීන ප්‍රතිචීන භාෂාන්තරයන්හි ප්‍රවීණ වූ බුද්ධධර්මවිෂයයෙහි ධර්මාවබොධනයෙන් වැහි සිටුනා වූ, පාළි සංස්කෘත ප්රාකෘත ග්‍රන්ථගත බුද්ධධර්මය පිළිබඳ මහාන්තර හා අවාන්තර විභාවනයෙහි බුහුටි වූ මෛත්‍රෙය නායක ස්ථවිරයන් වහන්සේ සවකාර්යය මැනවින් ඉටු කළහ. උන්වහන්සේ විසින් පාළියෙහි බොහෝ තැන් අමුතුව ලා ව්‍යාඛ්‍යාන කොට පාළිපාඨාන්තර ද, මේ ග්‍රන්ථගත කරුණු පිළිබඳ සංස්කෘත-ප්රාකෘත ග්රන්ථයන්හි එන සදෘශ-විසදෘශතා දැනීමට උපයෝගී වූ ශ්ලෝකයන් ද ඇබෝලිපි වශයෙන් යොදා ගාථාදිපාද අනුක්රමණිකා ආදිය හා ඛුද්දකපාඨ උදාන ඉතිවුත්තක පොත් තුණට උපග්රන්ථ ද සම්පාදනය කරණ ලදී. කටයුතු බොහෝ ඇත්තන් ස්වායත්ත කොට ගත් කාර්යයෙහි උද්යොගීස්වභාව ඇති නායක ස්ථවිරයාණෝ ග්‍රන්ථය මුද්‍රණයෙහි පවත්නා කල්හි ශොධ්‍යපත්‍ර බැලීමෙහි ද යෙදුනාහ.
ධර්මව්යාකරණයෙහි නිපුණ වූ සද්ධර්මචක්රවර්තීප්රභා ඇති පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක දක්ෂිණලංකාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි ඇතුළත් ඛුද්දකපාඨාදි ග්රන්ථයන් ප්‍රණීත ඒ ඒ අත්කථානුශයෙන් ලියූ ව්‍යක්ත සංඥාපනය ඒ ඒ ග්‍රන්ථයන්ගේ ආශයස්වරූප නිරූපණය කරන්නා සේ ම දැනට විසංවාදයෙන් හා අනභ්යාසනයෙන් භාජනභාගී වැ යන අපගේ ජාතික සාහිත්‍යයට - ධර්මව්යාඛ්යානයට නිසි වූ සිංහල භාෂාවට රුකුල් දෙන්නේ ද වේ. මෙසෙයින් උන්වහන්සේ සංශොධකයන් වහන්සේගේ ද අපගේ ද සාධුවාදයට හිමි වෙති. අපගේ අවසාන සංස්කරණයෙන් මුද්‍රිත වන මේ ග්රන්ථයෙහි ද ශොධ්‍යපත්‍ර බැලීම් ආදියෙන් පණ්ඩිත ගලගම ධම්මික ස්ථවිරයන් වහන්සේ ද සහාය වූහ.
ඛුද්දකනිකායෙහි ප්‍රථම භාගය සම්බුද්ධජයන්ති නිමිත්තෙන් මුද්‍රිත වන සිංහල පරිවර්තනයෙන් යුත් ත්‍රිපිටක පාළියෙහි සූත්රාන්තපිටකයට අයත් ග්රන්ථ සංඛ්‍යාවෙන් අටොළොස්වන ග්‍රන්ථය වේ.
මෙය මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කිරීම සඳහා උපකාරී වූ ලංකාආණ්ඩුව ද එහි සාංස්කෘතික කාර්ය්යාංශයෙහි අධිකාරීහු ද, සිංහලජාතියමුද්රණාලයෙහි අධිකාරීහු හා මුද්‍රණ ශිල්පීහු ද, ග්රන්ථ පරිවර්තනය හා සංශොධනය කිරීමෙහි යෙදුනු මහාස්ථවිරයන් වහන්සේ ද ධර්මදානමය පුණ්‍යමහිමයෙන් සුභභාගී වෙත්වායි ආශංසනය කරම්හ.
පරවාහැර වජිරඤාණ ස්ථවිර.
ත්රිපිටකපරිවර්තන කාරක සභාවෙහි ද
සංස්කාරක මණ්ඩලයෙහි ද සම්පාදක.
ත්‍රිපිටක කාර්ය්යාලය, ධර්මදූතාශ්‍රම විද්‍යාලය,
දෙමටගොඩ, කොළඹ.
සංඥාපනය
ඛුද්දකපාඨපාළි:
ඛුද්දකපාඨ යනු “සරණ - සික්ඛාපද - ද්වත්තිංසාකාර - කුමාරපඤ්හ - මඞ්ගලසුත්ත - රතනසුත්ත - තිරොකුඩ්ඩසුත්ත - නිධිකණ්ඩසුත්ත - මෙත්තසුත්ත” විසින් නවප්රකාර පාඨයන්ගේ සඞ්ග්‍රහය වෙයි. තෙල පාඨයෝ ධර්මස්කන්ධ වශයෙන් ගනුත් මැ මහත් නො වෙති. එයින් ‘ඛුද්දකපාඨ’ යනු අන්වර්ථ වෙයි. පඤ්චනිකාය අතර ඛුද්දකනිකායෙහි මුලැ සිටුනා පෙළ ද ‘ඛුද්දකපාඨ’ය වේ. [ ... ]
කෝදාගොඩ ඤාණාලොක ස්ථවිර
විද්‍යාවංශ පිරිවෙන,
අහංගම.