27-AN-Anguttara Nikaya 6.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1977
- මුද්‍රිත වර්ෂය :
- 1977
- පිටු ගණන :
- 726
- බාගත කිරීම් ගණන :
- 1,612
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 140 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 23 වන වෙළුම ලෙස පළවූ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය ෂෂ්ඨ භාගයයි. මෙයින් අංගුත්තර නිකාය සමාප්ත වන අතර දසක නිපාතය සහ එකාදසක නිපාතය මුල් පාලි පාඨය සහ සිංහල පරිවර්තනය සහිතව මෙහි අන්තර්ගත වේ.
ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් අංගුත්තර නිකාය සංශෝධක මණ්ඩලය මඟින් පරිවර්තනය සම්පාදනය කොට ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිරයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංස්කරණය කරන ලදී. ශ්‍රී ලංකා ජනරජයේ අනුග්‍රහයෙන් බුද්ධ වර්ෂ 2520 (ක්‍රි.ව. 1977) දී ප්‍රකාශයට පත් කර ඇත.
මෙහි ප්‍රධාන අන්තර්ගතයන්:
- දසකනිපාතය
- එකාදසකනිපාතය
- ගාථාදිපාද සූචි, සඤ්ඤානාම සූචි සහ විසයපදානුක්කමණිකා
සංස්කාරක නිවේදනය
සූත්රාන්තපිටකයට අයත් චතුරාගමයන් අතුරෙහි අංගුත්තරනිකායෙහි ‘දසක එකාදසක’ නිපාතයන්ගෙන් සමන්විත වූ මේ සවන භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි තෙවිසිවන (23) ග්‍රන්ථය වෙයි. මෙයින් අංගොත්තර සඟියද සමාප්ත වේ.
ලංකාබෞද්ධමණ්ඩලයේ ආරාධනය පරිදි මෙහි සිංහල පරිවර්තනය භාර ගෙන සිටි පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ යථාකාලයෙහි එම පරිවර්තනය ත්රිපිටකමණ්ඩලය වෙත පත් නො කළ හෙයින් ත්‍රිපිටක පරිවර්තන සංස්කාරකමණ්ඩලයේ සම්මතය පරිදි, වර්තමාන බුද්ධශ්රාවකධර්මපීඨාධිපති කොදගොඩ සිරි ඤාණාලොකාභිධාන දක්ෂිණලංකාවේ ප්‍රධාන සංඝනායකස්ථවිරයන් වහන්සේ යැ, දෙමටගොඩ පධානඝරවිහාරාධිපති පරවාහැර සිරි පඤ්ඤානන්ද කොළඹ නවකෝරළයේ ප්‍රධාන නායකස්ථවිරයන් වහන්සේ යැ, කොළඹ කුප්පියාවත්තේ ජයශෙඛරාරාමාධිපති තල්ලේලේ සිරි ධම්මානන්ද නායකස්ථවිරයන්වහන්සේ යැ යන අංගුත්තරනිකාය සංශොධක මණ්ඩලය විසින් මෙහි සිංහල පරිවර්තනය ද කරන ලද්දේ ය. මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයේ ශාස්ත්රාගමධර මහතෙරවරුන්ගේ මහත් පරිශ්‍රමයෙන් ශෝධ්යස්ථාන හා බොහෝ තැන්හි පරිවර්තන ද සංස්කරණය කරනලද වෙයි. එහෙත් ප්‍රමාණය ඉක්මවාගිය මුද්රණවේගය නිසා නො වළහාලියැ හෙන යම් ඌනතාවයක් වියයුතු නම් එයිනුදු අපරිමුක්ත බව කියැ යුතු ඇත. ශොධ්යපත්රයෙන් එයට පිළියම් යෙදේ.
පුස්කොළ පොත්වල මතු නොවූ මුද්‍රිත අංගුත්තරනිකායග්රන්ථයන්හි පවා පද-වාක්‍ය සංකලනයෙන් ව්‍යාකූල වැ පැවැති පාළිප්රදෙශයන් අර්ථාවබොධයට පහසුවන සේ පද බෙදීම හා වාක්යවිච්ඡේදය ද කොට අස්ථාන පතිත පෙය්යාලයන් ද මේ සංස්කරණයෙහි ලා නිසියේ තබන ලද්දේ ය. කිසිතැනෙක පෙය්යාලය සඳහා “-” මෙබඳු රෙඛා ද යොදා ඇත. තවද ඒ ඒ සූත්‍රයන්හි වදාළ දසකාදි අංගයනුදු වෙන් කොට ගතහැකි වන සේ අවශ්‍යයෙන් දක්වාලියැ යුතු තැන්හි ඡෙදයක් පාසා අංක යොදා ඇත. එකකනිපාතාදියෙහිදු එසේ අංක යොදා ඇති සැටි සලකනු මැනැවි.
තවද ඉතා අල්පකාලයක් තුළ ත්‍රිපිටක ග්රන්ථ බොහෝ ගණනක් පළකරවාලීමට අවස්ථාව ලැබීමෙන් මේ වන විට ‘දීඝනිකාය, මජ්ඣිමනිකාය, හා අංගුත්තරනිකාය’ ද අවසාන කරන්නට ලැබීම ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයේ අමනුෂ්‍යත්වයට හෙතු වෙයි. ධර්මකාමී සජ්ජනයන්ගේ ද ප්‍රමොදයට හේතු වනු නියත යැ. මෙසේ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව අප්‍රමාදව පළ කරවාලීම සඳහා ආවශ්‍යක විධිවිධාන සලසාලූ ගරු අග්‍රාමාත්‍ය තැන්පත් සිරිමාවෝ බණ්ඩාරනායක උන්නැහේට ද, මෙහි ලා ක්‍රියාකාරී ප්රයත්නයක යෙදෙන ගරු සංස්කෘතික අමාත්‍යවර ටී. බී. තෙන්නකෝන් මැතිතුමාණන්ට ද, සංස්කෘතික ලේකම් එච්.ඇම්.සුමතිපාල මහතාණන්ට හා පී. ඒ. අභයවික්‍රම අධ්යක්ෂ තුමාට ද විශේෂයෙන් ස්වකීය විවේකය ද නොතකා මේ අධිකාරයෙහි නතු ව ක්‍රියාකරන සහකාර අධ්යක්ෂ සෝමපාල ජයවර්ධන මහතාණන්ට ද බෞද්ධලොකයාගේ ආශීර්වාදය හිමිවිය යුතුය.
දෙහිවල තිසර මුද්රණාලයාධිකාරී තුමා ඇතුළු තත් සේවක මණ්ඩලය ද මහානායක චාරිකාරාමයේ භාරකාර ඒ. ඇම්. පී. සමරසිංහ මහතා ද ආශීර්වාද මුඛයෙන් සඳහන් කරම්හ. ශාසනායු වර්ධනයට කාරණ වූ මේ සත්ක්රියාවලයෙන් හැමදෙනම සුභාගී වෙත්වයි ආශංසනය කරම්හ.
මේ වගට
ලබුගම ලංකානන්ද ස්ථවිර ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක
ලබුගම ලංකානන්ද ස්ථවිර, 10. 7. 1977, ත්‍රිපිටක කාර්යාලය, 115, විජේරාම මාවත, කොළඹ 7.
සංඥාපනය
අප බුදුරදුන් ‘සුමෙධ’ නම් මහතවුස් වැ දිවකුරු බුදුන් පා මුලැ දිවි පුදා හෙවැ නියතවිවරණසිරි ලත් තැන් පටන් වෙසතුරු අත්බව දක්වා සියලු බුදුකුරු දහම් සපුරා තුසීපුර ඉපැද එහි ආපමණින් සිට අවසන් පිළිසිඳ විසින් මිනිස් ලොවැ ඉපැද මහබිනික්මන් කොටින් සාවුරුද්දක් දවස් මහාප්‍රධන්වීර්‍ය්‍ය කොට බෝමුලැ විදුරුසුන් අරා වැඩහිඳ සවාසන සකල ක්ලෙශයන් බිඳැ බුදුවැ සත්නට පතනක්ෂෙත්ර වූ බරණැස මිගදායෙහි දහම්සක් පැවැත්වූ තැන් පටන් කොට සුභද්‍ර පිරිවැජියා විනයනය කළ තැන් හිමි කොට පන්සාලිස් හවුරුද්දක් දවස් මුළුල්ලෙහි කාශ්‍යප මහාමෙඝයක් සෙයින් දහම් අමාවැසි වස්වා පිරිනිවන් පෑවදාළ කල්හි ආදාහනොත්සව පූජායෙහි මුළුදුන් සත්ලක්ෂයක් භික්ෂූන්ට සංඝ ස්ථවිර වූ බුදුරදුන් පාංසුකූල මහාවීවරයෙහි සාධාරණ පරිභොගයෙන් අනුග්‍රහ කළ අනුබුදු මහසුප් මහ රහතුන් වහන්සේ ප්රමුඛ පන්සියක් මහ රහතුන් විසින් පිටක නිකායාදි විසින් සංගීත වැ දෙවැනි තෙවැනි සංගීතීන්හි දී අනුසංගීත වැ පවත්නා ධර්මවිනය සංඛ්‍යාත නවාංග ශාස්තෘශාසනය සදෙව සබ්‍රහ්මක ලොකයට නිවන්මහවත් හෙලිකරමින් මෙ දවස පවා නිර්මල වැ පවත්නේයැ.
බුදුන් පිරිනිවි මුල් සියවස ඉක්මැ යත්ම නිකායාන්තරවාසීහු පෙළදහම් ගෙන විවිධ දුර්මත උපදවාලූහ. ඒ හැම දුර්වාද ඛණ්ඩනය කරමින් මොග්ගලී පුත්ත තිස්ස මහරහතුන් වහන්සේ කථාවස්තු දෙශනා කළ පවත ශාසනයෙහි පළට වැ ඇත. පෙළ පොත් හා අටුවා හා සංගීති කථාදිය ද ගෙන මෙ දවස දක්වා පරවාදීන් හා විතණ්ඩවාදීන් විසින්දු පවසාලන නිසරු වාදයන්ට නිසි පිළිතුරු සපයමින් ත්‍රිපිටක මණ්ඩලයෙහි ප්‍රධාන සම්පාදක ධුරය දැරූ කෙවළා දහම්හි කළ පරිචය ඇති දර්ශන විශාරද පරවාහැර සිරි වජිරඤාණ නාහිමිපාණන් වහන්සේ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි මහාවග්ග පාළියට ලියූ සංඥාපනය බලන්නේ මැනැවි.
අංගුත්තර මහා නිකාය පිළිබඳ කොට එහි ධර්‍මස්වභාව සඳහා දතයුතු දැය අනුරාධපුර බුද්ධශ්රාවක ධර්මපීඨාධිපති කෝදගොඩ සිරි ඤාණාලොක දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ අංගුත්තර නිකාය ප්‍රථම භාගයට ලියූ සංඥාපනයෙහි පළව ඇත.
ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිර, 1977 ජූලි 10 දින, ප්‍රවචනෝදය පිරිවෙන, මෝල්ලීගොඩ, වාද්දුව.