26-AN-Anguttara Nikaya 5.pdf

ප්‍රකාශිත වර්ෂය :
1977
මුද්‍රිත වර්ෂය :
1977
පිටු ගණන :
611
බාගත කිරීම් ගණන :
1,702
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
112 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 306

මෙම ග්‍රන්ථය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 22 වන වෙළුම (සූත්‍ර පිටකයේ 16 වන ග්‍රන්ථය) ලෙස පළ වූ අඞ්ගුත්තරනිකාය පස්වන භාගයයි. මෙයට අඞ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතය සහ නවක නිපාතය ඇතුළත් වේ.

ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක සභාවේ අඞ්ගුත්තරනිකාය සංශෝධක මණ්ඩලය මගින් පාලි පෙළ සහ සිංහල පරිවර්තනය සංස්කරණය කර ඇති අතර, ශ්‍රී ලංකා ජනරජයේ අනුග්‍රහයෙන් බු.ව. 2520 (ක්‍රි.ව. 1977) දී දෙහිවල තිසර මුද්‍රණාලයේ මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලදී. ප්‍රධාන සම්පාදක ධුරය ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් හොබවන ලදී.

මෙහි අන්තර්ගත ප්‍රධාන වර්ගයන් පහත දැක්වේ:

  • මෙත්තාවග්ගො
  • මහාවග්ගො
  • ගහපතිවග්ගො
  • දානවග්ගො
  • උපොසථවග්ගො
  • ගොතමීවග්ගො
  • චාලවග්ගො
  • යමකවග්ගො

සංස්කාරක නිවේදනය

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි අඞ්ගුත්තර මහානිකාය කාණ්ඩ සයකින් පරිමිත ව මුද්‍රණය සඳහා පිළියෙළ කරනලද්දේ විය. එහි ප්‍රථම භාගය 1960 දී පළවිය. ඊට පසු සතරවැනි කාණ්ඩය තෙක් වරින් වර පළවී ඇත. අට්ඨක - නවක නිපාත දෙකින් සමන්විත වූ මෙම පඤ්චම-භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි දෙවිසිවන ග්‍රන්ථය වශයෙන් සමමත ව ඇත.

අඞ්ගුත්තරනිකාය පඤ්චමභාගයේ සිංහල පරිවර්තනය භාරව සිටි ස්ථවිරයන් වහන්සේ විසින් යථෝචිත ව ස්වකීය පරිවර්තනය සංස්කාරක මණ්ඩලය වෙත ඉදිරිපත් නො කළ හෙයින් ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක සභාවේ අනුමණ්ඩලයෙකින් මෙම පඤ්චමභාගයේ සිංහල පරිවර්තනය නිමහම් කරන ලද්දේය. එහිදු යම් යම් බලිපස්ථාන ඇති බව පෙනීගිය හෙයින් වර්තමාන සම්පාදකමණ්ඩලයේ සම්මතය පරිදි එය මුද්‍රණයට උචිත වනසේ පිළියෙළ කිරීම සඳහා කොහුවල ‘විජයමඞ්ගලාරාමා’ධිපති සද්ධර්‍ම කීර්ති ශ්‍රී වාගීශ්වරාචාර්‍ය්‍ය මකුළුදූවේ ශ්‍රී පියරතනාභිධාන නායක ස්ථවිරයන් වහන්සේ වෙත පවරනලද විය. උන්වහන්සේ මහත් පරිශ්‍රමයකින් ස්වකාර්‍ය්‍ය සිදුකළ බව කෘතඥතා පූර්‍වක වැ පවසම්හ. මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයේ ශාස්ත්‍රාගමධර මහතෙරවරුන් ධර්මගෞරවය හා අර්‍ත්‍ථාවබෝධය ද ඇතිවන සේ සිංහල භාෂාවේ සාධුත්වය ද ආරක්‍ෂාවන පරිදි මෙම පරිවර්තන නිමහම් කිරීමට හැම ප්‍රයත්නයක් ම දරනලදබව ද කිව යුතු ව ඇත.

තවද පාඨශොධනයට පැමිණි මාතුල ජනපදයෙහි වූ ආලොක විහාරස්ථානයෙහි වැඩහිඳ ලෙඛනසඞ්ගායනාව කළ මහරහතුන් ලියතැබූ දිබ්බචක්ඛුලාභීන් කෙරෙහි අග්‍රපත් අනුරුද්ධ මහරහතුන් වහන්සේගේ අතවැසි පරපුරෙන් රක්‍ෂිත වූ අඞ්ගුත්තරභාණකයන්ගේ වාචනාමාර්‍ගයෙහි පැවැති අඞ්ගුත්තරනිකායපාලිය යථාස්ථානයෙහි තබාලීමට අපගේ වෑයම විය. මෙහි ලා විමංසක සුධීන් හමුවෙහි තැබියයුතු තැනුදු ඇත; අට්ඨකනිපාත – පඨමපණ්ණාසක සතරවැනි වර්ගයේ දෙවැනි සූත්‍රය (150 පිට) “සද්ධා හිරියං කුසලඤ්ච දානං” යනාදි එක් මැ ගාථාවෙන් යුක්ත යැ, අෂ්ටකධර්ම සංග්‍රහ ලත් නිපාතය වනුවෙන් මේ සූත්‍රයෙහි ද කරුණු අටක් තුබුව මනා යැ, එහෙත් ‘සද්ධා හිරි කුසල’ යන තුන්පදය විනා වෙනත් කරුණෙක් දක්නට නැත, එහෙයින් මෙහි කිසි පද කෙණෙක් ගිලිහීගොස් ඇද්ද නැතහොත් අන් තැනෙක සංග්‍රහ වියයුතු සූත්‍රයෙක් දැයි එක් වරට මැ සිතෙයි. මෙහි අටුවා බලත් මැ එය දානවර්ගයෙහි දෙවැනි සූත්‍රය වශයෙන් ගෙන ඒ ගාථාවෙහි පද මතුයෙක් ම වර්ණනා කොට ඇත. ටීකාවෙහි මේ සූත්‍රඅටුවාව උත්තානත්ථා යයි පවසා කිසිවක් සඳහන් කොට නැත. එහෙයින් අටුවා ටීකා ඇදුරනට ද අප ඉදිරියෙහි ඇති අඞ්ගුත්තර පෙළ මැ හමුවූබව නිසැක යැ.

‘කාරණ්ඩව’ සූත්‍රයෙහි (36 පිට) සදෙස-විදෙස සියලු සංස්කරණයන්හි “තමෙනං සාමිකා සම්මජ්ජනිං ගහෙත්වා” යනු එයි. ඇතැම් කෙනෙක් “සම්මජ්ජනිං ගහෙත්වා–මුස්න ගෙන” යි අරුත් පවසති. ධාන්‍යශොධන-ස්ථානයක් ගෙන වදාළ තැන් හෙයින් ‘සම්මජ්ජනි – මුස්න’ යනු ප්‍රායෝගික නො වනුවෙන් “අපසම්මජ්ජනිසඞ්ඛාතෙන වාතගාහිනා සූපෙන” යන අටුවා බලා අප විසින් ශුද්ධපාඨය “අපසම්මජ්ජනිං”යි ද ‘සුළංකුල්ල’ යන අරුත ද යොදන ලද්දේය.

ව්‍යග්ඝපජ්ජ – උජ්ජය සූත්‍ර දෙක්හි මැ (238, 246 පිටු) සමජීවිකාව වදාරන තැන “උදුම්බරඛාදිකං වා’යං කුලපුත්තො භොගෙ ඛාදතී” යි ද, “අජද්ධුමාරිකං වා’යං කුලපුත්තො මරිස්සතී”යි ද වදාරනලද්දේය. බුරුමරට ඡට්ඨසඞ්ගීතිකාරකයන්ගේ ශොධනයෙහි ‘උදුම්බරඛාදිකං’ යනු ‘උදුම්බර-ඛාදී’ යි ද, ‘අජද්ධුමාරිකං’ යනු ‘අජෙළුමරණං’ යි ද ශුද්ධ කොට පෙළ හෙළා ඇත. එහෙත් මේ දෙකරුණ බුදුරදුන් ‘තස්ස භවන්ති වත්තාරො’ (ඔහුට කියන්නෝ වෙති)යි එකල දඹදිවු මිනිසුන්ගේ කථාව්‍යවහාරය ගෙන වදාළබව පෙනේ. එයින් මෙහි ලා බුරුම ශොධනය අපට අනභිමත යැ. තවද ‘අජද්ධු’ යනු ‘අජ්ඣද්ධවා’ යන්නෙහි මාගධප්‍රාකෘතරූපය වියැහෙයි.

‘නන්දක’ සූත්‍රයෙහි (384 පිට) ‘අද්ධා අයමායස්මා පඤ්ඤා වා පචති වා” යන තැන්හි ‘පචති’ යනු ඡට්ඨසංගීති ශොධනයෙහි ‘පජ්ජති’ යි ද, තාය්අක්‍ෂර මුද්‍රණයෙහි ‘ගච්ඡති’ යි ද එයි, එහෙත් ගමනාර්ථ අනාගත ආඛ්‍යාතරූපය තුබුව මනා වනුවෙන් ‘හෙච්ඡති, ජෙච්ඡති’ යනාදි රූපයන් මෙන් සාධුත්‍වය සලකා ‘පච්ඡති’ යන රූපය පෙළෙහි යොදැලීමහ.

නවකනිපාතයේ ප්‍රථමවර්‍ගයේ සත්වැනි ‘සුතවාපරිබ්බාජක’ සූත්‍රයේ (396-98 පිටු) හා අටවැනි ‘සජ්ඣපරිබ්බාජක’ සූත්‍රයෙහි (400 පිට) ද රහතුන් වහන්සේ පිළිබඳ කොට දක්වන අභව්‍යස්ථාන නවයෙක් වෙයි. දෙසුමෙහි මැ මුලින් දක්වන කරුණු පස සාධාරණවන අතර පසුව එන කරුණු සතර වෙනස්ව ඇත. මේ වෙනස දක්වන බුද්ධඝොෂාචාර්‍ය්‍යහු: “බුද්ධං පවචක්ඛාතුන්ති: න බුද්ධො අයන්ති එවං පටික්ඛිපිතුං, ධම්මාදිසූපි එසෙව නයො. එවං තාව අට්ඨකථාය ආගතං, පාලියං පන ඉමස්මිං සුත්තෙ අගතිගමනානි කථිතානි. අට්ඨමෙ බුද්ධාදීනං පවචක්ඛානං කථිතං.” යි. ‘බුද්ධං පවචක්ඛාතුං’ යනාදි පදයන්ට අර්‍ත්‍ථ දක්වා අර්‍ත්‍ථකථායෙහි මෙසේ ආයේ යැ, එතෙකුදුවත් පාලියෙහි මේ (සත්වැනි සුතවා) සූත්‍රයෙහි අගතිගමන කියනලදැයි ද, අටවැනි (සජ්ඣ) සූත්‍රයෙහි බුද්ධාදි ප්‍රත්‍යාඛ්‍යානය කියනලදැ යිද දැක්වූහ. මෙහි දී හෙළිවන වැදගත් කරුණක් ඇත: බුදුගොස් ඇදුරන් පවසන අට්ඨකථාව නම්: ලක්දිව මිහිඳු පරපුරෙහි සිංහල මහතෙරවරුන් ලියතැබූ මහා විහාරීය හෙළටුවාව යැ, පාලිය නම්: දඹදිව දී සිය ඇදුරුපාණන් වෙත උගත් තෙවළා බුදුවදන යැ. හෙළටුවා ලියන ලදුයේ මහමිහිඳු තෙරණුවන් ගෙනඑනලද වාචනාමාර්ගයෙහි වූ පාළියට බවද පිළිගතයුතු ය. මෙය සසඳා බලත් මැ බුදුගොස් ඇදුරන් අටුවායෙහි ඇතැයි කී නය මැ මහාවිහාරීය අඞ්ගුත්තරනිකායපාලියෙහි ද එසේ මැ දක්නට ඇත. එහෙත් බුරුමරට අඞ්ගුත්තරනිකායපාලිය බුදුගොස් හිමියන් කී පාලිය හා සැසැඳෙනබව දක්නට ලැබේ.

තවද අට්ඨකනිපාත – ලොකවිජය සූත්‍රයෙහි (210 – 12 - 14 පිටු) “අයං’සා ලොකො, පර’ස්සං ලොකො” යන පාඨ ඇතැම් සංස්කරණයෙක “අයං ලොකො, අයං ස ලොකො, පරලොකො” යනු විසින් එයි. එහෙත් ‘අයංඅස්සා, පරොඅස්සා’ යන රූපයන්ගේ සංහිතා හෙයින් ‘අයං’සා, පරස්සා’ යනු අප විසින් ආදාතව්‍ය විය. අඞ්ගුත්තරාගමවරය පිළිබඳ කොට වෙනත් කියැයුතු දැය අවසානභාගයෙහි ලා පවසම්හ.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන් ශුභ්‍ර වැ පළකරවාලීම සඳහා ක්‍රියාකාරී ප්‍රයත්නයෙක යෙදෙන ගරු සංස්කෘතික ඇමතිතුමාණන් ප්‍රමුඛ එම අමාත්‍යාංශයෙහි හා සංස්කෘතික අධිකාරියෙහි සියලු පිනැතියනට ද, දෙහිවල ‘තිසර’ මුද්‍රණාලයාධිකාරිතුමන් ඇතුළු එම කාර්‍ය්‍යමණ්ඩලයට ද, මෙම සත්ක්‍රියාවෙහි උපස්තම්භන වන හැම සජ්ජනයනට ද අපගේ කෘතඥතා පූර්‍වක ආශංසනය වන්නේය. හැම ලෝවැසියෝ දුකින් මිදෙත්වා.

මේවගට—ශාසනොදයකාරී ලබුගම ලංකානන්ද ස්ථවිර ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක

2521 / 1977 අප්‍රියෙල් මස 30 වැනි දින ‘ප්‍රවචනොදය’ පිරිවෙන මොල්ලීගොඩ වාද්දුව.

ලබුගම ලංකානන්ද ස්ථවිර, 2521 / 1977 අප්‍රියෙල් මස 30 වැනි දින, ‘ප්‍රවචනොදය’ පිරිවෙන, මොල්ලීගොඩ, වාද්දුව.