24-AN-Anguttara Nikaya 3.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1968
- මුද්‍රිත වර්ෂය :
- 1968
- පිටු ගණන :
- 498
- බාගත කිරීම් ගණන :
- 1,633
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 90 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 20 වැනි වෙළුම මෙන්ම සූත්‍රාන්ත පිටකයේ 14 වැනි ග්‍රන්ථය වන්නේ මෙම අංගුත්තරනිකාය - තෘතීය භාගය යි. මෙහි අන්තර්ගත වන්නේ අංගුත්තර නිකායට අයත් පඤ්චක නිපාතයයි.
ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් හල්ගස්තොට දේවානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි මුල් පරිවර්තනය සකස් කරන ලද අතර, අනතුරුව අංගුත්තරනිකාය සංශෝධක මණ්ඩලයේ කෝදාගොඩ ඤාණාලෝක නායක ස්ථවිර, පරවාහැර පඤ්ඤානන්ද හිමි, තලල්ලේ ධම්මානන්ද හිමි සහ මකුළුදූවේ පියරතන නායක හිමි ආදී වියත් හිමිවරුන්ගේ දායකත්වයෙන් ශෝධනය කොට සකස් කර ඇත. පරවාහැර වජිරඤාණ ස්ථවිරයන් වහන්සේගේ සංස්කාරකත්වයෙන් බුද්ධ වර්ෂ 2512 (ක්‍රි.ව. 1968) දී ලංකා ආණ්ඩුව මගින් මෙය මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදී.
පඤ්චක නිපාතයට අයත් සූත්‍ර ධර්මයන් පාලි පෙළ සහ සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා පිහිටන සේ මෙහි පෙළගස්වා ඇත. සෙඛබල, බල, පඤ්චංගික, සුමනා, මුණ්ඩරාජ, නීවරණ, සඤ්ඤා, යෝධාජීව ආදී වර්ග ගණනාවකින් යුතු සූත්‍ර රැසක් මෙහි අන්තර්ගත වේ.
සංස්කාරක නිවේදනය
අංගුත්තරනිකායෙහි පඤ්චකනිපාතය අවසන් කොට ඇති මේ තෘතීය භාගය සූත්රාන්තපිටක ග්රන්ථ සංඛ්‍යායෙන් තුදුස් වැනි; බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා සංඛ්‍යායෙන් විසිවැනි ග්‍රන්ථය වේ.
ලංකා බෞද්ධ මණ්ඩලය විසින් ආරාධිත වූ ගම්පහ විද්‍යාරවින්ද පරිවේණාධිපති, ශ්‍රී කල්යාණීසාමග්රීධර්ම සංඝසභායෙහි අනුනායක, හල්ගස්තොට දෙවානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් අංගුත්තරනිකායෙහි පඤ්චක, ඡක්ක, සත්තකනිපාතයෝ සිංහලට පරිවර්තනය කරණ ලදහ. උන්වහන්සේ විසින් ඉදිරිපත් කරණ ලද ඒ නිපාතයන්ගේ සිංහල පරිවර්තනය සාධු වාද ලැබීමට යොග්‍ය වේ. එහෙත් එය එලෙසින් ම මුද්‍රණයට පත් කිරීම පර්‍ය්‍යාප්ත නොවන සැලකූ අංගුත්තරනිකාය සංශොධක මණ්ඩලයෙහි අධිකාරී කෝදාගොඩ පණ්ඩිත ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ හා පරවාහැර පණ්ඩිත පඤ්ඤානන්ද, තලල්ලේ පණ්ඩිත ධම්මානන්ද යන ස්ථවිරවරයන් විසින් කොහුවල විජයශ්රීවද්ධනාරාමාධිපති ආචාර්ය්ය මකුළුදූවේ පියරතන නායක ස්ථවිරයන් වහන්සේගේ සහායකත්වය ඇති ව අංගුත්තර පඤ්චකනිපාතය සකස් කොට සිංහලට පරිවර්තනය කරණ ලදී. ධර්මාර්ථ නො පිරිහෙළා පෙළද ශුද්ධ කරමින් සිංහල සාහිත්‍ය පෝෂණයට ද හිත වන සේ පරිවර්තිත පඤ්චකනිපාතය අංගුත්තරනිකායේ තෘතීය භාගය වශයෙන් මුද්‍රණයට පිළියෙල කිරීමේ දී ත්‍රිපිටක පරිවර්තන සංශෝධන මණ්ඩලයෙහි සාමාජිකයන් වන ලබුගම පණ්ඩිත ලංකානන්ද නායක ස්ථවිරයන් වහන්සේ හා කරගම්පිටිගොඩ පණ්ඩිත සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් දරණලද ආයාසය පැසසිය යුතු වේ. ද්විපත්ර බැලීමෙහි දී පරවාහැර පණ්ඩිත පඤ්ඤානන්ද ස්ථවිරයෝ ද උපකාරී වූහ.
අංගුත්තර පඤ්චකනිපාතයෙහි සූත්‍ර දහයක් බැගින් ඇති වර්ග විසිපහකි. වර්ග පහ පහ යෙදෙන පණ්ණාසක (සූත්‍ර පනහක් ඇති කොටස්) පහකි. එහෙත් “ඡට්ඨො පණ්ණාසකො”යි පෙළෙහි දැක්වෙන හෙයින් එහි පණ්ණාසක සයක් ඇති බව පෙනේ. එහෙයින් අප විසින් “ඡට්ඨ පණ්ණාසකං”යි පණ්ණාසක පිළිවෙල අනුව හිස් පාඨය සොදන ලදී. එහි ඇත්තේ ‘උපසම්පදාවග්ගො’ නමින් එක් වර්ගයෙකි. එය පණ්ණාසකයෙහි එන වර්ග සංඛ්‍යා පරිපාටිය අනුව “උපසම්පදාවග්ගො පඨමො”යි යොදන ලදී. එයට සවරූපයෙන් හා පෙය්යාලක්රමයෙන් සංක්ෂිප්ත ව දැක්වෙන සූත්‍ර විසිඑකක් ඇතුළත් ය. පෙළෙහි වර්ග නාමයක් නැති අධික සංඛ්‍යාවක් පෙය්‍යාලයෙන් අන්තර්ගත වූ සූත්‍ර තිස්නවයක් “වග්ගාතිරෙකසුත්තානි”යි අප විසින් යොදන ලදහ. ඉක්බිති එන සූත්‍ර අටසියපනහක් “රාගාදිපෙය්යාලං” නමින් දැක්වෙයි. මෙසෙයින් පඤ්ච පණ්ණාසකයෙහි දැක්වෙන සූත්‍ර දෙසියපනහ සමග අංගුත්තර පඤ්චකනිපාතයෙහි සූත්‍ර එක්දහස් එකසිය සැටක් වේ. එහෙත් පාලියෙහි නිපාතාවසානයෙහි “උපසම්පදවග්ගො ඡට්ඨො”යි ද “ඡට්ඨො පණ්ණාසකො”යි ද දක්වමින් උපසම්පදා වර්ගයට සූත්‍ර නවසියදසයක් ඇතුළත් වන සේ අඟවා තිබේ. බුරුම අකුරෙන් ද සියම් අකුරෙන් ද මුද්‍රිත පොත්හි ද ‘උපසම්පද වග්ගො ඡට්ඨො’යි දැක් වේ. පඤ්චම පණ්ණාසකයේ අවසන “වග්ගො පංචමො”යි දැක්වූ පස්වන වග හා සම්බන්ධ කොට පෙළෙහි “උපසම්පද වග්ගො ඡට්ඨො”යි දක්වා ඇති බව සිතිය හැකි වෙයි.
මෙහි පාඨකයන්ගේ පහසුව සඳහා පෙළෙහි ඌන වූ ද අස්ථානපතිත වූ ද පෙය්යාලයන් [ ] - මේ ලකුණු අතර යොදා, එක ම පද්ධතියක් වශයෙන් යෙදී ඇති පදවාක්යයන් ද, ඒ ඒ සූත්‍රයන්හි එන පස්වැදෑරුම් ධර්මසංඛ්යා ද වෙන් කොට දැක්වීමෙහි ලා අප විසින් දැරූ ආයාසය අනලප බව සැලකිය යුතු.
මේ ග්‍රන්ථය ද බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි 20 වැනි ග්‍රන්ථය වශයෙන් මෙසේ මුද්‍රණය කරවීමෙන් සිද්ධවන ධර්මදානමය පුණ්යසම්භාරයෙන් ලංකාණ්ඩුව ද, සාංස්කෘතික කාර්ය්යාංශයේ අධිකාරීහු ද, සිංහලජාතික (ස්වදේශීය) මුද්‍රණාලයෙහි අධිකාරීන් හා මුද්‍රණ ශිල්පීහු ද, ග්රන්ථපරිවර්තක හා සංශොධක ස්ථවිරවරු ද සුදුසු පරිදි සංවීතවර්ග සම්පත් ලාභයෙන් සුවපත් වෙත්වා !
පරවාහැර වජිරඤාණ ස්ථවිර.
ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවෙහි ද
සංස්කාරක මණ්ඩලයෙහි ද සම්පාදක.
ශ්‍රී බුද්ධවර්ෂ 2512.
ත්‍රිපිටක කාර්යාලය,
ධර්මදූත ආශ්‍රම විද්‍යාලය,
174, සිරිවජිරඤාණ මාවත,
කොළඹ 9.