22-AN-Anguttara Nikaya 1.pdf

පිටු ගණන :
662
බාගත කිරීම් ගණන :
2,718
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
116 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 332

අංගුත්තරනිකාය (ප්‍රථම භාගය) යනු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 18 වන වෙළුම (සූත්‍ර පිටකයේ 12 වන ග්‍රන්ථය) වේ. මෙහි අංගුත්තර නිකායට අයත් එකක නිපාතය, දුක නිපාතය සහ තික නිපාතය යන නිපාත තුනෙහි පාලි පෙළ සහ ඊට අනුරූප සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත.

ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවේ අංගුත්තරනිකාය සංශොධක මණ්ඩලය වූ පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිර, පණ්ඩිත පරවාහැර පඤ්ඤානන්ද ස්ථවිර, පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද ස්ථවිර යන හිමිවරුන් විසින් මෙහි පාලි පාඨ සංශෝධනය සහ සිංහල පරිවර්තනය සිදු කරන ලදී. පණ්ඩිත ලබුගම ලංකානන්ද නාහිමියන් ද සංශෝධන කටයුතුවලට දායක වී ඇත.

මෙහි අඩංගු ප්‍රධාන කොටස්:

  • එකක නිපාතය
  • දුක නිපාතය
  • තික නිපාතය

පෙළ සංශෝධනයේදී පුස්කොළ පොත්, මුද්‍රිත පොත් මෙන්ම බුරුම ඡට්ඨ සංගායනා පිටපත් ද සසඳා බලා අටුවා ටීකා සම්ප්‍රදායට අනුකූලව පාඨ ශෝධනය කර ඇති අතර, සිංහල පරිවර්තනය සම්භාව්‍ය හා වියත් භාෂා ශෛලියකින් සම්පාදනය කර ඇත.

සංස්කාරක නිවේදනය.

සූත්‍රාන්ත පිටකයෙහි චතුරාගම වශයෙන් දැක්වෙන සිවුමඟසඟි අනුරෙන් සිවුවන අංගුත්තර සඟියෙහි එකක - දුක - තික නිපාත තුනෙන් යුක්ත මේ ප්‍රථම භාගය බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි සංඛ්‍යා වශයෙන් 18 වන ග්‍රන්ථය වේ.

ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක සභාවේ අංගුත්තරනිකාය සංශොධක මණ්ඩලයට ඇතුළත් පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ, පණ්ඩිත පරවාහැර පඤ්ඤානන්ද ස්ථවිරයන් වහන්සේ, පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ යන තෙනම විසින් මෙහි පාළිය ද සංශෝධනය කරමින් සිංහල පරිවර්‍තනය නිමහම් කරණ ලදී. පණ්ඩිත ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේ ද කලක් මේ පරිවර්‍තනයෙහි ද ශුද්ධියෙහි ද නියුක්ත වූහ.

මෙහි සංස්කරණය සම්බන්ධයෙන් සසඳා බැලූ පුස්කොළ පොත්හි ද මුද්‍රිත පොත්හි ද පදවිභාග - වාක්‍යච්ඡෙද - විරාමසංකේතාදියෙන් සකස් නොවූ, අස්ථානපතිත පෙය්‍යාලයෙන් ද වාක්‍යසංකලනයෙන් ද ආකුල වූ පාළිය හැකි පමණින් අර්ථාවබෝධයට පහසු වන සේ අභිනව මුද්‍රණයට සකස් කිරීම සඳහා අප විසින් දැරූ ප්‍රයත්නය කෙබඳු දැයි මෙය කියවන්නන්ට හැඟියනු ඇත. මෙහි මුද්‍රිත පාළියෙහි ද පරිවර්‍තනයෙහි ද ඒ ඒ තන්හි දක්නට ලැබෙන “ [-], (-) ” අර්ධචතුරස්‍ර - අර්ධචන්ද්‍ර රේඛා, අංක සංඛ්‍යා ආදියෙන් නිර්දිෂ්ට පද - වාක්‍ය ඒ ඒ වර්ග හා සූත්‍ර වෙන් කිරීම පිණිසත්, ඒ ඒ සූත්‍රයන්හි එන ධර්‍මය පැහැදිලි කිරීම පිණිසත් යෙදෙන පරිදි සලකා අප විසින් යෙදූ බව සැලකිය යුතු.

අංගුත්තරනිකාය සංශොධක මණ්ඩලයේ සභාපති ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ හා අප විසින් ශෝධ්‍යපත්‍ර බලා මුද්‍රණයට පත් කරණ ලද මේ ග්‍රන්ථයෙහි මූලික ශොධ්‍යපත්‍ර බැලීමෙන් ද විෂයසූචි සැපයීමෙන් ද පණ්ඩිත සලගම ධර්මිකථික ස්ථවිරයන් වහන්සේ අපට සහාය වූහ. අප සැමගේ අවධානය ඉක්මවා මෙහි රැඳුන අවශ්‍යයෙන් දැක්විය යුතු ඛලිතස්ථාන ග්‍රන්ථාවසානයෙහි ශුද්ධිපත්‍රයෙන් දක්වා ඇත.

ධර්‍මවිනය හා භාෂා සාහිත්‍ය විෂයෙහි හසළ බුද්ධි ඇති පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ විසින් අංගුත්තරනිකායප්‍රශස්ති වශයෙන් ග්‍රන්ථයෙහි ප්‍රකරණමහත්ත්වය හා තදංගය විශද කෙරෙමින් එහි ධර්‍මගෞරවයට සරිලන සේ ලියූ අර්ථව්‍යක්තියෙන් සුභග වූ සංඥාපනය මේ අනර්ඝ සඟිබරණපොත ගැණ දතයුතු පමණි පමණට ම ගෙණැ ඇර පා ඇත. එහෙයින් මෙහි අමුතු විඥප්තිකථා නො යෙදේ.

සම්බුද්ධශාසනාභිවෘද්ධියට හිත වූ මේ අධිකාරයෙහි ස්වායත්ත කෘත්‍යය සම්පාදනයෙන් සහභාගි වූ සංස්කාරක ස්ථවිරවරුන් හා ලංකාරජය ද, රජයේ සාංස්කෘතික කටයුතු පිළිබඳ කාර්‍ය්‍යාංශයෙහි අධිකාරීන් හා සේවක භවත්හු ද, සිංහල ජාතික මුද්‍රණාලයෙහි අධිකාරීන් හා මුද්‍රණශිල්පීහු ද බෞද්ධලෝකයාගේ කෘතඥතා සහිත ස්තූතියට පාත්‍රවෙමින් ධර්‍මදානමය කුශල මහිමයෙන් හැම කල්හි සුඛභාගි වෙත්වා යි ආශංසනය කරම්හ.

පරවාහැර වජිරඤාණ ස්ථවිර,
ත්‍රිපිටකපරිවර්‍තන කාරක සභාවෙහි ද
සංස්කාරක මණ්ඩලයෙහි ද සම්පාදක.

ත්‍රිපිටක කාර්‍ය්‍යාලය, ධර්‍මදූතාශ්‍රම විද්‍යාලය
දෙමටගොඩ, කොළඹ.

සංඥාපනය.

අංගුත්තරනිකාය :

අප බුදුන් බරණැස්නුවර සමීපයෙහි මුවදෙන මුවළැවෙහි දී ‘ධම්මචක්ක’ය පැවැත්වූ තැන් පටන් කොට කුසිනාරාපරිනිර්‍වාණමඤ්චකය තෙක් පන්සාලිස් අවුරුද්දක් දවස් කෘත්‍යයුගමහාමෙඝයක් සෙයින් දහම්අමාවැහැරැ වස්වමින් සූවිසි අසංඛ්‍යයක් දෙවිමිනිසුන් අමාමහනිවන් දක්වා පිරිනිවිසඳ, සංඝස්ථවිර වූ මහාකාශ්‍යප මහරහතුන් වහන්සේ ප්‍රධාන කොට ඇති ත්‍රිපිටක අසීමසම්පත් ප්‍රභෙදධර සිවුපිළිසිඹියාපත් මහරහතුන් පන්සියක් දෙනා වහන්සේ දෙශ - කාල - නිදාන ආදී විසින් විසිර සිටි ධර්‍මවිනය චිරස්ථායී වනු පිණිස පළමු වන සංගීතිකාසඞ්ගීතිය කළහ.

එහි ලා දීඝ - මජ්ඣිම - සංයුක්ත - අංගුත්තර - ඛුද්දක විසින් ආගමපසෙකින් සූත්‍රාන්තපිටකය බෙදනුයෙ උත්තරොත්තරයෙහි අංග විසින් නැඟුණු සූත්‍රයන් පිටුකොට ගත් නිපාතසංග්‍රහය අංගුත්තරාගම නම් කළහ. එකුත්තරනිකාය, අංගුත්තරනිකාය, අංගුත්තරසද්ධර්‍ම, යනුදු එහි මැ නම්. මෙහි අංගුත්තර යනු තෙල නිපාතසංග්‍රහයෙහි අර්ථොද්ගම විශේෂ සංඥා යැ. ආගම යනු සාමාන්‍ය සංඥා යැ. එහි ලා “ආගමිස්සන්ති එත්ථෙතෙන එතස්මා වා අත්තත්ථපරත්ථාදයො’ති ආගමො”යි ආගම ශබ්දයෙහි නිෂ්පත්ති කියති. “තෙල නිපාතසඞ්ග්‍රහයෙහි ලා ආත්මොපපරාර්‍ත්ථාදීහු උද්භවයට එත් නු”යි ආත්මොපපරාර්‍ත්ථාදීන්ගේ ආධාරය ආගම නම් වෙයි. නොහොත් “තෙල නිපාතසඞ්ග්‍රහය කරණ කොට ගෙණැ ආත්මොපපරාදීහු උද්භවයට එත් නු”යි ආත්මොපපරාදීන්ගේ කරණය ආගම නම් වෙයි. නොහොත් “තෙල නිපාතසඞ්ග්‍රහය කෙරෙන් ආත්මොපපරාර්‍ත්ථාදීහු උද්භවයට එත්නු”යි ආත්මොපපරාර්‍ත්ථාදීන්ගේ අවධිය ආගම නම් වෙයි. මෙසේ ශබ්දනිෂ්පත්ති විසින් ගනුත් මැ, ආගම ශබ්දය ආත්මොපපරාර්‍ත්ථාදීන්ගේ ආධාරයත් කරණයත් අවධියත් කියන්නේ යැ. “එකකාදීහි අඞ්ගෙහි උපරුපරි උත්තරො අධිකො’ති අඞ්ගුත්තරො”යි අංගුත්තර ශබ්දයෙහි දු නිෂ්පත්ති කියති. එකක - දුක ආදි අංගයෙන් මතුමතුයෙහි උත්තර වැ අධික වැ සිටුනේ නු අංගුත්තර නම් වෙයි. “අංගුත්තරො ච සො ආගමො චෙති අංගුත්තරාගමො’යි සමාසවෘත්ති විසින් කියත් මැ, විශෙෂසංඥා විසින් ‘අංගුත්තර’ සෙයිනුදු, සාමාන්‍යසංඥා විසින් ‘ආගම’ සෙයිනුදු සිටුනේ එක් මැ නිපාතසංග්‍රහය වේ නුයි ඒ නිපාතසංග්‍රහය අංගුත්තරාගම නම් වන්නේ යැ. ‘එකොත්තර’ යනු බෞද්ධ සංස්කෘතයෙහි ව්‍යවහාරයි.

සඟි අනුරෙහි වර්ගවශයෙන් කළ සංග්‍රහයෙක් ද ඇත, සංයුක්ත වශයෙන් කළ සංග්‍රහයෙක් ද ඇතැයි මෙසෙයින් නානාවිධ සිද්ධීන් මැ, අංගුත්තර සඟිය නම් නිපාත වශයෙන් කළ සංග්‍රහයෙක් වේ නුයි ‘නිපාතසංග්‍රහ’ය ද වන්නේ යැ. “එකකදුකාදිපතිමණ්ඩිතස්ස අංගුත්තරාගමවරස්ස”යි බුද්ධඝොෂාචාරීන් වහන්සේ ද නිපාතසංග්‍රහ වශයෙන් තෙල සඟියට සොත්තු කළහ. අටුවාහි එන සෙයින් බලත් මැ මෙහි නිපාතයෝ එකොළොස් දෙනෙකි. ‘චිත්තපරියාදාන’ ආදි සූත්‍රයෝ නවදහස්පන්සියසූපනස් දෙනෙක් නිපාතගණයෙහි බැසැගෙණැ සිටිති. එහැම බණවර විසින් එක්සිය විස්සෙකි. බණවරෙක් අකුරු අටදහසක් ඇත්තේ නුයි තෙල නිපාතසංග්‍රහයෙහි අක්‍ෂරයෝ නවලක්‍ෂ සැටදහස් දෙනෙක් ඇත. එයින් මැ සඟි අනුරෙහි ලා සූත්‍රගණනායෙනුදු භාණවාරගණනායෙනුදු අක්‍ෂරගණනායෙනුදු බෘහත් සංග්‍රහය ද වන්නේ යැ.

වාරිත්‍ර - චාරිත්‍ර ආදි ශීලකථා යැ, පිණ්ඩපාතිකාඞ්ගාදි ධුතධර්‍මයෝ යැ, කසිණාදි කර්‍මස්ථානයෝ යැ, රාගවිරාගාදීහු යැ, රූපාවචරධ්‍යානයන් හා අරූපසමාපත්තීහු යැ, ෂඩභිඥා යැ, ස්කන්ධ - ධාතු - ආයතන - ඉන්ද්‍රිය - බල - බොධ්‍යඞ්ගයෝ යැ, චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයෝ යැ, ප්‍රතීත්‍යසමුත්පාද කථා යැ, ශමථවිදර්ශනාභාවනා යැ යනාදි ධර්‍මයෝ තෙල සඟියෙහි බෙහෙවින් බැසැ සිටිති. ශ්‍රාවකයන්ගේ අග්‍රස්ථානයෝ යැ, පුද්ගලස්වභාවයෝ යැ, සද්දෙශයෝ යැ, දුඃඛවිපාකයෝ යැ, නිග්‍රහස්ථානයෝ යැ, රාජධර්‍මයෝ යැ, ජානපදික ධර්‍මයෝ යැ යනාදි නොයෙක් කරුණු ද මෙහි වැදගෙණැ සිටුනේ යැ. ව්‍යවහාරයෙහි කුශල වූ භාග්‍යවතුන් විසින් ව්‍යවහාර බාහුල්‍යය ගෙනැ වදාළ සූත්‍ර රාශි වන බැවින් ව්‍යවහාරදෙසනාවෙහි දු අන්තර්ගත වෙයි. අනෙකාධ්‍යාශය - අනුශය - චරිත - අධිමුක්ති ඇති සත්ත්‍වයන්ට යථානුලොමයෙන් අනුශාසනා කළ සූත්‍ර වන බැවින් යථානුලොමානුශාසනයෙහි දු අන්තර්ගත වෙයි. දෙසැට මිසදිටු බිඳුවනට වදාළ සූත්‍ර වන බැවින් දිට්ඨිවිනිවෙඨනකථායෙහි දු අන්තර්ගත වෙයි. ත්‍රිවිධ ශික්‍ෂාවන් කෙරෙහි අධිචිත්තශික්‍ෂා පිණිසැ බෙහෙවින් අනුශාසනා ඇතියෙන් අධිචිත්තශික්‍ෂා කියනුයේ වෙයි. ප්‍රහාණයන් කෙරෙහි ක්ලෙශයන්ගේ පර්‍ය්‍යුට්ඨානයට විපක්‍ෂ උපදෙශ බහුල වන බැවින් පර්‍ය්‍යුට්ඨානප්‍රහාණය කියනුයේ වෙයි. “සූත්‍රපිටකයෙහි පිළිපන්නාහු සමාධිසම්පත් ඇසිරි කොට ගෙනැ ෂඩභිඥා ලබත්නු”යි අභිඥාසම්පත් දෙණුයේ ද වෙයි. ධර්‍ම විසින් අර්‍ථ විසින් දෙශනා විසින් යථාස්වභාවබොධ විසින් අත්‍යර්ථයෙන් ගැඹුරු වූයේ ද වෙයි.

ධර්‍මසංවර්‍ණනා කරන ආචාර්‍ය්‍යවරයෝ සංවර්‍ණිතධර්‍මයට මුලැ මැ විශෙෂ ගුණකීර්‍තනයෙකින් සොත්තු කරති. බුද්ධඝොෂාචාර්‍ය්‍ය වහන්සේ ද ආගමයන් සතර දෙනා ගෙනැ සංවර්‍ණනා කරනුනා සුමඞ්ගලවිලාසිනියෙහි දී විශෙෂ ගුණකීර්‍තන විසින් ශ්‍රද්ධාවහ - ගුණය ගෙනැ දීර්‍ඝාගමයට සොත්තු කළහ. පපඤ්චසූදනියෙහි දී විශෙෂ ගුණකීර්‍තන විසින් පරවාදමථනය ගෙනැ මජ්ඣිමාගමයට සොත්තු කළහ. සාරත්‍ථප්පකාසනියෙහි දී විශෙෂ ගුණකීර්‍තන විසින් ඥානප්‍රභෙදජනනය ගෙනැ සංයුක්තාගමයට සොත්තු කළහ. මනොරථපූරණියෙහි දී විශෙෂ ගුණකීර්‍තන විසින් විචිත්‍ර ප්‍රතිභාජනනය ගෙනැ අංගුත්තරාගමයට සොත්තු කරනුනා මනොරථපූරණී ‘ශුද්ධිකථා’යෙහි දී -

“එකකදුකාදිපතිමණ්ඩිතස්ස අංගුත්තරාගමවරස්ස ධම්මකථිකපුබ්බවානං විචිත්තපටිභානජනකස්ස” යනුදු,

නිගමන ගාථායෙහි දී -

“ධම්මකථාය නිපුණං පරමණිකායස්ස විත්ථතං ආරද්ධො සම්පං චිරකාලට්ඨිති මිච්ඡන්තො සාසනට්ඨානං” යනුදු කියති.

මෙසෙයින් එකකදුකාදිනිපාතයන් විසින් ප්‍රතිමණ්ඩිත වන අංගුත්තරාගමය නම් ධර්‍මකථිකපුඞ්ගවයනට ‘විචිත්‍ර ප්‍රතිභා’ ඇති කරන හෙයින් ධර්‍මකථායෙහි ලා නිපුණ වූත් එයින් මැ පරම වූත් නිකාය වනසේ කියති.

හේතු - උපමාදින් ප්‍රතිමණ්ඩිත නානාවිධ දේශනානයසහස්‍රයන් විසින් විචිත්‍ර වන හෙයින් ‘විචිත්‍රප්‍රතිභාජනන’ය තෙල සඟියෙහි ‘අනන්‍යසාධාරණ ගුණයෙකි’ යි කියූ වෙත්. ධර්‍මකථිකයන් මහාජනයන් කෙරෙහි බැසැ කරන ධර්‍මකථායෙහි ලා නිරතුරු උද්ධරණයට නිසි දේශනා ඇතියෙන් අත්‍යර්‍ථයෙන් නිපුණ වූත් ප්‍රවර වූත් ආගමය නම් ‘අංගුත්තරාගම’ නමැයි ද කියූ වෙත්.

ඔබ ‘දික්සඟි - මැදුම්සඟි - සංයුත්සඟි’ පසසමින් “බුද්ධානුබුද්ධසංවණ්ණිතස්ස”යි බුද්ධානුබුද්ධසංවර්‍ණිත සේ කියූව ද, අංගුත්තරසඟියෙහි ලා ඒ පදය විශෙෂණ විසින් නො යොදති. ආගමයෙහි ස්වභාවකථනයක් වන් මුත් විශෙෂවර්‍ණනා නොවනුවෙන් මෙහි ලා ඒ පදය නො කියති. ධර්‍මකථායෙහි ලා එන විචිත්‍රප්‍රතිභාජනනය විශේෂ සොත්තු විසින් තෙල ආගමය පිණිසැ වෙන් කොට ගනිත්.

පළමුවන දහම්සඟායෙහි රැස් වැ සිටි මහරහත්හු තෙල සඟිය ගෙනැ දිවැස් ඇති සඟුන් කෙරෙහි අගතැන් ගිය අනුරුද්ධ මහරහතුනට දක්වා දුන්හ. ඔබගේ නිශ්‍රිතයෝ අංගුත්තර භාණක නම් වැ සිට ශිෂ්‍යානුශිෂ්‍යශාඛාපරම්පරා විසින් තෙල සඟිය පුහුණු කරමින් සිටියහ. අදද පවා ධර්‍මකථායෙහි යෙදෙන ධර්‍මකථිකයනට තෙල ආගමය හස්තසාරයක් සෙයින් සිටුනේ යැ. මෙහි දී තෙවළායෙහි පෙළපොත් පිණිස එන වාදවිවාද හා සබඳිතා ගැනැ දනු කැමැතියන් මහවගට ලියූ ප්‍රස්තාවනාව බලන්නේ යැ.

සංශොධනය :

අංගුත්තරනිකාය සියබසින් තබන් මැ පෙළෙහි ශොධනය ද අවශ්‍ය මැ යැ. සදෙස විදෙසයෙහි පළට වූ පොත් සසඳා නිරවද්‍ය පාඨය නඟා ගැනුම අතිශය දුෂ්කරයෙකි. බුද්ධඝොෂාචාරීන් කළ අටුවායෙහි දු විසදෘශපාඨ දක්වති. එයින් පෙනෙණුයේ බුද්ධපරිනිර්වාණයෙන් ප්‍රථම වර්ෂසහස්‍රය තුළැදින් දුෂ්ටපාඨයන් පාඨාන්තර වශයෙන් පහළ වැ තුබූ බවයි. එහිදී කළමනා පාඨය හා ගතමනා පාඨය හා වෙන් නොකළ හැකි තැන උභයපාඨයෙහි මැ ව්‍යාඛ්‍යාන කියති. එකක් බැහැර ලන්නට කරුණු දූව, හේතු දක්වා එය බැහැර කෙරෙති. දෙදහස්පන්සියක් වසක් ගත වැ සිටි මෙ දවස වන් මැ පාඨාන්තර ගහන වනු ආශ්චර්‍ය්‍යයක් නො වෙයි. එහි දී ශුද්ධපාඨය සොයන්නට ප්‍රමාණ කොට ගතමනා වනුයේ අටුවා ටීකාවන් හා ශබ්දලක්‍ෂණය ම වෙයි.

ළඟදී බුරුමරටෙහි කළ ඡට්ඨසඞ්ගායනායෙහි එන සංශොධිත පාඨ අපි පරීක්‍ෂා කළම්හ. කිසිතැනෙකැ නොපිළිගත හෙන ශොධනයෝ ඇත. මෙහි ලා එයට නිදර්ශන කිහිපයක් දක්වනු නිසි වෙයි:

බුරුම තෙරවරු ‘බහුනං’ යනු දෙශාන්තරයෙන් ගත් හැම පොතෙකැ එනසේ කියමින් එය “අශුද්ධය”යි බැහැර කොට “බහුන්නං” යනු ශුද්ධපාඨය සේ දක්වති. මේ ශුද්ධිය නොපිළිගත හැක්කේ යැ. ‘බහුකතිනං’ (1. 50.) නමහි “බහුනො කතියො වා නු’ත්ථ හොන්ති. බහුනං, කතිනං” යි මුගලන් වියරණයෙහි දී සූත්‍ර - වෘත්ති - උදාහරණ කියමින් ‘බහුනං’ යනු සිද්ධ කරත්. ‘බහුන්නං - කතින්නං’ යන රූපයෝ ‘බහුනං - කතිනං’ යි නො සිටිත්. එයින් එහි වෛකල්පික රූපයෝ ද නැත. තෙවළායෙහි ‘බහු - කති’ දෙ ශබ්දයන් පිළිබඳ තෙල විශේෂය නොදක්නාහු වැරදි පදය ශුද්ධ පදය සෙයින් ගන්නට සිතත්. මෙවැනි තැනැ ශුද්ධ පදය සොයන්තට ශබ්දලක්‍ෂණය වහල් වන්නේ යැ. එයින් අපි වෛය්‍යාකරණයන් විසින් උපදිෂ්ට පද ඒ සැටියෙන් මැ ගතුම්හ.

මෙසේ වන හෙයින් අපි අටුවා ප්‍රමාණ කොට ගෙනැ මැ පාඨශොධනය පිණිසැ ප්‍රයත්න දැරීමුහ. මෙහි කියන ලද්දේ බිඳෙකි. එද අප ගත් මාර්ගය දක්වනු පිණිසැ වෙයි.

ව්‍යාඛ්‍යානය :

පුද්ගලයෙක් ස්වස්වභාවයට සරිලන සෙයින් වළඳනා පිළී හා පළඳනා ධරන්නේ වෙයි. එයින් රජෙක් ගැමියන් හඳනා පොරෝනා නියායෙන් හැඳුම් පෙරවුම් නො කෙරෙයි. රජකෙනකුට සරිලන සෙයින් මැ වෙස් ධරයි. සියබසින් කරන ආගමව්‍යාඛ්‍යානයත් පෙළබස නොදන්නවුන් පිණිසැ කළ ද ආගමයට නිසිවන බසින් කළමනා වෙයි. එහිලා ගත මනා බස නම් වියත් බසයි. වියත්බස නොවියතුනට දුරවබොධ වන්නේ යැ. එසේ දුරවබොධ වුව ද බසඅතිනුදු ඔවුන්ට වැඩ සඳහා ප්‍රයත්න දැරිය මනා කාලයෙක් දැන් එළැඹ ඇත. එයින් අපි තෙල ආගමයට සියබසින් ව්‍යාඛ්‍යාන කරන්නමෝ බෙහෙවින් වියත්බස් මැ නිසි කොට ගතුම්හ. “හීනාරුචිරො හි ලොකො” (‘ලොකයෝ හීනාරුචිකයහ’) යනු ආප්තවචන වන හෙයින් මෙහි ලා උපයුක්ත බස පිණිසැ කෙනෙක් පහත් වෙති. කෙනෙක් නොපහත් වෙති. මේද අපි දනුම්හ. අප්‍රසන්නයන්ට ද වැඩ සඳහා යැ මෙහි පැරණි හෙළුවදන් යෙදුණේ. සිංහල සාහිත්‍යයෙහි එන පැරණි වදන් යෙදුව ද අතිප්‍රයුක්ත සංස්කෘත වචන මිසැ පාළිපද සකුබසින් තබන්නට නො ගියම්හ. සකුවහරෙහි ඣම්පීල, වාගීශ ආදි විසින් එන වචන කිම්පිල, වඞ්ගීස ආදි විසින් පාළිසැටියෙන් සිටුනේ යැ. එබඳු තන්හි පාළිසැටිය මැ තැබුම්හ.

ව්‍යාඛ්‍යානයෙහි දී ගුරුකුලෙහි දෙන අර්ථය දුනමනා මැ වෙයි. ගුරුකුල විසින් ‘අටුවා’ මිසැ ගතමනා අන් තැනෙක් නැත. මහා විහාරාධිවාසීන් ආගමව්‍යාඛ්‍යාන කළසැටි අටුවායෙහි එයි. මේ ව්‍යාඛ්‍යානය ඒ අටුවා වහල් කොට ගත් හෙයින් මෙහි ආචාර්ය්‍යපරම්පරා ශුද්ධිය ඇතැසේ කියම්හ. පෙළ නොදැනැදු, ආචාර්ය්‍යසම්ප්‍රදාය නොදැනැදු, ඇතැම් පණ්ඩිතම්මන්‍ය කෙනෙක් බණ පිණිස ද නිගාබස් කියත්ල. එයින් උන් ආගමඥානයෙහි දුර්වලසෙ, සැදැහැ නැතිසෙ කියාගනිත්. ගිහිගෙයි සිටුනා, බණ කියන, කියවන උවසුවන් නිතර පැරණි ඇදුරන් හරසර දී සිහිපත් කරන්නේ යැ. ගුරුළුදැමි ආදි ඇදුරෝ කිසිදු තැනෙකැ පෙළ හෝ අටුවා හෝ හෙළා දක්නා වචනමාත්‍රයකුදු නො කිහ. ඒ යැ ගතමනා ආදර්ශ නම්.

අංගුත්තරනිකාය සංශොධක මණ්ඩලයට අයත් ශාස්ත්‍රාචාර්ය්‍ය පරවාහැර පඤ්ඤානන්ද පණ්ඩිත ස්ථවිරයන් වහන්සේගේත්, පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේගේත්, අප ද ගේත් අතින් නිමහම් පත් තෙල ව්‍යාඛ්‍යානය හෘදිතයන්ගේ ප්‍රමොදය පිණිස වැටෙයි යි සිතම්හ. රූපදර්ශනය පිණිසැ ආලොකය වහල් වන්නාක් සෙයින් මේ ව්‍යාඛ්‍යානය කිරීමෙහි ලා පර්‍ය්‍යාප්ති ව්‍යාඛ්‍යානයෙහි චාතුර්යය ඇති ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි සමයාධ්‍යයනෙක්‍ෂණායෙහි විනෙතෘ හා ප්‍රමුඛාචාර්ය්‍ය ආචාර්ය්‍ය පරවාහැර වජිරඤාණ නා හිමිපාණන් වෙසෙසින් වහල් වැ ගිය සේ මෙහි සඳහන් කරම්හ. මෙහි අක්‍ෂරවින්‍යාසය ද විච්ඡෙදය ද ගුරුකුලයෙන් එන ආම්නාය ගෙනැ යෙදිණි. සැදැහැතියන් මෙහි එන බුද්ධබණ දැනැ උගෙනැ දෙලෝ වැඩ සාදා ගෙන මතුයෙහි අමාමහනිවන් පසක් කරන්නේ මැනැවැ.

කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිර,
විද්‍යාවංශ පිරිවෙන - අහංගම.