21-SN-Samyutta Nikaya 5-2.pdf

ප්‍රකාශිත වර්ෂය :
1982
මුද්‍රිත වර්ෂය :
1982
පිටු ගණන :
401
බාගත කිරීම් ගණන :
1,551
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
79 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 201

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා රජය මගින් මුද්‍රණය කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 17(2) වන වෙළුම වන සංයුත්තනිකායේ පස්වන භාගයෙහි දෙවන කාණ්ඩයයි. මෙයට සංයුත්තනිකායෙහි මහාවග්ගයට අයත් අවසාන සංයුක්ත හය ඇතුළත් වේ.

මෙහි පාලි පාඨය සහ එහි සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත. මුලින් එක් වෙළුමක් ලෙස පළ කිරීමට අදහස් කළ ද පොත විශාල වන බැවින් මහාවග්ගය කොටස් දෙකකට බෙදා පළ කරන ලදී. මෙම දෙවන කොටසට ඇතුළත් සංයුක්ත මෙසේය:

  • ඉද්ධිපාද සංයුත්තය
  • අනුරුද්ධ සංයුත්තය
  • ඣාන සංයුත්තය
  • ආනාපාන සංයුත්තය
  • සොතාපත්ති සංයුත්තය
  • සච්ච සංයුත්තය

ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක අග්ගමහාපණ්ඩිත ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන් වහන්සේගේ මූලිකත්වයෙන් සංස්කරණය කරන ලද මෙම ග්‍රන්ථය බුද්ධ වර්ෂ 2525 (ක්‍රි.ව. 1982) දී දෙහිවල තිසර මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදී.

සංස්කාරක නිවේදනය

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි සතළොස්වැනි ග්‍රන්ථය වූයේ සංයුත්තනිකායෙහි සංයුත්ත දොළොසකින් සමන්විත වූ මහාවග්ගයයි. මහාවග්ගය එක් මැ ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කැරැවීමට සලකන ලද නමුත් මුද්‍රණ අවස්ථාවට පැමිණි කල්හි එය පරිහරණයට සුකර නො වන සේ මහත් වැ යන බව පෙනුණු හෙයින් බොහෝ දෙනකුන්ගේ අදහසට එකඟව කාණ්ඩ දෙකක් වශයෙන් මුද්‍රණය කැරැවීමට සිදුවිය. එහෙයින් මග්ගසංයුත්තයෙහි පටන් බල සංයුත්තය අවසාන කොට ඇති සංයුත්ත සය සංයුත්තනිකායේ පඤ්චම භාගයෙහි පළමුවන කාණ්ඩය ලෙස පළකරවන ලද්දේය.

සංයුත්ත මහාවග්ගයෙහි අවසානයෙහි සිටි, ඉද්ධිපාද, අනුරුද්ධ, ඣාන, ආනාපාන, සොතාපත්ති, සච්ච, යන සංයුත්ත සය එමැ පඤ්චම භාගයෙහි දෙවැනි කාණ්ඩය ලෙස මුද්‍රණය කරවන්නට සිදුවූ බව පවසම්හ. මෙ මැ ග්‍රන්ථ භාගය ද ලංකා බෞද්ධමණ්ඩලයේ ආරාධනයෙන් ප්‍රථම කාණ්ඩයෙහි පරිවර්තකයන් විසින් මැ සිය බසට නගන ලදුයේ විය. මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ධම්මධර මහතෙරවරුන් විසින් මහදුත්සාහයෙන් පාඨශොධන පූර්‍වක වැ සිංහල පරිවර්තනය ද යථා විධින් සකස් කරන ලද්දේ විය. එසේ මැ ගාථාදිපාද සූචි, සංඥානාමසූචි, විසෙසපදානුක්‍රමණිකා ආදිය ද මැනවින් සම්පාදනය කොට ඇත.

ලංකා බෞද්ධමණ්ඩලය මගින් බුද්ධජයන්ති උත්සවය අනුස්මරණය කරනු සඳහා සමාරබ්ධ වූ ත්‍රිපිටක බුද්ධ වචනය සිය බසින් තබාලීමේ සත්ක්‍රියාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ජනාධිපති ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගෙන් ලැබෙන ආශීර්වාදය ද ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ උපස්තම්භය ද ගරු සංස්කෘතික අමාත්‍ය ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාගේ සංවිධානය ද අතිරේක ආදායම් ලබන රාජ්‍ය සංස්ථා භාර ඒ ඒ ගරු ඇමතිවරුන්ගේ අනුග්‍රහය ද හේතු කොට ගෙන යථෝක්ත ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය නිමහම් කිරීමට පිටුවහල් වන බව ද කියැ යුතු ය. විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ ක්‍රියා සංවිධානය මෙහි ලා ප්‍රශංසනීය බව ප්‍රකාශ කරම්හ. ශාසනායු වර්ධනයට හේතුවන පරිදි මෙ මැ සත් ක්‍රියාවෙහි සහාය වන හැම කෙනෙක් ම සුභභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.

මේ වගට, ශාස්ත්‍රාශාසනොදයකාරී,

ලබුගම ලංකානන්ද
මහානායක ස්ථවිර
ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක
2525 / 1982 අගෝස්තු 20
මහානායක චාරිකාරාමය
115, විජේරාම මාවත
කොළඹ 7.

සංඥාපනය

අප බුදුන් සාරාසැඞ්ඛ්‍යෙය් සුවහසෙකින් මතුයෙහි සුමෙධ නම් මහතවුසක් වැ අෂ්ටාඞ්ග සමවධානයෙන් යෙදී දීපංකර බුදුන් පාමුලැ වැඳහෙව සංසාර ව්‍යසනාපන්න සත්ත්ව වර්ගයා කෙරෙහි කළ කරුණායෙන් අත්පත් නිවන් සුව හැරපියා ගොරබිරම් සසරට වැද දස පැරුම් කුළුගන්වා තුසී පුරෙහි ඉපැද එහි ආයු පමණින් වැසැ දෙව්බඹුන් කළ අයැදුමින් මිනිස් ලොවැ ඉපැද පස්මරුන් දිනා බුදු වැ දම්සක් පවත්වා පන්සාලිස් හවුරුද්දක් වැඩසිටැ සදහම් අමාවැසි වස්වමින් සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් අමාමහනිවන් සනසා අනුපාදිසෙස පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවි කල්හි—

බුදුරදුන්ගේ පරිනිර්වාණසමයෙහි රැස්වූ සත් ලක්ෂයක් භික්ෂූන් කෙරෙහි සබ්‍රහ්මචාරී වූ මහසුප් මහරහතුන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිවිද්‍යා ප්‍රතිසම්භිදාප්‍රාප්ත පඤ්චශත මහාක්ෂීණාස්‍රවයන් විසින් දෙස කාල නිදානාදි විසින් විසිරැසිටි සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවාංග ශාස්තෘශාසන සඞ්ඛ්‍යාත ධර්‍මවිනය, විනය සූත්‍රාන්ත අභිධර්‍ම යන පිටක වශයෙන්ද දීඝ මජ්ඣිම සංයුත්ත අංගුත්තර ඛුද්දක යයි ආගම හෙවත් නිකාය වශයෙන් ද විභාග කොට සඞ්ගායනා කරන ලද්දේය. ඒ ප්‍රථම සඞ්ගීතිකාරක මහාකාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ වශීගණය විසින් මැ ‘මේ මේ ධර්ම යැ, මේ විනය යැ, මේ ප්‍රථමාදි ත්‍රිවිධ බුද්ධවචන යැ, මේ විනයාදි තුන් පිටක යැ, මේ දීඝනිකායාදි පඤ්ච නිකාය යැ, මේ සූත්‍ර ගෙය්‍යාදි නවාංගයෝ යැ, මේ චතුරාශීති සහස්‍රප්‍රභේද වූ ධර්‍මස්කන්ධයෝ යැ’ යි ප්‍රභේද තාක් ව්‍යවස්ථා කොට සඞ්ගීත වූයේ යි. එම තු ද ඔවුන් වහන්සේ විසින් මැ අනන්‍ය වූත් උද්ධාර සංග්‍රහ, වර්ග සංග්‍රහ, පෙය්‍යාල සංග්‍රහ, එකකනිපාත දුකනිපාතාදි නිපාත සංග්‍රහ, සංයුත්ත සංග්‍රහ, පණ්ණාසක සංග්‍රහාදි ත්‍රිපිටකයෙහි දක්නා ලැබෙන අනෙකවිධ වූ සංග්‍රහ ප්‍රභේද ව්‍යවස්ථා කරන ලද්දේ ය. සංගීති කථාවෙහි ලා දත මනා හැම විස්තරයෙක් මැ තෙවළායෙහි විශාරද වූ ආචාර්‍ය්‍ය පරවාහැර සිරි වජිරඤාණ නාහිමිපාණන් විසින් මහාවග්ගපාලියට ලියන ලද ප්‍රස්තාවනයෙන් ද, නිකායග්‍රන්ථයන් පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීම අහංගම විද්‍යාචන්ද්‍ර පරිවෙණාධිපති දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක මහතෙරපාණන් විසින් සංයුත්තනිකාය ප්‍රථම භාගයෙහි ලියූ සංක්ෂිප්ත සංඥාපනයෙන් ද දතයුත්තේ යි. මෙහි ලා සංයුත්තනිකාය පිළිබඳ අල්පමාත්‍ර විවරණයෙක් දක්වනු ලැබේ.

දෙවතාදීන් අරභයා ඔවුන් පුළුවුත් පැන විසඳීමාදී විසින් වදාළ ඔඝතරණාදි සූත්‍රයන්ගේ ද නළවර්ගාදි වර්ගයන්ගේ ද සංයුතිය - සංයොගය ඇති සංගීතිය සංයුක්තාගම නම් වෙයි. මේ සංයුක්තාගමවරය සගාථකවග්ග යැ, නිදානවග්ග යැ, ඛන්ධකවග්ග යැ, සළායතනවග්ග යැ, මහාවග්ග යැයි වර්ග පඤ්චකයෙක් වෙයි. ඒ වර්ගයන්හි බැසගෙන සිටුනා සංයුත්තයෝ සූපනස් දෙනෙක් වෙති. සංයුත්තයන්හි පිවිසැගත් අන්තර වර්ගයෝ දෙසිය අටවිසි දෙනෙක් පමණ වෙති. සංයුක්ත නිකායෙහි ලා සත්දහස් සත්සියදෙසැට සූත්‍ර කෙනෙක් වෙත්. තවද සංයුත්සඟියෙහි ගණිත කුශලයන් විසින් ගණනා ලද බණවර සියයෙක් ඇත. අෂ්ටාක්‍ෂරපාද අනුෂ්ටුප් ඡන්දසින් බැඳුණු ගාථා දෙසියසපනසෙක් බණවරෙකි. එහෙයින් විසූපන්දහස් සසිය ගාථා කෙනෙක් සංයුත්සඟියෙහි ඇත. ඒ අක්‍ෂර විසින් අටලක්‍ෂ එකුන් විසිදහස් දෙසියයෙකි.

සංයුක්ත වශයෙන් සගාථක වර්ගයෙහි දෙවතාසංයුක්ත දෙවපුත්ත — කොසල - මාර— භික්ඛුනී - බ්‍රහ්ම - බ්‍රාහ්මණ - වංගීස - වන - යක්ඛ - සක්ක සංයුක්ත’ යයි එකොළොස් සංයුක්ත කෙනෙක් වෙති. එහි අන්තර වර්ගයෝ විසි අට දෙනෙක් වෙත්.

නිදානවර්ගයෙහි ‘අභිසමය සංයුක්ත ධාතු- අනමතග්ග - කස්සප- ලාභසක්කාර- රාහුල - ලක්ඛණ- ඔපම්ම- භික්ඛු සංයුක්ත’ යයි නව සංයුක්ත කෙනෙකි. එහි අන්තර වර්ග අතිසෙකි.

ඛන්ධක වර්ගයෙහි ‘ඛන්ධසංයුක්ත රාධ- දිට්ඨි- ඔක්කන්තික- උප්පාද- කිලෙස- සාරිපුත්ත- නාග - සුපණ්ණ - ගන්ධබ්බ- වලාහක - වච්ඡගොත්ත- ඣානසංයුක්ත’ යයි තෙළෙස් සංයුක්ත කෙනෙක් වෙති, එහි අන්තර වර්ග තිසක් වෙත්.

සළායතනවර්ගයෙහි ‘වෙදනා සංයුක්ත මාතුගාම- ජම්බුඛාදක- සාමණ්ඩකානි- මොග්ගල්ලාන- චිත්ත- ගාමණි - අසංඛත- අබ්‍යාකත සංයුක්ත’ යයි නව සංයුක්ත කෙනෙක් වෙති. එහි අන්තර වර්ගයෝ අටතිස් දෙනෙකි.

මහාවර්ගයෙහි ‘මග්ගසංයුක්ත බොජ්ඣංග- සතිපට්ඨාන- ඉන්ද්‍රිය- සම්මප්පධාන - බල- ඉද්ධිපාද- අනුරුද්ධ- ඣාන - ආනාපාන- සොතාපත්ති- සච්ච සංයුක්ත’ යයි සංයුත්තයෝ දොළොස් දෙනෙකි. එහි අන්තර වර්ගයෝ සූසැත්තෑවක් වෙත්. (පෙය්‍යාල හේතුයෙන් වර්ගසංඛ්‍යා දැක්වීමේ දී ග්‍රන්ථසංස්කාරකයන්ගේ අසමාන සටහන් ඇති බව පෙනේ.)

නිකාය ග්‍රන්ථයන්ගේ ගුණස්තව විසින් අසාධාරණ විශිෂ්ටතා දක්වන බුද්ධඝොෂාචාර්‍ය්‍ය වහන්සේ—

‘‘සංයුත්තවග්ගපතිමණ්ඩිතස්ස— සංයුත්ත ආගමවරස්ස බුද්ධානුබුද්ධසංවණ්ණිතස්ස— ඤාණප්පභෙදජනනස්ස’’ යි

දෙවතා සංයුක්තා දි සංයුක්තයන්ගෙන් ද නළවර්ගා දි වර්ගයන්ගෙන් ද ප්‍රතිමණ්ඩිත වූ සංයුක්තාගමවරය අග්‍රශ්‍රාවකාදි ආචාර්‍ය්‍යයන් විසින් අර්ථ සංවර්ණනා ගුණසංවර්ණනා වශයෙන් සංවර්ණිත යැ, නොහොත් සම්යක් සම්බුද්ධයන් විසින් හා සංගායනාදි වශයෙන් අනුබුද්ධ වූ ශ්‍රාවකයන් විසිනුදු සංවර්ණිත යැ, පටිච්චසමුප්පාදඛන්ධායතනාදි කථා බහුල වැ පවත්නා හෙයින් ගම්භීරඥානචරියා විභාවන කරනුයෙන් ඥානප්‍රභේද ජනනය කරනු වේ යයි වදාළහ. එසේ මැ අටුවාකථා නිගමනයෙහි— ‘‘බහුකාරස්ස යතිනං විපස්සනා චාර නිපුණ බුද්ධිනං’’ යී රූපා රූප සම්මර්ශනයෙන් විදර්ශනාවාරයෙහි නිපුණ බුද්ධි ඇති යතීන්ට බොහෝ උපකාර ඇති සේ සංයුත්සඟියට ස්තෝමනා කළාහ.

ඒ එසේ මැයි: ස්කන්ධ ධාතු ආයතන සත්‍ය ඉන්ද්‍රිය ප්‍රතීත්‍ය- සමුත්පාද භේද වූ පරමාර්ථධර්මයන් නානානයින් විභාග කළ නොයෙක් සියගණන් සූත්‍රයන්ගෙන් සංයුක්තාගමය සැදී සිටියේය. එහෙයින් ඥානප්‍රභේදජනනයෙන් කල ප්‍රශංසා යෙදේ මැ යි.

ත්‍රිපිටක සද්ධර්මය හෙළබසින් තබාලීම හුදු සිංහල ජනතාවගේ මැ වැඩ සඳහා වෙයි. ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිඳුන්ගේ පාලන යුගයෙහි (1954) ප්‍රාරබ්ධ වූ එ මැ සත්කාර්‍ය්‍යය අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ පාලනයුගයෙහි නිමහම්වනු දැක්ම සතුටු දනවනු වෙයි. මේ ධර්මව්‍යාඛ්‍යානයන් ඉගෙන උභය ලොකාර්ථ සිද්ධිය සඳහා උත්සුක වෙත්වා’ යි අපගේ ආශංසනය වේ.

ලබුගම ලංකානන්ද
මහානායක ස්ථවිර
2525 / 1982. සැප්තැම්බර්මස, 5 වැනි දින
මොල්ලීගොඩ ප්‍රවචනොදය පිරිවෙන්දීය.