20-SN-Samyutta Nikaya 5-1.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1982
- මුද්‍රිත වර්ෂය :
- 1982
- පිටු ගණන :
- 491
- බාගත කිරීම් ගණන :
- 2,302
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 92 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 17 වන වෙළුම ලෙස පළ වූ සූත්‍රපිටකයට අයත් සංයුත්තනිකාය පස්වන භාගයේ පළමු කාණ්ඩය (මහාවග්ග 1) වේ. බුද්ධ වර්ෂ 2525 (ක්‍රි.ව. 1982) දී ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් මෙය මුද්‍රණය කර ඇත.
මෙහි මග්ගසංයුක්තය, බොජ්ඣංගසංයුක්තය, සතිපට්ඨානසංයුක්තය, ඉන්ද්රියසංයුක්තය සහ සම්මප්පධානසංයුක්තය ඇතුළු සංයුක්තයන්ගේ මුල් කොටස් අන්තර්ගත වේ. පාලි පෙළ සහ එහි නිරවුල් සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇති අතර, පාඨශෝධන සටහන්, ගාථාපාද සූචි සහ පද සූචි ද අන්තර්ගත වේ.
හැංගොඩ ධම්මජෝති සහ ගබ්බෙල උපතිස්ස යන ස්වාමීන් වහන්සේලා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද අතර, ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන් වහන්සේ ප්රමුඛ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය මගින් සංස්කරණය සිදු කර ඇත.
සංස්කාරක නිවේදනය
බුද්ධජයන්ති ත්රිපිටකග්රන්ථමාලාවෙහි සතළොස් (17) වැනි ග්‍රන්ථය වූයේ සංයුත්ත නිකායෙහි තෙසාලිස් වැනි මග්ගසංයුත්තයෙහි පටන් සච්චසංයුත්තය අවසන් කොට ඇති සංයුත්ත දොළොසකින් ප්‍රතිමණ්ඩිත වූ මහාවග්ග යයි.
සංයුත්තනිකායේ පඤ්චම භාගය වූ මහාවග්ගය සිංහලභාෂායෙන් තැබීම සඳහා ශ්‍රී ලංකාබෞද්ධමණ්ඩලය විසින් ආරාධිත වූවාහු හැංගොඩ ධම්මජොති, ගබ්බෙල උපතිස්ස යන ස්ථවිරයන් වහන්සේ දෙනම වෙති. ඒ තෙරවරුන් විසින් යථාකාලයෙහි සිංහල භාෂාවට නගන ලද සංයුත්ත මහාවග්ගය සංයුත්තනිකාය සංශොධකමණ්ඩලයට පත්කරනු ලැබූ පණ්ඩිත හැංගොඩ ධම්මජොති නායක ස්ථවිරයන් වහන්සේ යැ, පණ්ඩිත වතුගෙදර අමරසීහ නායකස්ථවිරයන් වහන්සේ යැ, පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේ යැ යන ස්ථවිරවරුන් විසින් ලිපිදොෂ බැහැර කොට පාඨාන්තර දක්වමින් පෙළ ද ලියා සකස් කරන ලද්දේ ය. යථානුරූප වැ සූත්රනාම හා සූත්රසංඛ්යා ද ඒ ස්ථවිරවරුන් විසින් මැ දක්වන ලද්දේ ය. මුද්‍රණ අවස්ථාවට පැමිණි ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයෙහි බහුශ්‍රුත මහතෙරවරුන් විසින් මහදුත්සාහයෙන් පාඨශොධනය හා සිංහල පරිවර්තන සංස්කරණය ද සිදු කෙරෙමින් ගාථාදිපාද, සංඥානාම, විශේෂපදානුක්රමණිකා ද යොදන ලද්දේ විය.
තව ද සංයුත්ත මහාවග්ගය එක් මැ ග්රන්ථයක් ලෙස මුද්‍රණය කැරැවීමට ශ්‍රී ලංකා බෞද්ධමණ්ඩලය විසින් සම්මත කරන ලද නමුදු මුද්‍රණ අවස්ථාවට පැමිණි කල්හි සංයුත්තනිකාය පස්වැනි භාගය පරිහරණයට දුෂ්කර සේ මහත් වන බව පෙනුණු හෙයින් මහාවර්ගයේ ‘‘මග්ගසංයුත්ත — බොජ්ඣංග — සතිපට්ඨාන — ඉන්ද්රිය — සම්මප්පධාන සංයුත්ත’ යන සංයුත්ත සය පඤ්චමභාගයේ ප්රථමකාණ්ඩය ලෙස ද, ඉද්ධිපාදසංයුත්තයේ පටන් ශෙෂය ද්විතීය කාණ්ඩය ලෙස ද පළ කරවන්නට නියම කරගතුම්හ. එහෙයින් සංයුත් සඟිය සඳහා ලියැයුතු සංඥාපනය ද දෙවැනි කාණ්ඩයෙහි ලා දක්වනු ඇත.
ශ්‍රී ලංකාබෞද්ධමණ්ඩලය මඟින් සමාරබ්ධ වූ ත්‍රිපිටක බුද්ධධර්මය සියබසින් පළකරවාලීමේ සත්කාර්යය සපුරාලීම සඳහා ශ්‍රීමත් ජනාධිපති ජයවර්ධන උතුමාණන්ගෙන් ලැබෙන අනුග්‍රහය ද, ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ උපස්තම්භනය ද, ගරු සංස්කෘතික අමාත්‍ය ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාගේ සංවිධානය ද සමස්ත බෞද්ධ ජනතාවගේ සාතිශය සම්භාවනාවට විශේෂයෙන් හිමිවිය යුතු ය. එසේ ම සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වූ සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ බුද්ධිපූර්වක සංවිධානය නිසා ත්‍රිපිටක මුද්‍රණය ඉතා ඉක්මනින් නිමහම් කරවාලීමට හැකිවී යයි කියැයුතුය. සද්ධර්මප්රවර්තක කුශලක්රියාවෙහි සහාය වන ‘තිසර මුද්රණාලයාධිකාරීන් ඇතුළු හැම දෙන සුබභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.
මේ වගට, ශාස්ත්රාශාසනොදයකාරී, ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිර, ත්රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක, 2525/1982 ජුනිමස 12 වැනි දින, මහානායක චාරිකාරාමය, 115, විජයරාම මාවත, කොළඹ 7.