18-SN-Samyutta Nikaya 3.pdf

ප්‍රකාශිත වර්ෂය :
1983
මුද්‍රිත වර්ෂය :
1983
පිටු ගණන :
612
බාගත කිරීම් ගණන :
1,759
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
111 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 307

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 15 වන වෙළුම හෙවත් සූත්‍රාන්ත පිටකයේ නවවැනි ග්‍රන්ථය වන සංයුක්තනිකාය (තෘතිය භාගය) - ඛන්ධක වර්ගය මෙහි අන්තර්ගත වේ. පාලි මූල පාඨය සහ නිරවුල් සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත.

මෙම කෘතියේ සිංහල පරිවර්තනය ගාල්ලේ පරමානන්ද විහාරාධිපති රාජකීය පණ්ඩිත වතුගෙදර අමරසීහ ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, පණ්ඩිත හැගොඩ ධම්මින්ද හිමි සහ පණ්ඩිත ගලගම සරණංකර හිමි ඇතුළු සංයුක්තනිකාය ශෝධක මණ්ඩලය විසින් පාඨශෝධනාදිය සිදු කරන ලදී. අවසාන සංස්කරණය ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් සම්පාදනය කර ඇත.

පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත ලක්ෂණ විග්‍රහ කෙරෙන ඛන්ධක වර්ගයේ සූත්‍ර සමූහය මෙහි ඇතුළත් ප්‍රධාන කොටස් වේ:

  • නකුලපිතුවග්ගො
  • අනිච්චවග්ගො
  • භාරවග්ගො
  • උපායවග්ගො
  • ඛජ්ජනීය වග්ගො
  • පුප්ඵ වග්ගො ආදී වර්ග රාශියක්

ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් රාජ්‍ය මුද්‍රණාලය මඟින් බුද්ධ වර්ෂ 2526 (ක්‍රි.ව. 1983) දී මෙම ග්‍රන්ථය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී.

සංස්කාරක නිවේදනය

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි පසළොස් (15) වැනි ග්‍රන්ථය වශයෙන් ද, සූත්‍රාන්ත පිටකයෙහි නවවැනි ග්‍රන්ථය වශයෙන් ද පළකරවීමට ත්‍රිපිටක මණ්ඩලය විසින් සම්මත කළ සංයුක්ත නිකායෙහි තුන්වැනි ඛන්ධකවග්ගය ශ්‍රී ලංකා බෞද්ධ මණ්ඩලය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා ගාල්ලේ පරමානන්ද විහාරාධිපති රාජකීය පණ්ඩිත වතුගෙදර අමරසීහ ස්ථවිරයන් වහන්සේට පවරන ලද්දේය. උන් වහන්සේ විසින් යථාකාලයෙහි නිමහම් කරන ලද එම සිංහල පරිවර්තනය උන් වහන්සේ ද ඇතුළත් වූ සංයුක්තනිකාය ශොධක මණ්ඩලයෙහි පණ්ඩිත හැගොඩ ධම්මින්ද, පණ්ඩිත ගලගම සරණංකර යන තෙරවරුන් විසින් පාලියෙහි ලිපිදොෂාදිය බැහැර කොට පාඨාන්තර ද දක්වමින් සිංහල පරිවර්තනය සකස් කරන ලද්දේය.

එසේ මැ ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි ප්‍රධාන සම්පාදක ධුරය දැරූ දර්ශන විශාරද පරවාහැර සිරි වජිරඤාණාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගොපදෙස පරිදි පෙය්‍යාලමුඛ සූත්‍ර නාම සූත්‍ර සංඛ්‍යා ආදිය ද යථොක්ත ශොධක මණ්ඩලය මගින් මැ සකස් කරන ලද විය.

මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ මහතෙරවරුන්ගේ සහාය ඇති වැ මහා විහාරාන්වයෙහි ආගත වාචනාමාර්ගය නො නැසිය දී ආරක්ෂා කර ගැනීමට වෑයම් කළෙම්හ. ඒ සඳහා දීඝ–මජ්ඣිමාදි වෙනත් නිකාය ග්‍රන්ථ හා අර්ථකථා ද සංසන්දනය කොට විමසන ලද්දේය. එසේ මැ පරිවර්තනය සකස් කිරීමේ දී සියබසෙහි චිරාගත ශිෂ්ට සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම ද ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ අභිප්‍රෙතය විය.

බුද්ධ පරිනිර්වාණයෙන්, හවුරුදු දෙදහස් පන්සියයක් පිරීම නිමිත්ත කොටගෙන පැවැත්වූ බුද්ධජයන්ති උත්සවය අනුස්මරණය කිරීම සඳහා ලංකා බෞද්ධ මණ්ඩලය මගින් ආරම්භ කරන ලද විශිෂ්ටතම වූ ත්‍රිපිටක ග්‍රන්ථ සංශොධන හා පරිවර්තන කොට සුහුසුළුව මුද්‍රණය කරවාලීම සඳහා ශ්‍රී ලංකාද්වීපයෙහි අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ කාරුණික අනුග්‍රහය ද ගරු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය තැන්පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන්ගේ මෙහෙයැවීම ද සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ බුද්ධිපූර්වක උපදෙශය ද නිසා ත්‍රිපිටක මුද්‍රණය අවසාන වෙමින් පවත්නා අතර මෙම සංයුක්ත-ඛන්ධක වර්ගය මුද්‍රණය වීමෙන් දීඝාගමාදි මහනිකාය ග්‍රන්ථ සතරෙහි මුද්‍රණය ද අවසාන වූ බව මෙහිලා පවසම්හ.

තවද ලංකා බෞද්ධ මණ්ඩලයෙහි පරලෝ සැපත්වූ ද ජීවමාන වූ ද හැම සාධූන් හා මේ සත්කාර්යයෙහි සහාය වූ ද සතුටුවූ වන්නාවූ හැම පිනැතියන් හා රජයේ මුද්‍රණාලයාධිකාරී නෙවිල් නානායක්කාර මහතාණන් ප්‍රමුඛ ත්‍රිපිටක මුද්‍රණාංශයෙහි නියුක්ත වූවාහු ද ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයට සියලු පහසුකම් සලසා දෙන මහානායක චාරිකාරාමයෙහි නියුක්ත ආර්. ඒ. ඇම්. සමරසිංහ මහතා ද ශ්‍රී සද්ධර්ම ප්‍රවර්තන කුශල හේතුවෙන් සුඛභාගී වෙත්වා යි මෛත්‍රී පූර්වක වැ ආශංසනය කරම්හ.

මේ වගට, ශාසනොදයකාරී,

ලබුගම ලංකානන්ද,
මහානායකස්ථවිර වමිහ.
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධානසම්පාදක

2526
—— නොවැම්බර් මස 05 වැනි දින,
1983
ත්‍රිපිටක කාර්යාලයේ දීයැ.
115, විජේරාම මාවත,
කොළඹ 7.