16-SN-Samyutta Nikaya 1.pdf

ප්‍රකාශිත වර්ෂය :
1960
මුද්‍රිත වර්ෂය :
1960
පිටු ගණන :
531
බාගත කිරීම් ගණන :
2,570
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
95 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 266

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 13 වන වෙළුම ලෙස පළවු මෙම කෘතිය, සූත්‍ර පිටකයට අයත් සංයුත්තනිකායේ පළමුවන භාගය වන සගාථ වර්ගය (පාලි පෙළ සහ සිංහල පරිවර්තනය) අඩංගු කර ඇත.

මෙහි පරිවර්තන කටයුතු පණ්ඩිත හෑගොඩ ධම්මින්ද නායක ස්ථවිර, පණ්ඩිත වතුගෙදර අමරසීහ ස්ථවිර සහ පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිර යන සාංඝික මණ්ඩලය විසින් සිදු කරන ලද අතර, උත්තරීතර මණ්ඩලය වෙනුවෙන් පණ්ඩිත කෝදාගොඩ ඥානාලෝක නායක ස්ථවිරයන් විසින් සංශෝධනය කර, පරවාහැර වජිරඤාණ නායක ස්ථවිරයන්ගේ සංස්කාරකත්වයෙන් යුතුව ලංකා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුද්ධ ජයන්ති අරමුදලින් බු.ව. 2503 (ක්‍රි.ව. 1960) දී ප්‍රකාශයට පත් කරන ලදී.

දේවතා, දේවපුත්ත, කෝසල, මාර, භික්ඛුනී, බ්‍රහ්ම, බ්‍රාහ්මණ, වංගීස, වන, යක්ඛ සහ සක්ක ආදී සංයුක්ත 11 කින් සහ සූත්‍ර 271 කින් යුක්ත වන සගාථ වර්ගය මෙහි ඇතුළත් වේ. පොත අවසානයේ ගාථාදිපාදානුක්‍රමණිකා, සඤ්ඤානාමානුක්‍රමණිකා සහ පදානුක්‍රමණිකා ද සපයා ඇත.

සංස්කාරක නිවෙදනය

ත්‍රිපිටකපාළියෙහි සූත්‍රාන්තපිටකයට අයත් සංයුක්තසඟියෙහි සගාථ-වග්ගපාළිය සිංහලභාෂාවට පරිවර්තනය කරණු සඳහා ලංකා බෞද්ධ-මණ්ඩලය විසින් - දැනට විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි බුද්ධධර්‍මාධ්‍යයනෙන්ද්‍රියයෙහි විනෙතෘ වූ පණ්ඩිත පලන්නොරුවේ විමලධම්ම නායකස්ථවිරයන් වහන්සේ වෙත පවරණලදී. එහෙත් ඒ කාර්යය නිමහම් නොවූ බැවින් ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක සභාවේ සංයුත්තනිකාය සංසෝධක මණ්ඩල-යට ඇතුළත් පණ්ඩිත හෑගොඩ ධම්මින්ද නායකස්ථවිරයන් වහන්සේ, පණ්ඩිත වතුගෙදර අමරසීහ ස්ථවිරයන් වහන්සේ, පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේ යන තෙනම විසින් ඒ කොටස පරිවර්තනය කොට පෙළත් සමග මැනවින් ලියා මුද්‍රණයට සකස් කරණ ලදී.

ත්‍රිපිටකපරිවර්තන සංස්කරණය පිළිබඳ උත්තරීතර මණ්ඩලය විසින් සම්මත වූ පරිදි පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ විසින් මුද්‍රණාවස්ථාවෙහි සංශෝධිත වූ මේ ග්‍රන්ථය අපගේ සංවිධානයෙන් හා අවසාන සංස්කරණයෙන් මෙසේ මුද්‍රණයට පමුණුවන ලදී.

ධර්‍මශාස්ත්‍ර විෂයෙහි නිපුණ වූ ආශුබෝධබුද්ධිප්‍රභා ඇති කෝදාගොඩ ඤාණාලොක යතීන්ද්‍රයන් වහන්සේ විසින් ත්‍රිපිටකපාළ්‍යාගත පඤ්චමහා නිකායාංගය සංක්ෂිප්ත කොට මෙයට ලියූ සංඥාපනය ග්‍රන්ථගෞරව නිර්ණය කරණු පිණිස ප්‍රස්තාවනා වේ මැයි. එහෙයින් ග්‍රන්ථකර්තෘත්‍වය පිළිබඳ අමුතු ප්‍රපඤ්චකථා මෙහි නොයෙදේ.

පරිවර්තක ස්ථවිරවරුන් විසින් සම්පාදිත ගාථාදිපාද-සංඥානාම - පදානු-ක්‍රමණිකා සහිත වූ මේ ග්‍රන්ථය පිළිබඳ මූලිකශොධ්‍යපත්‍ර බැලීමෙන් පණ්ඩිත ගලගම ධම්මික ස්ථවිරයන් වහන්සේ ද අතිරේක වශයෙන් සහාය වූහ.

සිංහල ජාතිය මුද්‍රණාලයෙහි අධිකාරී වූ සීමාසහිත ස්වදෙශී ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ මහතුන්ගේ උත්සාහයෙන් නොබෝකලකින් මුද්‍රිත වූ සංයුක්තසඟියේ සගාථවග්ගය අවසන් කොට ඇති මේ ප්‍රථම භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 13 වන ග්‍රන්ථය වශයෙන් ප්‍රසිද්ධියට පැමිණවු ලංකා ආණ්ඩුව හා එහි සංස්කෘතික කාර්‍ය්‍යාංශයේ අධිකාරී මහතුන් ද, මෙහි පරිවර්තන - සංශෝධන - සංස්කරණ කාර්යයන්හි යෙදුණු මහතෙරුන් ද ශාසන සංස්ථාපනාධිකාරයට හා ශ්‍රෙෂ්ඨ වූ ධර්‍මදානමය පුණ්‍යසම්භාරයට භාගී වන බව මෙහි ලා ප්‍රකාශ කරම්හ.

පරවාහැර වජිරඤාණ ස්ථවිර
ත්‍රිපිටක පරිවර්‍තන කාරක සභාවෙහි ද සංස්කාරක මණ්ඩලයෙහි ද සම්පාදක.

සංඥාපනය

1. සංයුත්තනිකාය:

අප බුදුන් පන්සාලිස් අවුරුද්දක් දවස් සිටැ දහම් අමාවැහැර වස්වමින් සූවිසි අසංඛ්‍යයක් දෙවිමිනිසුන් අමාමහනිවන් දක්වා පිරිනිවිසඳැ, මහාකාශ්‍යප මහාරහතුන් ආදි සර්වඥශ්‍රාවකයෝ පන්සියක් දෙනාවහන්සේ දෙශ - කාල-නිදාන ආදි විසින් විසිරැ සිටි ඒ ඒ දහම්මල් මල්වැළන් සෙයින් සගන්මින් පළමු වන සංගීතිය කළහ.

ඒ සංගායෙහි දී දීඝ - මජ්ඣිම - සංයුක්ත - අංගුත්තර - ඛුද්දක විසින් ආගම පසෙකින් සුතන්තවළා බෙදා තැබූහ. එහි දීර්‍ඝප්‍රමාණ සූත්‍රයන් මුළු කොට මුළු කොට ගෙතු ගත් ‘දීඝාගම’ නම් වෙයි. මධ්‍යම ප්‍රමාණ සූත්‍රයන් මුළු කොට ගෙන ගෙතු ගත් ‘මජ්ඣිමාගම’ නම් වෙයි. උත්තරොත්තරයෙහි එකකදුකාදි විසින් අංග නැග ගත් සූත්‍රයන් මුළු කොට ගෙන ගෙතු ගත් ‘අංගුත්තරාගම’ නම් වෙයි.

මෙහි පමණින් කියන නහම පිණිසැ හැඳිනගත් තෙල මාතෘකාවලට නොබැසියැහෙන සූත්‍රයෝ සත්දහස් සත්සිය දෙපැට දෙකෙක් ඇත. ඒ සූත්‍රයෝ දීඝාගමයෙහි දු මජ්ඣිමාගමයෙහි දු අංගුත්තරාගමයෙහි දු නොබැසැ ගනිති. ඔවුන් එක්රැස් කොට ගෙතු ගත් ‘සංයුක්තාගම’ නම් වෙයි. එ ද, සගාථවග්ග යැ නිදානවග්ග යැ ඛන්ධකවග්ග යැ සළායතනවග්ග යැ මහාවග්ග යැයි වග්ග විසින් පසෙක් වෙයි. සගාථවග්ගයෙහි එකොළොස් දෙනෙකැ, නිදානවග්ගයෙහි නවදෙනෙකැ, ඛන්ධකවග්ගයෙහි තෙළෙස් දෙනෙකැ, සළායතනවග්ගයෙහි නවදෙනෙකැ, මහාවග්ගයෙහි දොළොස්-දෙනෙකැයි, සංයුක්තයෝ සුපනස් දෙනෙක් වෙති. ඒ සංයුක්තයෝ සුපනස්-දෙනා ගොස් අනන්තරවර්‍ග විසින් දෙසිය අටවිසිදෙනෙක් වෙති. ඒ අනන්තර-වර්‍ගයෝ දෙසිය අටවිසිදෙනා ගොස් සූත්‍ර විසින් සත්දහස්සත්සියදෙපැටදෙනෙක් වෙති. ඒ සූත්‍රයෝ සත්දහස්සත්සියදෙපැටදෙනා ගොස් අක්‍ෂර විසින් ලක්‍ෂයෝ අටදෙනෙක් වෙති. බණවරෙක් නම් අකුරු අටදහසෙක් වේනුයි මෙ හැම බණවර විසින් සියෙකි. මේ යැ සංයුක්තාගම නම්.

‘‘ආගමිස්සන්ති අනාගතමද්ධවානො එතෙනා’’ති ආගමො’’යි ආයුෂ්මත් ‘ගමි’ ධාතුයෙන් කරණසාධනයෙහි ලා නිරුක්ති කියත් මැ, ආනාමට්ඨපරාමාසා-දිය නිලින් ලබන්නුයි මෙහි ‘ආගම’ ශබ්දය අවිශුද්ධියෙහි කරණ්‍ය යෙදී කරන්නේ යැ. ඔසතරණාදි සූත්‍රරාශිය වැදගත් වැ සිටුනා දෙවතා-සංයුක්තාදි සංයුක්තයන් යථොක්තාර්ථයෙහි කරණ වන බැවිනුදු, වර්‍ගවශයෙන් සංයුක්ත වන බැවිනුදු, දීඝාගමාදිය සෙයින් ‘සංයුක්තාගම’ යනු අන්වර්‍ත්‍ථ-සංඥායෙකි.

‘‘සංයුක්තනිකාය’’ ආදි විසින් එන ශාසන ව්‍යවහාර පිණිසැ මහවඟට ලියූ ප්‍රස්තාවනාව බලන්නේ යැ. තෙවළායෙහි වසරද, ගණපාමොක්, ආචාර්ය්‍ය පරවාහැර වජිරඤාණ හිමිපාණෝ ඒ ඒ සසුන් වහර ගෙනැ ඒ ප්‍රස්තාවනායෙහි ලා මියුරු අරුත් දක්වති. ඒ ප්‍රස්තාවනාව පරවාද මථනය කරන්නේ මතු නොවෙයි. ත්‍රිපිටකයෙහි ග්‍රන්ථයන් පිළිබඳ හැම පවත් ද විශද කරන්නේ යැ. එයින් ලැබියැහෙන එළිය තිබියැ දී තව තව කරුණු කියනු නිෂ්ප්‍රයෝජන වෙයි. සඟී පිණිසැ විසිරුරු අරුත් දනු කැමැතියන් ඒ ප්‍රස්තාවනාව බලන්නේ යැ.

2. විශිෂ්ටතා:

සංයුක්තාගමයෙහි විශිෂ්ටතා කියනු කැමැතියනට බුද්ධඝෝෂාචාරීන් වහන්සේගේ පදයෙදුම්හු උපදෙස් එළවති. ඔබ දීඝාගමට අටුවා කරනු වෝ—

‘‘දීඝස්ස දීඝසුත්තන්තචිත්තස්ස නිපුණස්ස ආගමවරස්ස බුද්ධානුබුද්ධසංවණ්ණිතස්ස සද්ධාබහුලස්ස’’

යනු කියති.

මජ්ඣිමාගමයට අටුවා කරනු වෝ—

‘‘මජ්ඣිමපමාණ සුත්තන්තචිත්තස්ස ඉධ මජ්ඣිමාගමවරස්ස බුද්ධානුබුද්ධ සංවණ්ණිතස්ස පරවාදමථනස්ස’’

යනු කියති.

සංයුක්තාගමයට අටුවා කරනු වෝ—

‘‘සංයුත්තවග්ග පතිමණ්ඩිතස්ස සංයුත්ත - ආගමවරස්ස බුද්ධානුබුද්ධසංවණ්ණිතස්ස ඤාණප්පභෙදජනනස්ස’’

යනු කියති.

අංගුත්තරාගමයට අටුවා කරනු වෝ—

‘‘එකකදුකාදි පතිමණ්ඩිතස්ස අංගුත්තරාගමවරස්ස ධම්මකථිකප්පවරානං විචිත්තපටිභාන ජනනස්ස’’

යනු කියති.

මෙහි දී ශ්‍රද්ධාබහුලත්‍වය ගෙනැ දීඝාගමයත්, පරවාදමථනය ගෙනැ මජ්ඣිමාගමයත්, ඥානප්‍රභෙද ජනනය ගෙනැ සංයුක්තාගමයත්, ධර්‍මකථිකයනට විචිත්‍රප්‍රතිභාජනනය ගෙනැ අංගුත්තරාගමයත් වර්‍ණනා කෙරෙති.

එයින් සංයුක්තාගමය ප්‍රභෙදගතඥානසම්පත් උදාකරණසෙ දක්වති. ලෞකික ලොකොත්තරාර්ත්‍ථයන් ඇසිරි කොට සිටුනා නන් පැන පිළිවිසුම් හා විසඳුම් තෙල ආගමයෙහි බෙහෙවින් එන හෙයින් ඥානප්‍රභෙද දෙනසෙ සොත්තු කරනු අත්‍යර්ත්‍ථයෙන් මැ සචිත වෙයි. බුද්ධඝොෂාචාරීන් වහන්සේගේ ප්‍රඥායෙහි පාටවය විමසන්නට සිතු මහවෙහෙර අධිවැසි තෙවළාබර මහ-තෙරහු දු සංයුක්තසඟියෙන් ගත් ගයක් දී ඔබගේ පැනවෙසෙස් විමසූහ. තෙවළාමැදුරෙහි නොනිවෙන පහන් වන විසුද්ධිමාර්‍ගය ඒ දුන් ගයෙහි එලය වෙයි. මහාසංඝිකාදි සප්තදශනිකායවාසීන් හා හේමවතාදි නවනිකාය-වාසීන්ගේ ප්‍රවාදප්‍රහාර වළහමින් මහවෙහෙරට රකවල ගත් බලකොටු වන ‘විසුද්ධිමාර්‍ග’ය සංයුක්තසඟියෙහි එක් ගයෙකින් මතුකොට දුන් ධර්‍මවිෂයක ඥානප්‍රභෙදජනන ශක්තිවිශෙෂයක් සේ කියා හැක්කේ යැ. එයින් තෙල සඟියෙන් උදාවෙන ඥානප්‍රභෙද නම් විදර්ශනා මතු නොවෙයි. එයින් තත්-තත්කාරණයෙහි විචිත්‍රප්‍රතිභා ද සදන්නේ යැ. මේ සංයුක්තාගමයෙහි විශිෂ්ටතා වෙයි.

බෙහෙවින් කිම! ප්‍රථමසංගීතියෙහි ලා ප්‍රමුඛ වැ සිටි මහාකස්සප මහ-රහත්නට ‘සංයුක්තාගමය’ දක්වා දුන්හ. ඔබගේ ශිෂ්‍යප්‍රශිෂ්‍යයෝ සංයුක්තසඟිය වනපොත් කරමින් ඇදුරෙල් නොවිහිඳ අරුත් ධරමින් රැකගත්හ. සංගීතිය අවසන්හි සවාසනාමහාක්‍ෂීණාස්‍රවශ්‍රාවකසංඝතිකාවෙහි පෙරට වැ සිට ප්‍රථම සංගීතිය නිමහම් කළ මහාපුරුෂයාණනට ප්‍රථමභාග විසින් වෙන් කොට ගෙනැ පිරිනමනු පිණිසැ සංයුක්තසඟිය පමණ වියැ. එ ද මෙහි විශිෂ්ටතා කියන්නේ යැ.

3. ප්‍රයෝජනවිශෙෂ:

බුද්ධාභාෂිත යැ, ශ්‍රාවකභාෂිත යැ, දෙවතාභාෂිත යැ, ඍෂිභාෂිත යැ යන මෙයින් ආප්තවචනයක් වුවමනා වන් මැ සංයුක්තසඟිය එහි නිදහනක් වැන්නැ. ඒ ඒ කරුණෙහි ලා චතුර්භාෂිතයෝ මැ මෙහි බැසැ සිටුති. ලෞකිකයන් හා ශාසනිකයනට ආත්මාපරොභයසංසිද්ධිය පිණිසැ තැබූ මහා උපදේශරත්නයෝ සියදහස් විසින් මෙහි ඇත. ස්කන්ධධාතු ආයතන ඉන්ද්‍රිය-බලබොධ්‍යංග ආර්‍ය්‍යසත්‍ය ප්‍රත්‍යයාකාර ආදි ධර්‍මමාර්‍ගයන් ආගම සතරෙහි මැ එතුදු සුගම උපදේශ අනුන් බලන් මැ සංයුක්තාගමය ආශ්‍රය වන්නේ යැ. තරාවැළ සඟවු ගුවන්කල සෙයින් උපදේශරත්නායතනයෙන් සංයුක්තසඟිය සැදුණේ යැ. එයින් මැ දෙශකයන් කෙරෙහි දු උපදෙශකයන් කෙරෙහි දු තෙල සඟිය හත්සරක් විසින් තරතුරු තෙවුනේ වෙයි. ව්‍යාස වශයෙන් පරිකථා කරන්ට නිසි ගැඹුරු අරුත් ගබ කොට සිටුනා, මනොහර පදවැළෙන් සැදි ගාථා දෙශනා විලිසන් මැ, පමණින් අබටක් සා වුව ද වියැසියෙන් පැතිරැ සිටුනා භෙෂජ්‍යයක් සෙයින් ධර්‍මදේශකයන්ට වෙසෙසින් හැමදා වැඩැදෙයි.

4. ව්‍යාඛ්‍යානය:

නිකායාන්තරවාසීන් සංයුක්තාගමය වෛපුල්‍යභාෂායෙන් ලියූසෙ ලොව පළට වෙයි. ඒ මහායානවාදීන් කිසිතැනෙක අවිපරීත කොට ලියූ සංයුක්තයන් චීනදෙශවාසීන් සියබසින් අරවාගත් බව ද පළට වෙයි. චීන-බසින් ලියූ ‘සගාථවර්‍ගය’ අදත් එ රටැ ඇතිබව කියති. ඒ ව්‍යාඛ්‍යාන පෙළපොත හා සසඳන් මැ අප විසින් භෙදකර තැන් ඇතයනු අසිරි නොවෙයි. මිහිඳු මාහිමිහු බුදුකැළි අටුවා හා තෙවළා හෙළදිවට අළහ. මගධබසින් වැටෙමින් ආ බුදුකැළි අටුවා හෙළදිව ඇදුරෝ හෙළබසින් තැබූහ. ඇදුරු බුද්ධඝොෂමහතෙරහු ද්වීපාන්තරවාසීන්ගේ ප්‍රයෝජනය පිණිසැ ඒ අටුවා සසිඳු පෙළබසින් තැබූහ. අද හෙළටුවා නැත ද පෙළෙහි අර්ත්‍ථාවබොධය පිණිසැ පාළිඅටුවා වහල් වෙයි. ඒ වහලින් තෙවළාදහම් සියබසින් අරවා-තබන මෙ දවස තෙල සංයුක්තසඟිය පිණිසැ ද ඒ වහල මිසැ වෙන නැත. එයින් වහල් ලැබැ කරන තෙල ව්‍යාඛ්‍යානය මුලුදු කී නිකායාන්තරවාසීන්ගේ ව්‍යාඛ්‍යාන සෙයින් විපරීතාර්ත්‍ථ ඇතියේ නොවේයි. මහා විහාරවාසීන්ගේ වාචනාමාර්‍ගය නිඃශ්‍රය කොට සිටියෙන් අපි විසින් මෙහි පරම්පරාශුද්ධි ඇත.

මෙ වර පළකරන ‘සගාථවර්‍ග’ යෙහි සංයුක්තයෝ එකොළොස්-දෙනෙකි. වර්‍ගයෝ අටවිසිදෙනෙකි. සූත්‍රයෝ දෙසියඑක්සැත්තෑ දෙනෙකි. මෙ හැම මෙහි සියබසින් අරවා තබන ලදී. යටගිය දවස සූත්‍රපිටකය සියබසින් ලියූබව පළට වැ ඇත ද, අද ඒ කිසිදු දක්නට නැත. එයින් එහි භාෂාප්‍රයොග ගැන කිසිදු නොකියැ හැක්කේ යැ. තෙල ව්‍යාඛ්‍යානය භාවොප්‍රධාන කොට ගෙනැ ව්‍යාකෘතභාෂායෙන් සැපයිණ. කිසි තැනෙක පැරැණි හෙළවදන් යොදනු ‘සිංහලසාහිත්‍ය’ ය දියුණු කරනු පිණිසැ වෙයි. එයින් තෙල ව්‍යාඛ්‍යානය ධර්මඥානය පිණිසැ ද සියබස සදනු පිණිසැ ද වෙයි.

තෙවළා දහම් සියබසින් තබනුයේ හෙළදිව් වැසියනට වැඩ සඳහා මැ වෙයි. බුදුන් පිරිනිවි දෙවාදහස් පන්සියක් ගියද මෙතෙක් දවස් කිසිවක්හු විසින්දු තෙල ශාසනාර්ථය සපුරා නොකරන ලදී. දැන් එය සම්පූර්‍ණ වන සේ පෙනේ. එයින් හැමදෙන මෙ ව්‍යාඛ්‍යාන මාර්ගයෙන් දහම් දැනැ ඉගෙන කුසල්දහම්හි යෙදෙමින් උභයලොකාර්ථසිද්ධිය හා අමාමහනිවන් සිදුකර ගනිත්වයි පතම්හ.

කෝදාගොඩ ඤාණාලොක ස්ථවිර.
විද්‍යාවංශ පිරිවෙන,
අහංගම.