14-MN-Majjhima Nikaya 2.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1973
- මුද්‍රිත වර්ෂය :
- 1973
- පිටු ගණන :
- 796
- බාගත කිරීම් ගණන :
- 2,097
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 174 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 11 වන වෙළුම ලෙස පළ වූ මෙය සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ දෙවන භාගය හෙවත් මජ්ඣිමපණ්ණාසක පාළිය සහ එහි සිංහල පරිවර්තනයයි.
මෙහි පාඨශෝධනය පණ්ඩිත ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිරයන් වහන්සේ විසින් ද, සිංහල පරිවර්තනය පණ්ඩිත කෝදාගොඩ ශ්‍රී ඤාණාලොක නාහිමි සහ පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර හිමි යන හිමිවරුන් විසින් ද සිදු කරන ලදී. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් බු.ව. 2516 (ක්‍රි.ව. 1973) දී මෙය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ග්‍රන්ථය සූත්‍ර දහය බැගින් වූ වර්ග පහකින් සමන්විත වේ:
- ගහපතිවග්ගො
- භික්ඛුවග්ගො
- පරිබ්බාජකවග්ගො
- රාජවග්ගො
- බ්රාහ්මණවග්ගො
සංස්කාරක - නිවේදනය
පරවාදමථනය විශේෂ ලක්ෂණ කොට ඇති මජ්ඣිමසඟියට අයත් මජ්ඣිමපණ්ණාසක - පාළියෙහි මේ සිංහල පරිවර්තනය එහි දෙවන කාණ්ඩය වේ. පිටක ග්රන්ථ සංඛ්‍යා වශයෙන් සූත්‍රාන්ත පිටකයෙහි පස්වැන්න වූ ද, මුද්‍රිත කාණ්ඩ සංඛ්‍යා වශයෙන් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලායෙහි එකොළොස්වැන්න වූ ග්‍රන්ථය ද වේ. ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලයෙහි සභාපති වූ අහංගම විද්‍යාචන්ද්‍ර පරිවේණාධිපති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය කෝදාගොඩ ශ්‍රී ඤාණාලොකාභිධාන දක්ෂිණ ලංකායෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ හා ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයෙහි සාමාජික වූ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ මේ පරිවර්තන කාර්ය්යය මැනවින් නිම කළහ. අප විසින් මෙහි පෙළ සංශෝධනයෙන් සකස් කරන ලදි. මැදුම්සඟිය පිළිබඳ වැ කියයුතු දැය ප්රථමභාගයෙහි ලා ලියූ සංඥාපනයෙහි පළ වැ ඇතියෙන් මෙහි නැවත සඳහන් කළයුතු නොවේ.
ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලයෙහි සාමාජිකයන් වූ ද, කොළඹ විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්‍ය්‍යවරයන් වූ ද, ශාසනපති, විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත, රද්දැල්ලේ සිරි පඤ්ඤාලොකාභිධාන අනුනායක ස්ථවිරයන් වහන්සේ ද, ශාසනපති, විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත, වේඩරුවේ සිරි අනෝමදස්සී නායක ස්ථවිරයන් වහන්සේ ද මුද්රණාවස්ථාවෙහි සංශෝධන කාර්ය්යය පිණිස බෙහෙවින් වෙහෙස දැරූ බව සඳහන් කරම්හ. මුද්‍රණය වගවහා නිම කරවාලීම පිණිස සංස්කෘතිකකාර්ය්යාංශයෙහි අධිකාරීන් දැරූ සැලකිල්ල ද පැසසියයුතු බව සඳහන් කළ යුතු ද වෙයි. රජයෙහි මුද්‍රණ දෙපාර්තමේන්තුවෙහි මුද්‍රණාලයාධිපතිතුමා හා අතිරේක මුද්‍රණාලයාධිපති ඔස්ටින් ජයවර්ධන මැතිතුමා හා ත්‍රිපිටක මුද්‍රණ කාර්යයෙහි නියුක්ත සේවක මහතුන් ඉතා සැලකිල්ලෙන් මෙහිලා ක්‍රියා කළ බව විශේෂයෙන් සඳහන් කළයුතු ද වේ. මේ පින්වතුන්ගේ කාර්ය්යශූරභාවය ත්‍රිපිටක මණ්ඩලයෙහි සිටුනා හැමගේ චිත්තාරාධනයට සමර්ථ ද විය. ත්‍රිපිටක කාර්ය්යාලය පිහිටි මහානායක චාරිකාරාමයෙහි භාරකාර වන ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතා ඇතුළු සේවක පිරිස ඉතා හිතවත් වැ උපස්ථානාදියෙන් වහල් වැ සිටි බව ද මෙහි ලා කියයුතු වෙයි.
තව ද ශ්‍රී ලංකා ජනරජයෙහි අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක උතුමාණන් මේ පරිවර්තන කාර්ය්ය විෂයෙහි ලා දක්වන බලවත් ප්‍රසාදය හා තදනු වැ සංස්කෘතික අමාත්‍ය ඇස්. ඇස්. කුලතිලක මැතිතුමාණන් හා අමාත්‍යාංශයෙහි ස්ථිරලේකම් වන නිශ්ශංක විජයරත්න මැතිතුමාණන් වෙතින් ලැබුණු වහල ද තිදු පෙරටු කොට සඳහන් කළයුතු ද වේ.
‘බුද්ධජයන්ති’ය නිමිති කොට ආරම්භ කළ ත්‍රිපිටක පරිවර්තන කාර්‍ය්‍යයෙහි දිවාරෑ වෙහෙස දරමින් ක්‍රියා කළ, ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වැ වැඩසිටි අතිගෞරවාර්හ ත්රිපිටකවාගීශ්වරාචාර්ය්ය, පරවාහැර සිරි වජිරඤාණාභිධාන බස්නාහිර පළාතෙහි ප්‍රධාන සංඝනායක මහාස්ථවිරයන් වහන්සේ ඇතුළු කොට, අපවත් වූ සංස්කාරක ස්ථවිරයන් වහන්සේ හැම හා මේ කාර්‍ය්‍යයෙහි නියුක්ත හැම සුධීහු ද, ආධාර උපකාර කළ සියලු භවත්හු ද, මේ ධර්මදානමය කුශලයෙන් භවනිස්සරණය කෙරෙත්වායි ආශංසනය කරම්හ.
මෙයට ශාසනස්ථිතිය පතන, ලබුගම ලංකානන්ද ත්රිපිටකපරිවර්තන සම්පාදක මණ්ඩලයෙහි ප්‍රධාන සංස්කාරක. ත්රිපිටකකාර්ය්යාලය, මහානායකචාරිකාරාමය, අංක : 115, විජේරාම මාවත, කොළඹ 7.