13-MN-Majjhima Nikaya 1.pdf

ප්‍රකාශිත වර්ෂය :
1964
මුද්‍රිත වර්ෂය :
1964
පිටු ගණන :
836
බාගත කිරීම් ගණන :
2,908
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
161 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 419

මජ්ඣිමනිකාය (ප්‍රථමභාගය - මූලපණ්ණාසකය) යනු සූත්‍රාන්ත පිටකයට අයත් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 10 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 4 වන ග්‍රන්ථය) වේ. මූලික පාලි පෙළ සහ ඊට අදාළ සිංහල පරිවර්තනය මෙහි මුහුණට මුහුණ ලා සංස්කරණය කර පළ කොට ඇත.

මෙහි පරිවර්තන හා සංස්කරණ කටයුතු ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් කොස්ගොඩ ධම්මවංස නායක ස්ථවිර, වැලිවිටියේ සොරත නායක ස්ථවිර, අම්බලන්ගොඩ ධම්මකුසල ස්ථවිර, අකුරටියේ අමරවංස නායක ස්ථවිර යන හිමිවරුන් විසින් ආරම්භ කොට අනතුරුව අහංගම විද්‍යාචන්ද්‍ර පරිවෙණාධිපති කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පූර්ණ කරන ලදී. පරවාහැර වජිරඤාණ නායක ස්ථවිරයන් ඇතුළු ත්‍රිපිටක පරිවර්තන කාරක සභාව මෙහි සංස්කාරක මණ්ඩලය ලෙස කටයුතු කර ඇත.

මජ්ඣිම නිකායේ මුල් සූත්‍ර පනහ ඇතුළත් මූලපණ්ණාසකයේ එන ගැඹුරු දෘෂ්ටිවාද හා ආත්මවාද බිඳලීම, පරවාද මථනය, සහ සූත්‍ර දේශනාවල ඓතිහාසික හා භාෂාත්මක ලක්ෂණ පිළිබඳ දීර්ඝ සංඥාපනයක් කෝදාගොඩ ඤාණාලොක හිමියන් විසින් සපයා ඇත. පොත අවසානයේ ගාථා පාද, සංඥා නාම, විශේෂ පද ආදී අනුක්‍රමණිකා ද අන්තර්ගත වේ.

සංස්කාරක නිවේදනය

ත්‍රිපිටක - පාළියෙහි සූත්‍රාන්ත පිටකයට අයත් මජ්ඣිම නිකායෙහි ප්‍රථම භාගය වූ මූලපණ්ණාසකපාළියි සිංහලභාෂාවට පරිවර්තනය කිරීම පිණිස බුද්ධජයන්ති කාර්ය්‍ය සංවිධානය සඳහා පත් වූ ලංකා බෞද්ධ මණ්ඩලය විසින් - දැනට ශ්‍රීලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කුලපති වරයකු වන කොස්ගොඩ පණ්ඩිත ධම්මවංස මහානායක ස්ථවිරයන් වහන්සේට පවරා දෙන ලදී.

ඒ නායක ස්ථවිරයන් වහන්සේ විසින් කරණ ලද මූලික පරිවර්තනය ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයට ඉදිරිපත් කළ පසු එය නැවත පරිවර්තනය කොට සකස් කළ යුතු යයි සම්මත වූ බැවින් ඒ නායක ස්ථවිරයන් වහන්සේ ද, විද්‍යොදය පරිවෙණාධිපති ව සිටි පණ්ඩිත වැලිවිටියේ සොරත නායක ස්ථවිරයන් වහන්සේද, අම්බලන්ගොඩ ශාස්ත්‍රොදය පරිවෙණාධිපති පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල ස්ථවිරයන් වහන්සේ ද, ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක පණ්ඩිත අකුරටියේ අමරවංස නායක ස්ථවිරයන් වහන්සේ ද යන සිව්නම මජ්ඣිමනිකාය සංශොධක මණ්ඩලය වශයෙන් පත්වී ඒ කාර්යයෙහි යෙදී සිටියා අතර ගරු වැලිවිටියේ සොරත නායක ස්ථවිරයන් වහන්සේ ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ අධිපති වීමෙන් ද, කොස්ගොඩ ධම්මවංස නායක ස්ථවිරයන් වහන්සේ රෝගී අවස්ථාවකට පැමිණීමෙන් ද, අකුරටියේ අමරවංස නායක ස්ථවිරයන් වහන්සේ ආබාධිත වීමෙන් ද ඒ කාර්යය අඩාල විය.

ඉන්පසු මජ්ඣිමනිකාය ප්‍රථම භාගයේ ඉතිරි කොටසේ පරිවර්තනය හා සංස්කරණය - දැනට ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය්‍ය වරයකු වන, අහංගම විද්‍යාචන්ද්‍ර පරිවෙණාධිපති පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ වෙත පැවරුණේය. උන්වහන්සේ විසින් ඇතැම් සූත්‍රාන්තයන් අමුතු ව ලා සිංහලයට නැඟීමෙන් ද, විශේෂයෙන් පාඨාන්තර සංකලනයෙන් හා ලිපිදොෂයන් ආකුලව තුබූ උද්දානගාථා සකස් කිරීමෙන් ද එය සම්පූර්ණ කොට මුද්‍රණයට යොග්‍ය අවස්ථාවට පත් කරණ ලදී. ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙහි දී උන් වහන්සේ විසින් ද මුල් ශොධ්‍ය පත්‍ර බලන ලදී. ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයෙහි සාමාජිකයන් වන - දැනට ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය්‍යවරයකු වන පණ්ඩිත ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේ ද, පණ්ඩිත කරඳම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ ද ශොධ්‍ය පත්‍ර බැලීමෙහි සහායක වූහ.

ග්‍රන්ථාවසානයෙහි යෙදී ඇති ගාථාදිපාද - සඤ්ඤානාම - පදානුක්කමණිකාදිය සම්පාදනය සඳහා - දැනට ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්මාභ්‍යාසාංශයේ ප්‍රමුඛාචාර්‍ය්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්ථවිරයන් වහන්සේ ද, කොහුවල විජය මංගලාරාමාධිපති ආචාර්ය්‍ය මකුළුදූවේ පියරතන ස්ථවිරයන් වහන්සේ ද, ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේ සහ කරඳම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ ද උපකාරී වූහ.

අපගේ අවසාන සංස්කරණයෙන් මුද්‍රිත වූ මේ මජ්ඣිමනිකාය ප්‍රථම භාගය පිටක ග්‍රන්ථ සංඛ්‍යා වශයෙන් සූත්‍රාන්ත පිටකයෙහි සිවුවන, මුද්‍රිත කාණ්ඩ සංඛ්‍යා වශයෙන් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙහි දසවන ග්‍රන්ථය වේ. ප්‍රාචීන භාෂා විෂයෙහි හා ධර්ම ශාස්ත්‍රයෙහි නිපුණ වූ, විශේෂයෙන් පාළි ව්‍යාකරණයෙහි ද සිංහල සාහිත්‍යයෙහි ද ප්‍රවීණ පණ්ඩිතයකු වශයෙන් සම්භාවිත වූ කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ විසින් මේ ග්‍රන්ථයට මුඛොද්ඝාත වශයෙන් ලියා ඇති සංඥාපනය ත්‍රිපිටක පාළියෙහි මජ්ඣිම නිකාය පිළිබඳ මහත්ත්වය විශද කිරීමෙහි ප්‍රයෝජන වනු ඇත.

මෙහි ඇතුළත් එක් එක් සූත්‍රාන්තයට විෂය වන ධර්‍මස්කන්ධය විභාවන කිරීමට නම් එක් එක් උපග්‍රන්ථයක් ලියයුතු වේ. තථාගතප්‍රණීත නිබ්බාණාධිගමයට බාධක දෘෂ්ටිවාද මථනය මජ්ඣිමාගමයෙහි මුඛ්‍යඵලය වන බැව් කියා ඇත. එහි ප්‍රධාන දෘෂ්ටිවාදය වූ සක්කායදෘෂ්ටිය හෙවත් ආත්මවාදය පිළිබඳ සියලු දෘෂ්ටික මතයන්ගේ සම්භවය හා ව්‍යාප්තිය මූලපරියාය නම් ප්‍රථම සූත්‍රයෙන් දත හැකි වේ. දර්ශනාන්තරයන්හි නානාක්‍රමයෙන් ව්‍යවස්ථිත වූ ආත්මවාදය පිළිබඳ මූල ධර්මයන්ගේ සංග්‍රහයක් වූ මේ සූත්‍රය පමණක්ම සර්වඥතාඥානයෙහි විෂය මහත්ත්වයට ප්‍රමාණ වෙයි. ත්‍රිවෙදපාරප්‍රාප්ත වූ පණ්ඩිතමානී බමුණු පැවිද්දන්ගේ මානමද නිරොධය සඳහා බුදුරජානන් වහන්සේ විසින් වෙද විෂය ඉක්මවා නානානය යුක්ත කොට දෙශිත මේ සූත්‍රාන්තයෙහි දැක්වෙන “පඨවිං... සඤ්ජානාති” ආදි සූවිසි පදවියන්ගෙන් සවත්ථුක - අවත්ථුක - සචෙතනික - අචෙතනික භාව විෂයන් කෙරෙහි ආත්මදෘෂ්ටිය නැඟීගෙණ එන සැටිත්, සර්‍වප්‍රකාරයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි ඒ ආත්මදෘෂ්ටිය විශෙෂවන සැටිත්, හේතු ප්‍රත්‍යය විෂය කොට ඇති විවෙක ඥානය ආත්ම දෘෂ්ටි විඝාතය කොට නිර්‍වාණාධිගමය සිදු කරණ සැටිත් එයින් ප්‍රකාශ වේ.

සම්බුද්ධ ශාසනාභිවෘද්ධි සාධක වූ මේ උතුම් ධර්‍මග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් මෙසේ ප්‍රසිද්ධියට පැමිණ වීමට උපකාරී වූ සංස්කාරක මහතෙරවරුන්ටත්, ලංකාණ්ඩුවේ හා සංස්කෘතික කාර්ය්‍යාංශයේ අධිකාරීන්ටත් මහාබෝධි මුද්‍රණාලයේ කාර්ය්‍ය විධායක - සේවක මණ්ඩලයටත් මෙයින් ජනිත ධර්‍මදානමය පුණ්‍ය මහිමයෙන් සගමොක් සුව ලැබේවා යි ආශංසනය කරම්හ.

පරවාහැර වජිරඤාණ ස්ථවිර
ත්‍රිපිටකපරිවර්‍තන සංස්කාරක මණ්ඩලයෙහි සම්පාදක.
ත්‍රිපිටක කාර්‍ය්‍යාලය, ධර්‍මදූතාශ්‍රම විද්‍යාලය, සිරිවජිරඤාණ මාවත, දෙමටගොඩ - කොළඹ.

සංඥාපනය

ග්‍රන්ථනාම:

‘‘මජ්ඣිමපමාණසුත්ත සඞ්ගහිතස්ස ඉමං මජ්ඣිමාගමවරස්ස, බුද්ධානුබුද්ධසංවණ්ණිතස්ස පරවාදමථනස්ස.’’

විශුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ වූ අනුබුද්ධ බුද්ධඝොස ආචාර්යයන් වහන්සේ මැදුම් සඟියෙහි ස්වරූප විභාග කරනුයෝ ‘මජ්ඣිමපමාණ සුත්තසඞ්ගහිතස්ස’ යනාදීන් එයට සොනාත්‍ර කෙරෙති. දීඝාගමාදීන් හා සසඳන් ම, මෙය මධ්‍යම ප්‍රමාණ සූත්‍රාන්තයන් විසින් සැදුම් ලද බව ද, බුද්ධානුබුද්ධයන් විසින් සංවර්ණිත බව ද පරවාද මථනය කරන බව ද එයින් පවසති. මෙහි බුද්ධානුබුද්ධ සංවර්ණිත විසින් විහිත සොනාත්‍රය සාමාන්‍යයෙන් දීඝාගමාදීන් කෙරෙහිදු යෙදෙයි. පරවාදමථන විසින් කළ සොනාත්‍රය මජ්ඣිමාගමයෙහි යෙදෙන විශේෂයෙකි. එයින් මජ්ඣිමාගමය වෛනෙයජනයන්ට දෘෂ්ටි විශුද්ධි සාධනයෙහි අත්‍යන්තයෙන් හිතකර බව පැවැසිණි.

ග්‍රන්ථ විභාග:

අටුවාකථාවාචාර්‍ය්‍යහු මෙහි පණ්ණාසක වශයෙන්දු, වග්ග වශයෙන්දු, සූත්‍ර වශයෙන්දු, පද වශයෙන්දු, අක්‍ෂර වශයෙන්දු, භාණවාර වශයෙන්දු, අනුසන්ධි වශයෙන්දු විස්තර විභාග කෙරෙති. මෙහි මූලපණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය, උපරිපණ්ණාසකය යි පණ්ණාසකයෝ තුන්දෙනෙක් වෙති. එක් එක් පණ්ණාසකයෙකැ පසක් පසක් බැගින් වර්ගයෝ පසළොස් දෙනෙක් වෙති. සූත්‍ර වශයෙන් යෙල සියක් හා අතිරෙක දෙදෙනෙකැයි සූත්‍රයෝ එක්සිය දෙපනස් දෙනෙක් වෙති. පද වශයෙන් අසූදහස් පන්සියතෙවිසි පද කෙනෙක් වෙති. අක්‍ෂර වශයෙන් සත්ලක්ෂ සතළිස් දහස් තෙපනස් අක්‍ෂර කෙනෙක් වෙති. භාණවාර වශයෙන් පිරිපුන් අසූබණවරක් හා අඩබණවරක් හා තෙවිසිපද කෙනෙක් වෙති. අනුසන්ධි (අර්ථානුගත අර්ථඝටනා) වශයෙන් පුච්ඡානුසන්ධි ය, අජ්ඣාසයානුසන්ධි ය, යථානුසන්ධි යැ යි සැකෙවින් ත්‍රිවිධ අනුසන්ධි කෙනෙක් වෙති. විස්තර විසින් තුන්දහස් නවසිය අනුසන්ධි කෙනෙක් වෙති. මෙසේ පඤ්චාංග ප්‍රමාණ ආදි වශයෙන් මෙහි විභාග දක්නේ ය.

ග්‍රන්ථ සම්පද:

ධර්‍ම සංගීතියට නැඟුණු පරිදි තෙවළාදහම ගෙනැ ආඥා - ව්‍යවහාර - පරමාර්ත්‍ථ දෙශනා වශයෙන් බෙදූ බලත් ම, තෙල මජ්ඣිමාගම වොහාර දෙශනායෙහි වැටෙයි. යථාපරාධ - යථානුලොම - යථාධම්ම ශාසන වශයෙන් බෙදූ බලත්ම, යථානුලොම ශාසනයෙහි වැටෙයි. සංවරදොෂ විමොචන - නාම රූප පරිච්ඡේද කථා වශයෙන් බෙදූ බලත් ම, දෘෂ්ටි විමොචන කථායෙහි වැටෙයි. ත්‍රිවිධ ශික්‍ෂා වශයෙන් බෙදූ බලත්ම, කෙලෙසුන් නැඟීම මැඩලන සමාධියට අයත් හෙයින් පර්‍ය්‍යුත්ථාන ප්‍රහාණය කියනු වෙයි. ධර්‍ම - අර්ත්‍ථ - දෙශනා - අභිසමය වශයෙන් පරමගම්භීර ද වෙයි. සම්පත් වශයෙන් ෂඩභිඥා සම්පත් උදාදෙනු වෙයි.

ග්‍රන්ථභාග්‍යය:

තවද, බුද්ධඝොසාචාර්‍ය්‍යයන් වහන්සේ මැදුම්සඟි අටුවායෙහි තෙල සඟිය ත්‍රිවිධ කල්‍යාණ ඇතියේ දක්වති. එය “සබ්බධම්මමූලපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි”යි ප්‍රාරබ්ධ වන හෙයින් ආදිකල්‍යාණ වන බව ද, අවසන්හි ඉන්ද්‍රියභාවනා සූත්‍රයෙහිදී “දෙසිතො අරියො භාවිතින්ද්‍රියො”යි වදාළ වචනවසයෙන් පර්ය්‍යවසානකල්‍යාණ වන බව ද, ආදි - අනන්ත - උභය - සූත්‍රමධ්‍යයෙහි සූත්‍රනානා - ගෙය්‍යාදි නවාංග ඇතියෙන් මධ්‍යකල්‍යාණ වන බව ද කියති.

මෙසෙයින් ත්‍රිවිධ කල්යාණ වන මේ මැදුම් සඟිය ‘මහා විපස්සනා’ නමින් පුරාණාචාර්යයන් විසින් හඳුන්වන බවද සඳහන් කොට මෙහි ආශය හකුළා ගෙනැ විශේෂ විභාවන කරන්නාහු “කුලපුත්‍රයනට දෘෂ්ටි විශුද්ධිය පිණිස නය එළවන්නේ මැදුම් සඟිය” යි කියති. දෘෂ්ටි විශුද්ධි නම් නාමරූපයන්ගේ යථාවදර්ශන වෙයි. ‘සත්ත්වයෙකැ, පුද්ගලයෙකැ’ යන සන්තාන සම්මොහය නස්නා සඳහා සූත්‍රාන්ත සිමිඳිළින් ‘නාමරූපමාත්‍ර වස්තූන් සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැතැ’ යි ව්‍යවස්ථා කරන යෝගීනට ප්‍රශංසා වන සූත්‍රාන්තයෝ මෙහි බොහෝහ.

‘‘සෙය්‍යථාපි ආවුසො කට්ඨඤ්ච පටිච්ච වල්ලිඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච තිණඤ්ච පටිච්ච ආකාසො පරිවාරිතො අගාරන්තෙව සඞ්ඛං ගච්ඡති, එවමෙව ඛො ආවුසො අට්ඨිඤ්ච පටිච්ච නහාරුඤ්ච පටිච්ච මංසඤ්ච පටිච්ච චම්මඤ්ච පටිච්ච ආකාසො පරිවාරිතො රූපන්තෙව සඞ්ඛං ගච්ඡති.” යනාදි වශයෙන් මෙහි වදාළ ඒ ඒ සූත්‍රොපදෙශය සන්තානසංජනක සම්මොහය නස්නට ඉවහල් වෙයි. පඤ්චොපාදානස්කන්ධයෙහි එක් එක් ස්කන්ධයක් වෙන වෙන ගෙනැ ඇතිතතු පරීක්‍ෂා කොට බලත්ම ‘මම යැ, මාගෙ මෙය’ යි ආත්මසාර වශයෙන් ග්‍රාහයට වස්තු භූත සත්ත්වයෙක් නැත, නාම රූපමාත්‍ර මිස ය යි දක්නහුගේ දර්ශනය යථාභූත දර්ශන නම් වෙයි.

යමෙක් මේ යථාභූත දර්ශනය තබා ‘සත්ත්වයෙක් ඇතැ’ යි ගන්නේ වේ නම්, හේ ඒ සත්ත්වයාගේ විනාශය හෝ අවිනාශය පතන්නේ ය. එහි විනාශය පතන්නේ උච්ඡෙදයෙහි හෙයි. අවිනාශය පතන්නේ ශාශ්වතයෙහි හෙයි. මේ විපරීත ග්‍රාහය බිඳුනට නානානයෙන් නාමරූප පරිච්ඡේද කොට සත්ත්‍වසංඥා නසා අසම්මොහ භූමියෙහි සිටුමින් දෘෂ්ටි විශුද්ධි සිද්ධ කළමනා වෙයි. මේ සංස්කාර පරිච්ඡේදනය ලබන්නට මජ්ඣිමාගම ය නය දෙන්නේය. මූලපරියාය සූත්‍රය, සච්චක සූත්‍රය, හත්ථිපදොපම සූත්‍රය, ආදි සූත්‍රාන්ත අනුසාරයෙන් එ කරුණ මැනැවින් දක්නේ ය.

මෙසේ පරවාද වශයෙන් එන ශාශ්වත දෘෂ්ටි උච්ඡෙද දෘෂ්ටි බිඳලන හෙයින් මෙය පරවාදමථනය යි කීම සචිත වෙයි. චුල්ලසච්චක සූත්‍රයෙහි එන සූචිරීක භාරද්වාජ බ්‍රාහ්මණාදීන්ගේ උදකාවගාහනාදි ආදි මිථ්‍යාමත ද, උපාලි සූත්‍රාදියෙහි සඳහන් වන අචෙතනයන් චෙතනයන් කොට ගෙණැ කායදණ්ඩාදිය පැනැවූ ඇතැම් කර්මවාදී ශාස්තෘන්ගේ විකල්ප විසඳීමෙන් පරසමයවාදීන්ගේ මිථ්‍යාවාද ද බිඳැලූ සැටි මැදුම් සඟියෙහි වෙසෙසින් සඳහන් වන්නේ ය.

මෙක්ලැ කිසි අවිවෙකී කෙනෙකුන් දීඝ සූත්‍ර මැදුම් සඟියෙහි ඇතියෙන් ‘මජ්ඣිමනිකාය’ යනු අන්වර්ථ නොවන සේ කියනුදු විවිධ දෘෂ්ටි බිඳුමින් පරවාදමථනය කරන්නට පොහොසත් ධර්මොපදෙශ විස්තර වශයෙන් ගෙන ප්‍රමාණාංගී කොට දක්වන කලැ අන්වර්ථනාමයට විරොධයක් නැත. ඒ ඒ නිකායට වෙන් කළ සූත්‍රසංඛ්‍යා පරිගණනායෙහි දී ප්‍රමාණ වශයෙන් මධ්‍යම ප්‍රමාණ සංඛ්‍යායෙක් මෙහි ඇත්නුයි එයින්දු තෙල අන්වර්ථ වන්නේය.

බුද්ධශාසනක්‍ෂෙත්‍රය:

පමණ විසින් බලන් ම, අප දිවයින කුඩා වුව ද, එය බුද්ධශාසනයෙහි සිද්ධක්‍ෂෙත්‍රය විසින් සැලකියැ හෙන්නේ ය. අද ලොකයෙහි ප්‍රවචන පාළිය පවත්නෙ එය ලක්දිව සිංහල මහතෙරවරුන් ලියා තැබූ හෙයිනි. ඉදින් එදා ඔබ මුබ පරම්පරාවෙන් ගෙන ආ තෙවළාදහම මාතලේ අලුවිහාරයෙහි දී නො ලියුහු නම්, ලොව ත්‍රිපිටක පාළියෙක් නැත. හැම ත්‍රිපිටක අවිකෘතයෙක් සිය බසින් නිරවුල් ව මෙහි පැවැතිණ. සර්වවාද සංඛ්‍යාත විභජ්ජවාදයෙහි සිද්ධක්‍ෂෙත්‍රය වන අනුරාධපුර මහා විහාරය සිංහලයන් විසින් ම ගොඩනැංවිණ. බුදුන් පහළ වැ දහම් දෙසු දඹදිව් තෙලෙහි සිට ඒ බුදුන්ගේ දහම නිසියේ දක්නට බුද්ධඝොසාචාර්යයන් වහන්සේ බඳු මහ පඬිවරුන් සිංහල දීපයට පැමිණීම ද සිංහලයන් කෙරෙහි පැවැති ධර්‍මඥාන මහිමය දක්වන සාධකයෙකි.

සම්බුද්ධ ශාසනාභාරය විශේෂයෙන් සිංහල වර්ගයා කෙරෙහි රැඳිය යුතු බව දැකැ එය උන් කෙරෙහි පිහිටුවනු සඳහා මෙහි වැඩි මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයන්ට පළමු මැ දෙසු දහම වන චූලහත්ථිපදොපම සූත්‍රය මේ මැදුම්සඟියෙහි ඇතුළත් වෙයි. එයින් සිංහල ජාතිය බුද්ධශාසනයෙහි උපාසකත්වයට පැමිණි වූයේ මෙ මජ්ඣිමාගම යයි සලකන්නෝය.

මජ්ඣිමභාණක පරම්පරාව:

ප්‍රථම සංගායනාවසානයෙහි මජ්ඣිමාගමය සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යගණයා හට දක්වා දුන ද, එය ඒ පරපුරෙහි වූ මජ්ඣිමභාණක සිංහල මහතෙරවරුන් තමන් ම ලත් සද්දායාදයක් සෙයින් අත්‍යාදරයෙන් පුහුණුකළ සේ පෙනේ. මූලපරියාය සූත්‍රයෙහි ඒ ඒ භූමි පරිච්ඡෙදයෙහි වැටෙන පැරැණි හෙළවැකිවලිනුදු දිවයිනෙහි අශොකාක්‍ෂරයෙන් කෙටූ ලෙන් ලිපි රැසෙහි නොයෙක් තැනැ එන ‘මජ්ඣිමභාණක’ යන වචනයෙනුදු එබව හෙළි වෙයි. මෙරට පැරැණි ලෙන් ලිපි අතරැ ‘මජ්ඣිමභාණක’ යන සඳහන මිසැ ඉතිරි භාණකයන් ගෙනැ කල සඳහනෙක් දුර්ලභ ද වෙයි. මෙ හැම කරුණින් හෙළිවන දැයෙක් ඇත: සිංහල මහතෙරවරුන් “මජ්ඣිමාගමය සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යගණයා කෙරෙහි මතු නොවැ අප ද කෙරෙහි පවරා දුන් දැයෙකැ”යි සිතුවාක් වැනි බවයි.

පුරාණපරිවර්තන:

අතීතයෙහි බුද්ධදාස මහරජහු දවස ධර්‍මකථික නම් ආගම්බර මහ තෙර කෙනෙකුන් සූත්‍රාන්තයන් සිය බසින් අරවා තැබූ බව ඉතිහාසයෙහි ප්‍රසිද්ධ වැ ඇත. එය බුද්ධඝොසාචාර්යයන් වහන්සේ මෙරටට පැමිණෙන්නට පෙරැ ක්‍රිස්තුවර්ෂයෙන් සිවුවැනි ශතවර්ෂයෙහි සිදු වූ දැයෙකි. මැදුම් සඟියත් ඒ පරිවර්තනයෙහි ඇතුළත් වූවද අද ඒ ලිපි නැත. ධර්මප්‍රදීපිකා ගැටපද සන්නයෙහි “මහ තෙරුන් කසයින් සම්දිට්ඨැ සුතත් වියැක් කෙරෙමින්” යනාදි පාඨයෙක් එයි. කලින් කල ඒ ඒ ඇදුරල්හි තෙරවරුන් සඟියෙහි සූත්‍රාන්ත ගෙනැ ව්‍යාඛ්‍යාන සැපයූ සේ එයින් පැවැසෙතුදු අද ඒ ලිපිද නැත. අමාවතුර කරත ගුරුළුගෝමීන් සච්චක සූත්‍රාදිය ඇසිරි කොට කල පරිවර්තන කිහිපයෙක් අද ද ග්‍රන්ථාරූඪ වැ ඇත. මූලපරියාය, සම්මාදිට්ඨි, මහාසීහනාද, වම්මික, රට්ඨපාල, සාලෙය්‍යක ආදි සූත්‍රාන්ත ගෙන වෙන වෙන කල පරිවර්තන බෙහෙවින් ඇත ද ඒ සැම සම්ප්‍රීති කථාසෙයි වැටෙනුයෙන් එහි නැඳිත්වියැ යුතු විශෙෂ දැයෙක් නො එයි.

පාඨශුද්ධි:

පාඨාන්තර විමසා බලත්ම, ග්‍රන්ථාරූඪ සබඳිනිය තෙක් පාඨශුද්ධි මැනැවින් පැවැති සෙයෙක සාධක කථා දක්නා ලැබේ. මහාසමය සූත්‍ර අටුවායෙන් සිය බසට ගත් තෙල වැකිය බලන්තේය:

‘‘කෙලපවු වෙහෙරැ තාලෙනදොරැ නාරුක්හි එක් දෙව් දුවක් වෙසෙයි. එක් ලදරු පැවිජි කෙණෙක් ඇතුළ්හි හිඳැ මෙසුත පිරිවනති. දෙව් දූ අසා සම්බරයෙහි මඟත් කොට සාධුකාර දුනැ. ‘පැවිජ්ජො තො කවරහු’යි කිහු. ‘වහන්සෙ, මම දෙව්දුවක්මු’යි කිව. කුමට සාධුකාර දුත්නු’යි කිහ. ‘වහන්සේ, බුදුන් මහා වනයෙහි වැඩැ හිඳැ මෙසුත දෙසන දවස් ඇසීමි. දැන් අද ඇසීමි. බුදුන් වදාළ නියායෙන් එක් අකුරකුදු නො පිරිහෙළා ගත් දැයැයි කිව.’’

මෙහි පාඨශුද්ධිය පිණිසැ දෙවියන් සාධුකාර දුන්සේ කියනුයෙන් මුඛපාඨ වශයෙන් තෙවළා ගෙනැ ආ දවස් පාඨශුද්ධිය මැනැවින් වැටුණු බව පෙනේ. ගුරු වාසයෙහි දී මුඛපාඨ වශයෙන් හැදාල පෙළ අවුල් වන්නට කරුණෙක් නැත. ග්‍රන්ථාරූඪ කරණයෙන් පසු ලෙඛකයන්ගේ අනවධානහෙතුදු, දෙශාන්තරයෙහි දී හටගත් විෂමපාඨ හෙතුයෙනුදු බෙහෙවින් අවුල්වැ ගිය තැන් මෙහිදු දක්නට ලැබේ. එහි නිර්මල කරණය අද දුෂ්කර වූ ක්‍රියාවෙකි. මෙහි අඩොලිපි වශයෙන් බහාලු පාඨරාශියෙන් එය දත හෙන්නේය. විශේෂයෙන් මෙහි භාණකයන් ලියූ ‘වග්ගානං උද්දානගාථා’, සලකා බලත්ම අවුල්වියවුලෙහි තතු කොතරම් වේ දැ යනු දත හැකිවෙයි. පාඨශොධනය පිණිසැ මෙහි දැරූ උත්සාහ මෙ ග්‍රන්ථය හදාරන නුවණැතියනට මැනැවින් වැටහී යනවා ඇතැයි සිතම්හ.

පාළිපදප්‍රයොග:

පාළියෙහි බස විමසත්ම, එය බුද්ධ කාලයෙහි ව්‍යවහාර පථයෙහි වැටුණු බසක් බව කියන සාධකයෝ බොහෝ වෙති. ‘‘තියඤ්ජනො, සුවාමි, දුවෙ, තුවං” ආදි සහස්‍රසඞ්ඛ්‍යාත ශිථිලපද ද, ‘‘අච්චායං, එවං ව්‍යා ඛො (අපි ච අයං, එවං විය ඛො)’’ යනාදි ගතසඛ්‍යාත සන්ධි පද ද එයට දෙස් විසින් දැක්වියැ හෙයි. ප්‍රාකෘතිකගති ඇති පදයන්ගේ ප්‍රයොග ද නිකායාන්තරවාසීන්ගේ වාක්ප්‍රයොග ද දෙශනාභාෂා පද වශයෙන් විඛ්‍යාත වූ පදයන්ගේ ප්‍රයොග ද කිසි තැනෙකැ ඇත. ‘‘හෙ ජෙ කාළි - කිං ජෙ දිවා උට්ඨාසි’’යි ඛක්ඛුපම සූත්‍රාදියෙහි එන ‘ජේ’ යන පදය ප්‍රාකෘතික ගති ඇති සේ පෙනේ. බුද්ධකාලයෙහි පැවැති ලොක චාරිත පීති අනුවැ සිව්වැදෑරුම් දසගණශෙයන් වෙයි. ‘අන්තොජාතා, ධනක්කීතා’ ආදි වශයෙන් අටුවායෙහි එය සදහන් කෙරෙති. මෙහි ‘ජාත’ යනු සියගෙහි මැ පරම්පරා වශයෙන් එන දාසයාට ද වැ ඇසිය කුස උපන් දරු වෙයි හේ නම් ‘ජාතදාස’ යි. එහි කෙල්ල ‘ජාතා’ නමු. එහි සම්බුද්ධ රූපය ‘ජාතෙ’ යි වියැ යුතුය. ප්‍රාකෘත ධර්‍ම වශයෙන් ‘ජාඒ’යි සිද්ධ වැ සංහිතා විසින් ‘ජේ’යි දැක්වියැහෙන්නාහුපද සිද්ධිය සැලකියැ හෙන්නේය. තිස්සන්ථුයෙහි නිර්විශෙෂ ආමන්ත‍්‍රණනිපාත වශයෙන් කිව ද තෙල පදය ජාතදස්‍යාමන්ත‍්‍රණයෙහි ම රැස වෙයි. ප්‍රාකෘතයෙහිදු ‘ජෙ’යි නිපාතපදයක් කිව ද ඒ පදපුරණාව්යෙයෙහි ම වෙයි. සකෘයෙහි මේ රූපය නොලැබේ. මෙබඳු ප්‍රාකෘතික පද මේ සඟියෙහිදු එයි. මෙ ද පාළියෙහි භාෂාව ව්‍යවහාර භාෂා වන හෙයින් සිද්ධසේ සලකම්හ. ‘‘එකුන පඤ්චාස ආජීවසතෙ, පරිබ්බාජක සතෙ, නාගාවාසසතෙ, විසෙ ඉන්ද්‍රිය සතෙ’’ යි සඤ්ඤක සූත්‍රාදියෙහි එන වාක්‍යප්‍රදෙශ සමයාන්තරවාසීන්ගේ වාක්ප්‍රයොග විසින් සලකන්නේය. ‘තං පවුතනං’ යනු පිණිසැ ‘සෙ පවුතෙන’ කියා ද, ‘තං හිත්‍වා’ යනු පිණිසැ ‘සෙ හිත්වෙන’ කියාද ‘තං වනන්ති’ යනු පිණිසැ ‘සෙස වනෙන’ කියාදැයි ‘ත’ ශබ්දයාගේ ‘සෙ’ යන රූපයෙන් මෙහිදු පෙනේ. එය කලිවර්‍ග භාගයෙහි වැටෙන්නාක් සෙයින් මැ පුංලිංගයෙහිදු වැටේ. සූතෙන සුබ්බවචාරණක්ඛන්ධකරලොපො, විපරීතතා ච යන ශබ්ද නීති සූත්‍රයෙහිදී ‘එසො, සො, එකො’ යනු ‘එසෙ, සෙ, එකෙ’ යි විපර්‍යාස වනසේ දැක්විණ. මෙහි ‘සෙ’ යනු පුංලිංගනිර්දේශ වශයෙන් කියති ‘ත’ ශබ්දයාගේ රූපොන්නයනයෙහි දී තෙල රූපය දේශාන්තර භේද වශයෙන් එන විපය්‍යර්‍ය්‍යාස රූප වත් මුත් මෞලිකරූප නොවැඩූයෙන් කච්චායන, මොග්ගල්ලාන දෙක්හි අනුඥාත නො සලකමිහ.

ශබ්දනීතිකාරයන් පාළියෙහි ආගම හකාරයක් කියා ‘හෙවන්ථි’ යනාදි පද උදාහරණ කරනුදු කච්චායනාදියෙහි එවන් උපදෙශයෙක් නො එයි. ඒ පද කථාවස්තුයෙහි එන කාලාන්තරසඤ්ජාත වූ උච්චාරණ විකෘතිරූප වත් මුන් පාළියෙහි එන මෞලික ශබ්දධර්ම නොවන හෙයිනි. ‘ත’ ශබ්දයාගේ රූපොන්නායනයෙහිදී ද කච්චායනාදියෙහි ‘සෙ’ යනු සබ්බාහිත නොවැඩූයේ තෙල හේතුයෙනැයි එසෙයින් මැ සැලකිය හෙයි. මෞලික රූප නොවැටුදු ‘සෙය්‍යථිදං’ යනාදි පද අවයව විසින් බිඳගනුත්, නොත් පාළියෙහි මැ දක්නා ලැබෙන ‘සෙ’ යනු මැ ගෙනැ නිපපාතී දුක් විය හැකියැ. ශබ්දනීතිකාරයෝ “අථ ඨනාචරියා සෙය්‍යථීදන්ති ඔකාරස්ස එකා රතනමිච්ඡන්ති. පාඨන්තරං තෙභි දිස්සති. භවිය්‍යන්ති. මයං පන න පස්සාම”යි පැරැණියන් ‘සො යථා’යි පද බිඳ ඔකාරයට එකාර කොට ‘සෙය්‍යථා’යි සිද්ධ කියනුදු තමන් එබඳු පාඨාන්තරයක් නො දුටුසේ සදහන් කෙරෙති.

“සෙය්‍යථීදන්ති සො කතමොති වා, තෙ කතමෙනි වා, සා කතමාති වා, තා කතමාති වා, තං කතමන්ති වා, තානි කතමානීති වා, එවං ලිඞ්ගවචන වසෙන අනියමිතෙ අත්ථෙ” යි සෙය්‍යථිදං - යනු ලිඞ්ගත්‍රයෙහි ප්‍රථමා එක වචන බහුවචන දෙක්හි ම අනියමිතාර්ථයෙහි යෙදෙන බව ද සඳහන් කෙරෙති. මෙයින් පැරැණියන් ‘සො යථා’ යි ගත ද එය තබා, මුලැ කී ‘සෙ’ යන රූපය කිසි තැනෙකැ අසඞ්ඛ්‍ය ස්වරූපයෙන් සිටුනා සේ සැලැකිය හෙන්නේය. තකාර සකාරයෝ දෙදෙනා උත්පත්තිත් දන්නාප් වෙත් නුයි සකාරයා විසින් තකාරයා ආක්‍රාන්ත වත් මැ ‘තං, තෙ’ යනු පිණිසැ ‘සෙ’ යනු පැමිණියැ හෙන්නේය. ඒ රූපය පාළියෙහි මැ අතිප්‍රයුක්තපදපද වශයෙන් බැයැගෙන්නැ සිටුනාසේ දත හැකිවෙයි. තෙල සඟියෙහි එන ‘සෙය්‍යංසො, පාපියංසො, යනාදි පද විමසත් ම, වෛදික පක්‍ෂයෙහිත් සිටුනා ‘ශ්‍රෙයස්, පාපියස්’ යනාදි ශබ්දයන්ගේ රූපාන්තර බව කියැ හැකියැ.

මෙසෙයින් පාළියෙහි නෛපුණ්‍යය ඇති නෛරුක්තිකයන් විසින් විමැසියැයුතු බොහෝ පදරත්නයන් උද්ධරණය කොටගන්නට මැදුම් සඟිය සාගරසදෘශ බව කියමිහ.

පිටක සංසන්දනා වශයෙන් පදප්‍රයොග විමසා බලත් හොත් විනය පාළියෙහි ලැබෙන ඇතැම් ප්‍රයොග විධි මෙහි දුර්ලභ බව කියැ යුතු වෙයි. ‘‘භික්ඛු නිසීදන්තො මාතුගාමං උපනිසීදෙය්‍යා වා’’යි විනයෙහි ‘භික්ඛුම්හි’යි තැබුව මනා පදය අවිභක්තික නිර්දෙශ වශයෙන් ‘භික්ඛු’යි තැබී. එහි මෙබඳු බොහෝ යෙදුම් ඇත ද සූත්‍රාන්ත පාළියෙහි එබඳු යෙදුම් දුර්ලභ වෙයි. මෙ හැම නුවණැතියන් විසින් ඒ ඒ තන්හි විමසා බලන්තේය.

මේ මජ්ඣිමනිකාය ප්‍රථමභාග පරිවර්තන සංස්කරණයෙහි දී ගෞරවාර්හ දර්ශන විශාරද මහෝපාධ්‍යාය පරවාහැර සිරි වජිරඤාණාභිධාන, කොළඹ නව කෝරලයන්හි ප්‍රධාන සංඝනායක මහාස්ථවිරපාදයන් වහන්සේගේ සදුපදෙශ අත්‍යර්ත්‍ථයෙන් එළිය දුන් බව ඔබ කෙරෙහි අතිශය ගෞරවයෙන් සඳහන් කරම්හ. ත්‍රිපිටකයෙහිදු දර්ශන ශාස්ත්‍ර විෂයෙහිදු පරිණත බුද්ධි ප්‍රභා ඇති ඔබගේ උපදෙශ නො ලද නම්, මේ පරිවර්තනයෙහි ධර්මාර්ත්‍ථයන් පිළිබඳ දුර්බොධස්ථාන සුබොධ නොවන බව කියනු කැමැතියම්හ.

කෝදාගොඩ ඤාණාලොක ස්ථවිර
විද්‍යාචන්ද්‍ර පිරිවෙන, අහංගම.
බුද්ධ වර්ෂ - 2508