12-DN-Digha Nikaya 3.pdf

කතෘ :
බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමි
ප්‍රකාශිත වර්ෂය :
1976
මුද්‍රිත වර්ෂය :
1976
පිටු ගණන :
603
බාගත කිරීම් ගණන :
2,048
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
114 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 302

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 9 වන වෙළුම ලෙස පළ වූ මෙය සූත්‍ර පිටකයේ දීඝනිකායෙහි තුන්වන කොටස වන පාථික වර්ගයයි. මෙහි පාළි පෙළ සහ සිංහල පරිවර්තනය අන්තර්ගත වේ.

අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙම ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති අතර, ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණ කටයුතු මෙහෙයවා ඇත. මෙම මුද්‍රණය 1976 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනරජයේ අනුග්‍රහයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දකි.

පාථික වර්ගයට අයත් ප්‍රධාන සූත්‍ර දේශනා 11ක් මෙහි අන්තර්ගත වන අතර ගිහි විනය නමින් ප්‍රකට සිඟාලෝවාද සූත්‍රය, ආරක්ෂක පිරිතක් වන ආටානාටිය සූත්‍රය, ලෝකෝත්පත්ති විස්තරය දැක්වෙන අග්ගඤ්ඤ සූත්‍රය සහ ධර්ම කරුණු සංග්‍රහයක් බඳු සංගීති සූත්‍රය ආදී වැදගත් දේශනා රැසක් මෙහි ඇතුළත් වේ:

  • පාථික සූත්‍රය
  • උදුම්බරික සූත්‍රය
  • චක්කවත්ති සීහනාද සූත්‍රය
  • අග්ගඤ්ඤ සූත්‍රය
  • සම්පසාදනීය සූත්‍රය
  • පාසාදික සූත්‍රය
  • ලක්ඛණ සූත්‍රය
  • සිඟාලෝවාද සූත්‍රය
  • ආටානාටිය සූත්‍රය
  • සංගීති සූත්‍රය
  • දසුත්තර සූත්‍රය

සංස්කාරක නිවේදනය

ත්‍රිපිටක ප්‍රවචනයෙහි සූත්‍රාන්ත පිටකයට අයත් ආගමග්‍රන්ථයන් කෙරෙහි පළමුවැන්න වූ දීඝනිකායෙහි පාථිකවර්‍ග සංලක්ෂිත වූ මෙම තෘතිය භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි නවවැනි ග්‍රන්ථය වෙයි.

දසබල ගුණගණපරිදීපක සූත්‍රයෙන් ප්‍රතිමණ්ඩිත වූ දීඝාගමවරය සිංහල භාෂාවෙන් තබන ලෙස ලංකා බෞද්ධමණ්ඩලය විසින් ආරාධිත වූ අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මාර්ථ විසින් ගම්භීර වූ දීඝනිකාය සිංහල පරිවර්තනය මැනැවින් සපුරා නිමහම් කළහ. එහි ශීලක්ඛන්ධවර්‍ග ලක්ෂිත ප්‍රථම භාගය 1962 දී ද, ද්විතීයභාගය වූ මහාවර්‍ගය 1976 නොවැම්බර් මාසයේ දී ද මුද්‍රණය වී ඇත. අවසාන පාථිකවර්‍ගයෙන් යුත් මෙම තෘතියභාගය නොසිතු පමණ ඉක්මනින් මෙසේ මුද්‍රණය කරවාලන්නට අවස්ථාව සැලැසීම භාග්‍යයක් කොට සලකම්හ.

ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි කලක් උපකුලපතිව සිටි ආනන්දමෛත්‍රෙය මහාස්ථවිරපාදයන් වහන්සේ සමස්ත ලංකා අමරපුර මහානිකායෙහි ප්‍රථම මහානායක පදවිය හෙබවූහ. ප්‍රවීණතර දේශීය භාෂාන්තරයෙහි ජේක වූ ඔබ ත්‍රිපිටක ධර්මයෙහි නිපුණත්වය හේතු කොටගෙන බුරුමරට රජය විසින් ‘අග්ගමහාපණ්ඩිත’ යන ගරු උපාධියෙන් සම්භාවිත වූහ. බහුශ්‍රැත භාවයෙන් අනූන වූ උන්වහන්සේ දීඝනිකායව්‍යාඛ්‍යානය සඳහා සරල වූ සිංහල භාෂාරීතිය මෙහෙයූ සැටි සුධීන්ගේ පැසසුමට කාරණ වෙතැයි සිතම්හ.

දීඝනිකාය පාඨශෝධනයෙහි දී කිසි තැනෙක නිකායාන්තරිකයන්ගේ දීඝාගමයෙහි— මහාවස්තු ආදි ග්‍රන්ථයන්හි එන කිසි පාඨයෙක් ද අඩොලිපි වශයෙන් යොදා ඇත. එහෙත් දූෂිත පාඨ වශයෙන් ප්‍රකට ව පැනෙන බොහෝ පඨාන්තර අඩොලිපියෙන්දු බැහැර කරන ලද්දේය. තවද කිසි පොතෙක ‘ඉත්ථීං වාහනං කත්වා පුරිසං වාහනං කත්වා’ යනාදි පාඨ දක්වෙතුදු ‘බුද්ධානොසාසනං’ ආදි තැන්හි සෙයින් නිගෘහීත ලෝපයෙහි සාධුත්වය ද සලකා ලක්දිව ඇදුරුපරපුරෙහි එන පරිදි ‘ඉත්ථිවාහනං කත්වා පුරිසවාහනං කත්වා’ යනාදි විසින් නිගෘහීත වියුක්ත පාඨ මේ සංස්කරණයෙහි යොදා ඇත. ‘ගරුං කරොන්ති’ ‘ගරුකරොන්ති’ යනාදි තැන්හිදු එබඳු මැය. මෙසේ සංගීතිසමාරූඪ වූ බුද්ධවචනය මැ නිශ්චය කරගැනීමට බුද්ධජයන්ති ත්‍රිපිටක සංස්කරණයෙහි දී හැම පරිශ්‍රමයක් ම යොදා ඇති බව සලකනු මැනැවි. මෙහි ඇති වෙනත් ශොධ්‍යස්ථාන අඩොලිපි අනුසාරයෙන් දත හැකි වේ. මුද්‍රණකාර්යය හැකිතාක් ඉක්මනින් නිමහම් කරවාලීම සඳහා ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ශාස්ත්‍රාගමධර පූජ්‍ය පණ්ඩිත මහතෙරවරුන්ගේ සහාය ද ඇති ව ආනන්දමෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මැ නිරතුරු ව්‍යාපෘත වූ බව කෘතඥතා පූර්වක ව සඳහන් කරම්හ.

තවද සම්බුද්ධශාසනයාගේ උද්දීප්තියට අතිශයින් පිහිට වන පරිශුද්ධ වූ ත්‍රිපිටක පර්යාප්තිය ව්‍යාප්ත කරවාලීම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය වර ගරු සිරිමාවෝ බණ්ඩාරනායක උත්තමාව දක්වන බලවත් ප්‍රසාදය හා අනුග්‍රහය ද, ගරු සංස්කෘතික අමාත්‍ය තැන්පත් ටී. බී. තෙන්නකෝන් මැතිතුමන්ගේ උත්සාහය ද, ප්‍රශංසා මුඛයෙන් සඳහන් කරන අතර සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් කේ. එච්. ඇම්. සුමතිපාල මහතාණන්, සංස්කෘතික අධ්‍යක්ෂ පී. ඒ. අබේවික්‍රම මහතාණන් හා සාහිත්‍ය සංවර්‍ධන නිලධාරී කේ. ජී. අමරදාස මහතාණන් ද මෙහි ලා සඳහන් කළ යුතු ය. සහකාර සංස්කෘතික අධ්‍යක්ෂ සෝමපාල ජයවර්‍ධන මහතාණන් ත්‍රිපිටක මුද්‍රණය නොපමාව අවසන් කිරීම සඳහා ස්වකීය විවේකය ද නොතකා හුදු ආගමභක්තිය මැ පෙරදැරි කොටගෙන ක්‍රියා කරන බව ප්‍රශංසා පූර්‍වක වැ සඳහන් කළ යුතු ය.

දෙහිවල තිසර මුද්‍රණාලයාධිකාරී ඇස්. ඩී. සපරමාදු මහතාණන් ප්‍රමුඛ කාර්ය්‍යමණ්ඩලය ත්‍රිපිටක මුද්‍රණය නොපමාව නිමහම් කිරීමට දරන උද්‍යෝගය ද, ත්‍රිපිටක කාර්යාලය පිහිටි කොළඹ මහානායක චාරිකාරාමයෙහි භාරකාර ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතාගෙන් ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයට දවයෙහි ලැබෙන උපස්තම්භය ද අනුස්මරණීය වේ.

සදේවක ලෝකයාහට උභයාර්ථ සංසිද්ධිය පිණිස පවත්නා අතිපරිශුද්ධ පර්යාප්තිධර්මය ව්‍යාප්ත කරවාලීමෙහි යත්න දරන හැම පින්වත් සුධීහු ධර්මදානමය කුශලයෙන් සුබභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.

ශාසනොදයකාරී, ලබුගම ලංකානන්ද ස්ථවිර, ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක
1976. 12. 10 වැනි දින,
ත්‍රිපිටක කාර්යාලය,
මහානායක චාරිකාරාමය,
115, විජේරාම මාවත,
කොළඹ 7.

සංඥාපනය

මෙහි පළමු දෙවැනි කාණ්ඩ දෙක්හි ම සංඥාපන ඇති බැවින් මෙයට විශේෂ සංඥාපනයක් අවශ්‍ය නොවේ. සූත්‍ර සාරාංශය පමණක් මෙහි දැක්වේ.

1. පාථික සූත්‍රය. සුනක්ඛත්ත නම් පැවිද්දා බුදුරජුන් අග්ගඤ්ඤය නොපනවතැයි කළ දොෂාරොපණය, ඔහු කොරක්ඛත්තිය නම් බලු තවුසාට පැහැදීම, සුනක්ඛත්තයා කළාරමට්ඨක නම් අචෙලකයන් කරා යෑම, අචෙලක පාථිකපුත්‍රයා ගේ මෘගබස් දෙඩීම, බුදුරජුන් අග්ගඤ්ඤය ලොකොත්පත්ති වංශ කථාව පැහැදිලි කිරීම. භගවද්ගොත්ත පිරිවැජියාගේ ප්‍රසාදය පහළ කිරීම යන මෙතෙක් දෑ මෙහි දැක්වේ.

2. උදුම්බරික සූත්‍රය. තපොජිගුප්සාව පරිපූර්‍ණ වන සැටි තථාගතවරයන් පනවන පිළිවෙත් මග තපොජිගුප්සාවට වඩා උසස් බව මෙහි ප්‍රකාශිත ය.

3. චක්‍රවර්ති සිංහනාද සූත්‍රය. මෙහි දල්හනෙමි සක්විති රජුගේ ප්‍රවෘත්තියෙදු දිළිඳුබව නිසා සොරකම ද, එය නිසා ප්‍රාණඝාතය ද, එය නිසා බොරු කීම ද, බොරු කීම වැඩිම නිසා කේලාම් කීම ද එයින් පසු කාමමිථ්‍යාචාරය ද එයට පසු ඵරුස වචනය හා සම්ඵප්‍රලාප ද එයට පසු අභිධ්‍යා ව්‍යාපාද ද එයට පසු දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය ද එයින් පසු අධර්‍මරාග විෂම ලොභ හා මිථ්‍යාධර්‍ම ද පහළ වී වැඩි ගිය සැටි ද මේ හැම අකුශලයක් ම වැඩි යත් යත් ආයුෂ පිරිහුණු සැටි ද අකුසල් වැඩි යෑමෙන් දස හවුරුද්ද තෙක් ආයු පිරිහීම ද ඒසමයෙහි අවිවලින් මිනිසුන් උනුන් මරා ගැන්ම ද ඉතිරි වූ ජනයා ගේ පරපුර ක්‍රමයෙන් ප්‍රාණඝාතාදියෙන් වැළැකීම ද එයින් පරමායුෂ වැඩිම ද අන්තයේදී පරමායුෂ අසූදහස් හවුරුද්දට නැගී සමයෙහි මෙතේ බුදුරජුන් පහළ වීම ද දැක්විණ. මෙයට පසු පැවිද්දහු ආත්මශරණ ව වසන සැටි ද, පැවිද්දහු ගේ ආයුෂ වර්‍ණ සැප බල ප්‍රඥා ද විස්තර කැරිණ.

4. අග්ගඤ්ඤ සූත්‍රය. බමුණන් ගේ කුලවාදය සදොස් බව, කුලයෙන් නොව කුසල් දහමින් ම මිනිසා පිරිසිදු වන බව, සස්නෙහි පැවිදි වූවහු බුද්ධපුත්‍ර වන නියාව, අග්ගඤ්ඤය (ලොකොත්පත්ති වංශ කථාව), සතර වර්‍ණයන් පහළ වීම ධර්‍මයෙන් ම කෙනෙකු ශ්‍රේෂ්ඨ වන නියාව යන මෙතෙක්දෑ මෙහි දැක්විණ.

5. සම්පසාදනීය සූත්‍රය. තමන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු කරුණු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැවැති අනුත්තරිය ධර්‍ම සැරියුත් තෙරුන් වදාළ නියාව මෙහි දැක්වේ.

6. පාසාදික සූත්‍රය. නිර්ග්‍රන්ථඥාති පුත්‍රයන් මළ පසු ඔවුන් ගේ භෙදය ද, අසම්‍යක් සම්බුද්ධ ශාස්තෲහු ගේ ශාසනයේ අපරිපූර්‍ණත්වය සම්යක් සම්බුද්ධ ශාස්තෲහුගේ ශාසනයේ පූර්‍ණත්වය, සත්තිස්බෝ පැකි දහම් අන්තොටුවන්ට නඟන දෙස්, ඒවාට පිළිතුරු සුඛල්ලිකානුයොග තථාගතයන් වහන්සේ වදාරන නොවදාරන දෑ, දෘෂ්ටිනිශ්‍රයයෝ, දෘෂ්ටිනිශ්‍රය ප්‍රහාණය යන – මෙතෙක් දෑ මෙහි සවිස්තරව දැක්වේ.

7. ලක්ඛණ සූත්‍රය. සක්විති රජුන්ගේද ලොවුතුරු බුදුරජුන්ගේ ද ගතැ පිහිටන දෙතිස් මහාපුරිස් ලකුණු ද ඒවා ඇති වීමට කාරණ වූ ගුණ ධර්‍ම ද ඒවායේ අනුසස් ද යන මෙතෙක් දෑ මෙහි දැක්වේ.

8. සිඟාලොවාද සූත්‍රය. සිඟාලක ගෘහපති පුත්‍රයාට වදාළ ගිහි විනය සවිස්තර ව මෙහි දැක්වේ.

9. ආටානාටිය සූත්‍රය. ගිජුකුළු පව්වෙහි වසන බුදුරජුන් වෙතට එක් රැයක සිවුවරම් දෙවියන් සපිරිවරින් ආ නියාව ද වෙසවුණු රජු විපස්සී බුදුරජුන් පටන් කොට අප බුදුරජුන් තෙක් සිටි සත් බුදුරජුන් ගේ නම් ඇතුළත් කොට, සිවුපිරිසේ ආරක්ෂාව සඳහා රැක්යූ පිරිත බුදුරජුන් හමුවේ පැවැසූ නියා ව ද බුදුරජුන් එය අනුමත කොට, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් විසින් යක්ෂභූත දොෂ නිවාරණය පිණිස එය පුහුණු කරන සේ වදාළ නියා ව ද මෙහි දැක්වේ.

10. සංගීති සූත්‍රය. බුදුරජුන් ගේ නියොගයෙන් සැරියුත් මහතෙරුන් වදාළ දේශනාවෙකි. මෙහි එකක ද්වික ත්‍රික චතුෂ්කාදි වශයෙන් බුදුරජුන් වදාළ දහම් පරිච්ඡෙද කොට දැක්විණ.

11. දසුත්තර සූත්‍රය. එක දෙක තුන ආදි විසින් බුදුරජුන් වදාළ දහම් වර්ග වශයෙන් බෙදා සැරියුත් මහතෙරුන් විසින් මේ සූත්‍රය වදාරණ ලදී.

මෙයට,
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
ශ්‍රී චන්ද්‍රශේඛරාරාමය,
වටයවත්ත පාර,
මහරගම.
1976–12–17.