11-DN-Digha Nikaya 2.pdf
- කතෘ :
- බලන්ගොඩ ආනන්දමෙත්රෙය හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1976
- මුද්‍රිත වර්ෂය :
- 1976
- පිටු ගණන :
- 612
- බාගත කිරීම් ගණන :
- 2,163
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 130 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 8 වන වෙළුම ලෙස පළ වී ඇති මෙම ග්‍රන්ථය සූත්‍ර පිටකයේ දීඝනිකායෙහි දෙවන භාගය වන මහාවග්ගය අඩංගු පෙළ සහ සිංහල අනුවාදයයි. සබරගමු සද්ධර්මවංසික නිකායේ මහානායක ධුරීණ අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්රෙය මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි සිංහල පරිවර්තනය සිදු කර ඇත.
මෙහි මහාපදාන සූත්‍රයේ සිට පායාසිරාජඤ්ඤ සූත්‍රය දක්වා දීඝනිකාය මහාවග්ගයට අයත් දීර්ඝ සූත්‍ර දහයක් ඇතුළත් වේ. මහාපරිනිබ්බාන සූත්‍රය, පටිච්චසමුප්පාදය විස්තර වන මහානිදාන සූත්‍රය, භාවනා ක්‍රම පැහැදිලි කෙරෙන මහා සතිපට්ඨාන සූත්‍රය ආදී ශාසනික වශයෙන් අතිශය වැදගත් සූත්‍ර දේශනා රැසක් මෙහි අන්තර්ගතය.
- මහාපදාන සූත්‍රය
- මහානිදාන සූත්‍රය
- මහාපරිනිබ්බාන සූත්‍රය
- මහාසුදස්සන සූත්‍රය
- ජනවසභ සූත්‍රය
- මහාගොවින්ද සූත්‍රය
- මහාසමය සූත්‍රය
- සක්කපඤ්හ සූත්‍රය
- මහා සතිපට්ඨාන සූත්‍රය
- පායාසිරාජඤ්ඤ සූත්‍රය
ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් සකස් වූ මෙම කෘතිය ශ්‍රී ලංකා ජනරජය මගින් බු.ව. 2519 (ක්‍රි.ව. 1976) දී මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී. ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේගේ සංස්කාරක නිවේදනයක් සහ පරිවර්තක ආනන්දමෛත්රෙය හිමියන්ගේ සවිස්තර සංඥාපනයක් ද මුලට එක් කර ඇත.
සංස්කාරක නිවේදනය
සූත්‍රාන්ත පිටකයට අයත් ආගමග්රන්ථයන් අතුරෙහි පළමු වැන්න වූ දීඝනිකායෙහි ද්විතීය භාගය වන මහාවර්ගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලායෙහි අටවැනි ග්‍රන්ථය වෙයි.
ලංකා බෞද්ධ මණ්ඩලය විසින් ආරාධිත වූ සබරගමු සද්ධර්මවංසික නිකායාන්තර්ගත රාස්සාගල විහාරගණයෙහි, මහානායක ධුරීණ අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෙත්‍රෙය ස්වාමීන්ද්‍රයෝ දික්සඟි පෙළ සිංහල භාෂාවෙන් සපුරා පරිවර්තන කළහ. එහි ප්‍රථම භාගය වූ සීලස්කන්ධ වර්ගය 1962 දී මුද්‍රිත වී ඇත.
ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි උපකුලපති ව සිටි සමස්ත ලංකා අමරපුර මහානිකායෙහි මහානායක ධුරය ද දැරූ ආනන්ද මෙත්‍රෙය මහානායක ස්ථවිරපාදයන් වහන්සේ භාෂාන්තරයෙහි හා සමයාන්තරයෙහි ද බුද්ධි විශදතා ඇති කෙනෙකි. ඔබ මේ ද්විතීය භාගයෙහි අනුවාදය ද මැනවින් සිදු කොට ඇත. දුර්බොධාර්ථ ඇති ඇතැම් ධර්මපදයන් සඳහා අර්ථකථාගත විවරණ ද වරහන් තුළ දක්වමින් ධර්මව්යාඛ්යානය නිපදවා ඇති සැටි ද, ඒ සඳහා ඔබට හුරු වූ සුගම භාෂාස්වරූපය මැනවින් හසුරුවා ඇති සැටි ද, සුධීන්ගේ පැසසීමට ලක් වෙති සිතමි හ.
මුද්‍රණ කාර්ය්යය ඉක්මනින් නිමවාලීම සඳහා ත්‍රිපිටක මණ්ඩලයේ ස්ථවිරවරුන්ගේ සහාය ඇති වැ අප දු හට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බව ද කියැ යුතු ය.
තවද ශ්‍රී ලංකාජනරජයේ ගරු අග්‍රාමාත්‍ය උත්තමාවගේ අනුග්‍රහය ද ගරු සංස්කෘතික ඇමැතිතුමා ප්රමුඛ තදධිකාරීන්ගේ උපයෝගය ද විශේෂයෙන් සංස්කෘතික සහකාර අධ්යක්ෂ සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ ක්රියාශීලිභාවයද කෘතඥතා පූර්වක වැ සඳහන් කරම්හ.
දෙහිවල තිසර මුද්රණාලයාධිකාරීන් ඇතුළු මේ සද්ධර්ම ප්රකාශනයෙහි සහාය වූ හැම පින්වත්හු මැ මේ හේතුවෙන් සුභභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.
මේ වගට:
ශාසනොදයකාරී, ලබුගම ලංකානන්ද ස්ථවිර ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.
1976 නොවැම්බර් 10 දින, ත්‍රිපිටක කාර්යාලය, මහානායක වාරිකාරාමය, 115, විජේරාම මාවත, කොළඹ 7.
ශාසනොදයකාරී,
ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.
1976 නොවැම්බර් 10 දින,
ත්‍රිපිටක කාර්යාලය,
මහානායක වාරිකාරාමය,
115, විජේරාම මාවත,
කොළඹ 7.
සංඥාපනය
දීඝනිකාය හෙවත් දීඝාගමය වනාහි සංගීතියට නැඟු ථෙරවාද ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයෙහි පළමුවන පොතය. මෙය පිළිබඳව විශේෂයෙන් කිය යුතු දෑ මෙහි මුද්‍රිත වූ පළමු වන කාණ්ඩයෙහි (සීලක්ඛන්ධ වග්ගයෙහි) මුල ම සඳහන් ව ඇත.
එහි සීලක්ඛන්ධවග්ගයේ සූත්‍රවල අදහස සැකෙවින් දැක්විණ. මේ දීඝනිකායයේ දෙවෙනි භාගය යැ. මෙහි එන සූත්‍රයන් ගේ සංක්ෂේප අදහස් පහත දැක්වේ.
1. මහාපදාන සූත්‍රයෙහි — විපස්සී බුදුරජුන් පටන් කොට පහළ වූ අප බුදුරජුන් ඇතුළු සත් බුදුවරුන් ගේ චරිත දැක්වේ.
2. මහානිදාන සූත්‍රයෙහි — පටිච්චසමුප්පාදය සවිස්තර ව දැක්වේ.
3. මහාපරිනිර්වාණ සූත්‍රයෙහි — බුදුරජුන් පිරිනිවන් පානු පිණිස කුසිනාරාවට වැඩි ගමන ද ඒ අතර දෙසු ධර්ම ද දැක්වෙත්.
4. මහා සුදර්ශන සූත්‍රයෙහි — බුදුරජුන් කුසිනාරා නුවර උපවත්තන සල්වෙනෙහි යමා සල් රුක් අතර පැනැවුණු යහනෙහි වැඩහිඳ කුසිනාරාපුරයේ ඉතා පෙර මහාසුදර්ශන නම් සක්විති රජ සමයෙහි පැවැති ශ්‍රී විභූතිය ද පසු කලැ ඒ සියල්ල පිරිහී ගිය සැටි ද වදාරා ලොව සියල්ලෙහි අනිත්‍යතාව ද ශ්‍රාවකයන් ආත්ම ද්වීප ව විසිය යුතු බව ද වදාළ නියා දැක්වේ.
5. ජනවසභ සූත්‍රයෙහි — කලුරිය කළ ඇතැම් ශ්‍රාවකයන්ගේ පරලෝගතිය බුදුරජුන් පැවැසීම ද, කලුරිය කළ බිම්සර රජ ජනවසභ නම් සිවුමහරජයෙහි දෙවියකු ව ඉපිද සිට බුදුරජුන් දක්නට අවුත් දෙව්ලොවැ දෙවියන් තුනුරුවන් කෙරෙහි ඇති භක්තිය ද, සනත් කුමාර බඹහු බුදුරජුන් ගෙන් අසා දැන ගත් සප්ත සමාධි පරිෂ්කාර ධර්ම දෙවියනට පැවැසූ අයුරු ද දැක්වෙත්.
6. මහාගොවින්ද සූත්‍රයෙහි — පන්සිළු දෙව්පුත් අවුත් තව්තිසාහි දේවසභාවක පැවැති කථාවක් පැවැසීම දැක්වේ. මෙහි සක්දෙවිඳු බුදුගුණ අටක් පැවැසීම, සනත්කුමාර බඹහු බුදුරජුන් බොහෝ පෙර ජෝතිපාල නම් මාණවකව ඉපිද මහාගොවින්ද නමින් ප්‍රසිද්ධව රජුන් සදෙනකුට ගුරු තන්හි සිට අනුශාසනා කොට ඔවුන්ට සුගති ගමනට මග පෙන්වූ සැටි පැවැසීම, ඔහුගේ කථාව ඇසූ බුදුරජුන් පන්සිළුහට මහාගොවින්දානුශාසනය නෛය්‍යාණික නොවන බව ද මේ අරි අටඟිමග ම දුක්නසන මග බව පැවැසීම යන මෙතෙක් දෑ දැක්වේ.
7. මහාසමය සූත්‍රයෙහි — කිඹුල්වත් නුවර අසල මහවෙනෙහි වැඩහුන් බුදුරජුන් හා මහා සංඝයා දක්නට රැස්වූ දෙවිබඹුන් මුළුව ගැන සඳහන් වේ. ඔවුන් ගේ නම් වැල ද දැක්වේ.
8. සක්කපඤ්හ සූත්‍රයෙහි — පන්සිළුහු බුදුරජුන් ඉදිරියෙහි ගී ගැයීම හා වැයීම, සක්දෙව් පැමිණ ප්‍රශ්න විචාරීම, සක්දෙව් සෝවාන් වීම දැක්වේ.
9. මහාසතිපට්ඨාන සූත්‍රයෙහි — සතර සතිපට්ඨාන භාවනා විස්තර වේ.
10. පායාසිරාජඤ්ඤ සූත්‍රයෙහි — කුමාරකශ්යප මහතෙරුන් ද පායාසිරාජඤ්ඤයා ද අතර පරලොවක් ඇතිනැතිබව පිළිබඳ ව පැවැති ධර්ම සංවාදය දැක්වේ.
මෙසේ දීඝනිකායයේ මේ මහාවර්ගය සූත්‍ර දශයකින් පරිමිතය.
මෙය සකස් කිරීමෙහි දී මෙම ත්‍රිපිටක ග්රන්ථපරිවර්තක මණ්ඩලයෙහි සභාපතිවු පණ්ඩිත කෝදාගොඩ ඥාණාලෝකප්රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේගේ ද සම්පාදක වූ පණ්ඩිත ලබුගම ලංකානන්ද නායක ස්ථවිරයන් වහන්සේගේ ද ශෝධ්යපත්ර බැලීම හා ග්රන්ථ සූචිය සකස් කිරීමෙහි ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ සෙසු මහතෙරවරුන් කිහිප නම ගේ ද සහයෝගය ලද බව ස්තූතිපෙරටුව සඳහන් කරම්හ.
මෙයට, බලන්ගොඩ ආනන්දමෙත්රෙය ස්ථවිර.
මහරගම වටයවත්ත පාර, ශ්‍රී චන්ද්‍රශේඛරාරාමය. 1976.11.04.
මෙයට,
බලන්ගොඩ ආනන්දමෙත්රෙය ස්ථවිර.
මහරගම
වටයවත්ත පාර,
ශ්‍රී චන්ද්‍රශේඛරාරාමය.
1976.11.04.