10-DN-Digha Nikaya 1.pdf
- කතෘ :
- බලන්ගොඩ ආනන්දමෛත්රෙය හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1962
- මුද්‍රිත වර්ෂය :
- 1962
- පිටු ගණන :
- 688
- බාගත කිරීම් ගණන :
- 2,950
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 134 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දීඝනිකාය (ප්‍රථමභාගය - සීලක්ඛන්ධවග්ග) යනු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 7 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ පළමුවන ග්‍රන්ථය) ලෙස පළ වූ කෘතියයි. මෙහි දීඝනිකායේ මුල් කොටස වන සීලක්ඛන්ධවග්ගයට අයත් සූත්‍ර දහතුන පාලි පෙළ සහ එහි සම්පූර්ණ සිංහල පරිවර්තනය සමඟ මුද්‍රණය කර ඇත.
මෙම ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්රෙය නායක ස්ථවිරයන් වහන්සේ විසිනි. පරිවර්තන කාර්යයේ දී පරවාහැර වජිරඤාණ නායක ස්ථවිර, ලබුගම ලංකානන්ද ස්ථවිර සහ කෝදාගොඩ ඥානාලෝක නායක ස්ථවිර යන විද්වත් හිමිවරුන්ගේ උපදෙස් හා සහාය ලැබී තිබේ. බුද්ධ ජයන්ති සමරු නිමිත්තෙන් ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් ලංකාණ්ඩුව මඟින් බු.ව. 2505 (ක්‍රි.ව. 1962) දී මෙය ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම වෙළුමෙහි අන්තර්ගත ප්‍රධාන සූත්‍ර දහතුන:
- බ්‍රහ්මජාල සූත්‍රය
- සාමඤ්ඤඵල සූත්‍රය
- අම්බට්ඨ සූත්‍රය
- සොණදණ්ඩ සූත්‍රය
- කූටදන්ත සූත්‍රය
- මහාලි සූත්‍රය
- ජාලිය සූත්‍රය
- සීහනාද සූත්‍රය
- පොට්ඨපාද සූත්‍රය
- සුභ සූත්‍රය
- කෙවඩ්ඪ සූත්‍රය
- ලොහිච්ච සූත්‍රය
- තෙවිජ්ජ සූත්‍රය
සංස්කාරකනිවේදනය
සූත්‍රාන්තපිටකයෙහි චතුරාගම විසින් දක්නා ලද සිව්මඟ සඟි අතුරෙහි පළමු සඟිය වූ දීඝනිකායෙහි ශීලස්කන්ධවර්ගයෙන් යුත් ප්‍රථමභාගය බුද්ධජයන්ති ත්රිපිටකග්රන්ථමාලා සඞ්ඛ්‍යායෙන් සත්වන සූත්රාන්තපිටක ග්රන්ථසඞ්ඛ්යායෙන් පළමු වන ග්‍රන්ථය වේ.
ලංකාබෞද්ධමණ්ඩලය විසින් ආරාධිත වූ - දැනට ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි මහායාන බෞද්ධධර්මය පිළිබඳ ප්රමුඛාචාර්ය්ය වූ බලන්ගොඩ ආනන්දමෛත්රෙය නායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි පාලිය සිංහල භාෂාවෙන් පරිවර්තනය කරණ ලදී.
භාෂාන්තර - සමයාන්තර අභ්‍යාසයෙන් දීප්ත වූ බුද්ධිප්රභා ඇති බැවින් තථාගතප්රදීපිත ධර්මවිනයෙහි දුරවබෝධ වූ තැන් සුබෝධ කරලීමෙහි සමර්ථතා ඇති අග්ගමහාපණ්ඩිත ආනන්දමෛත්රෙය නායක ස්ථවිරයන් වහන්සේ විසින් දීඝනිකායාගත දිට්ඨිවිනිවේඨන කථාදිය විෂය කොට ඇති ශීලස්කන්ධවර්ගයෙහි ගම්භීරභාවයෙන් යුත් පාලිපදයන්ට ලියූ අර්ථව්යාඛ්යානය පුරාතනාචාර්ය්යයන්ගේ ව්යාඛ්යාස්වරූප ගෙණ ඇති බව එය කියවන සුමතීන්ට වැටහෙනු නිසැකයි.
අපගේ අවසාන සංස්කරණයෙන් මුද්‍රණයට පැමිණි මේ ග්‍රන්ථය මෙසේ ප්‍රකට කරලීම පිළිබඳ සිය යුතුකම් ඉටු කල සියලු පින්වත්හු ධර්මදානමය කුශලමහිමයෙන් සුබභාගී වෙත්වා.
පරවාහැර වජිරඤාණ ස්ථවිර, ත්රිපිටකපරිවර්තන කාරක සභාවෙහි ද සංස්කාරක මණ්ඩලයෙහි ද සම්පාදක.
බුද්ධවර්ෂ 2505,
ත්රිපිටකකාරියාලය,
ධර්මදූතාශ්‍රම විද්‍යාලය,
174, දෙමටගොඩ, කොළඹ.
සංඥාපනය
දීඝනිකාය:
මහාසංගීති තුනට නැඟුණු බුද්ධවචනය සූත්‍රය අභිධර්ම විනය විසින් පිටක තුනෙකින් පරිපූර්ණය. එහි සූත්‍රපිටකය දීඝාගම (දික්සඟි), මජ්ඣිමාගම (මැදුම්සඟි), සංයුත්තාගම (සංයුත්සඟි), අඞ්ගුත්තරාගම (අඟුතුරු සඟි), ඛුද්දකාගම (කුදුගත්සඟි)යි පංචාගමභෙදයකින් (සඟි පසෙකින්) යුක්තය. එයින් පාඨශොධන පූර්වක වැ සිංහලව්යඛ්යා සහිත ව මෙහි පළවනුයේ දීඝාගමය ය. ඉතර සිවුසඟියෙහි එන සූත්රයනට වඩා දික් වූ සූත්‍ර ඇතියෙන් මේ දීඝාගම - දීඝනිකාය නම් විය. එහි වර්ගයෝ සීලක්ඛන්ධවග්ග, මහාවග්ග, පාථිකවග්ග යයි තුනෙකි. සූත්‍ර ගණන සූතිසෙක. මෙ හැම බණවර විසින් සූසැටෙක. සූත්රන් පිළිවෙතෙහි මුලමැඩූ සීල් පිළිබඳ කථා බහුල වන බැවින් මුල් ම වර්ගය සීලක්ඛන්ධවග්ග නම් විය. ඉතිරි නොකොට හැම දිටුම ඇතුලත් කොට දිට්ඨිවිනිවෙඨනය කල බැවින් බ්‍රහ්මජාල සූත්‍රය එහි මුලට තැබිණ. එහෙයින් කියූ පැරණි ටීකායෙහි:
“සීලකථාබාහුල්ලතො පන සීලක්ඛන්ධවග්ගො පඨමං නික්ඛිත්තො... දිට්ඨිවිනිවෙඨනකථාභාවතො පන සුත්තන්තපිටකස්ස නිරවසෙසදිට්ඨිවිභජනං බ්රහ්මජාලං පඨමං නික්ඛිත්තන්ති දට්ඨබ්බං” යි.
බුදුසමියින් විසින් දෙසු සූත්‍රද මෙහි ඇත. බුදුරජුන්ගේ ඉදිරියෙහි ම සැරියුත්තෙරුන් සියලු බුද්ධවචනය කැටි කොට එකක-දවිකාදි නයින් ගලපා දෙසු දසුත්තර සූත්ත, සංගීතිසූත්ත දෙක මෙහි විශේෂ ස්ථානයක් ගනී. මෙයට අනුව බුද්ධපරිනිර්වාණයෙන් පසු පැවැති සංගීති විධි සකස් වූ බව සිතිය හැකියි.
ත්‍රිපිටකයම ප්‍රථම සංගීතියෙන් සංගීත වූයේ, බුදු රජුන් ධරමාණ කාලයෙහි ම සව්වන් විසින් අසා සිතැ දරා ගෙන ආ පරිදිමය. එය ටීකායෙහි මෙසේ දැක්වෙයි: “යෙභුය්යෙන හි තීණි පිටකානි භගවතො ධරමානකාලෙ යථානුක්කමෙනෙව සංගීතානි, විසෙසතො විනයාභිධම්මපිටකානීති දට්ඨබ්බං” යි.
දීඝනිකායෙහි හැම සූත්රයෙකම ශීලසමාධිප්රඥාකථාව බෙහෙවින් එයි. එහෙත් අතුරු කථාවන්හි බුද්ධකාලයෙහි මිනිසුන් අතර පැවැති සමාජචාරිත්ර, ඉතිහාසප්රවෘත්ති, නානා දෘෂ්ටිවාද, කුලවාද, විද්‍යා, ශිල්ප, රාජනීති ආදිය ද සඳහන් වෙයි.
අන්යසම්ප්රදායයෝ:
ථෙරවාදීන්ගෙන් ම බෙදී ගිය සබ්බත්ථිවාදීන්ගේ සූත්‍රපිටකයෙහි ද දීර්ඝාගම මධ්යමාගම සංයුක්තාගම ඒකෝත්තරාගම ක්ෂුද්රකාගම යැයි පස් ආගමයෙක් ඇත. එහි දීර්ඝාගමය මහා විහාරීය ථෙරවාදීන්ගේ දීඝනිකායට ඇතැම් තැන්හි සමාන වුව ද වෙනස් තැන් බොහෝ වේ. බුද්ධයශස් නම් ථෙරන් විසින් ක්‍රි: ව: 412 - 413 පමණේ දී සකුයෙන් චීනභාෂාවට නගන ලද දීර්ඝාගමයෙහි සූත්‍ර 30 කි. අපගේ දික්සඟියේ එන මහාලි ජාලිය සුභ මහාසුදස්සන මහාසතිපට්ඨාන පාටික අගඤ්ඤ පාසාදික ලක්ඛණ ආටානාටිය යන සූත්‍ර එහි දක්නට නැත. ඒ වෙනුවට පාළි දික්සඟියේ නැති අන්‍ය වූ නමෙකින් හැඳින්වෙන සූත්‍ර කෙනෙක් ඇත.
“එහි පළමු වැන්න චක්‍රවර්තී පිළිබඳ එකෙකි. දෙවැන්න එකොත්තර ධර්ම පිළිබඳ ය. තෙවැන්න ත්රිශාඛධර්ම පිළිබඳ ය. සිවුවැන්න නගර වර්ණනාවෙකි. පස් වැන්න ප්රතිපත්තිශුද්ධිය පිළිබඳ ය. සවැන්න ලොකසූපත්ති පිළිබඳ ව යැ”යි චීන සර්වාස්තිවාදී දීර්ඝාගමය පිරික්සා බැලූ අනුකූලචන්ද්ර බනර්ජී මහතා1 කියයි.
පාළි දික්සඟියේ 34 වැන්න වූ දසුත්තර සූත්‍රය සර්වාස්තිවාදීන්ගේ පොතේ 10 වැන්න වී ඇත. පාළි පොතේ 16 වැන්න වූ මහාපරිනිබ්බාණ සූත්‍රය සර්වාස්තිවාදීන්ගේ පොතේ දෙවෙනි සූත්‍රය වෙයි. පාළි පොතේ 15 වැන්න වූ මහානිදාන සූත්‍රය සර්වාස්තිවාදි පොතේ පළමුවැන්න ව සිටී. සංගීති සූත්‍රය පාළි පොතේ 33 වැන්න වුව ද සර්වාස්තිවාදි පොතේ 9 වැන්නයි. සත්විසිවන අගඤ්ඤ සූත්‍රය ඒ පොතේ ම පස් වැන්න ව ද, සූවිසිවන පාටික සූත්‍රය පසලොස් වැන්න ව ද, එකුන්තිස්වන පාසාදික සූත්‍රය එහි සතලොස් වැන්න ව ද එයි.
පාළි දික්සඟියේ 22 වැන්න වූ මහාසතිපට්ඨාන සූත්‍රය සර්වාස්තිවාදීන්ගේ මධ්යමාගමයෙහි 98 සූත්‍රය ව ද, තිස්වන ලක්ඛණ සූත්‍රය එයින් තිස් වැන්න ව ද, බ්‍රහ්මජාල සූත්‍රය එහි එක්විසි වැන්න ව ද සිටී.
චීන පොත්හි එන පිළිවෙලට වඩා පාළි දීඝනිකායේ එන සූත්‍ර පිළිවෙල පිළිගත යුතු යැයි ආචාර්ය Franke (ප්රාංකෙ) කියයි.2
සම්මිතිය ආදි අන් නිකායනට අයත් සූත්‍ර ග්රන්ථයන්හි මුල් පිටපත් මෙතෙක් සොයා ගෙන නැත. චීන - ටිබෙට් භාෂාවනට නගන ලද ඔවුන්ගේ ඇතැම් සූත්‍ර දක්නා ලැබෙතත් ඔවුන්ගේ ආගමයක් සම්පූර්ණයෙන් ඇති නියාවෙක් නො පෙනේ.
සූත්රසංක්ෂෙප:
1. බ්‍රහ්මජාල සූත්‍රයෙහි - තෙරුවනට මෙරමා කරන නිගායෙහි නොකිපියැ යුතු බව ද, තෙරුවන් ගුණ කියනු අසා උදම් නොවියැ යුතු බව ද, පුහුදුනන් කරන බුදුගුණවැනුම් සීල් පමණක් අරබදා කරන සුළු දැයක් බව ද දැක්වෙයි. එයට පසු ශීලකථා ද, දෙපසට මිසදිටු ද, දෘෂ්ටි-ග්රහණයෙහි ප්‍රතීත්‍යසමුත්පාදය ද, තථාගතයන් වහන්සේ දෘෂ්ටිජාලයෙන් මිදුණු බව ද දැක්වේ.
2. සාමඤ්ඤඵල සූත්‍රයෙහි - නිගණ්ඨනාථපුත්තාදි ශාස්තෘන් සදෙනාගේ ධර්ම ද, සීල් පුරනු පටන් රහත් බව තෙක් ලබන මහණ දම් පල ද දැක්වෙයි.
3. අම්බට්ඨ සූත්‍රයෙහි - බුදු රජුන් අම්බට්ඨයාගේ කුල මන් බිඳුම, බමුණු කුලයට වඩා කැත්කුලය උසස් නියාව, වෛදිකයන්ගේ විද්යාවරණ, ශාසනික විද්‍යාචරණ, තවුස් පැවිද්ද ශාසනයේ විනාශමුඛය බව යන මෙතෙක් දැ දැක්වේ.
4. සොණදණ්ඩ සූත්‍රයෙහි - සොණදණ්ඩබමුණාගේ බුදුගුණ වැනීම ද, බමුණන්ගේ ජාතිවාදාදියේ නිසරු බව ද, සැබෑ බමුණකු වන සැටි ද, ශීල ප්‍රඥා දෙකේ අගය ද පැවැසේ.
5. කූටදන්ත සූත්‍රයෙහි - දූෂැමි යාගයේ විස්තර දැක්වේ.
6. මහාලි සූත්‍රයෙහි - දෙව් රූ දැකුම් ආදියට වඩන සමාධියේ තතු ද, මහණ දහමේ පරමාර්ථය ආර්‍ය්‍ය ඵල ලාභය බව ද, රූප ජීව දෙක පිළිබඳ ව ඇති වාදකථා ද එයි.
7. ජාලිය සූත්‍රයෙහි - ජීවයත් රූපයත් එකෙක් ම ද? නැතහොත් දෙකෙක් දැ?යි ප්රශ්නය ද, බුදුදහම ඒ අන්තා දෙක ම නො ගන්නා බව ද දැක්වෙයි.
8. සීහනාද සූත්‍රයෙහි - බාහිරියන්ගේ තපොධර්ම ද, ශාසනික විමුක්ති ක්‍රමය ද, බුදු රජුන්ගේ සිංහනාදය ද දැක්වේ.
9. පොට්ඨපාද සූත්‍රයෙහි - සංඥානිරොධය ද, ශීලාදි ස්කන්ධ තුන ද, ආත්මවාද විභාගය ද, බුදුරජුන් වදාළ නොපදාළ දැ ද, සස්සතාසස්සත, අනන්තානන්තාදික, අමරාවික්ඛෙපික යන වාද ද, චතුස්සත්‍යය ද, ආත්මභාව ප්රතිලාභ තුන ද දැක්වේ.
10. සුභ සූත්‍රයෙහි - ආර්‍ය්‍ය ශීල, ආර්‍ය්‍ය සමාධි, ආර්‍ය්‍ය ප්‍රඥා තුන දැක්වේ.
11. කෙවඩ්ඪ* සූත්‍රයෙහි - තුන් පෙලහර ද, අනුශාසනී ප්රාතිහාර්යයේ උතුම් බව ද, නාම රූප අනුත්පාද නිරොධයට පැමිණෙන තැන ද දැක්වේ.
12. ලොහිච්ච සූත්‍රයෙහි - ‘පරහට දහම් නො දෙසිය යුතු ය’ යන මිසදිටුවේ ආදීනව ද, චොදනාර්හ ශාස්තෲන් තිදෙනාගේ සැටි ද, අචොද්ය ශාස්තෘහුගේ ගුණ ද දැක්වේ.
13. තෙවිජ්ජ සූත්‍රයෙහි - යාග හොම බඹලොව මඟ නොවන බව ද, සතර බඹවෙහෙර තතු ද, බඹා හා එක් වන මඟ ද දැක්වේ.
* බොහෝ පොත්හි ‘කෙවට්ට’ යයි පෙනේ. මේ පිළිබඳ විවේචනයක් මතු උපග්‍රන්ථයෙහි එයි.
මේ සූත්‍ර තෙළෙසින් ශීලස්කන්ධ වර්ගය නිමාවට යෙයි. ඉතර සූත්‍ර පිළිබඳ කථා මී ළඟ කාණ්ඩ දෙක්හි එයි.
මේ සූත්‍රයන්හි එන අවිශද තැන් පිළිබඳ විවරණ ද, දික්සඟියේ තතු හඟවන ප්‍රස්තාවනාව ද දීඝනිකායේ තුන් වන කාණ්ඩයෙහි ඇතුලත් වෙයි.
මේ ශීලස්කන්ධ වර්ගයේ පෙළ හා ව්‍යාඛ්‍යානය සකස් කිරීමෙහි දර්ශනවිශාරද පරවාහැර වජිරඤාණ, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද, පණ්ඩිත ලබුගම ලංකානන්ද මහාස්ථවිරයන් වහන්සේගේ ද, පණ්ඩිත කෝදාගොඩ ඥානාලොක, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක යතීන්ද්‍රයන් වහන්සේගේ ද උපදෙස් බොහෝ ප්‍රයෝජනවත් වූ බව කෘතඥතා පූර්වක ව සඳහන් කරම්හ.
බලන්ගොඩ ආනන්දමෛත්රෙය ස්ථවිර,
බුද්ධ වර්ෂ 2505 වන්නෙහි ඉල් පුරපසළොස්වක් ලත් කුජ දින, ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ දී යැ.
බලන්ගොඩ ආනන්දමෛත්රෙය ස්ථවිර,
බුද්ධ වර්ෂ 2505 වන්නෙහි
ඉල් පුරපසළොස්වක් ලත් කුජ දින,
ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ දී යැ.