04-VP-Mahavagga Pali 1.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1957
- මුද්‍රිත වර්ෂය :
- 1957
- පිටු ගණන :
- 600
- බාගත කිරීම් ගණන :
- 3,149
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 144 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මහාවග්ගපාලි (ප්‍රථම භාගය) යනු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ තෙවන ග්‍රන්ථය (Vinayapitaka Volume III) ලෙස ප්‍රකාශයට පත් කරන ලද විනය පිටකයට අයත් මූලික පාලි පෙළ සහ එහි සිංහල පරිවර්තනයයි. බුද්ධත්වයෙන් පසු මුල් විසි වසර තුළ ශික්ෂාපද පැනවීමක් සිදු නොවූවත්, පසුකාලීනව භික්ෂු ශාසනයේ විනය හා වත්පිළිවෙත් පවත්වා ගැනීම පිණිස පනවන ලද විනය නීති හා සංඝ කර්ම පිළිබඳ මූලික තොරතුරු මෙම ග්රන්ථයෙහි අන්තර්ගත වේ.
මෙම කෘතිය ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් අම්බලම්ගොඩ ශාස්ත්‍රෝදය පරිවෙණාධිපති පණ්ඩිත අම්බලම්ගොඩ ධම්මකුසල ස්ථවිරයන් වහන්සේ විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි සහ පරවාහැර ශ්‍රී වජිරඤාණ නාහිමි ඇතුළු ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැරණි පුස්කොළ පොත්, බුරුම, සියම් සහ ඉංග්‍රීසි මුද්‍රිත පිටපත් සැසඳීමෙන් පෙළ ශෝධනය කර ඇත.
ග්රන්ථයෙහි අඩංගු ප්‍රධාන ඛන්ධක පහ මෙසේය:
- මහාඛන්ධකං
- උපොසථක්ඛන්ධකං
- වස්සූපනායිකක්ඛන්ධකං
- පවාරණක්ඛන්ධකං
- චම්මක්ඛන්ධකං
මෙම වෙළුම ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ලංකා බෞද්ධ මණ්ඩලය මගින් බුද්ධ වර්ෂ 2501 (ක්‍රි.ව. 1957) දී ප්‍රකාශයට පත් කරන ලදී.
සංඥාපනය
සම්බුද්ධ ජයන්තිය
ශ්රීශාක්යමුනීන්ද්ර වූ තථාගත සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සකන්ධපරිනිර්වාණයෙන් දැන් අවුරුදු දෙදහස් පන්සියයක් සම්පූර්ණ ය. මේ තරම් දීර්ඝකාලයක් උන්වහන්සේගේ නෛය්‍යාණික ශාසනය සදෙවක ලෝකයා හට හිතවැඩ සලසමින් අඛණ්ඩ ව පැවැත්මෙහි ආශ්චර්ය්යසිද්ධිය නිමිත්ත කොට ගෙණ සම්බුද්ධජයන්තියොත්සව පැවැත්වීමට හා සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතියට හිත වූ කාර්ය්යසංවිධානය සඳහා බෞද්ධ මහාජනයා විසින් දෙදහස් පන්සිය වන සම්බුද්ධ පරිනිර්වාණ වර්ෂය බුද්ධ ජයන්ති වර්ෂය වශයෙන් සම්මත කර ගන්නාලදී.
සිංහල ජාතිය
සම්බුද්ධ පරිනිර්වාණ දිනයෙහි ලක්දිව පැමිණි විජයකුමාරයාගෙන් ආරම්භ වූ සිංහල ජාතියට ද අවුරුදු දෙදහස් පන්සියයක් පිරුණේ ය. එහෙයින් සිංහල ජනතාවට මේ ජයන්තිය ජාතික වශයෙන් ද අතිශයින් වැදගත් වන්නේ ය. බුදුරජානන් වහන්සේ විසින් ම තමන් වහන්සේගේ නෛය්‍යාණික ශාසනය පන්දහසක් අවුරුදු ආරක්ෂා කිරීමට සුදුසු ජාතිය වශයෙන් තෝරා ගණු ලැබූ සිංහල ජාතිය ඒ ශ්‍රේෂ්ඨ ධර්මය ස්වකීය ශිෂ්ටාචාරය හා ආගම ද වශයෙන් වැළඳ ගෙණ මෙතුවක් කල් ආරක්ෂා කිරීමෙන් දෙවියන් සහිත ලෝකයාගේ සම්භාවනයට පාත්‍ර වී ය.
ලංකා බෞද්ධ මණ්ඩලය
මේ බව සැළකීමෙන් මහත් ප්රබෝධයට පැමිණි වර්තමාන සිංහල බෞද්ධයන් විසින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මින් පෙර නුවූ විරූ අත්‍යවශ්‍ය ක්‍රියා සංවිධාන කළ යුතු බව සලකා මෙහි දැක්වෙන ප්රස්තාවනාවෙහි විස්තර වන පරිදි ලංකා බෞද්ධ මණ්ඩලය පිහිටුවන ලදී.
ලංකාරජයේ අනුග්‍රහය
බුද්ධ ජයන්තිය පිළිබඳ කටයුතු නො පිරිහෙළා සිදු කරණු පිණිස එකල අග්‍රාමාත්‍ය ව සිටි ලංකා බෞද්ධ මණ්ඩලයේ සභාපති වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ගේ හා සභාදේශකයායි භාර ව සිටි ඒ. රත්නායක ඇමැතිතුමන්ගේ ද ඉල්ලීම පරිදි ගරුතරයේ අමාත්‍යමණ්ඩලය විසින් ප්‍රථමවරට රුපියල් පණ්ණාස්ලක්ෂයක ආධාරමුදලක් ලංකා බෞද්ධ මණ්ඩලයට පවරා දෙන ලද්දේ ය.
ත්‍රිපිටකය සිංහල භාෂාවට නැගීම
ලංකා බෞද්ධ මණ්ඩලය මගින් සම්බුද්ධ ජයන්ති අනුස්මරණය සඳහා කළ යුතු යයි සම්මත කරගත් කටයුතු අතර ත්‍රිපිටක පාළිය සිංහලයට නැගීම ප්‍රධාන වේ. එසේ කියන්නේ ස්ථවිරවාද බුද්ධධර්මයෙහි ආරක්ෂාව හා ව්‍යාප්තිය ද සලසාලීමට වරම් ලබා සිටුනා අප රටෙහි සියබසින් ලියැවුනු ත්රිපිටකයක් මෙතෙක් ඇති නොවීම මහත් පාඩුවක් ව තුබූ බැවිනි. දැන් ඒ කාර්ය්යය සිද්ධ කිරීමෙන් ඒ පාඩුව පිරිමැසෙන්නේ ය. අනාගත සාමාන්‍ය මහාජනයාට ද ධර්මඥානය ලැබෙන්නේ ය. රත්නත්‍රය විෂයයෙහි ඔවුන්ගේ ශ්‍රද්ධාව වැඩෙන්නේ ය. දෙවියන් සහිත ලෝකයාගේ යහපත සිද්ධ වන්නේ ය. ඉතිරි අවුරුදු දෙදහස් පන්සියය තුළ බුද්ධ ශාසනයාගේ ආරක්ෂාව ද සැලසෙන්නේ ය.
ත්‍රිපිටක පරිවර්තන කාරක සභාව
සම්බුද්ධ ජයන්ති උත්සවය පිළිබඳ කටයුතු සඳහා තෝරා පත් කරණ ලද කාරක සභා අතුරෙහි ත්‍රිපිටක පරිවර්තන කාරක සභාව ද එකෙකි. මේ කාරකවර්ගය සම්භාවනීය වූ ධර්මශාස්ත්රධර ස්ථවිරයන් වහන්සේලා සතළිස් සතර නමකගෙන් හා ගිහි මහතුන් සදෙනෙකුගෙන් ද යුක්ත වේ. එහි සභාපති ධුරය කොළඹ විද්‍යොදය මහා විද්‍යාලයයෙහි උපප්රධානාචාර්ය්ය ධුරීන, එහි අධ්යාපනාධිකාරි ධුරීන, අතිගරු පණ්ඩිතාචාර්ය්ය වැලිවිටියේ ශ්‍රී සෝරතාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උසුලති. සම්පාදක ධුරය උසුලන්නෝ කොළඹ දෙමටගොඩ ධර්මදූතාශ්‍රම විද්‍යාලයාධිපති වූ අතිගරු දර්ශනවිශාරද (පී එච්. ඩී.) පරවාහැර ශ්‍රී වජිරඤාණාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මේ සභාපති ධුරය හා සම්පාදක ධුරය ත්‍රිපිටක පරිවර්තන කාරක සභාව කෙරෙහි බෞද්ධ මහාජනයාගේ ගෞරවය හා විශ්වාසය තහවුරු වීමට කරුණු වේ. එසේ ම එය ත්‍රිපිටක පරිවර්තන කාර්ය්යය ශීඝ්‍ර ව පරිසමාප්ත වීමට අසහාය හේතුව වශයෙන් ද සැලකිය යුත්තේ ය. මුන්වහන්සේලාගේ පාලනයෙන් හා සංවිධානයෙන් ත්‍රිපිටක පරිවර්තන කාරක සභාව ද ඒ කාර්‍ය්‍යයෙහි උනන්දුවෙන් ක්‍රියා කරන්නේ ය. එහෙයින් කල් නො යවා මෙතෙක් නො ලැබූ සිංහල ත්රිපිටකයක් සිංහල බෞද්ධ මහාජනයා අතට පත් වන්නේ ය.
සිංහල ත්‍රිපිටකය
ත්‍රිපිටක පාළියෙහි සමහර කොටස් හා අර්ථකථා පෙර සිංහල භාෂාවෙන් පැවති බව ඉතිහාසයෙන් පෙනේ. දැනුදු සිංහලයෙන් ලියූ සිංහල සාහිත්‍යයට නැගුනු සම්භාවනීය වූ සිංහල ගද්‍යපද්‍ය දහම් පොත් රාශියක් තිබේ. එහෙත් මෙයට කලින් සම්පූර්ණ ත්‍රිපිටක පාළිය සිංහලයට නැගීමෙක් කවදාවත් නො වූයේ යයි සිතමු. එසේ සලකන විට දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්ති නිමිත්තෙන් ඉතිහාසයේ ප්‍රථම වරට සිංහලයාට සිංහල ත්රිපිටකයක් ලැබීමේ භාග්‍යය උදා වූයේ ය.
සංස්කාරක මණ්ඩලය
ත්‍රිපිටක පරිවර්තක පණ්ඩිත ස්ථවිරයන් වහන්සේලා විසින් කරණු ලබන සිංහල පරිවර්තන ඒ ඒ ආචාර්ය්ය පරම්පරා අනුව යෑමෙන් එකකට එකක් වෙනස් විය හැක්කේ ය. එහෙයින් ඒ හැම පරිවර්තන ම සංශෝධනය කොට පදයෝජනා, වාක්යයෝජනා, අර්ථවාචනාදිය හැකි පමණින් සමාන කොට ප්රවචනයාගේ යථාර්ථාවබෝධයට සරිලන සේ සකස් කිරීම සඳහා මේ මණ්ඩලය පිහිටුවන ලද්දේ ය.
පරිවර්තනය සඳහා පොත් පිළිගැන්වීම
ලංකා බෞද්ධ මණ්ඩලයේ මෙහෙයීම පරිදි එක්දහස් නවසිය පණස් පස්වන ක්‍රිස්තු වර්ෂයෙහි මාර්තු මස දහනවවන දින කොළඹ රාජකීය විද්‍යාලයයෙහි මුළු දෙවුනු ගිහිපැවිදි මහා සභාවේ දී එකල අග්‍රාමාත්‍ය වූ ජෝන් කොතලාවල මහතා විසින් බෞද්ධ මණ්ඩලය වෙනුවෙන් ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවේ මහා ස්ථවිරයන් වහන්සේලා සූසාලිස් නමකට ත්‍රිපිටකය සිංහල භාෂාවට නගන්නට ආරාධනා කොට ඒ ඒ පොත් ඒ ඒ ස්ථවිරයන් වහන්සේලාට පිළිගන්වන ලදී. මේ වනාහි වලගම්බාරජු දවස මාතලේ අලුලෙන දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසු ඇති වූ ශ්‍රේෂ්ඨ සිද්ධිය සේ පිළිගත යුතු ය.
මා වෙත පිරිණැමූ මහවග
විනය පිටකයට අයත් මහාවග්ගපාලිය සිංහල භාෂාවට නැගීම සඳහා මා වෙත පිරිණැමුණේ ය. එය ඉතා සතුටින් පිළිගත් මම පෙළපොත හා එහි පරිවර්තනයත් ලියා අටමසකින් අවසන් කෙළෙමි.
මහාවග්ගපාලිය විනය පිටකයෙහි තෙවන පොත ය. බුදුරජානන් වහන්සේ විසින් ප්රඥප්ති වශයෙන් ඒ ඒ තැන ඒ ඒ කරුණෙහි වදාළ විනය ශික්ෂාපද සංගායනා කළ ප්‍රථම සඞ්ගීතිකාරකමහාඛීණාශ්රවයෝ එය මාතිකා සුත්තවිභංග ඛන්ධක පරිවාර යි කොටස් සතරකට බෙදූහ. එහි මාතිකා නම් වූ භික්ඛුභික්ඛුනී වශයෙන් බෙදුනු ප්රාතිමොක්ෂ දෙකෙහි සඞ්ගෘහිත වූ ශික්ෂාපද නිදාන පුද්ගල වස්තු ආදි විස්තර වශයෙන් විභාග කොට දැක්වීම විභංග නම් විය. ඛන්ධක වශයෙන් වදාළ දෙවිසි කඳුවත් ඛන්ධක නම් වේ. ඒ ශික්ෂාපද හා ඛන්ධක පිළිබඳ සොළොස් පරිවාරය පරිවාර නමි. මාතිකා විභංග ඛන්ධක පරිවාර යන මේ කොටස් සතර ඇතුළත් විනය පිටකය ද නවංග ශාස්තෘශාසනයෙහි සුත්ත නාමයෙන් ගන්නා ලදී.
ඒ විනය පිටකය පාරාජිකාපාළි පාචිත්තියපාළි මහාවග්ගපාළි චුල්ලවග්ගපාළි පරිවාරපාළි යි ග්රන්ථ පසෙකින් යුක්ත වේ. යට කියූ උභයවිභංගය පාරාජිකාපාළි පාචිත්තියපාළි යයි ග්රන්ථ දෙකෙක් විය. මහාවග්ගපාළිය හා චුල්ලවග්ගපාළිය වෙන වෙන ම කඳුවත් දසයකින් හා දොළසකින් බැඳුණේ ය. පරිවාරපාළියෙහි බැඳී සිටියෝ පඤ්ඤත්තිවාරාදි වූ සොළොස් පරිවාරයෝ ය.
එහි මහාවග්ගපාළිය මහාඛන්ධක, උපොසථක්‍ඛන්‍ධක, වස්සූපනායිකක්ඛන්ධක, පවාරණක්ඛන්ධක, චම්මක්ඛන්ධක, භෙසජ්ජක්ඛන්ධක, කඨිනක්ඛන්ධක, චීවරක්ඛන්ධක, චම්පෙය්යකක්ඛන්ධක, කොසම්බකක්ඛන්ධක, යන ඛන්ධක දසයෙන් යුක්ත ය. මෙහි ඇතුළත් කරුණු විසයපෘථුලත්වයෙහි දක්වා ඇත. චුල්ලවග්ගපාළියෙහි එන ඛන්ධකයන්ට වඩා මෙහි එන ඛන්ධක විෂය මහත්ත්වයෙන් මහත් බවට ගිය හෙයින් මහාවග්ග නම් විය.
විනය නම් ප්‍රධාන වශයෙන් කය වචන දෙක හික්මවීම ය. මේ සඳහා බුදුරජානන් වහන්සේ විසින් විශේෂ වශයෙන් ශික්ෂාපද පණවන ලද්දේ බුද්ධත්වයට පැමිණීමෙන් අවුරුදු විස්සක් ගිය තැනේ දී ය. බුද්ධත්වයේ සිට අවුරුදු විස්සක් ගත වන තුරු භික්ෂූන් වහන්සේලා අතර අශ්රාමණික වූ වරදෙක් නො වී ය. එහෙයින් ඒ කාලයෙහි කායවාක් සංවරය සඳහා අමුතු පැණවීමෙක් වුව මනා නො වී ය. කල් යත් යත් ශාසනානුලෝමික නො වූ පැවතුම් භික්ෂූන් අතර පහළ වන්නට වූ බැවින් භික්ෂු සංඝයාගේ සංවරය හා වත් පිළිවෙත් සම්බන්ධයෙන් ශික්ෂාපද පැනවූහ. ඒ ශික්ෂාපද සමූහය ප්‍රථම සංගායනාවේ දී නිදාන වස්තු පුද්ගලාදිය දක්වමින් විනය පිටකය නමින් සංග්‍රහ කරණ ලදී.
මහවග සිංහලයට නැගීම
මහාවග්ගපාළිය සිංහලයට නගන්නට පෙරාතුව බෙන්තර සද්ධාතිස්ස ස්ථවිරයන් වහන්සේ විසින් මුද්‍රණය කරවා පළ කරණ ලද මහාවග්ගපාළිය පිටපත් කරවීමි. ඒ පිටපත මහනුවර පණ්ඩිතවිජ්ජාලයෙන්, තොටගමුවේ රාජ මහා විහාරයෙන්, අම්බලම්ගොඩ සුනන්දාරාම මහා විහාරයෙන්, හික්කඩුවේ ජනනන්දාරාම මහා විහාරයෙන්, පොල්වත්තේ අග්රාකාර මහා විහාරයෙන්, වේරගොඩ ඛෙත්තාරාම මහා විහාරයෙන් ද ලබාගත් පැරණි පුස්කොළ පොත් බුරුම-සියම්-ඉංග්‍රීසි අකුරින් මුද්‍රණය කරණ ලද පොත් සමග සසඳා බැලීමි. මාගේ පිටපත ඒ පොත් හා සම කොට බැලීමේ දී එකිනෙක වෙනස් වූ පාඨාන්තර රාශියක් දක්නා ලදී. එහි දී අර්ථකථා හා ටීකා අනුව සුදුසු යයි පෙනුනු පද - පාඨ පෙළට ඇතුළත් කොට විසම පද - පාඨ අඩෝලියි වශයෙන් යෙදුවෙමි. සමහර පොතක ඇතැම් වාක්‍ය වාක්‍යාංශ හා පද මුළුමනින් ගිලිහී ඇතිබව දක්නට ලැබින. එසේ ගිලිහී ගිය අවශයයෙන් ඇතුළත් විය යුතුයයි පෙණුනු වාක්‍ය හා වාක්‍යාංශ ද පද ද අපගේ සභාපති සම්පාදක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උපදෙස් අනුව අර්ථකථා, ටීකා, විනය ප්රකරණ හා මහා වස්තු - විනය වස්තු ආදී බෞද්ධ සංස්කෘත ග්රන්ථ ද සමග සසඳා බලා ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයේ අනික් ප්‍රවීණ මහා ස්ථවිරයන් වහන්සේලාත් සමග සාකච්ඡා කොට පෙළට ඇතුළත් කරණ ලදී. ඒ වාක්‍ය, වාක්‍යාංශ, පද ‘[]’ මේ ලකුණෙන් ද, අඩෝලියි වශයෙන් ද දක්වා ඇත.
පෙළපොත හැකි පමණින් ශුද්ධ කොට එහි පරිවර්තනය ද විනයාඨකථා ටීකා ග්‍රන්ථත් සිංහලයෙන් ලියැවී ඇති සිඛවලඳ විනිස, සිඛවලඳ විනිස ගැටපදය, කුදුසික, මුලුසික, සද්ධර්ම රත්නාවලිය, කඞ්ඛාවිතරණී පිට පොත, අමාවතුර, පූජාවලිය, දම්පියා අටුවා ගැටපදය යන පොත් ද අර්ථකථා ග්රන්ථ ද ඇසුරු කිරීමෙන් ශුද්ධ කරණ ලදී. පාළිය සිංහලයට නැගීමේ දී ඒ වෙනුවට යොදන සිංහලය පොතේ චම්පස පිටුවේ සිටුනා පද වාක්‍ය හා ගැලපෙන සේ ලියන්නට උත්සාහ දැරීමි. චාරිත්රින් විසින් පාළිරීතිය හා සිංහල රීතිය සම නොවේ. සිංහල පරිවර්තන සිංහල රීතියට අනුගත විය යුතු බැවින් සමහර පාළි වාක්‍යයන්ගේ අර්ථය සිංහල භාෂාරීතියට අනුකූලව ලියන ලදී.
සංස්කරණය
ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවේ හා එම සංස්කාරක මණ්ඩලයේ සභාපති වූ වැලිවිටියේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා ඒ සභා දෙක්හි සම්පාදක වූ පරවාහැර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් මේ සංස්කරණයෙහි ලා දැක්වූ උනන්දුව ඉමහත් ය. උන්වහන්සේලා මෙහි මා ශුද්ධ කළ සමහර තැන් ද මා ලියූ සමහර අරුත් ද එලෙසින් ම නෝගෙණ සංස්කාරක මණ්ඩලයේ ද අදහස් විමසමින් ඒ තැන්හි ඒ අරුත්හි වඩාත් පරීක්ෂාකාරී වූහ.
උපග්‍රන්ථය
මෙම පරිවර්තනයෙහි ද අර්ථව්යක්තිය සඳහා බොහෝ පද හා වාක්‍යයන් විස්තර කටයුතු බව පෙනී ගියේ ය. එහෙයින් මෙයට ද ඉතා කෙටියෙන් මුත් උපග්‍රන්ථයක් ලිය යුතුයයි සංස්කාරක මණ්ඩලයේ සම්මතය විය. එහෙයින් මෙහි ද්විතීය භාගය අගට යොදා ඇති උපග්‍රන්ථය ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවේ හා සංස්කාරක මණ්ඩලයේ ද සම්පාදක වූ අතිගරු පරවාහැර ශ්‍රී වජිරඤාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් ලියවුනේ ය.
මුද්‍රණය
මෙසේ සිංහලයට නගා සංස්කරණයට පමුණුවා පළමුව අවසන් කළ මේ ග්‍රන්ථය පළමු කොට මුද්‍රණය කළ යුතුයයි සංස්කාරක මණ්ඩලයෙන් සම්මත වූ බැවින් ලංකා බෞද්ධ මණ්ඩලය විසින් මෙය මුද්‍රණය කිරීමට මහාබෝධි යන්ත්රාලයට පවරණ ලදී. මෙහි අවසාන ශොධ්‍යපත්‍ර බැලීම, ඡේද - වාක්‍ය - පද වෙන් කිරීම, මුද්‍රණය පිළියෙල කිරීම ආදිය ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවේ සභාපති සම්පාදක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම විසින් කරණ ලදී. එහි දී දක්නට ලැබුනු සැක සහිතයයි සිතූ පද වාක්‍යයන් ගැන ද සංස්කාරක මණ්ඩලයේ මහා ස්ථවිරයන් වහන්සේලා හා සාකච්ඡා කොට අවසාන තීරණය වශයෙන් ගන්නා ලද්දේ ගරු සභාපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තීරණය යි.
මහජන රජය
ගත රාජ්‍ය පාලක මණ්ඩලය විසින් සංවිධානය කරණ ලද සම්බුද්ධජයන්ති උත්සවය පිළිබඳ කටයුතු වර්තමානමහජනරජයේ අග්‍රාමාත්‍ය වූ ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමන් විසින් අමාත්‍ය මණ්ඩලයේ සහයෝගයෙන් සිදු කරලීම මහත් ප්‍රීතියකි. මේ සම්බන්ධයෙන් පළාත් පාලන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය වූ ජයවීර කුරුප්පු මැතිතුමන් හා එහි අධ්‍යක්ෂක වූ සිවිල් නිලධර ඇන්. කිව්. ඩයස් මැතිතුමන් ද එහි සෙසු නිලධරයන් ද ත්‍රිපිටක පරිවර්තනය පිළිබඳ කටයුතු නිතර සොයා බැලීමෙන් කරණු ලබන උපකාර හා දෙනු ලබන ධෛර්ය්යයත් ඒ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය ඉක්මනින් නිම කිරීමට විශේෂ හේතුවක් විය හැකි බව ප්‍රශංසා පූර්වක ව පවසමු.
උපකාරානුස්මරණය.
ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවේ සභාපති සම්පාදක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙහි ලා උපදෙස් දීමෙන් හා අවසාන ශොධ්‍යපත්‍ර බැලීමෙන් ද උපග්රන්ථ ලිවීමෙන් ද කළ උපකාර ඉමහත් ය. සංස්කාරක මහා ස්ථවිරයන් වහන්සේලා සංස්කරණයට සහභාගි වීමෙන් ද, පරිවර්තනයේ දී අපගේ ධර්ම නේවාසී වූ කුඩාගල ගුණසිරි, වැලිපැන්නවිල විජිතවංස භික්ෂූහු ලේඛන සකස් කිරීමෙන් ද, අප පිරිවෙණහි ආවාසයී වූ පණ්ඩිත බූස්සේ රෙවත, අම්බලම්ගොඩ සුමඞ්ගල ස්ථවිර දෙනම හා ප්‍රාචීන භාෂා විෂයයෙහි අපගේ ශිෂ්‍ය වූ ශාස්ත්රාචාර්ය්ය ඇස්. කේ. නෙත්තානන්ද, ශාස්ත්රාචාර්ය්ය ජී. ජේ. ද සිල්වා යන මහත්වරු එම පෙළපොත අන් පෙළපොත් හා සසඳා බැලීමෙන් ද, අම්බලම්ගොඩ සොරතසිරි, අම්බලම්ගොඩ කවිධජ, වරදිවෙල වජිරතන, ඉලුක්මල්ලේ විමලවංස, යන අසමද් ධර්ම නේවාසිකයෝ ශොධ්‍යපත්‍ර කියවීමෙන් ද, යට කියූ විහාරයන්හි අධිපති නායක ස්ථවිරයන් වහන්සේලා පාඨශෝධනය සඳහා පුස්කොළ පොත් හා බුරුම - සියම් - ඉංග්‍රීසි පොත් දීමෙන් ද, ලංකා බෞද්ධ මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක ව සිටි සිවිල් නිලධාරී ආචාර්ය්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ මහතා හා වර්තමාන ප්‍රධාන සම්පාදක ලේඛක සිවිල් නිලධාරි වින්සන්ට් පණ්ඩිත මහතා ද සහකාර සම්පාදක ඇම්. ඇන්. පීරිස් මුදලිතුමන් හා ලේඛක ඩී. ඒ. කේ. ඩබ්ලිව්. ගුණවර්ධන මහතා ද, මෙහි කෙළවර වහා දකිනු කැමැත්තෙන් මට උපකාර කළහ. මෙසේ මේ හැම දෙනකුන් කළ ඒ නොමද උපකාර මේ පොත ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවෙන් නිකුත් වන සිංහල ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ ප්‍රථම ප්රකාශනය වශයෙන් බෞද්ධ මහාජනයා අතට පමුණුවාලීමට උපෂ්ටම්භක වූ බව කෘතවේදී ව මෙහි සඳහන් කරමු.