03-VP-Pacittiya Pali 2.pdf

ප්‍රකාශිත වර්ෂය :
1981
මුද්‍රිත වර්ෂය :
1981
පිටු ගණන :
427
බාගත කිරීම් ගණන :
1,809
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
74 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 214

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 2(2) වන වෙළුම ලෙස පළ වූ පාචිත්තිය පාලි (දෙවන භාගය) ග්‍රන්ථයයි. විනය පිටකයට අයත් මෙහි අන්තර්ගත වන්නේ භික්ඛුනීවිභංගයයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක ධුරන්ධර විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි සිංහල පරිවර්තනය සිදු කර ඇති අතර, ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලය මගින් සංශෝධනය කර සංස්කරණය කර ඇත.

මූලික පාලි පෙළ සහ ඊට අනුරූප සිංහල අනුවාදය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇති අතර, අගනා ප්‍රස්තාවනාවක්, ශික්ෂාපද විෂය සූචියක්, ගාථාදිපාද අනුක්‍රමණිකාවක්, සංඥානාම අනුක්‍රමණිකාවක් ආදී ශාස්ත්‍රීය අංග රැසකින් සමන්විත වේ. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් බු.ව. 2524 (ක්‍රි.ව. 1981) දී දෙහිවල තිසර මුද්‍රණාලයේ මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී.

සංස්කාරක නිවේදනය

ත්‍රිපිටක පර්‍ය්‍යාප්තියට ඇතුළත් විනයපිටකයෙහි ග්‍රන්ථ පඤ්චකයෙන් දෙවැනි පොත වූයේ පාචිත්තියපාළි යයි. එය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි දු දෙවැනි ග්‍රන්ථය ලෙස මුද්‍රණය කරවීමට සම්මත වැ තිබිණැ. එහෙත් මුද්‍රණ අවස්ථාවට පැමිණි පසු නිසි තැන ඡෙද වෙන් කොට සිංහල අනුවාදය සමග මුද්‍රණය කිරීමෙ දී පරිහරණයට පහසු නො වන සේ ග්‍රන්ථය මහත් වැ යන බව පෙනුණු හෙයින් කාණ්ඩ දෙකක් වශයෙන් මුද්‍රණය කරවන්නට සිදු විය. එහි භික්ඛුවිභංගය අවසාන කොට ඇති ග්‍රන්ථප්‍රදේශය ප්‍රථමභාගය කොට මුද්‍රණය වී ඇත. මේ ද්විතීය භාගයෙහි ‘භික්ඛුනීවිභංගය’ බැසගෙන සිටියේ ය.

මේ ග්‍රන්ථයෙහි දු ශෝධනයට පැමිණි තැන් පාඨාන්තරානුසාරයෙන් දතහැකි වෙයි. එහෙත් විශේෂයෙන් මෙහි සඳහන් කළයුතු තැන් කිහිපයෙක් ඇත: 62 වැනි පිට - “බුද්ධං පච්චක්ඛාමි” යනාදියෙහි මුද්‍රිත සිංහලාක්‍ෂර ග්‍රන්ථයන්හි ද, ඡට්ඨසංගීති ශෝධනයෙහි ද “පච්චාවක්ඛාමි” යි පෙළෙහි යොදන ලද වෙයි. අප විසින් එය බැහැර කොට මහා විභංගයෙහි ආ ලෙසින් හැම තන්හි “පච්චක්ඛාමි” යන රූපය යොදන ලද්දේ යැ. 270 පිට - “නිමන්තිතෙ නිමන්තිතසඤ්ඤී” යනාදි වාක්‍යප්‍රදේශය සිංහල මුද්‍රිත පොත්වල දක්නට නැත. එහෙත් ශික්‍ෂාපදාන්තරයන් හා ගැළපෙන හෙයින් ද, ඡට්ඨසංගීති ග්‍රන්ථයෙහි ඇති හෙයින් ද පාඨාන්තර වශයෙන් යොදන ලද්දේමහ. 284 පිට - ගබ්භිනීවුට්ඨාපන ශික්‍ෂාපදයෙහි: “තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙන්ති. සා පිණ්ඩාය චරති” යනාදි පාඨයෙහි සිංහල පොත් වල “තා පිණ්ඩාය චරන්ති” යි බහුවචන නිර්දෙශය ඇත. එ ද යුක්ති සලකා “සා පිණ්ඩාය චරති” යි ඒකවචන නිර්දේශයෙන් පාඨශෝධනය කරන ලද්දේ ය. මෙබඳු ශෝධිතස්ථාන සලකන්නේ මැනැවි.

ශ්‍රී ලංකාරාමඤ්ඤනිකායේ මහානායකපදප්‍රාප්ත විද්‍යාවිශාරද රාජකීය පණ්ඩිත ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහාස්ථවිරයන් වහන්සේ විසින් සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලද පාචිත්තියපාළි භික්ඛුනීවිභංගය ද වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයෙහි බහුශ්‍රැත මහතෙරවරුන් විසින් සංස්කරණය කරන ලදු වැ ආවශ්‍යක ශබ්දසූචි ආදිය ද සම්පාදනය කොට අප ගේ ද පරිශ්‍රමයෙන් පාඨශෝධනාදිය කොට මේ පාචිත්තියපාළි ද්විතීය භාගය ද පළ කරවන්නට හැකි වූ බව පවසම්හ.

xiii

මේ අධිකාරයෙහි ලා අනුග්‍රාහක වූ අතිගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති උතුමාණන් ද ගරු සංස්කෘතික අමාත්‍ය තැන්පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන් ද කෘතවේදී වැ සඳහන් කරම්හ. මෙහි ලා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් තැන්පත් සෝමපාල ජයවර්ධන මහතාණන් දක්වන ලද උපදෙශාශ්‍රය කෘතඥතාපූර්වක වැ සිහිපත් කළයුතු වේ.

තවද ආරම්භක බෞද්ධමණ්ඩලයෙහි සුධීන් හා ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයට රෑදහවල් වෙහෙස නො බලා පහසුකම් සලසා දෙන මහානායක චාරිකාරාමයෙහි නියුක්ත, ඇම්. ඒ. සමරසිංහ මහතා ද තිසර මුද්‍රණාලයාධිකාරින් හා තත් සේවක මණ්ඩලය ද මෙහි ලා සිහිපත් කරම්හ. පර්‍ය්‍යාප්තිශාසනප්‍රවර්තක වූ කුශලහේතුයෙන් හැම දෙන සුඛභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.

මෙබවට, ශාසනභාරධාරී, ලබුගම ලංකානන්ද මහානායකස්ථවිර

1981 අගෝස්තු මස 22 දින ත්‍රිපිටක කාර්යාලයේ දී යැ. 115, විජයාරාම මාවත, කොළඹ 7.

ලබුගම ලංකානන්ද මහානායකස්ථවිර, 1981 අගෝස්තු මස 22 දින, ත්‍රිපිටක කාර්යාලයේ දී යැ. 115, විජයාරාම මාවත, කොළඹ 7.

ප්‍රස්තාවනා

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

අධිශීලය

ශ්‍රීමත් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් වදාළ විනය ධර්‍මය අධිශීල ශික්‍ෂාවට අයත් ප්‍රඥප්ති විශේෂයකි. ඒ ප්‍රඥප්ති විශේෂයෙන් ප්‍රධාන වශයෙන් භික්‍ෂූන්ගේ සංවරපාරිශුද්ධිය අදහස් කරනු ලැබේ. මෙහි සංවරය ම පාරිශුද්ධිය වන බැවින් “සංවරොයෙව පාරිසුද්ධි = සංවරපාරිසුද්ධි”1 යනු ප්‍රකාශිත යි. සංවරය නම් ශීලවිශුද්ධිය යි. ශීලවිශුද්ධිය නම් සම්‍යක්වචනයත් සම්‍යක් කර්‍මාන්තයත් සම්‍යක් ආජීවයත් යන විරති තුනයි. කය වචන දෙක හික්මවා ගැනීමෙන් සිතත් සංවර වන බැවින් හුදු සිතට පමණක් විනය ශික‍්ෂාපද පනවා නැතිබව පෙනෙයි. පනවන ලද හැම ශික්‍ෂාපදයකින් ම භික්‍ෂූන්ගේ හා භික්‍ෂුණීන්ගේ සංවරය ම අපේක්‍ෂිත බැවින් විනය සංවරය පිණිස ම පවතින බව සැලකිය යුතු යි. මෙහි ලා ප්‍රාතිමොක්‍ෂ සංවරය ම ප්‍රධානත්වයෙන් ගත යුතු වෙයි. එහෙයින් ම ප්‍රාතිමොක්‍ෂ සංවරය අධිශීල නමින් ප්‍රකාශිත යි. “පාතිමොක්ඛං සංවරසීලං පන අධිසීලන්ති වුච්චති” යනු කී හෙයින් එය හෙළි වෙයි. වාරිත්ත - චාරිත්ත ශික්‍ෂාපදයන්ගේ වශයෙන් දෙපරිදි වූ විනයපිටකය ම ප්‍රාතිමොක්‍ෂසංවර ශීලය යන නමින් හැඳින්වීමටත් අධිශීලය නමින් හැඳින්වීමටත් හැකි වෙයි. විනය පිටකයෙහි ඇතුළත් නවකොටිසහස්‍රාදිප්‍රභෙදය ඇති ශික්‍ෂාපද ශීලය අධිශීලය බව මතු දැක්වෙන වාක්‍යප්‍රදෙශයෙන් ව්‍යක්ත වෙයි.

“පාතිමොක්ඛසංවරසීලං අධිසීලන්ති වුච්චති”. වාරිත්ත - චාරිත්ත ශික්‍ෂාපදා විසින් දෙවැදෑරුම් වූ විනයපිටකයෙහි ඇතුළත් වූ නවකොටිසහස්සාදිභෙදය ඇති ශික්‍ෂාපද සීලය වනාහි අධිසීල යැයි කියනු ලැබේ ... පරමාර්‍ත්‍ථයෙන් වනාහි මෙථුන අදත්තාදානාදි වූ ඒ ඒ වීතික්කමිතබ්බ වූ වස්තුයෙන් සම්මා වාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන විරතීහු ද කායසඤ්චෙතනා චෙතනා චිත්තසඤ්චෙතනා මනොසඤ්චෙතනා චෙතනාවෝ ද පාතිමොක්ඛසංවරසීල නමිති යි දතයුතු”2 යනු වාක්‍යප්‍රදෙශය යි. මෙයින් ප්‍රාතිමොක්‍ෂසංවරශීලය සකල විනය පිටකය පුරා ම පැතිර ඇතියායින් එය ම අධිශීලය බවත් මැනවින් පහදැලි වෙයි. එසේම සම්‍යක් වචනාදි විරති ශීලයත් කායසඤ්චෙතනාදි චෛතසික ශීලයත් පරමාර්‍ත්‍ථවශයෙන් ප්‍රාතිමොක්‍ෂසංවර ශීලය බව ද මෙයින් ප්‍රකාශිත යි.

මේ ප්‍රාතිමොක්‍ෂ සංවරශීලය චන්ද්‍රාලෝකාදීනට වඩා සූර්ය්‍යාලෝකය අධිකවන්නාක් මෙන් ද යුගන්ධරාදි සප්තකූට පර්වතයනට වඩා මහාමේරු පර්වතය අධිකවන්නාක් මෙන් ද සකල පඤ්චාඞ්ග දශාඞ්ගාදි වූ ද චෙතනාසීල චෙතසික සීලාදි වූ ද ශීලයන්ට වඩා අධික ද වෙයි. මාර්‍ගසමාධියට අධිෂ්ඨාන වන බැවින් උතුම් ද වෙයි.

මේ ප්‍රාතිමොක්‍ෂසංවර ශීලය බුදු උපතක් ඇති කල්හි ම බොහෝ දෙනාට හිතවැඩ පිණිස ලැබෙයි. බුදු උපතක් නැති කල්හි පසේබුදුන් කෙරෙහි පමණක් ඇති බැවින් අන් කෙනකුන්හට නො ලැබිය හැකි බව ද දතයුතු යි.

“ඒ පාතිමොක්ඛ සංවර සීලය චන්ද්‍රාලෝකය අභිභවා දිවාලෝකය යන ආලෝකයන්ට අධිකයාමෙන් ද යුගන්ධර ඊසධරාදි පර්වතයන්ට මහමෙර අධිකයාමෙන් ද සියලු පඤ්චාඞ්ග දසඞ්ගාදි වූ ද චේතනා සීල චෛතසික සීලාදි වූ ද සීලයන්ට අධික ද වේ. මග්ග සමාධියට අධිට්ඨාන බැවින් අධික ද වෙයි. සියලු ගුණයන්ට මුල් බැවින් උතුම් ද වේ. මේ ඒ ශික්‍ෂාදිසීලය බුදුහමුවෙහි ම පවත්නී. බුදුහමුව විනා පච්චෙක බුද්ධාදි අනෙක් සතෙක් ශික්‍ෂාපදය පනවා තබන්නට නොපොහොසත් වේ. අනුක්‍රමිට්ඨ පඤ්චාඞ්ග දසඞ්ගාදි වූ ලෞකික සීලයට අධික වූ උත්තම වූ ලෞකික වූ ම පාතිමොක්ඛසංවර සීලයට ද වඩා මාර්‍ගධර්මයන් හා ද ඵලධර්මයන් හා ද සම්ප්‍රයොග වූ සම්මා වාචා සම්මාකම්මන්ත සම්මා ආජීව සංඛ්‍යාත වූ ලොකොත්තර වූ සීලය ම අධිසීල නම් වේ. ඒ වනාහි “සික්ඛා සාජීව සමාපන්නා” යන මෙතන්හි කැමැති වන ලද්දේ නො වේ. ගිහිගෙයි සදරීතිකමය ඇතිවැ ගිහිගෙය පියා සසුන්වන් ලොකොත්තර වූ අධිසීලයට පිළිපන් සොතාපන්න ද මෙථුන ධර්‍මය සෙවනය නො කෙරේ.1

මේ වාක්‍යප්‍රදෙශයෙන් පන්සිල් දසසිල් ආදිකොට ඇත්තා වූත් චෙතනා - චෛතසිකාදි වූත් ශීලයන්ට වඩා ලෞකික ප්‍රාතිමොක්‍ෂසංවර ශීලය අධිශීලය බවත් උතුම් බවත් හෙළි වෙයි. එසේ ම ලෞකික ප්‍රාතිමොක්‍ෂසංවර ශීලයට වඩා මාර්‍ගඵල ධර්මයන් හා සම්ප්‍රයුක්ත වූ සම්‍යක්වචනාදි ලොකොත්තර ශීලය ම අධිශීල වන බවත් ප්‍රකාශිත යි. මේ මාර්‍ගඵල සම්ප්‍රයුක්ත ප්‍රාතිමොක්‍ෂසංවර ශීලය විනය පිටකයෙහිලා අදහස් නො කළ බවත් පෙනෙයි. එහෙයින් විනය පිටකයෙහි එන උපසම්පදා ශීලය ලෞකික ප්‍රාතිමොක්‍ෂසංවර ශීලය ම බවත් හෙළි වෙයි. මේ අධිශීලය ආභිසමාචාරික - ආදිබ්‍රහ්මචරියක සීල වශයෙන් දෙකක් කොට දක්වනු ලැබේ. ආභිසමාචාරික සීල නම් අභිවිශිෂ්ට සමාචාරය අරභයා පනවන ලද ඛන්ධක ශික්‍ෂාපද යි. හේ වනාහි වත් පිළිවෙත් කිරීමෙන් පුරන ශීලයයි. වත් පිළිවෙත් පුරන්නවුන් විසින් මේ ශීලය ග්‍රහණධාරණාදි වශයෙන් හික්මිය යුතු බැවින් ශික්‍ෂා නම් වෙයි. “අභිවිසිද්ධො උත්තමො සමාචාරො අභිසමාචාරො, වත්ත පටිවත්ත සීලං, තං ආරබ්භ පඤ්ඤත්තා ඛන්ධක සික්ඛාපද සංඛාතා සික්ඛා ආභිසමාචාරිකා”2 යනු එහෙයින් කියන ලදි. ආදිබ්‍රහ්මචරියකසීල නම් මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවට ආදි වූ කරුණු වූ ශීලය යි. භික්‍ෂු භික්‍ෂුණී සංඛ්‍යාත උභතො විභංගයට ඇතුළත් ශික්‍ෂාපද යි. “මග්ග බ්‍රහ්මචරියස්ස ආදිභූතා කාරණභූතා ආදිබ්‍රහ්මචරියකා සික්ඛා, උභතො විභංගපරියාපන්නා සික්ඛාපදා” යනු එහෙයින් කියන ලදි. විසුද්ධිමාර්‍ගයෙහි දු “උභතො විභංග පරියාපන්නං ආදිබ්‍රහ්මචරියකං, ඛන්ධක වත්තපරියාපන්නං ආභිසමාචාරිකං” යන්නෙන් මේ අදහස සැකෙවින් ප්‍රකාශිත යි.

1. විනයස්සමුච්චය 201 - 202 පිටු (මේ වනාහි අර්ථකරණය කළ පාලි වචන නොගෙන සකස්කරන ලද්දකි.) 2. විමතිවිනොදනීටීකා 372 පිටුව, xviii

කරුණු මෙසේ හෙයින් ආභිසමාචාරික වූත් ආදිබ්‍රහ්මචරියක වූත් ශීලය අධිශීලය නමින් විනයෙහි පැවසෙන බව දතයුතු යි.