02-VP-Pacittiya Pali 1.pdf

ප්‍රකාශිත වර්ෂය :
1981
මුද්‍රිත වර්ෂය :
1981
පිටු ගණන :
596
බාගත කිරීම් ගණන :
2,294
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
101 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 299

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ දෙවන වෙළුම වන මෙම කෘතියෙන් විනය පිටකයේ පාචිත්තිය පාළි (ප්‍රථම භාගය හෙවත් භික්ඛු විභංගය) පෙළ සහ සිංහල පරිවර්තනය ඉදිරිපත් කෙරේ. මෙහි භික්ෂූන් වහන්සේලා විෂයෙහි පැනවුණු ශික්ෂාපද විභාගය අන්තර්ගත වේ.

මෙම ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක ධුරන්ධරව වැඩවිසූ විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක ධුරය දැරූ ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ සම්පාදක මණ්ඩලය විසින් සංශෝධනය කර ඇත. සම්පූර්ණ පාචිත්තිය පාළිය විශාල ග්‍රන්ථයක් වන බැවින් භික්ඛු විභංගය ප්‍රථම භාගය ලෙසත්, භික්ඛුනී විභංගය දෙවන භාගය ලෙසත් මුද්‍රණය කිරීමට තීරණය කළ බව සංස්කාරක නිවේදනයේ සඳහන් වේ.

මෙහි අඩංගු ප්‍රධාන කොටස්:

  • මුසාවාද වර්ගය ඇතුළු පාචිත්තිය ශික්ෂාපද වර්ග 9 (මුසාවාද, භූතගාම, භික්ඛුනොවාද, භොජන, අචෙලක, සුරාපාන, සප්පාණක, සහධම්මික, රාජ)
  • පාටිදෙසනීය කණ්ඩය
  • සෙඛියා කණ්ඩය (පරිමණ්ඩල, උක්ඛිත්තක, ඛම්භකත ආදී වර්ග)
  • ගාථාපාද, සංඥානාම හා විශේෂ පද අනුක්‍රමණිකා

මෙම මුද්‍රණය බුද්ධ වර්ෂ 2524 (ක්‍රි.ව. 1981) දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුග්‍රහයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

සංස්කාරක නිවේදනය

මහාකාරුණික වූ තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් පන්සාළිස්වසක් මුළුල්ලෙහි සදෙවක ලොකයාට ලොකනිස්සරණයෙන් අමාමහනිවන්සුව සාධාලනු සඳහා දෙශනා කර වදාළ තෙවළා දහම්හි භික්ෂූන්ගේ කාය වාක් සංවරය පිණිස ප්‍රඥප්ත වූ ද අනුඥාත වූ ද ශික්ෂාසංග්‍රහ ලත් විනය සද්ධර්මය විනය පිටකය නම් විය. විභංග ඛන්ධක පරිවාර විසින් ත්‍රිවිධ වූ විනයපිටකය ධර්මසංග්‍රාහක මහරහතුන් විසින් පාරාජික, පාචිත්තිය, මහාවග්ග, චුල්ලවග්ග, පරිවාර, යයි පාළි විසින් ග්‍රන්ථ පසෙක ලා සංගීත වෙයි. මහා විභංගයෙහි පාචිත්තිය කාණ්ඩය පටන් භික්ඛුවිභංගය හා භික්ඛුනීවිභංගය අවසන් කොට ප්‍රඥප්ත ශික්ෂාපද බැසගෙන සිටි පාළිප්‍රදෙශය පාචිත්තියපාළි නම් වේ.

බුද්ධ පරිනිර්වාණයෙන් දෙදහස් පන්සිය වසක් පිරුණු ජයන්ති අනුස්මරණ උත්සවය නිමිත්ත කොටගෙන ශ්‍රී ලංකා බෞද්ධ මණ්ඩලය මගින් ප්‍රාරබ්ධ වූ ත්‍රිපිටක බුද්ධවචනය හෙළබසින් තබාලීමේ මහඟු කාර්යය සිදුකිරීමෙහි ලා පාචිත්තිය පාළිය සිංහලයෙන් පරිවර්තනය සඳහා ආරාධනා ලැබුවාහු ශ්‍රීලංකාරාමඤ්ඤනිකායේ මහානායක පදප්‍රාප්ත විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහාස්ථවිරපාදයෝ යැ. ධර්‍මවිනයෙහි ආවර්ජිත බුද්ධි ඇති, සිංහල ඡෙකව්‍යවහාරයෙහි දු නිපුණ වූ මහානායක ස්ථවිරයන් වහන්සේ ස්වාධිකාරය මැනවින් ඉටුකළහ. අවුරුදු එකුන්විස්සකට පමණ පෙර මුද්‍රණයට යොමු කොට තුබූ පාචිත්තියපාළිය තන්මුද්‍රණාලයෙහි අක්‍රමිකභාවයෙන් අතරමං වූයේ සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ කාර්යක්ෂම සැලසුම් හේතුවෙන් මෙසේ පළකරවන්නට හැකිවූ බව පවසම්හ.

ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි දෙවැනි ග්‍රන්ථය වශයෙන් සලකන ලද පාචිත්තිය පාළිය අර්ථාවබෝධයට පහසුවන සේ යථාස්ථානයෙහි ඡෙද වෙන්කරමින් සිංහල පරිවර්තනය සමග මුද්‍රණය කැරැවීමේදී පරිහරණයට සුකර නොවන සේ ග්‍රන්ථය මහත් වැ යන බව පෙනුණු හෙයින් භික්ඛුවිභංගය තෙක් ප්‍රථම භාගය වශයෙන් ද භික්ඛුනීවිභංගය අවසාන කොට ඇති ශෙෂය ද්විතීය භාගය වශයෙන් ද මුද්‍රණය කරවන්නට සිදුවූ බව ද පවසම්හ. වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ බහුශ්‍රැත මහතෙරවරුන් විසින් ඌන වැ තුබූ තැන් සපුරාලමින් තව දුරටත් සංස්කරණය කොට ආවශ්‍යක වූ ශබ්දසූචි ආදිය ද සම්පාදනය කොට අපගේ ද පරිශ්‍රමයෙන් පාඨශොධනාදිය කොට පාචිත්තියපාළි ප්‍රථම භාගය මෙසේ පළකරවන්නට හැකි වූ බව පවසම්හ.

මේ මැ උදාරතර ධර්‍මදානමය කුශලහෙතුයෙන් මේ සඳහා පූර්‍ණ අනුග්‍රහය දෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ද, බෞද්ධ මණ්ඩලයේ සුධීහු ද ගරු සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිතුමාණන් ප්‍රමුඛ සංස්කෘතික අධිකාරියෙහි පින්වත්හු ද මෙහිලා උපකාරීභූත වූ හැම සත්පුරුෂයෝ ද ලොව් ලොවුතුරා සුව ලබත්වා’යි ආශංසනය කරම්හ.

පරිවර්තක මහානායක ස්ථවිරයන් වහන්සේ ලියූ විනය පිළිබඳ දීර්ඝ ප්‍රස්තාවනාව ද්විතීය භාගයෙහි ඇතුළත් කරනු ලැබේ.

මෙවගට, ශාසනොදයකාරී, ලබුගම ලංකානන්ද ස්ථවිර, ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක, 1981 ජුලි 10 දින, කොළඹ 7, විජේරාම මාවතේ අං: 115 දරන, මහානායකවාරිකාරාමයේ ත්‍රිපිටකමණ්ඩලය.