01-VP-Parajika Pali.pdf
- කතෘ :
- වේරගොඩ අමරමොලි හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1959
- මුද්‍රිත වර්ෂය :
- 1959
- පිටු ගණන :
- 690
- බාගත කිරීම් ගණන :
- 5,608
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 172 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාරාජිකපාලි යනු විනයපිටකයෙහි පළමුවන ග්‍රන්ථය වන පාරාජිකපාළිය (විනයමහාවිභඞ්ග / සුත්තවිභඞ්ග ලෙසද හැඳින්වේ) සිංහල පරිවර්තනය සමග මුද්‍රණය කළ බුද්ධජයන්ති ත්රිපිටකග්රන්ථමාලාවේ අංක 1 දරණ ග්‍රන්ථයයි. වම් පිටුවල පාලි පෙළත් දකුණු පිටුවල සිංහල පරිවර්තනයත් ඇත.
සිංහල පරිවර්තනය හා පාඨශෝධනය ශ්‍රී ලඞ්කා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිකාරී පණ්ඩිත වේරගොඩ අමරමොලි ස්ථවිරයන් වහන්සේ විසින් කරන ලදී. එය ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයේ විනයග්රන්ථසංශෝධකමණ්ඩලය සහ උත්තරීතරසංස්කාරකමණ්ඩලය විසින් සංශෝධනය කොට සකස් කරන ලදී. අනියත කාණ්ඩයේ සිට නිස්සග්ගිය කාණ්ඩය තෙක් පරිවර්තනය ලබුගම ලඞ්කානන්ද හා කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේලා නැවත සකස් කළ බව සංස්කාරක නිවේදනයේ සඳහන් වේ.
පරිවර්තකයන් වහන්සේගේ සංඥාපනයෙහි විනයපිටකයේ ස්වභාවය, පාරාජිකපාළියේ ග්රන්ථවිභාගය (සතර පාරාජික, තෙලෙස් සඞ්ඝාදිසෙස, දෙ අනියත, තිස් නිස්සග්ගිය පාචිත්තිය), පළමු ශික්ෂාපදය පැණවීමේ පසුබිම (සුදින්න තෙරුන්ගේ කථාව) සහ පාඨසංස්කරණයේදී පුස්කොළ පොත් හා සිංහල, බුරුම, සියම්, රෝමන් මුද්‍රිත පොත් සසඳා බැලූ ආකාරය විස්තර කෙරේ.
- වෙරඤ්ජකණ්ඩය
- පාරාජිකකණ්ඩය
- සඞ්ඝාදිසෙස, අනියත, නිස්සග්ගිය කාණ්ඩ
- පදානුක්කමණිකාව, සංඥානාම, ශුද්ධිපත්‍රය
ලඞ්කා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් ලඞ්කාණ්ඩුව (ලංකා රජය) මගින් බු. ව. 2503 (ක්‍රි. ව. 1959) දී ප්‍රකාශිත මෙම ග්‍රන්ථය සිංහලජාතිය මුද්‍රණාලයේ මුද්‍රණය කෙරිණි.
සංස්කාරකනිවේදනය
ශ්‍රී ලඞ්කා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාලයාධිකාරී පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්ථවිරයන් වහන්සේ විසින් පාඨශෝධන සහිත ව කරණ ලද සිංහල පරිවර්තනයෙන් යුක්ත වූ මේ පාරාජිකපාළිය විනයපිටකයෙහි ප්‍රථම ග්‍රන්ථය වේ. ත්රිපිටකපාළිය සිංහල භාෂාවට පරිවර්තනය කරවා මුද්‍රණය කරවීමෙහි ආසක්ත වූ ලඞ්කාබෞද්ධමණ්ඩලයේ අයැදුම පරිදි උන්වහන්සේ විසින් පැසසිය යුතු පරිශ්‍රමයකින් නිමවන ලද පරිවර්තනය ත්රිපිටකපරිවර්තනසංස්කාරකසභාවේ සම්මතය අනුව උන්වහන්සේත් - පොල්ගහවෙල විද්‍යෝදය පරිවෙණාධිපති කොසෙල්වතුගොඩ රතනජෝති නායක ස්ථවිරයන් වහන්සේත් - පැල්මඩුල්ලේ පුරාණ-රජමහාවිහාරාධිපති හාල්දඹුවන ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේත් - මාතර ශ්‍රී සුදර්ශි පරිවෙණාධිපති පණ්ඩිත කඩවැද්දුව සිරිනිවාස නායක ස්ථවිරයන් වහන්සේත් ඇතුළත් විනයග්රන්ථසංශෝධකමණ්ඩලය විසින් ප්රථමවාරයෙහි ශුද්ධ කරණ ලදී. නැවත උත්තරීතරසංස්කාරකමණ්ඩලය විසින් එහි ආකුල තැන් නිරාකුල කිරීම් ආදියෙන් දෙවැනිවර සකස් කොට එය මුද්‍රණයට සම්මත කරණ ලදී.
උත්තරීතර මණ්ඩලයේ සම්මතය අනුව මේ ග්‍රන්ථයේ අනියත කාණ්ඩයේ පටන් නිස්සග්ගියකාණ්ඩය තෙක් සිංහලපරිවර්තනය පාඨශෝධන සහිත ව නැවත ලියා සකස් කළ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙණේ උපප්‍රධානාචාර්ය පණ්ඩිත ලබුගම ලඞ්කානන්ද ස්ථවිරයන් වහන්සේ හා ප්‍රවචනෝදය පිරිවෙන්හි උපාචාර්ය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේත් විසින් දැරූ ආයාසය විශේෂයෙන් මෙහි සඳහන් කළ යුතු වේ. ඇතැම් ශෝධ්යපත්ර බැලීමෙන් හා පදානුක්කමණිකා හා ශුද්ධිපත්‍රය ද සකස් කිරීමෙනුත් පණ්ඩිත ගලගම ධම්මික ස්ථවිරයෝ ද මේ අධිකාරයෙහි සහාය වූහ. මේ ග්‍රන්ථයේ මුද්‍රණය මාස කීපයකින් අවසන් වූයේ සිංහලජාතිය මුද්‍රණාලයේ අධිකාරී වූ ඇඹදෙනි සඞ්ගමයේ මහතුන්ගේ උත්සාහයෙනි.
සම්බුද්ධපරිනිර්වාණයෙන් පසු පැවැති ප්‍රථම විනයසඞ්ගීතිය සමග දඹදිව තෙවරක් ද, මිහිඳුගමනයෙන් පසු පැවැති ථූපාරාම විනයසඞ්ගීතිය සමග ලක්දිව තෙවරක් දැයි මෙසේ සවරක් ම සංගීතවූ විනයපිටකයෙහි ප්‍රථම ග්‍රන්ථය වන පාරාජිකපාළිය හා එහි සිංහලපරිවර්තනය බුද්ධජයන්ති ත්රිපිටකග්රන්ථමාලාවේ ද අඞ්ක වශයෙන් ප්‍රථම ග්‍රන්ථය වේ. ත්රිපිටකපාළිය හා සඞ්ගීතිකථාදිය පිළිබඳ විස්තර මීට කලින් මුද්‍රිත වූ ත්රිපිටකග්රන්ථමාලා අඞ්ක 3 දරණ මහාවග්ගපාළි ග්රන්ථයෙහි ප්‍රස්තාවනාවෙන් දත හැකි වේ.
විනයමහාවිභඞ්ග නමින් ද දන්නා ලද පාරාජිකපාළිය හා එහි සිංහලපරිවර්තනය ශාසනස්ථිතිය සඳහා මෙසේ මුද්රණාධාරයෙන් ප්‍රකාශයට පැමිණවූ ලඞ්කා ආණ්ඩුව හා එහි සංස්කෘතික කටයුතු භාර අංශයේ අධිකාරී මහතුන් ද, පරිවර්තන - සංශෝධන කාර්යයෙහි යෙදුනු මහතෙරුන් ද බෞද්ධ මහාජනයාගේ කෘතඥතාපූර්වක සාධුවාදයට හා අග්‍රගණ්‍ය වූ ධර්මදානමය පුණ්යමහිමයට හිමි වන බව අනුමෝදනා වශයෙන් ප්‍රකාශ කරම්හ.
පරවාහැර වජිරඤාණ ස්ථවිර, ත්රිපිටකපරිවර්තනකාරකසභාවෙහි හා සංස්කාරකමණ්ඩලයෙහි සම්පාදක
සංඥාපනය
විනයපිටකය:
ශ්‍රී සුගත තථාගත සම්මාසම්බුද්ධරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වූවන්ගෙන් සකස් වූ භික්ෂු භික්ෂුණී උභතොසඞ්ඝයාගේ කායවාක්සංවරසංවිධානය හා සඞ්ඝසුට්ඨුතා ඵාසුවිහාරතාදි ආනිසංස පිණිස ද, සද්ධර්මස්ථිතිය හා විනයානුග්‍රහය සඳහා ද පණවා වදාළ පන්සියඅටතිසක් පමණ වූ ශික්ෂාසමූහය ඇතුළත් විනයපිටකය ධර්ම (පාලි) අර්ථ දේශනා ප්‍රතිවේධ යන සතරින් ම ගැඹුරු ය. ත්‍රිපිටකය විභාග කළ අර්ථකථාචාර්යවරයෝ ආඥා ව්‍යවහාර පරමාර්ථ යන ත්‍රිවිධ බුද්ධදේශනා අතුරෙහි ආඥාවිධාන බහුල කොට ඇති හෙයින් විනයපිටකය ආණාදෙසනා යයි ද, යථාපරාධ යථානුලෝම යථාධර්ම යන ත්‍රිවිධ අනුශාසනා අතුරෙහි අපරාධ (අධ්‍යාචාර) දෝෂයන්ට අනුරූප වන පරිදි වදාළ ශාසන ඇති හෙයින් යථාපරාධශාසන යයි ද, සංවර - අසංවර දිට්ඨිවිනිවේඨන නාමරූප පරිච්ඡේද යන ත්‍රිවිධ ධර්මකථා අතුරෙහි කායවාක් සංවරාදි කුඩා මහත් සංවර පිළිබඳ කථා හෙයින් සංවරසංවරකථා යයි ද කීහු.
ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ කල්‍යාණයෙන් යුත් තථාගත ශාසනයෙහි ආදිකල්‍යාණ වූ ප්රාතිමෝක්ෂ සංවරාදි අධිශීලශික්‍ෂාව විශේෂයෙන් සංගෘහිත වූයේ විනයපිටකයෙහි ය. ක්ලේශප්‍රහාණ ක්‍රම වශයෙන් ව්යතික්රම පර්යුත්ථාන අනුශය වශයෙන් පවත්නා ක්ලේශයන් අතුරෙන් කායවාක් සංවර ව්යතික්රමයෙන් (සීමාව ඉක්මවීමෙන්) ඇති වන ක්ලේශයන්ට ශීලය ප්රතිපක්ෂ බැවින් ව්යතික්රම සංක්ලේශ ප්රහාණය ද තදඞ්ග වශයෙන් දුශ්චරිතසංක්ලේශ ප්රහාණය ද මෙහි දක්වේ.
මෙහි ඇතුළත් ශික්ෂාපදයන්ගේ ප්රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති, තිකදුක්කාපත්ති, ආපත්ති ජාති වර්ග සක්ඛන්ධාදි විභාග පිළිබඳ ක්‍රම විසින් විවිධනය - විසෙසනය ඇති බැවින් විනය නම් වේ. තෙල විනය ප්‍රතිපන්නයන් කායවාක් සංයමයෙහි හික්මවා අවිප්‍රතිසාර ප්රාමොද්යාදි විනය ගුණ එළවා පිළිවෙළින් මාර්ගකුශලධර්මයන්ට උපනිඃශ්‍රය වෙමින් අනුපාදාපරිනිබ්බාණය වෙත පමුණුවන හෙයින් ද විනය නම් වේ.
මෙසෙයින් සංවරවිනය වශයෙන් වදාළ විනය ශාසනමාර්ගබ්රහ්මචර්යයෙහි ආදිය බැවින් ද ශාසනාවචරයන්ගේ තදනුකූලප්රතිපත්ති පවත්නා තෙක් ම ශාසනස්ථිතිය වන බැවින් ද ධර්මවිනය වශයෙන් ද්විවිධ වූ ශාස්තෘශාසනය මතානන්තරසඞ්කලනයෙන් තොර කොට සංස්ථාපනය කරනු සඳහා ප්‍රථම සඞ්ගීතිය පැවැත්වූ මහරහතුන් වහන්සේ විසින් විනය ම ප්‍රථමයෙන් සඞ්ගායනා කොට “භාජනය, පර්යාප්තිපාලිය, ග්‍රන්ථය” යන අර්ථයන්හි ව්‍යවහෘත වූ “පිටක” ශබ්දය සමග යොදා විනයපිටක නාමයෙන් සම්මත කරණ ලදී.
මෙහි සඞ්ගීතිකථා, ග්රන්ථවිභාග, ආචාර්යමත ආදිය පිළිබඳ විස්තර මහාවග්ගපාළිය පිණිස ලියන ලද ප්‍රස්තාවනාවෙන් දත යුතු.
පාරාජිකපාළිය:
විනයෙහි එන ශික්ෂාපදසමූහය ප්‍රධාන වශයෙන් පාලි නම් වේ. එය මාතිකා, උභතොවිභඞ්ග, උභතොඛන්ධක යයි තෙවැදෑරුම් වෙයි. එහි මාතිකා නම් භික්ෂු භික්ෂුණීන් සඳහා පැණවූ ශික්ෂාපද සූත්‍ර පාඨයෝ ය. එය බුද්ධකාලයෙහි ම පාමොක් උදෙසීම් වශයෙන් සංගෘහිත ව පාතිමොක්ඛ, මාතිකා, උභය මාතිකා නමින් පැවැත්තේ ය.
ආදිබ්රහ්මචරියකසීලයට අයත් ඒ ශික්ෂාපද නිදාන වස්තු පුද්ගල පදභාජනීය වශයෙන් පාමොක් උදෙසන නියායෙන් ම භික්ඛුවිභඞ්ග භික්ඛුණීවිභඞ්ග වශයෙන් සඞ්ගීත විය. යළි එදෙක එක් කොට උභතොවිභඞ්ග යයි ව්‍යවහෘත විය. පබ්බජ්ජා උපසම්පදා උපොසථ වස්සූපනායිකාදිය හා වත්පිළිවෙත් සඞ්ඝකර්මාදිය පිළිබඳ අනුඥාත වසයෙන් පැණවූ ආභිසමාචාරික ශික්ෂාපද නිදානකථාදිය සමග ඛන්ධක නාමයෙන් සඞ්ගීත විය.
ග්රන්ථවිභාගයෙහි මහණ මෙහෙණන් සඳහා පාමොක් වසයෙන් පැණවුනු සියලු ශික්ෂාපද පාරාජිකපාළි, පාචිත්තියපාළි දෙක්හි ඇතුළත් කරණ ලදී. ඛන්ධක පාළිය මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි දෙක්හි අන්තර්ගත විය. මේ ග්රන්ථ සතරෙහි ඇතුළත් ප්‍රඥප්ත අනුඥාත ශික්ෂාපද හා පදභාජනීයාදිය පිළිබඳ නානා නයින් නිපුණ සාරාංශ කථනය පරිවාරපාළියෙහි නිර්දේශ කරණ ලදී.
මෙසෙයින් විභක්ත ව ථෙරපරම්පරාවෙහි පැවැති විනයපාළියෙහි ප්‍රථම ග්‍රන්ථය වූ පාරාජිකපාළියෙහි භික්ෂූන් සඳහා පණවන ලද ශික්ෂාධර්ම දෙසිය සත්විස්සෙන් සතරපරිජි, තෙලෙස් සඟවෙසෙස්, දෙ අනියත, තිස් නිසැගිපචිති ය යි කාණ්ඩ සතරකට බෙදූ ශික්ෂාපද එකුන්පණසෙක් නිදාන පුද්ගල වස්තු පදභාජනීය විනීතවත්ථු සහිත ව දක්වෙන්නේ ය. මෙයින් පාරාජික සික්ඛාපද ප්‍රධාන කොට ගෙණ ග්‍රන්ථය ද පාරාජිකපාළි යයි නම් කරණ ලදී.
එහි ශික්ෂාපදයෝ බුද්ධභාෂිත වෙති. නිදාන කථාදිය හා ගාථා උපාලි මහරහතුන් වහන්සේ විසින් නිර්දිෂ්ට ය. විනීතවත්ථු බුදුරජාණන් වහන්සේ විසින් ම ඒ ඒ ශික්ෂාපද පිළිබඳ ඇවැත් වන නො වන පරිදි නිශ්චය කොට වදාළ සැටි ඇතුළත් කොට සඞ්ගීතිකාරක මහරහතුන් විසින් විනයධරයන්ට ආදර්ශ වශයෙන් දක්වන ලද බුද්ධකාලීන කථාවස්තු වෙති. ග්‍රන්ථාරම්භයෙහි එන වෙරඤ්ජකාණ්ඩයෙහි දක්වෙන්නේ අග්‍රශ්‍රාවක ශාරිපුත්‍ර මහරහතුන් වහන්සේ විසින් ශාසනස්ථිතිය සඳහා භික්ෂූන්ට පාමොක් උදෙසීම හා ශික්ෂා පැණවීම පිණිස බුදුරජාණන් වහන්සේට ආයාචනා කිරීමේ ප්රවෘත්ති ය යි. විනයෙහි බාහිරනිදානය වසයෙන් දක්වෙන මේ ආයාචනය සියලු ම විනයප්රඥප්ති පිළිබඳ මුල් නිදානය යි.
විනයශික්ෂා පැණවීම:
බුදුරජාණන් වහන්සේ වෙරඤ්ජාවෙහි විසූ වස බුද්ධත්වයෙන් දොළොස්වන වස ය. එකල භික්ෂුසඞ්ඝයා කෙරෙහි ශාසනානුලෝම නොවූ කිසිදු පැවැතුමෙක් අර්බුදයෙක් නො වූයේ ම ය. තථාගත බුදුවරු ලෙඩක් නැති කල බෙහෙත් නොකියන වෙදුන් මෙන් කරුණක් නැති කල ශික්ෂා නො පණවති. එබැවින් “තථාගතයෝ ම ශික්ෂා පැණවීමට කල් දනිති. එතෙක් ඉවසවූ”යි සැරියුත් තෙරණුවන්ට වදාර ඉන් හවුරුදු අටක් ගිය තැන, බුද්ධත්වයෙන් විසිවස් වූ කල, පළමුපරිජිකපදය පැණවූ සේක. මෙයට වස්තු වූයේ එකල උපසම්පදාවෙන් අටවස් ඇති ශ්‍රද්ධාශීල සම්පන්න වූ සුදින්න තෙරණුවන් මවුපියන්ගේ බලවත් ආයාචනයෙන් සන්තාන (කුලවංශ) ප්‍රවෘත්තිය පිණිස බීජයක් (-පුතකු) ඇති කිරීම සඳහා පෙරබුව සමග මෙවුන්දම් සෙවීම යි.
සම්බොධියෙන් විසිවසක් වන තෙක් නිර්මල ව පැවැති සර්වඥශාසනයෙහි ප්‍රථම වරට සුදින්න විසින් ඇති කළ, දෙවියන් සහිත බෞද්ධලෝකයාගේ සංවේගයට හෙතු වූ, මේ අර්බුදය මුල් කරුණු කොට ගෙණ තථාගතයන් වහන්සේ විසින් “යො පන භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, පාරාජිකො හොති අසංවාසො”යි මෛථුනවිරතිය සඳහා භික්ෂූන්ට මේ ශික්ෂාපදය පැණවූ සේක. මෙය විනයෙහි ප්‍රථම ගරු ශික්ෂාප්රඥප්ති ය යි.
“උපසපන් වීමෙන් භික්ෂුභාවයට පැමිණි යම් මහණෙක් මෙවුන්දම් සෙවුනේ නම් හෙතෙම පාරාජික (භික්ෂුභාවයෙන් සම්පූර්ණයෙන් චුත වන හෙයින් පැරදුනේ) වෙයි. සෙසු භික්ෂූන් හා සමානවාසය නැත්තේ (එයට සුදුසු නොවූයේ) වේ”යයි තථාගතයන් වහන්සේ මූලප්රඥප්ති වශයෙන් මෙසේ පැණවූ මෛථුනපාරාජිකශික්ෂාපදය මෛථුනසම්බන්ධයෙහි ඇලුනු අසංයමීන්ට කිසිදු අවකාශයක් නො තබා පැමිණි වස්තු අනුව අනුප්‍රඥප්ති දෙකකින් (නැවත දෙවරක් පැණවීමෙන්) දැඩි කොට වදාළහ.
මෙසෙයින් දක්නා වූ සම්පූර්ණ ශික්ෂාපදය පිළිබඳ පදවිභාගයෙහි දක්වෙන ක්‍රම වශයෙන් මේ ශික්ෂාපදව්යතික්රමයෙන් පරාජිඇවැත්වන ආකාරයෝ සතලොස් දහස් දෙසිය අසූවක් පමණ වෙති. එහි විස්තර අර්ථකථානුසාරයෙන් විමසා දත යුතු.
මෙවුන්දම් පරිජිය මෙන් ම මහණහු භික්ෂුභාවයෙන් හෙළා ලන අදත්තාදානය, මනුස්සවිග්ගහය (මිනිස් සිරුරක් දිවියෙන් තොර කිරීම), උත්තරිමනුස්සධම්ම (නොලත් ධ්යානමාර්ග ආදි ආර්යධර්ම ලත් සේ හඟවා) ආරොචනය කිරීම යන කරුණු විෂය කොට පැණවූ ශික්ෂාපද සමග “තත්රිමෙ චත්තාරො පාරාජිකා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති”යි පාමොක්හි එන සෙයින් ම පාරාජිකශික්ෂාපද හා සෙසු සඞ්ඝාදිසෙසාදි ශික්ෂාපද ද පිළිවෙළින් තබා විභාග කරණ හෙයින් පාරාජිකපාළිය සුත්තවිභඞ්ග නමින් ද දන්නා ලදී.
සංස්කරණය හා පරිවර්තනය:
බුද්ධජයන්ති නිමිත්තෙන් ලඞ්කා රජය මඟින් පිහිටුවන ලද ශ්‍රී ලඞ්කා බෞද්ධමණ්ඩලය විසින් විනයපිටකයෙහි ප්‍රථම ග්‍රන්ථය වූ පාරාජිකපාළිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා අප වෙත පවරණ ලදී.
ත්‍රිපිටක පරිවර්තනය සම්බන්ධයෙන් නිකුත් කරණ ලද නිර්දේශ අනුව මෙහි චිරගත ලිපි දෝෂයන්ගෙන් දූෂ්‍ය වූ තැන් ද ගිලිහී ගිය පදපාඨයන් ද අස්ථානපතිත වාක්යප්රදේශ හා පෙය්යාලමුඛ ද ලක්දිව පැරණි පුස්කොළ පොත් කිහිපයක් ද සිංහල බුරුම සියම් රෝමන් අකුරෙන් මුද්‍රිත පොත් ද සසඳා බලා එහි ද නැති තැන් සංස්කාරකතෙරුන් සමග සාකච්ඡා කොට පාළ්යර්ථකථානුසාරයෙන් ගළපා පාළිය සකස් කිරීම ද එයට සිංහල ව්‍යාඛ්‍යාන කිරීම ද යථාශක්තියෙන් සිදු කළෙමු.
මෙහි පාලිසංස්කරණය හා සිංහල පරිවර්තනය සම්බන්ධයෙන් ත්රිපිටකපරිවර්තන සංස්කාරකසභාවේ උත්තරීතරමණ්ඩලයෙන් ලත් විශේෂ අනුග්‍රහය ද, මේ සංඥාපනය සකස් කිරීමට සංස්කාරකමණ්ඩලයේ සම්පාදක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ලද උපකාරය ද කෘතඥතාපූර්වක ව සිහිපත් කරම්හ.
අතිරේකය:
මේ ග්‍රන්ථය කියවනුවන්ට ඇතැම් ශික්ෂාපද පිළිබඳ විස්තරයෙහි අසභ්‍ය කථා සේ හැඟෙන තැන් ද දක්නට ලැබේ. එබඳු තන්හි ප්රතිකූලමනස්කාරය ද ශ්රමණසංඥා ද හිරිඔතප් ද එළවා ගෙණ සම්බුදුරජාණන් වහන්සේගේ මහාකාරුණික ගුණය සිහි කෙරෙමින් උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ම කියවිය යුතු. තවද, “කාමරාගයෙන් රක්ත වූවෝ අර්ථය නො දනිති. ධර්මය නො දනිති. රාගයට වසඟ වූ කල වන්නේ මහඅඳුරෙක් ම ය” යන ආදි දේශනාවන් සිහිපත් කෙරෙමින් “රාගාදි ක්ලේශයෝ නම් බොහෝ ආදීනව ඇත්තෝ ය. ඔවුන්ගෙන් කලිඹට වූ කල උදාර පුරුෂයෝ ද ප්‍රකෘති සිතින් සිතිය නොහැකි තරම් වූ නිහීන ක්‍රියාවන්හි යෙදෙති”යි දක්වන්නාක් මෙන් මහාකාරුණික වූ ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාවෙන් ම ඔවුන්ගේ සංවරය පිණිස ම එබඳු කරුණු ද නො සඟවා යථාර්ථය ම වදාළසේකැ යි සිතිය යුතු.
මෛථුනසෙවනොපාය වශයෙන් එකල මිනිසුන් අතර පැවැති අසභ්‍ය පැවතුම් එලෙසින් හෝ එයට වැඩියෙන් හෝ අදත් ලොව ඇත. ඒ හීන වූ පැවතුම් කෙරෙහි කළකිරෙමින් සංයතභාවයෙන් හා බ්‍රහ්මචර්යයෙන් උදාරත්වයට පැමිණෙනු කැමැතියන්ට මේ විනයග්රන්ථය විශිෂ්ට වූ අනුශාසනයෙක් ම ය. මෙය සාමාන්‍යයෙන් මානවධර්මය හා ශිෂ්ටාචාරය පිළිබඳ ඉතිහාසයෙකි. බුද්ධකාලීන ඉන්දියාවේ පැවැති නානාකුලචාරිත්රානුගත ජනසමාජයෙහි තත්ත්වය පිළිබිඹු වූ ආදර්ශයෙකි.
මෙසේ ගෙණ සලකත් ම මේ ග්‍රන්ථය සදාචාර සද්ධර්මමාර්ගයෙන් ලෞකික ඥානාභිවෘද්ධියට කැමැතියන්ගේ අත් පොත ද සර්වසංසාරදුඃඛනිඃසරණය සඳහා පිළිපන්නවුන්ගේ විමුක්තිමාර්ගය ද වන්නේ ය. එහෙයින් නුවණැත්තෝ මේ ග්‍රන්ථය ශාස්තෘගෞරවයෙන් හා ධර්මගෞරවයෙන් යෙදී උද්ග්‍රහණ ධාරණ විමර්ශනාදීන් පරිශීලනය කොට තදනුකූල පිළිවෙතින් මෙලොවෙහි ද ජන්මාන්තරයෙහි ද සුඛභාගී ව ක්ලේශදාහනිර්වාණයෙන් පරමශාන්තිය පසක් කෙරෙත්වා.
වේරගොඩ අමරමොලි ස්ථවිර, 2503 පොසොන් පුර පසළොස්වක් දින, 1959 විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ දී ය