සන්න සහිත කච්චායන සූත්‍රපාඨය - ගුණරතන හිමි හා සුමතිපාල හිමි.pdf
- කතෘ :
- මුල්ලේරියාවේ ගුණරතන හිමි හා සුමතිපාල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1904
- මුද්‍රිත වර්ෂය :
- 1904
- පිටු ගණන :
- 206
- බාගත කිරීම් ගණන :
- 1,060
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්‍රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සන්න සහිත කාත්‍යායන සූත්‍රපාඨය යනු පාලි ව්‍යාකරණය හදාරන සිසුන් හා විද්වතුන් සඳහා සම්පාදිත සම්භාව්‍ය පාලි ව්‍යාකරණ ග්රන්ථයකි. වෘත්ති වර්ණනාදිය ආශ්‍රය කොට ගනිමින් මුල්ලේරියාවේ ගුණරතන ස්ථවිරයන් වහන්සේ සහ උන්වහන්සේගේ සද්ධිවිහාරික ශිෂ්‍ය සුමතිපාල සාමින් වහන්සේ විසින් අනුවෘත්ති ගළපා සන්න ලියා මෙම කෘතිය සකස් කර ඇත.
මෙම ග්‍රන්ථය විද්‍යෝදය පරිවේණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය ශ්‍රී සුමංගල කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ විසින් සමාදරයෙන් පිළිගන්නා ලද අතර, අවසාන ශෝධ්යපත්ර පරික්ෂාව විද්‍යෝදය පිරිවෙනේ උපප්රධානාචාර්ය්ය හේයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත නායක ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කර තිබේ. ඇන්. ජේ. කුරේ සහ ඩී. ඒ. දියස් යන මහත්වරුන්ගේ ප්රකාශනයක් ලෙසින් 1904 වර්ෂයේදී වැල්ලම්පිටියේ විද්‍යාසාගර මුද්‍රණාලයේදී මෙය මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කර ඇත.
මෙහි ප්‍රස්තාවනා/විඥාපන සටහනෙහි දැක්වෙන පරිදි කාත්‍යායන සූත්‍ර 675ක් සඳහා අදාළ අනුවෘත්ති සූත්‍ර අංක සහිතව පෙළගස්වා, සූත්‍රයන්ගේ ස්වභාවය සහ ව්‍යාකරණ නීති විස්තරාත්මකව සන්න සහිතව පහදා දී ඇත.
විඥාපනය.
කාත්‍යායන සූත්රපාඨ සන්නය.
සුපරිශුද්ධ මාගධි සඞ්ඛ්‍යාත පාලිභාෂාව සම්බන්ධ පදසිද්ධිකරණය පිණිස පූර්වාචාර්ය්යයන් විසින් ව්‍යාකරණ සූත්‍ර නියෝගකරණ ලද්දේ හුදකලා සූත්රයන්ගේම ස්වකීය ස්වකීය බලයෙන් යුක්තානුකූලවිධි විභාග කොට කාර්ය්යසම්පාදනය කරණ ක්‍රමයකට නොව විශේෂාදී යුක්ති යෙදෙන්නාවූ (පටිපාටියේ සිටි) පූර්වාපර සූත්‍රයන්ගෙන් මධ්‍යස්ථ සූත්‍රයන්ට සූත්‍ර, සූත්රාර්ධ, සූත්රපදාදියද, චගබඳ, වාගබඳ, නවාගබඳ, ද්විගබඳ, විභාෂාගබඳ හා අන්වනුග්රහණ එකවචන බහුවචන ග්රහණාදියද-(සිංහාවලෝකිත-මණ්ඩූකප්ලූති-ගංගාස්රෝතස් යන ත්‍රිවිධාකාරයෙන්) අවස්ථායෝග්ය වශයෙන් අනුවර්තන කිරීමෙන් අවිද්යමානාර්ථ විද්‍යමාන කිරීමෙන් හා විද්යමානාර්ථ විකල්පප්රතිෂෙධයෙන්ද අර්ථවිශෙෂ යෙදෙන්නාවූ නානාර්ථ යෝග කොට යථාස්වරූප පදසිද්ධි ජනවචනානුරූපකොට කිරීම පිණිස සූත්රපටිපාටියේ සම්බන්ධභාවය යුක්තිප්රකෘතකොට යුක්තකිරීමෙනි.
ව්‍යාකරණ සූත්‍රයන්ට තිබියයුතු ලක්ෂණ ප්රාවීණාචාර්ය්යයන් විසින් “ස්වල්පාක්ෂරමසන්දිග්ධං” යනාදීන් ෂට්ප්රකාරයකින් දක්වන ලද්දාහුය-එයින් “විශ්වතො මුඛං” යනු එක් ලක්ෂණයෙකි-එයින් නියමකරණ ලද්දේ (සූත්‍රයන්ට) හාත්පසින් මුඛ ඇතිවිය යුතුය යනුයි-ඒ එසේ ඇතිවියයුතු වන්නේ යථොක්තාකාරයෙන් කෙවල සූත්‍රයන්ගෙන් කාර්ය්යසිද්ධි නොලැබෙන තන්හි අවස්ථායෝගවශයෙන් යථොචිත අනුවෘත්ති පදාදිය යෝග්‍ය යෝග්‍ය සූත්‍රයන්ගෙන් උපවාගෙණ අධිකාරාභිමත සූත්‍රයන්ට ඇතුලත් කරගැන්මට මුඛ හෝ දොර අවශ්‍යයෙන්ම උවමනාවෙති.
මේ මුද්‍රණයෙහි වනාහි අනුවෘත්තපදාදිය උපවාගත් සූත්‍ර සංඥාපනය පිණිස පිළිවෙළින් සූත්‍රයන්ගේ අග සඞ්ඛ්යාංක යොදා ඒ ඒ සඞ්ඛ්යාංක සමග අනුවෘත්ති පද දැක්වූයෙමු. ඇතැම් සූත්රවෘත්යාදිය සඳහා ප්රකාශකරතිබෙන ආචාර්ය්යාභිමත භෙදයන් සූත්රාංක සමග අඩොලිපි වශයෙන් යොදා දැක්වූයෙමු.
සූත්‍රයන්ගේ ස්වභාවය හැඳිනගන්නා පිණිස මෙහි පහත දක්වන සරලොපොදෙසද මෙනෙහි කටයුතුයි-අවිශෙෂයෙන් සරයක් පරකල්හි පූර්වස්ර ලොපයට බලය “සරො සරෙ ලොපං” යන සූත්‍රයෙහි ඇත්තේයි-අසමාන ස්වරයා කෙරෙන් විකල්පයෙන් පරස්වර ලොපයට බලය “වා පරෙ අසරූපා”යන සූත්‍රයෙහි ඇත්තේයි-මෙසේ මේ හුදකලාවූ සූත්රදෙකෙහි ඇත්තාවූ දෙවැදෑරුම් බලය සලකා “බන්ධුස්ස ඉව”යන පදයන්ගේ සංහිතාව “සරො සරෙ ලොපං” යන සූත්‍රයෙන් පූර්වස්වරය ලොප්කොට බන්ධුස්සිව කියාද-“වා පරෙ අසරූපා” යන සූත්‍රයෙන් පරස්වරය ලොප් කොට බන්ධුස්සෙව කියාද කටයුතුයයි විවාදයක් වීනම් ඒ දෙයාකාරයටම සන්ධිකිරීම අයොග්යයයි යුක්ති දක්වා විවාදය සන්සිඳවීම පිණිස කුමක් කටයුතුදැයි සැලකිය යුතුයි-ඊට කටයුතුනම් “ජිනවචනයුත්තං හි” යන සකලස්ථානාධිකාර සූත්‍රය අභිමුඛ කොට“බන්ධුස්සෙව සමාගමො”යනාදී දෙශනා පාලියට අනුකූලවන පරිද්දෙන් “ඣවා සවණ්ණෙ ලුත්තෙ” යන සූත්‍රයෙන් පරස්වරයට අසවණ්ණාදෙශයෙන් “බන්ධුස්සෙව” කියා සන්ධිවනපරිදි නිදර්ශන කිරීමයි. එසේ ඇතිකල්හි යුක්තිප්රකෘත හෙයින් විවාද විනොදනය වෙයි.
“සො” යන සූත්‍රයෙන් සි විභක්තිහට ඔකාරාදෙශයද සත්‍යාව යන සූත්‍රයෙන් ආකාරාදෙසයද-අවිශෙෂයෙන් පෙණේ-ඒ එසේ නියමනම් කෙවලසූත්රාර්ථග්රහණයෙන් සියලුතැන එසේ වියයුතුයි. යථොක්ත සූත්‍ර අනුවෘත්තිග්රහණ සූත්රබැවින් එසේ නොවේ-53 වෙනි සූත්‍රයෙන් “ලිඞ්ගස්ස” යන පදයද 103 වෙනි සූත්‍රයෙන් “අතො” යන පදයද සො යන සූත්‍රයට (අනුවෘත්ති වශයෙන්) යෙදූ කල්හි ලිඞ්ගස්ස සම්බන්ධි වූ අකාරයා කෙරෙන් පරවූ සිවිභක්තිහට ඔකාරාදෙස වේ යන යුක්තාර්ථය හැඟේ-එයින් බුද්ධො යනාදිය සිද්ධයි-188 වෙනි සූත්‍රයෙන් බ්රහ්මත්තසඛාරාජාදිතො යන පදය “සත්‍යාව” යන සූත්‍රයට අනුවෘත්ති කොට යෙදූකල්හි බ්‍රහ්ම-අත්ත-සඛ-රාජ ශබ්දාදීන් කෙරෙන් පරවූ සිවිභක්තිහට ආකාරාදෙස වේ යනු හැඟේ-එයින් බ්රහ්මා, අත්තා, සඛා, රාජා, යනාදිය සිද්ධයි.
සබ්බොවචන්ති-යන සූත්‍රය හුදකලාවූ කල සියලු තිශබ්දය වකාරයට පැමිණෙයි යනු අවිශෙෂයෙන් හැඟේ-12 වෙනි සූත්‍රයෙන් සරෙ යනුද-14 වෙනි සූත්‍රයෙන් එව යනුද අනුවෘත්ති කළ කල්හි ස්වරයා පරකලැ කිසිතැනෙක සියලු තිශබ්දය වකාරයට පැමිණේ යනු නිමිති විශේෂ සහිතව හැඟේ-එහෙයින්, ඉති-එතං, ඉති-අස්ස, පති-උත්තරිත්වා, පති-ආහරති, යනාදි තන්හි තිශබ්දයෝ චකාරයට පැමිණ ච්ච වෙති-එහෙයින් ඉච්චෙතං, ඉච්චස්ස, පච්චුත්තරිත්වා, පච්චාහරති, යනුවෙන් සංහිතාසිද්ධියි-අභි ඉසි ගණො, අභි-ඊරිතං, යනාදි තන්හි තිශබ්දයෝද චකාරයට පැමිණ වියයුතුයයි කිසිවෙක් සිතුවහොත් ඒ වැලැක්වීම පිණිස ප්‍රතිෂෙධ සූත්‍රයක් සෙවියයුතුයි-ඒපිණිස හඳුවාතිබෙන්නේ “අභිස්සවානෙතස්ස” යන 47 වෙනි සූත්‍රයයි-අනුවෘත්ති රහිතකල්හි ඒ සූත්‍රයෙහි ද අභාවාර්ථයක් නොහැඟේ-46 වෙනි සූත්‍රයෙන් “න-ඉවණ්ණෙ”යනු අනුවෘත්ති කිරීමෙන්-ඉවණ්ණයා පරකල්හි තිශබ්දය “සබ්බොවචං ති” යන සූත්රනියමය පරිද්දෙන් චකාරයට නොපැමිණේ යන ප්‍රතිෂෙධ නියමය ලැබෙයි-එහෙයින් අභීසි ගණො, අභීරිතං, යි සංහිතා කාර්ය්ය වේමය-ප්රතිෂෙධවිධි එසේයි.
සූත්රපාඨ පොත්වල සූත්රසඞ්ඛ්යාව එකිනෙකට වෙනස්ව ඌනාධිකවශයෙන් වියවුල් සහිතවම තිබේ-මේ පාඨයෙහි සූත්‍ර 675 කි-සූත්රනිර්දෙශයෙහිදු එපමණයි-බුරුමරට මුද්‍රිත පොත් වලත් එකාකාරයක් නොමැතියි. මුඛමත්තදීපනියෙහි සූත්‍ර තිස්ගණනක් වැඩිව තිබේ-ඒ පුරාණ පාඨ නොවේයයි විමලබුද්ධි ආචාර්‍ය්‍යයෝ කීහු-එහෙයින් සූත්‍ර සඞ්ඛ්යානියමය නිශ්චය නැතිබැව් දතයුතුයි.
ලෙඛකස්වභාවවශයෙන් ඇත්තාවූ ප්රමාදප්රමාදාදි දොස් අපේ මේ සන්නයෙහිදු අවිද්යමානයයි නොහඟිමු-අෂ්ටාබාධක බලවත් දොස් ඇතැයිද නොහඟිමු, හ්‍රස්වාදි අක්ෂර විශෙෂාදි යම් යම් දොස් ඇතිවුවත් තන්නානීය සිතාගැන්ම බුද්ධිමතුන්ට දුෂ්කර නොවේ-එහෙයින් ශුද්ධිපත්‍ර සාධනය මෙවරට නැවැත්වීමු-ප්රමාදප්රමාදාදි දොස් කෙසේ වුවත් ලොකාර්ථව්යාපාරානුකාරව්යක්තසුධීශයෝ යුක්ති සලසත්වා.
M. Gunaratana.
M. Sumatipala.
1/4/904.