අභිධර්මාර්ථ ප්රදීපිකා 1.pdf
- කතෘ :
- අමරදාස රත්නපාල
- ප්රකාශිත වර්ෂය :
- 1964
- පිටු ගණන :
- 545
- බාගත කිරීම් ගණන :
- 10,267
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-24
- ගොනුවේ ප්රමාණය :
- 29 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්මාර්ථ ප්රදීපිකා (පළමුවන කාණ්ඩය) යනු අනුරුද්ධ මාහිමියන් විසින් රචිත අභිධර්මාර්ථ සංග්රහය මූලාශ්ර කරගනිමින් අමරදාස රත්නපාල වෛද්යවරයා විසින් සම්පාදිත අභිධර්ම විවරණ ග්රන්ථාවලියක ප්රථම කාණ්ඩයයි. 1954 සිට කොළඹ තරුණ බෞද්ධ සමිතියේ පැවැත්වූ ‘පරමාර්ථ ධර්ම පංක්තිය’ සහ අනතුරුව පළ කළ ධර්ම පත්රිකා පදනම් කරගෙන මෙම ග්රන්ථය සකස් කර ඇත. බම්බලපිටියේ වජිරාරාමවාසී පියදස්සී හිමියන් විසින් මේ සඳහා පෙරවදනක් සපයා තිබේ.
පාලි භාෂාව නොදන්නා සාමාන්ය පාඨකයාට ද පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි සරල සිංහලයෙන් අභිධර්ම විවරණය ඉදිරිපත් කර ඇති අතර, විශුද්ධිමාර්ගය, අට්ඨසාලිනී ආදී ප්රමුඛ අටුවා ග්රන්ථයන්හි කරුණු ද උපයෝගී කොටගෙන ඇත. මෙම පළමු කාණ්ඩය පරිච්ඡේද පහකින් සමන්විත වේ:
- ප්රථම පරිච්ඡේදය (චිත්ත සංග්රහ විභාගය)
- ද්විතීය පරිච්ඡේදය (චෛතසික සංග්රහ විභාගය)
- තෘතීය පරිච්ඡේදය (ප්රකීර්ණක සංග්රහ විභාගය)
- චතුර්ථ පරිච්ඡේදය (වීථි සංග්රහ විභාගය)
- පඤ්චම පරිච්ඡේදය (වීථිමුක්ත සංග්රහ විභාගය)
පෙරවදන
අභිධර්මයෙහි එන්නේ පරමාර්ථ ධර්ම සතරෙකි. සත්ත්ව-සන්තානයෙහි පහළ වන තාක් සිත් චිත්ත පරමාර්ථ වශයෙනුත් හැම සිත්හි ලැබිය හැකි තාක් හොඳ නොහොඳ ගුණ විශේෂයන් චෛතසික පරමාර්ථ වශයෙනුත්, මේ චිත්ත චෛතසික නම්වූ නාම ධර්මයන්ට ආධාර වූ ශරීරයෙහි ලැබිය හැකි තාක් ද්රව්ය සමූහය රූප පරමාර්ථ වශයෙනුත්, මේ නාමරූප හෙවත් පංචස්කන්ධ සංඛ්යාත සත්ත්වයාම පිළිබඳ වුවත් චිත්ත චෛතසිකයන් හා සම්ප්රයෝග ලක්ෂණයෙන්වත්, රූපයන් හා කලාප බන්ධන වශයෙනවත් කිසි-කලෙකත් නොබැඳෙන බැවින් ඒකාන්ත කෙවල (තනි) ධර්මයක් වූ ද, සොවාන් ආදී සතර මගින් දක්නාතෙක් ප්රත්යක්ෂයෙන් නොපෙනෙතත් නිත්යව නොවෙනස්ව පවත්නා වූ නිර්වාණ ධර්මය නිර්වාණ පරමාර්ථ වශයෙනුත් අභිධර්මයෙහි අඳුන්වාදී ඇත. අභිධර්මපිටකයට අයත් සප්තප්රකරණයෙහි ම එන්නේ මේ සතර පරමාර්ථ පිළිබඳ විස්තර ය.
ආභිධර්මිකයන්ගේ ආදර ගෞරවාදරයට බඳුන් වූ අභිධර්මාර්ථ සංග්රහය නම්වූ ග්රන්ථරත්නයට දිඹුලාගල මහා කස්සප සඟරජ මාහිමි-පාණන් ගේ ශිෂ්ය සාගරමතී සාරිපුත්ත ස්වාමීන්ද්රයන් විසින් ඉතා ව්යක්ත ලෙස සැපැයුණු සන්නයක් ඇත. මේ හැර මේ ග්රන්ථය සඳහා ලියැවුණු ටීකා සන්න හා පරිවාර ග්රන්ථයෝ ද බොහෝ වෙති.
උගතුන්ගේ සිතැඳගත් මේ අභිධර්මාර්ථ සංග්රහය ම අනුව යමින් අමරදාස රත්නපාල දොස්තර මහත්මා විසින් මහත් වෑයමකින් සපයා ඇති මේ අභිධර්මාර්ථ ප්රදීපිකා නම්වූ ග්රන්ථයෙහි අභිධර්ම කාරණා ඉතා විසිතුරුවත්, විසඳවත් ලියා ඇති බව කිය යුතුය.
කාණ්ඩ සතරෙකින් හා දෙදහසකට අධික පිටු ගණනකින් යුතුව මෙතරම් විස්තර විභාග සහිතව ලියැවුණු මේ සා විශාල අනෙක් අභිධර්ම ග්රන්ථයක් මෙතෙක් මේ රටෙහි ලියැවී නැතිසේ ය.
නවීනයනට මෙන් ම ප්රවීනයනට ද මේ ග්රන්ථය බෙහෙවින් උපකාර වනුවා පමණක් නොව මෙය ජනකාන්ත ද වනුවා ඇත. වෛද්යවෘත්තියෙහි යෙදෙන ගමන් මෙබඳු වටිනා ග්රන්ථයක් ලියා බෞද්ධ ධර්ම සාහිත්යය පෝෂණය කිරීම ගැන කවුරුනුත් රත්නපාල මහතාට කෘතඥ විය යුතු බව කියනු කැමැත්තෙමි.
පියදස්සී ස්ථවිර.
1964 ජූලි 8 වෙනිද
බම්බලපිටියේ වජිරාරාමයේ දී ය.
පිරිනැමුම
දහහත් හැවිරිදි වියේදී මෙලොව ජීවිතය හළ මා දෙටු පුත් විදුර රවින්ද්රනාථට මේ පොතත්, මෙය ලිවීමෙන් ලත් පිනුත් පිරිනැමෙයි
හැඳින්වීම
අභිධර්මාර්ථ ප්රදීපිකා නම් වූ මේ පොත අභිධර්මාර්ථ සංග්රහය අනුව යමින් සම්පාදනය කරන ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්රකරණයන්හි ඇතුළු වූ ධර්මාර්ථයන් පිඬුකොට ත්රිපිටකධර අනුරුද්ධ ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්මාර්ථ සංග්රහය නම් ග්රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්නවුනට මහෝපකාරී විය. බුදුරජාණන් වහන්සේ විසින් දෙසිත ත්රිපිටක ධර්මයෙහි සඳහන් වන ධර්මාර්ථයන් මනාව වටහාගැනීමට පරමාර්ථ ධර්ම පිළිබඳ සාමාන්ය දැනීමක්වත් තිබිය යුතුය. මෝහයෙන් මඩනා ලද පුහුදුන් සිත් සතන් මිථ්යාමත වලින් මුදවා පිරිසුදු සම්යක් දෘෂ්ටියෙහි යොදවා ගැනීම ධර්මඥානයෙන්ම කළ යුත්තකි. කුසලාකුසල ධර්මයන් හැඳින එහි ඉෂ්ටානිෂ්ට විපාකයන් දැනගැනීමටත් චතුරාර්ය සත්ය ධර්මාවබෝධය පිණිස වැඩිය යුතු සමථ විදර්ශනා භාවනානුයෝගයටත් ඉවහල්වන ධර්ම සමූහය අභිධර්මාර්ථ සංග්රහයෙහි ඇතුළත් වේ. එබැවින් ධර්මය ඉගෙනීමෙහි කැමැත්ත ඇති, ශ්රද්ධාදී ඉන්ද්රියයන් තියුණු කර ගැනීමට උත්සාහ දරන සත්පුරුෂයන් හට අභිධර්මාර්ථ සංග්රහය වැනි අන් ග්රන්ථයක් නැතැයි කිව යුතුය.
පෙර ධර්ම විනයධර උතුමන් විසින් ඉතා ගෞරවයෙන් ආචාර්ය පරම්පරානුගත විධි නොඉක්මවා තම සිසුන් පිරිසුදු ශීලයෙහි පිහිටුවා ධර්මඥානය ලබාදීමෙන් ජයප්රාප්ති ප්රතිපත්ති ශාසනය රැකගත් බව ශාසන ඉතිහාසයෙන් හෙළිවේ. පසු කලෙක විදේශයන්ගෙන් පැමිණි අන්ය ලබ්ධිකයන්ගේ නපුරු බලපෑම් නිසාත් වෙනත් නොයෙක් අභිභවකම් නිසාත් පිරිහෙන්නට ගිය මේ සසුන, කලින් කල පහළ වූ ගිහි පැවිදි උතුමන්ගේ උත්සාහයෙන්, අතුරු දහන් වන්නට ඉඩ නොදී රැකගත් හෙයින් අදත් සැදැහැතියන්හට දහම් ඉගෙනීමටත් පිළිවෙත් පිරීමටත් ඉඩ ඇත්තේමය. නුවණත්, ශ්රද්ධාවත්, උත්සාහයත් ඇතොත් භික්ෂූන් වහන්සේට දහම් ඉගෙන පිළිවෙත් පිරීමට එතරම් අපහසුවක් නම් නැත. එහෙත් එවැනි භාග්යයක් නැතිව නොයෙක් දුෂ්කරතා මධ්යයෙහි රැකිරක්ෂා ගේ දොර වැඩ කටයුතු ආදියෙහි යෙදී සිටින සැදැහැවත් ගිහි පින්වතුන්හට වරින් වර නොයෙක් මාතෘකාවෙන් කැරෙන ධර්ම දේශනා හැර පිළිවෙලින් ධර්මය ඉගෙනීමට ක්රමයක් නැති හෙයින් පින්පව් හැඳින ගැනීමට පවා නොහැකිව ඔවුන් ශ්රද්ධාදී ගුණයන්ගෙන් පිරිහෙමින් ලෝකයේ නන් දෙසින් ගලා එන මිථ්යා මතවලට ඇබ්බැහි වෙමින් ධර්මයට පිටුපාන්නා සේ පෙනෙන්නට ඇත.
භාග්යයකට මෙන් මෑතෙක සිට ධර්මධර ස්වාමීන් වහන්සේලා සහ උගත් ගිහි උතුමන් විසින්ද ධර්මය උගන්වනුන්ගේ ප්රයෝජනය පිණිස හෙළ බසින් දහම් පත් පොත් මුද්රණය කරවා පළකර හැරීමත් ධර්ම පංක්ති පැවැත්වීමත් නිසා ගිහි පින්වතුන්හට ධර්මය උගෙනීමට මගක් සැලසී ඇතිබව සඳහන් කළ යුතුය.
මෙයට දසවසකට පමණ පෙර කොළඹ තරුණ බෞද්ධ සමිතියේ එවකට ප්රධාන ලේකම් ධුරය දැරූ සී. ටී. පෙරේරා මහත්මාටද ධර්ම පංක්තියක් ඇරඹීමේ ආවශ්යකතාවය වැටහී අපට ආරාධනා කෙළෙන් වර්ෂ 1954 ක් වූ මැයි මස 3 වන දින කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී “පරමාර්ථ ධර්ම පංක්තිය” නමින් ධර්ම පංක්තියක් අරඹා එතැන් සිට අද වන තෙක් නොකඩවා සති පතා එම ධර්ම පංක්ති පවත්වාගෙන යමි. අභිධර්මාර්ථ සංග්රහය අනුව යමින් එහි ඇතුළු ධර්මයන් හැකිතාක් ලිහිල් බසින් විස්තර කරදීමේ ප්රතිඵලයක් වශයෙන් ඒ ඒ ධර්ම කොටස් එම ආකාරයෙන්ම මුද්රණය කොට පළකළහොත් ලක්දිව නොයෙක් පළාත්වල සිටින පින්වතුනටද ඉන් මහත්සේ ඵල ලැබිය හැකි බව බොහෝ දෙනාගේ අදහස වූයෙන් එම පාඩම් මුද්රණය කොට ධර්ම දානයක් වශයෙන් නොමිළයේ බෙදා හැරීමට සී. ටී. පෙරේරා මහත්මාම ඉදිරිපත් විය. කටයුතු අධික දුෂ්කර කාලයක් වූයේ වී නමුත් බොහෝ දෙනාට එන ධර්ම ලාභය සලකා ධර්ම පත්රිකා ලියා දීමට භාර ගෙන අවකාශ ඇති පරිදි එය කර දුනිමි. සුළු වශයෙන් කිරීමට අදහස් කළ කටයුත්ත විස්තර ඇතිව ධර්මය උගෙනීමට කැමති පින්වතුන් ඇති බව දැන ගන්නට ලැබුන හෙයින් අපට ඇති අනවකාශයත් ප්රකාශක භවතුන්හට දරන්නට සිදුවන වියදමත් නොසලකා ධර්ම ලාභයම සලකා පිටු දෙදහසකට අධික ප්රමාණයක් ලියා මුද්රණය කරවා නොමිළයේ බෙදා හරින්නට හැකි විය. මේ පත්රිකා පිළිවෙලින් මුද්රණය කරවා බෙදා හරින්නට සී. ටී. පෙරේරා මහත්මා දැරූ උත්සාහයත් වියදම් කළ ප්රමාණයත් බොහෝය. මේ ධර්ම දානමය පුණ්ය කර්මයෙහි ඇති වැදගත් කම වටහාගත් වෙනත් සැදැහැවතුන් විසින්ද නොයෙක් වර මුදල් පරිත්යාග කිරීම් ආදියෙන් ඒ මහත්මාට අනුබල දුන් බවද සතුටින් හඳහන් කළ යුතුය. පිටු 500 කින් පමණ යුත් අවසාන පරිච්ඡේදය කොළඹ තරුණ බෞද්ධ සමිතියේ පාලක මණ්ඩලය භාර ගෙන ඒ සමිතියේ වියදමින් මුද්රණය කරවා දීම මේ සත් කෘත්යයට විශේෂ රුකුලක් විය.
වර්ෂ 1959 දී ආරම්භ කළ “පරමාර්ථ ධර්ම පත්රිකා” සියල්ල මුද්රණය කිරීමත් බෙදා හැරීමත් පුරා අවුරුදු සතරක් මුළුල්ලේම සිදු විය. එක් වරකට මුද්රණය කළ හැකි වූයේ පත්රිකා සීමා සහිත ප්රමාණයක් බැවින් පසුව මේ ධර්මය උගන්නට අදහස් කළ පින්වතුන්හට මුල් පරිච්ඡේද ලබා ගැනීමට නොහැකි වූයෙන් නැවතත් මුද්රණය කරවා දෙන ලෙස නොයෙක් පළාත්වලින් ආරාධනා ලදිමි. එහෙයිනි මේ පොත මෙසේ මුද්රණය කරන්නට සිදු වූයේ.
අභිධර්මාර්ථ සංග්රහය අනුව යමින් එහි එන ධර්මයන් පිළිබඳ විස්තර විවරණයක් මෙහි ඇතුළත් කළ හෙයින් මේ පොතට “අභිධර්මාර්ථ ප්රදීපිකා” යන නම යෙදුවෙමි. අභිධර්මාර්ථ සංග්රහ පාලියත්, එහි භාවයත් ඒ ඒ පරිච්ඡේද වලට මුලින් යොදා ඇත. කාණ්ඩ සතරක් හැටියට පළ වන මේ ග්රන්ථයෙහි පළමු කාණ්ඩයෙහි චිත්ත සංග්රහවිභාග නම් වූ ප්රථම පරිච්ඡේදය ද, චෛතසික සංග්රහ විභාග නම් වූ ද්විතීය පරිච්ඡේදය ද, ප්රකීර්ණක සංග්රහ විභාග නම් වූ තෘතීය පරිච්ඡේදයද, වීථි සංග්රහ විභාග නම් වූ චතුර්ථ පරිච්ඡේදය ද, වීථිමුක්ත සංග්රහ විභාග නම් වූ පඤ්චම පරිච්ඡේදය ද, ඇතුළත් වේ. දෙවන කාණ්ඩයෙහි රූප සංග්රහ විභාග නම් වූ ෂෂ්ඨ පරිච්ඡේදය, සහ සමුච්චය සංග්රහ විභාග නම් වූ සප්තම පරිච්ඡේදය ද, තුන්වන කාණ්ඩයෙහි ප්රත්යය සංග්රහ විභාග නම් වූ අෂ්ටම පරිච්ඡේදය ද, සතරවන කාණ්ඩයෙහි කර්මස්ථාන විභාග නම් වූ නවවන පරිච්ඡේදයද ඇතුළත් වේ.
මේ පොත ලිවීමේදී විශුද්ධි මාර්ගය, අත්ථසාලිනී නම් වූ ධම්මසංගණී අටුවාව, සම්මෝහවිනෝදනී නම් වූ විභංග අටුවාව ආදී අභිධර්මග්රන්ථ උපයෝගී කරගත් බව සඳහන් කරනු කැමැත්තෙමු.
විශේෂයෙන් පාලි භාෂාවෙහි වැඩි දැනීමක් නැති පින්වතුන්ගේ ප්රයෝජනය සලකා මේ ධර්ම විවරණය හැකිතාක් ලිහිල් බසින් ලියා ඇති බවත් පෙළ අටුවාවන්හි එන පාලි පාඨ මෙහි නොයෙදූ බවත් සලකනු මැනවි.
මේ පොත හදාරන භවතුනට අභිධර්මය පිළිබඳ යම් කිසි දැනීමක් ඇති කර ගත හැකි වූයේ නම් එයම අපගේ වෑයමෙහි ප්රතිඵලයක් හැටියට සලකමි.
මෙබඳු ග්රන්ථයක් ලියන්නට තරම් අවශ්ය මූලික ශාස්ත්ර ඥානයත්, ධර්ම ඥානයත් ජීවිතයේ මුල් අවධියේ ම මට ලබා දුන් මා ගුරුදෙවි දන්තගෙදර සිරි සරණපාල මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ සහ ධර්ම සාකච්ඡාදියෙන් මට පිහිට වූ පැළෑණේ සිරි වජිරඤාණ මහා නායක ස්වාමීන්ද්රයන් වහන්සේත් නමස්කාර පූර්ව කෘතඥතාවයෙන් සිහි කොට පින් දෙමි. එසේ ම නැසීගිය මා දෙමාපිය ගුරුවරාදීන්ටද මෙහි පින් අනුමෝදන් කරමි.
පෙර වදනක් ලියා දෙමින් මට අනුග්රහ කළ වජිරාරාමවාසී පියදස්සී හිමිපාණන්ට ද, සෝදුපත් බලා දුන් පින්වතුන්ට හා ප්රකාශක භවතුන්ට ද කෘතඥ වෙමි.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
අමරදාස රත්නපාල.
අමරදාස රත්නපාල.