පාලිවාක්‍ය විවේචනය.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1933
- මුද්‍රිත වර්ෂය :
- 1933
- පිටු ගණන :
- 108
- බාගත කිරීම් ගණන :
- 1,649
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 35 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාලිවාක්යවිවේචනය යනු අග්ගාරාමාධිපති අතිපූජ්‍ය පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් පාලි භාෂාව ඉගෙනගන්නා ආධුනිකයන්ගේ හා ප්‍රාචීන විභාග අපේක්ෂකයන්ගේ වාක්‍ය රචනා සහ වාක්‍ය විච්ඡේද ඥානය දියුණු කිරීම උදෙසා සම්පාදනය කරන ලද අගනා ව්‍යාකරණ ග්රන්ථයකි.
පාලි භාෂාවතරණය වැනි කෘතිවලින් වාක්‍ය රචනය පිළිබඳ පූර්ණ විස්තරයක් නොලැබෙන අඩුව පිරවීම සඳහාත්, ඉංග්‍රීසි වාක්‍ය විච්ඡේද (sentence analysis) ක්‍රමය ආශ්‍රය කරගනිමින් පාලි භාෂාවට උචිත පරිදි වාක්‍ය විග්රහ කරන අයුරු ශිෂ්‍යයන්ට හුරු කිරීම සඳහාත් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මීට අමතරව ලේඛන සම්පාදනය, භාෂා පරිවර්තනය හා පාලි භාෂා රීතීන් පිළිබඳ විශේෂ කරුණු රාශියක් ද මෙහි අන්තර්ගත වේ.
මෙම කෘතිය 1933 වසරේදී අම්බලන්ගොඩ පොල්වත්තේ ඩී. ඩැනියෙල් සිල්වා මහතාගේ ප්රකාශනයක් වශයෙන් කොළඹ ශ්රීභාරතී යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ඇත.
විඥප්තිය.
පාලි ඉගෙන ගන්නා ආධුනිකයන්හට පාලිභාෂාවතරණයේ කොටස් තුනෙන් ලැබීතිබෙන උපකාරය ඉතා වැදගත් බැව් දැනගන්ට තිබේ. එහෙත් වාක්‍යරචනාව ගැන වැඩි විස්තරයක් ඒ පොත්වල ඇතුළත්ව නැත. ඒ පාඩුව පිරිමැසීම සඳහා අප විසින් වාක්‍ය සම්පාදනය ගැනම කරුණු දක්වන මේ “පාලිවාක්යවිවේචනය” සම්පාදනය කරන ලදී.
ප්රාචීනභාෂොපකාරසමිතියේ පරීක්ෂණවලට පෙනී සිටින ශිෂ්‍යයන් බොහෝසේ පාලිවාක්යරචනාවෙන් අසමර්ථවන බව අසන්ට ලැබේ. ඊට හේතුව නම් අපේ ප්රාචීනවිද්යාස්ථානයන්හි වාක්‍යරචනාව විශේෂාංගයක් ලෙස නොඉගැන්වීමයි. එය ඉගැන්වීමේ පිළිවෙළ දක්වන පොත්ද අපට නැත්තාහ. පොතක් නැතිකල්හි සොයා බැලීමෙන් ක්‍රමයක් උපදවා ශිෂ්‍යයන්ට ඉගැන්වීමත් ඒ ඒ ආචාර්ය්යවරුන්ට පහසු නොවේ. මේ කරුණු සලකූ අප විසින් වාක්‍යවිභාග - වාක්යවිච්ඡෙදාදිය දක්වන මේ පොත මඟක් වේවායි සිතා සම්පාදිතයි.
වාක්‍යයක් නියමලෙස විභාගකොට බැලීමෙන්ම එහි අන්‍යාර්ථය තේරුම්ගතහැකි වන්නේය. එසේ විච්ඡෙද කරන්ට හෙවත් ඒ ඒ කොටස්වලට බෙදන්ට අසමර්ථවනකල එහි යථාර්ථය තේරුම්ගැනීමද අපහසුවේ. නිවරදිලෙස වාක්යවිච්ඡෙදය කිරීමට උගත්හු විසින් ව්‍යාකරණයට විරුද්ධ නොවනසේ වාක්‍යයන් ගැළපීමද හැක්කේ වේ. පාලිවාක්යවිච්ඡෙදය ඉගැන්වීමට පොතක් මින්පෙර නොතිබුණේය. එබැවින් ඉංග්රීසිවාක්ය විච්ඡෙද ක්රමයද ආශ්‍රය කොට පාලියට ගැලපෙන නාමාදිය යොදමින් අපවිසින් මෙය අලුතෙන් නිපදවන ලදී.
තවද ලෙඛනසම්පාදනය හා භාෂාපරිවර්තනය සඳහා කුඩා කථාවන් “පාලිභාෂාවතරණ” තුන්වෙනි පොතේ ඇතුළත් කරන්ට නොහැකිවූ බැවින් ඒ දෙකද මේ පාලිවාක්යවිවෙචනයෙහි ඇතුළත් කෙළෙමු. ඒ දෙකොටසේත් වාක්‍යරචනාව හා සම්බන්ධකම් ඇත්තේමය. එබැවින් මින් මත්තෙහි පාලිවාක්යරචනාවෙහි දක්‍ෂවනු කැමැත්තන් පාලිභාෂාවතරණයත් පාලිවාක්යවිවෙචනයත් පරිශීලනය කළහොත් ස්වාභිප්රාය මුදුන් පමුණුවාගතහැකි බව සිහි තබාගත යුතුයි.
මෙහි අන්තයේ තිබෙන උපග්‍රන්ථයෙන් පාලිභාෂාවේ රීති ස්වල්පයක්ද ඒ ඒ තැනට යෙදිය යුතු ක්රියාපදාදියෙන් ස්වල්පයක්ද දැක්වීමු. සිංහල භාෂා රීතීන් අනුව පාලි වාක්‍යයන් සම්පාදනය කිරීමෙන් වරදට අසුවන ශිෂ්‍යයන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වේයයි සිතමු. මෙය වනාහි එවැනි දේ පාලිභාෂාවෙහි ඇතැයි ලෝකයාට දැක්වීම සඳහා බිංදුමාත්‍රයක් ගෙනහැර පෑමකි. භාෂාරීති ගැනම ලියතොත් පිටු සියගණනක ග්රන්ථයක් සම්පාදනය කළ හැක. එසේ වෙන්වශයෙන් පොත්ලිවීමට තවම කාලය නොපැමිණියේය. එතරම් ශාස්ත්‍ර රසිකයන් ලක්දිව නැතිබැවිනි. අනාගතයෙහි යම්කිසි උගතකු විසින් භාෂාරීති සම්බන්ධයෙන් එක් පොතක්ද ගැටලු අප්‍රකට පදයන්ගේ අර්ථ පැහැදිලි කිරීම් වශයෙන් එක් ග්රන්ථපදයක්ද සම්පාදනය කිරීමට අවකාශ ඇත්තේය. අපවිසින් ඊට මග පෙන්වන ලදී.
අලුතෙන් යමක් නිපදවීමේදී අඩුපාඩු ඇතිවීම ස්වභාව ධර්මයකි. එබැවින් මෙහි කිසියම් දොෂයක් හෝ අඩුපාඩුවක් දක්නට ලැබුණිනම් කරුණාධ්‍යාශයෙන් එය අපවෙත දන්වන මෙන් ශාස්ත්‍ර ප්‍රවීණයන්ගෙන් ඉල්ලා සිටිමු.
මීට
පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර,
අම්බලන්ගොඩ අග්ගාරාමයේදීය.
5-5-1933.