අභිධර්මාර්ත්ථ සංග්‍රහයෙහි ස්වරූප - සීලවතී පීරිස්.pdf

කතෘ :
සීලවතී පීරිස්
ප්‍රකාශිත වර්ෂය :
1996
මුද්‍රිත වර්ෂය :
1996
පිටු ගණන :
354
බාගත කිරීම් ගණන :
1,738
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
19 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 178

අභිධර්මාර්ත්ථ සංග්‍රහයෙහි ස්වරූප යනු අනුරුද්ධ මහාථෙරයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්මාර්ථ සංග්‍රහය පදනම් කරගනිමින්, අභිධර්ම විෂයයෙහි මූලික කරුණු සහ පරමාර්ථ ධර්මයන්හි ස්වරූපය සවිස්තරව පැහැදිලි කෙරෙන ග්‍රන්ථයකි. මෙය නුගේගොඩ බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමයේ සභාපතිනිය වූ ත්‍රිපිටකාචාර්‍ය්‍ය සීලවතී පීරිස් මහත්මිය විසින් සම්පාදනය කරන ලද්දකි.

මෙම කෘතිය සම්පාදිකාව විසින් පවත්වන ලද ධර්ම පන්තිවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට අභිධර්ම පාඩම් පහසුවෙන් වටහා ගැනීම පිණිස සම්පාදනය කරන ලද අතර, කොළඹ පධාන සර මහා විහාරාධිපති පරවාහැර පඤ්ඤානන්ද නායක මහා ථේරයන් වහන්සේගේ පෙරවදනක් ද ඊට ඇතුළත් වේ. බුද්ධ වර්ෂ 2540 (ක්‍රි.ව. 1996) දී බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමය මගින් මෙය මුද්‍රණය කරවා ඇත.

ග්‍රන්ථයෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතර පහත කරුණු වෙයි:

  • අභිධර්මාර්ථ සංග්‍රහ පාලිය සහ පරමාර්ථ ධර්මයන්ගේ ස්වරූප (චිත්ත, චෛතසික, රූප, නිර්වාණ)
  • කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර සිත් විවරණය
  • චෛතසික පරමාර්ථ, සම්ප්‍රයෝග සහ සංග්‍රහ නය
  • ප්‍රකීර්ණක සංග්‍රහය (වේදනා, හේතු, කෘත්‍ය, ද්වාර, ආරම්මණ, වස්තු)
  • චිත්ත වීථි සහ වීථිමුක්ත සංග්‍රහය (කර්ම, පටිසන්ධි ආදිය)
  • රූප සංග්‍රහය, සමුච්චය සංග්‍රහය සහ කර්මස්ථාන කාණ්ඩය (භාවනා ක්‍රම)

පෙරවදන

වන වළා (විනය පිටකය), සුතන්වළා (සුත්තන්ත පිටක) විජම් වළා (අභිධම්ම පිටක) යි සම්පූර්ණ සම්බුද්ධ දේශනා ධර්මය තෙවැදෑරුම් වෙයි. විශේෂයෙන් මහණ මෙහෙණ දෙපිරිස විසින් නිර්වාණාධිගමය පිණිස දිවිහිමියෙන් රැක්ක මනා පර්යාය මුඛයෙන් ගැන බලත්ම සිකපද නවකෙළ දහස් එකසිය අසූකෝටි පණස් ලක්ෂ සතිසෙයකින් පරිමිත වූ උපසම්පදා ශීලය විනය පිටකයෙහි සවිස්තරව වර්ණිත වෙයි.

විනය පිටකාගත චතුපාරිශුද්ධි ශීලය පැවිදි පරපුරෙහි ප්‍රායෝගිකව පවත්නාතෙක් බුද්ධ ශාසනය ලෝකයෙහි චිරස්ථිතියි වන්නේය. “විනයො නාම සාසනස්සායු”,

විනය නම් සම්බුදුසසුනේ ආයුසයි, පැවැසුනේ එහෙයිනි”, ආණාදෙසනා නමිනුදු පැවැසෙන විනය පිටකය පරියත්ති සාසනයේ මුලභාගය වෙයි. එය සදෙව් ලෝවැසියනට සීල සම්පදාව මොනවට විදහා පාන්නේය. සම්බුදු පිරිනිවණින් පසු පැවැත්වුණු ප්‍රථම ධර්ම සංගායනාවෙහි දී විනය ධර ගණයේ ප්‍රමුඛස්ථානය දැරුවාහු ශාක්‍යවංශික මහරහත් උපාලි මහ තෙරපාණෝය.

පරියත්ති සාසනයේ දෙවන භාග වන සුත්තන්ත පිටකය සුතන්වළා නමින් පිරිසිදු හෙළ බසින් හැඳිනේ. සෞත්‍රාන්තික ධර්මධර මහතෙර ගණයේ නායකත්වය දැරුවෝ ධර්ම භාණ්ඩාගාරික ශාක්‍යවංශික මහරහත් ආනන්ද මහ තෙරපාණෝය. ප්‍රථම ධර්ම සංගීතියෙහි දී සූත්‍රපිටකයට අයත් ධර්ම කථා සියල්ල මහා සංඝ සම්මේලනයට ඉදිරිපත්කළෝ ආනන්ද මාහිමිපාණෝය. උන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් සංගායනාවට ඉදිරිපත් කරන ලද සූත්‍ර දේශනා සියල්ල සුත්තන්ත පිටකයෙහිලා සම්මත විය. විනය පිටකය සීල විසුද්ධියට උපදේශ දෙන අතර සූත්‍ර පිටකය චිත්ත විසුද්ධියට මං පාදයි.

සම්බුද්ධ ධරමාන කාලයෙහි සිට ධම්ම සේනාධිපති සාරිපුත්ත අගසවු මහරහතන් වහන්සේ ආභිධම්මික මහාථෙර ගණයේ නායකත්වය ඉසුලූහ. මහා මොග්ගල්ලාන, මහා කොට්ඨිත, මහා කච්චාන, අනුරුද්ධ, ආදී මහරහතන් වහන්සේ ආභිධම්මික භික්ෂූන්ගේ ගණ නායක වූහ. උන් වහන්සේලාගෙන් ප්‍රථම ධම්ම සංගායනා සම්මේලනයට කායසාක්ෂී වූ ආභිධම්මික මහ තෙරුන් අතර ප්‍රධාන වූවාහු ශාක්‍ය වංශික අනුරුද්ධ මහරහත් හිමිපාණෝ ය. උන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍යයෝ අභිධර්ම පිටකය පවත්වාගෙන ආහ. විජම්වළා නම් වූ ආභිධර්ම පිටකය දිට්ඨි විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාණ දස්සන විසුද්ධි, පටිපදා ඥාණ දස්සන විසුද්ධි, ඥාණ දස්සන විසුද්ධි, යන පඤ්චවිධ මහා විසුද්ධිය උපද වන්නේ පඤ්ඤා භාවනාවයි. පඤ්ඤා භාවනාවට මංපාදන්නේ අභිධම්ම පිටකයයි. මෙසේ අභිධම්ම පිටකයෙන් බැහැරි ප්‍රඥා භාවනාවක් නොමැත. මෙසේ ත්‍රිපිටක ධර්මය අනුපිළිවෙලින් සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂා දෙයි. එයින් අනුත්තර විමුක්ති ලාභය ලැබෙන්නේය. මෙසේ ත්‍රිවිධ වූ පරියත්ති සාසනය හෙවත් තෙවළා දහම සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිවිධ පටිපත්ති සාසනය විදහා පෙන්වයි. ත්‍රිශික්ෂා පූරණයෙන් ‘සතර මග’ සතර ඵල නිබ්බාණ යන නව ලෝකෝත්තර ධර්ම වන පටිවෙධ සාසනය සාක්ෂාත් කෘත වන්නේය. තිසරණ ගමන සහිත දාන, සීල, භාවනා යනුවෙන් ත්‍රිවිධ වූ හෝ දශවිධ පුණ්‍යක්‍රියා ගිහි සාමීචි පටිපදාව, වන අතර තිසරණ ගමන සහිත සීල සමාධි පඤ්ඤා යන ත්‍රිශික්ෂා සමණ සාමීචි පටිපද වන්නේය. මේ දෙපිළිවෙත පුරණ කවරෙකු විසින්දු නිර්වාණාධිගම පිණිස අභිධර්ම නමින් එන පරමාර්ථ ධර්ම ඥාණය ලදමනාම වෙයි. දුක්ඛ, සමුදය, නිරොධ, මග්ග යන සිවුසස් දහම් විෂයයෙහි පිරිවැටුණු තුනෙකින් ද ද්වාදසාකාරයෙකින් ද සැදුම්ලත් යථාභූතඥානදස්සනය සුවිශුද්ධ වූ විටම ‘අනුත්තර සම්මා සම්බොධි නම් සබ්බඤ්ඤුත ඥානය පහළ වන්නේය. දමසක් පැවැතුම් සූතුරෙහි එන චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යන තන්හි චක්ඛු වන්නේ ධම්ම චක්ඛු, නම් වූ ප්‍රථම ලෝකෝත්තර මාර්ග ඵල යුගලය වන සොතාපත්ති ඥාණ දෙක ගැනේ. ඥාණං උදපාදි යන්නෙන් දෙවන ලොවුතුරු නැණ යුවල වූ සකෘදාගාමී ‘ඥාණ චක්ඛු’ පැවැසෙයි. පඤ්ඤා උදපාදි යන්නෙන් ඕරම්භාගීය සංයෝජන ධර්ම පස ප්‍රහීන වීමත් සමඟ පහළ වන තෙවන ලොවුතුරු මග ඵල නුවණ කියවෙයි. එය ‘පඤ්ඤා චක්ඛු” නමිනුදු පහළ වේ. විජ්ජා උදපාදි යන්නෙන් දෙසන ලදුයේ සතර වන ලොකෝත්තර මාර්ග ඵලඥාණ දෙක වූ අරහත්ත මග්ග–ඵල නැමති විද්‍යා චක්ෂුෂයි. එය ලැබෙනුයේ උද්ධම්භාගීය සංයෝජන ධර්ම පඤ්චකයේ අශේෂ විරාග නිරෝධයෙනි. පස්වන ආලොකො උදපාදි ‘පැහැ වූ උපන’ යනුවෙන් පැවැසුනේ අර්හත් ඵල විමොක්ෂයාගේ අන්තයෙහි උපදනා අනුත්තර සම්මා සම්බොධි ඥාණ නැමැති බුද්ධ ඥාණයයි. ඒ ඒ සැවැදෑරුම් වෙයි. ඉන්ද්‍රිය පරොපරියත්ති ඥාණ, ආසයානුසය ඥාණ, යමකපාටිහීර ඥාණ, මහා කරුණාසමාපත්ති ඥාණ, සබ්බඤ්ඤුත ඥාණ, අනාවරණ ඥාණ, යනුවෙනි. මේ සය සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේටම ආවේණික අසාධාරණ බුද්ධ ඥාණයයි. බුද්ධ චක්ඛු නම් ද වේ. ධම්ම චක්ක පවත්තන සූත්‍රයෙහි එන චක්ඛු, ඥාණ, පඤ්ඤා, විජ්ජා, ආලොක යන වචන පසින් ධම්ම චක්ඛු (–සොතාපත්ති මග්ග–ඵල), ඥාණ චක්ඛු (–සකදාගාමි මාර්ගඵල), පඤ්ඤාචක්ඛු (–අනාගාමී මග්ග ඵල), විජ්ජා චක්ඛු (–රහත් මග්ග ඵල), බුද්ධ චක්ඛු (–ෂඩ් අසාධාරණ ඥාණ) පසැස් නුවණ ගැනේ. ඒ පසැසින් යුක්ත වන හෙයින් සර්වඥ තථාගතයන් වහන්සේ චක්ඛුමා වන සේක. නිද්දෙස පාලියෙහි එන පරිදි බුදුරජාණන් වහන්සේ මාංස චක්ඛු, දිබ්බ චක්ඛු, පඤ්ඤා චක්ඛු, බුද්ධ චක්ඛු, සමන්ත චක්ඛු, යන නැණ පසින් යුක්ත වන හෙයින් චක්ඛුමා වන සේක. සමන්ත චක්ඛු (සමතැස් නුවණ) යනුවෙන් සබ්බඤ්ඤුත ඥානය පැවැසේ. ‘‘ආලොකො උදපාදි’’ යන්නෙන් බුද්ධ චක්ඛු, සමන්ත චක්ඛු යන ෂඩ් අසාධාරණ ඥාණය තමන් වහන්සේ තුල උපනැයි වදාළ සේක. සිද්ධාර්ථ ගෞතම මහා බෝධිසත්වයන් වහන්සේ විසින් සමතිස් පෙරුම් දම් බෙලෙන් පඤ්ච මාරබල බිඳලමින් බෝධිද්‍රුම මූලයෙහි දී අනුත්තර සම්‍යක් සම්බොධි නැමැති ප්‍රඥාලෝකය ලද හෙයින් ම ලොවට තෙවළා දහම පහළ විය.

විනය පිටකය විනය ධර මහ රහතන් අතර අග්‍ර ස්ථානය ගත් උපාලි මහරහතන් වහන්සේගේ මාර්ග දේශකත්වය යටතේ ප්‍රථම ධර්ම සංගීති මහා සම්මේලනය යුගයේ පටන් අද තෙක් මහා සංඝයා වහන්සේ අතර උද්ග්‍රහණ ධාරණා දී වශයෙන් පැවැතෙයි. බහුශ්‍රැත සියලු මහා සංඝයා අතර අග්‍රතැන් පත් ආනන්ද මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව විසින් පඤ්චමහා නිකායාන්තර්ගත සූත්‍ර පිටකය උද්ග්‍රහණ ධාරණ වාචනා මාර්ගයෙන් පවත්වාගෙන එනු ලබයි. තථාගත සර්වඥයන් වහන්සේ ගේ දකුණත් සවු ධර්ම සේනාපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ගණනායකත්වයෙන් ආභිධම්මික මහා ථෙර පරම්පරාව විසින් අභිධර්ම පිටකය අද තෙක් උද්ග්‍රහණ ධාරණ වාචනා මාර්ගයෙන් පවත්වාගණ එනු ලබයි.

ත්‍රිපිටකයෙහි එන ධර්ම සියල්ලම සංගායනාවට නිසි වන පරිද්දෙන් විනය, සුත්ත, අභිධම්ම නමින් තෙ කොටසකට බෙදුනේ ප්‍රථම, ද්විතීය, තෘතීය ධර්මසංගායනා සම්මේලනයන්හි දීය. විනය පිටකයේ පාරාජිකා පාලි ආදි නමින් කාණ්ඩ පසකි. සූත්‍රාන්ත පිටකය, නිකාය හෝ ආගම නාමයෙන් දීඝනිකාය හෝ දීඝාගම යනුවෙන් පඤ්ච මහා නිකායයෙක. අභිධම්ම පිටකයෙහි පකරණ නාමයෙන් කාණ්ඩ සතෙකි. මෙසේ සතලොස් කාණ්ඩයෙකින් පිරිපුන් පිටකත්‍රය ධර්මය වාචනාමාර්ගයෙන් පවත්වාගන එන භාණකයෝ වූහ.

අභිධම්ම භාණක, සුත්තන්තික, විනය ධර, දීඝ භාණක, මජ්ඣිම භාණක, අංගුත්තර භාණක, ජාතක භාණක, ධම්මපද භාණක, පරිත්ත භාණක, ආදී නමින් ඔහු හැඳින්වූහ. භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා, යන සිව් වණක් පිරිස්හි ධර්ම විනය සංස්ථාපනයට යුගයෙන් යුගයෙහි පහළ වූ ථෙරීය නිකායට අයත් ගණාචාර්ය්‍යයෝ තුන් පිටකය අළලමින් පොත් ලියූහ.

සිරිලක් දිවහි සම්බුදු සසුන පිහිටියේ ක්‍රිස්තු පූර්ව තෙවන සිය වසෙහි ය. එතැන් සිට සිංහළ බෞද්ධයෝ තෙවළා දහම ඉගෙනීමෙහි උත්සුක වූහ. හෙළ බොදු මහ රජ දරුවෝ විශේෂයෙන් හෙල බොදු වැස්සන් අතර විජම්බණ ඉගෙනීමට අභිධර්ම ග්‍රන්ථ ලියවා මගුලැතුන් පිට තබා නගර ප්‍රදක්ෂිණ කරවූහ. විනය ධර, ධර්ම ධර, භික්ෂූන්ට සිවුපස වැටුප්දීම පවා කරවූහ. තෙවළා දහම අළලමින් පොත් ලියූ වහන්දෑට ගම්වර පිදූහ. මහා විහාර වංශික අනුරුද්ධ ස්වාමීහු අභිධර්ම පිටකයට අයිති සප්ත ප්‍රකරණය හකුළුවා ආධුනිකයන්ගේ දැනුම පිණිස අභිධම්මත්ථ සංගහ නැමැති අනගි විජම් බණ පොත මාගධි භාෂාවෙන් ලියූහ. අභිධම්ම ඥානය ගිහි පැවිදි, දෙපිරිස අතරෙහි පැතිරවීමට මේ පොත මහෝපකාරී විය. අභිධම්මත්ථ සංග්‍රහය වටා පසු කාලයෙහි බොහෝ ටීකා, සන්න ආදී මෙරටෙහි පමණක් නොව බුරුම, සියම්, කාම්බෝජය, ආදි ථෙරවාදී බෞද්ධ දෙශයන්හි ලියැවුනහ. මේ සිය වසෙහි සිංහල ද්වීපයෙහි විශේෂයෙන් ඇරඹුණු දහම් පාසල් අධ්‍යාපනය නිසා අභිධර්ම ඥානය ගිහි උවසු උවැසියන් අතර ජනප්‍රිය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ සැදැහැ–නැණ සපන් ගිහි බැතිමත්හු ද අභිධර්මයෙහි විසාරද වූහ.

අනුරාධපුර මහා විහාර වංශික භදන්ත අනුරුද්ධ ස්වාමීන් දේවයන් විසින් ගැදි පැදි දෙබසින් මුසු වූ මාගධ භාෂාවෙන් ලියන ලද අභිධම්මත්ථ සංගහප්පකරණය චිත්ත සංගහ විභාග, චෙතසික සංගහ විභාග, පකිණ්ණක සංගහ විභාග, වීථි සංග්‍රහ විභාග, වීථි මුක්ත සංගහ විභාග, රූපසංගහ විභාග, සමුච්චය සංගහ විභාග, පච්චය සංගහ විභාග, කම්මට්ඨානාවසාන සංගහ විභාග, යන පරිච්ඡේද නවයකින් යුක්ත වෙයි.

සප්ත ප්‍රකරණයෙහිත් අභිධර්මාර්ථ සංග්‍රහයෙහිත් පුළුල් දැනුමැති ගිහි පැවිදි වියතුන් ඇසුරු කරමින් හොඳින් විජම් බණ දහම් උගත් නුගේගොඩ අංක 16 දරණ දුම්රිය පොල පටුමගෙහි පිහිටි බෞද්ධ කල්‍යාණමිත්‍ර සංගමයේ සභාපතිනිය වන සීලවතී පීරිස් මහොපාසිකාව විසින් ලියා පළකරවන ලද අභිධර්මාර්ථ සංග්‍රහ ස්වරූප නැමැති ග්‍රන්ථයේ පරිච්ඡේද කීපයක් කියවා බැලීමට අවස්ථාව මට ද ලැබිනි. මේ පොතේ සම්පාදිකා සීලවතී පීරිස් උපාසිකා මාතාව චිත්ත, චෙතසික, රූප, නිබ්බාණ, යන සිවු පරමාරුත් විෂයෙහි තමා තුළැ පිහිටි සුගැඹුරු පුළුල් දැනුම මොනවට පිළිබිඹු කොට ඇති බව හැමට පළමු සුපහන් සිතින් පවසමි. විෂය මාතෘකාවන් ග්‍රන්ථ කරණ සැටියත් පිළිබඳ වියත් ගිහි පින්වතෙකු හෝ පැවිදි උතුමෙකු ලවා පොතේ අත්පිට පතත් මුද්‍රණයෙහි දී ශොධ්‍ය පත්‍රත් බලා සකස් කරවා ගත්තා නම් මිනිය නොහැකි වටිනාකමකි. දෙවන මුද්‍රණයෙහි දී ඒ ඉටු වේවා. පර්ය්‍යාප්ති ධර්මය ඉගෙනීමට දෙසීමට භාෂා ශෛලියත් මුද්‍රණ දෝෂත් නොතකා හුදෙක් අභිධර්මය පිළිබඳ දැනුම වඩවා ගැනුමට මේ පොත මහ පිටුවහළෙකැයි ඉඳුරා පවසමි. සයවන දසකයෙහි වෙසෙමින්දුත් අභිධර්මය බඳු සුගැඹුරු විෂය මාතෘකාවක් යටතේ අභිධර්ම මාතිකා, අභිධර්මාර්ථ සංග්‍රහ පාලිය බඳු දහම් පොත් ලියා පළකරවීමෙහි තත්පරව වෙසෙන සීලවතී පීරිස් උපාසිකා මාතාව දුර්ලභ ගණයෙහි ලා ගැනෙන සිංහල මහොපාසිකාවකැයි කීම දොසක් නොවන්නේය.

තයෙ දෘශං කතං මහාපුණ්‍යං හොතු නිබ්බාණස්ස පච්චයො

පරවාහැර පඤ්ඤානන්ද
නායක මහා ථෙර

පධාන සර මහා විහාර
174 සිරිවජිරඥාන මාවත,
කොළඹ 9.

පොත ගැන

අභිධර්මාර්ථ පිළිබඳ ස්වරූප ධර්ම ස්වල්පයක් පිළියෙළ කලේ පොතක් වශයෙන් පලකිරීමේ අදහසකින් නොවේ. අපේ පංති වල ඉගෙන ගන්නා පින්වතුන්ට එදිනෙදා ඉගෙන ගන්නා පාඩම් ගැන නැවත බලා ගැනීමට උපකාරයක් වශයෙන් බලාගන්නට දීම සඳහා ය. මා අසනීපව සිටිය දී අප සමිතියේ පින්වතුන් කීප දෙනෙක් විසින් එය අච්චු ගැසීමට භාර දීමෙන් පොතක් වශයෙන් පළ විය. මෙහි අවසාන කොටස් තුන ද බෞද්ධ කල්‍යාණ මිත්‍ර සමිතියේ ගිහි අනුශාසක තුමාගේ ඕනෑකම නිසා යන්තමින් පිළියෙල විය. මෙහි අඩුපාඩු කොතෙකුත් ඇත. ඒ ගැන නොසිතා ධර්ම කාරණය තේරුම් කර ගන්නා ලෙස කරුණාවෙන් මතක් කරමි.

අභිධර්මාර්ථ සංග්‍රහයට අර්ථ ලියා සකස් කරන ලද වටිනා පොතක් අපගේ ද ආචාර්යයන් වහන්සේ වන දෙමටගොඩ මහවිසුද්ධාරාමාධිපති ත්‍රිපිටක විද්‍යාලයාධිපති වූද ස්වේජින් නිකායේ මහානායක වූද අති පූජ්‍ය දෙවිනුවර ඥානාවාස මාහිමි පාණෝ විසින් බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ පින්වත් මහතුන්ගේ ආරාධනාව පිළිගෙන “අභිධර්ම” නමැති ඉතා වටිනා පොතක් පිළියෙල කර තිබුණි. ගිහි පැවිදි සියලු දෙනාම එය ඉතා ගෞරවයෙන් භාවිත කළෙමු. ඒ පොත දැන් සොයා ගත නොහැක. ඒ බලවත් පාඩුවකි. නැවත ඒ පොත පළකරන්නේ නම් අභිධර්මය ඉගෙන ගන්නා සියලු දෙනාටමත් අභිධර්මයටත් කරන විශාල උපකාරයක් විය යුතුය. විශාල සැලකීමකි. ඉතා උතුම් වටිනා පින්කමකි.

අභිධර්මයෙන් නාම රූප ධර්ම දෙක යයි සම්මත සත්ව ප්‍රඥප්තිය පිළිබඳ දැනුම ලබාගෙන විදර්ශනා භාවනා කර ප්‍රතිවේධය ලබාගැනීමයි. මෙහි ස්කන්ධ ආයතන ධාතු වශයෙන් බෙදා දක්වා ඇති ධර්ම පුඤ්ජය නම් වූ සත්ව ප්‍රඥප්තිය කෙරෙහි ඇති මුලාව දුරුකර ගැනීමට කොටස් පසක් සේ පෙන්වා වදාල රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් පස අතුරෙන් රූප කොටස් එකක් ද නාම ධර්ම කොටස් සතරක් (4) ක් ද පෙන්වා තිබීමෙන් භාවනා කිරීමෙන් නාමය කෙරෙහි පවත්නා මුලාව දුරුවී යන්නේය. ආයතන දොළසක් දේශනා කිරීමේදී ආයතන දසය කුත් බාගයක් රූප ධර්ම පෙන්වා තිබීම විදර්ශනා භාවනා වශයෙන් බැලීමෙන් රූපය කෙරෙහි පවත්නා ආත්ම සංඥාව දුරුවී යන්නේ ය.

ධාතු කොටස් දහඅට (18) විදර්ශනා භාවනා වශයෙන් බැලීමෙන් නාම ධර්ම කොටස් හතකුත් භාගයක් ද, රූප ධර්ම කොටස් දහයකුත් කොටසක් ද වශයෙන් විදර්ශනා නුවනින් බැලීමෙන් නාම රූප දෙක කෙරෙහි ම පවත්නා ආත්ම සංඥාව දුරුවන්නේය. මුලාව දුරුවන්නේය. නාම රූප කෙරෙහි පවත්නා සත්ව සංඥාව, දුරුකරගැනීමට උපකාර වීම සඳහා ද මිථ්‍යාදෘෂ්ටිය දුරුවී යාම සඳහා ද ඉතා ගෞරවයෙන් ධර්මය ඉගෙන ගත යුතු වන්නේය. නිර්වාණාව බෝධය පිණිස උපකාර වන්නේය. ක්ලේශ ධර්ම තදංග සමුච්ඡේද ආදී වශයෙන් යටපත් කර විනාස කර නිර්වාණාවබෝධය ලබන්ට උපකාර ලබා ගන්නේය.

ප්‍රධාන සර විහාරාධිපති වූද, රුහුණු සරසවියේ කුලපති ධුරය දරන්නා වූ ද අතිපූජ්‍ය පරවාහැර පඤ්ඤානන්දභිධාන මාහිමි පාණන් වහන්සේ වෙත මේ මාගේ සුලු ලිපි ගොනුව ගෞරවයෙන් පිළිගන්වා ඊට යමක් ලියා දෙන මෙන් කරන ලද ආරාධනාව සතුටින් පිළිගෙන ඉතා වටිනා දහම් කරුණු ඇතුලත් අවවාදාන්විත අගනා ලිපියක් සපයා දීමෙන් කරන ලද ධර්ම සංග්‍රහය ඉතා ගෞරවයෙන් මෙහි පලවේ.

අපට කවදත් පින්කම්වලදී බොහෝ උපකාර ලැබී ඇති මේ නායක හිමිපාණන් වහන්සේගෙන් බැව් ඉතා සතුටින් මතක් කරමි. මීට අවුරුදු තිහකට (30) පමණ පෙර සිදුවූවකි. අපේ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් පවත්වන ත්‍රිපිටක ධර්ම පරීක්ෂණය සඳහා දුර බැහැරින් වඩිනා ස්වාමීන් වහන්සේලාට ආවාස පහසුකම් දීම අපේ පරමාර්ථ සභා ශාලාවෙන් නොලැබී ගියාට පසු සිදුවූයේ විශාල කරදරකාරි තත්ත්වයකි. ඒ අවස්ථාවේ මම බෝධි නාගොඩ මහත්මියත් සමග එහි ගොස් අපට සිදුවූ සියල්ල කියා සිටි කල්හි ඉතා කරුණාවෙන් අපට අවවාද කර අපට පැදුරු කොට්ට, පිඟන් කෝප්ප ආදී බඩු බාහිරාදිය තබා ගැනීමට සුරක්ෂිත ලොකු කාමරයක් ලබා දී ස්වාමීන් වහන්සේලාට ආවාස පහසුකම් ද සඳහා ශාලාවක් ද දන් පිළියෙල කර දීමට ශාලාවක් ද මුලුතැන් ගෙය ආදී සියලු පහසුකම් අද දක්වා ලබාදීමෙන් ද ත්‍රිපිටක විභාගයේ වැඩ කර ගැනීමට අපට සැනසීම ලබාදීමෙන් ඉතා විශාල උපකාරයක් විය. එය ඉතා ගෞරවයෙන් නැවත සිහිපත් කරමි. කලගුණ සැලකීම් වශයෙන් ගෞරවයෙන් දෙපා වැඳ අපගේ ප්‍රමාද දෝෂයකින් වරදක් වී ඇත්නම් නමස්කාර පෙරදැරිව සමාව අයැදිමි. නාහිමිපාණන් වහන්සේට රත්නත්‍රයේ ආනුභාවයෙන් සහ සමාක් දෘෂ්ටික සියලු දෙවියන්ගේ ආරක්ෂාව නිති සැලසේවා, දීර්ඝායු ශ්‍රී සම්පත් සහ නිරෝගි සැප ලැබේවා, අපගේ ගුරුවර, මව්පිය, ඥාති මිත්‍ර සියලු දෙනාටම නිවන්සුව පිණිස ද හේතුවේවා,

අප සංගමයේ සාමාජිකයින් ගෙන් ලිපි සකස් කිරීම් ආදිය සහ අවසානය දක්වා පෲෆ් බැලීම ආදියෙන් උපකාර වූ අප සංගමයේ භාණ්ඩාගාරික ඇල්. ආර්. වීරසිංහ අපගේ ඥාතිවරියට ද පින් සිදුවේවා.

මේ පොත බොහෝ උත්සාහයෙන් කීප වතාවක් කරුණු එකතු කිරීම් ආදී කරදර රාශියක් මධ්‍යයේ කර දුන් ශ්‍රීදේවි මුද්‍රණාලයාධිපති පින්වත් මහේන්ද්‍ර සේනානායක මහතා ඇතුළු සියලු භවතුන්ට අනේක වාරයක් පින් අනුමෝදන් කරවීමෙන් අපගේ ස්තුතිය සහ පින් අනුමෝදනාව පිරිනමමි. ධර්ම දානමය පුණ්‍යකර්මයේ පින නොඅඩුව ලැබේවා. නිර්වාණාවබෝධයට හේතුවේවා.

මෙයට,
බුදුසසුනේ දියුණුව පතන
සීලවතී පීරිස් උපාසිකාව.