අභිධානප්පදීපිකා හෙවත් පාලිනිඝණ්ඩු - රඹුක්වැල්ලේ විපස්සි හිමි.pdf

කතෘ :
මොග්ගල්ලාන හිමි
ප්‍රකාශිත වර්ෂය :
1997
මුද්‍රිත වර්ෂය :
1997
පිටු ගණන :
326
බාගත කිරීම් ගණන :
1,859
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
43 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 164

අභිධානප්පදීපිකා නම් වූ පාලි නිඝණ්ඩුව යනු පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජු දවස ජේතවන විහාරවාසී වූ විල්ගම්මුල මහාස්ථවිර පරපුරට අයත් මොග්ගල්ලාන මහාස්ථවිරයන් වහන්සේ විසින් විරචිත සුප්‍රසිද්ධ පාලි පද්‍ය ශබ්දකෝෂයයි. පාලි සාහිත්‍යය හා ත්‍රිපිටක ධර්මය හදාරන විද්‍යාර්ථීන්ට අත්‍යවශ්‍ය මඟපෙන්වීමක් වන මෙම කෘතිය අමර කෝෂය ආදර්ශයට ගනිමින් රචනා වූවකි.

මෙහි ඇති සංස්කරණය කොළඹ මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙණෙහි ආචාර්ය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ විපස්සී හිමියන් විසින් සිදුකරන ලද්දකි. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි ආදී වියතුන්ගේ මුද්‍රිත පිටපත් 8ක් සංසන්දනය කරමින්, පිරිවෙන් විෂය නිර්දේශයට අනුකූලව සිසුන්ට පහසුවන අයුරින් විසන්ධි පද, පර්‍ය්‍යාය ශබ්ද, පාඨාන්තර හා සිංහල-ඉංග්‍රීසි අර්ථ දැක්වීම් (අඩෝලිපි) සහිතව මෙය සකස් කර ඇත.

ග්‍රන්ථය ප්‍රධාන කාණ්ඩ තුනකින් සමන්විත වේ:

  • සග්ගකණ්ඩ
  • භූකණ්ඩ (භූමි, පුර, නර, චතුබ්බණ්ණ, අරඤ්ඤාදි, පාතාල යන වර්ග)
  • සාමඤ්ඤකණ්ඩ (විසෙස්‍යසාවීන, සංකිණ්ණ, අනෙකත්ථ, අව්‍යය යන වර්ග)

මෙම කෘතිය 1997 වර්ෂයේදී කොළඹ රත්න පොත් ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ප්‍රස්තාවනා

අභිධානප්පදීපිකා නම් වූ පාලිනිඝණ්ඩු යන නාමයෙන් හැඳින්වෙන මෙම ග්‍රන්ථය පාලි පද්‍යයෙන් රචිත පාලි ශබ්ද කෝෂයයි. මෙය මුළු ලොවෙහිම පාලි විද්වතුන් විසින් පරිශීලනය කරනු ලබන්නකි. එක් එක් සංස්කරණවල ගාථාවන්හි සංඛ්‍යාව වෙනස් වුවද අඩංගු කරුණු වල අඩුවක් දක්නට නොලැබේ. අපගේ සංස්කරණයට අනුව ගාථා සංඛ්‍යාව 1176 කි.

මෙය සග්ගකණ්ඩ, භූකණ්ඩ, සාමඤ්ඤකණ්ඩ යනුවෙන් කාණ්ඩ තුනකින් සමන්විත වන්නකි. එහි සග්ගකණ්ඩය හැර අනෙක් කාණ්ඩ දෙක වග්ග වශයෙන් යළිත් කොටස්වලට බෙදේ. භූකණ්ඩය: භූමිවග්ග, පුරවග්ග, නරවග්ග, චතුබ්බණ්ණ වග්ග, අරඤ්ඤාදි වග්ග, පාතාල වග්ග යනුවෙන් වර්ග හයකට බෙදා ඇත. සාමඤ්ඤ කණ්ඩය: විසෙස්‍යසාවීන වග්ග, සංකිණ්ණ වග්ග, අනෙකත්ථ වග්ග, අව්‍යය වග්ග යනුවෙන් වර්ග හතරකින් යුක්ත වේ.

එසේම කර්තෘ කාල සංදර්ශිත ගාථා නවයකින් මෙම ග්‍රන්ථය අවසාන වේ.

කර්තෘ සහ කාලය:- මෙය පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී (අභාවයෙන් පසු) එතුමා විසින් කරවන ලද ජේතවන නම් විහාරවාසී වූ විල්ගම්මුල (සරොගාම) පරපුරට අයත් මොග්ගල්ලාන නම් තෙරනමක් විසින් රචනා කරන ලද බැව් ග්‍රන්ථාවසානයේ එන පාලි පද්‍ය පද්ධතියෙන් පෙනේ.

එසේම පොළොන්නරු යුගයේ නිකාය සාමග්‍රිය ගැන ද එහිම සඳහන් වන බැවින් මේ රජු බු. ව. 1696 දී රජ වූ මහපැරකුම්බා රජු බවත් මෙහි කර්තෘ වන මොග්ගල්ලාන හිමි, එම නිකාය සාමග්‍රියට සම්බන්ධ වූ මොග්ගල්ලාන හිමියන්ම බවත් නිසැකය. තවද මෙම ග්‍රන්ථය රචනා කොට හමාර කරන ලද්දේ එම රජුගේ අභාවයෙන් පසුව බැව් ද “පරක්කමභූපො නාම භූපාලො ආසි” (පැරකුම් නම් රජෙක් වී) යන අතීත කාල ව්‍යවහාරයෙන් පැහැදිලි වේ.

අනුරාධපුරයේ විසූ මොග්ගල්ලාන නම් තෙරනමක් විසින් මොග්ගල්ලාන නම් පාලි ව්‍යාකරණය ලියන ලද බැව් පදසාධනයෙන් පෙනේ. පඤ්චිකාප්‍රදීපය ද එම මොග්ගල්ලාන හිමි අනුරාධපුරයේ ථූපාරාමයේ විසූ බැව් දක්වයි.

මෙම අභිධානප්පදීපිකා කර්තෘ මොග්ගල්ලාන හිමි පොළොන්නරුවේ ජේතවන විහාරයෙහි විසූ බැව් ඉහතින් දැක්වීමු. එසේම අභිධානප්පදීපිකාවේදී තමා ව්‍යාකරණ ග්‍රන්ථයක් ලියූ බැව් ද නොදක්වයි.

මෙම මොග්ගල්ලාන ව්‍යාකරණය, අභිධානප්පදීපිකාව යන ග්‍රන්ථ දෙකම මොග්ගල්ලාන යන කර්තෘ නාමය දරයි. නමුත් අනුරාධපුර, පොළොන්නරු යනුවෙන් විහාරස්ථාන දෙකක වාසය දක්වයි. එනිසා මෙම මොග්ගල්ලාන නාම දෙක එකම කතුවරයෙකුගේය යනුවෙන් සැලකීමට එය යම් බලපෑමක්ද ඇති කරයි. නමුදු එකම කතුවරයා කාල දෙකක විහාරස්ථාන දෙකකදී ග්‍රන්ථ දෙකක් රචනා කිරීමට අවකාශ නැත්තේ නොවේ.

කෙසේ නමුත් ව්‍යාකරණ ග්‍රන්ථ රචනා කළ පසු නිඝණ්ඩුවක් සැපයීමේ පහසු හැකියාවත් අවශ්‍යතාවත් සලකා මෙම ග්‍රන්ථ දෙකම නිකාය සාමග්‍රියට සම්බන්ධ වූ මොග්ගල්ලාන හිමියන් විසින්ම රචනා කරන ලද බැව් පිළිගැනීමට විචාරකයෝ මැලි නොවෙති.

තවද, මෙය රචනා කිරීමේදී සංස්කෘත අමර කෝෂය පරිශීලනය කරන්නට ඇතැයි යනු ද මතයකි.

අභිධානප්පදීපිකා සන්න:- මෙහි සිංහල සන්නයක් සහ බුරුම සන්නයක් ද ඇත. සිංහල සන්නයේ කර්තෘ සහ කාලය අවිනිශ්චිතය. මෙම සිංහල සන්නයෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් තම පඤ්චිකාප්‍රදීපය රචනා කිරීමේදී පාඨ උපුටා ගෙන ඇත.

බුරුම සන්නය 1760 දී පමණ බුරුම හංසවතී නම් නුවර විහාරස්ථාන සියයකට අධිපති, දෙවතාවක්ම රාජගුරු පදවියෙන් පිදුම් ලද ඛාඩසංඛ්‍යා නම් හිමිනමක් විසින් රචනා කරන ලද බැව් කිය වේ.

අභිධානප්පදීපිකා ටීකාව:- මෙය තම්බදීප රටෙහි සිංහපුර නම් රජසමයෙහි “පෙන්‍ය” නම් නගරවාසි “චතුරංගබල” නම් ඇමතියාගේ රචනයකි.

මෙහි දැක්වූ සිංහල සන්නය රන්දොඹුවේ මහාචෙතිය පිරිවෙන්පති තොටගමුවේ අමරපුර ගණමොක්ඛාචරිය ධම්මකිත්ති සිරි පඤ්ඤාමොලි තිස්ස මහනාහිමියන් විසින් ශුද්ධ කරන ලද්දව ක්‍රි. ව. 1895 දී මුද්‍රණය විය.

අභිධානප්පදීපිකා මුද්‍රිත ග්‍රන්ථ:- මෙම අභිධානප්පදීපිකාව ව්‍යවහාර වර්ෂ 1824 දී බෙන්ජමින් ක්ලෆ් නම් පාදලිතුමා විසින් ඉංග්‍රීසි අඩෝලිපි සහිතව සිංහල ඉංග්‍රීසි අකුරින් මුද්‍රණය කරවන ලද බැව් කිය වේ.

තවද, අභිධානප්පදීපිකාව වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන් විසින් ව්‍යවහාර වර්ෂ 1862, 1865, 1883, 1900 යන වර්ෂ වලදී කිහිප වරකම මුද්‍රණය කරවන ලදී.

තවද, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන් විසින් ද බුරුම ඉංග්‍රීසි අඩෝලිපි සහිතව බුරුම රටට වැදගත් වන අයුරින් ව්‍යවහාර වර්ෂ 1940 දී පමණ මෙය මුද්‍රණය කරවන ලදී.

තවද කර්තෘ සහ කාල පිළිබඳ සඳහන් කොටස රහිත ග්‍රන්ථයක් ද අපට හමුවිය.

අපගේ සංස්කරණය:- මෙවැනි සංස්කරණයක් ඉදිරිපත් කිරීමෙහි අරමුණ වූයේ වර්තමාන පිරිවෙන් විෂය නිර්දේශයෙහි මෙම ග්‍රන්ථය අඩංගු වුවද ඒ සඳහා ශිෂ්‍යයනට ප්‍රමාණවත් පිටපත් සපයා ගැනීමට දුෂ්කර වූ බැව් අත්දැකීමෙන්ම දත් හෙයින් එම අපහසුව දුරුකිරීමයි. එසේම මෙය මුද්‍රිත පිටපත් අටක්ම බලා අවශ්‍ය ලෙස සංස්කරණය කරන ලද බැව් නිහතමානීව සඳහන් කරමු.

දැනට මුද්‍රිත පිටපත් වල ගාථා දෙපස ඇති සිංහල ඉංග්‍රීසි අඩෝලිපි සුදුසු ලෙසත්, විසන්ධිපද සහ මෙහි ගාථාවල අඩංගු නොවන සෙසු පර්‍ය්‍යාය ශබ්ද මෙන්ම විවිධ සංස්කරණයන්ගේ ඇති වෙනස්කම්ද අවකාශ ලද අයුරින් ඒ ඒ පිටුවලම යෙදීමු. සමහර ගාථාවන්ගේ සන්නයන්ද ඒ ඒ පිටුවල යෙදීමු. සන්නය සම්පූර්ණයෙන් යෙදීම මෙහි නොකරන ලද්දේ ග්‍රන්ථය ඉතා විශාල වීමෙන් පරිශීලනය අවශ්‍යවන්නන්ට එය ලබාගැනීමේ දුෂ්කරතාවය සලකා බැලූ හෙයිනි. එසේම තේරුම් ගැනීමද එතරම් අපහසු නොවන බැවිනි.

මෙහි සිංහල අඩෝලිපියෙහි “ඔහුගේ ආයුධය” යනුවෙන් දක්වා ඇති ක්‍රමය අප විසින් නොයොදන ලදි. “ශක්‍රයාගේ ආයුධය” “වෛශ්‍රවණගේ ආයුධය” ආදි ලෙසින් යොදන ලදි. එවිට වාවෝද්ගත කළයුතු වන “ඔහුගේ ආයුධය” යනු කවරෙකුගේ ආයුධයද යන ගැටළුව මගහැරෙනු ඇතැයි සිතීමු.

ස්තුතිය:- මෙය සංස්කරණය කිරීමේදී විද්‍යොදය පිරිවෙණෙහි අප විද්‍යාර්ථීන් බොහෝ පිරිසක් දැක්වූ සහාය ඉතා අගේ කොට සලකමු. ඒ අතර විජිතපුර ගුණරතන, පාමංකඩ පඤ්ඤාසිරි, මාදොල නාලක, ඕමත්තේ සොභිත, මැදගොඩ අභයතිස්ස, ගංකේවල ධම්මානන්ද, පෝද්දිවෙල පියනන්ද, ඉද්දගොඩ සිරිවිමල, උඩුකාවේ ධම්මරතන යන ශිෂ්‍යායුෂ්මතුන් වහන්සේලා සහ එච්. ජේ. ජනක ප්‍රියන්ත අබේකුමාර මහතා යනාදීහු ප්‍රධාන වෙති. එසේම මෙය අප බලාපොරොත්තු වූ ලෙසින් ම මුද්‍රණය කළ කොළඹ 10 රත්න පොත් ප්‍රකාශන ආයතනාධිපති මල්කාන්ති ගුණරත්න මැතිනියට සහ පරිගණක අකුරු සැකසුම් කළ අතුල විශ්වනාත් මහතා ඇතුළු රත්න මුද්‍රණ ආයතනයේ කාර්ය මණ්ඩලයටද අපගේ ස්තුතිය හිමි විය යුතුය.

රඹුක්වැල්ලේ විපස්සී.

1997-06-06 දින විද්‍යොදය පිරිවෙණ කොළඹ 10.

රඹුක්වැල්ලේ විපස්සී.
1997-06-06 දින
විද්‍යොදය පිරිවෙණ
කොළඹ 10.

පිළිගැන්වීම

මෙය, මාගේ දම් සත් නෙත පෑදීමට මහෝපකාරී වූ කොළඹ මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙන්හි ගිහිපැවිදි ඇදුරුතුමන්ලාගේ සත් මෙහෙවරට පුද පඬුරක්ම වේවා!