සරල පාලි ප්රවේශය - බළන්ගොඩ ආනන්ද මෛත්රිය හිමි.pdf
- කතෘ :
- බලන්ගොඩ ආනන්ද මෛත්රෙය හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1993
- පිටු ගණන :
- 286
- බාගත කිරීම් ගණන :
- 4,852
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්රමාණය :
- 52 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සරල පාලි ප්රවේශය යනු අග්ගමහා පණ්ඩිත අභිධජ මහාරට්ඨගුරු අතිපූජ්ය බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහානාහිමිපාණන් වහන්සේ විසින් ආධුනිකයන්ට පාලි භාෂාව පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා සම්පාදනය කරන ලද අගනා ව්යාකරණ හා අභ්යාස ග්රන්ථයකි.
මෙහි මුල් සංස්කරණය උන්වහන්සේ එංගලන්තයේ වැඩවසන සමයේ දී (1986) යුරෝපීය ශිෂ්යයන්ට පාලි ඉගැන්වීම සඳහා සකස් කරන ලද පාඩම් මාලාවක් ඇසුරෙන් සම්පාදනය වූවකි. දෙවෙනි සංස්කරණයේ සංඥාපනයට අනුව පැරණි ක්රමයට වඩා පහසුවෙන් ව්යාකරණ රීති සිහියේ තබාගත හැකි අයුරින් මෙය සකසා ඇති අතර, පාලි හෝඩිය, ක්රියාපද, නාම පද, විභක්ති, සන්ධි, සමාස, කෘදන්ත ආදී සියලු මූලිකාංග ක්රමානුකූල පාඩම් 46ක් ඔස්සේ මෙහි විස්තර කෙරේ. අගට පරිශිෂ්ටයක් හා ශබ්දකෝෂයක් ද ඇතුළත් ය.
සංඥාපනය (දෙවෙනි සංස්කරණයේ)
මෙය අවුරුදු ගණනකට පෙර මා එංගලන්තයේ ඉන්දැ දී සරල පාලි ශික්ෂක ප්රවේශය නමින් පළ කැරුණු පොතේ ම දෙවෙනි සැකසුම යි.
මෙහි ඇතැම් පද සිද්ධි පැරණි ඇදුරන් ගිය මගට ද වඩා ලෙහෙසි මගෙකින් දැක්වුමු. සිසුවන් ගේ පහසුව පිණිස ය. මෙහි එන ක්රමය අනුව පාලිභාෂාවට බැස ගත් පසු බාලාවතාර රූපසිද්ධි ආදි පැරණි පාලිව්යාකරණ පොත් හැදෑරීමෙන් පැරණි ආචාර්ය්ය සම්ප්රදායය ද වියරණෙහි ගැඹුරු දැනුමක් ද ලබත හැක්ක. මෙය පාලියේ දැනුමක් නැති තරමක් දුර සිංහල උගත් ආධුනිකයන් සඳහා සැකසුණෙකි.
හෙළ වියරණ තරමක් උගත් කෙනෙකුට මෙහි පාඩම්වැල බොහෝ ලෙහෙසි වේ. හෙළු වියරණ ද නො උගත් ලාබාලයනට මෙය ඉගැන්වීමේ දී හැම පාඩමක් ම මැනැවින් උගන්වා අවබෝධ කරවා මිස යමිතමින් කියා දී එහා පාඩම්වලට නො බැස්විය යුතු ය. හැම පාඩමෙක ම හැම පාලි වචන ම හැම වියරණ විදියක් ම මැනැවින් සිතට ගන්වා ම එහා එහා පාඩම්වලට යැවිය යුතු ය. එසේ පාඩම් දහයක් ඉගැන්වූ පසු එයින් ඉදිරියේ එන පාඩම් ලෙහෙසි වනු ඇත.
මෙය මැනවින් ඉගෙන ගත් පසු පාලිභාෂාවතරණය හෝ සරල පාලි ශික්ෂකය සපුරා ඉගැන්විය යුතු ය. එවිට පාලියෙහි පද යෙදුම් ගැන සෑහෙන දැනුමක් සිසුවනට ලැබෙයි. එයට පසු බාලාවතාරාදි වියරණ පොතුත් ධම්මපදට්ඨකථා ජාතකට්ඨකථා අංගුත්තරනිකායාදි කවර පාලි ග්රන්ථයක් වුව ද ඉගැන්වීම පහසු වෙයි.
ශාසනාභිවෘද්ධිකාමී
බලන්ගොඩ ආනන්දමෛත්රෙය ස්ථවිර
1993. 01. 05
බත්තරමුල්ලේ චිත්ත විවේකාශ්රමය.
ප්රථම මුද්රණයේ සංඥාපනය
ශිෂ්යයන් නො වෙහෙසවා, ලෙහෙසියෙන් පාලිභාෂාවට බැස්වීමට මගක් ගැන නොයෙක් විට කල්පනා කෙළෙමි. එක් ක්රමයක් සිතට නැඟිණි. එය අනුව පාඩම් වැලක් තනා ඉගැන්වීමි. අදහස සාර්ථක විය. ඒ මේ පොතේ එන පාඩම් වැල ය. මෙය ම ඉංගිලිසියට ද නඟා, මෙහි එංගලන්තයේ අමරාවතී විහාරයේ වස්වැස හුන් ගිය මාස සතර තුළ සතළිසකට පමණ යුරෝපීය භික්ෂු උපාසක උපාසිකා පිරිසට පාලි ඉගැන්වීමි. සාරමස අවසන් වන විට පාලි ශබ්දකෝශයක උදව්ව හෝ ගුරුවරයකුගේ ඇසුර හෝ ලබා පාලි ත්රිපිටකයේ මොන ම පොතක් වුව ද ඉගැන්මට, තේරුම් ගන්නට හැකියාව ඔවුනට ලැබිණ.
පාලිභාෂාවට කිට්ටු ම නෑකමක් ඇති සිංහල භාෂාව දන්නා හෙළදිව් වැසි සිසුනට යුරෝපීයයනටත් වඩා ඉක්මනිනුත් ලෙහෙසියෙනුත් පාලිභාෂාවට බැස ගැන්මට මේ පොතින් හැකියාව ලැබේ යනු මගේ හැඟීම යි. මේ පොත දෙතුන් විටක් හොඳට හදාල පසු, මා විසින් ලියන ලද පාලි ශික්ෂකය හෝ වෙන මොන ම පාලිභාෂා ප්රවේශක පොතක් හෝ අමාරුවක් නැති ව හදාරන්නට ද, බාලාවතාර ආදි පාලියෙන් ම ඇති වියරණ පොතක් ගුරු ඇසුර ලබමින් ලෙහෙසියෙන් ඉගැන්මට ද හැකියාව ලැබෙනු ඇත.
හිතකාමී
බලන්ගොඩ ආනන්දමෛත්රෙය ස්ථවිර
එංගලන්තයේ,
ලන්ඩන් විහාරයේ දී යැ.
1986. 02. 03.