පාළිපාඨාවලී - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1953
- පිටු ගණන :
- 136
- බාගත කිරීම් ගණන :
- 2,173
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්රමාණය :
- 40 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාළිපාඨාවලී (දෙවන පාලි පාඩම් පොත) යනු අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රකට පාලි භාෂා ඉගෙනුම් පාඨශාලීය ග්රන්ථයකි. ආනන්ද මහා විද්යාලයේ ප්රාචීන භාෂාධ්යාපකව සිටියදී ආරම්භ කරන ලද මෙම කෘතිය මුල්වරට 1926 දී ප්රකාශයට පත් කරන ලදී.
පාලි භාෂාව ඉගෙන ගන්නා ආධුනික ශිෂ්යයන්ට කියවීම පුහුණු කිරීම සඳහා ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා, රසවාහිනී සහ මහාවංශය ආදී කෘතිවලින් උපුටාගත් ආදර්ශවත් කථා පුවත් සහ ඓතිහාසික තොරතුරු ඇතුළත් පාඩම් 35කින් මෙම පොත සමන්විත වේ. පාඩම් පෙළ ගැස්මේදී ආරම්භක පාඩම් පහ සංක්ෂිප්තව සකසා ඇති අතර, අනතුරුව දුටුගැමුණු රජුගේ පුවත් දක්වන මහාවංශ ගාථා දක්වා ක්රමයෙන් ගැඹුරු වන පරිදි පාඩම් සකසා ඇත.
මෙහි අන්තර්ගතය වඩාත් ඵලදායී කරනු පිණිස පොත අවසානයෙහි සිංහල සහ ඉංග්රීසි අර්ථ සහිත සවිස්තර පාලි වචනමාලාවක් සහ දුෂ්කර වාක්යාංශ පැහැදිලි කෙරෙන ගැටපද විවරණයක් ද අඩංගු කර තිබේ.
විඥාපනය
පාලිභාෂාව ඉගෙනගනු කැමති ශිෂ්යයන්ට ව්යාකරණ හා වාක්යරචනය එකවිට ඉගෙනීමට හැකිවනසේ අප විසින් පාලිභාෂාවතරණය සම්පාදනය කරනලදී. පළමුවෙන් භාෂාවක් පුහුණුවී තිබේ නම් එහි ව්යාකරණ ඉගෙනීම පහසුවේ; පළමුකොට ව්යාකරණ ඉගෙන සිත්හි ධාරණය කරගැනීම පහසු නොවේ. නමුත් ඒ ඒ විභක්තිවලට අර්ථ කියන පිළිවෙළ ව්යාකරණයෙන් ඉගෙන නොගෙන කථාව්යවහාරයෙහි නොපවත්නා භාෂාවක් ඉගෙනීම ද හැකි නො වේ; එබැවින් පාලිභාෂාවතරණයේ පළමුවෙනි පොත ඉගෙනගන්ට පටන්ගත් ශිෂ්යයන් විසින් විභක්තිවලට හා ක්රියාපදවලට අර්ථ කීම ඉගෙනගත් පසු පාලිපාඩම් පොතක් ද ඉගෙනීම යුතුව තිබේ.
මේ සඳහා යෝග්යවූ පොතක් නොතිබුණ බැවින් ආනන්ද මහා විද්යාලයෙහි පාලි ඉගැන්වීමේ යෙදී සිටියදී මා විසින් මේ පාළිපාඨාවලිය සම්පාදිතව පළමුවර 1926 දී ප්රචාරයට පමුණුවනලදී. මෙහි ලිහිල් වාක්ය ඇත්තාවූ ද, ශිෂ්යයන්ගේ ගුණධර්ම වර්ධනයට උපකාර වූ සදූපදේශවලින් යුක්ත වූ ද, කියවීමට ආශා උපදවන්නා වූ ද කථාවස්තු ආදිය ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා, රසවාහිනී ආදී පොත්වලින් උපුටා ඇතුළත් කරනලදී. මුල් පාඩම් පස වනාහි ඒ පොත්වල තිබෙන වාක්යම නොගෙන ගැඹුරු වචන හැර දමා සංක්ෂිප්ත කොට ගළපන ලදී.
මීට ගැඹුරු වූ වාක්ය ප්රදේශයන් නොයෙක් පොත්වලින් උපුටා තවත් පාඩම් පොතක් සම්පාදනය කළ යුතුය යන අදහසක් එකල්හි පැවති නමුත් එය ඉගෙනීමට ගන්නා ශිෂ්යයන් දුර්ලභ විය හැකි බැවින් ඒ අදහස හැර දමා ද්විතීය සංස්කරණයේ දී තරමක් ගැඹුරු වාක්යයන්ගෙන් යුත් පාඩම් කීපයක් අගට යොදනලදී. දුටුගැමුණු රජුගේ පුවත් දක්වන මහාවංශයෙන් උපුටාගත් ගාථා පෙළක් ද මෙහි ඇතුළත් වේ.
පොතේ ඇතුළත් සියලු වචන අකාරාදි පිළිවෙළින් යොදා සිංහල-ඉංග්රීසි අර්ථ දීමෙන් සම්පාදනය කළ වචනමාලාවක් ද එය බැලීමෙනුත් තෝරාගත නොහැකිවන වාක්යඛණ්ඩයන්ගේ අදහස් දක්වන ගැටපදයක් ද පොත අවසානයෙහි ඇත්තේය.
පළමුවෙන් ඉගෙනීම කරන ශිෂ්යයන්ට මේ පාළිපාඨාවලිය ගැඹුරු වැඩියයි අසන්ට ලැබුණු බැවින් මීට වඩා ලිහිල්වූ ද ශිෂ්යයන්ට නිතර දකින්ට ලැබෙන කරුණු සම්බන්ධවූ ද පඨමපාඨාවලී නමැති පොතක් සම්පාදනය කෙළෙමි. එහි මා විසින්ම සම්පාදිත වූ “බළලා-බල්ලා-පොල්ගස” ආදිය සම්බන්ධ පාලිපාඩම් වෙති. නොදත් වචනවල තේරුම ඒ පාඩම ළඟම දක්වනලදී. එහි යෙදූ සම්පූර්ණ වචනමාලාවෙහි පාලිවචනවලට සිංහල-ඉංග්රීසි තේරුම් දෙකම යොදා තිබේ.
මීට,
පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිර
අග්ගාරාමය
අම්බලන්ගොඩ
1953