පාළිපාඨාවලී - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf

v1

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
පිටු ගණන :
142
බාගත කිරීම් ගණන :
2,250
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-05-25
ගොනුවේ ප්‍රමාණය :
27 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 72

පාළිපාඨාවලී (පළමුවන පාඩම් පොත) යනු අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමියන් විසින් සම්පාදිත ප්‍රකට පාළි කියවීම් පොතකි. ආනන්ද මහා විද්‍යාලයෙහි පාළි උගන්වමින් සිටි කාලයේදී මුල්වරට 1926 දී පළ කරන ලද මෙම ග්‍රන්ථය, පාළි භාෂාව ඉගෙනගන්නා ආධුනිකයන් උදෙසා සකස් වූවකි.

මෙහි ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා, රසවාහිනී සහ මහාවංසය ආදී ග්‍රන්ථවලින් උපුටාගත් කථා පුවත් සහ ගාථා පෙළක් අඩංගු වන අතර, පාඩම් 35කින් සමන්විත වේ. පොත අවසානයෙහි සිංහල සහ ඉංග්‍රීසි අර්ථ සහිත සවිස්තර වචනමාලාවක් මෙන්ම වාක්‍යඛණ්ඩ පැහැදිලි කෙරෙන ගැටපදයක් ද ඇතුළත් කර ඇත.

මෙම මුද්‍රණය දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනය විසින් මුද්‍රණය කර ඇත.

විඥාපනය

පාලිභාෂාව ඉගෙනගනු කැමති ශිෂ්‍යයන්ට ව්‍යාකරණ හා වාක්‍යරචනය එකවිට ඉගෙනීමට හැකිවනසේ අප විසින් පාලිභාෂාවතරණය සම්පාදනය කරනලදී. පළමුවෙන් භාෂාවක් පුහුණුවී තිබේ නම් එහි ව්‍යාකරණ ඉගෙනීම පහසුවේ; පළමුකොට ව්‍යාකරණ ඉගෙන සිත්හි ධාරණය කරගැනීම පහසු නොවේ. නමුත් ඒ ඒ විභක්තිවලට අර්ථ කියන පිළිවෙළ ව්‍යාකරණයෙන් ඉගෙන නොගෙන කථාව්‍යවහාරයෙහි නොපවත්නා භාෂාවක් ඉගෙනීම ද හැකි නො වේ; එබැවින් පාලිභාෂාවතරණයේ පළමුවෙනි පොත ඉගෙනගන්ට පටන්ගත් ශිෂ්‍යයන් විසින් විභක්තිවලට හා ක්‍රියාපදවලට අර්ථ කීම ඉගෙනගත් පසු පාලිපාඩම් පොතක් ද ඉගෙනීම යුතුව තිබේ.

මේ සඳහා යෝග්‍යවූ පොතක් නොතිබුණ බැවින් ආනන්ද මහා විද්‍යාලයෙහි පාලි ඉගැන්වීමේ යෙදී සිටියදී මා විසින් මේ පාලිපාඨාවලිය සම්පාදිතව පළමුවර 1926 දී ප්‍රචාරයට පමුණුවනලදී. මෙහි ලිහිල් වාක්‍ය ඇත්තාවූ ද, ශිෂ්‍යයන්ගේ ගුණධර්ම වර්ධනයට උපකාර වූ සද්උපදේශවලින් යුක්ත වූ ද, කියවීමට ආශා උපදවන්නා වූ ද කථාවස්තු ආදිය ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා, රසවාහිනී ආදි පොත්වලින් උපුටා ඇතුළත් කරනලදී. මුල් පාඩම් පස වනාහි ඒ පොත්වල තිබෙන වාක්‍යම නොගෙන ගැඹුරු වචන හැර දමා සංක්ෂිප්ත කොට ගළපන ලදී.

මීට ගැඹුරු වූ වාක්‍ය ප්‍රදේශයන් නොයෙක් පොත්වලින් උපුටා තවත් පාඩම් පොතක් සම්පාදනය කළ යුතුය යන අදහසක් එකල්හි පැවති නමුත් එය ඉගෙනීමට ගන්නා ශිෂ්‍යයන් දුර්ලභ විය හැකි බැවින් ඒ අදහස හැර දමා ද්විතීය සංස්කරණයේ දී තරමක් ගැඹුරු වාක්‍යයන්ගෙන් යුත් පාඩම් කීපයක් අගට යොදනලදී. දුටුගැමුණු රජුගේ පුවත් දක්වන මහාවංශයෙන් උපුටාගත් ගාථා පෙළක් ද මෙහි ඇතුළත් වේ.

පොතේ ඇතුළත් සියලු වචන අකාරාදි පිළිවෙළින් යොදා සිංහල-ඉංග්‍රීසි අර්ථ දීමෙන් සම්පාදනය කළ වචනමාලාවක් ද එය බැලීමෙනුත් තෝරාගත නොහැකිවන වාක්‍යඛණ්ඩයන්ගේ අදහස් දක්වන ගැටපදයක් ද පොත අවසානයෙහි ඇත්තේය.

පළමුවෙන් ඉගෙනීම කරන ශිෂ්‍යයන්ට මේ පාලිපාඨාවලිය ගැඹුරු වැඩියයි අසන්ට ලැබුණු බැවින් මීට වඩා ලිහිල්වූ ද ශිෂ්‍යයන්ට නිතර දකින්ට ලැබෙන කරුණු සම්බන්ධවූ ද පඨමපාඨාවලි නමැති පොතක් සම්පාදනය කෙළෙමි. එහි මා විසින්ම සම්පාදිත වූ “බළලා-බල්ලා-පොල්ගස” ආදිය සම්බන්ධ පාලිපාඩම් වෙති. නොදත් වචනවල තේරුම ඒ පාඩම ළඟම දක්වනලදී. එහි යෙදූ සම්පූර්ණ වචනමාලාවෙහි පාලිවචනවලට සිංහල-ඉංග්‍රීසි තේරුම් දෙකම යොදා තිබේ.

මීට,
පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිර
අග්ගාරාමය
අම්බලම්ගොඩ
1953