පාලිභාෂාවතරණය 2 - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1959
- පිටු ගණන :
- 238
- බාගත කිරීම් ගණන :
- 6,293
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-21
- ගොනුවේ ප්රමාණය :
- 2.0 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාලිභාෂාවතරණය (දෙවැනි පොත) යනු අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රකට පාලි භාෂා ප්රවේශිකා ග්රන්ථ මාලාවේ දෙවන කාණ්ඩයයි. ප්රාරම්භක පාලි ඉගෙනුම ලබන විද්යාර්ථීන් සහ පිරිවෙන් ශිෂ්යයන් උදෙසා ව්යාකරණ මූලධර්ම ක්රමවත්ව හා සරලව විග්රහ කර දීම මෙහි ප්රධාන අරමුණයි.
මෙම දෙවන පොත මඟින් පාලි සන්ධි, සමාස, තද්ධිත, ආඛ්යාත (ක්රියාපද) සහ කිතක ආදී විවිධ ව්යාකරණාංග සවිස්තරව සාකච්ඡා කෙරේ. එක් එක් ව්යාකරණ පාඩම අවසානයේ අභ්යාස මාලා, අභ්යාසයන්ට අදාළ අභිනව වචන සහ නිදසුන් ඇතුළත් කර ඇති අතර, ග්රන්ථය අවසානයේ පාලි-සිංහල හා සිංහල-පාලි වචන මාලාවක් ද අන්තර්ගත වේ.
- සංඥා සහ සන්ධි (සර, ව්යඤ්ජන, නිග්ගහීත, මිශ්ර)
- නාම පද හා සමාස වර්ග (කම්මධාරය, දිගු, තප්පුරිස ආදී)
- තද්ධිත පද හා ආඛ්යාත ක්රියාපද
- කම්මකාරක, හෙත්වර්ථ හා කිතක පද
- පාලි-සිංහල සහ සිංහල-පාලි වචන මාලා
විඥාපනයෙහි දැක්වෙන පරිදි මුල් සංස්කරණයන්ට වඩා අමතර කරුණු ඇතුළත් කරමින් ග්රන්ථය සංශෝධනය කර ඇති අතර, විඥාපනය පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් 1959 මැයි 20 දින අම්බලම්ගොඩ අග්ගාරාමයේදී සටහන් කර ඇත.
විඥාපනය
(1955 දී මුද්රණය කරන ලද පාලිභාෂාවතරණය දෙවැනි පොතේ පළ වී ඇති විඥාපනය පාඨකයාගේ දැනගැනීම සඳහා ඒ අයුරින් ම මෙහි ද පළ කරනු ලැබේ.)
පාලිභාෂාවතරණයේ 1 වැනි පොත දැන් දහහත්වැනි වරටත් මුද්රිතව තිබෙන බැවින් ඒ පොත කොතරම් ජනප්රිය වී තිබේදැයි දත හැක. මේ දෙවැනි පොතේ අටවැනි මුද්රණයයි. දෙවෙනි පොත මුලින් තිබුණාට වඩා පිටු 40 කින් පමණ වැඩි වූ බැවින් එහි කර තිබෙන සංස්කරණ විශාල බව පෙනෙනවා ඇත. දෙවෙනි පොතෙන් එහාට ගොස් වැඩිදුර ඉගෙනීම කරන්නන් ඉතා අඩු බව තෙවැනි පොතෙන් ඔප්පු වේ. එය පළමු වර පළකරන ලද්දේ 1930 දී ය. ඒ පිටපත් දෙදහ අවසන් වීමට අවුරුදු 17 ක් පමණ ගතවිය. එය නැවත විශාල සංස්කරණයකට පමුණුවා 1948 දී දෙවෙනිවර මුද්රිත විය. ක්රියාකාරක සම්බන්ධය ගැනත් වාක්ය විච්ඡේදනය ගැනත් අලුත් පරිච්ඡේද දෙකක් එකට එක්කරන ලදි. දැන් පොතේ ප්රමාණය පිටු 215 කි.
එහි පොත්වලින් ගත් උදාහරණය සහිතකොට අර්ථ පැහැදිලි කර තිබෙන නිපාත සංඛ්යාව 213 කි. උපග්රන්ථයෙහි පාලියේ ඇති තාක් ගැඹුරු - දුර්ලභ වචන තිබෙන තැන් පෙන්වා අර්ථ පැහැදිලි කර තිබේ. ඉංග්රීසියේ දැක්වෙන ‘ඇනලිසිස්’ ක්රමයට පාලි වාක්යයන් බෙදා කොටුවල යොදා පෙන්වීම මින් පෙර ඇති නොවූවකි. පාලිවාක්ය රචනාවට එයින් ලැබෙන රුකුල ඉතා මහති. එබැවින් උසස් විභාගවලට පෙනී සිටින්නන් ඒ (තෙවැනි) පොතෙන් ප්රයෝජන ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙමු.
පාඨ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ගේ වාක්ය රචනාව දුර්වල යයි නොයෙක් විට අසන්ට ලැබුණ බැවින් ඒ සඳහා ‘පාලි වාක්ය රචනාව හා පරිවර්තන පරිචය’ නමැති පොතක් 1947 දී පළ කරවන ලදි. එහි අන්යොන්ය විරුද්ධාර්ථ ඇති ආමක-පක්ක ආදි වචනයන්ගේ සූචියක් ද නිතර එක්ව යෙදෙන හට්ඨ - පහට්ඨ ආදි වචනයන්ගේ සූචියක් ද වෙති. වර්තමාන ක්රියාපදය, ඒකේ අතීත පදය හා පූර්ව ක්රියා පද දක්වන අකාරාදී පිළිවෙළින් යෙදූ ක්රියා මාලාව පිටු 12 ක් පැතිර පවතී. සිංහල පාලියට පෙරළන සැටි උගන්වන පිටු 30 ක් ද පාලියේ භාෂාරීති දක්වන පිටු 9 ක් ද එහි වෙති. එබැවින් වැඩිදුර ඉගෙන ගනු කැමැත්තන් විසින් ඒ පොත ද ලබාගත යුතු ය.
මා විසින් සම්පාදිත වූ පාලි - සිංහල ශබ්දකෝෂය හා පාලි - ඉංග්රීසි ශබ්දකෝෂය දැන් ලබා ගත හැක. ”පඨම පාඨාවලී” ”පාලිපාඨාවලී” යන පාලි පාඩම් පොත්වල වචන මාලාවලට ඉංග්රීසි තේරුම් යොදා තිබෙන බව ද සැලකිය යුතු.
1-2 වැනි පොත් දෙකේ අභ්යාසයන් සිංහලටත් පාලියටත් පෙරළා දෙන ”පාලිභාෂාවතරණ යතුර” ක් ද මුද්රිතව තිබෙන බව දැනුම් දෙමි. එය ගුරුවරුන්ගේ හා තනිව ඉගෙන ගන්නන්ගේ ප්රයෝජනය සඳහා ය.
පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
20-5-1959
අග්ගාරාමය,
අම්බලම්ගොඩ.