පාලිභාෂාවතරණය 1 - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf

scanned

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
පිටු ගණන :
137
බාගත කිරීම් ගණන :
8,527
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-29
ගොනුවේ ප්‍රමාණය :
19 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 69

පාලිභාෂාවතරණය (පළමුවැනි පොත) යනු ආධුනිකයන් සඳහා වාක්‍ය රචනා ක්‍රමය ඇසුරෙන් පාලි භාෂාව මූලිකව ඉගැන්වීම පිණිස අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට පෙළපොතකි. ආනන්ද විද්‍යාලයාධිපති පී. ද එස්. කුලරත්න මහතා ආදී ප්‍රභූන්ගේ ඉල්ලීම පරිදි සම්පාදිත මෙම ග්‍රන්ථය ප්‍රථම වරට මුද්‍රණය කර ඇත්තේ 1923 වර්ෂයේදී ය.

මෙහි අක්‍ෂර සහ ලිංග විභාගය, නාම පද වරනැඟීම, ක්‍රියා පද සහ කාලත්‍රය, විභක්ති, නිපාත, කිතක පද ආදී මූලික ව්‍යාකරණාංග අභ්‍යාස සහ පරිවර්තන සහිතව ඉතා සරලව විස්තර කර ඇත. ග්‍රන්ථාවසානයෙහි අභ්‍යාස සඳහා පහසුව පිණිස පාලි-සිංහල හා සිංහල-පාලි වචන මාලා දෙකක් ද අන්තර්ගත වේ.

විඥාපනය

“මෙය වනාහි ආධුනිකයන්ට සිංහලෙන් පාලි ඉගැන්වීම සඳහා සම්පාදිත පොතකි. මෙහි ගෙන තිබෙන පිළිවෙල නම් වාක්‍යරචනා මාර්ගයෙන් භාෂාව ඉගැන්වීමේ අභිනව ක්‍රමයයි. පාඩම් ක්‍රමයෙන් ගැඹුරුවනසේ ද අභ්‍යාසයෙන් ඉගනියයුතුසේ ද සම්පාදිතය. දීර්ඝකාලයක සිට තිබුණු ඕනෑකමක් මේ පොතෙන් පිරිමැසේ. මෙය පාලිපරිචය සඳහා පාඨශාලාවල ප්‍රථමයෙන් ඉගැන්විය යුතු පොතක් යයි අපි සම්මත කරමු.” මේ වනාහි මේ පොත පිළිගැනීමේදී අධ්‍යාපන මණ්ඩලය සම්බන්ධ ග්‍රන්ථ විවේචන සභාව ප්‍රකාශකළ වචනයි. මේ පොත හැඳින්වීමට මීට වඩා විස්තර කථාවක් ඕනෑයයි නොසිතේ.

පාලිභාෂාව ඉගෙනීමට මහත් ආශාවක් මෙකල බොහෝ දෙනෙකුන් තුළ ඇතිව තිබේ. එය සිංහලභාෂාවේ මාතෘභාෂාවක් වීමත්, සද්ධර්මය ඒ භාෂාවෙන් ලියවී තිබීමත්, ආණ්ඩුවේ පාඨපරීක්‍ෂණවලට පාලිභාෂාව ඇතුළත් කිරීමත් මේ උනන්දුවට හේතුවුනයි සිතමි. එහෙත් පහසුවෙන් පාලි ඉගෙනීමට උපකාරවූ අභිනව ක්‍රමයට ගැළපු පොත් නැතිවීම එය ඉගෙනගනු කැමති ආධුනිකයන්ට මහත් බාධාවක් විය. ඒ බාධාව මගහරවනු සඳහා ආනන්ද විද්‍යාලයාධිපති ශාස්ත්‍රාචාර්‍ය්‍ය කුලරත්න මැතිතුමන් ආදී උසස් මහතුන්ගේ මෙහෙයීම ලෙස අප විසින් මේ පාලිභාෂාවතරණය සම්පාදිත ය.

මුලින්ම ඉගෙනීමට පටන් ගන්නා ශිෂ්‍යයන් සඳහා මේ පළමුවෙනි පොත අදහස්කරන ලද බැවින් මෙය හැකිතරම් ලිහිල් භාෂාවෙන් යුක්ත කරනලදී. මෙහි ලිංග තුනට අයත් බහුල ප්‍රචාරයට පැමිණෙන ශබ්දයන් වරනගන ආකාරය ද කාලත්‍රයට අයත් ක්‍රියාපද ස්වල්පයක් ද පූර්‍වක්‍රියා, ක්‍රියාවිශේෂණ, විශේෂ්‍යපද, නිපාතපද ආදිය ද සංක්‍ෂෙපයෙන් දක්වන ලදහ. සිංහල වාක්‍යයන් සිංහලට නැඟීමේදී ද ශිෂ්‍යයන්ට උපකාරවීම සඳහා පොතේ ඇතුළත් සියලු වචනයන් අකාරාදි පිළිවෙලින් ගළපා පාලි - සිංහල, සිංහල - පාලි වචනමාලා දෙකක් ද මෙහි අන්තයෙහි යොදන ලදී.

සන්ධි - සමාස - තද්ධිත - කිතකයන් - පිළිබඳ විස්තර ද ආඛ්‍යාතය පිළිබඳ වැඩි විස්තර ද දෙවෙනි පොතේ ඇතුළත් වෙති. තුන්වෙනි පොතෙන් ඉතා උසස් පරීක්‍ෂණයකට පෙනී සිටින්නකුට වුවත් සෑහෙන තරම් ගැඹුරු දැනීමක් ලබාගත හැක. වාක්‍යරචනාව වැඩිදුර ඉගෙනගනු කැමැත්තන් උදෙසා “පාලි ගද්‍ය පද්‍ය රචනා” නම් පොතක් ද අප විසින් ප්‍රචාරයට පමුණුවා තිබේ. මෙසේ දැන් පාලි ඉගෙනගනු කැමැත්තෙකුට නිර්භයව ඒ ඉගෙනීමට බැසිය හැකිවනසේ අප විසින් කටයුතු සම්පාදනය කොට තිබේ.

පාලි ඉගැන්වීමට ආශා ඇතත් ගුරුවරුන් කරා පැමිණීමට අවකාශ නැතිව සිටින්නන් විසින් හෝ ගුරුවරුන් සොයාගත නොහැකි භවතුන් විසින් මේ පොත් හා “පාලිපාඨාවලි” නම් පාඩම් පොත ද පාලිභාෂාවතරණ යතුර ද ගැනීමෙන් ස්වෝත්සාහයෙන් ම පාලි ඉගෙනීම ද කළ හැක. පිරිවෙන්වල ශිෂ්‍යයන් අවුරුදු දෙකකදී ලබනතරම් ඉගෙනීමක් මේ පළමුවෙනි පොතෙන් හමසකදී ලබාගත හැක.

පළමුවෙනි පොත පළමුවර මුද්‍රණයට පමුණුවන ලද්දේ 1923 දීය. පළමුකොට ආනන්ද මහා විද්‍යාලයේ පාලි ඉගෙන ගන්නා ශිෂ්‍යයන් විසින් මෙම පරිශීලනය කරන ලදී. අවුරුදු කීපයක් අප විසින්ම ආනන්ද නාලන්ද විද්‍යාලයන්හි ශිෂ්‍යයන්ට මේ පොතෙන් පාලි ඉගැන්වීම කළ බැවින් පොතේ සකස්කළ යුතු තැන් දැනගත හැකිවිය. එසේ ප්‍රතිසංස්කරණයට පැමිණවූ මෙය නැවත 1927 දී ප්‍රචාරයට පමුණුවන ලදී. තෘතීය මුද්‍රණයේදීත් ස්වල්ප සංස්කරණයක් කරන ලදී. සිවුවෙනි වාරයේදී පොත සම්පූර්ණ සංස්කරණයකට පමුණුවන ලදී. අභ්‍යාස සියල්ලම වාගේ අමුතුවෙන් ලියා වැඩිපුර කරුණු ද ඇතුළත් කරන ලදී.

ශිෂ්‍යයන් සඳහා අප විසින් සම්පාදිතවූ පාලි - සිංහල ශබ්දකෝෂය දැන් ලබා ගත හැක.

මීට,
අම්බලම්ගොඩ අග්ගාරාමාධිපති
පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර