පාලි-සිංහල ශබ්දකෝෂය - මඩිතියවෙල සිරි සුමංගල හිමි.pdf
- කතෘ :
- මඩිතියවෙල සිරි සුමංගල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1965
- මුද්රිත වර්ෂය :
- 1965
- පිටු ගණන :
- 545
- බාගත කිරීම් ගණන :
- 12,579
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-24
- ගොනුවේ ප්රමාණය :
- 53 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාලි - සිංහල ශබ්දකොෂය යනු පාලි භාෂාව හදාරන විද්යාර්ථීන් සහ ධර්ම ගවේෂකයන් උදෙසා සම්පාදනය කරන ලද ප්රමුඛ පෙළේ පාලි-සිංහල අකාරාදියකි. මෙම කෘතියේ ප්රථම භාගය 1934 (බු.ව. 2474) දී බෝරැග්ගමුවේ ශ්රී රෙවත නායක ස්ථවිරයන් වහන්සේ විසින් මුද්රණයෙන් ප්රකාශයට පත් කරන ලද අතර, අනතුරුව විද්යෝදය විශ්ව විද්යාලයේ සහකාර පුස්තකාලයාධිපති මෙන්ම විද්යෝදය පිරිවෙනේ ආචාර්ය ධුරය දැරූ පණ්ඩිත මඩිතියවෙල සිරි සුමංගල ස්ථවිරයන් වහන්සේ විසින් අඩුව පැවති සියලු කොටස් අංගසම්පූර්ණ කොට සකස් කර 1965 දී සම්පූර්ණ ග්රන්ථයක් ලෙස එළිදක්වන ලදී.
මෙහි පාලි ත්රිපිටකය, අට්ඨකථා, ටීකා සහ වෙනත් පාලි සාහිත්ය ග්රන්ථ පරිශීලනය කරමින් රැස් කළ වචන 24,000 කට අධික ප්රමාණයක් අකාරාදී පිළිවෙළින් ඇතුළත් කොට, ඒවායේ සිංහල අර්ථ නිරූපණය සහ ව්යාකරණ විග්රහ (ධාතු, ක්රියා ආදිය) මැනවින් සපයා ඇත. තවද පාලි භාෂාවේ ඉතිහාසය, සම්භවය, නිරුක්තිය මෙන්ම බෝරැග්ගමුවේ ශ්රී රෙවත හිමියන්ගේ මුල් සංඥාපනය හා උපක්රමණිකාව ද මෙහි පෙරවදන් වශයෙන් ඇතුළත් කර තිබේ.
මෙම සංස්කරණය 1965 දී (බු.ව. 2508) කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගම මඟින් මුද්රණය කර ප්රකාශයට පත් කරන ලද්දකි.
භූමිකා
ක්රිස්තු පූර්ව 1000 දී පමණ පළමුවෙන්ම ඉතිහාසයෙහි දැක්වෙන භාරත වර්ෂය පටන් අත්ලාන්තික් මහ සයුර දක්වාද ස්කැන්ඩිනේවියා පටන් මධ්යධරණී මහ සයුර දක්වාද පිහිටි ප්රදේශයන්හි ප්රචලිත භාෂා සමූහය එක් මූල භාෂාවකින් හැඩ ගැස් වුණු බව පැහැදිලියි. මෙයට “ඉන්දු-යුරෝපීය භාෂා” යයි වාග්විද්යාඥයෝ නම් කළහ. මීට ප්රධාන හේතුව වූයේ ඒවායේ එකිනෙකට ඇති සාම්යය බව දතයුතුයි. නිදර්ශන වශයෙන් දක්වතොත් සංස්කෘත-අස්ති, ග්රීක්-එස්ති, ලතින්-එස්ත්, ඉංග්රීසි-ඉස්, සංස්කෘත-මාමි, ග්රීක්-එමෙ, ලතින්-මෙ, ඉංග්රීසි-මී යනාදිය පෙන්විය හැක.
ඉන්දු-යුරෝපීය පවුලේ වැදගත් පුරාණ ශාඛාවකට ඉන්දු-ආර්ය්ය භාෂා යයි ව්යවහාර කරනු ලැබේ. ආර්ය්යයෝ භාරත වර්ෂයට පැමිණි වකවානුව තවම විනිශ්චය වී නැත. එහෙත් ආර්ය්යයෝ ක්රම ක්රමයෙන් භාරත වර්ෂය මුලුල්ලේම පැතිරී ගියහ. ඉන්දු-ආර්ය්ය නමින් දැනට භාවිත වන ආර්ය්ය වර්ගී භාෂාසාධ්යය දැක්වෙන පැරණි තම ලිපි ලේඛන “අශෝක ශිලාලිපි” යයි හැඳින්වෙයි. මේ අතර ඍග් වේද පද්යයෝ ආර්ය්යයන්ගේ පැරණිතම ලේඛනයයි ද කියති. ලන්ඩන් විශ්වවිද්යාලයේ ටර්නර් විද්වතුන්ගේ මතය අනුව ඍග්වේද කාලය ක්රිස්තු පූර්ව 1200-1500 අතර යුගයකයයි ද නිගමනය වී ඇත.
සංස්කෘත භාෂාව:- මධ්ය දේශයට පැමිණි ආර්ය්යයෝ හෝමපූජා, ධර්ම ශාස්ත්ර, මහා කාව්ය, වීරචරිත ආදිය ඇතුළත් වටිනා ශාස්ත්රීය සංග්රහයන් ඇති කළහ. මෙහි විසූ පුරාණ මත ධාරි බ්රාහ්මණ පඬිවරු මේ භාෂාව හොඳ හැටි දියුණු කළහ. ශාස්ත්රීය භාෂාවක් වශයෙන් මෙසේ ගොඩනැගුණු මේ භාෂාව පාණිනී විසින් ව්යාකරණ ආදිය සපයා සකස් කල හෙයින් මෙය සංස්කෘත භාෂාව නමින් පල විය. ප්රාකෘත භාෂාව:- සංස්කෘත හැර අනික් දේශීය භාෂාවන් ප්රාකෘත යන නමින් මෙකල හැඳින්වින. පාලි භාෂාව මෙන්ම ප්රසිද්ධ භාෂාවද ප්රාකෘත විශේෂයකි. එහෙත් මගධ රටට වැඩම කර එහිදී සත්යයන් අවබෝධ කර වදාළ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ උන්වහන්සේ ප්රත්යක්ෂකර වදාළ උසස් ධර්මය මේ පාලි භාෂාවෙන් දේශනා කිරීම ඇරඹු පසු මීට උසස් තත්වයක් ලැබින.
පාලි භාෂාවේ මුල:- පාඨ ශබ්දයෙන් පාලියයි බිඳී ආ බවක් තත්ත්වඥයෝ පවසති. ඇතැමෙක් මෙහි මුල ප්රාකෘතයයිද කියති. ඉන්දියානුජාතික ආචාර්ය්ය ජහගීර්දාර් මහතාගේ අදහස් අනුව ප්රාලෙය ශබ්දයෙන් පාලියයි බිඳී ආ බවක්ද කියති.
මේ පාලි ශබ්දය පඨකති පාඨ පල්ලී පලාස පලිපාඨලී යන ශබ්දයන්ගෙන් බිඳී ආයේයයි නොයෙක් දෙනා නොයෙක් අයුරින් පවසති. දැනට ව්යවහාර වන පරිදි පාලි යන්නෙහි මූලික අර්ථය ලෙස ගණන්ගත හැක්කේ ත්රිපිටක ධර්මය පිළිබඳ මුල ග්රන්ථයන්ටය. මේ නිසාම ඊට පෙළපොත් යයිද ව්යවහාර කිරීමට පුරුදු වූ බව සැලකිය යුතුය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස්වන අවුරුද්දෙහි රජ පැමිණි දේවානම් පියතිස්ස මහරජුන්ගේ රාජ්ය සමයෙක් පෙර පවා බුද්ධ ධර්මය පිළිබඳ ආලෝකය ලක්දිව පැතිර තුබූ බව සත්ය වශයෙන් සිතිය හැකි වුවද බෞද්ධාලෝකය හරිහැටි පහළ වූයේ මිහිඳු මාහිමියන්ගේ ලංකාවතරණයෙන් පසුවය. අනුරාධපුරයෙහි ලක් බුදුසසුන් පිහිටුවා මහා රිට්ඨාදි රහතුන් වහන්සේලා ගේ ප්රධානත්වයෙන් විනය සංගායනාවක් ද පවත්වන ඇත.
[...]
මේ පාලි - සිංහල ශබ්දකෝෂයේ ප්රථම භාගය පාලි සිංහල අකාරාදිය නමින් වර්ෂ 1934 (2474) දී මාගේ ආචාර්ය පාදෝත්තම ගංගොඩවිල සුභද්රාරාම පරිවෙණාධිපති අතිගෞරවාර්හ බෝරැග්ගමුවේ ශ්රී රෙවත නාභිධාන නායක මාහිමියන් වහන්සේ විසින් ප්රසිද්ධියට පත් කරණ ලදහ. ඊට තවත් ඇතුලත් වියයුතු වචන රාශියක් ද එකතු කර අනික් සියළු කොටස් සම්පූර්ණ කොට එකම පොතක් වශයෙන් මේ වර ප්රසිද්ධියට පමුණුවන්ට ලැබීම අපගේ මහත් ප්රීතියට හේතුවකි. උන්වහන්සේ මට දුන් අවවාද - අනුශාසනා පරිදිම මුල් කාණ්ඩයට සරිලන අයුරු ඉතිරි කොටස සම්පූර්ණ කළ බැව් මෙහිලා සඳහන් කරණු කැමැත්තෙමි. උන්වහන්සේ මාව මේ කාර්ය්යයෙහි දිරි ගැන්වීම නිසා, මේ ශබ්දකෝෂය මෙසේ මුද්රණද්වාරයෙන් බිහිවිය. අප ගරුතර නායක මාහිමියන් වහන්සේ විසින් ප්රථම භාගයට සපයන ලද සංඥාපනය හා උප ක්රමණිකාව ද උන්වහන්සේට ගෞරවයක් වශයෙන් මෙහිද එසේම පළකිරීමට අදහස් කෙළෙමි.
මෙවැනි භාරදූර ග්රන්ථකරණයකදී සිදුවිය හැකි ප්රමාද දෝෂ බොහෝ විය හැකියි. එවැනි යමක් හමුවුවහොත් ඒවාද, මේ සඳහා දියහැකි උපදෙශ ඇතොත් ඒ සියල්ලද ශාස්ත්රානුනති - කාමීත්වයෙන් හා කරුණා - මෛත්රියෙනුත් අප වෙත දන්වන මෙන් පාඨක භවතුන්ගෙන් ඉල්ලමු. එවැනි සදුපදේශයන් පොත පිළිබඳ දෙවැනි සංස්කරණයකදී අපට මහත්සේ ප්රයෝජන විය හැකියි.
බොහෝ වෙහෙස මහන්සි දරා මේ ග්රන්ථය නිෂ්පාදනය කිරීමෙන් ලබාගන්නා ලද පුණ්ය ස්කන්ධය බුද්ධ ශාසනයට මහඟු සේවාවක් සිදුකළ අපවත් වී වදාළ මාගේ ආචාර්ය්යොත්තම සුභද්රාරාම පරිවෙණාධිපති ධර්මකීර්ති ශ්රී රෙවතාභිධාන නායක මාහිමියන් වහන්සේට හා විද්යොදය පිරිවෙණේ උපප්රධානාචාර්ය්ය වූද වල්බෝලානේ වික්රමශිලා විදර්ශනා පිරිවෙණේ ආදී කර්තෘ වූද මහෝපාධ්යාය කුකුල්නාපේ ශ්රී දෙවරක්ෂිතාභිධාන මාහිමියන් වහන්සේටද පින් පමුරුවන වශයෙන් පිළිගන්වමි. දැනට ජීවත්ව වැඩ සිටින මාගේ ආචාර්ය්යවරයෙකු වූ ගරුතර දම්පීටියේ සරණතිස්ස මාහිමියන් වහන්සේට ද මේ පින් අත්වේත් වේවා.
මා එංගලන්තයේ ලන්ඩන් නුවර සිටින විට මේ පොතේ ශුද්ධිපත්ත්රාදිය බැලීමෙන් මට උපකාර කල විද්යා විශාරද පණ්ඩිත රද්දැල්ලේ පඤ්ඤාලොක පණ්ඩිත අඹන්වැල්ලේ පඤ්ඤාශෙඛර, කහවේ දෙවරක්ඛිත යන ස්ථවිරපාදයන් වහන්සේලා කෘතඥතා පූර්වකව මෙහි සඳහන් කරමි. ඇන්. වී. චන්ද්රරත්න මහතාගෙන් ලැබුණු සහයෝගයද කෘතඥතාවයෙන් සිහිකරමි.
මේ ග්රන්ථය අලංකාර ලෙස මුද්රණය කර ප්රසිද්ධ කිරීමට උපකාර වූ කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගමයට ද මගේ අවංක ස්තූතිය මෙයින් පිරිනමමි.
මඩිතියවෙල සුමංගල ස්ථවිර., 2508 / 1965 . 9. 25 වැනි දින., ලන්ඩන් බෞද්ධ විහාරයේදීය.
5, හෙල්ත්ෆීල්ඩ් ගාර්ඩ්න්,
ලන්ඩන්.
සංඥාපනය.
පාලිභාෂාව වනාහි ආදියෙහි පටන් ලෝකයෙහි සියලුම පඬිවරුන් විසින් අත්යන්ත-සම්මාදෘත භාෂාවකි. ලෝකයෙහි විද්යමාන භාෂා අතුරෙහි පාලිභාෂාව මෙන් ලෝවැස්සන්ගේ උගැන්වීමට ම ඉවහල් වන තවත් භාෂාවක් නොමැතියි. එහෙයින් ම මේ භාෂාතොමෝ දැන් මුළුලොව ම පැතිර පවත්නීය. ලෝකයෙහි සෑම රටකම මේ භාෂාව ඉගෙනීමෙහි අභිලාෂ ඇත්තවුන්ගේ සංඛ්යාව දිනෙන් දින ම වැඩෙන්නීය. මේ නිසාම නිමල පාලිභාෂාව ලක්දිව පවත්නා බව ලක්වැස්සන්ගේ ගෞරවයට හේතුභූත කාරණයන් අතුරෙහි ප්රධාන කාරණයක් වී තිබේ. එහෙයින් ලක්වැසි බෞද්ධාබෞද්ධ කවුරුන් විසිනුත් මේ භාෂාවට ගෞරව කටයුතුමය.
ලංකාවේ වනාහි මේ භාෂාවේ ව්යාප්තිය මීට අවුරුදු දෙදහකටත් දුරාතීතයෙහි පවත්තීය. එහෙත් මේ තාක් මේ අත්යුත්තම භාෂාව පිළිබඳව ලක්දිව නිපදවූ සෑහෙන පාලි-සිංහල කෝෂග්රන්ථයක් නොමැති බව ලක්දිවට මහත් පාඩුවක්ව පැවැත්තේය බුද්ධාගම පවත්නා අනික් සෑම රටකම පාහේ ඒ ඒ රට වැස්සන් විසින් නිපදවා ගත් පාලි කෝෂ ග්රන්ථයෝ වෙත්. ටිබෙට්රටෙහි අභිධර්මකෝෂය, මහා ව්යුත්පත්තියයි ඉතා වැදගත් කෝෂග්රන්ථ දෙකක් විද්යමාන බැව් ඇසීමු. බුරුම රටෙහි ද බුරුම ස්ථවිර කෙනෙකුන් විසින් නිපදවූ පාලි බුරුම අකාරාදියක් තිබේ. සියම් රටෙහි සියම් පාලි-අකාරාදියක් ඇති බව ඇසීමු. යුරෝපයෙහි ද පාලි-ඉංග්රීසි අකාරාදි දෙකක් නිපදවා තිබේ. මොවුනතුරෙන් පාලි-ඉංග්රීසි අකාරාදි දෙක හා බුරුම-පාලි අකාරාදියත් අපි මේ කාර්යයට පිටුවහල් කර ගතිමු. මහා ව්යුත්පත්තිය හා අභිධර්මකෝෂයත් ලබාගන්නට ක්රියා කර ගෙන යන්නෙමු. ලද හොත් ඒ ග්රන්ථයන් ද ඇසුරු කොට මේ ග්රන්ථය පිළිබඳ උපග්රන්ථයක් සම්පාදනය කරන්නට බලාපොරොත්තු වන්නෙමු.
ලෝකයේ ව්යාප්ත සෑම භාෂාවකට ම අනිකව ක්රමයේ ශබ්දකෝෂ සම්පාදනය කරණ මේ කාලයේ පාලිභාෂාවට මෙබඳු කෝෂග්රන්ථයක් ලක්වැස්සෙකු විසින් නොම නිපදවනු ලැබී නම් එය ලක්දිවට මහත් මදිකමකි. එබැවින් ලක්දිව පාලි උගතුන් විසින් මීට බොහෝ කලකට පෙර සිදුකළයුතුව තුබූ උදාර මෙහෙයක් මේ මඟින් ඉටුකරන්නට අපට අවකාශ ලැබීම බලවත් ප්රීතියට කරුණකි. සිංහල භාෂාවට පැවති බලවත් පාඩුවක් අපේ ශබ්දාර්ථ-රත්නාකර නම් සිංහල මහා අකාරාදියෙන් බොහෝ දුර පිරිමැසිණි. එසේම ලංකාවේ පාලි හදාරන්නවුන්ට පැවති බලවත් පාඩුවක් මේ ග්රන්ථයෙන් බොහෝ දුර පිරිමැසේ යයි කල්පනා කරමු.
පාලිභාෂාව වැනි අතිවිශාල වූ ද ඉතා සියුම් ධර්ම පැවැසෙන්නා වූ ද භාෂාවකට මෙබඳු කෝෂග්රන්ථයක් නිපදවීමේදී කෙබඳු නම් ප්රයාසයක් දැරිය යුතු ද, කොතරම් නම් සාවධාන වියයුතු දැ යනු මේ විධියේ කෘත්යයෙක්හි යෙදුනවුන්ට ම මුත් අන්යයන්ට අවබෝධ වේයයි නොසිතමු. ලෝකයෙහි ව්යාප්ත භාෂා අතුරෙන් අඩු භාෂාව පාලිභාෂාවයයි කිව යුතුය. මේ තාක්ම පාලිභාෂාව පිළිබඳව අපරට පැවැති සම්භාව්ය එකම කෝෂග්රන්ථය නම් පාලි නිඝණ්ඩුවයි. එය ග්රහණ-ධාරණ සෞකර්ය්යය සලකීමෙන් මේ කෝෂග්රන්ථ නිපදවීමේ පෙර පැවති සිරිතට අනුව ගාථාබද්ධතාවයෙන් සම්පාදිත වූවකි. එහි ඇතුලත්ව තිබෙන වචන සංඛ්යාව ද සල්පයි. එහෙත් එය සංස්කෘත භාෂාවට අමර කෝෂය මෙන් පාලි භාෂාවට මහෝපකාරීය. මේ හැර අභිප්රාය ගුණවර්ධන රාජගුරු බණ්ඩාර මහතා විසින් සම්පාදිත යයි සලකනු ලබන පුස්කොළ පත්ඉරු 30 කින් පමණ යුක්ත ඉතා කුඩා පාලි අකාරාදියක් ද මහනුවර මල්වතු විහාරයේ සංඝරාජාරාමාධිපති වැලිවිට ශ්රී සරණංකර මහා ස්ථවිරපාදයන් වහන්සේගෙන් අපට ලැබුණේය. එහි වචන හත්දවසකට වඩා ඇතුලත් නොවේ. තේරුම් ද බොහෝ සදෝස්ය. එබැවින් මේ අකාරාදිය සම්පාදනය කිරීමේදී අපට ගුරුකම් ගන්නට හෝ පිළිසරණ කරගන්නට ප්රවීන වූ හෝ කිසිවකුත් නොවිය. පෙල-අටුවා-ටීකා-අනුටීකා ආදිය හා පාලිභාෂාවෙන් ලියන ලද වෙනත් ග්රන්ථයන් ද පරීක්ෂාවෙන් බලමින් වචන සපයන්නට හා අර්ථ දක්වන්නටත් සිදු විය. එය අතිශයින් ම පරිශ්රම එලවන්නකි. බොහෝ කලක් දිවා-රෑ දෙක්හි මෙසේ බලවත් පරිශ්රමයක් උසුලමින් මේ ග්රන්ථය සම්පාදනය කෙළෙමු. ලංකාවේ පාලිභාෂාව පඨන-පාඨනාදිය කරුණුවන්ට මෙයින් මඳුවත් පලක් වී නම් එයම අපගේ පරිශ්රමසාඵල්යය කොට සලකමු.
පෙරදිග භාෂා පිළිබඳ අකාරාදිකෝෂයන්හි ආඛ්යාත ක්රියාරූප පෙන්වීමේ සිරිතක් නැත. එහෙත් ආධුනිකයන්ට ක්රියාරූප හඳිනා ගැනීමේ හා ඔවුන් සිදුවන අයුරු දැන ගැනීමේත් සෞකර්ය්යය ඇති කරණු සඳහා අපි මෙහි ක්රියාවන්ගේ වර්තමාන රූපය හා සිද්ධ කිරීමට දුෂ්කරයයි පෙනෙන වෙනත් ක්රියාරූප ද ඔවුන්ගේ නිෂ්පත්තීන් ද යෙදීමු. රයිස් ඩේවිඩ්ස් මහතා උන්නාන්සේගේ පාලි ඉංග්රීසි අකාරාදියේ ඇතැම් ක්රියාරූප පෙන්වා තනත්ථි-පත්තිස් පෙන්වීමේදී සංස්කෘත ධාතු පෙන්වා තිබේ. පාලි ක්රියාරූප ආදින්වීමේදී සංස්කෘත ධාතු පෙන්වීම රයිස් ඩේවිඩ්ස් මහතා ස්වකීය අකාරාදියේ කර තිබෙන වරදකි. එසේ කිරීමට හේතු ද උන්නාන්සේ පෙන්වා තිබේ. නමුත් ඒ හේතු මෙබඳු වරදක් කිරීමට තරම් යයි අපි නොසිතමු. මේ හැර උන්නාන්සේගේ ඒ අකාරාදියේ තවත් බලවත් වරදක් දක්නා ලැබේ. එනම්:- මහයාන බෞද්ධ සංස්කෘත වචන පාලි වචන මෙන් සලකා එහි යෙදීමයි. බෞද්ධ ධර්මය පැවසෙන පමණකින් පාලි අකාරාදියක සංස්කෘත වචන යෙදීම යුතු නොවේ.
මේ දුෂ්කර කාර්ය්යයේදී විද්යොදය පිරිවෙණේ සම්භාවනීය ආචාර්ය්ය වරයන් කිහිප දෙනෙකුන් වහන්සේලාගෙන් විශිෂ්ටෝපකාර ලදිමු. විශේෂයෙන් අපෙන් ඇත්වූ ලොකු කුඩා දෙයක් ශුද්ධ කරදීමෙන් හා මුද්රණයේදී ශෝධ්යපත්ර බලා දීමෙනුත් විද්යොදය පිරිවෙණේ උපප්රධානාචාර්ය්ය බද්දේගම පියරතන ස්ථවිරපාදයන්ගෙන් හා උපචාර්ය කහකන්දොළුවේ පඤ්ඤාසෙඛර, පණ්ඩිත වැලිවිටියේ සොරත යන ස්ථවිර වරුන්ගෙනුත් මගේ ශිෂ්ය ඇහිබරණේ වාගීශ්වරාවාසී කුකුල්නාපේ දෙවරක්ඛිත තැනැත්තන්ගෙන් බලවත් උපෂ්ටම්භයක් ලැබුණු බව කෘතඥතා පූර්වකව සඳහන් කරම්හ. එසේම විද්යොදය පරිවෙණාධිපති පණ්ඩිත ශිරෝමණී කහවේ ශ්රී සුමංගල රතනසාරාභිධාන ප්රධාන නායක ස්ථවිරපාදයන් වහන්සේ විසින් අවසාන ශෝධ්යපත්ර බලා දීමෙන් ඉතා මහත් අනුග්රහයක් කරණ ලද බව ද ගෞරවයෙන් සඳහන් කරම්හ. අපේ ශිෂ්ය නමක් වන මොහොට්ටාවෙ මේධංකර තැනැත්තන්ගෙන් මීට බොහෝ උපකාර ලැබුණු බව සන්තෝෂයෙන් සඳහන් කරම්හ.
මෙබඳු භාරදූර ග්රන්ථයක් සම්පූර්ණකොට ම ප්රසිද්ධ කිරීම උචිත නමුත් එසේ කරන්නට ඉතා දීර්ඝ කාලයක් ගතවන හෙයිනුත්, කොටස් වශයෙන් ප්රසිද්ධ කිරීම පහසු හෙයිනුත්, එසේ කරණ ලෙස අපේ හිතවතුන් ඉල්ලූ හෙයිනුත් මේ වර මෙසේ වචන 3600 කින් මේ කාණ්ඩය ප්රසිද්ධ කරන්නට කල්පනා කෙළෙමු.
මෙහි අප අතින් සිදුවූ ප්රමාද දෝෂයන් බොහෝ විද්යාමාන විය හැකියි. එබඳු තැන් දුටුවහොත් ඒවත්, මේ කාර්යය පිණිස උපදෙශ වශයෙන් කියයුතු යමක් ඇතහොත් ඒ සියල්ලක්, ශාස්ත්රාභිවෘද්ධිකරණාභිලාෂයෙන් හා කරුණාවෙනුත් අපවෙත දන්වන ලෙස සුධීන් අයදුම්හ.
ශාසන සබ්රහ්මචර්ය්ය වශයෙන් මේ ග්රන්ථය කිරීමෙන් අප විසින් අත්පත් කරගත් කුශලස්කන්ධය අපගේ ආචාර්ය ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය හික්කඩුවේ ශ්රී සුමංගලාභිධාන ප්රධාන නායක මාහිමියන් වහන්සේ වෙත හා ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය ධර්මකීර්ති ශ්රී හෙයියන්තුඩුවේ ශ්රී දෙවමිත්රාභිධාන ප්රධාන නායක මාහිමියන් වහන්සේ වෙතත් හාපිටිගම් කෝරළේ ගස්පේ පුරාණ විහාරාධිපතිව වැඩ විසූ වැකුඹුරේ ශ්රී සිද්ධාර්ථ ස්ථවිරපාදයන් වහන්සේ වෙතත් පුණ්යානුමෝදන වශයෙන් පිරිණමම්හ.
බෝරැග්ගමුවේ රෙවත ස්ථවිර., 1. ජනවාරි, 1931., ශ්රී බුද්ධ වර්ෂ දෙදහස් සාරසිය සිවු සැත්තෑවට පැමිණි දුරුතු මස පුරදෙළොස්වක් නම් තිථිය ලත් ගුරුදින ගංගොඩවිල සුභද්රාරාම රජමහා පිරිවෙණේදීය.
උපක්රමණිකා.
පාලි භාෂාව.
සකලලොකහිතවිධාතාවූ අපගේ ලොකස්වාමී තථාගතයන් වහන්සේ විසින් ස්වයම්භූඥානයෙන් අවබෝධ කරගත් නව ලොවුතුරු දහම් මෙරමානට අවබෝධ කරවනු පිණිස දේශනා කර වදාළ භාෂා තොමෝ ‘පාලි’ නම් වන්නීය.
පාලි යයි නම් කිරීමේ හේතුව.
කුමක් හෙයින් ඕ තොමෝ ‘පාලි’ යයි නම් කරණ ලද්දී ද? යනු මේ භාෂාව පිළිබඳ විමර්ශයක් කරන්නවුන්ගේ සිත් තුල පලමුකොට පහලවන ප්රශ්නයයි. ‘පාලි’ යන්නෙහි මුඛ්යාර්ත්ථය නම් ත්රිපිටක ධර්මය පිළිබඳ මූලග්රන්ථ යනුයි. සංස්කෘත සාහිත්යයෙහි යම්කිසි මූලග්රන්ථයක් හෝ තදෙකදෙශයක් සදහන් කරට් තන්හි “තථා ච සූත්රපද්ධතිඃ” “ඔමනතු ඉති ආස්නායපද්ධතිඃ” යනාදීන් ‘පද්ධති’ ශබ්දය ව්යවහාර කිරීම තදර්ථබෝධයන්ගේ සිරිතක් ලෙස අද දක්වාත් පැවත එයි. ඒ අනුව බෞද්ධ සාහිත්යයෙහි ද ත්රිපිටක මූලග්රන්ථයන් ඈදැක්වීමේදී ඊට පුරාතනාචාර්ය්යවරයෝ ‘පාලි’ යයි ව්යවහාර කලහ.
උදාහරණ. “නෙව පාලියං න අට්ඨකථායං දිස්සති” 1 - (පෙලේ හෝ අටුවාවෙහි නොදක්නා ලැබේයි.) “යො පන අත්ථමෙව සම්පාදෙති, න පාලිං” 2 - [යමෙක් අර්ත්ථය (=අටුවා) පමණක් උගණ්යී ද, පෙල නොම උගණීද] “ඉති ආදිසු අයං පාලි” 3 (මේ ආදීන්හි මේ පෙලයි) “සෙසං යථා පාලිං එව නීයතී” 4 - (සෙස්ස පෙලවූ පරිද්දෙන්ම වේ.) “පාලි මතතමෙවානීතං නත්ථි අට්ඨකථා ඉධ” 5 - (මෙහි පෙල පමණක් ගෙණ එන ලදී, අටුවා මෙහි නැත.) යනාදීන් අටුවාහි හා වෙනත් ග්රන්ථයන්හිත් එන බොහෝ උදාහරණයන්ගෙන් ඒ බව ස්ඵුට වේ.
මේ ‘පාලි’ ශබ්දය ‘පඬකති’ ශබ්දයෙන් බිඳී ආයේ යයි ඇතැම්හු කියති. ඇතැම්හු ‘පාඨ’ ශබ්දයෙන් බිඳී ආයේ යයි ද, ඇතැම්හු ‘පල්ලී’ ශබ්දයෙන් බිඳී ආයේ යයි ද, ඇතැම්හු ‘පලාස’ ශබ්දයෙන් බිඳී ආයේ යයි ද, ඇතැම්හු ‘පලී’ ශබ්දයෙන් බිඳී ආයේ යයි ද, ඇතැම්හු ‘පාටලී’ ශබ්දයෙන් බිඳී ආයේයයි ද කියති. දඹදිව බෝල්පූර්හි ශාන්තිනිකෙතන විශ්වවිද්යාලයාධිපති විධුශෙඛර ශාස්ත්රී මහතා උන්නාන්සේගේ පාලිප්රකාශප්රවේශයෙහි ‘පාලි’ ශබ්දය සංස්කෘත ‘පද්ධති’ ශබ්දයෙන් බිඳී ආයේයයි කියා එහි ව්යුත්පත්තියද දක්වයි. ඒ මෙසේයි:- පද්ධති = පන්තී=පණි (ත=ට) = පංලී (ට = ල) = පල්ලී = පාලී, නැතහොත් පද්ධති (ද්ධකාර ලොප) = පන්තී පට්ටි = පල්ලී = පාලී.
වෛයාකරණයන්ගේ ශබ්දසාධනශක්තිප්රභාවයෙන් ‘පාලි’ ශබ්දය මෙසේ මෙකී ශබ්දයන්ගෙන් බිඳගත හැකිවුවද එය යුක්ති යුක්ත නොවේ. කුමක් හෙයින්ද? යත්:—මේ භාෂාවට ‘පාලි’ නාමය ලැබෙන කාලයෙහි සංස්කෘත භාෂාවෙන් ශබ්ද බිඳගෙන මේ භාෂාවට ඇතුලත් කර ගැනීමේ සිරිතක් නොපැවති හෙයිනි.
පාලිනාමය ව්යවහාරප්රාප්ත වූ කාලය පාලි භාෂාවට පාලි නාමය කොයි කාලයේ සිට ව්යවහාරප්රාප්ත වූයේද යනු. නිශ්චය කිරීම දුෂ්කරය. ඉහත දැක්වූ උදාහරණයෝ ක්රිස්තු වර්ෂ පස්වෙනි ශතවර්ෂයේ හෝ ඊට මෑතදී ලියන ලද ඒවා වෙති. මේ ව්යවහාරය ක්රිස්තු වර්ෂයෙන් ප්රථම නෙ ද්විතීය ශතවර්ෂයේදී පමණ ඇරඹුනේ යයි මීට අවුරුදු පණස් නවයකට පෙර ඉංග්රීසියෙන් පාලි අකාරාදියක් ලියූ චිල්ඩර්ස් මහතා කියයි. සංස්කෘත භාෂාවෙන් ශබ්ද බිඳගෙන පාලි භාෂාවට ඇතුලත් කරගැනීමේ සිරිත ඇරඹි තිබෙන්නේ බුද්ධ වර්ෂයෙන් අටවැනි ශතවර්ෂයෙන් මෙපිටය. සද්ධම්මොපායනය, දාඨාවංසය, මහාබොධිවංසය යනාදි ග්රන්ථයන්හි මෙසේ බිඳගත් ශබ්ද ඉතා ස්වල්පයක් දක්නා ලැබේ. ඉන් පෙර ලියනලද එකදු ග්රන්ථයක වත් එබඳු ශබ්ද දක්නා නොලැබේ. (මෙසේ බිඳගත් ශබ්දයන්ගේ සංග්රහයක් දක්නට පාලි උගත් යුරෝපීය පණ්ඩිතවරයෝ බලාපොරොත්තු වෙත්. අපේ යම් පණ්ඩිතයෙකු මේ ගැන කල්පනා කළහොත් යෙහෙකි.)
1. සුමංගල විලාසිනී 2. ධම්මපදට්ඨකථා. 3. විසුද්ධිමග්ග 4. කථාවත්ථු අට්ඨකථා. 5. මහාවංස
[...]