පාතිමොක්ඛදීපිකා - විගොඩ ගුණාලංකාර හිමි 1959.pdf
- කතෘ :
- විගොඩ ගුණාලංකාර හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1959
- මුද්රිත වර්ෂය :
- 1959
- පිටු ගණන :
- 306
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 63 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාතිමොක්ඛදීපිකා යනු භික්ෂු ප්රාතිමොක්ෂය විස්තර කෙරෙන සිංහල විනය ග්රන්ථයකි. බේරුවල විතොඩ ධම්මයුක්තිකාරාමවාසී පණ්ඩිත විතොඩ ගුණාලංකාර ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත මෙම ග්රන්ථය 1959 (බු.ව. 2503) දී මුද්රණයෙන් ප්රකාශයට පත් කර ඇත.
මෙහි පළමුව භික්ෂු ප්රාතිමොක්ෂ පාලි පාඨයන් සන්න සහිතව (පාලි ව්යාඛ්යා) ගෙනහැර දක්වා ඇති අතර, අනතුරුව නිදාන දීපිකා, බද්ධ-අබද්ධ සීමා විස්තරය සහ පාරාජිකා, සංඝාදිසේස, අනියත, නිස්සග්ගිය පාචිත්තිය, සුද්ධ පාචිත්තිය, පාටිදෙසනීය, සේඛියා සහ අධිකරණ සමථ යන සියලු ශික්ෂාපදයන් සවිස්තරව විග්රහ කෙරෙන පාතිමොක්ඛ දීපිකාව අන්තර්ගත වේ. කඞ්ඛාවිතරණී, වජිරබුද්ධි ටීකා, සාරත්ථදීපනී ආදී පැරණි අටුවා ටීකා මූලාශ්රයන් ඇසුරු කරගනිමින් භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය උදෙසා මෙය නිමවා ඇත.
මෙහි ප්රකාශන කටයුතු සිදු කර ඇත්තේ විගොඩ බී. ඩී. ජයකොඩි මහතා විසින් වන අතර මුද්රණය කොළඹ සමයවර්ධන මුද්රණාලය මඟින් සිදු කර ඇත.
ප්රස්තාවනා.
ප්රාතිමොක්ෂය වනාහි අඩමසක් පාසා පොහොය කිරීම් වශයෙන් භික්ෂූන් විසින් උදෙසිය යුතු වූ ද, නිස්සය මුච්චනක බහුශ්රුත බව ලබනු පිණිස උගත යුතු වූ ද, උභය විභඞ්ගාගත ශික්ෂාවන් එක් තැන් කොට දැක්ක හැකි ග්රන්ථයෙකි. එහෙයින් සියලු ම උපසම්පන්න භික්ෂූන් විසින් මේ ග්රන්ථය උද්ග්රහණ ධාරණාදි විසින් පරිශීලනය කටයුතු වේ.
සෙසු විනය ග්රන්ථයන් පිළිබඳ ව මෙන් ම ප්රාතිමොක්ෂය පිළිබඳ ව ද පුරාතනාචාර්ය්යවරයන් විසින් බොහෝ පරිවාර ග්රන්ථයන් සම්පාදිත බව ශෙෂව ඇති නාම මාත්රයන්ගෙන් දත හැකි වෙයි. එයින් ප්රථමය සේ සැලකිය හැක්කේ කඞ්ඛාවිතරණියෙහි1 ද “අයමෙව හි අත්ථො සීහළමාතිකට්ඨකථායං වුත්තො” යනුවෙන් ප්රකාශිත හෙළු මාතිකට්ඨකථාවයි. එය බුද්ධඝොෂ හිමියන්ගේ කඞ්ඛාවිතරණියට මූලාශ්රය විය.
ලීනත්ථප්පකාසිනියක් වන විනයත්ථමඤ්ජුසා යන නමින් ප්රකට කඞ්ඛාවිතරණී ටීකාව ශාරිපුත්ර මහාස්වාමීන්ගේ ශිෂ්යභූත බුද්ධනාග තෙරුන් විසින් සම්පාදිතයි. සාරත්ථදීපනී2 උදකුක්ඛෙපසීමා කථාවෙහි ප්රකාශිත මාතිකට්ඨකථාව සම්බන්ධ ලීනත්ථප්පකාසනිය විනයත්ථමඤ්ජුසාව නොව අන් ග්රන්ථයක් විය හැකියි. භාෂාස්වරූපය අනුව බෙහෙවින් පුරාතනයයි සැලකිය හැකි “කඞ්ඛාවිතරණී ගැටපද” නම් පොතක් ගැන කුදුසික සන්නයෙහි3 කියවේ. මතු දැක්වෙන වැකිය එහි තත්ත්වය විදහා පෙන්වයි.
“මේ මැසි පුටු ඈ සඟහට දෙමි කළ ගුරුබඩු වෙයි නොබෙජ්ජ යුතු, සඟිනි පිරිමැජිනි බැවිනි. මෙ සජ් (? හිමියනට වසෙගිනි ගණිනට දෙමියි කළ ගුරුබඩු හොතුදු කෙපෙ·වත බෙජෙයි වසෙගිනි ගණිනට වටියි, දවා කි සෙයිනි කරති දෙස නැත, අයප වත බෙජෙයි ගත නොලැබෙයි. මේ මැසි පුටු වසෙගිනි ගණිනට සඟහට දෙමියි කි දෙස නැති. පළමි සඟිනි පෙරෙමිජි කියා කළ ගුරුබඩු වෙයි.”
විනය විනිශ්චය ටීකාවේ4 ද මේ ගැටපදය ගැන සඳහන් වේ. පාළියට නඟාලූ යට කී වැකිය ම එක් තැනෙක දක්නා ලැබෙන
බැවින් පාඨශොධනයට ද අර්ථාවබොධයට ද එය මහොපකාරී වේ. (පාළිවාක්යය මේ පොතේ 269 පිටුවෙහි දැක්ක හැකියි.) වජිරබුද්ධියෙහි1 ද මාතිකට්ඨකථා ගණ්ඨි පදයක් ගැන ප්රකාශිතයි.
‘පාද නම් මගධ රටැහි ලාඝුයෙනි ලඝුසමින් ගතියි යනු කඞ්ඛාවිතරණී සනයයි’
“සුවි පන්නිදය යනු හෙළු කඞ්ඛාවිතරණී යි”
යනුවෙන් භාෂාස්වරූපය අනුව කඞ්ඛාවිතරණී ගැටපදයට වඩා නූතන බව දක්වන කඞ්ඛාවිතරණී සනය, හෙළු කඞ්ඛාවිතරණිය යන පොත් දෙකක් ගැන කඞ්ඛාවිතරණී පිටපොතෙහි2 කියවෙයි. ඇතැම් විට මේ දෙපොත ම එකක් වන්නට ද බැරි නැත.
“මෙ ම කිහ ගැටපදයෙහි - විනික්කමෙනාපන්නාපත්ති නාමං තස්සා නාමං යි”3
මෙසේ විශේෂණයක් නොමැති ගැටපදයක් ගැන ද එහි ප්රකාශිතයි. මෙය වජිරබුද්ධියට කරුණු උපුටා ගත් ගැටපදයන් අතුරින් එකක් විය හැකියි.
වජිරබුද්ධියෙහි: 4
“නාලිංචෙව ආපත්තිවාති - තෙන තෙන විනික්කමෙනාපන්නා පත්ති ආපත්ති. නාමිනති තස්සා ආපත්තියා නාමනති ලිඛිතං” යනු දක්නා ලැබේ.
මේ පාඨය අනුව පිටපොතෙහි දැක්වු වැකියේ ඌනතාව ද සම්පූර්ණ කොට ගත හැකියි. “ලිඛිතං” යන්නෙන් වජිරබුද්ධියෙහි5 ප්රකාශ වන්නේ පුරාතන ගැටපදයෙහි ලියන ලද බවයි.
වජිරබුද්ධි ටීකා යන නමින් ප්රකට ග්රන්ථය වනාහි පසු කල රචිත සියලු විනය ග්රන්ථයන්හි නම සටහන් වන සමන්තාපාසාදිකාව පිළිබඳ ගණ්ඨිපදව්යවප්රකාශනය කරන පැරණි ග්රන්ථයෙකි. “එතෙහි පන භික්ඛුනියො6 චාතුද්දසියංයෙව ගන්ත්වා තද අහො උපොසථොති පුච්ඡන්ති” යන වැකියෙන් හැඟෙන්නේ එය මෙහෙණි සස්න පැවති සමයේම ලියූ බවයි. එ මතු නොව “ඉතරෙහි සාමණෙරෙයෙවාති නිස්සන්දෙහෙ ලිඛිතං, එතස්සෙ - වන්තාය වජිරබුද්ධිනාපි වුත්තභාවො දක්ඛිතො” යන විනිශ්චය ටීකා7 පාඨය අනුව නිස්සන්දෙහ නම් වන විනිස සන්නයෙහි ද වජිරබුද්ධි නාමය සටහන් වූ බව පෙනෙයි. කඞ්ඛාපිටපොතෙහි1 විනය අටුවා ගැටපද විවරණය යන නමින් හඳුන්වන්නේත් වජිරබුද්ධි ටීකාව මැයි 2
සමන්තාපාසාදිකා අත්ථයොජනාව ලියූ ආචාර්ය්යවරයා විසින් ලියන ලදැයි සලකන පාතිමොක්ඛගණ්ඨිදීපනී නම් පොත ලංකාවේ සුලභ වූවෙකි. කඞ්ඛායොජනා මහාටීකා යන නමින් හඳුන්වන පිටු 1500 කින් අධික මහාග්රන්ථය ද පාතිමොක්ඛපදත්ථ අනුවණ්ණනා නම් ග්රන්ථය ද මුම්මදෙසීය ආචාර්ය්යවරයන් විසින් ලියන ලද පොත් දෙකෙකි.
ප්රාතිමොක්ෂයට ලියූ සන්න කිහිපයෙක් මෙකල විද්යමාන වෙයි. කෝට්ටේ සමයෙන් පෙරා ලියූ බව පෙනෙන පැරණි සන්නය ප්රශස්තම ග්රන්ථයෙකි. කඞ්ඛාවිතරණියේ කොටසකට ලියූ නූතන සන්නයක් ද මුද්රිත ව ඇත. පණ්ඩිත ලීනරතන, රන්ගම් පුඤ්ඤසෙඛර යන මහාස්ථවිරයන් වහන්සේලා විසින් ප්රකාශිත රත්නාවලී සූදනීය ආධුනිකයනට බෙහෙවින් වැඩ සලසා දෙන දැනට ඇති සිංහලභාෂිත එකම විස්තර වර්ණනාවයි.
ප්රාතිමොක්ෂය උගන්නා සමයෙහි ම සිංහලයෙන් විස්තර දත හැකි පොතක් වෙතොත් මහත් පහසුවක් සැලසෙන බව කල්පනා කෙළෙමි. මෙය සඳහා මා මෙහෙයුනේත් මෙයින් වර්ෂ කිහිපයකට පෙර මේ පොත ලියා අවසන් කරන ලද්දේත් ඒ අදහස මුදුන් පත් කරනු සඳහාය. වජිරබුද්ධි සාරත්ථදීපනී ආදි ග්රන්ථ සම්පාදනයට ප්රථීතම ටීකා ගැටපද ආදිය සමාශ්රිත වූවා සේ ම මේ කෘතියට ද සොයා ගත හැකි වූ සියලු ම විනය ග්රන්ථයන් උපකාරී වූ බව පළ කළ යුතුය. මුද්රණය පහසු වන පිණිස නාතිවිස්තෘත ව ලියන්නට සැලකිලිමත් වූ නමුත් ආවශ්යක හැම කරුණක් ම මෙහි ඇතුළත් වැ ඇතැයි ද සිතමි. මෙහි ඇතැම් තැන් මාතිකට්ඨකථාව පරිශීලනය කරන විට ප්රයෝජනවත් වන සේ ලියා ඇත. ධර්ම විනය පිළිබඳ වචන ව්යාඛ්යා මාර්ගයෙන් පැහැදිලි කිරීමෙන් අවාඩක් නොවන බැවින් පෙළත් සහිත සන්නය ද පොතේ මුලට යා කෙළෙමි. පෙළ සකස් කිරීමේ දී බුරුම ඡට්ඨසඞ්ගායනාවෙන් ප්රකාශිත පොත් ද සමාශ්රය කරන ලදි. භාවිතයෙහි නොපවත්නා බැවින් භික්ඛුනී පාතිමොක්ඛය මෙහි නොදැක්විණ.
ධර්මවිනය ද ශාස්ත්රාන්තරයන් ද පිළිබඳ ලංකාවේ අද්විතීය මහාපණ්ඩිතවරයකු වන අතුරුගිරියේ බෝධිරුක්ඛාරාමාධිපති පූජ්ය පණ්ඩිත මල්ලල්ගම සිරි සීලාලංකාර රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක ස්වාමීන්ද්රයන් වහන්සේ වැඩවසන තැනැහි වෙසෙමින්ද මෙහි මුල් කොපියේ බොහෝ තැන් කියවා ග්රන්ථිස්ථාන විසඳා දීම ආදියෙන් කළ උපකාරය කෘතවේදිත්වයෙන් සිහිපත් කරමි. මුද්රණ කාර්ය්යාවසානය දක්වා සියලු අවස්ථාවන්හි මේ පොතේ කටයුතුවලට ස්වීය සහාය දුන් නිට්ටඹුවේ විද්යානන්ද පරිවෙණාධිපති දීපල්ලෙගොඩ ශ්රී චන්ද්රවිමල මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ ද මා පැවිදි කොට මෙවැන්නක් කිරීමෙහි ලා ශක්තිය ලබා දුන් මගේ ආචාර්ය්ය විතොඩ ධම්මයුක්තිකාරාමාධිපති කලුගමුවේ ගුණසාර මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ ද බැති සිතින් අනුස්මරණය කරමි.
නිදොස් කොට පොතක් ලිවීම මෙන් ම මුද්රණයට ධනය යොදවන්නන් සෙවීමත් අතිශය දුෂ්කරයි. මේ පොතේ මුද්රණය සඳහා ධනය යොදවන ලද්දේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන විතොඩ බී. ඩී. ජයකොඩි මහතා විසිනි. ඒ මහතා ඉදිරිපත් නොවි නම් මේ පොත මෙසේ මුද්රණයෙන් ප්රකාශයට පත් නොවන්නේය. ඒ මහතාට ශාස්ත්රඥයින්ගේ කෘතඥතාව අයත් වේ. මෙහි මුද්රණය සැලකිල්ලෙන් කර දුන් මාලිගාකන්ද පාරේ සමයවර්ධන මුද්රණාලයීය කාර්යමණ්ඩලයට ද සතුති කෙරෙමින් ප්රමාදයෙන් හෝ භ්රමයෙන් හෝ වන වරද මෙහි විය හැකි නිසා ‘දක්නා සුධීහු දන්වත්වා’යි සමාධානය ද කරමි.
විනයො දීපතු.
විතොඩ ගුණාලංකාර ස්ථවිර.
ධම්මයුක්තිකාරාමය, විතොඩ - බේරුවල.
2503. 1959, 10, 5.
විතොඩ ගුණාලංකාර ස්ථවිර.
ධම්මයුක්තිකාරාමය,
විතොඩ - බේරුවල.
2503.
1959, 10, 5.