පරමාර්ත්ථ විභාගය සහ විනයොපදෙශය - විටියල සිරි සාරානන්ද හිමි 1939.pdf
- කතෘ :
- විටියල සිරි සාරානන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1939
- මුද්රිත වර්ෂය :
- 1939
- පිටු ගණන :
- 502
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 130 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පරමාර්ත්ථ විභාගය සහ විනයොපදෙශය යනු මාතර විටියල සිරි සාරානන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ධර්ම විනය කරුණු විස්තර කෙරෙන අගනා ග්රන්ථයකි. ත්රිපිටක පාළිය, අටුවා සහ ටීකා ග්රන්ථවල නොයෙක් තැන්වලින් උපුටා ගත් ගැඹුරු ධර්ම හා විනය පද විස්තර සහිතව මෙහි අන්තර්ගත කොට තිබේ.
මෙම කෘතිය පළමුවරට මුද්රණය කිරීමෙන් අනතුරුව අනගාරික ධර්මපාලතුමා ඇතුළු ගිහි පැවිදි බොහෝ වියතුන්ගේ ප්රශංසාවට ලක් වූ අතර, දෙවන වර සංශෝධනය කරමින් සිටියදී කර්තෘන් වහන්සේ අපවත් වීම නිසා උන්වහන්සේගේ ශිෂ්ය කපුගම සුගතවංශ ස්ථවිර සහ කපුගම පඤ්ඤාරංසි ස්ථවිර යන හිමිවරුන් විසින් සංශෝධනය සම්පූර්ණ කරන ලදී.
මෙම දෙවන මුද්රණය රත්මලානේ දුම්රිය කම්කරු විනයොපදෙශ ප්රස්තාක මුද්රණ සමිතිය මඟින් නොමිලේ ධර්ම දානය පිණිස ක්රි.ව. 1939 (බු.ව. 2483) දී මොරටුවේ දෙබන්ගොඩ සහ සමාගමේ මුද්රණාලයෙහි මුද්රණය කරවා ප්රසිද්ධ කර ඇත.
සංඥාපනය
ශ්රී සද්ධර්මවර චක්රවර්තී ස්වාමිවු සම්මාසම්බුදුරජානන් වහන්සේ සතළිස්පස්වසක් මුළුල්ලෙහි වදාළතාක් ධර්මය රසවසයෙන් එකක් වූයේ නමුදු ධර්මවිනය වශයෙන් දෙකකි. පිටක වශයෙන් තුනක් වූයේ නමුදු සඟි වශයෙන් පහකි. අංග වශයෙන් නවයක් වූයේ නමුදු ස්කන්ධ වශයෙන් අසූහතරදහසකි.
ධර්මයානම් නව ලොකොත්තරයයි. එය ලැබීම පිණිස පුහුණු කළ යුතු: පර්ය්යාප්තිය සමය දස වැදෑරුම් වෙයි, පර්ය්යාප්ති ධර්මය නම් ත්රිපිටක ධර්මයයි. සිවුපිරිසෙහිවූවෝ යම්තාක් මේ තුන්පිටකයෙහි බණ දැන ඉගෙන දරාගෙන පිළිවෙතෙහි යෙදෙද්ද ඒ තාක් ශාසනය පිරිසුදුව පවත්නේවෙයි.
ධර්මය දැනීමෙන් හෝ ඇසීමෙන් තුරන්ව ප්රතිපත්ති පුරන්ට නොහැක්කේය. බණ දැනගත් නමුත් ශ්රද්ධාවීර්ය්ය නොමැත්තවුන්ට ප්රතිපත්තියක්ද නැත්තේය.
කලින්කල තරමකින් හෝ පොත් පත්රිකා පත්රසඟරා ආදියෙහි පළකළ පමණකින් හෝ ප්රතිපත්තියක් නොපිරෙයි. ප්රතිපත්තිය රහිත ගිහියා හෝ පැවිද්දා ත්රිපිටකධාරීවූයේ නමුත් සසර දුකින් තබා සතර අපායෙන්වත් නිදහස් නොවන්නේය. මේ කාලයෙහි ශාසනය ඉදිරිකිරීමෙහි යෙදී සිටින ගිහි පැවිදි බොහෝ පින්වතුන්ගෙන් දිනපතාම ශාසනය ඉවත්වයාමෙන් පිරිහෙන බව කීම කිසිවකුට නින්දාවක් පිණිස නොවෙයි. මෙසේ පිරිහීගෙන යන ශාසනයාගේ දියුණුව පිණිස මෙයින් සුලු උපකාරයක්වත් සිදුවුව හොත් යෙහෙකැයි යන පිරිසුදු අදහසින්ම සිය ඇදුරු හිමිපානන්ගේත් ගිහි සැදැහැවතුන්ගේත් අයැදුම පිළිගෙන පරමාර්ත්ථ විභාගය සහිත මෙම විනයොපදෙශය කළ බව එහි පළමු පළකළ නිවේදනයෙහි ප්රකාශිතයි.
මෙය සම්පාදනය කළේ මාතර කපුගම සුධර්මාරාමාධිපතිව වැඩ විසූ ශික්ෂාකාමී ගොඩපිටියේ ගරු සොභිත මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගේ ශිෂ්යවූ සුපෙසල ශික්ෂාකාමී සිරි සද්ධර්මාචරිය ගරු විටියල සිරි සාරානන්ද මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේය. මාතර කපුගම සුධර්මාරාමය මුරුතගස්පිටියේ පශ්චිමාරාමය හේවාගම්කෝරලයේ බෝලැත්තාවේ සුභද්රාරාමය යන ආදී ආරාමයන්හි ශාසනානුශාසකව කලින්කල වෙසෙමින් මහත් ලෝක ශාසන සංග්රහයක්කර වදාළ මෙම ග්රන්ථ කර්තෘභූත අස්මදාචාර්ය්ය සිරි සාරානන්ද මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ වනාහි තුන් පිටකයෙහි පෙළ සම්පූර්ණයෙන්ද අටුවාවලින් කීපයක් හැර අනික් සියල්ලද විනය අභිධර්මටීකා සියල්ලද සියතින්ම ලියා කීපවරක් කියවා පළපුරුදු ඇතුව සිටි උතුමෙකි.
ප්රතිපත්තිය ජීවිතයට වඩා ගරුසරුකොට පිරූ වර්තමාන ශතවර්ෂයෙහි පහළවූ එක්තරා වීරවරයෙකි. ප්රතිපත්ති ගරුක මෙබඳු භික්ෂූන්වහන්සේලා එක් මනුෂ්යයෙකුගේ ජීවිත කාලය තුළ දකින්ට ලැබෙන්නේ කීප නමකි. ඒ උතුම් වීරවරයානන් ගැන කොටින්ම කියයුත්තේ කල්යාණ පාඨගර්ජන බුද්ධපුත්ර භික්ෂු නමක් ගැන ධර්මවිනයෙහි ප්රකාශවූයේ යම් ක්රමයක්ද ඒ ක්රමයට පැවිදි ජීවිතය ගතකළ බවයි.
ඒ බව සිතී නුවණ මෙහෙයා මෙම පොත බලන කාහට නමුත් ඉදුරාම වැටහෙයි. අධික ශ්රද්ධාවෙන් හා වීර්ය්යයෙන් පෙළ අටුවාවල නොයෙක් තැනින් උපුටාගත් ධර්මවිනයපද විස්තරකර දැක්වීම සමහරුන්ගේ සොම්නසටද ඇතැමුන්ගේ දොම්නසටද හේතුවිය. පොතෙන් භාෂාව හෝ ව්යාකරණය උගැන්වීමට වෑයම් නොකළ බව පෙනීයයි. මේ පිළිබඳ මහන්සිය යොදා තිබෙන්නේ ධර්මාර්ත්ථය පමණක් තේරුම් කර දීමටය. පේළි අටුවාටීකා බොහෝ පොත් වලින් උපුටාගත් කරුණු සංඥනය කිරීමෙන්ද සිංහලට පෙරළීමෙන්ද මුද්රණ කරුවන්ගේ ප්රමාදයෙන්ද ඇතිවු අඩුපාඩුකම් සම්පූර්ණකොට දෙවන වාරයෙහි මුද්රණය කරවීම සඳහා පොත ශුද්ධ කිරීම ග්රන්ථ කර්තෘන්වහන්සේම ආරම්භ කෙළේය. ප්රථමවාරයෙහි මුද්රණය කරවූ පොත් ග්රන්ථකර්තෘන් වහන්සේ විසින්ද දායකමහතුන් විසින්ද ධර්මදානය වශයෙන් ගිහි පැවිදි පින්වතුන්ට බෙදා දෙන ලදහ. ඒ පොත් දැක සතුටුවූ අම්බලංගොඩ උප සංඝරාජ දේවානන්ද නායක ස්වාමින් වහන්සේද කෝදාගොඩ උපසෙන මහානායක ස්වාමීන් වහන්සේද මොරටුවේ මේධානන්ද නායක ස්වාමින්වහන්සේද දෙමටගොඩ මහා විසුද්ධාරාමාධිපති ආචාර්ය්ය සිරිධම්ම ස්වාමින් වහන්සේද සල්ගල ආරණ්යයෙහි වැඩවිසු උභයෙ විමලසාර ස්වාමින් වහන්සේද යන ආදී පැවිදි පණ්ඩිතවරයෝද “බෞද්ධයන් විසින් මෙකලට භාවිත කටයුතු ග්රන්ථයක් නම් පරමාර්ත්ථ විභාගයයි. කලකින් මෙවැනි ප්රයෝජන ග්රන්ථයක් මුද්රණයවී නොමැතියි” යන ආදිය පත්ර මාර්ගයෙන් පළකරමින් ශ්රීමත් ධර්මපාලතුමා ආදී ගිහි පණ්ඩිතවරයෝද පිංදීමෙන් හා පැසසීමෙන් පාලි සිංහල ලියුම් එවූහ. පොත රටේ පැතිරයාමෙන්ද පත්රමාර්ගයෙන් කරුණු ප්රකාශවීමෙන්ද තොරතුරු දැනගත් බොහෝ ගිහිපැවිදි පින්වත්හු ග්රන්ථ කර්තෘ ස්වාමින්වහන්සේ වෙතද ප්රකාශක කේ. ඩී. පේදිරික් අප්පුහාමි වෙතද පොත් ඉල්ලා සිය ගණන් ලියුම් එවන්ට පටන් ගත්හ. කලින් ලැබුණු ලියුම් වලට පොත් යවා අවසානවූ පසු අනික් භවතුන්ට දෙවනවර මුද්රණයෙන් පසුව පොත් ලැබෙන බව දන්වා හරින්නට සිදුවිය. මෙපරිදි බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා නැවත ඉක්මනටම මුද්රණයකරවීම සඳහා පොත ශුද්ධ කිරීමෙහි යෙදී සිටිනාතර බෞද්ධ කල්යාණ මිත්ර සීලවත් ගුණවත් මෙම ග්රන්ථ කර්තෘන් වහන්සේ අපවත් වී වදාළේය. ඉක්බිති ශ්රී බුද්ධ වර්ෂ 2471 වන වර්ෂයෙහි අපගේ අනුශාසනය පරිදි බෝලැත්තාවේ සුභද්රාරාමයෙහි පිහිටුවන ලද ශ්රී සද්ධර්මාරක්ෂක සමිතියට ලැබුන ආධාර වලින් දොන්. විලියම් එදිරිසිංහ වෙදමහත්මයාගෙද එච්. ඩී. තෝමස් අප්පුහාමිගෙද උත්සාහය නිසා පොත් හාරදහසක් මුද්රණය කරවීම පිණිස කොළඹ සිලෝන් ස්ටේෂනර් මුද්රණාලයට භාරදී මුල් පෝර්මය මුද්රණය කරවූ පසු රටේ මුදල් හීනකම නිසා ආධාර නොලද හෙයින් පොතේ වැඩද ප්රමාදකරන්නට සිදුවිය.
මෙසේ ප්රමාදයට පැමිණ තිබෙන කල්හි මේ පොතෙන් බෞද්ධ මහජනයාට ඇතිවන විපුල ප්රයෝජනයත් පොත ලැබ ගැනීමට තිබෙන දුෂ්කර කමත් කල්පනා කළ රත්මලානේ දුම්රිය කම්කරු සැදැහැවත් මහතුන් සමූහයක් විසින් ආරම්භකරනලද රත්මලානේ දුම්රිය කම්කරු විනයොපදෙශ ප්රස්තාක මුද්රණ සභාව මගින් පොත් තුන්දහසක් මුද්රණය කරවීම සඳහා අපගේ අවසරයද ලැබගන්නා ලද්දේය. මුලින් මුද්රිත පෝර්මයද භාරගෙන ඊට වියදම් කළ භවතුන්ට සෑහෙන ප්රමාණයකට පොත් දීමටද නියමකර ගන්නට සිදුවිය. මෙසේ කටයුතු පිළියෙලකොට ඒ සභිකමහතුන් විසින් මොරටුවේ දෙබන්ගොඩ සහ සමාගමේ මුද්රණාලයට පොත භාරදෙන ලදී. යථෝක්ත සමිතියේ සභික මහතුන්ගේද කළමනාකාර මහත්මයාගේද බලවත් ව්යායාමයෙන් යුත් මුද්රණාලය අයිති ඩී. පී. දෙබන්ගොඩ මහත්මයාගේ සහ කළමනාකාර මහත්මයා ආදී කම්කරු මහතුන්ගේ විශේෂ සැලකීම නිසාද පොත මුද්රණය කරවා ධර්මදානය වශයෙන් මහජනයාට බෙදාදීම සඳහා අවසන් කරන්නට හැකිවිය.
අප සොහොයුරු කපුගම සුධර්මාරාමාධිපති උගත් පඤ්ඤාරංසි ස්ථවිරයන් සහායකකර ගෙන පොත ශුද්ධ කිරීම රෝග පීඩා ආදී නොයෙක් කරදර තිබෙන අතරම සිදුකරන්නට විය.
මෙසේ පොත පිළිසකර කළ අවිදු භාෂාවත් ව්යාකරණයත් මදක්දුරට පිළිසකරකොට රචනා විලාසයට අනුව ධර්මාර්ත්ථය ප්රකට කිරීමට වෑයම් කෙළෙමු.
එසේ වූයේ නමුත් මෙය මේවර සම්ප්රකාරයෙන් පාරිශුද්ධියකට පැමිණවුමෙහි තෘප්තිප්රාප්ත නොවෙම්හ. නැවත වාරයෙක්හි විශේෂ ශුද්ධියකට පමුණුවා මුද්රණයකරවා ධර්මදානය වශයෙන් බෙදාදීමට විනා විකිණීමට මුද්රණය කරන්නවුන්ට අවසර නොදෙන බවද සැලකිය යුතුයි.
මෙසේ මේ ශාසනයාගේ දියුණුව සඳහා කරන ලද මාහැඟි ධර්මදානමය ප්රබල කුසලය අපගේ ආචාර්ය්ය උත්තමයන් වන මේ පොත කිරීමට ආරාධනය කළාවූද පොත කළාවූද ගරු සොභිත මහා ස්ථවිර ස්වාමින් වහන්සේද ගරු සිරි සාරානන්ද මහා ස්ථවිර ස්වාමින් වහන්සේද අනුමෝදන්වී අභිමත බෝධියකින් අමාමහ නිවන් සැප ලැබගනිත්වා. තවද අප මව්පිය සොහොයුරු ගුරුවරු ආදී පින්වත්හුද රත්මලානේ දුම්රිය කම්කරු විනයොපදෙශ මුද්රණ සභාවේ සැදැහැති මහත්වරුද මුද්රණාලය අයිතිකාර කළමනාකරු කම්කරු මහත්වරුද ආධාර කළ සැදැහැවත්හුද අප ශිෂ්ය දායක කාරක සතුරු මිතුරු සියල්ලෝද මළගිය නෑයෝද සියලු දෙවියෝද සියලු සත්ත්වයෝද ධර්මදානමය මෙම කුසලය අනුමෝදන්වී පරම රමණීය අමෘතමහා නිර්වාණ සම්පත්තිය ලැබගනිත්වායි පින්පමුණුවම්හ.
සකල සත්වයෝ සුවපත් වෙත්වා
මෙයට- කොටිගම්ගොඩ පෝරේ ගෙදර විජයවර්ධනාරාමයෙහි ශාසනානුශාසක කපුගම සුගතවංස ස්ථවිරයෝය.
කපුගම සුගතවංස ස්ථවිරයෝය.
ශ්රී බුද්ධවර්ෂ 2483 බිනර මස පුර පැලවියලත් ගුරු දින විජයවර්ධනාරාමයේ දීය.
අපගේ පුණ්යානුමෝදනාව.
ශික්ෂාකාමී සිරි සද්ධර්මාචරිය ගරු සිරි සාරානන්ද ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්පාදනය කරනලද පරමාර්ත්ථ විභාගය සහිත විනයොපදෙශය නමැති මෙම පොත මෙයට අවුරුදු දොළොසකට පෙර මුද්රණය කරවන ලද්දකි. එයින් පොතක් දුටු අපි තවත් පොත් සපයාගන්නට මහන්සි දැරුවෙමු. නමුත් එය සඵල නොවීය. එයට කරුණ නම් මුද්රණය කරවන ලද පොත් දන් බෙදාදී අවසාන වීමත්, විකිණීම පිණිස පොත මුද්රණය කරවීමට අවසර නොලැබීමත්ය. මේ පොතෙන් බෞද්ධ ලෝකයාට ලැබිය හැකි විපුල ප්රයෝජනය හොඳහැටි දැනගත් අපි තවත් සැදැහැතියන්ගේද කියමන් පරිදි පොත මුද්රණය කරවීමට රත්මලානේ දුම්රිය කම්කරු විනයොපදෙශ ප්රස්තාක මුද්රණ සභාව පිහිටුවා ගතිමු. ඉක්බිති ධර්ම දාන වශයෙන් පොත් තුන්දහසක් මුද්රණය කරවීම සඳහා මේ පොත සම්පාදනය කළ ස්වාමීන්ද්රයන් වහන්සේගේ ශිෂ්යයන් වූද මෙවර පොත ශුද්ධ කළාවූද ස්වාමීන්වහන්සේලාගෙන් අවසර ලබාගතිමු. මෙය සඳහා වියදම් සැපයීමට සමාගමේ මහතුන්ගේ නමින් ආධාර පත්ර (කූපන් පොත්) විසුරුවා හැර තරමක් දුර ආධාර ලබාගත හැකිවිය.
රු. 2-50 සිට ඉහළට ආධාරදුන් පින්වතුන්ගේ නම් නාම ලෙඛනයෙහි සඳහන්වී ඇත. සභික මහතුන්ගේ අනලස් උත්සාහයද නොමසුරු පරිත්යාගයද නිසා පිටින් ලැබුන ආධාරත් ඇතුව මොරටුවේ දෙබන්ගොඩ සහ සමාගමේ මුද්රණාලයෙහි පොත මුද්රණය කරවීමට එහි අයිතිකාර ඩී. පී. දෙබන්ගොඩ මහතා සහ එහි කළමනාකාර මහතාද සම්මුඛව කථාකරගෙන භාරදුනිමු. පොත මුද්රණයට පටන්ගෙන අවුරුද්දකුත් මාස කීපයක් ගතවිය. ඊට හේතුවූයේ මෙබඳු විශාල වියදමක් යන බැරෑරුම් වැඩකට මේ කාලය ඉතාමත් අපහසු කාලයක් වීමයි. මෙයට අපහසුවූ විශේෂ කරුණනම් මේ සඳහා වියදම්වන මුදලත් ගතකරණ කාලයත් යොදන මහන්සියත් පින් පිණිසම මිස නැවත මුදල් වශයෙන් නොලැබීමයි. එසේ මුදල් සැපයීමට අවසර නැති බව දැනගත් අපි ඒ ගැන ඉතාමත් සතුටින් වියදම් වඩා කටයුක්ත නිමාවට පැමිණෙව්මු. ගිහි පැවිදි සියලු පින්වතුන්ටම ප්රයෝජන ගත හැකි පරිදි පෙළ අටුවා ටීකා ප්රකරණ ආදියෙන් ධර්ම විනය පද උපුටාගෙන මේ පොත සම්පාදනය කිරීමෙන් මහත්වූ ලෝක ශාසන සංග්රහයක් කොට අපවත්වී වදාළ ශික්ෂාගරුක සිරි සද්ධර්මාචරිය ගරු විටියල ශ්රී සාරානන්ද ස්වාමීන්ද්රයානෝ
අපගේ මේ ධර්මදානමය ප්රබල කුසලය අනුමෝදන්වී අමෘත මහා නිර්වාණ සම්පත්තිය ලබාගනිත්වායි පළමුකොට පින් පමුණුවම්හ. ඉක්බිති මේවර පොත ශුද්ධකරදීමෙන් අපට උපකාර කළාවූ ආචාර්ය්ය කපුගම සුගතවංශ ස්ථවිර ස්වාමීන් වහන්සේටද, උගත් කපුගම පඤ්ඤාරංසි ස්ථවිර ස්වාමීන් වහන්සේටද, දෙවනවර පොත මුද්රණයට පටන්ගෙන පෝර්ම හයක් මුද්රණය කරවූ බෝලැත්තාවේ සද්ධර්මාරක්ෂක සමිතියේ මහතුන්ටද, පොතේ ඉතිරි වැඩ සියල්ලම සම්පූර්ණ කරවූ රත්මලානේ දුම්රිය කම්කරු විනයොපදෙශ ප්රස්තාක මුද්රණ සභාවේ මහතුන්ටද, සමිතියට නොබැඳී ආධාර දුන් මහතුන්ටද, පොතේ සියලු වැඩ නිසි ආකාර මුද්රණයකර දීමෙන් උපකාර කළාවූ ඩී. පී. දෙබන්ගොඩ මහතා ප්රධාන කළමනාකාර මහතා ඇතුළු කම්කරු මහතුන්ටද, අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඤාතීන්ටද, දෙවියන් සහිත සකල ලෝකවාසීන්ටද, නිමල ධර්මදානමය මෙම උදාරතර කුසල ස්කන්ධය අයිති වීමෙන් ඒ ඒ පින්වත්හු ප්රාර්ත්ථනාකරණ බෝධියකින් ශාන්ත ප්රවර අමෘත මහා නිර්වාණ සම්පත්තිය ලැබගනිත්වායි පින් පමුණුවම්හ. මෙම උත්තම ධර්මදානමය පිනෙන් මමද නිවන් සැප ලබම්වා!
සියලු සත්තු සුවපත් වෙත්වා !
මෙයට:- ර: දු: ක: ක: වි: ප්ර: ස: කැමැත්ත පරිදි, ඒ. පී. ප්රනාන්දු.
ර: දු: ක: ක:
වි: ප්ර: ස: කැමැත්ත පරිදි,
ඒ. පී. ප්රනාන්දු.
කුඩුවාමුල්ල,
මොරටුව. 20-8-
2483
1939