විසුංගාමසීමා විනිශ්චය - අග්ගධම්මාභිවංස හිමි 1926.pdf
- කතෘ :
- අග්ගධම්මාභිවංස හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1926
- මුද්රිත වර්ෂය :
- 1926
- පිටු ගණන :
- 73
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 40 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විසුංගාමසීමා විනිශ්චය යනු විනය පිටකගත සීමා ලක්ෂණ හා විශේෂයෙන් ‘විසුංගාම සීමා’ පිළිබඳව විනයානුකූලව කෙරෙන ගැඹුරු විනිශ්චයකි. මෙය බුරුමයේ මණ්ඩලේ නුවර මහාවිසුද්ධාරාමයේ ප්රධාන ගණවාචකාචාර්ය, පදප්රධාන පරියත්ති සාසනහිත ධම්මාචරිය අග්ගධම්මාභිවංස මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද්දකි.
විසිවන සියවසේ මුල් භාගයේ ලක්දිව භික්ෂු ශාසනය තුළ පැනනැඟුණු සීමා විවාදයන් (විශේෂයෙන් විසුංගාම සීමා හා අබද්ධ සීමා පිළිබඳව) නිරවුල් කිරීම සඳහා සාසන පරම්පරාගත විනය නීති හා අටුවා ටීකා ඇසුරෙන් මෙම කෘතිය රචනා කර ඇත. ග්රන්ථයේ ආරම්භයෙහි වූ දීර්ඝ ප්රස්තාවනාව මඟින් ථේරවාදී ආචාර්ය පරම්පරාව, ශාසන වංශය, ලංකාවේ හා බුරුමයේ ශාසනික සබඳතා සහ සීමා විනිශ්චයෙහි ඓතිහාසික පසුබිම මැනවින් විවරණය කෙරේ.
මෙම කෘතිය බු.ව. 2470 (ක්රි.ව. 1926) දී කොළඹ ග්රන්ථප්රකාශ මුද්රණාලයේදී ජේ. ඩී. ධර්මසේන මහතා විසින් මුද්රණය කර ප්රකාශයට පත් කර ඇත.
ප්රස්තාවනා.
ශ්රී සද්ධර්මවර චක්රවර්තීවූ අප භාග්යවත් බුදුරජාණන් වහන්සේ නිකාඞ්ගුත්තරපාළියෙහි “තිණ්ණිමානි භික්ඛවේ විවටානි විරෝචන්ති නොපටිච්ඡන්නානි”යි චන්ද්රසූර්ය්යමණ්ඩලද්වය හා තථාගතප්රවෙදිත ධර්මවිනයත් නිරාවරණව බබලනබැව් හා සියල්කල්හි පිළිසන්ව නොපවත්නා බවද දක්වා වදාළසේක.
ඔවුනතුරෙන් චන්ද්රසූර්ය්යදෙදෙන අභ්ර, මහිකා, ධූම, රජස්, රාහු යන පඤ්චොපක්ලෙසයන් විසින් කලින් කල ආවරණය කරනලද්දෝ නොබබලන්නාහු නමුදු ඔවුන්ගේ විගමයෙන් නැවත නැවතත් දිලියෙන්නාහු ලොවඳුරු නසා හැමසතුන් සිත්සතන් පිනවන්නාහු වෙද්ද, එසේම සද්ධසන්තානයෙහි මොහඳුරු නැසීමෙහි දිවාකරයමානවූ තථාගතප්රවෙදිතධර්මවිනයසඞ්ඛ්යාත මේ ශාසනරත්නයද අධම්මිට්ඨවාද ග්රහණය කළාවූ ප්රබලවූ ගිහිපැවිද්දන්ගේ පැලඹීමෙන් හෝ අපර්ය්යාප්ත අඥාන මොහපටලයෙන් හෝ කලින්කල උපක්ලිෂ්ටවන්නේ, වැසියන්නේ නමුදු සද්ධසන්තානයන් ධර්මවිනයාලොකයෙන් ආලොකවත්කිරීමෙහි නියැලී පර්ය්යාප්තිප්රතිපත්ති පරායනවූ ධර්මවාදී සුධීවරයන්ගේ උත්සාහයෙන් ඒ දුෂ්ට දූෂිත දුර්වාද නමැති උපක්ලෙශයන් බැහැරලීමෙන් විවෘතකරනලද මේ තථාගත ශාසනයතෙම ස්වකීය සද්ධර්මරශ්මිසහස්රයෙන් පුන පුනා දෙවිමිනිසුන්සහිත ලොකයාගේ මොහඳුරු නසා සද්ධර්මාලොකයෙන් ලොකය ආලොකකරන්ට සමර්ථවන්නේමැයි. එහෙයින් වදාළහ. “තථාගතප්පවෙදිතො භික්ඛවෙ ධම්මවිනයො විවටො විරොචති නොපටිච්ඡන්නො”යි.
මෙසේ සිවුවණක් පිරිස කෙරෙහි සියලු ආකාරයෙන් බැබලියයුතුවූ මේ ධර්මවිනයෙහි එකම ධර්මස්කන්ධයකුදු එකම විනයපදයකුදු ග්රන්ථවශයෙන් විනාශවන්ට හෝ අර්ථවශයෙන් විපරීතවන්ට යටපත්වන්ට වරදවාගන්ට හෝ ප්රතිපත්තිවශයෙන් හාරදමන්ට නොපුරුදුහන්ට හෝ අවකාශතැබීම සද්ධර්මයාගේ චිරස්ථිතිය පතන්නාවූ ධර්මවිනයධරයාගේ ශාසනානුලොමික පැවැත්මෙක් නොවේ. උපනුපන් පරවාදයන් හේතු යුක්තිසහිතව ධර්මයෙන් විනයෙන් මැඩපවත්වා ශාසනය නගාසිටුවීමම ශාසනහිතාර්ථීන්ගේ සිරිත වේ. “විනයො හි සාසනස්ස ආයු”යි විදූෂෙහිත් සෙසු සූත්රාභිධර්මයට වඩා විනය ධර්මයම බුද්ධශාසනයාගේ ආයුෂය හෙවත් ජීවින්ද්රියය වේ. එයිනුදු මේ විනයධර්මයෙහි අර්ථසාරය හා ප්රතිපත්තිසාරයවූ භික්ෂුධර්මය හෙවත් උපසම්පදාශීලය ප්රතිපත්තිශාසනයාගේ පැවැත්මෙහි අසහාය හේතු වන්නේමය. ඥප්තිචතුර්ථ උපසම්පදාකර්මසඞ්ඛ්යාතවූ අද පවත්නා උපසම්පදාව වනාහි වස්තු, ඥප්ති, අනුශ්රාවණ, සීමා, පරිසාසඞ්ඛ්යාත පඤ්චසම්පත්තියෙන් සමන්විතකොටම සිද්ධකරනලද්දේ සම්පත්ති යුක්තවන්නේය. මෙයින් සීමාසම්පත්ති විනිශ්චය වනාහි ශාසනපරම්පරානුයාත ගැඹුරු විනයනයෙහි බැසගත් තීක්ෂණ බුද්ධිමතුන්ටම විෂයවූයේ වෙයි. එහෙයින් උපනුපන් සීමාවාදයෝ තත්තත්කාලීන විනයනයෙහි හසල උසස් පණ්ඩිතවරයන් විසින් සිය ගණන් ග්රන්ථ නිපදවා විශේෂයෙන් ශාසනයෙන් බැහැර කරන ලදහ.
ආචාර්ය්යොපනිශ්රයෙන් පරම්පරානුයාත වාචනාමාර්ගය නොහැර ධර්මවිනය උගත් ශාසනභාරධාරී උතුමන්ගේ පරම්පරාවෙහි කර්මාකර්මවිනිශ්චය දැන විපත්ති විශොධනයකොට සීමා බන්ධන උපසම්පදාදී ගරු විනයකර්මයෝ ගරු ස්ථානයෙහි තබා මේතාක් පවත්වාගෙන එනු ලැබෙත්. මේ සියලු තන්හි උපනුපන් අධර්මවාදයන් ශාසනයෙන් බැහැරලා ශාසනවිශොධනය කොට සසුන් බැබලවීම හා විනයානුරූපවූ ශාසනික කර්තව්ය නිස්පාදනයද උපාලිදාසකාදි සිව්පිළිසිඹියාපත් මහාක්ෂීණාශ්රවයන්වහන්සේලාගේ අඛණ්ඩ අසම්භින්න (අමිශ්ර) ශිෂ්යානුශිෂ්ය පරම්පරාසඞ්ඛ්යාත නියම ශාසනවංශික විනයධරයන් කෙරෙහිම පිහිටියේ වෙයි.
ඒ මේ ශාසනවංශික නියම විනයධරයා විනයධරම්මානවූ නොවියතුන් කෙරෙන් හා පරවාදී නිකායාන්තරිකයන් කෙරෙන් විශේෂකොට හැඳිනීමට ලක්ෂණයෙක් ඔහු කෙරෙහි පිහිටියේ වියයුතුය. “විනයධරෙන පුග්ගලෙන තිලක්ඛණ සමන්නාගතෙන භවිතබ්බං, තීණි හි විනයධරස්ස ලක්ඛණානි ඉච්ඡිතබ්බානි, කතමානිතීණි? සුත්තඤ්චස්ස ස්වාගතං හොති සුප්පවත්ති, සුවිනිච්ඡිතං, සුත්තසො අනුබ්යඤ්ජනසොති ඉදමෙකං ලක්ඛණං—විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරොති ඉදං දුතියං—ආචරියපරම්පරා ඛො පනස්ස සුග්ගහිතා හොති සුමනසිකතා සුපධාරිතාති ඉදං තතියං” විනයධරයා විසින් මේ මතු දැක්වෙන ලක්ෂණයෙන් සමන්විත වියයුතුයි. විනයධරයාහට ලක්ෂණත්රයක්ම කැමැතිවියයුතුයි. ඒ කවර තුනක්ද? සූත්රසඞ්ඛ්යාත සියලු විනයපිටකය පෙළවශයෙන්ද අර්ථකථා වශයෙන්ද සැකපසිඳ මනා විනිශ්චය ඇතිව ආචාර්ය්යොපදෙශයෙන් උගන්නාලද්දේ ප්රගුණකරනලද්දේ වාචොද්ගමනය ඇත්තේ වන්නේය යනු එහි එක් ලක්ෂණයකි. ලජ්ජීභාවයෙන් විනයෙහි පිහිටියාවූ විනයරක්නාවූ (අලජ්ජීයා විනය උගත් බහුශ්රැතයෙකු වූවත් ලාභසත්කාරාදිය නිසා අලජ්ජීන්ට බලයදී සස්න පෙළා සස්නෙහි මහත් ව්යසන උපදවන හෙයිනි)
විසාරදභාවයෙන් සුස්ථිරවූ පෙළ හෝ අටුවාව උඩුයටිකුරු නොකොට විචාල පැණට මගනොහැර නොතතනමින් පිළිතුරු දෙන්නාවූ කෙනෙක් වීමය මේ දෙවෙනි ලක්ෂණයයි. ස්වකීය විනයාචාර්ය්ය පරම්පරාව පිළිවෙළින් දැනගත් සිහිකිරීමෙහි සමත් සිතින් දරාගත් කෙනෙක්වීම හෙවත් මාගේ ආචාර්ය්යතෙමේ අසූවල් ආචාර්ය්යයන් කෙරෙන් විනය උගත්තේය, උන්වහන්සේ අසූවල් ආචාර්ය්යයන් කෙරෙන්යයි මෙසේ ගොස් උපාලිමහාස්ථවිරයන්වහන්සේ සම්යක්සම්බුද්ධයන්වහන්සේ කෙරෙන් විනය උගත්තේයයි තථාගතයන් වහන්සේ දක්වා ඇදුරු පරපුරගලපා කියන්ට හා උපාලිස්ථවිරයන්වහන්සේ කෙරෙන් දාසකස්ථවිරයන්වහන්සේද උන්වහන්සේ කෙරෙන් සොණක ස්ථවිරයන්වහන්සේදැයි මෙසේ ස්වකීය ආචාර්ය්යයන්වහන්සේ දක්වා අනුලොම ප්රතිලොම වශයෙන් ආචාර්ය්ය පරම්පරාව දැනීම ඇති කෙනෙක් වීමය යනු තුන්වෙනි ලක්ෂණයයි. ශාසන පරම්පරානුයායී විනයධරයා මේ අංගත්රයෙන් සමන්විතවූ කෙනෙකැයි දතයුතු. සංශයස්ථාන විසඳා සැක දුරුකොට ගුරුමුඛයෙන් පෙළහා අටුවාවන් හොඳින් උගතෙක්වීම විනයධරයෙක් වීමට කාරණයක් වූවත් තමා උගත් විනයධර්මයෙහි නොපිහිටි ප්රතිපත්ති ගරුකනොවූ අලජ්ජියෙක් හෝ ආමිෂලොලයෙක් හෝ චපලගති ඇති බියසුල්ලෙක් හෝ වීමෙන් තමා ලත් ප්රතිබලභාවයෙන් සතරඅගතියට බැඳී ශාසනය විනාශකරන්නෙක් වනහෙයින් දෙවෙනි අංගයවූ විනයෙහි පිහිටීම හා විසාරදයෙක්වීම අවශ්ය වන්නේය. යථොක්ත අංගවශයෙන් යුක්තවූයේනමුදු විනයධරයා අවිච්ඡින්න ආචාර්ය්ය පරම්පරාවෙන් විනය උගතුවෙක් නොවූයේ නම් ඔහු ථෙරියපරම්පරාවෙන් බැහැරගිය ධර්මරුචික, වජ්ජිගිරි, අභයගිරි ආදි නිකායාන්තරිකයෙක් හෝ ඔවුන්ගේ ලබ්ධි ඇත්තෙක් හෝ වියහැකියි. කුමක්හෙයින්දයත්? බහිරනිකායික පරවාදීවූ විනයධරතෙමේද යථොක්ත ලක්ෂණයෙන් සමන්විත වියහැකි හෙයිනි. තදංගයෙන් සමන්විතවූයේනමුදු විනයධරතෙමේ ථෙරියපරම්පරානුයාත නොවේ නම් විභජ්යවාදියෙකු ලෙස පිළිගනු නොලැබේ.