අධිකරණ විනිශ්චය - නිනලව සිරි ඤාණිස්සර හිමි 1954.pdf
- කතෘ :
- නිනලව සිරි ඤාණිස්සර හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1954
- මුද්රිත වර්ෂය :
- 1954
- පිටු ගණන :
- 114
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අධිකරණ විනිශ්චය යනු භික්ෂු විනයෙහි දැක්වෙන චතුර්විධ අධිකරණ සහ සප්ත අධිකරණ ශමථ පිළිබඳව මෙන්ම අධිකරණ විනිශ්චය කිරීමේ පිළිවෙළ විස්තර කරමින් සම්පාදනය කරන ලද අගනා විනය ග්රන්ථයකි. මෙය සම්පාදනය කරන ලද්දේ මීරිගම මිණිඔළුවේ විද්යාවාස විද්යාලයාධිපති ධුරය හෙබවූ පූජ්ය පණ්ඩිත ධර්මකීර්ති ශ්රී ශරණංකර නිනලව සිරි ඤාණිස්සර මහා ස්ථවිරයන් වහන්සේ විසිනි. මෙරට ප්රථම අග්රාමාත්ය ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ ආරාධනය පරිදි මෙම කෘතිය සම්පාදනය කර ඇත.
ප්රධාන වශයෙන් පරිච්ඡේද තුනකින් සමන්විත වන මෙම ග්රන්ථයෙහි පහත කරුණු විස්තර කෙරේ:
- ප්රථම පරිච්ඡේදය: චතුර්විධ අධිකරණ විභාගය, ශීලවිපත්ත්යාදී චතුර්විධ විපත්ති, ආපත්ති සමුට්ඨාන සහ අපලෝකනාදී කර්ම සිදුවිය යුතු ක්රමය.
- ද්විතීය පරිච්ඡේදය: සප්තාධිකරණ ශමථ ධර්ම විභාගය, තජ්ජනීයාදී කර්ම සප්තකය සහ කම්මසන්නිට්ඨානය.
- තෘතීය පරිච්ඡේදය: අධිකරණයක් විනිශ්චය කරන අයුරු, චෝදනා-චෝදක-චුදිතක ආදී කරුණු, සිව්වැදෑරුම් විනය සහ විනයධර ලක්ෂණ.
මෙම කෘතිය සඳහා වැල්ලවත්තේ ශ්රී ධර්මෝදය පරිවෙණාධිපති පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින් අගනා ප්රස්තාවනාවක් සපයා ඇත. 1954 වසරේදී මුල්වරට මුද්රණය වූ මෙම කෘතිය පසුව ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ආයතනය විසින් නැවත මුද්රණය කර ප්රකාශයට පත් කර ඇත.
ප්රකාශක සටහන
ලෝක ලේඛන වංසකතාවෙහි සිරිලක ලේඛන ඉතිහාසයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. සෙල්ලිපි, පුස්කොළ පොත් ආදියෙන් පෝෂිත ඉපැරැණි, වටිනා ලේඛන සාහිත්යයක් අප සතුව තිබිණි. විදේශීය ආක්රමණිකයන්ගේ විනාශකාරී ක්රියා ඇතුළු විවිධ හේතු නිසා, ඒ අමිල ලේඛන අතරින් සැලකිය යුතු සංඛ්යාවක් විනාශයට පත් වී ඇත්තේ ය. ලේඛන සාහිත්යයේ පුළුල් වපසරියක් ආවරණය කරමින් විවිධ විෂය ක්ෂේත්රයන් යටතේ සම්පාදිත මහාර්ඝ පුස්කොළ පොත් විශාල සංඛ්යාවක් එලෙස අපට අහිමි වී ඇති අතර, තවත් විශාල පුස්කොළ පොත් සංඛ්යාවක් විදේශිකයන් විසින් අත්පත් කරගනු ලැබ ඇත්තේ ය. ඉතිරි ව ඇති පුස්කොළ පොත් අතරින් යම් ප්රමාණයක් පසුගිය කාලය තුළ දී විවිධ උගතුන්ගේ හා සංවිධානවල මැදිහත් වීම නිසා මුද්රණද්වාරයෙන් පළ වී තිබීම සතුටට කරුණකි. නොයෙකුත් ස්ථානයන්හි අමුද්රිත ව පවත්නා, පළ කළ යුතු වැදගත් පුස්කොළ පොත් සොයා පළ කිරීම පිණිස කිසියම් විධිමත් ක්රියාමාර්ගයක් ගත හැකි නම් එය ජාතික මෙහෙවරක් වන්නේ ය.
මුද්රණ ශිල්පය ව්යාප්ත වීමත් සමඟ පොත් පළ වීම වේගවත් විය. අපේ පැරැණි පැවිදි-ගිහි පඬිවරුන් විසින් සම්පාදනය කරන ලද වටිනා ග්රන්ථ විශාල ප්රමාණයක් ප්රකාශයට පත් කෙරිණි. 19 වැනි සියවසේ අග භාගයේ දී හා 20 වැනි සියවසේ මුල් දශක කිහිපය තුළ දී ප්රකාශයට පත් කෙරුණු වටිනා පොත්පත් අතරින් බොහොමයක් සොයාගත නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී තිබීම කණගාටුවට කරුණකි. කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික පුස්තකාල ආදියට සීමා වූ වටිනා පොත් විශාල සංඛ්යාවක් තිබේ. ලාබ ලැබිය හැකි කටයුත්තක් නොවන නිසා දෝ මෙබඳු පොත් පළ කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ශාස්ත්රවන්තයන්ගේත්, එවැනි පොත් කෙරේ ආසක්ත පාඨකයන්ගේත් පරිශීලනය පිණිස පැරැණි පොත් නැවත පළ කිරීමේ ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට මා අදහස් කළේ එම අඩුපාඩුව සපුරාලමින්, සාහිත්ය ක්ෂේත්රයට කිසියම් සේවාවක් ඉටු කිරීමේ අරමුණෙනි. මේ යටතේ ලාබ ලැබීමකින් තොර ව, මුද්රණ වියදම පියවා ගැනීම පමණක් අරමුණු කරමින් මිල නියම කොට, සීමාසහිත පිටපත් සංඛ්යාවක් පළ කිරීමට අදහස් කළෙමි.
සපයාගත හැකි වටිනා පොත්, නව තාක්ෂණික ක්රමවේද භාවිත කර නවීකරණයට බඳුන් නොකොට, පැරැණි ස්වරූපය තහවුරු වන ආකාරයෙන් ම ඒවා පළ කිරීමට කටයුතු යෙදුවෙමි. ඒ, එම යුගයේ මුද්රණ තාක්ෂණය, පිටුසැකසුම් ආදිය පිළිබඳ ව අවබෝධයක් ද පාඨකයන්ට ලබාදීම සඳහා ය. මේ පොත් තවත් වසර දෙතුන් සියයක් වත් ආරක්ෂා වී පවතිනු ඇතැ යි අපේක්ෂා කරමි. සිංහල සාහිත්යයේ උන්නතියට මේ කාර්යය සුළු වශයෙන් හෝ උපකාරයක් වුව හොත් මගේ අපේක්ෂාවන් මල්පල ගැණුනේ වෙයි.
මේ සද්කාර්යය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට උදවු කළ හැකි හැමගේ ම සහයෝගය අපේක්ෂා කරමි. වෙසෙසින් ම දුලබ පොත් සපයාගැනීම සඳහාත් පැරැණි පොත් නැවත සංස්කරණය කර පළ කිරීම සඳහාත් විද්වතුන්ගේ සහයෝගය උදක් ම පතමි. ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් මේ කටයුතුවල නිරත වන මහාචාර්ය තිස්ස කාරියවසම් විද්වතාණන්ගේ දායකත්වය මෙහිලා අපට මහත් පිටුබලයක් වූ බව කෘතවේදී ව සඳහන් කරමි. විරල පොත් සපයා ගැනීමට දායකත්වය දැක්වූ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය රත්නසිරි අරංගල මහතා ඇතුළු සුධීනට ද ස්තුතිය පළ කරමි.
මේ ග්රන්ථය වසර ගණනාවකින් මුද්රණය වී නොමැති බව පෙනී ගිය හෙයින් දිවයිනේ භාෂා සාහිත්යයේ උන්නතිය සලකමින් ද මෙයින් යම් ප්රයෝජනයක් අපේක්ෂා කරන පාඨකයින්ට අනුග්රහයක් වශයෙන් ද මේ අන්දමින් පිටපත් 200ක් මුද්රණය කිරීමට පියවර ගන්නා ලදී.
මෙහි නෛතික හිමිකම් සනාථ කළ හැකි භවතුන් වෙතොත් ඒ අයගේ අනන්යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ කර්තෘ භාගය ලබා දීමට පියවර ගනු ලැබේ.
සාහිත්යෝන්නතිකාමී දේශබන්ධු සිරිසුමන ගොඩගේ
දේශබන්ධු සිරිසුමන ගොඩගේ
ප්රස්තාවනා
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ශාසන නම් සම්බුදු දෙශිත බුද්ධවචනයයි. සූත්ර-ගෙය්යාදි නවාංගයකින් පරිමිත වූ ඒ ශාසනය ශික්ෂා වශයෙන් අධිශීල- අධිචිත්ත- අධිප්රඥා යැයි ත්රිවිධ කොට දක්වති. කාය වචන දෙදෙනා ගේ හික්මීම පවසන අධිශීල ශික්ෂාව විනය පිටකයෙහි ද, චිත්තයාගේ ශමථය පවසන අධිචිත්ත ශික්ෂාව සූත්රපිටකයෙහි ද, චිත්තාභ්යන්තරයෙන් සිත්සතන්හිම උපදවා ගතයුතු ලෞකික ලොකොත්තර ප්රඥාව පවසන අධිප්රඥා ශික්ෂාව අභිධර්මපිටකයෙහි ද ඇතුළත් වෙයි. මෙ ත්රිවිධ ශික්ෂාවෙහි හික්මීමට අදාල වන ත්රිපිටක බුද්ධවචනය ශාසන නමින් දන්නා ලද්දේ වෙයි. සියලු බුදුවරයන් වහන්සේලා ගේ ශාසනයෝ එකසේ කල් නො පවත්නාහු වෙති. ඇතැම් බුදුකෙනකුන්ගේ ශාසනයෝ චිරකල් නො පවතිත්. ඇතැම් බුදුකෙනකුන්ගේ ශාසනයෝ චිරකල් පවතිත්. විපස්සි- සිඛි- වෙස්සභු යන තුන්බුදුවරුන්ගේ ශාසනයන් බොහෝ කලක් නො පැවැති බවත් කකුසන්ධ-කොණාගමන-කාස්සප යන තුන් බුදුවරුන්ගේ ශාසනයන් බොහෝකල් පැවැති බව ත් විනය පාළියෙන් දත හැකි ය.
විපස්ස්යාදි තුන් බුදුවරුන්ගේ ශාසන බොහෝ කල් නො පැවැතියේ උන්වහන්සේලා විසින් ශ්රාවකයන්ට විස්තාර වශයෙන් ධර්මය දෙසීම ත් සිකපද පැනවීම ත් පාමොක් උදෙසීම ත් නො කළ බැවිනි. එකල අල්පරජස්ක පුද්ගලයන් බහුල වූ බැවින් ඉතා මඳ පමණෙකින් ඔවුන්ට දම්දෙසීම පමණ විය. විස්තාර වශයෙන් දෙසන්නට උවමනා නො විය. එක් ගාථා මාත්රයකිනුත් මාර්ගාධිගමය විය. දම් දෙසීමෙන් බලාපොරොත්තු වූ ඵලය මෙසේ ලැබෙන විට අධික ධර්මදෙශනයක් අවශ්ය නො වී ය. එකල ශ්රාවකයන් ආචාර ධර්මයන් ඉක්මවා කටයුතු නො කළ බැවින් සිකපද පැනවීම ද අවශ්ය නො විය. අවවාද ප්රාතිමොක්ෂයෙන් ම ශාසන ධර්මය ත් ආචාර ධර්මය ත් රැකුණු බැවින් ආඥා ප්රාතිමොක්ෂය උදෙසීම අවශ්ය නො විය. කරුණු මෙසේ හෙයින් විපස්ස්යාදි තුන් බුදුවරුන්ගේ පිටකත්රය ඉතාම අල්ප විය. එහෙයින් ඒ බුදුවරුන්ගේ පිරිනිවන් පෑමෙන් පසු පහළ වූ නානාජාතික- නානාගොත්ර පැවිද්දෝ ඒ ශාසනයන් හුයෙන් නො ගොතා ඵලකයෙහි දැමූ මල් සුළඟින් විසිර වැනසී යන්නාක් මෙන් ඉතා ඉක්මනින් අතුරුදන් කළහ.
කකුසන්ධාදි තුන් බුදුවරුන්ගේ ශාසන බොහෝ කල් පැවැතියේ උන්වහන්සේලා විසින් ශ්රාවකයන්ට විස්තාර වශයෙන් ධර්මය දෙසීම ත් සිකපද පැනවීම ත් පාමොක් උදෙසීම ත් කළ බැවිනි. එකල අල්පරජස්ක පුද්ගලයන් විරලවූ බැවින් සම්මතෙකින් දහම්දෙසීම ඔවුනට පමණ නො විය. විස්තර වශයෙන් ම දෙසීම අවශ්ය විය. එකල ශ්රාවකයන් ආචාර ධර්මයන් ඉක්මවූ බැවින් සිකපද පැනවීම ද ආඥා ප්රාතිමොක්ෂය උදෙසීම ද අවශ්ය විය. කරුණු මෙසේ හෙයින් කකුසන්ධාදි තුන් බුදුවරුන්ගේ පිටකත්රය විශාල විය. එහෙයින් ඒ තුන් බුදුවරුන්ගේ පිරිනිවන් පෑමෙන් පසුත් උන්වහන්සේලාගේ ශාසනයෝ බොහෝ කල් පැවැතියහ. හුයෙන් ගොතා පුවරයෙහි දැමූ මල් සුළඟින් විසිර වැනසී නො යන්නාක් මෙන් ඉතා ඉක්මනින් ඒ ශාසනයෝ අතුරුදන් නො වූහ.
මෙසේ අපගේ සම්බුදුන් වහන්සේගේ ශාසනය ද පන් දහසක් අවුරුදු පවත්නේ කකුසන්ධාදි තුන් බුදුවරුන් මෙන් ශ්රාවකයන්ට විස්තාර වශයෙන් ධර්මය දෙසීම ත් සිකපද පැනවීම ත් ආඥා ප්රාතිමොක්ෂය උදෙසීම ත් උන්වහන්සේ විසින් කළ බැවිනි. මෙතෙක් කල් මේ ශාසනය පවත්වා ගෙන යාමට භික්ෂූන් වහන්සේලාගේ සම්යක් විහරණය ම ප්රමුඛ වෙයි. භික්ෂූන් අතර සම්යක් විහරණය පහළ වන්නේ කාය වචන දෙක හික්මවා ලීමෙනි. අධිශීලශික්ෂා සමාදානය මැනවින් ඇතිවීමෙනි. කායවිඥප්තියෙන් හා වාග්විඥප්තියෙන් හා සිදුවන වැරැදි වළක්වා ගැනීමෙන් සංවරයෙහි පිහිටීමෙන් ද එ දෙකින් සිදුවූ වැරැදිවලට නිසි දඬුවම් විඳ පාරිශුද්ධියෙහි පිහිටීමෙන් ද සම්යක් විහරණය පහළ වෙයි. මේ යහපත් විහරණය නිසා ම සම්බුදු ශාසනය බොහෝ කලක් පවත්වා ගෙන යාහැකි වෙයි.
මේ සම්යක් විහරණයට මහත් රුකුලක් වැ අධිකරණ ශමථය පවත්නේ අධිකරණ ශමථය මැනැවින් දැනීම ය. අධිකරණය ත් අධිකරණ ශමථය ත් මැනැවින් දැන උගෙනීම හැම භික්ෂුවකගේ ම ප්රයත්නය විය යුතු ය. අධිකරණ ශබ්දය වනාහි විවාදාදියෙහි ද ආධාර කාරකයෙහි ද කාරණයෙහි ද වැටෙන බව “විවාදාදෞ’ධිකරණං-ස්යාදාධාරෙ ච කාරණෙ” යන නිඝණ්ඩු වචනයෙන් පැනෙයි. විවාදාදියෙහි අධිකරණ ශබ්දය වනාහි “යස්මිං භික්ඛවේ අධිකරණෙ ආපන්නො ච භික්ඛු චොදකො ච භික්ඛු න සාධුකං අත්තානං පච්චවෙක්ඛන්ති” යනාදි තැන්හි ද, ආධාරකාරකයෙහි අධිකරණ ශබ්දය “අභිධම්මෙ ච අධිකරණෙස්සො භාවෙන භාව ලක්ඛණස්සො ච සම්භවති” යනාදි තැන්හි ද, කාරණයෙහි අධිකරණ ශබ්දය “යස්මිංධිකරණ මෙනං වත්තබ්බං අසංවුතං විහරන්තං අභික්ඛං චෙතනාය්යා පාපකා අකුසලා ධම්මා අභිසංසවෙය්යුං” යනාදි තැන්හි ද පෙනෙයි. මෙහි ලා විවාදාදියෙහි වැටෙන අධිකරණ ශබ්දය අභිමත ය. අධිකරණ ශබ්දයාගේ නිරුක්ති දක්වත ශාබ්දිකයෝ “අධිකරීයති එත්ථාති-අධිකරණං” යනුවෙන් විග්රහ කෙරෙති. අධි පූර්ව කර- කරණ යන ක්රියාව්යා කෙරෙන් “අනො 48” යන මුගලන් සූත්රයෙන් කර්ම කාරකයෙහි අන ප්රත්යය කොට නිෂ්පාදනය කෙරෙති. මෙහි ලා නිශ්චය කරනු ලැබේනුයි අධිකරණ නම් වේ යනු එහි අදහස ය. යමක් නිශ්චය කිරීමට විෂය වේ නම් ඒ අධිකරණය බව මෙයින් පැහැදිලි වෙයි. නිශ්චය කිරීමට විෂය වන්නේ විවාදාදිය යි. යම්කිසි විවාදයක් හෝ අනුවාදයක් හෝ ආපත්තියක් හෝ සංඝ කෘත්යයක් හෝ උපන් කල්හි එය විචාරයට පත්කළයුතු වෙයි. විචාර නමුන් තීරණ නමුන් නිශ්චය නමුන් මෙහි ලා විනිශ්චය මැයි. විනිශ්චයට විෂය වන කරුණු විවාදාධිකරණ- අනුවාදාධිකරණ- ආපත්තාධිකරණ- කිච්චාධිකරණ විසින් සතරක් කොට බුදුහු වදාළහ. මේ සතරෙහි ම විචාරය අවශ්ය වන බැවින් මෙහි ලා නිශ්චය කරනු ලැබීම සිදු ය. එහෙයින් කර්මකාරකයෙහි අන ප්රත්යය ශාබ්දිකයන් විසින් විහිත ය. නිශ්චයාර්ථය ඇත්තේ අන ප්රත්යයෙහි නො වේ. අධි උපසර්ගයෙහි ද නො වේ. කර ධාතුයෙහි මැයි. එහි ඇති නිශ්චයාර්ථය අධි උපසර්ගයෙන් මතුකර දෙයි. ධාතුයෙහි ඇත්තාම වූ අර්ථය පැවැසීම උපසර්ගයන්ගේ ශක්තිය වන බැවිනි. මලෙහි ඇත්තාම වූ නිල් පැහැය පහන් එළියෙන් දක්වා ලන්නා මෙනි, මේ විවාදාධිකරණාදීන්ගේ නිශ්චය ශමථ වශයෙන් හෝ අශමථ වශයෙන් හෝ විය හැකි ය. “සමථො’ සමථවසෙන අධිකරීයති එත්ථාති-අධිකරණං” යනු විසින් සලකා බලනවිට එය පැහැදිලි වෙයි. යම්කිසි අධිකරණයෙක්හි නිශ්චය ශමථ වශයෙන් හෝ අශමථ වශයෙන් හෝ විය හැකි බැවින් අධිකරණය ත් ශමථය ත් එකක් නො ව දෙකක් බව හෙළිවීමෙට මේ නිරුක්තිය ප්රබල සාධකයෙකි. අධිකරණශමථය වනාහි සත්පරිද්දෙකින් වෙයි. උපනුපන් අධිකරණයන්ගේ ශමථය- (සන්සිඳීම) පිණිස සම්මුඛාවිනය- සතිවිනය- අමූළ්හවිනය- පටිඤ්ඤාතකරණ- යෙභුය්යසිකාව- තස්සපාපිය්යසිකාව- තිණවත්ථාරකය යන ක්රම සත්දෙන ඉවහල් වෙති. විවාදාධිකරණය සම්මුඛාවිනය- යෙභුය්යසිකා යන ශමථ දෙකින් ද, අනුවාදාධිකරණය සම්මුඛා විනය- සතිවිනය- අමූළහවිනය- තස්සපාපිය්යසිකා යන ශමථ සතරින් ද, ආපත්තාධිකරණය සම්මුඛාවිනය- පටිඤ්ඤාතකරණ- තිණවත්ථාරක යන ශමථ තුනින් ද, කිච්චාධිකරණය එක ම සම්මුඛා විනයෙන් ද ශමථය වෙයි. මේ අධිකරණයන්ගේ ත් ශමථ ධර්මයන්ගේත් නිසැක ලෙස දැනීම භික්ෂූන්ගේ සම්යක් විහරණයට ඉවහල්වන බව සම්මතය යි.
මේ වනාහි ඉහත සඳහන් කරුණු ගැන අධිකරණ විනිශ්චය මනා දැනීමක් ඇතිකර ගැනීම සඳහා මීරිගම මිණිඔළුවේ විද්යාවාස විද්යාලයාධිපති අතිගරු සංඝලෙඛකාචාර්ය්ය පූජ්ය පණ්ඩිත ධර්මකීර්ති ශ්රී ශරණංකර නිනලව ශ්රී ඤාණිස්සරාභිධාන මහාස්ථවිර ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් ලියනලද ග්රන්ථයට තබන ලද නාමය යි. මේ ග්රන්ථය ලියනලද්දේ ලංකාද්වීපයේ ප්රථම අග්රාමාත්යවරයාවූ ද රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවේ ප්රථම සභාපතිවරයාවූ ද ශාසනමාමක මහාමාන්ය දොන් ස්ටීවන් සේනානායක මහතාණන්ගේ ආරාධනය අනුව බව දැනගන්නට ලැබීම සතුටෙකි. සර්වසාධිකරණ විනිශ්චයස්ථාන කීපයකදී ම මහත් ඕනෑකමකින් බලාසිටි මහාඇමැතිතුමාට සර්වසාධිකරණ විනිශ්චය ක්රමය පිළිබඳ අවබෝධයක් ද ඇති වූ බව පැහැදිලි කාරණයෙකි. එයින් ලත් ආභාෂය නිසා නිකාය නීතිගත කිරීමේ වැදගත්කම එතුමාට තදින්ම අවබොධ විය. වඩුවත්තේ ජයසුමනාරාමාධිපති වැ වැඩවිසු ශ්රී ලංකාරාමඤ්ඤ නිකායයේ දශවර්ගික කාරක සංඝසභාවට අයත් වැ සිටි බ්රහ්මගුණධාරී පූජ්යපාද ශාසනධජ වැල්ලේ උපසේනාභිධාන මහාස්ථවිර ස්වාමීන්ද්රයන් වහන්සේ ඇසුරුකිරීමෙන් ලත් අවවාදානුශාසනයන් ගෙන් හා උන්වහන්සේගේ ආකල්ප සම්පත්තියෙන් පිනාගිය දොන් ස්ටීවන් සේනානායක මහතා අගමැතිකම ලැබූ පසු ද සත්පුරුෂ ධර්මයෙන් බැහැර නො ගිය බව සත්යයෙකි. කවර නිකායක නමුත් ආකල්ප සම්පත්තියෙන් පිරිපුන් ප්රතිපත්ති ගරුක භික්ෂූන් වහන්සේලාට සැලකිලි ගරුබුහුමන් කිරීමේ පුරුද්ද අපේ මහඇමැතිතුමාට ඇතිවුයේ එහෙයිනි. එහෙයින් ම භික්ෂූන් වහන්සේගේ සම්යක් විහරණයට අදාළ වන අධිකරණ විනිශ්චය පිළිබඳ දැනීම ගිහියන්ට ත් ඇතිකිරීමේ වැදගත්කම ගැන සැලකූ මහඇමැතිතුමා මේ ග්රන්ථය සැපයීමට ආරාධනය කරනලද බව පෙනේ. මේ ග්රන්ථ සම්පාදනයෙහි වාහ්ය නිමිත්ත මේ ආරාධනය වුවත් ආභ්යන්තර නිමිත්ත භික්ෂූන්ගේ සම්යක් විහරණය විෂය කොට පැවැති සම්පාදකානුග්රහයයි.
මෙහි පරිච්ඡේද තුනෙකි. ප්රථම පරිච්ඡේදයෙහි:- චතුර්විධ අධිකරණ විභාගය දක්වන ලදී. එය විවරණය කිරීමේදී ප්රාසංගික වශයෙන් පැමිණි ශීලවිපත්ත්යාදි චතුර්විධ විපත්තිත් ආපත්ති සමුට්ඨාන ත් අපලොකනාදිකර්ම සිදුවියයුතු ක්රමය ත් විවාදාදි එක් එක් අධිකරණයක් ප්රත්යය කොට ගෙන චතුර්විධ අධිකරණයන් ම සිදුවන අයුරු ත් අධිකරණාර්ථය ත් පැහැදිලි කරනලද බව පෙනේ. ද්විතීය පරිච්ඡේදයෙහි:- සප්තාධිකරණ ශමථ ධර්ම විභාගය දක්වන ලදි. එය විවරණය කිරීමේදී ප්රාසංගික වශයෙන් චතුර්විධ අධිකරණයන් ශමථය වන අයුරු ත් තජ්ජනීයාදි කර්ම සප්තකය පිළිබඳ විස්තරය ත් කම්මසන්නිට්ඨානය ත් සමොධාන තිණවත්ථාරකය ත් හෙළි කරනලද බව පෙනේ. තෘතීය පරිච්ඡේදයෙහි:- අධිකරණයක් විනිශ්චය කරන අයුරු මැනැවින් පැහැදිලි කරනලදි. එහිදී චෝදනා- චොදක- චෝදනාප්රභෙද- චුදිතක- සඞ්ඝ- අනුවිජ්ජක යන මේ කරුණු සය ත් චෝදනා වාරිතා- චුදිතක වාරිතා- සඞ්ඝවාරිතා- අනුවිජ්ජක වාරිතා- විනිශ්චය ක්රම යන මේ කරුණු පස ත් චතුර්විධ විනය ත් ත්රිවිධ විනයධර ලක්ෂණය ත් ව්යඤ්ජන- මාතිකා- පදභාජනීය- සිකාපරිච්ඡේද- අනන්තරුප්පත්ති- අත්ථුප්පත්ති යන මේ කරුණු සය ත් මැනැවින් පැහැදිලිකරන ලද බව පෙනේ.
මෙසේ මෙ ග්රන්ථයෙහි විනයධරයකු වශයෙන් උගතයුතු කරුණු රාශියක් ම ඇතුළත් වැ තිබෙන බැවින් විනය ඥානය ලබාගැනීමට රිසිය දක්වන්නවුනට මහත් මැ ලාභයෙකි. මේ වනාහි අධිකරණ විනිශ්චය පිළිබඳ මනා දැනීමක් ඇතිකරගැනීමට ශාසනමාමක ගිහි පැවිදි කාහට ත් එකසේ ප්රයෝජනවන විනය ග්රන්ථයෙකි. යම්කිසි පැවිදි කෙනකුන්ට චෝදනාවක් කිරීම පහසු ය. එය විසඳීමේදී අනුගමනය කළයුතු විනය නය නොදත් ගිහි පින්වත්හු අනුවිජ්ජක ස්ථවිරයන් වහන්සේලාට අස්ථානයෙහි පරිභව කෙරෙති. මේ ග්රන්ථය උගෙනීමෙන් ඒ අස්ථාන පරිභවය නැඟීමට ඉඩක් නැති වන බව ඒ පින්වතුනට ද වැටහෙනු නිසා ය. භික්ෂූන් වහන්සේලාගේ සම්යක් විහරණයට මෙ ග්රන්ථය උගෙනීමෙන් ලැබෙන ප්රයෝජනය ද මෙතෙකැයි පමණ නො කළ හැකි ය. එහෙයින් ගිහිපැවිදි කා විසිනුත් මේ ග්රන්ථය උගතයුතු බව මතක් කළ යුතු ය. සර්වසාධිකරණ විනිශ්චය සඳහා මෙවැනි ග්රන්ථයක් සියබසින් ලියා ප්රචාරය කරන ලෙස ඒ අගමැතිතුමා විසින් කරනලද ආරාධනය ගැන ත් ඒ ආරාධනය පිළිගෙන විනයවිෂයෙහි සූක්ෂිම බුද්ධියක් ඇති විද්යාවාස විද්යාලයාධිපතීන් වහන්සේ විසින් මෙ ග්රන්ථය සැපයීම ගැන ත් ශාසනමාමකයන්ගේ ධන්යවාදය ඒ දෙපළට හිමිවෙයි. එසේ ම මේ ග්රන්ථයෙහි සඳහන් අධිකරණ විනිශ්චය ක්රමයන් මැනැවින් දැන උගෙන සසුන් වැඩ වැඩීමට එක්වන් මෙහෙයි කිරීම ශාසනාවචර කුලපුත්රයන්ගේ හා ශාසනමාමක ගිහි පින්වතුන්ගේ පරම යුතුකම බව ද සිහි කරවම්හ.
සම්බුදු සසුන බැබළේවා! ඉඳුරුවේ උත්තරානන්ද ස්ථවිර.
ඉඳුරුවේ උත්තරානන්ද ස්ථවිර.
සංඥාපනය
අධිකරණ විනිශ්චය පිළිබඳ ග්රන්ථයක් සම්පාදනය කිරීමෙහි දී අධිකරණයන් ද අධිකරණ ශමථයන් ද ඒ ඒ අධිකරණයන් ඒ ඒ ශමථයෙන් සන්සිඳුවන අයුරු ද ඒ පිළිබඳ පවත්නා විනයකර්මයන්ත ද පැහැදිලි කොට අධිකරණයක් මුල පටන් ශමථය දක්වා විනිශ්චය කළයුතු ක්රමය ද හෙළිකළ යුතු වෙයි. මේ ග්රන්ථය සම්පාදනය කරනු ලබන්නේ එපරිද්දෙනි.
සම්බුද්ධ ශාසනයාගේ ආයුෂය විනය බව ත් විනය පවත්නා කල්හි ශාසනය පවත්නා බව ත් “විනයො නාම සාසනස්ස ආයු”- “විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” යන ධර්ම සංගායක වචනයෙන් ප්රකාශිත වෙයි. විනය පැවැත්ම නම් භික්ෂූන් වහන්සේලා ගේ විනය නීතියට අනුව පවත්නා සම්යක් විහරණය මැ යි. භික්ෂූන් වහන්සේලා සම්යක් විහරණයෙන් යුතුව වසන්නාහු නම් ලෝකය රහතුන්ගෙන් හිස් නො වන බව අපගේ තථාගත සම්බුදුයන් වහන්සේ විසින් පරිනිර්වාණ මඤ්චකයෙහි දී සුභද්ර නම් පිරිවැජියාට වදාරන ලද්දේ එහෙයිනි. උන්වහන්සේ විසින් මුළු විනයපිටකය ම වදාරන ලද්දේ භික්ෂූන් ගේ මෙ සම්යක් විහරණය හේතු කොට ගෙන සිදුවන ශාසනයාගේ නිර්මල පැවැත්ම සලකා ගෙන ම ය.
ඒ මේ විනය පිටකය ද අධිකරණයන් ගේ හා අධිකරණ ශමථයන්ගේ විස්තරයක් වන බැවින් භික්ෂූන්ගේ සම්යක් විහරණය ද අධිකරණ ශමථ ධර්මානුගත ව ක්රියා කිරීම ම වන්නේ ය. විනය ශාසනයාගේ ආයුෂය වන්නේ ත් විනය පවත්නා කල්හි ශාසනය පවතින්නේ ත් භික්ෂූන්ගේ මේ සම්යක් විහරණය හේතුකොට ගෙන ම ය.
ශාසනික ප්රතිපත්තියට වඩා අශාසනික ක්රියා මාර්ගයන් ගරු කොට සලකන ඇතැම් ශාසනාවචර කුලපුත්රයන් ධර්ම විනය ඥානයට එතරම් සැලකිල්ලක් නො දක්වන මේ කාලයෙහි ශාසනික අධිකරණ විනිශ්චය ද ඉතා ලඝු කොට සලකන බව පෙනේ ධර්මවිනය ඥානයෙන් හීන වූ භික්ෂූන් විසින් කරනු ලබන විනිශ්චය ද ශාසන විනාශයට ඉවහල් වන බව පෙනේ. අධිකරණ විනිශ්චය වනාහි ශාසනයෙහි අතිශය ගුරුකටයුත්තක් සැලකිය යුතු ශ්රෙෂ්ඨ කාර්යයෙකි. එහි ප්රමුඛයා නම් අනුවිජ්ජක තෙමේ ය. අනුවිජ්ජක තනතුරෙහි ලක්ෂණ හා පැවැතුම් ගැන දැන ගැනීම ශාසනමාමක බෞද්ධ මහජනයාට මහත් ප්රයෝජනය පිණිස පවත්තේය. අනුවිජ්ජක පදවියෙහි ඇති වගකීම මෙකල බොහෝ භික්ෂූන් වහන්සේලා විසින් ද සලකන බවක් නො පෙනේ.
ඇතැම්විට නුසුදුස්සන් අනුවිජ්ජක පදවිවලට පත්කිරීමෙන් බොහෝ අක්රමිකතාවන් සිදුවන බව ද කිය යුතුය. එවැනි අනුවිජ්ජකයන් විසින් සාතාගිරි - හේමවත යක්ෂසෙනාපතීන්ගේ ශුචි චරිතය කියවා කරුණු වටහා ගත යුතුය. අනුවිජ්ජක පදවියේහි වගකීම කොතරම් දැයි යනු ඉන් වටහා ගත හැකිය. ශිෂ්යානුරූප භික්ෂූන් වහන්සේලාගේ ත් ශාසනමාමක ගිහි පින්වතුන්ගේ ත් ශාසනික අධිකරණ විනිශ්චය පිළිබඳ දැනීම ශාසන සංරක්ෂණයට මහෝපකාරී වෙයි. නොයෙක් විනය ග්රන්ථයන් බලා දතයුතු කරුණු රැසක් එක් ග්රන්ථයෙකින් නිරායාසයෙන් දැනගැනීමට ලැබීම ඒ දෙපක්ෂයේ ම ප්රීතිය පිණිස පවත්නා බව දන්නා හෙයින් මේ ග්රන්ථය සැපයීමට අදහස් කෙළෙමු. මෙවැනි ග්රන්ථයක් මේතාක් ස්වභාෂාවෙන් නො සපයන ලද බැවින් එහි අඩුව පුරවා ලන්නට ශ්රී ලංකා රාමඤ්ඤනිකායික කාරක සංඝ සභාවේ සාමාජිකයන් වහන්සේලා අපගේ ධර්මවාසෝත්තම වූ පාණදුරේ වලපොල ශ්රී සද්ධර්මෝදය පරිවෙණාධිපති ව වැඩවිසූ අතිගරු ශාසන වංශ බුද්ධසිරි සුචරිතාධාරාභිධාන මහානායක මහීන්ද්රයන් වහන්සේට එකල ආරාධනා කළහ. එහෙත් ඒ සමය කාලයෙහිම උන්වහන්සේ අපවත් වූ බැවින් ඒ කාර්ය යටපත් විය. මේ කාර්යය ගැන සිත සිතා සිටි අපට රාමඤ්ඤනිකායාරක්ෂක සමිතියේ සභාපති ධුරන්ධර වූ මහාමාන්ය දොන්. ස්ටීවන් සේනානායක අග්රාමාත්ය තුමාණන් විසින් භික්ෂූන් වහන්සේලාගේ සංවරය පිණිස විනය නීතියෙන් යුක්ත ග්රන්ථයක් කළහොත් මැනැවැයි ආරාධනයක් කරන ලදි. ඒ ආරාධනයෙන් උත්සාහසම්පන්න වූ අප විසින් මේ අධිකරණ විනිශ්චය සපයන ලද බව ද කියයුතු කරුණක් ලෙස මෙහි සටහන් කළයුතු ව තිබේ.
කාර්යය බැරෑරුම් වූවත් කළයුතු කාර්යයක් ම වන බැවින් පෙළ අටුවා ටීකාදිය ඇසුරුකරමින් මේ ග්රන්ථය සපයා යථෝක්ත අග්රාමාත්යතුමන් වෙත ඉදිරිපත් කෙළෙමු. එතුමා මෙය සමාදරයෙන් පිළිගෙන සහතික පත්රයක් ද ප්රදානය කෙළේ ය. එය මෙහි අන් තැනෙක යොදා ඇත. මෙහි මුද්රණ කාර්යය කිරීමට කලින් එතුමා පරලෝසැපත් විය. මුද්රණ කාර්යය ද දිනෙන් දිනම අතපසු විය. සාමාන්ය මහජනයාට මෙවැනි ග්රන්ථයන්ගෙන් වැඩි ප්රයෝජනයක් නැති බැවින් මෙය මුද්රණයෙන් ප්රචාරය කරවීමට නො හැකි ව අවුරුදු කීපයෙක් ඉක්ම ගියහ. ග්රන්ථ සම්පාදනයෙහි දුෂ්කරත්වය වැටහෙන්නේ ග්රන්ථ කර්තෘන්ට මය. විවිධ විශේෂනයින් යුක්ත විනය පිළිබඳ ග්රන්ථයක් සැපයීම අතිශයින් ම දුෂ්කර වන්නේ ය. ඒ දුෂ්කරත්වය මැඩ ගෙන මේ ග්රන්ථය සම්පාදනය කළත් මුද්රණ කාර්යය නොසිතූසේ අතපසුවූයේ මේ ග්රන්ථයේ විශාලත්වය නිසා නො වේ. එයට යොදන ධනය ලබාගත නොහැකියැයි සිතූ ව්යාපාරිකයන්ගේ භීතිය නිසාය. එහෙත් හිටපු අග්රාමාත්යධුරන්ධර ඩඩ්ලි සේනානායක මන්ත්රීතුමා ආදි ශාසනමාමක හිතවතුන් කීප දෙනකුත් ඉදිරිපත්වීමෙන් මුද්රණ කාර්යය සපුරාලන්නට හැකිවීම ශාසනාවචර කුලපුත්රයන්ගේ භාග්යයක් කොට සලකම්හ.
උපකාරානුස්මරණය
මේ ග්රන්ථයෙහි ඇතුළත් ධර්මවිනිශ්චය මැනැවැයි පිළිගනිමින් අප උත්සාහවත් කළ ශ්රී ලංකාරාමඤ්ඤනිකායේ අධිකරණ නායක ධුරන්ධර වූ ද බලගල්ලේ සරස්වතී පරිවෙණාධිපති වූ ද අතිගරු ත්රිපිටක වාගීශ්වරාචාර්ය හිස්සැල්ලේ ශ්රී ඤාණොදයස්වාභිධාන මහාස්ථවිර ස්වාමීන්ද්රයන් වහන්සේ වෙත ද, මේ ග්රන්ථය මුද්රණය කරවීමේහි ලා සහස්කාර දීමෙන් ද, සාරවත් ප්රස්තාවනාවක් ලියා දීමෙන් ද අනුග්රහ කළ ශ්රී ලංකාරාමඤ්ඤනිකායේ මහා ලේඛකාධිකාරී වූ ද වැල්ලවත්තේ ශ්රී ධර්මෝදය පරිවෙණාධිපති වූ ද විද්යා විශාරද පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්ද මහාස්ථවිරයන් වහන්සේ වෙත ද අපගේ කෘතඥතා පූර්වක ගෞරවස්තුතිය හිමි වෙයි.
තවද මේ ග්රන්ථය සම්පාදනය කිරීමෙහි දී පිටපත් ලියා දීමෙන් මීරිගම ශාසනවර්ධන පිරිවෙන්හි උපප්රධානාචාර්ය ධුරය දැරූ නැසීගිය කඩිබෝවේ වජිරවංස මහාස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද උපකාරය ද කෘතඥතා පූර්වක ව සිහිපත් කරම්හ. මෙහි මුද්රණය මැනැවින් ඉටුකර ගැනීමට අනුබල දුන් පාඨශාලාචාර්ය පී. ආර්. ගුණරත්න මහතා ප්රමුඛ හිතවත් ශාසනමාමකයන්ට ද, මුද්රණ කාර්යය ඉතා ඕනෑකමින් ශෝභනාකාරයෙන් කලට වේලාවට කරදුන් සුප්රසිද්ධ මුද්රණ ශිල්පීන් වන කොළඹ යූ. පී. ඒකනායක සහ සමාගමේ කළමනාකාර මහතා ප්රමුඛ කාර්යමණ්ඩලය වෙත ද අපගේ කෘතඥභාවය හිමි වේ. මෙහි අපගේ ප්රමාදමුද්රණයෙන් ජනිත දෝෂස්ථානයන් දක්නා සුධීන් විසින් ශාසනානුග්රහ පූර්වකව අපවෙත දන්වා එවීමෙන් මතු වාරයෙහි මෙයට වඩා සම්පූර්ණ ග්රන්ථයකින් ශාසනමාමකයන් පිනවීමට අනුබල දෙනු ලැබේවා. මේ ග්රන්ථය ශාසනසම්භිවෘද්ධිය පිණිස පවතීවා යි ප්රාර්ථනය කරම්හ.
මීරිගම—ශාසනාලිනිකාමී,
නිනලව සිරි ඤාණිස්සර මහාථෙර.
විද්යාවාස විද්යාලය, මිණිඔළුව - මීරිගම, 20 ජූනි 1954
මීරිගම—ශාසනාලිනිකාමී,
නිනලව සිරි ඤාණිස්සර මහාථෙර.
විද්යාවාස විද්යාලය,
මිණිඔළුව - මීරිගම,
20 ජූනි 1954