අත්දැකීම් අනුව ලියනලද, බුරුම පුරාණ සතිපට්ඨාන විදර්ශනා භාවනාව සහිත මහණකම - යාගොඩ ධම්මප්රභ හිමි 1957.pdf
- කතෘ :
- යාගොඩ ධම්මප්රභ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1957
- මුද්රිත වර්ෂය :
- 1957
- පිටු ගණන :
- 132
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 23 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මහණකම යනු භික්ෂු විනය, ශීල විශුද්ධිය සහ සතිපට්ඨාන විදර්ශනා භාවනා ක්රමය පිළිබඳව යාගොඩ ධම්මප්රභ ස්වාමීන් වහන්සේ විසින් රචිත මාහැඟි විනය ග්රන්ථයකි. මෙහි ප්රස්තාවනාව ලියා ඇත්තේ අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක හිමිපාණන් විසිනි.
කතුවරයාණන් වහන්සේ බුරුම රටේ සංඝායනා ස්ථාන සහ මහසි සයාඩෝ ඇතුළු ගුරු ඇසුරේ කළ සතිපට්ඨාන භාවනා පුහුණුව මෙන්ම විනය ශික්ෂාපද ආරක්ෂා කරගැනීමේ වැදගත්කම විස්තර කරමින්, විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා මිල මුදල් පරිහරණය කිරීමේ ආදීනව හා චතුපාරිශුද්ධි ශීලය රැකීමේ අවශ්යතාවය ශාස්ත්රීය හා අත්දැකීම් පදනම් කරගෙන පහදා දෙයි.
ජේ. ඩී. අබේනායක මහතාගේ ප්රකාශනයක් ලෙස මාතර වෙළෙන්දෝ මුද්රණාලයේ මුද්රණය කර ඇති මෙම කෘතිය, සසුන්ගත භික්ෂූන්ට මෙන්ම භාවනායෝගීන්ට ද මනා මාර්ගෝපදේශයකි.
මේ පොත
ලියන ලද්දේ ශීල විශුද්ධියෙහි පිහිටා භාවනා කරණු කැමති යෝගාවචර කුලපුත්රයන් සඳහාය. කලක් තිස්සේ වාද විවාද වෙමින් පැවති නොයෙක් විනය සිකපද පිළිබඳ සැක දුරුකරගැනීමට දරණ ලද උත්සාහයේ ප්රතිඵලයකි. විශුද්ධ ශීලයක් රැකීමට උත්සාහ ගන්නහුට විනය කුක්කුච්චය ඇතිවීම ස්වභාවයකි. ආචාර්ය්ය පරම්පරාවන්හි ඇති වාද විවාදයෝද ඒ සඳහා රුකුල්වෙති. කුකුසෙන් සැකයෙන් යුතු ශීලයක පිහිටා භාවනා කිරීමෙන් ඵලයක් නො ලැබිය හැකි.
උපසම්පන්න භික්ෂු ශීලය වනාහි ලොවැ ඇති ඉතා උසස් හික්මීමෙකි. අනුපසම්පන්නයා රහත්වුවද උපසපන් පුහුදුන් භික්ෂුවට වත්පිළිවෙත් වැඳුම් පිදුම් කළ බව ධර්මයෙහි දැක්වේ. විනය පිටකාගත ඒ මහත් ශික්ෂා සංවරය, ඉන්ද්රිය සංවරය පිරිසුදු දිවි පැවැත්ම හා නුවණින් දැන ජීවත්වීම ද අලෙපචර්ය්යාදි මහත් ගුණ සමූහය ද දැරීමෙන් සසුනත් සියලු සුචරිතයත් රක්නා උපසපන් භික්ෂුව දියෙන් මතුවී පෙනෙන මහණෙල් මල මෙන් සමාජයෙන් උස්ව බබලයි.
ඒ ශ්රේෂ්ඨ පුද්ගලයා විසින් එයටත් වඩා උසස් දෙයක් කළයුතු බව මේ පොතින් විස්තර වන්නේය. විවාද සහිත සිකපද මනාව වටහා ගෙන නිවැරදිව පිළිපැදීමෙන් නිසැකව තමන් ශීලපාරිශුද්ධියෙහි පිහිටි බව ස්ථිරව ගැනීමට සෑම සුධීන්ටම මෙය උපකාරී වේවා! වාද විවාද කැමැත්තෝ එසේ කෙරෙත්වා!
‘‘විවාදං භය තොදිස්වා අවිවාදඤ්ච ඛෙමතො’’
මගේ බුරුම ගමන.
කුඩා කල වාරණ මඞ්ගලගිරි පිරිවෙන්හි මැදුම් සඟියෙහි ‘සතිපට්ඨාන’ සූත්රය උගනිද්දී මගේ ජීවිතයෙහි අදත් බලපවත්නා මහත් මානසික විප්ලවයක මුල පිරුණේය. කලෙක යටපත්ව යලි වේගවත්ව නැඟ එන මේ හැඟීම් රැස දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව තෙක් ලංකාවේ භාවනානුයෝගීන් හා ඒ පිළිබඳ විශේෂ උගත්කම් ඇති හිමිවරුන් ඇසුරු කිරීමෙහි මා පෙලැඹීය.
පළමුවර බුරුමයෙන් භාවනා ඉගෙන වැඩම කළ ගරු ආභිධම්මික පණ්ඩිත දෙඩම්පහල කස්සප ස්වාමිපාදයන් වහන්සේ ඇරඹූ මාතර දික්වැල්ලේ පිටදෙණියෙහි ශ්රී රෝහණ සතිපට්ඨාන විදර්ශනා ආශ්රමයේ මසකට අඩុកලක් භාවනානුයෝගී වීමෙන් බුරුම රටට ගොස් භාවනා ක්රම පිළිබඳ සොයා බලා ඉගෙනීමට බලවත් ආශාවක් පහළ විය.
මා හිතවත් පවාරිත දායක මාගාල්ලේ ‘සේනානී’ නිවෙසෙහි බී. ආර්. දිසානායක හාමු මහත්මයා සහ එම නෝනාමහත්මයා ද මෙම චිත්ත සංකල්පය සමෘද්ධ කිරීමෙහි ලා ඉදිරිපත් වූයෙන් හිතවත් හැවනිවල දායක පින්වතුන්ගේ මාර්ගෝපකරණ සම්පාදනයෙන් ද හිතවත් පවාරිත දායක ජේ. ඩී. අබේනායක රාලහාමි, කේ. ජී. ශ්රීවර්ධන මහතාණන්, ප්රැඩී සෙනෙවිරත්න හාමු මහත්මයා සහ ඩබ්ලිව්. ටී. ඒ. ගුණවර්ධන මහතාණන්ගේ ද සහායයෙන් අවසර පත්ර ගැනිමාදි ගමන් පිළියෙල සම්පූර්ණ කොට ගෙණ ගරු පණ්ඩිත ශාස්ත්රාචාර්ය්ය මිරිස්සේ ගුණසිරි හිමියන්ගේ මාර්ග දේශකත්වයෙන් 1954 නො: 10 දින කොළඹ වරායෙන් පිටත්ව 14 දින බුරුම බෞද්ධ මහා රාජ්යයට ගොඩ බැස්සෙමු.
අප පිළිගත් බුරුම රජයේ ශාසන කවුන්සලයේ මහත්වරු සවෙනි මහා ධර්ම සංගායනය පවත්වන ලෝක සාම චෛත්යස්ථානයට කැඳවාගෙණ ගොස් එහි ආවාස පහසු ආදිය සැලැස්වූහ. අග්රශ්රාවක ධාතූන් වහන්සේලා ද නවගුණ චෛත්යයන්හි ධාතූන් හා නොයෙක් නිධාන වස්තුන් ද ලක්ෂයක් වටිනා රිදී පිළිමයක් හා ස්වර්ණාලේපිත ප්රතිමා වහන්සේලා සනමක් ද තැන්පත් කොට චෛත්යාකාරයෙන් කරවන ලද ලෝක සාම විහාරය මෙහි පළමුව හමුවේ.
ඉක්බිති සත්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා දිනපතා එක්රැස්වී සවෙනි මහා ධර්මසංගායනාව පවත්වන පසළොස් දහසකට ඉඩකඩ සහ වාතාශ්රය ඇති විශිෂ්ට නිර්මාණයක් වූ ඈතට කඳු ගැටයක් මෙන් දිස්වන මහා පාෂාණ ගුහාව ද මහා සීමාව හා ජම්බුදීප, උත්තරකුරු, පුබ්බවිදේහ, අපර ගෝයාන, යන නාමවලින් හඳුන්වනු ලබන තෙමහල් මහා සංඝාවාස හා තෙමහල් මහා දානශාලාව ආරෝග්යශාලාදී අවශෙෂ්ය අවශ්ය ධර්මශාලාවන්ගෙන් සම්පූර්ණ වූ ලෝක සාම චෛත්යය යන අරුත් ඇති කබා-අයේ යන සුන්දර බුරුම නමින් හැඳින්වෙන මෙම ධර්ම සංගායනාස්ථානය වනාහි බුරුම බෞද්ධයාගේ ශ්රද්ධා භක්තිය පිළිඹිබු කළ තැනක් වැන්න.
මෙහි නැවතී සවෙනි මහා ධර්ම සංගායනාවට සහභාගී වෙමින් රැන්ගුන් නගරයේ ස්වේදගුන් මහා චෛත්යරාජයන් වහන්සේ ආදී වන්දනීය ස්ථාන වැඳ පිදුවේ අවකාශ ලැබෙන අයුරිනි. තවද හංසාවතී නගරය (පේගු) රත්නපූර්ණ නගරය (මණ්ඩලේ) අමරපුර සගයින් ආදී වන්දනීය දර්ශනීය ස්ථානයන් ද වැඳ පිදුවේ බුරුමයේ ආගමික චාරිත්ර වාරිත්ර හා භාවනාදී ප්රතිපත්තීන් පිළිබඳවද විමසිලිමත්ව ය.
පවත්නා නාමරූපයන් අරමුණු කිරීමේ උපදෙස් සහිත සතර සතිපට්ඨාන විදර්ශනා භාවනා ක්රමය උගන්වන බුරුම රටවැසි ධර්ම විනය ධාරී උතුමන් විසින්දු පසස්නා ලද “ශාසන යෙයිතා” මහා ආශ්රමයට ඇතුලත්ව එහි ප්රධාන කර්මස්ථානාචාර්ය්ය වූ - ගරුතර අෂින් සොභන මහාසී සයාඩෝ මාහිමියන් වහන්සේගේ කර්මස්ථානාචාර්ය්යත්වයෙන් හා ගරු යූ ජවන ස්ථවිරයන් වහන්සේගේ උපදේශකාචාර්ය්යත්වයෙන් ද ගරුතර යූ. සුජාත මහාස්ථවිරයන් වහන්සේ ගේ විශේෂ භාෂාපරිවර්තකත්වයෙන් ද ආරම්භ කළ සතිපට්ඨාන විදර්ශනා භාවනා පුහුණුව දෙමස දස දිනකින් සම්පූර්ණ කොට ධම්මචක්ක සූත්රය මාතෘකා කොට පැවැත්වෙන මහාසී සයාඩෝ මාහිමියන් වහන්සේ ගේ අවසන් දෙසුම ශ්රවණය කොට පට්ඨානාශ්රමයට යනු සඳහා අවසර ගතිමි.
වර්තමාන බුරුමයෙහි අභිධර්මය පිළිබඳ මහා විශේෂඥයකු වූ ගරුතර අෂින් නාරද පට්ඨාන සයාඩෝ මාහිමියන් යටතෙහි පට්ඨාන ආශ්රමයේ නැවතී තෙමසක් පමණ පට්ඨානප්රකරණය ඉගෙනීමෙන් ද බුරුමවාසීන් රහත් උතුමකු මෙන් පුදනු ලබන ගරුතර මොගොක් සයාඩෝ මහාස්ථවිරයන් වහන්සේ ඇසුරෙහි මෛත්රී කර්මස්ථානයෙන් විදර්ශනාවට බස්නා අයුරුද හංසාවතී කර්මස්ථාන විහාරයෙහි ආනාපානයෙන් විදර්ශනා ද පුහුණු කෙළෙමි.
බුරුමයට ආසන්නව පිහිටි බෞද්ධ රාජ්යයන් වූ සියම්-කාම්බෝජ දෙරටට යෑමට කාම්බෝජ සංඝරාජ හිමියන් විසින් ගමන් අවසරය ගැනීමට එවනලද විදුලි පණිවුඩය ලද නමුත් වස්සාන කාලය ආසන්න වූයෙන් ආපසු ලංකාවට පැමිණීමට අදහස් විය.
1955 ජුලයි 15 දින බුරුමයෙන් අහස් නැවින් කල්කටාවට ද කල්කටාවෙන් මදුරාසියට ද පැමිණ මදුරාසියේ තියොසොපිකල් ආශ්රමයෙහි යෝගීන් හා ද මයිලපූර්හි රාමක්රිෂ්ණ මිෂන් ආශ්රමයේ යෝගීන් හා ද ප්රයෝජනවත් සාකච්ඡා කොට එම 25 දින ගුවන් මගින් ලංකාවට පැමිණියෙමි.
මෙය ලියන ලද්දේ බුරුම ගමනට ප්රථමයෙන් ය. බුරුම ගමනින් පසු මුද්රණය කිරීම වඩාත් මැනවැයි හිතවත් කැපකරු දායක ජේ. ඩී. අබේනායක රාලහාමි ගේ අදහස විය. එහෙයින් ම බුරුමයේ දී මා පුහුණු කළ සතිපට්ඨාන භාවනා ක්රමය පිළිබඳ විස්තරයක් ද මෙහි ඇතුළත් කරන්නට ලැබීම සතුටට හේතු ය. එමෙන්ම බුරුමයේ බෞද්ධ චාරිත්ර වාරිත්රාදිය පිළිබඳ ලත් අත්දැකීම් සඳහන් කරන්නට අවකාශ මඳවීම කණගාටුවකි.
තවද මෙහි මුද්රණය ආදී සියලු කටයුතු භාරය ජේ. ඩී. අබේනායක රාලහාමීට පැවරිමි. තම හිතමිත්ර ධර්මශාස්ත්ර ප්රවීණ ආචාර්ය්යරත්න රේරුකානේ චන්ද්රවිමල මහානායකපාදයන් වහන්සේ ලවා ප්රස්තාවනාව සැපයීම පොතේ ගරුත්වයට හා මගේ සතුටට ද හේතු ය. මාගේ සියලු ශාසනික අභිවෘද්ධියෙහි මූලාධාර වූ, පිළිකුත්තුරාජ මහා විහාරය, කොස්කඳවල, හැවනිවල සහ පහළයාගොඩ යන චතුර්මහා විහාරාධිපති, ප්රව්රජ්යාචාර්ය්ය, ගරුතර, යාගොඩ ධම්මානන්ද අප හාමුදුරුවන් වහන්සේ හා වාරණ මඞ්ගලගිරි පරිවේණාධිපති ගරුතර ඇස්වත්තේ ධම්මතිලක අප හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු ධර්මාචාර්ය්යයන් වහන්සේලා ද බුරුම ගමනෙහි සම්පූර්ණ වියදම් දැරූ බී. ආර්. දිසානායක හාමු මහත්මයා සහ එම නෝනා මහත්මයා ද ඇතුළු සියලු හිතවත් දායක පින්වතුන් ද පින්දීමෙන් සිහිපත් කරමි.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
නිබ්බාන පච්චයො හොතු.
යාගොඩ ධම්මප්රභ භික්ෂු
ශ්රී බුද්ධ වර්ෂ 2500 වෙසක්
පුරපසළොස්වකැ
“තපොවනයේදී ය
වවුළුගල වත්ත - ඉමදූව.
ප්රස්තාවනාව
මහණකම සැදැහැයෙන්, අවංක අදහසින් පිරිසිදුව ධර්මවිනයානුකූලව නොකරතොත් කිරීමට වඩා නොකිරීම ඉතා යහපත්ය. මහණ කම් කරන්නවුන් විසින් මහණ කම් කිරීමේ තේරුම කුමක්දැයි සලකා බැලිය යුතුය. ගිහි ජීවිතය නොයෙක් කම්කටොළු හිරිහැර පීඩා වලින් ගහණ වූ අනවකාශාර්ථයෙන් සම්බාධ සහිත වූවකි. ගිහිව වෙසෙමින් සසර දුකින් මිදීමට අවශ්ය ප්රතිපත්ති සම්පූර්ණ කොට පිරිය නොහැකි ය. එහෙයින් ගිහි ජීවිතයෙන් වෙන්ව ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපැදීම මහණ කමේ පරමාර්ථයයි. ශාසනයේ මුල් අවදියේ සසුන් ගතවූ සියල්ලන්ම මහණවූයේ මේ අදහසින් බව පෙනේ. කල් යාමෙන් මේ අදහසම පිටුවහල් කොට නොව, වෙනත් නොයෙක් අදහස් මුල් කරගෙන මහණ වන්නෝ වූහ. ඒ අදහසින්ම මහණ වූ අය පසුව ඒ අදහසට පටහැනිව කටයුතු කරන්නෝද වූහ. එහෙයින් පසු කාලවල කොයි රටවලත් කලින් කල බුදුරජාණන් වහන්සේගේ අදහසට විරුද්ධ වූ උන්වහන්සේ විසින් පනවා වදාළ විනය ප්රඥප්තීන්ට අනුලෝම නොවූ හාත්පසින්ම මහණ කමට විරුද්ධ වූ මඟක් ගත්තෝද ඇතිවූහ. එමෙන්ම සැදැහැයෙන් මුලින් අදහස් කළ උතුම් අදහසින් චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත්ව මහණකම් කරන සුපේසල ශික්ෂාකාමී භික්ෂූන්ගෙන්ද ශාසනය මේතාක් හිස් නොවීය. ථෙරවාද බුද්ධාගම පවත්නා කොයි රටවලත් එවැනි භික්ෂූහුද කවදත් සිටියහ. අදත් සිටිති.
එවැනි ශික්ෂාකාමී භික්ෂූන් ඇරුණු විට අද කොයි රටවලත් බොහෝ භික්ෂූන්ගේ මහණ කම මහණකමේ පරමාර්ථයෙන් බොහෝ ඈතට ගමන්කර තිබේ. බ්රහ්මජාල, සාමඤ්ඤ ඵල, ධම්මදායාද, ආකංඛෙය්ය, චූළහත්ථිපදොපමාදි සූත්ර දේශනාවන්හි එන මහණකමත් අද බොහෝ මහණුන්ගේ මහණකමත් යන දෙක සසඳා බලන විට අහසට පොළොව මෙන් දුරස්තර වී තිබෙන බව පෙනේ. මෙය ප්රගතියයිද කාලයට ඔබින සේ පිළියෙල විය යුතු යයිද සමහරු කියති. ශාසනයෙහි එකම ගතියක් මිස ප්රගතියක් නැත. ශාසනයට ඔබින සේ මිස කාලයට ඔබින සේ කළයුතු මහණකමක් බුදු දෙශනාවේ නැත. නිවන් යන මාර්ගය එකක්ම මිස දෙකක් නැත. එකම ප්රතිපත්තියක් මිස ප්රතිපදා දෙකක් නැත. එකම ආර්ය්යමාර්ගයක් මිස ආර්ය්යමාර්ග දෙකක් නැත. එකම නිවනක් මිස දෙනිවනක් නැත. එහෙයින් මහණකම නොව බෞද්ධකමවත් කාලයට හරියන සේ වෙනස් නොකළ හැකි බව තරයේ සිතිය යුතුයි.
මෙහි ආරම්භයේදීම ප්රකාශ කළ පරිදි විනය පිළිබඳ මනා දැනීමත් ආචාර්ය්ය උපදෙසත් ඇතිව සඤ්චාරිත්ත සංඛ්යාවෙන්ම මිදී මනාව මහණකම නොකළහොත් ආණාවීතික්කමනාන්තරායයෙන් ස්වර්ගාන්තරාය මාර්ගාන්තරාය දෙකටම පැමිණෙයි. පාරාජිකාපත්තියෙක් නම් භික්ෂු භාවය ප්රතිඥා කරන තුරුත් වුට්ඨානගාමිනී ඇවතකට පැමිණියෙක් නම් එයින් නොනැඟිටින තුරුත් දෙසනාගාමිනී ඇවතකට පැමිණියෙක් නම් දේශනා නොකරන තුරුත් ස්වර්ගාන්තරාය මාර්ගාන්තරාය යන දෙකින්ම යුක්තය. මරණින් පසු ඔහුගේ ගතිය නිරය හෝ තිරිසන් යෝනිය වෙයි.
මෙකල බොහෝ ප්රව්රජිතයන් වහන්සේලාගේ ප්රධාන අදහසව පවතින්නේ කෙසේ හෝ මිල මුදල් සපයා ගෙණ සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීම බව පෙනේ. එහෙත් බුදුරජාණන්වහන්සේගේ නියමය ‘‘නඤ්චවාහං භික්ඛවෙ කෙනචි පරියායෙන ජාතරූප රජතං සාදිතබ්බං පරිභොජෙ තබ්බන්ති වදාමි’’ මහණෙනි, මම තොපට කයින් වචනයෙන් සිතෙන් යන කිසිම ආකාරයකින් මිල මුදල් මසු කහවනු ඉවසිය යුතු යයි කියා නොකියමි, යනුයි. මහණ කම නියම මහණ කමින් කොතරම් ඈත්වී තිබේදැයි සලකා ගැනීමට මෙය හොඳම සාක්ෂියයි. බුදුරජාණන් වහන්සේ මිල මුදල් සැපයීම නොව පිළිගැනීම ඉවසීමවත් කිසි අයුරකින් නොකළ යුතුයයි වදාළහ. අද භික්ෂූන් වහන්සේලා මිල මුදල් සැපයීම මහණ කම කරගෙන නොතිබේදැයි සිතා බැලිය යුතු යි.
සමහරු වෙළඳාම් කරති. සමහරු පොත් පත් ලියා මුද්රණය කොට විකුණති. සමහරු නොයෙක් විද්යාල තබා ගෙන උගන්වති. සමහරු කාර් බස් කුලියට දෙති. සමහරු පොල්, රබර්, තේ, ඉඩ කඩම් වලින් උපයති. සමහරු ආවාස පන්සල් ගෙවල් කුලියට දෙති. සමහරු පඩි ලබන රැකී රක්ෂාවල යෙදෙති. සමහරු බණකීමට යන කාර් ගාස්තු දුම්රිය ගාස්තුවලින්ද බණ කීමෙන් ලැබෙන පිරිකර දන්දිම් ආදියෙදී ලබන සිවුරු පාත්රා තුවාය ලේන්සු ආදිය, පිරිකර කඩවල විකිණීමෙන්ද උපයති. තවත් සමහරු සියක් නමට දහස් නමට දන්දීම වෙහෙර විහාර පන්සල් ගොඩනැඟිලි ඉදිකිරීමාදිය මුල්කරගෙනද නොයෙක් සම්මාදන් ව්යාපාර වලින්ද හරිහම්බ කරති. ඇතමෙක් දේවාලවල කපුකම් කිරීම, වෙදකම් කිරීම, කෙන්ද්ර බැලීම, නැකැත් කීම, වස්කවි සෙත් කවි කීම, ගුරුකම් හදිහුනියම් කිරීම් කැපීමාදියෙන් මුදල් උපයති. මේ ආදිවශයෙන් ශ්රමණ වෙශයෙන් සිට ගෙන මිල මුදල් උපයන සපයන ක්රම දහස කුත් එකකටත් වැඩියයි කිව යුතුයි.
එමෙන් භික්ෂූන් විසින් මිල මුදල් සැපයීම සහ පරිහරණය මේ කාලයේ නොකොට නොහැකි දෙයකැයිද මිල මුදල් නැතිව මෙකල මහණකම් කළ නොහැකියයිද කරන ප්රකාශයන් නිසා බෞද්ධයන් විසින්දු එය නිවරද යයි පිළිගන්නා තැනට පවා කරුණු සැලසී තිබේ.
මහණකම නොකළ හැක්කේ මිල මුදල් නැතිව නොව ඇතිවය. ජාතරූප රජත ශික්ෂාපදය පමණ තදකොට පනවා වදාළ අන් ශික්ෂා පදයක් නැති තරම්ය. ශික්ෂාපද සියල්ලම පනවන ලද්දේ කාය වචනය පිළිබඳවය. එහෙත් ජාත රූප රජත ශික්ෂාපදය කයින් පිළිගැනීම වචනයෙන් පිළිගන්වා ගැනීම සිතින් ඉවසීම යයි කාය වචනය සිත යන තුනම ගැන පනවා වදාළ ශික්ෂාපදයකි. ඇවැත් වන්නේ එලවා තබන ලද රන් රිදි මසු කහවණු කයින් හෝ වචනයෙන් ප්රතික්ෂෙප නොකිරීම නිසා විනය ක්රමයෙන් කාය වාක් දෙදොරෙහි අකිරිය සමුට්ඨානයෙන් වුවද සූත්රාන්ත ක්රමයෙන් ගත්කල මනෝද්වාරයෙන්ද සිදුවන පාපයකි. ‘‘ණාපයතෙ පටිගණ්හංනං, වාචාය පටිගණ්හාපනං, උභයෙණාපනං, මනසා පටිග්ගහණං සාදියනං’’යි ටීකායෙහි කියන ලද්දේ එහෙයිනි.
බුදුරජාණන් වහන්සේ විසින් මෙය මෙතරම් දැඩිකොට පනවන ලද්දේ මිල මුදල් සැපයීම පිළිගැනීම දැරීම පමණක් නොව සිතින් ඉවසීමවත් කරන්නෙකුට මහණකම නොකළ හැකි හෙයිනි. ශාසනික මහණකම නොව බාහිර මහණකම් පවා මිල මුදල් පරිහරණයෙන් තොරය. මිල මුදල් පාවිච්චිකරන්නෙක් ප්රව්රජ්යා සංඛ්යාවෙහි ඇතුළත් නොවේ. ගිහි දශසීල සාමණේර දශසීලයන්ටද මේ ශික්ෂාපදය අන්තය. අනාගාමි ගිහියාද මිල මුදල් පරිහරණය නොකරයි. ඝටීකාර කුම්භකාර චරිතය ඊට සාක්ෂියකි. ගාමණී සංයුත්තකයේදී වදාළේ ‘‘යස්සඛො ගාමණි ජාතරූප රජතං කප්පති තස්ස කාම ගුණා කප්පන්ති, යස්ස පඤ්චකාම ගුණා කප්පන්ති, එකන්තෙන ඛොතං ධාරෙය්යාසි අස්සමණ ධම්මො අසක්ය පුත්තියො’’ යනුවෙනි. ගාමිණිදුටුව, යම් මහණෙකුට රන් රිදී මසු කහවණු කැපනම් ඔහුට පස්කම් ගුණ සෑපද කැපය. යමෙකුට පස්කම් ගුණ කැප නම් ඔහු එකාන්තයෙන් අශ්රමණයෙකැයි අශාක්ය පුත්රයෙකැයි දරා ගනුව යන අදහස වෙයි. මෙයින් වදාරා තිබෙන්නේ රන් රිදී මසු කහවණු දරණ මහණ තෙමේ සම්පූර්ණයෙන් නොමහණෙකු බවය. මෙහි තතු දැනගැනීමට තවත් කරුණු කුමටද? මිල මුදල් පරිහරණය කරණ ශ්රමණ තෙමේ ශාසනික භික්ෂුවක් තබා තාපසයෙකුවත් නොවන බව සිතා ගත යුතුය. තවුසන් පවා මිල මුදල් පරිහරණයෙන් වෙන්විය යුතුය.
මෙසේ වුවද මෙකල කොයි රටවලත් බොහෝ බෞද්ධ භික්ෂූහු මිල මුදල් පරිහරණයට බැස සිටිති. ශික්ෂාව සැහැල්ලුකොට සිතා අනාදරය උපදවා එක් ශික්ෂාපදයකැයි මඩිත්තාහට සියලු ශික්ෂාපදම මැඩීම අපහසු නොවේ. මේ