විනය විනිශ්චය - වලගෙදර සෝමාලෝක හිමි 1918.pdf

කතෘ :
වලගෙදර සෝමාලෝක හිමි
ප්‍රකාශිත වර්ෂය :
1918
මුද්‍රිත වර්ෂය :
1918
පිටු ගණන :
59
බාගත කිරීම් ගණන :
0
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-23
ගොනුවේ ප්‍රමාණය :
15 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 30

විනයාර්ථදීපිකා නම් විනය විනිශ්චය සන්නය යනු උරගපුරවාසී පරම මහා වෙය්‍යාකරණ භදන්තාචාර්ය බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත සුප්‍රකට ‘විනය විනිශ්චය’ නම් පාලි ප්‍රකරණය සඳහා ලියන ලද විස්තරාත්මක සිංහල සන්න ග්‍රන්ථයකි. මෙහි අන්තර්ගත වන්නේ ද්විතීය පාරාජිකාව දක්වා වූ විනය විනිශ්චය කොටසයි.

මෙම සන්නය රචනා කර ඇත්තේ අමරපුර මූලවංශික මහානිකායේ සාරකසභාවෙහි සභාපති ධුරය දැරූ රන්දොඹේ මහාවෙහෙර පරිවෙණාධිපති ගෞරවාර්හ ගණාචාර්‍ය්‍ය තොටගමුවේ පඤ්ඤාමොලිතීස්ස මහාස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වලගෙදර සොමාලොක තිස්ස ස්වාමීන් වහන්සේ විසිනි. මොල්ලිගොඩ ප්‍රවචනෝදය පරිවේණාධිපති ශ්‍රී මහා විහාරවංශාලංකාර විමලකීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති නායක ස්වාමීන් වහන්සේ විසින් අවසාන ශුද්ධිපත්‍රාවලෝකනය සිදු කර ඇත.

ග්‍රන්ථයෙහි ප්‍රස්තාවනාවට අනුව විනය විනිශ්චය සඳහා පැරණි ටීකා සහ සන්න පැවතුණ ද ඒවා සොයාගැනීම දුෂ්කර වූ හෙයින්, ආධුනිකයන්ගේ පහසුව පිණිස සමන්තපාසාදිකාව ආදී විනය අටුවා සසඳමින් මෙම අභිනව සන්නය සම්පාදනය කර තිබේ. මෙම කෘතිය බු.ව. 2460 (ක්‍රි.ව. 1918) දී අම්බලන්ගොඩ විජය සහ විද්‍යාදර්ශන යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

සඤ්ඤාපනය.

සුවිමල විපුල ශ්‍රද්ධා ප්‍රඥාදිගුණ සමුදය ජනක ශික්‍ෂා කාමීන නම් ලද විනය පිටකය ප්‍රථමකාලයෙහි පාලිපිටක මාත්‍රයකින් අධ්‍යයනාධ්‍යාපන දෙක්හි. පැවැත්මෙන් පැවතෙන අතර අවන්තිවාසී අනුබුද්ධ බුද්ධඝොෂ මාහිමියාණන් වහන්සේට සමකාලික වූ සොළීරට උරගපුරාධි වාසී වූ පරම මහා වෙය්‍යාකරණ භදන්තාචාර්‍ය්‍ය බුද්ධදත්ත මහාස්ථවිර ස්වාමිපාදයාණන් වහන්සේ විසින් සකල ශාසනික ආධුනිකානුග්‍රහ පුරස්සරවැ ග්‍රහණ ධාරණා සුකර වනු සඳහා. ගාථාබන්‍ධක්‍රමයෙන් මේ විනයවිනිශ්චය නම් ප්‍රකරණය මීට වර්‍ෂ (1450) එක්දහස්සාරසියපනසකට පමණ පූර්‍වයෙහිදී රචනා කර වදාරන ලද්දේවීය, මේ ප්‍රකරණය වනාහි උන්වහන්සේ විසින්ම අභිධර්‍ම පිටකයට රචනාකර වදාළ අභිධම්මාවතාරය මෙන්ම සකල ශාසනික ලජ්ජීපෙසල ශික්‍ෂාකාමී කුලපුත්‍රයන් විසින් සාතිශය ගෞරවාදරයෙන් පරිශීලනය කරනු ලැබේ. මේ ප්‍රකරණය ලක්දිව හා බුරුමාදි විදේශයන්හිද සියලු ආචාර්‍ය්‍ය පරම්පරාවන්හි අදවනතුරාම විනයන්‍යාය බෝධනාර්ථීන්ට ශාසනිකපණ්ඩිතවරයන් විසින් ප්‍රගුණ කරවනු ලැබේ. ප්‍රකරණ කර්තෘ චරිතාදි සවිස්තර කථා ප්‍රවෘත්ති පූර්‍ව පත්‍රවලදී හෝ ග්‍රන්ථාවසානයෙහිදී ප්‍රකාශ කරනු ලැබේ. මේ ප්‍රකරණයට පුලත්ථිපුර වැඩවිසූ ජිනාචාර්‍ය්‍ය ශාරිපුත්‍ර මහා ස්වාමිපාදයන් වහන්සේගේ ශිෂ්‍ය වූ බුරුම රට අරිමද්දන නුවර රෙවතාභිධාන පණ්ඩිතෝත්තමයන් විසින් විරචිත ප්‍රශස්ත ටීකාවක්ද, සියම් රටැ විසූ පණ්ඩිතවරයෙකු විසින් විරචිත අත්ථයෝජනාවක්ද, කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රම බාහු මහ රජතුමන් විසින් ලියනලද “වින විනිස” නම් ව්‍යාඛ්‍යානයක් හා දඹදෙණි වාඩුකාරාමාධිපතිව වැඩවිසූ පණ්ඩිතාචාර්‍ය්‍ය සිරිපරාක්‍රමානන්ද මහාස්ථවිර පාදයන්වහන්සේ විසින් ලියනලද ව්‍යාඛ්‍යානයක්ද තිබෙනු අසන්ට ලැබේ. යථෝක්ත ග්‍රන්ථයන්ගෙන් වින විනිස දැනට සපයාගැන්ම ඉතාම දුෂ්කරයයි හැඟිමු. දෙවන ව්‍යාකෘත ඒ පරපුරෙහි පමණක් ශාසනාභිසාරාරක්‍ෂමෙන් ගුප්තව තබාගෙන තිබෙනු හෙයින් ඉන් පාණ්ඩිත්‍යාවශේෂ පාරම්පරික ශාසනික කුලපුත්‍රයන්ට ප්‍රතිෂ්ඨාරහිත බවද ආධුනිකයන්ට සපයා ගතහැකි ටීකා අත්ථයෝජනාවන්ගෙන් යථාර්ථාවබෝධය දුෂ්කර බවද, ඊට අභිනව ව්‍යාඛ්‍යානයක් උපදවාලීමෙන් ඒ ශාසනාභිවෘද්ධිදායකයයිද සලකා වදාළ වැලිගොඩ අමරකෝෂාරාමාධිපති ශ්‍රී සද්ධර්‍ම වංශාලංකාර ශීලරතනාභිධාන අමරපුර මූලවංශික මහා නිකායෙහි මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් මෙහෙයනලද අභිරුචියෙන්, අතින් ලැබුණු ටීකාපොත් සතරක් හා අත්ථයෝජනාවක්ද, සමන්තපාසාදිකාව හා එහි ටීකාවද එකිනෙකට සමකර බලමින් අප මහාවෙහෙර පරිවේණාධිපතීන් වහන්සේගේද විධානානුකූලව අභිනව විනයාර්‍ථ දීපිකා නම් මේ සන්නය මහත් පරිශ්‍රමයෙන් ලියා මුද්‍රණය කරවාගෙන යනු පිණිස බොහෝ දෙනෙකුන්ගේ බලවත් ඇඳැහීමෙන් මුද්‍රිතවූ මේ කොටස මෙවර ප්‍රසිද්ධියට පමුණුවාලිමු.

තවද අපගේ මේ සත්ක්‍රියාවෙහිදී අතිගෞරවාර්හ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පරිවේණාධිපති ශ්‍රී මහා විහාරවංශාලංකාර විමලකීර්ති ශ්‍රී ඉන්ද්‍රජොති නායක ස්ථවිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අවසාන ශුද්ධිපත්‍රාවලෝකනයෙන් පිළිගෙන වදාළබවද මහාවෙහෙර පිරිවෙන්හි උප-චාර්‍ය්‍ය තොටගමුවේ නිබද්ධගණීස්සර ස්වාමිපාදයන් වහන්සේ විසින් විශේෂාධාර කරන ලද බවද, මාදම්පේ නිග්‍රෝධාරාමාධිපති සොභිතාභිධාන ස්ථවිර පාදයන් වහන්සේගෙන් ටීකාවන් දීමෙන්ද රන්දොඹේ සාරාලංකාරාභිධාන යතිස්ථවිර පාදයන් වහන්සේද, තොටගමුවේ පඤ්ඤාජොති ස්ථවිර, බේරතුඩුවේ ධම්මාරාමෝත්සාහක ආයුෂ්මතුන්වහන්සේලා සෙසු ටීකාපොත් සපයාදීමාදියෙන්ද ආධාරකලබවද කෘතඥතා පූර්‍වකව සිහිපත් කරම්හ. අපගේ ප්‍රමාදාදීන් පතිත ස්ඛලිතස්ථාන ශෝධනය සුධීන් විසින්ම සමාහිතව කටයුතු බව සාපරාධයෙහි ප්‍රාඥයන් ගැන අනුකම්පා කරනබවද චින්තනය කරමු.

වලගෙදර සොමාලොකතිස්ස, W. Somaloka Tissa., 2460/1918 ජනවාරිමස 25 දින මහාවෙහෙර පිරිවෙන්හිදීය.