පුරාණ පාරුපනවත සහ අති පුරාණ පාරුපනවත - අතුරලියේ සුමංගල හිමි 1914.pdf
- කතෘ :
- අතුරලියේ සුමංගල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1914
- මුද්රිත වර්ෂය :
- 1914
- පිටු ගණන :
- 33
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පුරාණ පාරුපනවත සහ අති පුරාණ පාරුපනවත යනු භික්ෂූන් වහන්සේලාගේ චීවර ධාරණය (ඇඳුම් පෙරවුම්) සම්බන්ධ විනය නීති සහ සම්ප්රදායික චාරිත්ර විග්රහ කරමින් සම්පාදනය කරන ලද දුර්ලභ විනය ග්රන්ථ දෙකක එකතුවකි. මෙහි පළමු කොටස වන ‘පුරාණ පාරුපනවත’ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්රධාන සංඝනායක ධුරය දැරූ ධර්මවිනයධර අතුරලියේ කීර්ති ශ්රී සුමංගල මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචනා කරන ලද්දකි. දෙවන කොටස වන ‘අති පුරාණ පාරුපනවත’ බෙල්ලන්විල විහාරයෙන් හමුවූ පැරණි පුස්කොළ පිටපතක් ඇසුරින් උපුටා ගන්නා ලද අතර, එය වෙනත් පැරණි මහා ස්ථවිරනමකගේ කෘතියක් ලෙස සැලකේ.
මෙම කෘතීන් සංස්කරණය කොට ලිපිදෝෂාපහරණයෙන් සකස් කර ඇත්තේ ගම්පහ යබවත්තේ විහාරාධිවාසී ශාසනොදයාර්භි බැන්ඩියමුල්ලේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේ විසිනි. චීවරය මණ්ඩලාකාරව හැඳීම, සුපටිච්ඡන්නව පෙරවීම, ගම්වැදීමේදී සිවුර පොරවන ආකාරය සහ ඒ පිළිබඳ පැනවී ඇති විනය ශික්ෂාපදයන්හි නිවැරදි අර්ථ නිරූපණය සාකච්ඡා කිරීම මෙම ග්රන්ථයේ මූලික අරමුණ වේ.
මෙම මුද්රණය හෙහෙරන්ගොඩ ඩබ්. ඒ. හර්මානිස් අප්පුහාමි මහතාගේ ප්රකාශනයක් වශයෙන් බුද්ධ වර්ෂ 2458 (ක්රි.ව. 1914) දී කොළඹ විද්යාභූෂණ යන්ත්රාලයේදී මුද්රණය කරවා ඇත.
සංඥාපනය.
පුරාණපාරූපනවතය අතිපුරාණපාරූපනවතය යන මේ පොත්දෙක ශාසනික භික්ෂූන්ගේ ඇඳුම් පෙරවුම් ආදිය සම්බන්ධ විනය පොත්පත් ආදියෙන් කරුණු දක්වමින් පුරාතන විනයධර මහාස්ථවිරයන් වහන්සේලා දෙනමක් විසින් ශාසනොදය කාමීව අවවාදානුශාසනා වශයෙන් ලියනලද බැව් පෙනේ.
මෙයින් පුරාණපාරූපනවත නමැති පොත මීට හැට අවුරුද්දකට ඉහතදී අතුරලියේ කීර්ති ශ්රී සුමංගලාභිධාන හම්බන්තොට මාතර දෙදිසාවේ නායක ස්ථවිරපාදයන් වහන්සේ විසින් ලියා ප්රසිද්ධකරණ ලදබව පොත අවසානයෙහි උන්වහන්සේ විසින්ම ලියා තිබේ.
අතිපුරාණපාරූපනවත යන නම මෙහි අගට යොදා තිබෙන පොත බෙල්ලන්විල පන්සලේ ලියා තබනාලද්දකි. නිවාසනපාරූපන විනය නමින් එම පොතෙහි නම යොදා තිබෙන බැව් පෙනේ. නමුත් අතුරලියේ පරපුරෙහිද හා පාරූපනවත යන නමින් තිබෙන සෙසු උපසපන් වහන්සේලා ලියූ පොතක් බව පේන හෙයින් හා මුලින් යෙදූ පාරූපනවතට පුරාණ යන්නක් එකතු කළ හෙයිනුත් ඊට අතිපුරාණපාරූපනවත යන නාමය අප විසින් යෙදූබව දතයුතුයි.
බෙල්ලන්විලින් අපට ලැබීතිබෙන මේ පොතේ පුස්කොළ පිටපත ලියා අවුරුදු සියයක් පමණ ගතවීයයි සිතිය හැකි තරමට පරණබව පත්ඉරුවලින් හා අකුරුවලින් පෙනේ. මේ පොතේ සමහර තැන්වල අකුරු කියවාගත නොහැකි තරමට දිරපත්ව තිබුන හෙයින් වචන කීපයක් පිටපත් කර ගන්නට නොහැකිවූ බවද පොතේ මුලපත් ඉරුව සොයාගත නොහැකිවූ හෙයින් දෙවෙනි පත්ඉරුවේ පටන් පිටපත් කරගන්ට සිදුවූ බවද කියනු කැමැත්තෙමු.
මෙහිදී විශේෂයෙන් කියයුත්තක්ද ඇත එනම්:–ලක්දිව ස්යාමනිකායික සමහර භික්ෂූන් සුපටිච්ඡන්න නොව (එකාංශව සිවුරු පොරවාගෙන) ගම්වැදීම පටන්ගත්තට ඉහතදී මේ පොත ලියාතිබෙන බැව් මේ පොතේ පැරණිකමෙන් පමණක් නොව කරුණු වලින්ද ඉතාම පැහැදිලිව පෙණෙන බවයි, ඒ බැව් මේ පොතේ 27 වෙනි පිටේ “ගැටවටු ගන්නා යම් කිසි කරුණක් ගැන ගමට වැදුන කල්හි සැරයටි වටාපත් ආදිය ගන්නා පිණිස දකුණු අත එලියට ගන්නා ඒ පැත්තෙන් සිවුර උස්ව දුටු අයවන්ට අවලක්ෂණව මණ්ඩලාකාරයන් වැරදී වැලමිට බාහුශීර්ෂ දක්වාම අප්රතිච්ඡන්නව පෙනී යනබැවින් පරිමණ්ඩලං පාරුපිස්සාමි යන ශික්ෂාපදයද සුපටිච්ඡන්නො යන ශික්ෂාපද දෙකද න උක්ඛිත්තකාය අනන්තරඝරෙ යන ශික්ෂාපද දෙකද යන ශික්ෂාපද පසක්ම නොරැකි බිඳී යනබව පෙණෙන්නාය” යන වාක්යය බැලූ කල්හි නිසැකවම වැටහෙයි.
ගම්වැදීමට ගැටවටු කොට සිවුරු පෙරවූ කල්හි දකුණු අත වැසෙනබව මෙයින්ද ප්රකාශවෙයි. ඒකාංශකොට පෙරවූ කල්හි කිසි ලෙසකින් දකුණු අත නොවැසෙනහෙයින් මෙහි කියනලද්දේ ඒකාංශපාරූපනය නොව දෙඅංසය වැසෙන පෙරවීමක් බව සැලකියයුතුයි, ඇඳුම් පෙරවුම් ආදිය සම්බන්ධව ඒ කාලයෙහි සිටිය භික්ෂූන් අතර පැවතුන වැරදි හැඟීම් මේ පොතේ නොයෙක් ලෙසින් අවවාද කළ නමුත් එකාංශපාරූපනයෙන් ගම්වැදීමක් ගැන මෙහි කිසි තැනක අවවාදයක් ප්රකාශ කර නොමැතියි. නමුත් ගැටවටු කළ සිවුරෙන් වැසී තිබෙන දකුණුඅත මැණික්කටුවෙන් උඩ පෙනෙනසේ සිවුරු ගැටින් බැහැරට ගැනීමේ වැරැද්ද විස්තර කරමින් එසේ නොකොට දකුණුඅතත් වසාගැනීමට අවවාදකර තිබේ.
මේ කරුණුවලින් නිසැකලෙසම තේරුම් ගන්නට තිබෙන්නේ ලාංකික භික්ෂූන් ඇතුළුගමට එකාංශපාරූපනය පටන්ගැන්මට පළමුවෙන් මේ පොත ලියාතිබෙන බවයි. ඇඳුම් පෙරවුම් සම්බන්ධව නානාමතිකව වාදශෛලොපන්නව සිටින ගිහි පැවිදි පින්වතුන්ලාට මේ පොතෙන් පෙන්වා දෙන්ට අප අදහස් කළේත් ඒ කාරණය පමණක්මයයි සැලකියයුතුයි. ආගමානුකූල පෙරවීම කුමක්ද කෙසේද යනු ඇත්තවශයෙන් තේරුම්ගණු කැමති ශාසනාලය ඇති පින්වතුන්ලාට මෙහි මුලින් යොදා තිබෙන පුරාණපාරූපනවත බැලීමෙන් එය තේරුම්ගත හැක්කේයයි සිතමු.
ධර්මය යටපත් කොට දමා අධර්මය බහුලවන්ට උත්සාහදරන්නන් බහුලකොට ඇති මේ කාලයෙහි ඇත්ත පිළිගණු කැමති පරලොව ගරුකරණ පින්වතුන්ලාට අනුබල දීමක් වශයෙන් සලකා ශාසනානුග්රහ බුද්ධියෙන් මේ පොත් දෙක ලෝකයා අතර ප්රකට කරවීමට අදහස් කෙළෙමු.
ශාසනොදයාර්ෂි ගම්පහ පහලගම යබවත්තේ විහාරාධිවාසී බැන්ඩියමුල්ලේ ධම්මරතන ස්ථවිරයෝ. ශ්රී බුද්ධ වර්ෂයෙන් 2458 ට පැමිණි අගෝස්තු මස 25 වෙනි දිනදීය.