පරමාර්ථප්‍රදීප නම් අභිධර්මාර්ථ සංග්‍රහ විස්තර භාවසන්නය - දෙහිගස්පේ පියදස්සි හිමි 1931.pdf

කතෘ :
දෙහිගස්පේ පියදස්සි හිමි, පැළිලියානේ සොභානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1931
මුද්‍රිත වර්ෂය :
1931
පිටු ගණන :
565
බාගත කිරීම් ගණන :
2
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
80 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 283

පරමාර්ථප්‍රදීප නම් අභිධර්මාර්ථ සංග්‍රහ විස්තර භාවසන්නය යනු අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේ විසින් විරචිත අභිධර්මාර්ථ සංග්‍රහය සඳහා මාතර මාරඹ විහාරවාසී දෙහිගස්පේ පියදස්සි මහාස්ථවිරයන් වහන්සේ හා නැදිමාලේ විහාරවාසී පැළිලියානේ සොභානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් සංග්‍රහ කර සකස් කරන ලද ගැඹුරු සන්න ග්‍රන්ථයකි. මෙහි ශෝධන කටයුතු සිදු කර ඇත්තේ අත්තිඩියේ මාලිගාවත්තේ විහාරාධිපති වැලිතොට සද්ධාරතන මහාස්ථවිරයන් වහන්සේ විසිනි.

මෙම ග්‍රන්ථය බුද්ධ වර්ෂ 2473 (ක්‍රි.ව. 1931) දී ජී. ඇෆ්. මුණසිංහ අප්පුහාමි විසින් කොළඹ සමයවර්ධන යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත. දීර්ඝ විඥාපනයක් මගින් අභිධර්ම පිටකයේ ඉතිහාසය, අභිධර්ම දේශනාව ලක්දිවට වැඩමවීම සහ බුරුම රටෙන් යළි සංක්‍රමණය වීම පිළිබඳ සවිස්තර තොරතුරු රැසක් සපයයි.

අභිධර්මාර්ථ සංග්‍රහයේ පරිච්ඡේද 9 ම මෙහි විස්තරාත්මකව ඇතුළත් වේ:

  • (1) වෙනි පරිච්ඡේදය (චිත්ත)
  • (2) වෙනි පරිච්ඡේදය (චෛතසික)
  • (3) වෙනි පරිච්ඡේදය (ප්‍රකීර්‍ණක)
  • (4) වෙනි පරිච්ඡේදය (වීථි)
  • (5) වෙනි පරිච්ඡේදය (වීථිමුක්ත)
  • (6) වෙනි පරිච්ඡේදය (රූප)
  • (7) වෙනි පරිච්ඡේදය (සමුච්චය)
  • (8) වෙනි පරිච්ඡේදය (පච්චය)
  • (9) වෙනි පරිච්ඡේදය (කම්මට්ඨාන)

විඥාපනය.

නමොබුද්ධාය.

ශ්‍රී සද්ධර්මරාජෝත්තම අප තථාගත බුදුරජාණන්වහන්සේ පැරුම් බිමෙහි මීට සාරාසංඛ්‍යකල්පලක්‍ෂයකින් මතු ලොවැ නිදුකය පහළවූ දීපඞ්කර නම් බුදුන් දවසැ වෙදත්‍රයෙහි පාරප්‍රාප්තවූ සුමෙධ නම් මහපඬි වැ සත්මුතුපරපුරෙන් ආ සියලු ධනය දන් දී හිමව් පියසට වැද තවුස් වෙස් ගෙණැ පඤ්චාභිඥා-අෂ්ටසමාපත්ති ලාභීව අහසින් වඩිනුයේ දීපඞ්කර බුදුන් රම්‍යගම් නුවරට වඩනා බැවින් මහජනයා රැස් වැ ඒ සඳහා මග සරසන බැව් දැකැ අහසින් බැසැ බිම්පෙදෙසක් ඉල්වා මඩවගුරු සහිත පෙදෙසක් ලැබැ මග සකස් කරණුයේ ඒ නොනිමිතාක් මහරහතුන් පිරිවරණ ලද බුදුන් වඩනා බව දැකැ මඩ මත්තෙහි සමකඩ අතුරා සිය සිරුර හෙයක් කොටැ වතුරුවා හුන්නේ සමිඳුයන් වහන්සේ අනාගතාංශඥානයෙන් බලා වදාරා බුද්ධාංකුරයෙක් බව දැකැ “මේ මහතා “තොප අනාගතයෙහි ගෞතම නමින් බුදු වන්නේය”යි යනාදීන් නියත විවරණ ශ්‍රී දෙවා වදාරා දෑ සමන් අටමිටකින් පිදූ සේක. තදනන්තර වැ මහරහතුන් ප්‍රමුඛවූ දෙවි බඹුන් විසින් පුදන ලද්දාවූ බුදුන් වෙතැ පැවිදිවැ අතට පත් නිවන් සැපත් හැර අනාථ සත්වප්‍රජාව කෙරෙහි පතල මහකරුණාඇත්තීන් මෙහෙයන ලද්දාවූ සියලු බුදුකුරු දම් පිරික්සා සොයා සසරසයුරට වැද එතැන් පටන් ලෝ පහළවූ කොණ්ඩඤ්ඤ 2. නම් බුදුන් සමයෙහි විජිතාවී නම් සක්විතිරජවැද, සුමඞ්ගල 3. බුදුන් කලැ සුරුචි බ්‍රාහ්මණවැද, සුමන 4. බුදුන් කලැ අතුල නාරද වැද, රෙවත 5. බුදුන් කලැ අතිදෙව බමුණුවැද, සොභිත 6. බුදුන් කලැ අජිත බමුණුවැද, අනවමදර්ශී 7. බුදුන් කලැ යක් සෙනෙවි රද වැද, පදුම 8. බුදුන් කලැ අභිඥාලාභී තවුසෙක් වැද, නාරද 9 බුදුන් කලැ ජටිල තවුස් වැද, පියුමතුරා 10 බුදුන් කලැ ජටිල මහරසි වැද, සුමෙධ 11. බුදුන් කලැ උත්තර මාණව වැද, සුජාත 12. බුදුන් කලැ සක්විතිරජ වැද, පියදස්සී 13. බුදුන් කලැ කස්සපබමුණු වැද, අත්ථදස්සී 14 බුදුන් කලැ සුසීම තවුස් වැද, ධම්මදස්සී 15 බුදුන් කලැ සක්දෙව්රජවැද, සිද්ධත්ථ 16 බුදුන් කලැ මංගල තාපස වැද, තිස්ස 17 බුදුන් කලැ සුජාත රාජර්ෂිවැද, ඵුස්ස 18. බුදුන් කලැ විජිතාවිරජ වැද, විපස්සී 19 බුදුන් කලැ අතුල නාරද වැද, සිඛී 20. බුදුන් කලැ අරිඤ්චම රජ වැද, වෙස්සභූ 21 බුදුන් කලැ සුදස්සනරද වැද, කකුසඳ 22. බුදුන් කලැ ඛෙමරජ වැද, කොණාගමන 23. බුදුන් කලැ පර්වත රජ වැද, කස්සප බුදුන් 24 කලැ ජොතිපාල මාණව වැද, ඉපිද ඒ සෙවිසි බුදුවරයන් විෂයෙහිද මහදන් පැවැත්වීම් ආදියෙන් ප්‍රමාණාතික්‍රාන්ත පින්කම් කොටැ “තොප අනාගතයෙහි ගෞතම නමින් බුදු වන්නේය”යි යනාදියෙන් මෙසේ සූවිසි නියත විවරණ ශ්‍රී ලැබැ ගණනපථාතික්‍රාන්තජාතිකෝටි සහශ්‍රයෙහි පුරණලද සමතිස් පැරුම් මුදුන් පමුණුවා පඤ්චමහාපරිත්‍යාගයෙන් මේ මහපොළොව සතරවසඟුරුවශයෙන් කම්පා කරවා වෙසතුරු අත් බැවින් චුතවැ තුසී පුරයෙහි ඉපිද දසදහසක් සක්වළැ දෙවිබඹුන් විසින් බුදුබව පිණිස සමාරාධිත වූයේ පස්මහ බැලුම් බලා දෙව් ලොවින් සැවැ කිඹුල්වත් පුර සුදොවුන් මහ රජහු නිසා මහාමායදේවීන් කුසැ පිළිසිඳ ගෙණැ දස එකඩමසක්හුගේ ඇවැමෙන් මව් කුසින් බිහිවැ අනුක්‍රමයෙන් වැඩි සොළොස් වියැ පැමිණැ සතළිස් දහසක් දෙවඟනන් වැනි වරඟනන් පිරිවර කොටැ ඇති යශොධරා දේවීන් හා සරණ බන්ධනයට පැමිණැ රජසිරි අනුභව කරණුයේ උද්‍යානක්‍රීඩාමනසම්ප්‍රාප්තවෙමින් තුන් පෙර නිමිති දැකැ සංසාර සංවේග ඇත්තේ පෙරළා අවුත් පැවිදි රුව දැකැ පැවිද්ද මැක්වැ යන සිත උපදවා උයනට ගොස් එහි දහවල් දවස ගත කොටැ මඟුල් පොකුණු ඉවරෙහි හුන්නේ මඟුල් කපුවෙස් ගෙණැ ආ විශ්වකර්ම දෙව් පියන් විසින් සරසන ලද්දේ රහුල් කුමරු උපන් පසුත් අසා පුත් සෙනෙහෙ බලවත් බව දැකැ මෙය වැඩෙන්ට මත්තෙන් සිඳිමහයි සිතා සවස් නුවරට එනුයේ කිසාගොතමී විසින් අස්වන ලද නිබ්බුතපදය ඇත්තේ ලක්‍ෂයක් අගනා මුත්හර ගෙලෙන් ගළවා, ඇයට සතුටු පඬුරු කොටැ යවා තමාගේ භවනයට වැද සිරියහන් මතැ වැද හොත්තේ මැදුම් රැයැ නිදි ගත් නළඟනන්ගේ විකාර දැකැ කළකිරුණු සිත් ඇත්තේ ඡන්න නම් ඇමතියන් බණවා කන්ථක නම් අසු එළවා ඒ අසු පිට නැගී ඡන්නයන් සහාය කොටැ ගෙණැ දඬුවැට පහන් ගත් දසදහස් ලෝදවැසි දෙවියන් පිරිවරා දෙවියන් විසින්ම හරණලද මහදොරින් මහභිනික්මන් කොටැ අනොමා නම් ගඟින් එතරවැ මඟුල්කඩුවෙන් හිසකේ වැටිය කපා අහසට දමා ගත්පළන් වස්ත්‍රාභරණ පොදියක් කොටැ අසුත් සමඟ යන්නට පාවාදී නුවරට යවා මහබඹු විසින් පිළිගන්වන ලද අටපිරිකර පිළිගෙණැ පැවිදි වැ අනුක්‍රමයෙන් රජගහනුවරට වැඩැ පිඬු සිඟා පාණ්ඩව පර්වතච්ඡායාවෙහි වැඩහුන්නේ බිම්සර මහ රජු විසින් රාජ්‍යයෙන් නිමන්ත්‍රණය කරණු ලබනුයේ ඒ පිළිකෙව් කොටැ බුදු වැ පළමුවැ ඔහුගේ විජිතයට වඩනා පිණිස දෙන ලද ප්‍රතිඥා ඇතිවැ සාවුරුද්දක් මහා ප්‍රධාන වීර්‍ය්‍ය කොටැ වෙසක් මස පුණුපොහෝ දවස්හි උදාසනම සුජාතා නම් සිටු දුවණියන් විසින් පිළිගන්වන ලද ක්‍ෂීරපායාසය වළඳා නෙරඤ්ජරා ගඟෙහි උඩුගං බලා රන්තලිය යවා එම ගංතෙර මහවන ලැහැබෙහි දවල් දවස ගෙවා සවස් පසැ සොත්ථිය නම් බමුණු විසින් පිළිගන්වන ලද කුසතණ පිළිගෙණැ බෝමැඩට වැඩැ එය අතුටැ පැනනැංගාවූ තුදුස්රියන් විදුරසුන් අරා චතුරංගවීර්‍ය්‍යාධිෂ්ඨානයෙන් පලඟ බැඳැ වැඩහිඳැ හිරු ගලන්නට යන්ට මත්තෙන් මරසෙන් පිරිවැරූ දෙවපුත්‍ර මාරබල විද්ධවංසනය කොටැ පෙරයමැ පුබ්බේනිවාසානුස්සති ඥානයද, මැදුම් යමැ ච්‍යුතූපපාතඥානයද, ලැබැ පශ්චිමයාමාවසානයෙහි දශබලචතුර්වෛශාරද්‍යාදි සකල බුද්ධ ගුණ ප්‍රතිමණ්ඩිත සර්වඥතාඥානය පිළිවිදීමෙන්ම අභිධර්මමනඃසයුරට බැස ගත් සේක.

තදනන්තරවැ ඒ පලඟින් නොනැගී එකනින් මා විසින් මේ පලඟැ හිඳැ සසරින් ගෙවා දතිමි. එයින් කෘතඥ විය යුතුයි සිතා වදාරා සමවත් සමවදිමින් සතියක් එහිම වැඩ සිටිසේක.

තදනන්තර වැ “අදත් සිඳුහත් කුමරුන්ගේ කිස එකැතින් නොනිමියේ-පලඟෙහි ආලය මෙතෙක් නොහළේ වනැයි” දෙවතාවන්ට උපන් විතර්කය දැන වදාරා ඔවුන්ගේ කාංක්‍ෂා විනොදනය පිණිස අහසට නැඟී යමාමහ පෙළහර දක්වා එයින් බැහැර අනිමිසලෝචනයෙන් බෝදුමුදුන් දෙස බලා සතියක් වැඩ සිටි සේක.

නැවත පලඟට හා සිටි තැනටද අතරැ රුවන් සක්මනක් මවා එහි සතියක් සක්මන් කළසේක.

සිව්වන සතියෙහි වයඹ දිගැ දෙව නිර්මිත රුවන්ගෙයි වැඩහිඳැ ධර්මසම්මර්ශනය කළ සේක.

එහි වැඩහිඳැ විදර්ශනා වීථියට බස්වා සියලු ධර්මයන් විදර්ශනාරෝපණය කරණ සේක් යම් කලෙකැ මහාප්‍රකරණයට බැහැරැ සූවිසි ප්‍රත්‍යයයෙන් සමන්විතවූ අනන්තනය සමන්ත පට්ඨාන මහාප්‍රකරණය සම්මර්ශනය කරත් කරත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවර්ණක්ඝන බුදුරැස් නික්මෙන්නට වන.

එහෙත් යටින් පස්පොළොව ජලපොළොව වා පොළොව විනිවිදැ අජටාකාශය දක්වා වන්හ. උඩින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් පැනී ගොස් අජටාකාශයට වන්හ. වටින් අනන්තාපරිමාණ ලෝකධාතුන් දැයි මෙසේ දසදිගුන් එකළු කොටැ බැබලුහ.

මේ බුදුරැස්යන්ගේ පැතිරීමට කාරණා කවර යත්? සූක්‍ෂ්ම නිපුණ වූ අභිධර්මපිටකය සම්මර්ශනය කරණ සමිඳුයන් වහන්සේගේ සොම්නස්ස සහගත ඤාණය කරණ කොට ගෙණ හෘදය වස්තු ලෝහිතය ප්‍රසන්නවිය. ප්‍රණීත චිත්තජ රූපයන්ගේ පැතිරීමෙන් ඡවිවර්ණය ප්‍රසන්නවූයේය. ඒ හේතුවෙන් චිත්තපච්චය උතුසමුට්ඨාන ඌර්ණායතනය හාත්පසින් දසඅසියන්පමණ පෙදෙස් නියලවැ සිටියේය.

තථාගතයන් වහන්සේ බුදුවැ සත්වෙනි වසැ තීර්ථකමථනය පිණිස ගණ්ඩබ්බනම් අඹරුකමුල යමා මහ පෙළහර පා තුන්පියවරින් තව්තිසා වැඩැ සක් දෙව් රජහුගේ පණ්ඩුඇඹුල් සලස්නෙහි වැඩ හිඳැ දසදහසක් සක්වළින් රැස්වූ දෙව් බඹුන් මැදැ මාතෘදිව්‍යරාජයා ප්‍රමුඛ කොටැ තෙමසක් මුළුල්ලේ අභිදම් දෙසූසේක.

ධර්මදේශනා කරණ භාග්‍යවත් තෙමේ උතුරු කුරුදිවයිනට වැඩැ පිඬු සිඟා අනවතප්ත විල සමීපයෙහි වළඳා මිනිස් ලොව දිවා විහාරය පිණිස සඳුන් වනට වඩන්නේය. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ එහි වැඩැ තථාගතයන් වහන්සේට වත් සපයා වැඩ සිටි කල්හි ශාරීපුත්‍රය! අද මා විසින් මෙපමණ ධර්මයක් දෙවියන්ට දේශිතයයි වදාරා තව්තිසා භවනයට වඩන්නේය.

සැරියුත් මහතෙරුන් වහන්සේ උගත් උගත් ධර්මය තමන් වහන්සේගේ අනේවාසික පන්සියයක් භික්‍ෂූන්ට දේශනා කළ සේක.

මෙසේ අභිධර්මය සැරියුත් මහ තෙරුන් වහන්සේගේ පටන් ශිෂ්‍යානු ශිෂ්‍ය ස්ථවිර පරම්පරාවෙන් වාවොදානතමව උපාලිය දාසකය සොණකය සිග්ගවය මොග්ගලීපුත්තතිස්සය යනාදී මහරහත් පරපුර දක්වා ත්‍රිවිධ ශාසනාධාරව සුපරිසුද්ධවැ දඹදිවැ පැවැත්තේය.

තවද බුදුන් පිරිනිවී දෙසියතීස් වන වසැ ලක්දිවැ රජ පැමිණි දෙවන පෑතිස් මහරජු දවසැ සියලක්දිව බුදු සසුන් පිහිටුවා වදාළ දම්සෝ මහරජාණන්ගේ පුත් මහමිහිඳු මහරහතන් වහන්සේගේ පටන් ඉට්ඨිය මහාස්ථවිරාදී *ථෙර පරපුරෙන් මුඛපාලි වශයෙන් ලක්දිවැ පැවත ආ ත්‍රිපිටක ධර්මය සිරිලංකා රජ පැමිණි වලගම් අබා මහරජු දවසැ එක්තරා ජනපදපතියෙකුගේ ආරක්‍ෂාවෙන් පන් සියයක් මහරහතුන් වහන්සේ මාතුල දනවෙහි අලුලෙනැ වැඩහිඳැ සංගායනා කොටැ පුස්තකාරූඪ කරවූහ.

ලක්දිවැ මහාමහින්ද ස්ථවිරයන් වහන්සේ ආදී මහරහතුන් විසින් ප්‍රතිෂ්ඨාපිත මහා විහාරාධ්‍යාගත ලංකාද්වීපදක්‍ෂිණ ජම්බුද්වීපවාසී මහාස්ථවිර පරම්පරාව විසින් මෙසේ නොයෙක් අභිධර්ම අටුවා ටීකානුටීකා ප්‍රකරණ ග්‍රන්ථපද අර්ථ ව්‍යාඛ්‍යානාදිය උපදවා මේ අභිධර්මපිටකය ගෙණෙන ලද්දැයි දතයුතු.

මෙසේ ලක්දිවැ ඇදුරු පරපුරෙන් පැවත ආ වාචනාමාර්ග සහිත අභිධර්මපිටකය ඇතුළු පර්‍ය්‍යාප්ති - ප්‍රතිපත්ති ශාසනය ලක්දිවින් දඹදිවට නැවත සංක්‍රමණය කළ පරිදි සැකෙවින් මතු දක්වමි:-

බුරුමරට අරිමද්දන නුවර උත්තරජීව මහාතෙරුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් හා ඡපද සාමණේරයන්ද කැටුව චෛත්‍යය වඳිනු පිණිස ලක්දිව් බැසැ වන්දනාදී කිස නිමවා සියරට වඩිනු වස් ජයවර්ධනපුර ශ්‍රී සංඝබෝධි විජයබාහු පරිවේණාධිපති ෂඩ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේට අතවැසි ඡප්පද තෙරණුන් භාරකොටැ බුරුමරට වැඩි සේක.

ඉක්බිති ඡප්පද සාමණේරයන් වහන්සේ විජයබා පිරිවෙන්හි වැසැ ත්‍රිපිටකධර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වෙතින් අටුවා ටීකා සහිත පිටකත්‍රය හා සියලු ථෙරවාදයන් මොනවට ඉගෙනැ තත්කාල ශාසනානුශාසක ත්‍රිපිටකධර විදුගම ධම්මදින්න මහාස්ථවිරයන් වහන්සේ ද ඇසුරු කොටැ ව්‍යාකරණ බහුශ්‍රැත වූයේ කල්‍යාණි නදී උදකුක්‍ඛෙපසීමාවෙහි උපසම්පදාව ලැබැ දසවස් පිරුණෙහි ථෙරසම්මුතියෙන් “සද්ධම්මජොතිපාල” යන උපාධිය ලැබැ “සංඛෙපවණ්ණනා” නම් අභිධර්මසංග්‍රහ ටීකාව රචනා කොටැ දුන් කර්තෘත්වයට පැමිණ අරිමද්දන නගරයට පෙරළා යනු කැමැතිව තාම්බලිත්තනගරයෙහි ඉපිද ලක්දිවැ මහා විහාරයෙහි වැඩුනු සීවලී තෙරුන්‍ය, කාඤ්චිපුරික ආනන්ද තෙරුන්‍ය, සීහලික රාහුල තෙරුන්‍ය යන මේ ත්‍රිපිටකධර සිව් මහතෙරුන් සමග නැව් නැගී ක්‍රමයෙන් අරිමද්දන නුවරට සම්ප්‍රාප්ත වූවෝය.

මෙසේ ඡප්පදාචාර්‍ය්‍යාදී ත්‍රිපිටකධර මහතෙරුන් පස්දෙනා වහන්සේ විසින් ලක්දිවැ පැවති මහින්දවංශාගත ත්‍රිපිටක වාචනාමාර්ගය හා පාල්‍යට්ඨකථා - ටීකානුටීකා - ප්‍රකරණාදිය දඹදිවට ගෙණගිය නියා දතයුතු.

තවද බුද්ධවර්ෂ දෙදහස් එක්සිය පන්තිස් වැන්නෙන් යට පිතෘඝාතක සීතාවක රාජසිංහ රජුගේ ශාසන විලෝපයෙන් ලක්දිවැ දුලබ වූ අභිධර්මය සුලබ කරණු පිණිස ඇම්. ධර්මරත්න පණ්ඩිතානෝ බුරුම රට ගොස් අටුවා - ටීකා සහිත අභිධර්මපිටකය ඇදුරු පරපුරෙන් මොනවට ඉගෙනැ ව්‍යාකෘත බහුශ්‍රැත වූයේ “බුද්ධශාසන මහාසූරසෙනාපති” යන රාජදත්තෝපාධිධාරීව ලක්දිව් බැසැ බොහෝ ගිහි පැවිදි ශිෂ්‍යවරයන් ඇතිකරමින් පරමාර්ථ ධර්මයාගේ සංවර්ධනය කරණුවෝ “මුඛමහාපාඨය” මෙම අභිධර්මාර්ථසංග්‍රහභාවාන්වය ව්‍යාඛ්‍යාව හෙළදිව්බසට පෙරළා අධ්‍යාපනය කරවමින් විශුද්ධි මාර්ග සන්නය, පරමාර්ථසුධානියි, බුද්ධගම, ප්‍රතීත්‍ය සමුත්පාද විභාගය, සන්තති ප්‍රතීත්‍යසමුත්පාද විනිශ්චය ප්‍රතිසන්ධිදීපනිය, අභිධර්මාර්ථසංග්‍රහප්‍රශංසාක්ෂරය, දූතපරිච්ඡේදය, සීලපරිච්ඡේදය, භාවනාපරිච්ඡේදය ආදී ග්‍රන්ථ නිර්මාණයෙන් හා ශෝධනයෙන් ද බොහෝ ශාසන සංග්‍රහ කළෝ.

අබිදම් සයුරෙන් එතර වන්නවුන්ට කුඩා සවිසි නැවක් වැනි අනුරුද්ධ මහා ස්ථවිර ප්‍රණීත අභිධර්මාර්ථසංග්‍රහයෙහි පරිවාර ග්‍රන්ථ රත්නයක් වූ මෙය වනාහි භාවාන්වය ව්‍යාඛ්‍යානශීර්ෂයෙන් සම්පාදිත වුවත් සංක්‍ෂිප්ත පද්‍යව්‍යාඛ්‍යානයකින් හා යථා ප්‍රකරණාගත පාල්‍යට්ඨකථා ටීකා නයින් සමුපලක්‍ෂිත බැවින් මෙය පරීශීලනයෙහි නියැලියන්ට සාකල්‍යයෙන් ම අවිකලවූ චතුරතර පරමාර්ථධර්මඥානාලෝකය උපදවීමෙහි ප්‍රදීපායමාන වෙයි. ශතවර්ෂයක පමණෙන් පැරණි වූ මේ ග්‍රන්ථරත්නය කවර කලෙක කිනම් ආචාර්ය්‍යවරයෙක් විසින් ග්‍රන්ථ කරණ ලදදැයි අවිනිශ්චිත යි. එහෙත් ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් දෙසිය හැටකින් මෙබඩ යටකී තෙවළා දත් ගත්කරු මහතෙරුන් මෙන්ම සවසමයසමයාන්තරයන්හි විශාරද බුද්ධිමත් සම්භාව්‍යතර පණ්ඩිතවරයෙක් බැව් ග්‍රන්ථ විෂයෙහි නිර්දිෂ්ට ගම්භීරාර්ථයන්ගෙන් හා උපමානොදාහරණාදියෙන් මොනවට හැඟේ. පණ්ඩිතාචාර්‍ය්‍ය ඇම්. ධර්මරත්න ලක්මිණිපහන් කතු තුමාණන්ගේ අධ්‍යාපනාවසරයෙහි දී ලිඛිත පිටපත් කීපයක් ස්වල්ප දෙනෙක් අතරැ ගුප්තව තිබීමෙන් මහජනයාගේ ධර්මාවබෝධයට බාධා බැවින් මෙය මුද්‍රණයෙන් ප්‍රකට කරනු සඳහා සංශෝධනය කළ මැනවැයි බොහෝ ගිහි පැවිදි භවතුන් විසින් සමාරාධිත වූ අපි විරුද්ධ ලේඛකාදීන් දූෂ්‍ය දෝෂාපහරණයෙන් හුදු ශාසනාලය පෙරදැරිව සංශෝධනය කෙළෙමු.

පරිච්ඡේද නවයකින් පරිමිත වූ මෙහි 1-වැන්නෙන් චිත්තොත්පාද ක්‍රමය ද, 2-චෛතසිකොත්පාද ක්‍රමයද, 3-චිත්ත චෛතසිකයන්ගේ ම වේදනාදී භෙදභින්නවූ මිශ්‍රක ක්‍රමය ද, 4-පස්දොර හා මනොදොර පැවති චිත්තවීථික්‍රමය ද; 5-භූමි-ප්‍රතිසන්ධි-කර්ම-මරණ යන සිව් වැදෑරුම් විභාගය ද, 6-රූපය හා නිර්වාණයාගේ විභාගය ද, 7-චිත්ත-චෛතසික-නිප්පන්න රූප-නිර්වාණ වශයෙන් දෙසැත්තෑවක් ප්‍රභෙද වූ ස්වභාවධර්මයන්ගේ අකුශල-මිශ්‍රක-බෝධිපාක්‍ෂික-සර්වසංග්‍රහ යන සිව් පරිද්දකින් බෙදීම ද, 8-ප්‍රත්‍යය-ප්‍රත්‍යයොත්පන්න නාමරූප ධර්මයන්ගේ ප්‍රතීත්‍ය සමුත්පාද න්‍යාය-පට්ඨානන්‍යාය වශයෙන් ප්‍රත්‍යයාකාරය දැක්වීම ද, 9-සමථවිදර්ශනාකම්මට්ඨාන භාවනාවන්ගේ විභජනය ද, ප්‍රකාශ වේ.

තවද මෙම ව්‍යාඛ්‍යානය සම්බන්ධයෙන් ආශ්‍රිතවූ ග්‍රන්ථයෝ නම්:- 1. ධර්මසංගණී ප්‍රකරණය, 2-විභංග ප්‍රකරණය, 3-පුද්ගලප්‍රඥප්තිප්‍රකරණය, 4-කථාවත්ථුප්‍රකරණය, 5-යමකප්‍රකරණය, 6-පට්ඨානප්‍රකරණය, 7-අභිධර්මාවතාරය, 8-රූපාරූපවිභාගය, 9-දීඝනිකාය, 10-ප්‍රතිසම්භිදාව, 11-නිද්දෙසය, 12-අට්ඨසාලිනිය, 13-සච්චසංඛෙපය, 14-නාමරූපපරිච්ඡෙදය, 15-සංඛෙපවණ්ණනාව, 16-මූලටීකාව, 17-මණිසාරමඤ්ජුසාව, 18-අභිධර්මාවතාරටීකාව, 19-අභිධර්මානුටීකාව, 20-පට්ඨානප්‍රකරණටීකාව, 21-විශුද්ධිමග්ගටීකාව, 22-පරමත්ථවිනිච්ඡය, 23-ධාතුකථාප්‍රකරණටීකාව, 24-සමන්තපාසාදිකාව යනාදීහු වෙත්.

ලිහිල් බසින් රචිතවූ මෙය සම්පූර්‍ණයෙන්ම සාමාන්‍යයෙන් පරමාර්ථ ධර්මාභිලාෂී සකල බෞද්ධ මහජනයාට සමය විෂයෙහි පවත්නා තත්ත්වඥානාභිවෘද්ධිය පිණිසද, විශේෂයෙන් ධර්මකථිකයන්වහන්සේලාට සතරපරමාර්ථ ධර්මයෙහි මනාපටුත්‍වයක් ඇතිකර ගැණීමට හා යථාප්‍රකරණය පිළිබඳ ප්‍රාමාණික දැනීමකටත් ආභිධර්මික සමමුතියට බැසගැනීමටත් අතිශයෝපකාර බැව් අතිශයෝක්තියක් නොවේ.

මේ සද්ව්‍යාපාරයෙහි ලා බෙල්ලන්විල ශ්‍රී මහාබෝධි සමීප විහාරාධිපතිව වැඩවිසූ ශ්‍රී කල්‍යාණීසාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙහි ගණවාචාර්‍ය්‍ය අග්ගමහාචාර්ය ගෞරවණීය උඩුගම්පල ධම්මක්ඛන්ධාභිධාන මාහිමියන් වහන්සේද, රත්මලානේ පරමධම්මචේතිය පරිවෙණාධිපතිව වැඩවිසූ ආචාර්ය්‍ය ගෞරවණීය වලානේ ශ්‍රී ධම්මානන්දාභිධාන නායක මාහිමියන් වහන්සේද බුද්ධශාසන මහාසූර සේනාපති ආභිධර්මිකාචාර්ය්‍ය පණ්ඩිත ශිරෝමණී ඇම්. ධර්මරත්න ලක්මිණි පහන් කතු තුමානන්ද, පුණ්‍යානුමෝදනා පූර්වකව අනුස්මරණය කෙරෙමින් කෘතඥ වෙමු.

අපගේ මේ කෘතිය සම්බන්ධයෙන් නැදිමාලේ විහාරාධිපති ගරු නාවල සෝමානන්ද මහාස්ථවිරයන් වහන්සේගෙන් තදධීන කෘත්‍යසම්පාදන-සංවිධානාදී බොහෝ ආධාර ලැබුනු බවත් කෘතඥතා පූර්වකවැ සිහිපත් කරමු.

කාලාන්තරයක් නිසාවූ මස්තුර පටලෙන් වැසී තුබූ ඒ මේ ග්‍රන්ථය පරමාර්ථ ධර්මාභිලාෂී ගිහි පැවිදි සියල්ලන්ගේ විචාරාධ්‍යාශය කෙරෙමින් නොමසුරුවූ භාවිතයට භාජනව ලෝසසුන් චිරකාලක් වැඩීමෙහි සමත් වේවා යනු අපගේ ඉෂ්ටාංශංසනයයි.

අස්මද්භුගේ මේ ශොධනය සම්පූර්ණ හෘදයයි අපි නොකියමු. කෘතීන් පිළිබඳ සම්පූර්ණ භාවය බුදුවරයන්ටම ආවේණික වූවකි සියලු පුහුදුන් වරදින සුල්ලන් බැව් තත්වඥයන්ගේ නිගමනයයි. ඉදින් මෙහි අපගේ ප්‍රමාදයෙන් ජනිත අශුද්ධස්ථානයක් දුටහොත් ලෝසසුන් වැඩ කැමති සුධීහු සමාධිව අප වෙත දන්වත්වා. එය මතු මුද්‍රණ වාරයේදී ඇතුලත් කරන්නෙමු.

වැලිතොට සද්ධාරතන ස්ථවිර. W. Saddharatana.

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස්සාරසිය තෙසැත්තෑ වැන්නෙහි දුරුතුමස පුරපසළොස්වක් ලත් සඳුදින අත්තිඩියේ මාලිගාවත්තේ විහාරස්ථානයේදීය.

වැලිතොට සද්ධාරතන ස්ථවිර. W. Saddharatana.
ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස්සාරසිය තෙසැත්තෑ වැන්නෙහි දුරුතුමස පුරපසළොස්වක් ලත් සඳුදින අත්තිඩියේ මාලිගාවත්තේ විහාරස්ථානයේදීය.