අභිධර්මය චතුර්ථ භාගය - දෙවිනුවර ඤාණාවාස හිමි 1951.pdf
- කතෘ :
- දෙවිනුවර ඤාණාවාස හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1951
- මුද්රිත වර්ෂය :
- 1951
- පිටු ගණන :
- 188
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 90 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්මය (චතුර්ථ භාගය) යනු කොළඹ තරුණ බෞද්ධ සමිතියේ දහම් පාසල් 7 වැනි ශ්රේණියේ විභාගය සඳහා දෙවිනුවර ඤාණාවාස ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අභිධර්ම පෙළපොතකි. අභිධර්මාර්ථ සංග්රහය ඇසුරෙන් සම්පාදිත මෙම කෘති පෙළෙහි අවසාන භාගය මෙය වන අතර, මුළු අභිධර්ම පිටකයේම සාරාංශය කැටිකොට දක්වා ඇත.
මෙහි අභිධර්මාර්ථ සංග්රහයේ අවසාන පරිච්ඡේද තුන වන සමුච්චය, ප්රත්යය සහ කර්මස්ථාන කාණ්ඩ ඇතුළත් වේ. මූලික වශයෙන් අකුසල, මිශ්රක, බෝධිපාක්ෂික හා සර්ව සංග්රහයන් ද, පට්ඨාන ප්රත්යය විභාගය සහ සමථ-විපස්සනා භාවනා කර්මස්ථාන පිළිබඳ විස්තර ද මෙහි විස්තරාත්මකව හා ශිෂ්යයන්ට පහසුවෙන් අවබෝධ වන පරිදි සකසා ඇත.
මෙම කෘතිය 1951 දී (බු.ව. 2494) කොළඹ තරුණ බෞද්ධ සමිතිය මඟින් ප්රකාශයට පත් කරන ලද අතර, සීමාසහිත පෙරමුණ යන්ත්රාලයේ මුද්රණය කර ඇත.
සංඥාපනය.
මෙහි වනාහි අප විසින් සම්පාදිත “අභිධර්මය” නමැති පොත් පෙළේ චතුර්ථ භාගයයි. මෙයින් ඒ පොත් පෙළ අවසාන වෙයි. මේ චතුර්ථ භාගය බෞද්ධ ධර්ම පාඨශාලාවන්හි සත්වැනි පන්තිය සඳහාය. අභිධර්මාර්ථ සංග්රහයෙහි එන සමුච්චය - ප්රත්යය - කර්මස්ථාන යන කාණ්ඩ තුන මෙහි ඇතුළත්ය.
එයිනුත් ප්රත්යය කාණ්ඩයෙහි පට්ඨානප්රත්යය විභාගය ඉතා ගැඹුරුය. පට්ඨාන වනාහි තිකපට්ඨානය දුකපට්ඨානය දුකතිකපට්ඨානය තිකදුකපට්ඨානය තිකතිකපට්ඨානය දුකදුකපට්ඨානයයි මෙසේ අනුලෝමයෙහි සයක්ද පච්චනීයයෙහි සයක් ද අනුලෝමපච්චනීයයෙහි සයක් ද පච්චනීයානුලෝමයෙහි සයක්දැයි මෙසේ සියල්ල සූවිස්සෙක් වේ. මේ සූවිසිපට්ඨානයන් එක්රැස් කොට දෙසූ ග්රන්ථය පට්ඨානමහා ප්රකරණයයි. තිකපට්ඨානාදි එක් එක් පට්ඨානයක් හේතු ආරම්මණාදි සූවිසිප්රත්යයන්ගේ වශයෙන් එහි සවිස්තරව වදාරන ලදී. එය ඉතා ගැඹුරු බැවිනුත් සවිස්තර බැවිනුත් එහි සර්ව සම්පූර්ණ විස්තරයක් මේ කුඩා පොතෙහි ඇතුළත් කළ නොහැකිය. මෙහි ඇතුළත් වූයේ මුල් පොතේ එන ක්රමය අනුව පවත්නා සුළු විස්තරයකි. එයට වඩා විස්තර කිරීම බෞද්ධ ශිෂ්යයන්ට බරක් විය හැකිය.
කොටස් සතරකින් පරිමිත වූ මේ පොත අභිධර්මාර්ථ සංග්රහය අනුගමනය කොට ලියන ලද බැවින් මුළු අභිධර්ම පිටකයේ සාරාංශය මෙහි නිසැකින්ම ඇතුළත් වූ බව සැලකිය යුතුයි..
මේ පොත් පෙළේ චිත්ත කාණ්ඩය ඇතුළත් ප්රථම භාගය දහම් පාසැල්හි 4 වැනි පන්තියට ද චෛතසික-ප්රකීර්ණක කාණ්ඩ ඇතුළත් ද්විතීය භාගය 5 වැනි පන්තියට ද වීථි-වීථිමුක්ත-රූප කාණ්ඩ ඇතුළත් තෘතීය භාගය 6 වැනි පන්තියට ද සමුච්චය-ප්රත්යය-කර්මස්ථාන කාණ්ඩ ඇතුළත් මේ චතුර්ථ භාගය 7 වැනි පන්තියට ද සුදුසු පරිදි පිළියෙල කරන ලදී.
මෙහි මුල් කාණ්ඩ පසෙහි ඇතුළත් වූයේ සතර පරමාර්ථයන් අතුරෙන් චිත්ත-චෛතසික පරමාර්ථ දෙකය. සවැනි කාණ්ඩයෙහි ඇතුළත් වූයේ රූප-නිර්වාණ පරමාර්ථ දෙකය. සත් වැනි කාණ්ඩයෙහි ඒ ධර්ම ම රාශි වශයෙන් බෙදා දක්වන ලදී. එකී කාණ්ඩ සත ප්රගුණ කිරීමෙන් නාමරූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ කළ හැකිය. අට වැනි කාණ්ඩයෙහි ඇතුළත් වන්නේ ඒ නාමරූපයන්ගේ ප්රත්යය විභාගයයි. එය ප්රගුණ කිරීමෙන් ප්රත්යය පරිග්රහඥානය සම්පූර්ණ කළ හැකිය. ඒ ඥානද්වය උපදවා ගත් කල්යාණ පෘථග්ජනයාහට නව වැනි කාණ්ඩයෙහි ඇතුළත් සමථ විදර්ශනා භාවනා වැඩුව හොත් ධ්යාන මාර්ග ඵල ලැබිය හැකිය.
තවද අපගේ ආචාර්ය්යොත්තම වූ මෙම මහා විසුද්ධාරාම ත්රිපිටක විද්යාලයයෙහි ආදිකර්තෘභූත ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය අරංගල සිරිධම්ම මහා ස්වාමිපාදයන් වහන්සේගේ ආචාර්ය්ය—ප්රාචාර්ය්ය පරම්පරානුගත වාචනාමාර්ග ක්රමය මේ පොත සකස් කිරීමේ දී අනුගමනය කළ බව මෙහි ලා විශේෂයෙන් මතක් කරමු.
මෙය සම්පාදනය කළේ කොළඹ තරුණ බෞද්ධ සමිතියේ බෞද්ධ ධර්ම විභාග පිළිබඳ ගරු ලේකම් තැන්පත් ඒ. ජයසිංහ මහත්මයා සහ අභිධම්මිකාචාර්ය්ය බී. ආර්. ඩයස් මහත්මයා ද ඇතුළු ඒ සමිතියේ මහතුන්ගේ සමාරාධනායෙනි.
මේ පොත් පෙළේ පාඩම් අගට ප්රශ්නමාලාව බැගින් යෙදුව මැනවැයි ද ඇතැම් ගුරු-ශිෂ්ය භවතුන් අප වෙත දැනුම් දී තිබේ. ඒ අදහසට සමිතිය ද එකඟ වුවහොත් පොත නැවත මුද්රණය කරවීමේ දී එය ද ඉටුකරන්ට බලාපොරොත්තු වෙමු.
මෙහි දී විද්යාවිශාරද පණ්ඩිත මිරිස්සේ ගුණසිරි ස්ථවිරයන්ගේ උපෂ්ටම්භය ලැබුණු බව කෘතඥතා පූර්වකව සඳහන් කරමු. එසේම මෙම විද්යාලයයෙහි බොහෝ වාර ගණනක් අභිධර්මය හදාරා ධර්මපරීක්ෂණයන්ගෙන් ද ගෞරව පන්තියේ සාමර්ත්ථ්යය ලබා බෞද්ධ ශිෂ්යයන්ට ධර්මය ඉගැන්වීමෙහි අත් දුටු පළපුරුද්ද ඇති අභිධම්මිකාචාර්ය්ය ඇන්. ආර්. සිරිසේන වෛද්යාචාර්ය්ය මහතාගේ සහායය බෙහෙවින් මෙයට ඉවහල් වූ බව ද සාදරයෙන් කිව යුතුයැ.
අපගේ සදාශයය සම්බුද්ධශාසනයාගේ අභිවෘද්ධිය පිණිසම හේතු වේවා.
නිබ්බානපච්චයො හොතු.
මෙසේට,
දෙවිනුවර ඤාණාවාස
(ථෙර)
බු: ව: 2494
——ජනවාරි 13
ක්රි: ව: 1951
කොළඹ, දෙමටගොඩ
මහා විසුද්ධාරාම ත්රිපිටක විද්යාලයේදීය.
කර්තෘ සන්දර්ශනය.
අනුරුද්ධෙන ථෙරෙන — පිටකත්තයධාරිනා, පිටකෙ අභිධම්මස්ස — සඞ්ගහෙත්වාන එකතො.
යො ගන්ථො රචිතො තෙන — අභිධම්මත්ථසඞ්ගහං, අනුගන්ත්වාන තං ගන්ථං — ආචෙරියානං මතං ච යං.
සිරිධම්මමහාථෙර — පාදස්ස ගරුණො මම, නිස්සාය වාචනාමග්ගං — සීහළාය නිරුත්තියා.
ඤාණාවාස සමඤ්ඤෙන — සද්ධම්මට්ඨිතිමිච්ඡතා, ගන්ථොයං “අභිධම්මො”ති — ථෙරෙන රචිතො මයා.
ඉමිනා මෙ තනු හොන්තු — කිලෙසා උපපීළකා, භවෙය්යං පඤ්ඤවං සද්ධො — යාව නිබ්බාන පත්තියා.
“චිරං පතිට්ඨාතු මුනින්දධම්මො සගාරවා හොන්තු නරා ච තස්මිං පවස්සතං සස්සහිතං ච දෙවො සුරක්ඛතං භූපති රට්ඨවාසිනො.”