අභිධර්‍ම පරීක්‍ෂණය - හේන්පිටගෙදර ඤාණසීහ හිමි 1961.pdf

කතෘ :
හේන්පිටගෙදර ඤාණසීහ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1961
මුද්‍රිත වර්ෂය :
1961
පිටු ගණන :
185
බාගත කිරීම් ගණන :
4
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
52 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 93

අභිධර්ම පරීක්ෂණය යනු පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම විමර්ශනාත්මක කෘතියකි. අභිධර්මය හැදෑරීමේදී හා ඉගැන්වීමේදී හමුවන පරස්පරවිරෝධී තැන් සහ ගැටලු සහගත කරුණු පිළිබඳව සාම්ප්‍රදායික ගතානුගතිකත්වයෙන් බැහැරව, විචාර බුද්ධියෙන් යුතුව සිදු කරන ලද පර්යේෂණාත්මක විග්‍රහයක් මෙමගින් ඉදිරිපත් කෙරේ.

මෙහි ප්‍රස්තාවනාව ලංකා විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න (ඩබ්. ඇස්. කරුණාරත්න) මහතා විසින් 1960 දී සපයා ඇති අතර, කතුවරයාගේ හැඳින්වීම ද 1960 අගෝස්තු මස රත්නපුර ශ්‍රී සුමන විද්‍යාලයේදී ලියා තිබේ. චිත්ත, චෛතසික ආදී අභිධර්ම විෂයයන් සූත්‍ර දේශනා සහ අටුවා මෙන්ම අභිධර්මාර්ථ සංග්‍රහය ආශ්‍රයෙන් තුලනාත්මකව විමසුමට ලක් කරමින් නිවහල් චින්තනයකින් යුතුව විවරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

බුද්ධ වර්ෂ 2504 (ක්‍රි.ව. 1961) දී ඇකිරියගල ආර්. ඇම්. සිරිවර්ධන මහතාගේ ප්‍රකාශනයක් ලෙස පළ කරන ලද මෙම ග්‍රන්ථය, රත්නපුර ශාස්ත්‍රෝදය මුද්‍රණාලයේදී මුද්‍රණය කරවා ඇත.

හැ ඳි න් වී ම

මා අභිධර්මය ඉගෙනගනිද්දී ද, ඉන්පසු අභිධර්මය උගන්වද්දී ද, මට හැඟීගිය පරස්පරවිරෝධී තැන් මහත් රාශියක් විය. ඒවා නිරවුල් කරගැනීම පිණිස මා ගත් උත්සාහය ඉතා මහත් ය. නමුත් අවාසනාවකට මෙන් ඒ පරස්පර විරෝධී තැන් අතරින් යම්කිසි බේරුමක් කරගත හැකි වූයේ ඉතා ම ස්වල්පයක් පමණකි.

ඉඩ ලැබුණු සෑම විටක ම මම අභිධර්මය පිළිබඳ හසල බුද්ධියක් ඇති පණ්ඩිතවරයන් සමග මේ කරුණු පිළිබඳව සාකච්ඡා කෙළෙමි. ඒ සාකච්ඡාවලින් ඇතැම්විට ප්‍රයෝජන ද අත්විය. නමුත් ඒ සාකච්ඡා අතරින් වැඩි ගණනක් අවසන් වූයේ කිසිම නිගමනයක් නො මැතිව ය. නිදසුනක් වශයෙන් එක් කරුණක් පමණක් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. “අකුසල විපාක සිත් අහේතුක වීම” පිළිබඳව මා අභිධර්මය ඉගෙනගනිද්දී ඇති වූ සැකය කොහොමවත් මට නිරාකරණය කරගත නො හැකි විය. මේ රටේ සිටි උසස් අභිධර්ම විශාරදයෙකු වූ ඩබ්ලිව්. ඩී. සී. වාගීශ්වර පණ්ඩිතතුමා සමග මට මේ ගැන සාකච්ඡා කළ හැකි විය. අන්තිමේ දී එතුමා මගෙන් ඇසුවේ, ඒ ගැන මගේ අදහස කුමක්ද? යන්න ය. “එය පුදුමයකට මෙන් මුලදී ම අතහැරී තිබේ නැතිනම් යම්කිසි හේතුවක් නිසා අතහැර දමා තිබේ.” යනු මගේ පිළිතුර විය. ඒ අදහස එතුමා ද ස්ථිර කළේ ය.

මේ පොත කියවූ ඇතැම් අය මට සිතින් දොස් නගනු ඇත. ඇතැම් අය පැසසනු ඇත. පසුගිය වෙසක් පුරපසළොස්වක් පොහෝය දා (1960 – 5 - 10) මට ගුවන් විදුලියෙන් ධර්‍ම දේශනාවක් ධර්ම දේශනාවක් පැවැත්වීමට ආරාධනයක් විය. මම ඒ ධර්‍මදේශනාව සඳහා ‘නිවන’ මාතෘකා කෙළෙමි. මේ පොතේ මා “නිවන” ගැන සාමාන්‍යයෙන් දක්වා ඇති විවරණය ඇසුරු කළ බණක් මම එදා ගුවන් විදුලියෙන් කීවෙමි. මගේ ඒ බණ ඇසූ නම් සඳහන් නො කර ලියුම් එවූ ඇතැම් පින්වත්හු මට තදින් දොස් කීහ. නම් සඳහන් කර ලියුම් එවූ ඇතැම් පින්වත්හු පැසසූහ.

මම එදා බණ අවසන් කිරීමට පළමු ‘මගේ මේ බණෙන් දැක්වෙන නිර්‍වාණ විවරණය වැරදි නම්, ඒ වැරැද්ද හා එය නිවැරැදි විය යුතු ක්‍රමය ත්, එසේම නිර්‍වාණය පිළිබඳ විවරණය ත්, ගුවන් විදුලි ධර්‍ම දේශනාවක් මඟින් ම ප්‍රකාශ කළහොත් මහත් සේවයක් සිදුවන බව ප්‍රකාශ කෙළෙමි. නමුත් මගේ ඒ ආරාධනය තව ම ඉටු නො වී ය.

මේ පොතෙහි දක්වා ඇති මගේ අදහස් ඒ ලෙස ම පිළිගන්නා ලෙස හෝ, ඒ අදහස් එහි නියම සත්‍ය නිගමනය යි හෝ, කිසිවිටකත් මම නො කියමි. මා කර ඇත්තේ විමසීමකි.

සම්පූර්ණ පොත එකවර නිකුත් නොකරන ලද්දේ මිල දී ගන්නන්ගේ පහසුව සලකාගෙන ය. කාණ්ඩ දෙකක් වශයෙන් පොත නිකුත් කිරීමෙන් මිල දී ගන්නවුන්ට පහසුවක් වේය යි මම අදහස් කෙළෙමි.

මගේ ඉල්ලීම පරිදි මේ පොතට ප්‍රස්තාවනාවක් සැපයූ ලංකා විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ කථිකාචාර්ය, ආචාර්‍ය්‍ය-ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න මහතාට මගේ හෘදයංගම කෘතඥතාව පළකරමි. අභිධර්මය පිළිබඳ නිවහල් මත දරන්නෙකු ලෙස මා පිළිගත් ආචාර්‍ය්‍ය කරුණාරත්න මහතා මේ පොතට ප්‍රස්තාවනාවක් සැපයීමට සිටින සුදුස්සා ලෙස මම අදහස් කෙළෙමි.

මේ පොත මුද්‍රණය කරන ලද්දේ මේ රටේ ප්‍රසිද්ධ ග්‍රන්ථකර්තෘවරයෙකු වූ ද, සම්භාවනීය පඬිවරයෙක් වූ ද, පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල මහාස්ථවිරපාදයන් වහන්සේගේ පොත-පත උදේ-සවස මුද්‍රණය වන ශාස්ත්‍රෝදය මුද්‍රණාලයෙහිය. ශාස්ත්‍රෝදය මුද්‍රණාලයෙහිය. මගේ ඉතා ම හිතවතෙකු වූ උන්වහන්සේගේ ආධාරය මට මේ පොත මුද්‍රණයෙහිදී බොහෝසෙයින් ම ඉවහල් විය. නමුත් උන්වහන්සේගේ අක්ෂර වින්‍යාසය හා මගේ අක්ෂර වින්‍යාසය දෙ මඟක ගිය දෙකක් විය. මුද්‍රණාලයේ අකුරු අමුණන්නන්ට හුරු වී ඇති උන්වහන්සේගේ අක්ෂර වින්‍යාසය අකුරු ඇමිණීමේ දී නිකම් ම මගේ පොතට ද ඇතුළත් වී තිබේ. ශුද්ධිපත්‍ර බැලීමේ දී ඒ තැන් ලකුණු කළත් ඒවායින් සමහර තැන් වෙනස් වී නැත. අක්ෂර වින්‍යාසය හෝ පද බෙදීම අභිධර්මයට අයිති නැති නිසා මම ඒ ගැන උපේක්ෂක වීමි.

මෙහි භාෂාව හැකි පමණ ලිහිල් කිරීම මගේ කැමැත්ත විය. ඒ බව පොත කියවන විට වැටහෙනවා ඇත.

පොතක් ලියනවාට වඩා එය මුද්‍රණය කරවා ගැනීම අමාරු වී තිබේ. රඹුක්කන දළුග්ගලේ බෝධිරාජාරාමාධිපති ගරු ඇකිරියගල සරණංකර ස්ථවිරපාදයන් වහන්සේට මා මේ පොත ගැන දැක්වූ විට, උන්වහන්සේ සිය සොහොයුරෙකු වූ ඇකිරියගල ආර්. ඇම්. සිරිවර්ධන මහතාට මේ බව දන්වා යවා, ඒ මහතා මේ පොතේ ප්‍රකාශකයා බවට පත් කර නොපමාව පොත මුද්‍රණය කරවන්නට සැලැස්සූහ. උන්වහන්සේ විසින් කරන ලද ඒ උපකාරය මා ඉතා ගෞරවකොට සලකන අතර පොත මුද්‍රණය කිරීම පිණිස වියදම් කළ මුදල තම මුදලක් සේ සලකන ආර්. ඇම්. සිරිවර්ධන මහතාට මගේ කෘතඥතාව මෙයින් ප්‍රකාශ කරමි.

ශාස්ත්‍රෝදය මුද්‍රණාලයාධිකාරී එම්. ඇම්. ඒ. බණ්ඩාර මහතා ඇතුළු කාර්යමණ්ඩලය ගැන වචනයක් කිය යුතු ය. ඒ පින්වතුන් මේ ගැන දැක්වූ සැලකිල්ල විශේෂ විය. දවසක් හැර දවසක් පෝරමය බැගින් අමුණා එවීමෙන් පොතේ වැඩ ඉක්මන් කිරීමට ගත් පරිශ්‍රමය ඉතා සතුටු දායකය.

මේ වගට: හේන්පිටගෙදර ඤාණසීහ ස්ථවිර ශ්‍රී සුමන විද්‍යාලය, රත්නපුර. 1960 - 8 - 11.

හේන්පිටගෙදර ඤාණසීහ ස්ථවිර
ශ්‍රී සුමන විද්‍යාලය,
රත්නපුර.
1960 - 8 - 11.

ප්‍ර ස්තා ව නා ව

සඤ්ඤෙය්‍ය විෂයාගත බාහිරාභ්‍යන්තරික ලෝකය පිළිබඳ විග්‍රහයක් මෙන් ම ඉන්ද්‍රියාතික්‍රාන්ත අධ්‍යාත්මික ලෝකය පිළිබඳ විවරණයක් ද අභිධර්මයට ඇතුළත් වේ. මේ උභයලෝකය පිළිබඳ විග්‍රහය හා විවරණය තර්කය ආත්මකොට ඇති භාෂානුසාරයෙන් ප්‍රකාශිත වනතුරු අභිධර්මය දර්ශන විශේෂයක් වශයෙන් සැලකිය හැකි ය. එහෙත් තර්කවිෂය හා භාෂාවිෂය ඉක්ම සිටි පරමාර්ථසත්‍යය සම්ප්‍රයුක්ත ප්‍රඥාචරිතයකට පමණක් ගෝචර වන්නකි. සම්බෝධිප්‍රාප්ත කිරීමෙන් ලැබෙන මේ ප්‍රඥාචරිත සිත වැඩීමේ මාර්‍ගය ඉගැන්වෙන බැවින් ලෝකානුකම්පාව පෙරදැරිව සකල සත්ත්වයන්ට සෙත සැලසූ මහා කාරුණිකයන් වහන්සේගේ නාමයෙන් පැවත එන බැවින් ‘අභිධර්මය’ ආගම ධර්‍ම විශේෂයක් වශයෙන් සැලකිය හැකිය.

“දර්ශනය” යනු නිවහල් චින්තාක්‍රියාකාරිත්වය පදනම් කොට පවතින ලෝකතාත්ත්වික විමංසනයකි. හදවතින් පැන නගින නොදැමුණු හැඟීම් පාලනය කොට, බුද්ධියේ ස්වෛරීබලය මිනිස් සන්තානය තුළ රාජ්‍යපදප්‍රාප්ත කිරීම, දර්ශනයේ සමාරම්භය යි. විචාර බුද්ධිය මගින් මෙහෙයවනු ලබන අභිධර්මදර්ශනය තුලනාත්මක විමර්ශනය ආත්ම කොට ඇත. ඉතිහාසය නමැති පුෂ්කරණියෙහි පහළ වූ අභිධර්මපද්මය, විචාර බුද්ධියේ සූර්‍ය්‍යරශ්මි සම්පර්ශය ලැබ සහස්‍රපත්‍රයෙන් විරාජමාන ව විකසිත වන්නකි. මේ අනුව “අභිධර්මය” යනු නිරන්තර ව වැවිය යුතු, නිබඳ ව දියුණු කටයුතු, පර්යේෂණයකි. අභිධර්මයේ අක්‍රියාකාරිත්වය මරණය යි.

එහෙත් සමකාලීන අභිධර්ම පරිශීලනය බොහෝ සෙයින් දෘෂ්ටිපරාමර්ශයක් බවට පිරිහී තිබේ. අභිධර්මය යනු බුදු-පසේ බුදු-මහරහතන් වහන්සේලා විසින් සමාරබ්ධ වූ, පසුකාලීන ආචාර්‍ය්‍යවරයන් විසින් සම්පූර්ණ කරන ලද්දා වූ, චිත්ත - චෛතසික - රූප - නිර්‍වාණ පිළිබඳ විවිධ සංඛ්‍යාභේදයන්ට අනුව සංගෘහිත වූ නිවන් දක්නා ජාති දක්වා සසර සැරිසරණතුරු පරිග්‍රහණමාත්‍රයෙන් ගතයුත්තා වූ, ධර්මපද්ධතියක් බව බහුතර ජනතාව තුළ අද දවසේ පවා මුල්බැසගත් හැඟීමයි.

අධ්‍යාත්මික පිපාසයෙන් පෙළුණු සමකාලීන ආධුනිකයන් සැනැස්වීමට සද්ධර්මසාගරයෙන් අමාබිඳිල්ලක් ගැනීම සඳහා පාවිච්චි කළ අගනා රත් කෙණ්ඩියකි අනුරුද්ධ හිමියන්ගේ අභිධර්මාර්ථසංග්‍රහය, රත් කෙණ්ඩියේ අගයෙන් හා අලංකාරයෙන් විස්මයට පත් වූ පසුකාලීනයෝ, ඒ හිමියන්ට ගරු කිරීමක් වශයෙන්, අනුස්මරණ පූජා පැවැත්වීමක් වශයෙන් සදහම් සයුර අමතක කොට ගතානුගතිකත්වය නමැති කූඩුව තුළ එම හිස් කෙණ්ඩිය තැන්පත් කොට, ඊට වන්දන මානන කිරීමට ත්, තදනුකරණ වශයෙන් මැටි කෙණ්ඩි තැනීමට ත්, ඇබ්බැහි වූහ. නූතන ලෝකයෙහි පැන් බීමට වීදුරු කෝප්ප යනාදිය පාවිච්චි කිරීම වඩා පහසු වූවත් පැරණි යුගයේ දී රජදරුවන් කළ අයුරින් පැන්බීම සඳහා රත්කෙණ්ඩි නිපදවීමට සමහරුන් අද දවසේ ගන්නා තැත අගනා කාලය හා ශ්‍රමශක්තිය වැය කිරීමකි.

නිවහල් චින්තකයකු වූ අනුරුද්ධ හිමියන්ගෙන් අභිධර්ම සංවර්ධනයට සැලසුණු සේවය අනල්පය. එහෙත් ඒ හිමියන්ට පහසු වූ, අභිමත වූ, විශිෂ්ට සංඛ්‍යාභේද ක්‍රමය එකායන ක්‍රමය වශයෙන් පසුකාලීනයන් විසින් සැලකූ නිසා ලාංකික ආභිධර්මිකයන් අතර නිවහල් චින්තකයන් පහළවීම අතිශයින් දුර්ලභ වී තිබේ. මේ ගැන අපට ප්‍රීතිවිය නො හැක.

ලෝකයේ සියලු සංග්‍රාම පිළිබඳ ජය-පරාජය ඇතිකරගනු ලබන්නේ මිනිස් සිත නමැති රණභූමිය මතය. ඒ නිසා ලෝක සාමය තහවුරු කිරීම පිණිස රැකවරණ හා පවුරු බැඳිය යුත්තේ ද, මිනිස් සන්තානය නමැති පවුර වටකොටය. පුද්ගලයා හා සමාජය වෙන් ව හා පොදුව විඳින දුක විග්‍රහ කිරීම ත්, එයින් මිදී ඒ දුක නිවීමට ත්, සිත පිළිබඳ දැනුම අපට අද අත්‍යවශ්‍යය.

නූතන ලෝකයා බලාපොරොත්තු වන සැනසුම් සුවය අභිධර්මය පිළිබඳ ක්‍රමවත් විවරණයකින් ඔවුනට ලබාදිය හැකිය. බහුජන හිත පිණිස, බහුජන සුව පිණිස, අභිධර්මය ක්‍රියාකාරී කරවීමට නම්, අනවශ්‍ය ගතානුගතිකත්වයෙන් තොර ව බුද්ධිවිකාශනය ඇතිකරවන පරිදි එය විවරණය කිරීම නූතන ආභිධර්මිකයන් සතු සමාජසේවයකි.

මේ නයින් බලන කල හේන්පිටගෙදර ඤාණසීහ පණ්ඩිත හිමියන්ගේ “අභිධර්ම පරීක්ෂණය” සමාජ දුක හා ධර්‍ම ශාස්ත්‍රීය පරාධීනත්වය පිළිබඳ නොකිලිටි අවංක අවදිකමකින් පැනනැගුණු නිර්භීත ශාස්ත්‍රීය ව්‍යායාමයක් වශයෙන් හැඳින්විය හැකි ය.

ශාස්ත්‍රීය විෂයෙහි නිවහල් චින්තකයෙකු හා දේශකයෙකු වශයෙන් කීර්තිශබ්දයක් ඇතිකොට ගෙන වෙසෙන පණ්ඩිත හිමියන්ගේ ධෛර්‍ය්‍යය ශාස්ත්‍ර ගෞරවයේ නාමයෙන් පැසසිය යුතුය. අභිධර්මාගත දුරවබෝධස්ථාන සුවබෝධය සඳහා විවරණය කිරීම ත්, පරස්පරවිරෝධී යයි පෙනෙන තැන් ස්වකීය ඥාන පමණින්, ශක්ති පමණින්, නිරවුල් කිරීමට තැත් කිරීම ත්, පණ්ඩිත හිමියන්ගේ ග්‍රන්ථකරණයෙහි මුඛ්‍ය පරමාර්ථය යි. අභිධර්මය පිළිබඳ ඇසුපිරූ තැන් ඇති වියතුන්ට විෂය වන මේ ග්‍රන්ථය ධර්‍ම ශාස්ත්‍රීය පර්‍යේෂණයෙහි උපයෝගී කටයුතු විචාරාත්මක විමර්ශන ක්‍රමය මූර්තිමත් කොට දක්වයි.

බුද්ධ ධර්මය පිළිබඳ ව මූලික වශයෙන් පිළිගත් සිද්ධාන්තයන් මත නිදහස් - නිවහල් සිතිවිලි පරම්පරා උපදවා, ස්වකීය බුද්ධියට අනුව, තදනුකූල ව, නො සැසඳෙන, නො පිළිගත හැකි, දේ බැහැර කිරීමට පණ්ඩිත හිමියෝ නො පැකිලෙති. මගේ අවංක කල්පනාවේ හැටියට මේ පොතේ කැපී පෙනෙන වැදගත් ලක්ෂණය එය යි.

පණ්ඩිත හිමියන්ගේ ග්‍රන්ථයෙහි එන සමහර විවරණ පිළිබඳව උනන්දු වෙතත්, සමහර නිගමන සාකල්‍යයෙන් ම අනුමත කිරීමට නො හැකි වුවත්, විචාර බුද්ධියෙන් යුක්තව, තුලනාත්මක ක්‍රමයට අනුව අභිධර්මය හැදෑරීමට ත්, අභිධර්ම පොතපතින් පැන නගින ප්‍රශ්න පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට ත්, ශාස්ත්‍රාලෝලීන්ට මේ පොතෙන් ලැබෙන අනුබලය හා ධෛර්‍ය්‍යය අතිශයින් විපුලය.

දැන් හෙළබස් මගින් කටයුතු කරන ලංකාවේ විශ්වවිද්‍යාලවල හා වෙනත් විද්‍යායතනවල අභිධර්මය පිළිබඳ පර්යේෂණ පවත්වන්නවුන් විසින් අනුගමනය කළයුතු මාර්‍ගය මේ ග්‍රන්ථයෙන් ආලෝකවත් කෙරෙන බව පිළිගත යුතුය.

ඤාණසීහ පණ්ඩිත හිමියන්ගේ “අභිධර්ම පරීක්ෂණය” අභිධර්මය පිළිබඳ ඇතිවිය යුතු විද්‍යාසංවර්ධනයේ පෙරනිමිත්තක් වේවා යනු මගේ අවංක අභිලාෂයයි.

ඩබ්. ඇස්. කරුණාරත්න “සරසවි උයන” පේරාදෙණිය. 8 - 8 - 1960.

ඩබ්. ඇස්. කරුණාරත්න
“සරසවි උයන”
පේරාදෙණිය.
8 - 8 - 1960.