අභිධර්ම ප්‍රදීපිකාව 4 - මොරටුවේ මෙධානන්ද හිමි 1954.pdf

කතෘ :
මොරටුවේ මෙධානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1954
මුද්‍රිත වර්ෂය :
1954
පිටු ගණන :
506
බාගත කිරීම් ගණන :
2
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
91 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 254

සම්මොහවිනොදනී නම්වූ විභඞ්ගප්පකරණට්ඨකථාව පිළිබඳ සවිස්තර ව්‍යාඛ්‍යාන අභිධර්‍මප්‍රදීපිකාව (චතුත්‍ථ හෙවත් අවසාන භාගය) යනු අභිධර්ම පිටකයේ දෙවන ග්‍රන්ථය වන විභංග ප්‍රකරණයේ අටුවාව වූ බුද්ධඝෝෂ හිමියන්ගේ ‘සම්මෝහවිනෝදනී’ අට්ඨකථාවට සවිස්තරව සිංහලෙන් ලියන ලද අතිවිශාල ව්‍යාඛ්‍යාන ග්‍රන්ථාවලියේ අවසන් කොටසයි.

මොරටුවේ ශ්‍රී මෙධානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් රචිත මෙම මහා කෘතියේ මුල් භාගය මුද්‍රණය වෙමින් පවතිද්දී උන්වහන්සේ අපවත් වූ අතර, අනතුරුව රාජකීය පණ්ඩිත කහඳමෝදර චන්ද්‍රකීර්ති ශ්‍රී පියරතන හිමියන් විසින් සංස්කරණය කොට නිමවා ඇත. මොරටුවේ ශ්‍රී රඤ්ජන් නිවාසී ඇම්. ටී. ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් හා ධන පරිත්‍යාගයෙන් 1954 දී කොළඹ මහාබෝධි යන්ත්‍රාලයේදී මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදි.

කාණ්ඩ සතරකින් යුත් මුළු අභිධර්මප්‍රදීපිකා ග්‍රන්ථ මාලාවේ අවසාන භාගය වන මෙයින් විභංග ප්‍රකරණයේ අවසාන විභංග 3 වන ඥාණ විභංගය, ඛුද්දකවත්ථු විභංගය සහ ධම්මහදය විභංගය පිළිබඳ දීර්ඝ ව්‍යාඛ්‍යානයන් සම්පූර්ණ කෙරේ.

FOREWORD

This is the fourth volume of “Abhidharmapradipika”, and it is to be the end of the series. The vastness of the treatise and the difficulties due to getting the work printed have been responsible for the long delay in publishing this. I am however happy to state here that it gives me great pleasure to see that this grand and noble treatise on the Dharma has at last though delayed seen the light of day.

I am fully cognisant of the fact that the learning and teaching of the Doctrine of the Buddha, its propagation through sermons, its instruction through the writing of Doctrinal texts and their publication for the welfare of the many are of paramount significance for the resuscitation and progressive development of Buddhism.

This is the true position, but as I felt that I could do very little in this good cause by attempting the first three modes of approach, I decided to be of service, though in a small way, by extending my support to get books printed and published.

In pursuance of this policy an earnest appeal was made by me to the most Ven. Moratuwe Sri Medhananda Nayaka Thera a singularly clever exponent of the Abhidharma, one of the most illustrious and erudite, scholar-monks from among the galaxy of ecclesiastical luminaries of this Island, to write such a book as this. I succeeded in my request and this book is the proud product of that effort.

Mention must also be here made with gratitude to the Ven. Horetuduwe Dhammadhaja Thera, incumbent of the Gangarama Viharaya, Horetuduwa and my own brother who encouraged me persistently in this noble cause.

While the first part of this treatise was in print—sad to say,—the Ven. author passed away and the continuity of its publication after deli- gent revision was done on the earnest solicitation both of me and the Rev. H. Dhammadhaja Thera by the Rev. Pandit Kahandamodara Piyaratana Thera B. A. (Lond.) Vice-Principal of Saugatodaya Vidyalaya, Kottegoda in Matara.

May the merits that I have reached through all my efforts connected with the writing of this book and its final publication primarily be shared by the illustrious author, the Rev. Moratuwe Sri Medhananda Nayaka Thera who is no longer among us.

Secondly may my dead parents Mututantrige Joseph Fernando and Weerakondabaduge Selesthina Perera of Siri Medura, Horetuduwa, Moratuwa, the late Mr. M. B. Fernando, a beloved brother of mine, my relations and friends one and all share with me the fruits of this meritori- ous act and thus attain the ultimate bliss of Nibbana.

Finally may I express my sincere thanks to the Mahabodhi Press for the genuine interest they took in producing this work so magni- ficently.

M. T. FERNANDO, Yours
Mettacittena,
M. T. FERNANDO.

July 15, 1954,
“Sri Ranjan”
Moratuwa.

නිවේදනය

මෙය අභිධර්‍මප්‍රදීපිකාවේ සතරවෙනි කාණ්ඩයයි. මෙයින් පොත අවසන් වෙයි. මේ අභිධර්‍මව්‍යාඛ්‍යානය මුද්‍රණය කොට අවසන් කරන්ට බොහෝ කලක් ගතවූයේ පොතේ විශාලත්‍වයත් මුද්‍රණ කටයුතු පිළිබඳව ඒ ඒ අවස්ථාවන්හි ඇතිවූ දුෂ්කරතාවනුත් හේතුකොට ගෙනය. ප්‍රමාද වී හෝ මේ මහා ධර්‍මග්‍රන්‍ථරත්නය මුද්‍රණය කොට අවසන් කරන්ට ලැබීම ගැන අතිශයින් ප්‍රීතියට පැමිණෙමු.

ශ්‍රී සම්බුද්ධ දේශිත සද්ධර්මය ඉගෙනීම, ඉගැන්වීම, දේශනා කිරීම, බණ පොත්පත් ලිවීම, ලියවීම හා ඒවා ප්‍රචාරයට පැමිණවීමද පර්‍ය්‍යාප්ති ශාසනයේ දියුණුවට ඉවහල් වන කරුණු බව අපි දනිමු. එහෙත් එහි මුලින් සඳහන් කළ කරුණුවලින් ශාසනානුග්‍රහයක් කරන්ට අපොහොසත් බැවින් බණපොත් ලියවීමය, ප්‍රචාරයට පැමිණවීමය යන මේ දෙකරුණෙන්වත් අවුරුදු පන්දහසක් කල් පවත්නා තථාගත සද්ධර්‍මශාසනයට සප්‍රමාණවූ හෝ රැකුලක් දෙන්ට ලැබෙතොත් එය අපගේ ජන්මසාඵල්‍යය සේ සලකුවෙමු. එසේ සලකා මෑත යුගයේ ලංකාබුද්ධශාසනය බැබළවූ මහා වියත් මාහිමිවරුන් අතුරෙන් අද්විතීයස්ථානයක් ගත්තාවූ - විශේෂයෙන් අභිධර්ම විශාරදත්‍වයෙන් හා විචිත්‍ර ධර්ම කථිකත්‍වයෙන්ද අගස්තල නැගුණු පුන්සඳ මඬල සේ සවදෙස විදෙස යන්හි සුප්‍රසිද්ධවූ පරමපූජනීය මොරටුවේ ශ්‍රී මෙධානන්‍ද නායක ස්වාමිපාදයන් වහන්සේට ආරාධනා කොට මේ අභිධර්‍මප්‍රදීපිකා ව්‍යාඛ්‍යාව ලියවා ගත්තෙමු.

මේ උතුම් කටයුත්තෙහි අගය පෙන්වා දී උපදෙස් දීමෙන් මා උනන්දු කරවා මෙයට ඉදිරිපත් කරනලද්දේ අපගේ ප්‍රිය සහෝදරවූ මොරටුවේ හොරේතුඩුවේ ගඞ්ගාරාම මහා විහාරාධිපති ගරු හොරේතුඩුවේ ධම්මධජ ස්වාමිපාදයන් වහන්සේ විසිනි. උන්වහන්සේගෙන් ලැබුණු සහාය හා අනුබලය මෙහිදී කෘතවේදීව අනුස්මරණය කරමිහ.

පොතේ ප්‍රථම කාණ්ඩය මුද්‍රණාවස්ථාවෙහි පවතිද්දීම තත් ග්‍රන්‍ථකර්තෘවූ නායක හිමිපාණන් වහන්සේ දිවංගතවී වදාළ බැවින් යථෝක්ත ගෞරවාර්හ හොරේතුඩුවේ ධම්මධජ ස්වාමිපාදයන් වහන්සේගේ හා මගේද ආරාධනාව පරිදි මේ පොත මුද්‍රණයට සුදුසු ලෙස සංස්කරණය කරදුන්නේ කෝට්ටගොඩ සෞගතෝදය විද්‍යාලයේ උප ප්‍රධානාචාර්‍ය්‍ය රාජකීය පණ්ඩිත කහඳමෝදර චන්ද්‍රකීර්ති ශ්‍රී පියරතන (B. A. London) මහාස්ථවිරපාදයන් වහන්සේ විසිනි. එහෙයින් උන්වහන්සේට අපගේ කෘතඥතා පූර්වක ගෞරවාදරය පුද කරමිහ

පර්‍ය්‍යාප්ති ශාසනයේ උද්දීප්තිය පරමාර්ථකොටගෙන තීව්‍රශාසනාධ්‍යාශයෙන් මේ වටිනා ධර්‍මග්‍රන්‍ථය ලියවා ප්‍රචාරයට පැමිණවීමෙන් මා විසින් ලබාගත් සියලු පුණ්‍යසම්භාරය මෙහි සම්පාදකවූ අපවත් වී වදාළ සදස්‍යමානනීය මොරටුවේ ශ්‍රී මෙධානන්‍ද නායක මාහිමියන් වහන්සේට භක්ත්‍යාදරයෙන් යෙදී පළමුකොට අනුමෝදන් කරවමිහ.

එසේම අපගේ පරලෝසැපත් ආදරණීය පියාණන් වහන්සේ වන මොරටුවේ හොරේතුඩුවේ සිරිමැඳුරේ විසූ මුතුතන්ත්‍රීගේ ජෝසප් ප්‍රනාන්දු මැතිතුමා හා මෑණියන් වහන්සේ වන වීරකොණ්ඩබදුගේ සෙලෙස්තිනා පෙරේරා මැතිනියද අප පවුලේ දියුණුවට අතිශයෝපකාරීව ක්‍රියා කළ ප්‍රිය සොහොයුරු ඇම්. බී. ප්‍රනාන්දු මහත්මාටද මේ පින අනුමෝදන්ව නිවන් සැප ලබත්වායි ප්‍රාර්ථනා කරමිහ. සෙසු සහෝදර සහෝදරීන් හා බන්ධුමිත්‍රාදීන් ඇතුළු සදේවක ලෝකයාද මේ පින අනුමෝදන්ව ලොව් ලොවුතුරා සැප ලබත්වා.

මුල සිටම මේ පොතේ මුද්‍රණ කටයුතු ඉතා යහපත් ලෙසට කරදුන් කොළඹ මහාබෝධි යන්ත්‍රාලයේ කළමනාකාර මහතුන්ට අවංකව ස්තුති කරමු.

නිබ්බානපච්චයො හොතු

මීට - ශාසනොදයකාමී
ඇම්. ටී. ප්‍රනාන්දු
ප්‍රකාශක
1954 ජුලි මස 15
ශ්‍රී රඤ්ජන්
මොරටුව

සංක්‍ෂෙපනය. අභිධර්‍මප්‍රදීපිකා චතුත්‍ථ (අවසාන) භාගය

ශ්‍රීමත් සුගත තථාගත ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ විසින් සකල ලෝකවාසී ජනතාවගේ ඓහලෞකික පාරලෞකික ශුභසිද්ධිය පිණිස දේශනා කොට වදාළ ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිධර්මයට අයත් අභිධර්මපිටකය ධම්මසඞ්ගණී - විභඞ්ග - ධාතුකථා - පුග්ගල පඤ්ඤත්ති - යමක - පට්ඨාන - කථාවත්‍ථු යන ප්‍රකරණසප්තකයකින් යුක්තය. එහි ඛන්ධ විභඞ්ගාදි අෂ්ටාදශවිභඞ්ගයන්ගෙන් හෙබි විභඞ්ගප්‍රකරණයට අටුවාකථාවයි අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් ගම්භීරාර්ථවර්ණනා විවරණමුඛයෙන් කරනලද අටුවා තොමෝ සම්මොහවිනොදනී නම් වූවාය. පෙළබසින් කරනලද ඒ සම්මොහවිනොදනී නම්වූ විභඞ්ගප්‍රකරණ අටුවාවට ආභිධම්මිකාචාර්‍ය්‍ය මොරටුවේ ශ්‍රී මෙධානන්‍ද මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් හෙළබසින් ලියනලද ව්‍යාඛ්‍යාව මේ අභිධර්‍මප්‍රදීපිකාවයි.

මෙහි ප්‍රථම - ද්විතීය - තෘතීය භාගත්‍රය මීට මුලදී නිකුත් කරනලදි. මේ එහි චතුර්ථභාගයයි. මෙයින් පොත අවසන් වෙයි. සම්පූර්ණ පොතේ මුද්‍රිත පිටු ගණන 2154 කි. මේ අවසාන භාගය විභඞ්ගප්‍රකරණයේ අවසාන විභඞ්ග තුනෙන් යුක්තය. ඒ ඒ මුද්‍රිතභාගයන්හි අෂ්ටාදශ විභඞ්ග ඇතුලත් කරන ලද්දේ මෙසේය:-

ප්‍රථම භාගය: - ඛන්ධ - ආයතන - ධාතු - සච්ච - ඉන්ද්‍රිය - පටිච්ච සමුප්පාද යන විභඞ්ග 6 ද්විතීය භාගය: - සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - බොජ්ඣඞ්ග යන විභඞ්ග 4 තෘතීය භාගය: - මග්ග - ඣාන - අප්පමඤ්ඤා - සික්ඛාපද - පටිසම්භිදා යන විභඞ්ග 5 චතුර්ථ භාගය: - ඤාණ - ඛුද්දකවත්‍ථු - ධම්මහදය යන විභඞ්ග 3 18

අභිධර්ම පිටකයේ සප්තප්‍රකරණ ග්‍රන්‍ථයන් හා තදීයාර්ථ කථාවන්ද තත්ටීකානුටීකා සංග්‍රහ ප්‍රකරණයන්ද පිළිබඳව දතමනා බොහෝ කරුණු මේ පොතේ ප්‍රථමභාගයේ සංක්‍ෂෙපනයෙහි සවිස්තරව සඳහන්ව ඇත. එහෙයින් පොත පිළිබඳව හැඳින්වීම් වශයෙන් ඊට වඩා යමක් මෙහි සඳහන් කිරීම අනවශ්‍යය.

මේ පොතේ සමාරාධකවුද ප්‍රකාශකවුද මොරටුවේ ශ්‍රී රඤ්ජන නිවාසී පුණ්‍යකාමී ධනවත් ඇම්. ටී. ප්‍රනාන්දු මැතිතුමා තථාගත බුදුරජාණන් වහන්සේගේ පර්‍ය්‍යාප්ති සද්ධර්‍මශාසනයේ උද්දීපනයට යථා ශක්තීත් රැකුලක් දෙනු කැමැත්තේ මේ විශාල ග්‍රන්ථය ආභිධම්මිකාචාර්‍ය්‍ය මොරටුවේ ශ්‍රී මෙධානන්ද නායක මාහිමියන් වහන්සේ ලවා සම්පාදනය කරවාගෙන විශාල මුදලක් මේ සඳහා වියදම් කොට ප්‍රචාරයට පැමිණවීය.

මෙකල බණදහම් පොත්පත් මුද්‍රණය කොට විසුරුවා හැරීමේ සිරිතත් ලක්දිව බෞද්ධධනවතුන් ආගමධර්‍මප්‍රචාරයට තම ධනය වියදම් කරන තරමත් සලකා බලනවිට ඇම්. ටී. ප්‍රනාන්දු මහතාණන් මේ පිළිබඳව ඇති කළ බලවත් ආශාව හා පරිශ්‍රමය ආශ්චර්ය්‍යජනකය. එහෙයින්ම එය ආදර්ශවත්ය. ප්‍රශංසනීයය. දැන උගත් කෙනෙකුන් පොතක් පතක් ලිව්වත් එය මුද්‍රණය කරන්ට මගක් නැතිව ළතැවෙන බව බොහෝ බෞද්ධයන්ට රහසක් වූවත් උගතුන්ට රහසක් නොවේ. ආගම ධර්‍මප්‍රචාරයට ධනය යොදවන්ට කැමති කරවා ගත හැකි බෞද්ධ ධනෙශ්වරයෙකු සොයා ගැනීම මැණික් ගලක් සොයා ගැනීම මෙන් දුර්ලභ සිද්ධියක් වී තිබෙන්නේ මේ නිසාය. එහෙයින් ලංකාවේ උගතුන්ට පොත්පත් ලිවීමට සෑහෙන තරම් රැකුලක් ලැබී නැත. යම් හෙයකින් ඇම්. ටී. ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් නොවී නම් මොරටුවේ මෙධානන්ද නායක මාහිමියන් වහන්සේ කොතෙක් ධර්ම විනය විශාරදයෙකු වුවත් උන්වහන්සේගේ අතින් අභිධර්‍මප්‍රදීපිකාවක් නොලියවෙන්ට තිබුණි. ලියුවත් එය මේ තාක් අත්කොපියෙහිම රැඳී යම්කිසි තැනෙක - අල්මාරියක සැඟවී පවතින්ට තිබුණි. එසේ වූයේ නම් දඹදෙණියේ විසූ කලිකාල සාහිත්‍ය සර්‍වඥපණ්ඩිත පරාක්‍රමබාහු මහ රජතුමාගේ විසුද්ධිමාර්‍ග සන්නය අත්හැරෙන විට ලංකාවේ මේ තාක් ලියනලද ඉතා විශාල ග්‍රන්ථය ලක්දිව් වැස්සන්ට අයත් කරගැනීමේ භාග්‍යය සදහටම වැසීයන්ට තිබුණි. එසේ වන්ට නොදී ලංකා බුද්ධශාසනයේ බැබළීමට ආලෝකය දියහැකි විශිෂ්ට අභිධර්ම ව්‍යාඛ්‍යානයක් පහළවූයේ ප්‍රනාන්දු මහතාගේ ශ්‍රද්ධාව පෙරදැරිකොට ඇති ආගමභක්තියේ උදාර ප්‍රතිඵලය වශයෙනි.

මුද්‍රිත රෝයල් ප්‍රමාණ පිටු 2154 ක් පමණවූ මේ ග්‍රන්ථ රත්නය එක කර්තෘවරයෙක් හෙවත් අන්‍යයන්ගේ හවුල්වීමක් නොමැතිව එක කෙනෙකුන්ගේ පැන්තුඩෙන් නිපන් කෘතියක් බැවින් මෙය ලංකා සාහිත්‍යයේ පමණක් නොව ලෝකසාහිත්‍යයේද උසස් තැනක් ලැබිය යුතු පොතකි. එහෙයින් එතද්ව්‍යාඛ්‍යා කර්තෘවූ මොරටුවේ ශ්‍රී මෙධානන්ද නායක මාහිමියන් වහන්සේ විශ්ව කීර්තියටදු භාජන වියයුතු අප්‍රතිම බුද්ධිප්‍රභාවත් මහා ග්‍රන්ථකර්තෘවරයෙකු ලෙස සැලකිය යුතු වන්නේ මේ පොත නිසාම නොවේ. උන්වහන්සේ විසින්ම ඕජොගුණ භූෂිතවූ සුමධුර ගාථා දෙදහසකින් පරිමිතව ලියනලද සම්බුද්ධ චරිතාත්මක ජිනවංසදීප නම්වූ පාලි මහා කාව්‍යය ලංකා සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේම දක්නා ලැබෙන ඉතා විශාල පාලි පද්‍යප්‍රබන්ධය වී තිබෙන බව මෙහි ලා සඳහන් කරනු කවර වරදෙක්ද?

අභිධර්‍ම රත්න භාණ්ඩාගාරය වැනි මේ මහාර්ඝ ග්‍රන්ථරත්නය ලියවා එය මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණවීමට මෙහි ප්‍රකාශක ඇම්. ටී. ප්‍රනාන්දු මැතිතුමා උත්සාහවත් කරන ලද්දේ එතුමාගේ ප්‍රිය සහෝදරවූ මොරටුවේ හොරේතුඩුවේ ගඞ්ගාරාම මහා විහාරාධිපති ධර්ම ශාස්ත්‍රවේදී ගෞරවාර්හ හොරේතුඩුවේ ශ්‍රී ධම්මධජ මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින්ය. මොරටු පෙදෙසේ වර්‍ධමාන බෞද්ධ ප්‍රබෝධයට පුරෝගාමීව දීප්තිමත් විශිෂ්ට සේවාවක් සිදු කරන සඞ්ඝශෝභනවූ ශික්‍ෂාගරුකවූ ඒ මහා ස්ථවිර පාදයන් වහන්සේ විසින් මේ පොතේ සියලු කටයුතු ඉතා හොඳින් නිම කිරීම පිණිස මුලපටන්ම දක්වූ උනන්දුව හා සැලකිල්ල මා මෙහි සඳහන් කරන්නේ කෘතඥතාපූර්වකවූ ඉමහත් ප්‍රීතියෙනි.

තවද මෙහි යොදනලද ශුද්ධිපත්‍රය තරමක් දික්වූවාක් මෙන් පෙනෙන්ට වී තිබෙන්නේ කාණ්ඩ හතරේම ශුද්ධිපත්‍රය එකවරට යොදන්ට වීමෙනි. මේ ශුද්ධිපත්‍රය පිළියෙල කිරීමේදී පානදුරේ වැලිපිටියේ අභය කරුණාරත්න මුදලින්දාරාමවාසී ගරු ආභිධම්මික ගම්පොල ශ්‍රී ධම්මවංශ ස්ථවිරපාදයන් වහන්සේගෙන් ලැබුණු මහත් සහාය මා ඉතා අගයකොට සලකන්නේ තත් සහායත්‍වය මාගේ පරිශ්‍රම ලාභවයට ඉවහල්වූ බැවිනි. ඒ ගැන ඒ ස්ථවිරපාදයන් වහන්සේට අවංකව පසසමි. අර්ථාවබෝධයට එතරම් බාධා නොවන හ්‍රස්වදීර්ඝාදිවශයෙන් වූ වැරදි මෙහි ඇතුලත් නොකරන ලදී. එසේම අපගේ ප්‍රමාද ප්‍රමාදයෙන් හෝ මුද්‍රණ සඛලන වශයෙන් හෝ සිදුවූ දෝෂයන්ට සුධීහු අනුකම්පා කෙරෙත්වා.

චිරං තිට්ඨතු සද්ධම්මො

කහඳමෝදර පියරතන ස්ථවිර, කෝට්ටගොඩ සෞගතෝදය විද්‍යාලයේ දීය. 2498 ඇසළ මස පුරපසළොස්වක් දින / 1954 ජූලි 15