සප්ත විශුද්ධි නිර්දෙශය - නිතලව සිරිකඤ්ඤාණිස්සර හිමි 1935.pdf

කතෘ :
නිතලව සිරිකඤ්ඤාණිස්සර හිමි
ප්‍රකාශිත වර්ෂය :
1935
මුද්‍රිත වර්ෂය :
1935
පිටු ගණන :
96
බාගත කිරීම් ගණන :
1
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
22 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 49

සප්ත විශුද්ධි නිර්දේශය යනු ශීල විශුද්ධි ආදී සප්ත විශුද්ධි ධර්මයන් විස්තර කරමින් සම්පාදිත වටිනා අභිධර්ම හා භාවනා විෂයික ග්‍රන්ථයකි. මෙහි කර්තෘවරයාණන් වන්නේ මිරිගම මිණිඔළුවේ ශ්‍රීවඩ්ඪනාරාමය විද්‍යාවාස විද්‍යාලයාවාසී ගරු පණ්ඩිත නිතලව සිරිකඤ්ඤාණිස්සර ස්වාමිපාදයන් වහන්සේ ය.

විශුද්ධිමාර්ගය සහ අභිධර්මාර්ථ සංග්‍රහය ආශ්‍රය කරගනිමින්, සාමාන්‍ය බෞද්ධ ජනතාවටත් භාවනායෝගීන්ටත් ධර්මකථිකයන්ටත් පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල සිංහල බසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. ප්‍රධාන මාතෘකා කිහිපයක් මෙසේය:

  • ශීල විශුද්ධිය (ප්‍රාතිමෝක්ෂ සංවර, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිශුද්ධි, ප්‍රත්‍යය සන්නිශ්‍රිත)
  • චිත්ත විශුද්ධිය (සතළිස් කර්මස්ථාන, චරිත, නිමිති, භාවනා, ධ්‍යාන, වශිතා, පඤ්චාභිඥා)
  • දිට්ඨි විශුද්ධිය (විඤ්ඤාණ, චෛතසික, රූප)
  • කඞ්ඛාවිතරණ විශුද්ධිය
  • මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය (දශවිධ විදර්ශනෝපක්ලේශ)
  • පටිපදා ඤාණදස්සන විශුද්ධිය (උදයබ්බයානුපස්සනාදී ඤාණ, අනුලෝම ඤාණය)
  • ඤාණදස්සන විශුද්ධිය (සෝවාන් ආදී මාර්ග ඵල, නිර්වාණ සැපය, සමාපත්ති)

මෙම මුල් කෘතිය ක්‍රි. ව. 1935 දී ඩී. ජේ. අමරතුංග මුහන්දිරම් මැතිතුමන්ගේ අනුග්‍රහයෙන් සහ ඇපා මුද්‍රණාලයේ මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වූවකි. ඉදිරිපත් කර ඇති සංස්කරණය ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම මඟින් පැරණි මුද්‍රණයේ ස්වරූපය ඒ අයුරින්ම රැකගෙන කරන ලද ප්‍රතිමුද්‍රණයකි.

ප්‍රකාශක සටහන

ලෝක ලේඛන වංසකතාවෙහි සිරිලක ලේඛන ඉතිහාසයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. සෙල්ලිපි, පුස්කොළ පොත් ආදියෙන් පෝෂිත ඉපැරැණි, වටිනා ලේඛන සාහිත්‍යයක් අප සතු ව තිබිණි. විදේශීය ආක්‍රමණිකයන්ගේ විනාශකාරී ක්‍රියා ඇතුළු විවිධ හේතු නිසා, ඒ අමිල ලේඛන අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් විනාශයට පත් වී ඇත්තේ ය. ලේඛන සාහිත්‍යයේ පුළුල් වපසරියක් ආවරණය කරමින් විවිධ විෂය ක්ෂේත්‍රයන් යටතේ සම්පාදිත මහාර්ඝ පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් එලෙස අපට අහිමි වී ඇති අතර, තවත් විශාල සංඛ්‍යාවක් විදේශිකයන් විසින් අත්පත් කරගනු ලැබ ඇත්තේ ය. ඉතිරි ව ඇති පුස්කොළ පොත් අතරින් යම් ප්‍රමාණයක් පසුගිය කාලය තුළ දී විවිධ උගතුන්ගේ හා සංවිධානවල මැදිහත්වීම නිසා මුද්‍රණද්වාරයෙන් පළ වී තිබීම සතුටට කරුණකි. නොයෙකුත් ස්ථානයන්හි අමුද්‍රිත ව පවත්නා, පළ කළ යුතු වැදගත් පුස්කොළ පොත් සොයා පළ කිරීම පිණිස කිසියම් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත හැකි නම් එය ජාතික මෙහෙවරක් වන්නේ ය.

මුද්‍රණ ශිල්පය ව්‍යාප්ත වීමත් සමග පොත් පළ වීම වේගවත් විය. අපේ පැරැණි පැවිදි-ගිහි පඬිවරුන් විසින් සම්පාදනය කරන ලද වටිනා ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කෙරිණි. 19 වැනි සියවසේ අග භාගයේ දී හා 20 වැනි සියවසේ මුල් දශක කිහිපය තුළ දී ප්‍රකාශයට පත් කෙරුණු වටිනා පොත්පත් අතරින් බොහොමයක් සොයාගත නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී තිබීම කණගාටුවට කරුණකි. කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික පුස්තකාල ආදියට සීමා වූ වටිනා පොත් විශාල සංඛ්‍යාවක් තිබේ. ලාබ ලැබිය හැකි කටයුත්තක් නොවන නිසා දෝ මෙබඳු පොත් පළ කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ශාස්ත්‍රවන්තයන්ගේත්, එවැනි පොත් කෙරේ ආසක්ත පාඨකයන්ගේත් පරිශීලනය පිණිස පැරැණි පොත් නැවත පළ කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මා අදහස් කළේ එම අඩුපාඩුව සපුරාලමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට කිසියම් සේවාවක් ඉටු කිරීමේ අරමුණෙනි. මේ යටතේ ලාබ ලැබීමකින් තොර ව, මුද්‍රණ වියදම පියවාගැනීම පමණක් අරමුණු කරමින් මිල නියම කොට, එකී කෘතිවල සීමාසහිත පිටපත් සංඛ්‍යාවක් බැගින් පළ කිරීමට අදහස් කළෙමි.

සපයාගත හැකි වටිනා පොත්, නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කර නවීකරණයට බඳුන් නොකොට, පැරැණි ස්වරූපය රැකෙන ආකාරයෙන් ම පළ කිරීමට කටයුතු යෙදුවෙමි. ඒ, එම යුගයේ මුද්‍රණ තාක්ෂණය, පිටුසැකසුම් ආදිය පිළිබඳ ව අවබෝධයක් ද පාඨකයන්ට ලබාගත හැකි වන පරිද්දෙනි. මේ පොත් තවත් වසර දෙතුන් සියයක් වත් ආරක්ෂා වී පවතිනු ඇතැ යි අපේක්ෂා කරමි. සිංහල සාහිත්‍යයේ උන්නතියට මේ කාර්යය සුළු වශයෙන් හෝ උපකාරයක් වුව හොත් මගේ අපේක්ෂාවන් මල්පල ගැනුණේ වෙයි.

මේ සත්කාර්යය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට උදවු කළ හැකි හැමගේ ම සහයෝගය අපේක්ෂා කරමි. වෙසෙසින් ම දුලබ පොත් සපයාගැනීම සඳහාත් පැරැණි පොත් නැවත සංස්කරණය කර පළ කිරීම සඳහාත් විද්වතුන්ගේ සහයෝගය උදක් ම පතමි.

මෙම පැරණි පොත් නැවත මුද්‍රණය කිරීම සඳහා පැරණි ග්‍රන්ථවල පිටපත් සපයාදෙන කුමාර මහා විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත ගන්තලාවේ ගුණානන්ද නායක හිමියන් සහ පූජ්‍ය විද්‍යानिධි අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් මෙම සාහිත්‍යෝන්නති කටයුත්ත සඳහා ලබාදෙන සහයෝගය අගය කරමි. ඒ අනුව උන්වහන්සේලාට මගේ කාරුණික ස්තුතිය පිරිනමමි. එසේම මෙම ව්‍යාපෘතිය කෙරෙහි උනන්දුවකින් ක්‍රියාකරන ආචාර්ය එස්. අයි. ගමගේ මහතාටද මගේ ස්තුතිය පළ කරමි.

මේ ග්‍රන්ථය වසර ගණනාවකින් මුද්‍රණය වී නොමැති බව පෙනී ගිය හෙයින් දිවයිනේ භාෂා සාහිත්‍යයේ උන්නතිය සලකමින් ද යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කරන පාඨකයින්ට අනුග්‍රහයක් වශයෙන්ද මේ අන්දමින් නැවත මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලදි.

මේ කෘතියේ හිමිකම් සනාථ කළ හැකි භවතුන් වෙතොත් ඒ අයගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ කර්තෘභාගය ලබාදීමට පියවර ගනු ලැබේ.

සාහිත්‍යෝන්නතිකාමී දේශබන්ධු සිරිසුමන ගොඩගේ

සංඥාපනය.

ශ්‍රී සද්සද්ධර්‍මයෙහි සාරාංශය පිඬුකොට ප්‍රකාශවන ශ්‍රෙෂ්ඨ ධර්‍ම කොට්ඨාසය ශීල විශුද්ධාදි සප්ත විශුද්ධි ධර්‍මයි. මේ ධර්‍මයන් වැයීමෙන්ම සත්ත්වයන්ගේ පිරිසිදු බව ලැබියයුතු හෙයින් මොහු විශුද්ධි නාමයෙන් දක්වන ලදහ. රාගාදි කෙලෙශ මලයෙන් කිලිටිවූ සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස මොවුන් හැර ජාති ගොත්‍ර ධන බහුශ්‍රැතාදි තවත් කිසිවක් නැති බව “එතෙහි මච්චා සුජ්ඣන්ති නගොත්තෙන ධනෙනවා” යන බුද්ධ වචනයෙන් පැහැදිලිවේ.

එහෙයින් මෙයම “විශුද්ධි මාර්‍ගයයිද, විමුක්ති මාර්‍ගයයිද, ආර්‍ය්‍ය මාර්‍ගයයිද” කියනු ලැබේ. බුද්ධ ශාසනයෙහි මෙයට වඩා පරම ගම්භීර ධර්‍මයක් හෝ නිර්‍වාණාවබොධයට ඉවහල්වූ අන්‍ය ප්‍රතිපත්තියක් හෝ නොමැති බැව් මෙයින් නිශ්චිතවේ.

එහෙයින් බෞද්ධයන් විසින් මේ විශුද්ධි ධර්‍මයන් විශේෂයෙන් උද්ග්‍රහණ ධාරණාදි වශයෙන් ප්‍රගුණ කටයුතුය එයින් ධර්‍ම ඥානය හා බෞද්ධ ප්‍රතිපත්ති අඛණ්ඩ නිරාකුල පැවැත්මද නිරායාසයෙන්ම සිදුවන්නේය.

එහෙත් මොවුන් ප්‍රකාශවන ධර්‍මග්‍රන්ථයන් පාලි භාෂාවෙන් යුක්තහෙයින් පාලිභාෂාව නොදත් ජනයන්ගේ දැනගැනීමට අතිශයින් දුෂ්කරව පවත්නේය. මොවුන්ගේ විස්තර ප්‍රකාශවන විශුද්ධිමාර්‍ග අභිධර්‍මාර්‍ථ සංග්‍රහාදීන්ගේ අති විස්තාර අතිසංක්‍ෂෙප බව හේතුකොටගෙන පාලිභාෂාව දත් සාමාන්‍ය අයට වුවත් එයින් ප්‍රයෝජන ගැනීම සුකර නොවන්නේය.

කරුණු මෙසේ හෙයින් පාලි භාෂාව නොදත් සාමාන්‍ය බෞද්ධ මහජනයාගේ ප්‍රයෝජනයට සුදුසු පරිදි මේ පිළිබඳ සිය බසින් ධර්‍ම ග්‍රන්ථයක් සම්පාදනය කළහොත් එය ලොක ශාසනොපකාරී කාලොචිත සත්කෘත්‍යයක් වේයයි සැලකූ අපි විසින් පෙළ පොත් හා විශුද්ධිමාර්‍ග අභිධර්‍මාර්‍ථ සංග්‍රහ තදත්‍ථකථා විභාවිනී ටීකාදිය ඇසුරු කෙරෙමින් ඉතා විස්තර ඉතා සංක්‍ෂෙප යන උභය අන්තයටම නොබැස කාහටත් තේරෙන ලිහිල්බසින් මේ ග්‍රන්ථය නිඃසරණාධ්‍යාශයෙන් මෙසේ සම්පාදනය කෙළෙමු.

එහෙයින් මේ ග්‍රන්ථය “ධර්‍මකථිකයන්ට මාර්‍ගදේශකයෙක්ද, භාවනානු යොගීන්ට එකායන මාර්‍ගයක්ද, බණ ඉගෙනගන්න උන්ට ආචාර්ය්‍යවරයෙක්ද, වන්නේය” යනු අතිශයොක්තියක් නොවේ.

මෙසේ අපගේ අල්පශක්තියෙන්ද බෞද්ධ ලෝකයාට අවශ්‍යවූ ශාසන සංග්‍රහයක් සලසාලන්ට සිදුවීමගැන අපි ඉතා සතුටුවෙමු.

මෙය සම්පාදනය කිරීමෙහිදී අපගේ ධර්‍මාචාර්ය්‍ය පානදුරේ වලපොල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන්හි උප ප්‍රධානාචාර්‍ය්‍ය පමුණුගම බුද්ධදත්ත ස්ථවිර ස්වාමීන්වහන්සේගෙන් ලැබුණ උපදෙස් හා අපගේ ධර්‍මාචාර්ය්‍ය රාජ්‍ය ගුරු ඩබ්ලිව්. ඩී. සී. වාගීශ්වර පණ්ඩිතතුමන්ගේ අභිධර්‍ම ග්‍රන්ථයද ඉතා ප්‍රයෝජනවත්වූ බව කෘතඥතා පූර්‍වකව මෙහි සඳහන් කරම්හ.

මෙසේ සම්පාදිත මේ ධර්‍ම ග්‍රන්ථය විශෙෂ විශදොපෙක්‍ෂාවෙන් හා අපගේ අකලංක ගුරු භක්තිය ප්‍රකාශකිරීමක් වශයෙනුදු සියම් බුරුම වංගාදි දේශාන්තරයන්හි පවා ධර්‍ම විනය විශාරදත්වයෙන් සුප්‍රසිද්ධ අද්විතීය පාණ්ඩීත්‍යයෙන් වැජඹෙන පූජ්‍යතර අපගේ ධර්‍මාචාර්ය්‍යස්ථානීය පානදුරේ වලපොල ශ්‍රී සද්ධර්මෝදය පරිවෙණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්‍ය්‍ය අති ගෞරවාර්‍හ කොදාගොඩ උපසෙනාභිධාන අධිකරණ නායක මාහිමියන් වහන්සේ වෙත ගෞරවාභිවාදන පූර්‍වකව පිළිගන්වනලදුව එය සාදරයෙන් පිළිගැනීමෙන් ඉතා සතුටටපත් උන්වහන්සේ විසින් අපවෙත ‘ධම්මකිත්තිසිරි සරණංකර’ යන උපාධියද දෙවා වදාරමින් දක්වනලද දයාන්විත භාවය ගැන අපගේ කෘතඥතා පූර්‍වක භක්තිනම්‍ර ගෞරවාශීර්වාදය උන්වහන්සේ වෙත සමර්පණය කරම්හ.

තවද හාපිටිගම් කෝරළයේ ගම්කාර්ය්‍ය සභාවේ සභාපති බුද්ධොපකාරී සත් ගුණවත් බෞද්ධොපාසක ප්‍රභූවරයෙක්වූ අපගේ හිතවත් කන්ඩලමේ වලව්වේ ඩී. ජේ. අමරතුංග මුහන්දිරම් මැතිතුමා මේ ධර්‍ම ග්‍රන්ථය දැක ඉතා සතුටට පැමිණ එය ස්වකීය ධනවියදමෙන් මුද්‍රණය කරවීමට භාරගෙන කටයුතු කරවාගෙන යන අතර හටගත් ආබාධයකින් අකාලයෙහි අභාව ප්‍රාප්ත වූයෙන් එතුමන්ගේ ප්‍රිය පුත්‍රවූ බැරිස්ටර් ජේ. ඊ. අමරතුංග, වැවිලි කරු ජේ. ඒ. අමරතුංග යන නාම මහතුන් විසින් පොතේ ඉතිරි වැඩ සම්පූර්‍ණ කරවීමෙන් මහත් ලෝක ශාසන සංග්‍රහයක් කළ බව හා මුද්‍රණ ශිල්පයෙහි දක්‍ෂ ඇපා මහතුන් විසින් මුද්‍රණ වැඩ සැලකිල්ලෙන් කරදුන් බවද මෙහි සතුටින් සඳහන් කරම්හ.

තවද පොතට ශුද්ධිපත්‍රයක් නොයොදා කටයුතු සම්පූර්‍ණ කිරීම ගැන මුලපටන් අදහස් කළ නමුත් එය නොහැකිවූයෙන් ප්‍රකටව පෙනෙන්ට තුබුණ වද්‍ය ස්ථාන ස්වල්පයක් පමණක් යොදා ශුද්ධිපත්‍රයක්ද සම්පාදනය කෙළෙමු. (මෙයින්ම එබඳු සෙසු තැන්ද ශුද්ධකර ගතහැකි වන්නේය.) ලකුණුද බොහෝ තැන්වල වෙනස්වී යෙදී තිබෙන බවද විශේෂයෙන් කිවයුතුය. තවත් හ්‍රස්ව, දීර්ඝ, ණ, න, ල, ළ, ශ, ෂ යනාදි අක්‍ෂරයන්ගේද යම් යම් වෙනස්කම් ඇතිවුවත් වචනාර්‍ථාවබොධයට බාධක නොවන බැවින් එබඳු තැන් ශුද්ධිපත්‍රයට ඇතුළත් නොකරනලදී.

තවද මෙබඳු ගැඹුරු ධර්‍මයක් පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමෙහි ඇති අපහසුකම් ප්‍රාඥයෝ දකිති. එබැවින් අපගේ හා වර්‍ණෙයෝජකයන්ගේද ප්‍රමාද භ්‍රමාදියෙන් සිදුවූ තව තවත් දෝෂ ස්ථානද මෙහි නැතිවියහැකි නොවන හෙයින් එබඳු තන්හි සුධීහු යුක්තියම භජනය කෙරෙත්වා.

මේ පොත මුද්‍රණය කරවා පුණ්‍ය කටයුතු සඳහා යෙදවීම පිණිස මෙවරට අමරතුංග මුහන්දිරම් මැතිතුමන්ට භාර කළ බව හා මීට පසු අපගේ අවසරයක් ඇතිවම මුද්‍රණය කටයුතු බවද මෙහි සඳහන් කරමු.

මීටවගට,
ශාසනප්‍රතිකාමී පණ්ඩිත නිතලව
ධම්මකිත්තිසිරි සරණංකර ඤාණිස්සර ස්ථවිර.

ශ්‍රී. බු. ව. 2479 බිනර පුර අටවක් දින
ක්‍රි ව. 1935 සැප්තැම්බ්‍ර මස 7 දින
ශ්‍රීවර්‍ධනාරාමය විද්‍යාවාස විද්‍යාලය,
මිණිඔළුව, මීරිගම.