සත්යසංක්ෂේප ප්රකරණය (සාරාත්ථසූදනී සන්නය) - මොරටුවේ මේධානන්ද හිමි 1912.pdf
- කතෘ :
- ධම්මපාල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2018
- මුද්රිත වර්ෂය :
- 1912
- පිටු ගණන :
- 217
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 42 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සත්යසංක්ෂේප ප්රකරණය (හෙවත් සච්චසංඛෙපය) යනු ආචාර්ය භදන්ත ධම්මපාල මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම ප්රකරණයකි. මෙම කෘතියෙහි අඩංගු වන්නේ එම ග්රන්ථය සඳහා මොරටුවේ මේධානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් රචිත සාරාත්ථසූදනී නම් වූ සිංහල සන්නයයි.
පඤ්චස්කන්ධ විභාගය හා නිර්වාණය පිළිබඳව අභිධර්ම පිටකයෙහි හා අටුවාවන්හි සඳහන් ගැඹුරු කරුණු ගාථා 387 කින් හා ප්රධාන පරිච්ඡේද පහකින් යුක්තව මෙහි විස්තර කර තිබේ. බුද්ධ වර්ෂ 2456 (ක්රි.ව. 1912) දී දෙහිවල බිරීයන්ටල් යන්ත්රාලයේ මුද්රණය කරවා ඇති අතර, පසුව පඤ්ඤාපාරමී එකතුව මඟින් නා උයන ආරණ්ය සේනාසනයේදී 2018 වර්ෂයේදී ධර්ම දානයක් ලෙස නැවත සකසා බෙදාහැර ඇත.
මෙහි අන්තර්ගත ප්රධාන පරිච්ඡේද පහ මෙසේය:
- රූපස්කන්ධ විභාගය
- වේදනාදි ස්කන්ධත්රයාගේ විභාගය
- චිත්ත ප්රවෘත්ති විභාගය
- ප්රකීර්ණක සංග්රහ විභාගය
- නිර්වාණ විභාගය
පොත ගැන වචනයක්
මෙම පොත සච්චසංඛෙප ටීකා නම් වූ ටීකාවයි. සත්යසංක්ෂේප ප්රකරණය යනුද එයට නමකි. එයට ලියූ මේ සන්නය සාරත්ථසූදනී නමින් හඳුන්වයි. මෙම සත්යසංක්ෂෙප ටීකාවේ කර්තෘ ගැන සංඥාපනයෙහි සටහන්ව ඇත. එයින් බලා විස්තර දැනගනු මැනවි.
පඤ්චස්කන්ධ විභාගය හා නිර්වාණය පිළිබඳව අභිධර්මයේ පෙළ අටුවා ආදියෙහි වූ ගැඹුරු කරුණු රාශියක් ගොනු කොට පරිච්ඡේද පසකින් හා ගාථා 387 කින් විස්තර කොට ඇත. සූත්ර ක්රමයට පඤ්චස්කන්ධ විභාගය හා නිර්වාණය හදාරණ ලද අය විසින් තවත් ගැඹුරින් ඒවා හැදෑරීමට මේ සත්යසංඛේප ටීකාවද හැදෑරීම මැනවි.
නිවන හා නිවනට අවශ්ය උපකාරක ධර්ම සම්පූර්ණ කිරීමට වෙර දරන සත් පුරුෂයන්ට මේ සත්යසංඛේප ටීකාව උපකාරක ධර්මයක්ම වේවා! යනු අපගේ ප්රාර්ථනාවයි.
මෙම ග්රන්ථය සැකසීමෙන් යම් කුසලයක් ජනිත වේ නම් ඒ සියළු කුසලය අත්විය යුත්තේ පූජනීය පත්තිනිගම සුගතවංස හිමියන් හටය. උන් වහන්සේ වෙහෙස නොබලා මෙම සන්නය සම්පූර්ණයෙන්ම ස්කෑන් කළේය. පූජනීය හබරකඩ සන්තසුමන හිමි, පූජනීය පැළෑඳ තිලෝකානන්ද හිමි සහ පූජනීය කිරිවත්තේ තේජානන්ද හිමි පොත සැකසීමේදි බොහෝ උපකාර වූහ. සියළුදෙනා වහන්සේගේම වෙහෙස නොබලා කළ කැපවීමෙන් මේ පොත ඔබ අතට පත් කරන්නට හැකිවිය. උන් වහන්සේලාට සුවසේ සීල සමාධි පඤ්ඤා ගුණ පුරාගෙන නිවන් දකින්න මේ පින හේතු වේවා!
මෙම සච්චසංඛෙප ටීකා සන්නය සම්පාදනය කිරීමෙන් ජනිත කුසලයත්, පඤ්ඤාපාරමී එකතුව නමින් එක්ව දහම් පොත් සංරක්ෂණය කරමින් රැස් කරගන්නාවූ සියළු කුසල සම්පත්තියත් අපවත් වී වදාළ අපගේ ආචාර්ය උපාධ්යාය මහෝත්තමයාණන් වහන්සේලා වන අති පූජනීය මාතර සිරි ඤාණාරාම මාහිමිපාණන් වහන්සේටත් අති පූජනීය කඩවැද්දුව ශ්රී ජිනවංස මාහිමිපාණන් වහන්සේටත් අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේටත් සච්චසංඛෙප ටීකාව සම්පාදනය කළ සන්න ලියූ මාහිමිපාණන් වහන්සේලාටත් ලෝ සසුන් වැඩකොට අපවත් වී වදාළ සියළු මහා සංඝරත්නයටත් මේ පින නිවන් පිණිසම වේවා! අවවාද අනුශාසනා කරමින් මෙම දහම් සේවාවට හදවතින්ම උපකාර වන අති පූජනීය මීගොඩ සංඝසෝභන මාහිමි හා අති පූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මාහිමියන් ප්රධාන නා උයන සෙනසුන් වැසි සියළු මහා සංඝ රත්නයට මේ පින සියළු යහපත් ප්රාර්ථනා මුදුන් පමුණුවාගෙන නිවනින් සැනසෙන්නම හේතු වේවා! පූජනීය කුරුණෑගල ධම්මරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ග්රන්ථය, නම් සඳහන් කිරීමට කැමති නොවන කොළඹ ජාතික රෝහලේ වෛද්යවරු පිරිසක් සමග පුණ්යකාමී සත්පුරුෂ පිරිසකගේ ධන පරිත්යාගයෙන් මුද්රණය කොට බෙදා හරිනු ලැබේ. ඒ සියළු පින්වතුන්ටත් නමින් මිය ගිය ඥාතීන්ටත් දෙවියන් සහිත සකල ලෝ වැසි සත්වයන්ටත් මේ පින ධර්මඥාන භාවනාඥාන දියුණුව පිණිස වේවා! සියළු යහපත සැනසිල්ල වේවා! නිවන් පිණිසම වේවා!
චිරං තිට්ඨතු සද්ධම්මෝ !
පඤ්ඤාපාරමී එකතුව වෙනුවෙන්, හිනටිගල පඤ්ඤාරාම හිමි, නා උයන සෙනසුන, පන්සියගම. 60554 2018. 10. 06 දින.
හිනටිගල පඤ්ඤාරාම හිමි,
නා උයන සෙනසුන,
පන්සියගම. 60554
2018. 10. 06 දින.
සංඥාපනය.
මෙම සත්යසංක්ෂෙප ප්රකරණය, සම්මුතිපරමාර්ත්ථසත්යත්වය සංක්ෂෙපකිරීම්වශයෙන් අභිධර්මය හදාරන්නාවූ ශ්රොතෘජනයාගේ ශ්රවණොද්ග්රහණ ධාරණ පරිග්රහණ විනයාදිවශයෙන් ප්රතිපාදනයෙහි විපුල ප්රයෝජන පිණිස දඹදිව නාගපට්ටනමෙහි ධර්මාශොක මහාරජතුමාණන් කරවූ බදරතීර්ථ මහා විහාරවාසී වූ ත්රිපිටක පර්ය්යාප්තිධර ශ්රද්ධාශීලාදිගුණගණාභරණවිභූෂිතවූ අට්ඨකථාචාර්ය්ය ටීකාචාර්ය්ය අනුටීකාචාර්ය්යවූවර ස්ථවිර භදන්ත ධර්මපාලාභිධාන මහාස්වාමි පාදයාණන් විසින් ප්රණීතයි. මුන්වහන්සේ විසින් විශුද්ධිබුද්ධි ඇති බුද්ධඝොෂ මහාස්වාමිපාදයාණන්ගේ ඇවෑමෙන් කුදුගොත්සඟියට ඇතුළත් ප්රකරණ රාශියකට අටුවා කරන ලදහ. එනම් උදාන අටුවා ඉතිවුත්තක අටුවා චරියාපිටක අටුවා ථෙරගාථා අටුවා ථෙරිගාථා අටුවා විමානවස්තු අටුවා පෙතවත්ථු අටුවා යන ආදියයි. පරමාර්ත්ථමඤ්ජුසානම් විශුද්ධිමාර්ගටීකාවද වෙනත් බොහෝටීකාද අනුටීකාද සත්යසංක්ෂෙපාදිධර්මසංග්රහ ප්රකරණද මුන්වහන්සේ විසින් නිපදවනලදහ. තවද පුලත්ථිපුර ජෙතවනාරාමාධිපතිව වැඩවිසූසාරාර්ථදීපනී විනයටීකාකර්තෘභූත ශ්රී සාරිපුත්ර සංඝරාජ මහාස්වාමිපාදයාණන් විසින් කරණලද ග්රන්ථයන්හි මූලටීකාකර්තෘවූ ආනන්ද මහාස්වාමිපාදයාණන්ගේ ඇතැම් මත ප්රතික්ෂෙප කිරීමෙන් ස්වමත ස්ථුට කිරීම සඳහා භදන්ත ධර්මපාල මාහිමියාණන්ගේ විනිශ්චය මැ ගුරුපදෙශකොට ගෘහිත බැවින්ද අග්රවංශාචාර්ය්ය මහාස්වාමිපාදයාණන්ගේ ශබ්දනීති ශබ්දානුශාසනයෙහි සත්ය සංක්ෂෙපයෙන් උදාහරණප්රවෙශනෙ නිදර්ශනකොට තිබෙන හෙයින්ද මුන්වහන්සේගේ ස්වසමය සමයාන්තරයෙහි පැවැති විපුල ප්රඥා ප්රභාවය සලකා ගැණීමටත් සත්ය සංක්ෂෙප ප්රකරණයාගේ ගරුසම්භාවනීය භාවය සලකා ගැණීමටත් මෙතෙකින් ප්රමාණ වන හෙයින් තදීය භවචරිත කීර්තනයෙහි උද්යක්තවමු.
තවද අපව ශ්රමණ භූමියෙහි පිහිටුවා සියළු යහපත ඉටුකරදුන් ලක්ෂපතියේ ක්ෂෙත්රාරාම විහාරාධිපත්යය දරණ සුපෙසලශික්ෂාකාමී වූ වැලිගම සර්වඥානන්දාභිධාන අෂ්ටභාෂාචාර්ය්ය මහාස්ථවිර පාදයන් වහන්සේ විසින් පරමාර්ථ ධර්ම පරිශීලනයෙහි නියුක්ත ආධුනිකජනානුග්රහය සඳහා කරන ලද නියොගය පිළිගෙන සාරාර්ත්ථ සූදනී නම්වූ සත්ය සංක්ෂෙප ව්යාඛ්යාව සම්පාදනය කෙළෙමු. අපට මූලදීශාස්ත්රාගම ඉගැන්වූ පරමධම්මචෙතිය පරිවෙණාධිපතිව වැඩවිසූ වලානේ ශ්රී ධර්මාලොකාභිධාන සංඝනායක මහා ස්ථවිර මහාස්වාමි පාදයාණන්ගේද දැනට එම පිරිවෙන්හි ප්රධානත්වය දරණ ශ්රී ඥානෙශ්වර මහා ස්ථවිර පාදයන් වහන්සේගේද ගුරුචරණොපක්රමයෙන් අපට අවවාද අනුශාසනා කරන්නාවූ සවනිකායාධිපති ශාසනවංශාලංකාර කවිධජ විනයාචාර්ය්ය අභිධර්මික දෙවානන්ද මහානායක ස්ථවිර පාදයන් වහන්සේගේද මෙගැණ අනුබල දුන්නාවූ කහඳුමොදර ශ්රී සීලවිමල මහාස්ථවිර තුමාණන්ගේද අපකෙරෙහි පැවැති අනල්පවූ කරුණා මුදිතාදි ගුණ ධර්මයන් අනුස්මරණය කිරීමෙන් මෙකී හැමදෙනා වහන්සේට මෙපින් අනුමෝදන් කරවමින් අපගේ කෘතඥභාවය ප්රකාශ කරම්හ.
M- MEDHANANDA. B. P.