පඤ්චස්කන්ධ විභාගය - රේරුකානේ චන්ද්රවිමල හිමි 1954.pdf
- කතෘ :
- රේරුකානේ චන්ද්රවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1954
- මුද්රිත වර්ෂය :
- 1954
- පිටු ගණන :
- 168
- බාගත කිරීම් ගණන :
- 7
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 37 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පඤ්චස්කන්ධ විභාගය යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රකට අභිධර්ම ග්රන්ථයකි. මෙහි සංස්කරණය අභිධම්මිකාචාර්ය බේන්දුවේ සිරානන්ද හිමියන් විසින් සිදු කර ඇත.
විදර්ශනා වඩා නිවන් සුව සාක්ෂාත් කර ගැනීම සඳහා අත්යවශ්ය වන පඤ්චස්කන්ධය පිළිබඳ නිවැරදි හා විස්තරාත්මක ධර්ම ඥානය බෞද්ධ පාඨකයාට පැහැදිලි කර දීම මෙම කෘතියේ ප්රධාන අරමුණයි. නාම-රූප ධර්මයන්ගේ විභාගය, ලක්ෂණ, කෘත්ය ආදිය ගැඹුරු අභිධර්ම ක්රමයට අනුකූලව සරල බසින් මෙහි පහදා දී තිබේ.
මෙම මුල් මුද්රණය 1954 වර්ෂයේදී ඇල්. ගුණරත්න මහතාගේ ප්රකාශනයෙන් අලුත්ගම ගුණසේකර මුද්රණාලයේ මුද්රණය කරවා එළිදක්වා ඇත.
ප්රස්තාවනා.
ලෝකයෙහි බොහෝ ආගම්වල සත්ය වශයෙන් නැති මනඃ කල්පිත දේවාදීන්ට වැඳුම් පිදුම් කිරීමෙන් යාඥා කිරීමෙන් සැපයට පැමිණීමක් ඇති බව උගන්වති. බුද්ධාගමය වනාහි එබන්දක් නොව සත්යය ප්රත්යක්ෂ වශයෙන් දැකිය හැකි ලෝකෝත්තර ඥානය තම තමා කෙරෙහි ඇති කර ගෙන මෝක්ෂ නම් වූ පරම සැපතට පැමිණීම උගන්වන ආගමකි.
සත්ත්වයා නිවනට පමුණුවන ඔහුට නිවන ලබාදෙන ලෝකෝත්තර ඥානය ඇති කර ගත හැක්කේද පඤ්චස්කන්ධය මැනවින් දැන එහි ඇති අනිත්යාදි ලක්ෂණ තුන නැවත නැවත සිතීමෙන් විමසීමෙන් නුවණ දියුණු කිරීමෙනි.
පඤ්චස්කන්ධය ගැඹුරුය. සත්ත්වයා දුකින් නොමිදෙන්නේ පඤ්චස්කන්ධය පිළිබඳ යහපත් දැනුමක් නැති නිසාය. ලෝකයෙහි දෙසැට මිථ්යාදෘෂ්ටියක් ඇති වූයේද නොයෙක් ආගම් ඇති වූයේද පඤ්චස්කන්ධය ගැන නියම දැනුමක් ලබාගන්නට නොහැකිවීම නිසාය. පඤ්චස්කන්ධය පිළිබඳව නිරවුල්වූ ද නිවැරදිවූ ද උගැන්වීමක් ඇත්තාවූ එකම ආගම බුද්ධාගමය. බුද්ධාගමයෙන් ලැබිය යුතු උසස් ප්රයෝජනය ලැබීමට නම් පඤ්චස්කන්ධය පිළිබඳ තරමක දැනුමක්වත් ඇති කර ගත යුතුය. සත්යාවබෝධය කරන ලෝකෝත්තර ඥානයට අත්තිවාරම වන්නේ ඒ දැනුමය.
පඤ්චස්කන්ධය පිළිබඳ නිවැරදි දැනුම පහසුවෙන්ම ඇති කර ගත හැකි යයි නො සිතනු. එයට බොහෝ වෙහෙසිය යුතුය. ගුරුන් ඇසුරු කොට උගත යුතුය. බොහෝ පොත පත කියවිය යුතුය.
විදර්ශනා භාවනාවය යි කියනුයේ පඤ්චස්කන්ධයාගේ අනිත්යාදි ලක්ෂණ නැවත නැවත නුවණින් විමසීම ය, නැවත නැවත සිතීමය. කලක් එසේ කළ කල්හි නිවන් පමුණුවන ලෝකෝත්තර ඥානය ඇති වේ. පඤ්චස්කන්ධය ගැන තරමකවත් දැනුම ඇති අය බෞද්ධයන් අතරද සුලභ නැත. ඇතැම්හු පඤ්චස්කන්ධය ගැන දැනීමක් ඇතිකර නොගෙනම විදර්ශනාව පටන් ගනිති. රහත් වන්නට සිතති. එය වනාහි නාඳුනන ගසක් සෙවීමට වනයේ ඇවිදීම වැනි ක්රියාවෙකි. නාඳුනන ගස සෙවීමට වනයේ ඇවිදින්නහුගේ වෙහෙස නිෂ්ඵල වන්නාක් මෙන් පඤ්චස්කන්ධය නොදැන නොහඳුනා විදර්ශනා කරන්නහු ගේ වෙහෙස ද නිෂ්ඵල වේ. එබැවින් භාවනා කොට නිවන් දකිනු කැමති පින්වතුන් කවර ආකාරයකින් හෝ පඤ්චස්කන්ධය ගැන හොඳ දැනුමක් පළමුකොට ඇති කර ගත යුතුය.
පඤ්චස්කන්ධ විභාගය නමැති මේ ග්රන්ථය බුදුසස්නෙන් ප්රයෝජන ගනු කැමති පඤ්චස්කන්ධය මැනවින් දැනගනු කැමති පින්වතුන්ට මහෝපකාරී ග්රන්ථයකි. මේ පොත කියවීමෙන් හොඳ ධර්මඥානයක් ඇති කර ගත හැකිය.
මීට-ශාසනප්රීති කාමී, රේරුකානේ චන්ද්රවිමල මහා ස්ථවිර.