අභිධර්ම විභාගය - නිවන්දම ශ්රී ධර්මකීර්ති හිමි 2000.pdf
- කතෘ :
- නිවන්දම ශ්රී ධර්මකීර්ති හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2000
- මුද්රිත වර්ෂය :
- 2000
- පිටු ගණන :
- 259
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 14 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්ම විභාගය යනු අභිධර්මාර්ථ සංග්රහය, අභිධර්ම පිටකය සහ අටුවා ටීකා ඇසුරු කරගනිමින් නිවන්දම ශ්රී ධර්මකීර්ති ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම විවරණ ග්රන්ථයකි. දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානාධිපති කිරම විමලජෝති හිමියන්ගේ ආරාධනයෙන් මෙම කෘතිය රචනා කර ඇත්තේ අභිධර්මය හදාරන විද්යාර්ථීන්ට මෙන්ම සාමාන්ය පාඨකයාට ද පහසුවෙන් වටහාගත හැකි පරිද්දෙනි.
සාරිපුත්ත සංඝරාජයන්ගේ සිංහල සන්නය, සුමංගල හිමියන්ගේ විභාවිනී ටීකාව, විසුද්ධිමග්ගය ආදී සම්භාව්ය මූලාශ්රයන්ට අමතරව රේරුකානේ චන්ද්රවිමල හිමියන්ගේ අභිධර්ම මාර්ගය ආදී නූතන ග්රන්ථ ද මෙහිදී ඇසුරු කර තිබේ.
ග්රන්ථයෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා:
- ප්රවේශය හා අභිධර්ම පිටක හැඳින්වීම
- චිත්ත, චෛතසික, ප්රකීර්ණක සංග්රහ විභාගය
- චිත්තවීථි හා වීථිමුක්ත සංග්රහ විභාගය
- කර්ම, රූප හා නිර්වාණ විභාගය
- අකුසල, මිශ්රක, බෝධිපාක්ෂික, සමුච්චය සංග්රහ විභාගය
- පටිච්චසමුප්පාද හා පට්ඨාන ප්රත්යය විභාගය
- සමථ හා විදර්ශනා භාවනා විභාගය
පෙරවදන........................
බුද්ධ ධර්මයෙහි මනෝවිද්යාත්මක ඉගැන්වීම් ඇතුළත් අභිධර්ම දේශනාව ගැඹුරු විෂයයක් මෙන් සලකනු ලැබේ. එසේ වුවද අභිධර්මය හැදෑරීම සඳහා දීර්ඝ කාලයක සිට මහත් උනන්දුවක් මේ රටේ උගතුන් අතර පැවති බව පෙනේ. අනුරාධපුර යුගයේ දී ත්රිපිටකයට පාළි අටුවා ලියූ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියෝ අභිධර්ම පිටකයට මහත් ප්රෙදියාවක් දැක්වූහ. උන්වහන්සේ විසින් රචනා කරන ලද බවට විශ්වාස කරන අට්ඨසාලිනී නම් ධම්මසංගිණී ප්රකරණයට ලියූ අටුවාවෙහි අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක් බව ඔප්පු කිරීමට බොහෝ සාධක ඉදිරිපත් කොට කරුණු ගෙන හැර පා තිබෙන අයුරු මෙම ග්රන්ථයෙහි සඳහන් කොට ඇත. එසේම එම යුගයටම අයිති අභිධම්මත්ථ සංග්රහය අභිධර්මය ඉගෙන ගැනීම සඳහා ඉතාමත් සංක්ෂිප්ත වූ ද, සරල වූ ද, අර්ථ ගෞරවයෙන් යුත් රචනාව කරන ලද්දේ ආචාර්ය අනුරුද්ධ හිමියන් විසිනි. පොළොන්නරු යුගයේ වැඩ විසූ සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ විසින් අභිධම්මත්ථ සංග්රහයට ලියූ සන්නයත් එකී සන්නය අනුව යමින් ආචාර්ය සුමංගල හිමියන් විසින් ලියූ විභාවිනී ටීකාවත් යන ග්රන්ථ දෙකම අභිධර්මය හදාරන අය වෙනුවෙන් ලියන ලද උසස්ම කෘති දෙකක් සේ සලකනු ලැබේ.
මේ සාරිපුත්ත හිමියන්ගේ සිංහල සන්නයත් සුමංගල හිමියන්ගේ විභාවිනී ටීකාවත් අනුව යමින් එදා පටන් අද දවස දක්වා බොහෝ අභිධර්ම උගත්තු අභිධර්ම ග්රන්ථ ලියා ඇත්තාහ. එකී සියලුම උගතුන් ගුරුපොත වශයෙන් භාවිතා කොට ඇත්තේ ද මෙම සන්නය හා ටීකාවයි. මා විසින් මෙම ග්රන්ථය ලියන ලද්දේ ද එකී සන්නය හා ටීකාව ගුරුතැන්හි තබා ගෙන හෙයින් වර්තමාන අභිධර්ම ග්රන්ථවල හා මෙම අභිධර්ම විභාගයෙහි ඇතැම් ස්ථානවල සාම්යයක් දක්නට ලැබිය හැකි වීම නොවැළැක්විය හැක. මේ පොතෙහි දක්නට ඇති ප්රධාන විශේෂය නම් දහම් පාසල් දරුවන් පවා දන්නා සමහර ධර්ම කරුණු දිගින් දිගට විස්තර කිරීමෙන් පොත විශාල කිරීමට ප්රයත්නයක් නො දැරීමය.
ඇතැම් ගැටළු තැන් නිරාකරණය කර ගැනීම සඳහා මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ අභිධර්ම මාර්ගයත්, පණ්ඩිත මාතර ධම්මවංස හිමියන්ගේ අභිධර්ම චන්ද්රිකාවත්, පණ්ඩිත මාපලගම සෝමිස්සර හිමියන්ගේ බුද්ධධර්මය ග්රන්ථයත්, අභිධර්මාචාර්ය යූ. බී. රාජකරුණා මහතාගේ සූවිසි ප්රත්යය ග්රන්ථයත්, ඇසුරු කළ අතර ක්රි:ව: 1899 වර්ෂයේ මුද්රණය කළ කර්තෘ නොදන්නා සාමණේර ප්රශ්නය නම් ඉතා දුර්ලභ පැරණි ග්රන්ථයත් මා විසින් පරිහරණය කරන ලද්දේය. සමහර ධර්ම කරුණු විස්තර කිරීමේදී වෙනත් මූලාශ්රයන්ගෙන් කරුණු නොසොයා සෘජුවම විසුද්ධි මාර්ගයෙන් කරුණු උපුටා ගත්තෙමි.
මාස හයක් වැනි කෙටි කාලයක් තුළ ලියා නිම කළ මේ ග්රන්ථයෙහි සමහර විස්තර වල ඌනතා ඇතිවිය හැකි බව සත්යයක් වුවද පාඨකයින්ට එයින් බරපතල පාඩුවක් ඇති වෙතැයි සිතිය නො හැකිය. මේ අභිධර්ම විභාගය මා විසින් ලියන ලද්දේ, දෙහිවල, නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානාධිපති පූජ්යපාද කිරම විමලජෝති ස්ථවිරපාදයාණන් වහන්සේගේ කාරුණික ආරාධනාව නිසාය. උන්වහන්සේ පාලි ත්රිපිටකය හා තදනුබද්ධ ධර්ම ශාස්ත්රීය ග්රන්ථ සිංහලට පරිවර්තනය කොට සිංහල පාඨකයන්ගේ ධර්මඥානය වර්ධනය කරනු පිණිස තමන්වහන්සේ සතු බුද්ධිය, ශ්රමය හා ධනය යන සියල්ලම කැප කොට ගෙන යන මහඟු කාර්ය භාරය ප්රශංසනීය බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. සිත් ගන්නාසුලු නිමාවකින් හා නවීන තාක්ෂණයෙන් උසස් අන්දමින් මේ පොත මුද්රණය කළ දෙහිවල, නැදිමාලේ සිස්ටමැටික් ආයතනයේ කළමණාකාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ද අපේ කෘතඥතාවය පිරිනමමි.
නිවන්දම ශ්රී ධර්මකීර්ති
පුරාණ විහාරය,
නිවන්දම - ජාඇල.
2000-06-20